රිෂාඩ්, සාලි, හිස්බුල්ලා, මුජිබර් ත‍්‍රස්තවාදීනට ආරක්‍ෂාව දුන්නැයි සාක්‍ෂි සමගින් රහස් පොලීසියට පැමිණිල්ලක්..

(08.05.2019 – 06:28 +0530 – lankacnews.com)

වහාබ්වාදී ත්‍රස්තවාදයට සම්බන්ධ පිරිස්වලට අනුබල දුන්, ආරක්ෂාව සැපයූ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන්, බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි, නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එල්.ඒ.එම් හිස්බුල්ලා, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් යන තැනැත්තන් ජාතික තව්හිද් ජමාත් ත්‍රස්තවාදී සංවිධානයේ නායකයන්ට ආරක්ෂාව සැපයූ බවට පිළිගත හැකි සාක්ෂි ඇති හෙයින් වහාම එම පිරිසෙන් ප්‍රශ්න කරන ලෙස ඉල්ලා ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා අපරාධ පරීකීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

විමල් වීරවංශ, විජේදාස රාජපක්ෂ , එම්. ඒ සුමන්තිරන්, එස්. බී. දිසානායක යන මහත්වරුන් පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශවලින් මීට අදාළ කරුණු බොහෝමයක් අනාවරණය වී ඇති බව ද ජයන්ත සමරවීර මහතා සිදු කළ පැමිණිල්ලේ සඳහන් වේ.

– අනුරුද්ද බණ්ඩාර

+++++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++

07.05.2019

+++++++++++++++++++++++++++++++++++++

ශ්‍රී ලංකාව බෞද්ධ රටක්.. අපේ විදිහට ඉන්න බැරි මුස්ලිම් අය ලංකාවෙන් පිටවෙන්න.. – දුමින්ද දිසානායක

දුමින්ද දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී කළ සම්පුර්ණ කතාව (07.05.2019)

*****************************************

ඊමේල් පණිවිඩ හරහා ජනතාව බියවද්දා කප්පන් එකතුකිරීමේ වැඩපිළිවෙලක්..

(08.05.2019 – 08:02 +0530 – lankacnews.com)

ශ්‍රී ලංකා පරිවර්තන සමුහය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි :

මේ දිනවල ඊමේල් පණිවිඩ හරහා ඔබගේ පරිගනකය / ඊමේල් ගිණුම හැක්කොට ඇති බවත් ඔබව මාස කිහිපයක සිට ඔබ පරිගනකයේ / ජංගම දුරකතනයේ සිදුකරනු ලැබූ ක්‍රියාකාරකම් අධ්‍යනය කොට ඒවායන්හි දත්ත හැකර්වරුන් යයි පවසාගන්නා කණ්ඩායමක් සතු බවත් එම දත්ත සමාජ මාධ්‍යවලට මුදාහැරීමට ප්‍රථම කප්පන් මුදලක් bitcoin හරහා එම හැකර්වරුන් වෙත ගෙවන මෙන් දැක්වෙන පණිවිඩයක් ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයකට ලැබී ඇත.

මෙසේ ඊමේල් හරහා පැතිරෙන මෙම පණිවිඩය ඔබට ලැබුනහොත් අනිසි බියක් ඇතිකොටගෙන ඔවුන්ට කප්පන් මුදල් ගෙවීමට කටයුතු නොකරන මෙන් ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ලෙස අප සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

තවද ඔබගේ ඊමේල් ගිණුම් හෝ පරිගනක කිසිදු ආකාරයකට හැක් වීමක් සිදු නොමැති බවත් එම ඊමේල් පණිවිඩය ජනතාව බියවද්දවා කප්පම් මුදල් එක්රැස් කිරීමට යොදාගන්නා උපක්‍රමයක් ලෙස හදුනාගෙන ඇති අතර මේ පිලිබදව සාමාන්‍ය ජනයා කිසිදු අනිසි බියක් ඇතිකරගත යුතු නොවන බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ලෙස අප වගකීමෙන් ප්‍රකාශ කරමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

*****************************************

බයනම් ගෙදර යන්න – ලියුම්වලට මම අත්සන් කරන්නම්… – ඇමති අර්ජුන සැරවෙයි..

(08.05.2019 – 08:40 +0530 – lankacnews.com)

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අයත් ඉඩම් අයථා ලෙස සහ වංචනිකව භාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බියක් ඇත්තේ නම් රාජකාරියට වාර්තා නොකර ගෙදරම නවතින්නැයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ ප්‍රකාශ කරයි.

“දුම්රිය ඉඩම් අයථා ලෙස සහ වංචනිකව භාවිත කරන අයට නීතිය ක්‍රියාත්මක කිරීමේ ලිපි යැවීමට ඇතැම් නිලධාරීන් හිතාමතා ප්‍රමාද කරනවා. එසේ කරන්නේ යම් කිසි බියක් නිසා නම් ඒ ලියුම් ටික මට ගෙනෙත් දෙන්න. මම අත්සන් කරලා ලියුම් ටික යවන්නම්. දුම්රියේ ඉඩම් කියන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සම්පතක්. මේ ඉඩම් කළමනාකරණය කිරීමෙන් ලැබෙන ආදායමෙන් මේ මුළු දුම්රිය දෙපාර්තමේන්තුවම පවත්වාගෙන යන්න පුළුවන්. ඒත් ඒ ආදායම ලබා ගන්න දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම් අංශයේ ඇතැම් ඉහළ නිලධාරීන්ට උවමනාවක් නැහැ…” යි ද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

මේ බව කියා සිටියේ බත්තරමුල්ල ප්‍රවාහන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක් වෙමිනි.

“සමහර පුද්ගලයින් දුම්රියේ ඉඩම් අරගෙන පිටස්තර පුද්ගලයින් බදු දීලා ලොකු ආදායමක් ලබා ගන්නවා. දුම්රිය දෙපාර්තමේන්තුවට ලැබෙන ආදායම මංකොල්ල කනවා. අතරමැදියෝ සල්ලි උපයනවා. ඒක මාෆියාවක්. ඒ මාෆියාවට මේ නිලධාරීනුත් හවුල් බව මම දන්නවා. ඇතැම් ඉඩම් නිලධාරීන් සල්ලි එනවා කියන එකත් රහසක් නෙමෙයි. මේ ඉඩම් අංශයේ නිලධාරීන් වැටුපක් ගන්නවා නේද ? තමන් කන අදින දෙයට යුතුකම් ඉෂ්ට කරලා ආයතනය රැක ගන්න. අපි උත්සාහ කරන්නේ මේ ආයතන විකුණන්නේ නැතිව රැක ගන්න. ඒකට මේ හැමෝගෙම උදව් ඕන…” යි ද අමාත්‍ය අර්ජුන රණතුංග දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩම් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

“දුම්රිය දෙපාර්තමේන්තුවට ආදායම් අහිමිවීම් අංශ කිහිපයකින් සිදු වනවා. එයින් ප්‍රධානතම අංශයක් වන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තිබෙන ඉඩම්වලින් ලැබෙන ආදායම. මේ වනවිට දුම්රිය සතුව 14,129 ක විශාල ප්‍රමාණයක ඉඩම් තියෙනවා. එම ඉඩම්වලින් දුම්රිය ස්ථාන, මාර්ග, ධාවනාගාර සහ කාර්යාල යනාදි ලෙසට දෙපාර්තමේන්තු කටයුතු සඳහා අක්කර 8756 ක් වෙන් වී තිබෙනවා. ඒ අනුව බදු දීමට හැකියාව ඇති ඉඩම් ප්‍ර‍මාණය අක්කර 5364 ක්. නමුත් දළ වශයෙන් එයින් මේ වන විට බදු දී තිබෙන්නේ සියයට 10 ක පමණ ප්‍ර‍මාණයක්. එනම් අක්කර 536 ක පමණ ප්‍ර‍මාණයක්. එම ප්‍ර‍මාණය වෙනුවෙන් අය වීමට ඇති මුදල රුපියල් මිලියන 14,617.8 වනවා. නමුත් මේ ආදායම ලබා ගැනීම සඳහා වැඩසටහනක් මීට පෙර තිබුණේ නැහැ. ඒ අනුව ඉඩම් ලේඛන ගත කරමින් එම ආදායම ලබා ගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම දුම්රිය දෙපාර්තමේන්තුව තුළ ඉඩම් බදු දීමත් මුදල් එකතු කිරීමත් සිදු කළේ එකම අංශයකින්. නමුත් ඉදිරියේදී ඉඩම් බදුදීමට වෙනම අංශයකුත් බදු දුන් ඉඩම්වලින් බදු අයකර ගැනීමට වෙනම අංශයකුත් ඇති කිරීමට අවශ්‍ය නීතිමය ප්‍ර‍තිපාදන ඉක්මනින්ම ගෙන එනවා…” යි ද අමාත්‍ය රණතුංග මෙහිදී කියා සිටියේය.

– තමීර මංජු

*****************************************

තව්හීද් ජමාත් සංවිධානයේ සැකකරු නිදහස් කර ගන්න පොලීසියට අල්ලස් දීලා

(08.05.2019 – 09:31 +0530 – sinhala.adaderana.lk)

ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ රැඳවුම් නියෝග මත සිටින සැකකරුවෙකු නිදහස් කර ගැනීම සඳහා හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාට අල්ලස් මුදලක් ලබා දීමට යම් පුද්ගලයෙක් උත්සහ දරා තිබේ.

පසුගිය අප්‍රේල් මස 21 වන දින සිදුකල ප්‍රහාරය සම්බන්ධව විමර්ශන සිදුකර හොරොව්පතාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අප්‍රේල් මස 28 වන දින, අන්තවාදී ත්‍රස්තවාදීන්ට සහාය ලබා දිම සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු දින 3ක් රඳවා තබා ගෙන විමර්ශන සිදුකර පසුව මැයි 1 වන දින කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මැයි 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ඇප දීමට විරුද්ධ නොවන ලෙසට ඉල්ලා සැකකරුගේ ඥාතියෙක් වන හොරොව්පතාන, මුක්කරවැව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 ක් වු මොහොමඩ් ෂිෆාන් නැමැති පුද්ගලයා රුපියල් ලක්ෂ 5ක අල්ලස් මුදලක් පොලිස් ස්ථානාධිපතිවරයාට ලබා දීමට උත්සහ කර තිබේ.

ඒ අනුව රුපියල් ලක්ෂ 2 හමාරක මුදලක් අද (08) උදෑසන පොලිස් ස්ථානයේ දී ලබා දීමට යෑමේ දී මෙම පුද්ගලයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් පුද්ගලයා සැකකරුට ඇප ලැබීමෙන් අනතුරුව සම්පූර්ණ මුදල ලබා දෙන බවට පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දන්වා තිබේ.

කෙසේ වෙතත් හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයා කල්තියා අදාළ අංශ දැනුවත් කර මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++++

ගුවන් හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් කට්ටල 1116 ක් ලොරියෙන් බස්සයි

(08.05.2019 – 14:30 +0530 – sinhala.adaderana.lk)

සීදුව පොලිසිය සහ ගුවන් හමුදාව විසින් සීදුව මුතුවාඩිය ප්‍රදේශයේ මාර්ග බාධක යෝදා සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබේ.

එහිදී වලපනේ සිට සීදුව දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක තිබී ගුවන් හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් 1116 ක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව ඇත.

එම ඇඳුම් තොගය සමඟ ලොරි රථයේ රියදුරු සහ රිය සහයක අත්අඩංගුවට ගෙන තිබේ.

සීදුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි ෴

+++++++++++++++++++++++++++++++++++++

හිටපු ආරක්ෂක ලේකම්ට හා පොලිස්පතිට එරෙහි පෙත්සම සලකා බැලීමත් කල්යයි

(08.05.2019 – 12:20 +0530 – sinhala.adaderana.lk)

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් කොළඹ හා මඩකලපුව ප්‍රදේශයේ පිහිටි කිතුනු දේවස්ථාන හා තරු පන්තියේ හෝටල්වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මැඩ පැවැත්වීමට අපොහොසත්වීම තුළින් පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම් මහජනතාවගේ මූලික අයිතීන් කඩ කර ඇතැයි චෝදනා කරමින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම ලබන 21 ක් වන දා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස එහි වග උත්තරකාරුවන් ලෙස නම් කර සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරු වෙත නොතීසිය යැවීමට පියවර ගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශවය නීතිඥවරයාට නියම කළේය.

ප්‍රසන්න ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණි අමරසේකර යන මහත්මීන් ගෙන් සමන්විත ව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව කැඳවනු ලැබීය.

මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ වැල්ලම්පිටිය, වෙන්නවත්ත ප්‍රදේශයේ පදිංචි සමන් නන්දන සිරිමාන්න නමැති පියෙකු විසින්.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, විශේෂ විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක සහ නීතිපතිවරයා නම් කර තිබුණි.

මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ වරයා අධිකරණයට දන්වා සිටියේ මෙහි පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට පෙනී සිටීමක් නොකරන බවයි.

ඒ අනුව වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙත නැවත නොතිසි නිකුත් කරන මෙන් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ පෙත්සම සලකා බැලීම සඳහා ලබන 21 වනදා කැඳවීමට ද නියම කළේය.

පෙත්සම්කරුවෝ කියා සිටින්නේ ඉකුත් 21 වනදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය තුළ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය තුළින් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ආශිර්වාදය ලබාගැනීම සඳහා එම දේවස්ථානයට ගොස් සිටි තම දියණිය සහ පූත්‍රයා මිය ගිය බවයි.

මෙම ප්‍රහාරය පිළිබඳව බුද්ධි අංශය විසින් පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක බලධාරීන්ට කලින්ම දැනුවත් කර තිබූ බව පෙන්වා දෙන පෙත්සම්කරු ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කැර තිබිණේ නම් මෙවැනි විනාශයන් වළක්වා ගැනීමට ඉඩ තිබූ බවද කියා සිටියේය.

එසේ තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් වග උත්තරකරුවන් දණ්ඩ නිති සංග්‍රහය මෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා සිදුකර ඇති බව පෙත්සම්කරු පෙන්වා දෙයි.

වග උත්තරකාරුවනගේ ක්‍රියාකලාපය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

වග උත්තරකරුවන්ගේ නොසැලකිලිමත් ක්‍රියා කලාපය හේතුවෙන් සිදූවූ මනූෂ්‍ය ඝාතන හා තුවාල කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් වග කිවයුතු පොලිස්පතිවරයාට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පවරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

+++++++++++++++++++++++++++++++++++++

පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාවේ රියදුරුගේ හෝඩුවාවට ප්‍රභූ ආරක්ෂක නිල ඇඳුම් පොලිස් බාරයට

(08.05.2019 – 14:47 +0530 – sinhala.adaderana.lk)

පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාවේ සේවකයින්ගේ විරෝධතාවයකින් අනතුරුව ප්‍රශ්න කිරීම් සඳහා පොලිස් භාරයට පත්වූ එම කර්මාන්ත ශාලාවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුරද් ආමඩීන්ගේ රියදුරු ලබාදුන් තොරතුරකට අනුව පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාවේ උක් වගාවක තිබී සැකකටයුතු භාණ්ඩ රැසක් සොයාගනු ලැබීය.

එම භාණ්ඩ තොගය සමඟ පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරීයාගේ රියදුරුද පොලිස් භාරයට පත්ව තිබේ.

මේ අතර වෝකි ටෝකි යන්ත්‍ර 05 ක් , ප්‍රභූ ආරක්ෂක නිල ඇඳුම් ඇතුළු භාණ්ඩ කිහිපයක් මේ වනවිට බුත්තල පොලිසිය සිය භාරයට ගෙන තිබේ.

+++++++++++++++++++++++++++++++++++++

බුදුපිළිමවලට හානි කළ සැකකරුගේ නිවස ගම්පොළ දී සෝදිසියක – වලදාපු කඩු ගඟෙන් මතුවෙයි (07.05.2019)
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *