ජ්‍යෙෂ්ඨ විනිසුරන් 9 කට ඇමෙරිකාවෙන් බලපෑම්

(09.05.2019 – mawbima.lk)

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරියකු මෙරට අධිකරණ විනිසුරුවරුන් පිරිසක් ඇමෙරිකාවේ පැවැති සමුළුවකට කැඳවාගෙන ගොස් අධිකරණයට බලපෑම් කර අපහාස කිරීමක් කර ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවැසීය.

‘‘තමන්ගේ පන්සලේ දේව මෙහෙය පවත්වන්න ඉඩදුන්න බෞද්ධයාත්, ඒ වගේම තමන්ගෙ ජාතිය වුණත් ත්‍රස්තවාදීන් අල්ලා දුන්න මුස්ලිම්වරුත් එකට එකතු වෙලා පරාජය කළේ අයිඑස්අයිඑස් කුමන්ත්‍රණයක් නොවේ. ඇමෙරිකානු ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්’’ බවද පැවැසූ ගම්මන්පිල මහතා මෙසේද කීය :

‘‘අපි ඇමෙරිකානු කුමන්ත්‍රණයේ පළමුවැනි වටයෙන් පරාජය කරන කොට ඔවුන් දැන් දෙවැනි වටය විදියට අධිකරණයට අත පොවන්න පටන් ගෙන තියෙනවා.

තමන් වසර පහකට පත්කරගත්ත ගැත්තන්ගෙ, ඉත්තන්ගෙ රූකඩ ආණ්ඩුව පරාජය වෙලා ගෙදර යන්න ළඟයි කියන අනතුරු ඇඟවීම ලැබුණ නිසා ඊළඟට මේ රට පාලනය කරන්න ඇමෙරිකාව උත්සාහ කරන්නේ අධිකරණය හරහා.

ඇමෙරිකානු තානාපති කාර්යාලය, අධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිශ්චයකරුවන් සඳහා ඇමෙරිකාවේ වැඩමුළුවක් ලෑස්ති කළා. පසුගිය අප්‍රේල් මාසයේ 8 වැනිදා සිට 12 වැනිදා දක්වා ඇමෙරිකාවේ පැවැත්වුණු ඒ වැඩමුළුවේ මාතෘකාව ‘මනිලොන්ඩරිං ඇන්ඩ් රිකවරි ඔෆ් ස්ටෝලන් ඇසෙට්ස්’. ඒක මෙහෙයවූයේ ඇමෙරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුවයි, එෆ්.බී.අයි. ආයතනයයි. මාතෘකාව මුදල් විශුද්ධිකරණය. විනිශ්චයකාරතුමන්ලා ඒක ඉගෙනගන්න එක හොඳයි.

ජ්‍යෙෂ්ඨතම විනිශ්චයකාරවරුන් නවදෙනෙක් මේ වැඩමුළුවට යනවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මැතිතුමා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මැතිතුමා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මැතිතුමා, අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මැතිතුමා, අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මැතිතුමා, අභියාචනාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න මැතිතුමා, මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මැතිතුමා, මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මැතිතුමා, මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මැතිනිය.

ඉතාම සූක්ෂ්ම ලෙස ජ්‍යෙෂ්ඨත්වය නොසලකා විශේෂ මහාධිකරණයේ කටයුතු කරන විනිශ්චයකාරවරුන් තුන්දෙනාම මේ වැඩමුළුවට ඇමෙරිකාවට අරන් යනවා. සිංහල අලුත් අවුරුදු නිවාඩුවට. මේ වැඩමුළුවේ සම්බන්ධීකරණ කටයුතු ඇමෙරිකා තානාපති කාර්යාලයේ ප්‍රධාන දේශපාලන නිලධාරි පැට්‍රික් ටිලොවු. මේ පැට්‍රික් රාත්‍රි භෝජන සංග්‍රහයකදී විනිශ්චයකාරවරුන් ගෙන් අහනවා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මැතිතුමාගේ නඩුවට මොකද වෙන්නෙ කියලා. විනිශ්චයකාරවරු කියනවා ඒක ඉතාම දුර්වල නඩුවක්. මේ නඩුවෙ වැරැදිකරුවන් වෙන්න තියෙන අවස්ථාව අඩුයි. එතකොට පැට්‍රික් විනිශ්චයකාරවරුන්ට කියනවා ‘රජයේ නිලධාරීන්ට ආදර්ශයක් වියහැකි තීන්දුවක් ඕගොල්ලො ලබා දේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.’ කවුද මේ ‘අපි’ කියන්නෙ : ඇමෙරිකානු ආණ්ඩුව.

එතැනින් නතරවෙන්න නෑ. දැන් පැට්‍රික් ලංකාවෙ අගවිනිසුරු වගේ. ඊළඟට අහනවා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නඩුව මොකද මෙච්චර ඇදෙන්නෙ කියලා. විනිශ්චයකාරවරු උත්තර දෙනවා ‘අනේ මේ නඩුවෙ අපි දෙන නියෝගවලට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා ඉදිරිපත් කරනවා. ඒකයි මේ නඩුව ඇදෙන්නෙ’ කියලා. ‘ඉක්මනින් මේ නඩුව අවසන් කරන්න’ කියලා පැට්‍රික් අපේ විනිශ්චයකාරවරුන්ට උපදෙස් දෙනවා.

එතන හිටිය දේශප්‍රේමී විනිශ්චයකරුවන්ට හරිම කේන්තියි. එතන හිටිය එක් විනිශ්චයකාරවරයෙක් සිය ජංගම දුරකථනයෙන් මේ සම්පූර්ණ සංවාදය පටිගත කරනවා. ඒ හඬ පටයක් මා ළඟ තියෙනවා. විනිශ්චයකාරවරුන්ගේ සංවේදී සංවාදය එතන තියෙන නිසා මම එය සභාගත කරන්නේ නැහැ.

ඔවුන් මේ උත්සාහ කළේ ශ්‍රී ලංකාවේ අධිකරණයට බලපෑම් කිරීමටයි. එක පැත්තකින් මෙය අධිකරණයට අපහාස කිරීමක්. අනිත් පැත්තෙන් විනිශ්චයකාරවරුන්ගේ රාජකාරියට බාධා කිරීමක්. මේ සියල්ලටම වඩා ලෝකෙම ලොක්කා කියල හිතාගෙන ඉන්න ඇමෙරිකාව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කාරණයකට ඍජුවම අතපෙවීමයි.

ඥානසාර හාමුදුරුවන්ට අවුරුදු 19 කට සිරදඬුවම් නියම කළේ මහෙස්ත්‍රාත් අධිකරණයට අපහස කළා කියලා. එහෙම නම් මේ පැට්‍රික් ටිලොවු ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, මහාධිකරණය කියන ලංකාවේ ඉහළම අධිකරණ තුනටම අතිශයින් බරපතළ අපහාසයක් කරලා තියෙනවා. ඥානසාර හිමියන්ට ලබාදුන්න දඬුවම වසර දහ නවයයි නම්, ප්‍රැටික්ට ලබා දෙන්න ඉතිරිවෙලා තියෙන දඬුවම එල්ලා මැරීම නොවේද? නමුත් අවාසනාවකට පැට්‍රික්ට ඥානසාර හිමියන්ට නැති තානාපති මුක්තිය තියෙනවා. එහෙම නැතිනම් මෙලහකටත් මේ පිළිබඳ කම්පනයට කලකිරීමට පත්ව ඉන්න විනිශ්චයකාරවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරල හමාරයි.

ඒ වගේම මේ පිළිබඳව විනිශ්චයකාරවරුන්ට ප්‍රකාශයක් කරන්න තියෙනවා. ‘විනිසුරුවරුනි, ඔබේ දේශප්‍රේමීත්වය ගැන අපි ආඩම්බර වෙනවා. ඔබ අධිකරණයේ ස්වාධීනත්වය රැකගැනීමට කටයුතු කිරීම ගැන අපි ආඩම්බර වෙනවා. ඒ වගේ ඔබ වගකියන්නේ මේ ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍ය තියෙන ජනතාවටද? එහෙමත් නැත්නම්, මේ විදේශ සංචාර ලබාදෙන ඇමෙරිකානු ආණ්ඩුවටද? කියන ප්‍රශ්නය දෙස මේ රටේ ජනතාව උත්තරයක් ලබා ගැනීම සඳහා අධිකරණය දෙස දෑස් දල්වා බලාගෙන සිටිනවා’ කියන එක අධිකරණයට සිහිපත් කරනවා.” යනුවෙන්ද ගම්මන්පිල මන්ත්‍රිවරයා මෙහිදී පැවැසීය.

– ජේ.ටී. ද සිල්වා, රුචිර දිලාන් මධුශංඛ

+++++++++++++++++++++++++++++++++++++

මඩකලපුව විශ්වවිද්‍යාලයේ කටයුතු උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට

(08.05.2019 – 16:50 +0530 – sinhala.adaderana.lk)

මඩකලපුව විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරා ගනිමින් එහි නීතිරීති අනුව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ අද (08) පෙරවරුවේ කල්මුණේ, සයින්දමර්දු ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත වෙමින් නැගෙනහිර පළාත් රාජ්‍ය නිලධාරින් සහ පළාතේ මුස්ලිම් තරුණ තරුණයන් හමු වෙමිනි.

එහිදී එම විශ්වවිද්‍යාලය මඟින් පවත්වාගෙන යනු ලබන විෂය මාලා පිළිබඳව පැහැදිලි තීරණයක් ගැනීමට නියමිත බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මේ අතර, ම්ලේච්ඡ ත්‍රස්තවාදයට මාතෘභූමියේ කොතැනකවත් ඉඩ නොතබන අතර එය විනාශ කර දැමීමේ වගකීම නිසි ලෙස ඉටු කරනවා මෙන්ම රටේ කිසිදු ජන කොටසක් අපහසුතාවයට පත් නොවන අයුරින් කටයුතු කිරීමේ වගකීම රාජ්‍ය නායකයා ලෙස තමා ඉටුකරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

අන්තවාදී ත්‍රස්තවාදයට ඉඩ නොතබමින් සහ ඊට සපුරා විරුද්ධ වෙමින් ශ්‍රී ලංකා මාතෘ භූමිය වෙනුවෙන් වගකීම් ඉටුකරන ලෙස මෙහි දී තරුණ තරුණියන්ට පැවසූ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, ඉස්ලාමීය ආගමික නායකයන්ගේ උපදෙස් හා මඟ පෙන්වීම අනුව මුස්ලිම් ජනතාවගේ ගැටලූ සඳහා ලබාදිය හැකි සියලූ විසදුම් ලබාදීමට කටයුතු කරන බවයි.

එම තරුණ තරුණියන් සමඟ සුහද කථා බහකට එක් වූ ජනාධිපතිවරයා ඔවුන්ගේ ඉල්ලීම්වලට ද සාවධානව ඇහුම්කන් දී තිබේ.

සයිනමරුදු ප්‍රදේශයට වෙනම ප්‍රාදේශීය සභාවක් ලබාගැනීම පිළිබඳ කළ ඉල්ලීම කෙරෙහි ද අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳ අදාළ අංශ සමඟ සාකච්ඡා කරන බව පැවසීය.

මෙම හමුවෙන් අනතුරුව පසුගිය අප්‍රේල් 26 වනදා සයින්දමර්දු ප්‍රදේශයේ බෝම්බ පිපිරීම් සිදු වූ ස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා එම ස්ථානය ද නිරික්ෂණ කළේය.

+++++++++++++++++++++++++++++++++++++

හදිසි අවස්ථාවකදී දැනුම්දෙන්න ඇමතුම් අංකයක් : 113

(08.05.2019 – 23:31 +0530 – sinhala.adaderana.lk)

හදිසි අවස්ථාවකදී හෝ කිසියම් සැකයකට තුඩු තොරතුරක් ඇත්නම් දැනුම්දීම සඳහා ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් හදිසි ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ.

ජාතික ආරක්ෂාවට සහ මහජනතාවගේ පහසුව පිණිස අදාළ දුරකථක අංකය විවෘත කර තිබේ.

හදිසි අවස්ථාවකදී හෝ කිසියම් සැකයකට තුඩු තොරතුරක් ඇත්නම් වහාම 113 හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස ශ‍්‍රී ලංකා යුද හමුදාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර රට පුරා සිදුකරන ‍සෝදිසි මෙහෙයුම් ජාතික තවදුරටත් සිදු කෙරෙමින් පවතී ෴

+++++++++++++++++++++++++++++++++++++

‘ටුවරිස්ට්ලා’ පිරුණු රට මේ ‘ලොන්ත පෝල්’ ආණ්ඩුව ‘ටෙරරිස්ට්ලා’ පිරුණු රටක් බවට පත් කළා (09.05.2019)

+++++++++++++++++++++++++++++++++++++

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු රටට මොකද වෙන්නෙ? : සැඟවුණු පිටුපස කතාව – වෛද්‍ය වසන්ත බන්ඩාර මහතා – (02.05.2019)

+++++++++++++++++++++++++++++++++++++

ආගමික අන්තවාදය සහ ත්‍රස්තවාදය මැඩලීමට මහා සංඝරත්නයෙන් යෝජනා 16 ක් – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (01.05.2019)

+++++++++++++++++++++++++++++++++++++

මන්නාරමේ හමුදා මෙහෙයුමක්.. සැකකරුවන් සමග අත්අඩංගුවට ගත් දේ මෙන්න…

(09.05.2019 – 12:00 +0530 – lankacnews.com)

මන්නාරම තාරාපුරම් ප්‍රදේශයේදී යුද හමුදාව විසින් සිදු කල සෝදිසි මෙහෙයුමකදී පිස්තෝලයක් හා පතුරම් සමග කිනිසි තොගයක් ලඟ තබාගෙන සිටි මුස්ලිම් සැකකරුවන් දෙදෙනෙකු යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මන්නාරම 54 සේනාංකය විසින් තාරතාපුරම් ප්‍රදේශයේදී සිදුකල සෝදිසි මෙහෙයුමකදී එක් මුස්ලිම් සැකකරුවෙකු නුජුමුදීන් මොහොමඩ් නැමත්තා සමීපයේ කිනිසි 06 ක් සහ පිස්තෝලයක් සමග පිස්තෝල සඳහා භාවිතා කරන පතුරම් 386 ක් තිබී ඇති අතර අනෙක් සැකකරු වූ මොහොමඩ් නජීර් මොහොමඩ් නැමති සැකකරු ලඟ සිම් කාඩ් 286 ක් තිබී සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ වන විට යුද හමුදාව විසින් මන්නාරම් පොලීසියට භාර දී ඇති අතර මන්නාරම් පොලීසිය විසින් අදාල සැකකරුවන් මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

+++++++++++++++++++++++++++++++++++++

ගෝඨාභය බුද්ධි අංශ පවත්වාගෙන ගිය ක්‍රමවේදය යළි ස්ථාපිත කළ යුතුයි

(08.05.2019 – 19:19 +0530 – sinhala.adaderana.lk)

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට බුද්ධි අංශ පවත්වාගෙන ගිය ක්‍රමවේදය යළි ස්ථාපිත කළ යුතු බව අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ හිටපු සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලේක් මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ හිටපු අමෙරිකානු තානාපතිවරයෙකු ද වන බ්ලේක් මහතා මේ බව පැවසුවේ, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී දේශනයක් පවත්වමින්.

එහිදි ඒ මහතා පැවසුවේ 2001 වසරේ සැප්තැම්බර් 11 සිදු වු ප්‍රහාරයෙන් අමෙරිකාව උගත් පාඩමෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ රැසක් ලබාගන්නට හැකි බවය.

එමෙන්ම එම ප්‍රහාරය තම රටේ සිදුවු විශාලතම අත්වැරැද්ද බවද ඔහු පැවසීය.

එහිද වැඩිදුරටත් අදහස් දැක්වු රොබට් ඕ බ්ලේක් මහතා :

‘‘එහිදි බුද්ධි අංශ සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන විශේෂයෙන් FBI සහ CIA සංවිධානය සහ විවිධ නීති ක්‍රියාත්මක කරවන ආයතන අතර නිසි සන්නිවේදනයක් සිදුකිරීමට අසමත්වුණා.

එබැවින් අන්තර් ආයතන සන්නිවේදනය හා සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම සඳහා ජනාධිපති බුෂ් නව කමිටුවක් පිහිටුවීමට නියෝග කළා.

එමෙන්ම එක් එක් පුද්ගලයාට තනි තනිව මෙහිදි වගකීම් පැවරීම සිදුකෙරුණා. මේ නිසා එදා සිට කිසිදු විදේශ ත්‍රස්ත කණ්ඩායමක් අද දක්වා සාර්ථක ත්‍රස්ත ප්‍රහාරයක් අපට එල්ල කළේ නැහැ.

අපිට දේශිය වශයෙන් ත්‍රස්ත ක්‍රියාකාරකම් සම්බන්ධ ගැටලු පැවතුණත්. අයි.එස්.අයි.එස් සහ අල්-කයිඩා වැනි සංවිධාන පැරිසිය සහ වෙනත් තැන්වලදි ප්‍රහාර දියත් කළත් අපට ප්‍රහාර එල්ල කිරිමට අපොහොසත් වුණා.

ඇත්තටම මම හිතන්නේ මෙවැනි ඉහළ පෙළේ කණ්ඩායමක් සෑදිම තුළින් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලබාගත හැකියි. සැබැවින්ම අතීතය ගැන කතා කළොත් මෙවැනි කණ්ඩායමක් ඔබ සතුව සිටියා යුද්ධය පැවැති සමයේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ධූරයේ කටයුතු කරන අවධියේ.

ඔහු පෞද්ගලිකව එය හෙඹවු අතර රට පුරා විහිදුණු බුද්ධි අංශවලින් ලබාගන්නා තොරතුරු බෙදාහදාගෙන එම තොරතුරු ජ්‍යෙෂ්ඨ මට්ටමේ පිරිස් දක්වා ලබාදෙනු ලැබුවා.

ඔවුන් එහිදි එම තොරතුරු විශේෂ අධ්‍යනයකට ලක්කෙරු අතර ඒ තුළින් ප්‍රහාරයන් එල්ල නොවිමට වගබලා ගනු ලැබුවා.

මම හිතන්නේ වත්මන් ආණ්ඩුව ඒ අයුරින් සිතන හා ක්‍රියාත්මකවන කිසියම් කණ්ඩායමක් නැවත ස්ථාපනය කිරිමට වගබලා ගැනීම වැදගත් කාරණයක් වනවා.

ඒ වගේම ශ්‍රී ලංකාව වඩාත් සැලකිළිමත් විය යුතු වනවා අයි.එස්.අයි.එස් හ වෙනත් අන්තවාදී ඉස්ලාම් කණ්ඩායම් ශ්‍රී ලංකාව තුළ වර්ධනය වීමට අවස්ථාව නොදීමට.’’

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *