ඡන්දහිමි ආකෘති පත්‍ර බෙදා හැරීම 15 වනදා සිට

(10.05.2019 – 12:17 +0530 – sinhala.adaderana.lk)

2019 ඡන්දහිමි නාම ලේඛන බී ආකෘති පත්‍ර බෙදා හැරීමේ කටයුතු ලබන 15 වනදා සිට ආරම්භ කරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසා සිටියි.

ඒ සම්බන්ධයෙන් දිවයින පුරා ග්‍රාම නිලධාරීවරුන් දැනුවත් කිරීමේ කටයුතු මේ වන විට අවසන් කර ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේය.

ඡන්ද හිමි නාමලේඛන බී ආකෘති පත්‍ර එකතු කිරීමේ කටයුතු ජුනි මස පළමුවනදා සිට සිදුකිරීමට නියමිතය.

මේ අතර මෙවර ඡන්ද හිමි නාම ලේඛන ආකෘති පත්‍රය සමඟ තවත් ලේඛනයක් ද මහජනතාවට සම්පූර්ණ කිරීම සඳහා ලබාදෙන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

ඒ අනුව ආකෘති පත්‍ර රජයට අමතරව ලබාදෙන ලේඛනයේ වයස අවුරුදු 15 සිට 18 දක්වා වූ පිරිස් සම්බන්ධයෙන්ද තොරතුරු ඇතුළත් කළ යුතුය.

ආබාධිත පුද්ගලයින් සීටි නම් ඒ සම්බන්ධයෙන් වන තොරතුරු ද එම ලේඛණයේ ඇතුළත් කළ යුතු බව සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේය.

මෙරට මේ වන විට ආබාධිත පුද්ගලයින් සම්බන්ධයෙන් නිසි දත්ත පද්ධතියක් නොමැති වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

මැතිවරණ අවස්ථාවන්වලදී ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවිශ්ඨ වීම සඳහා ආබාධිත පුද්ගලයින්ට පහසුකම් සැළසීම මෙම වැඩපිළිවලේ අරමුණ බව මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේය ෴

*****************************************

මෙතරම් අඤ්ඤකොරොස් කේස් එකක් 2015 දී ජනාධිපති කලේ ඇයි.. විමල් අසයි.. චන්ද්‍රිකා තමයි මේ කොඩිවිනේ ගෙනාවේ.. ෆොන්සේකා කියයි..- පාර්ලිමේන්තුවම සිනාසේ..

(10.05.2019 – 14:10 +0530 – lankacnews.com)

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අතර පාර්ලිමේන්තුවේ දී ඇතිවූ සංවාදයක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියළු දෙනාම උස් හඬින් සිනහසුනහ.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වූ පාර්ලිමේන්තු විවාදයේදී සරත් ෆොන්සේකා මහතා අදහස් දක්වමින් සිටියේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා විසින් අසන ලද ප්‍රශ්නයක් නිසා මෙම සිදුවීම සිදු විය.

‘‘2015දී මේ මනුස්සයා ජනාධිපති කරන්න යනකොට මේක අඤ්ඤකොරොස් කේස් එකක් කියල හිතුණේ නැද්ද ?’’ විමල් වීරවංශ මන්ත්‍රීවරයා විමසුවේ ෆොන්සේකා මහතා විසින් දිගින් දිගටම ජනාධිපතිවරයාට විවේචනාත්මකව චෝදනා කරමින් සිය අදහස් පළ කරද්දී ය.

ඊට ප්‍රතිචාර දක්වමින් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ :

‘‘නෑ හිතුනා. මම අගමැති එක්ක මේ ගැන තුන් පාරක් කතා කලා. චන්ද්‍රිකා මැතිණිය තමයි මේ කොඩිවිනේ ගෙනැල්ලා අපි මේ තත්වෙට පත් කලේ’’

එම වීඩියෝව :

https://www.facebook.com/andureneliyata/videos/2347938325531527/

+++++++++++++++++++++++++++++++++++++

ත්‍රස්ථවාදීන් සමඟ සබඳතා පැවැත් වු සැකකරුවෙක් කොළඹින් අල්ලයි – දෙහිවල සුපිරි නිවසක් – ලක්ෂ 83 ක මුදල් හා රන් භාණ්ඩත් ඒ අතර

(10.05.2019 – 16:31 +0530 – sinhala.adaderana.lk)

කොම්පඤ්ඤ වීදියේ පොලිස් ස්ථානය මඟින් ත්‍රස්ථ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

අද (10) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අතර තුර ඔහු මෙම අදහස් පළ කළේය.

ඊයේ (09) දිනයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පාස්කු ඉරිදා ප්‍රහාරකයින් සමඟ සබඳතා පැවැත්වූ බවට මෙම සැකකරන මොහු බුහාරි මොහොමඩ් රාෆික් නැමැත්තෙකි.

ගල්විහාර පාර, දෙහිවල යන ලිපිනයේ පදිංචිකරුවෙක් වන මෙම සැකකරු ත්‍රස්ථවාදී කණ්ඩායම සමඟ සම්බන්ධකම් ඇති බවට ලද තොරතුරු මත මෙම සෝදිසි මෙහෙයුම සිදු කර තිබේ.

ටී.බී.ජයා මාවත, කොළඹ 10 යන ලිපිනයේ ඇති පෞද්ගලික ආයතනයේ ඇති මෙම සැකකරුගේ නිල කාමරය පරීක්ෂා කිරීමේ දී එහි තිබී රුපියල් ලක්ෂ 83 කට අධික මුදල් තොගයක් ද සොයා ගෙන ඇත.

එමෙන්ම ග්‍රෑම් 776 කට අධික එනම් පවුම් 97 ක් පමණ වන රන් ආභරණ තොගයක් ද සොයා ගෙන තිබේ.

එමෙන්ම සැකකරුගේ දෙහිවල පිහිටි සුපිරි නිවසක් හා බැංකු ගිණුම් කීපයක් අනාවරණය කර ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මොහු රඳවා තබා ගනිමින් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි ෴

+++++++++++++++++++++++++++++++++++++

කිසියම් මොහොතක මුස්ලිම් ජනතාවට අත තැබීමට යෑම මේ ප්‍රශ්නය තුළ සියදිවි නසා ගැනීමක්

(10.05.2019 – 18:38 +0530 – sinhala.adaderana.lk)

ඉස්ලාම් අන්තවාදය නිර්මාණය වෙන්නේ කොහේද?

ආණ්ඩුව විසින් ගන්නා වු බටහිර ගැතිවාදී තීරණ මත ඉස්ලාම් අන්තවාදය නිර්මාණය වෙන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.

වැඩි දුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ, එවැනි තීරණයක් ප්‍රතික්‍රියාවක් ලෙස ලංකාවට බලපාන බවත් එය හඳුනා ගත යුතු බවයි.

අන්තවාදය ප්‍රධාන වශයෙන් බිහි වන්නේ අන්තර් ජාතික දේශපාලනය තුළ බව ද පැවසූ රතන හිමි, දේශපාලනයේ දී ගනු ලබන තීරණ ඉතා වැදගත් බව ද පැවසීය.

මේ වෙලාවේ අමෙරිකාවට ඉඩම් ලබා දෙන ප්‍රතිපත්ති ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ නොසැඳිය යුතු බවත් එවැන්නක් සිදු කිරිමට ඔවුන්ට කිසිදු අයිතියක් නොමැති බව ද පැවසීය.

එවිට සිදුවන්නේ ඇමෙරිකාවේ කඳවුරු ත්‍රිකුණාමලයේ පිහිටු වීම තුළ ලෝක ඉස්ලාම් ත්‍රස්ථවාදීන්ගේ ගොඳුරක් නැතිනම් ප්‍රහාරයක් බවට ලංකාව පත්වෙන බව ද පැවසීය.

ඉස්ලාම් ජනතාව කුමක් ද කළ යුත්තේ?

මෙවැනි තත්ත්වයක් ගැන ඉස්ලාම් දේශපාලනඥයින් පාර්ලිමේන්තුවේ දන්නා තරමින් කථා කර නොමැති බවත් පැවසු රතන හිමියන් මුස්ලිම් සමාජය තුළින් රට ගැන හිතන ලෝකය ගැන දැනුවත් අලි ෂබ්රි මහතා වැනි ප්‍රබුද්ධ සමාජ ව්‍යාපාරයක් අවශ්‍ය බවද පැවසීය.

ප්‍රතිත්‍රස්ථ විරෝධි පනත ?

මේ වන විට පාර්ලිමේන්තුවේ මේ ගැන සාකච්ඡා කරන බවත් පැවසු රතන හිමියන් මෙම පනත තුළින් මානව හිමිකම්වල නාමයෙන් බුද්ධි අංශ විනිවිද යා හැකි පරිදි ජාත්‍යන්තර සංවිධානවලට ඉඩ ලබා දීම බව ද පැවසීය.

පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේ මේ පිළිබඳ සාකච්ඡා කරන බවත්, මෙය සිදු කිරීම තුළ බුද්ධි අංශවලට ස්වාධීනව එම කටයුතු කිරීමට ඇති හැකියාව වැලකෙන බව ද උන්වහන්සේ පැවසීය.

අද ආණ්ඩුවට ඇත්තේ කෙටි කාලයක් බවත්, හැකි ඉක්මනින් ජනමතයට ඉඩ දී මේ රට ස්ථාවර වන වැඩපිළිවෙලකට යා යුතු බව ද සඳහන් කළ රතන හිමියන්, ඉක්මනින් මැතිවරණයක් පවත්වා රටේ ජනතාවට තීරණය කිරීමේ හැකියාව ලබා දිය යුතු බවද පැවසීය.

දෙමළ ළමයි 500 කට ඉස්ලාම් දහම ඉගැන්වීම කවුද දන්නේ?

වතුකරයේ දෙමළ ළමුන් 500 කට වසරක් පුරා කිසිවෙකුට හොරොන් ඉස්ලාම් දහම උගන්වා ඇති බවත් එවැනි දෙයක් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හෝ නොදන්නා බවද පැවසු උන්වහන්සේ බුද්ධි අංශවල මෙහෙයවීමෙන් ආරක්ෂක අංශ මෙම තත්ත්වය ඉතා හොඳින් පාලනය කර ඇති බවත් පැවසීය.

ප්‍රශ්නය ඇතේතේ කොහේද ?

මෙවැනි මතවාදයක් ගොඩනගන සංවිධාන බිලියන ගාණක් ධනය යොදමින් ලංකාව තුළ එය සිදු කර ඇති බවත්, ඔවුන් දේශන පවත්වමින් නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලයක් නිර්මාණය කර ඇති බවත් එය නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා මහතාගේ පවුලේ විශ්වවිද්‍යාලයක් බව ද රතන හිමියන් පැවසීය.

පළමුව කළ යුත්තේ මෙම විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීම බව ද පැවසු උන්වහන්සේ මෙය සෑදීමට ආධාර දුන් සෞදි සංවිධානය ගැන ජාත්‍යන්තර වශයෙන් මෙවැනි රටවල් කීයක ත්‍රස්ථවාදය පතුරවා ඇත්දයි පරීක්ෂණයක් කර සොයා බැලිය යුතු බව ද සඳහන් කළේය.

එවැන්නක් නැතුව විශ්වවිද්‍යාලය පවත්වාගෙන යෑම වැරැද්දක් බව ද පවසන රතන හිමියන්, හිස්බුල්ලා මහතාගේ ආණ්ඩුකාරධූරය වහාම තාවකාලිකව අත්හිටුවිය යුතු බව ද පැවසීය.

රිෂාඩ් බදුයුර්දීන් අමාත්‍යවරයා ගැන ප්‍රශ්න ගොඩක් ඇති බවත් වහාම නීතිය ක්‍රියාත්මක වී නීතිය ඉටු කිරිමට රනිල් වික්‍රමසිංහ මහතා ඉඩ දිය යුතු බව ද රතන හිමියන් පැවසීය.

කොළඹ අසාද් සාලි මහතා ගැන විවිධ කථා ඇතිව තිබෙනවා මෙවැනි ප්‍රශ්න කරන මුස්ලිම් දේශපාලනඥයින් තාවකාලිව එම තනතුරුවලින් ඉවත් කළ යුතු බව ද පැවසු රතන හිමියන් පසුව එම තත්ත්වය විසඳා ගත හැකි බවද පැවසීය.

සිංහල ජනතාව සංසුන් කිරීමට යෑමෙන් ඵලක් නොමැති බව ද පැවසු උන්වහන්සේ කිසියම් මොහොතක අපි මුස්ලිම් ජනතාවට අතතැබීමට යෑම මේ ප්‍රශ්නය තුළ සියදිවි නසා ගැනීමක් බව ද සඳහන් කළේය.

පසුගිය කාලයේ ශ්‍රී මහා බෝධියට හෝ දළදා මාළිඟයට බෝම්බ ප්‍රහාර එල්ල කළ පමණින් අපි දෙමළ ජනතාවට ප්‍රති ප්‍රහාර එල්ල නොකල බවද පැවසු උන්වහනේසේ මෙම ත්‍රස්ථ සංවිධානවලට මුදල් එන විඳිය ගැන සොයා බැලීය යුතු බව ද පැවසීය.

ආරාබිය වැනි රටවල තිබෙන මුදල් කෝටි ගණනක් ලංකාවට ඇඳී එන බවත් මුස්ලිම් ජනතාව හා එක්ව මෙය වැලැක්වීමට වැඩසටහනක් සැකසිය යුතු බවත් උන්වහන්සේ මෙය ජාත්‍යන්තර දේශපාලන වැඩසටහනක් බවත්, මේ සඳහා ප්‍රබුද්ධ මුස්ලිම් ජනතාව දිනා ගැනීම තුළින් එය ඉටු කර ගත යුතු බව ද පැවසීය.

අද (10) කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති උත්සවයක් අතර තුර රතන හිමියන් මේ බව පැවසීය.

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ථවාදය මේ වන විට මහා පරිමාණයෙන් ලංකාව තුළට කඩා වැටී ඇති බැවින් මෙම තත්ත්වය මුළුමනින්ම වළක්වාලීම පෙරදැරි කර ගනිමින් ශ්‍රී ලංකා ජාතික සභාව විසින් ‘‘පංචවිධ ජාතික සැලැස්මක්’’ එළිදක්වා තිබේ.

එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ජාතික මහා සභාවේ සභාපති, පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, අගරදගුරු මැල්කම් රංජික් කාදිනල් පියතුමන් ඇතුළු සමාජ සංවිධානවල නියෝජිතයින් රැසක් එක්ව සිටියේය.

+++++++++++++++++++++++++++++++++++++

අතුරු වාර්තාවෙන් පසුව වැල්ලම්පිටිය පොලිස් නිලධාරීන්ට දැඩි විනය පියවර

(10.05.2019 – 17:48 +0530 – sinhala.adaderana.lk)

වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලවේ සේවකයින් නව දෙනාට ඇප ලබාදීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මඟින් ඒ පිළිබඳව අතුරු වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පසුව වගකිවයුතු නිලධාරීන්ට දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

මේ අතර අදාල කර්මාන්ත ශාලවේ භාණ්ඩ තොගයක් පසුගියදා යම් කිසි පිරිසක් විසින් කන්ටේනර් රථ මඟින් රැගෙන ගොස් ඇති බව අංගොඩ මුල්ලේරියාව සිවිල් ආරක්ෂක කමිටුව චෝදනා කරනු ලබයි.

පාස්කු ඉරුදින ෂැන්ග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ලකළ බෝම්බකරු වන ඉන්සාම් අහමඩ් නැමත්තාට අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවකයින් 10 දෙනෙකු පසුගියදා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළේය.

අනතුරුව ඔවුන්ගෙන් නව දෙනෙකු ඇපමත නිදහස් කිරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ වැල්ලම්පිටිය පොලිසීය විසින් ඔවුන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් නොකිරීම නිසයි.

එවන් පසුබිමක අදාල තඹ කර්මාන්ත ශාලවේ භාණ්ඩ තොගයක් දින කිහිපයකට පෙර කන්ටේනර් රථවලින් රැගෙන ගිය බව අංගොඩ මුල්ලේරියාව සිවිල් ආරක්ෂක කමිටුව පසුගිය 04 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණ කළේය.

වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවකයින් 9 දෙනෙක්ට ඇප හිමි වීම සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලීසිය ගැන සිදු කරන විමර්ශන පොලිස් මුලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මඟින් ක්‍රියාත්මක කරමින් සිටින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කීප දෙනෙකුගේ ප්‍රකාශ මේ වන විට සටහන් කර ගෙන ඇති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය ෴

+++++++++++++++++++++++++++++++++++++

සයින්දමරුදුවල මිය ගිය ත්‍රස්ථවාදීන් සැඟවු පුපුරණ ද්‍රව්‍ය තොගයක් කාන්තාන්කුඩි වෙරළෙන් ගොඩ ගනී

(10.05.2019 – 17:16 +0530 – sinhala.adaderana.lk)

කල්මුනේ සයින්දමරුදු ප්‍රදේශයේ පුපුරා ගැනීම සිදු කර ගත් ත්‍රස්ථවාදී කණ්ඩායම විසින් සඟවා තබා තිබූ තවත් පුපුරණ ද්‍රව්‍ය කීපයක් අද (10) පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

බුද්ධි අංශවලට ලද තොරතුරක් මත මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගෙන ඇත්තේ වෙරළ පාර, කාන්තන්කුඩි 6 ප්‍රදේශයේ වෙරළ තීරයේ වලදමා තිබිය දී බව ද වාර්තා වෙයි.

අද කොළඹ පැවති ආරක්ෂක තත්ත්වය පිළිබඳ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මෙම අදහස් පළ කළේය.

මෙම ත්‍රස්ථවාදීන් විසින් සඟවා තබන ලද කිසිදු ද්‍රව්‍ය හෝ ආයුධයක් ඉතිරි වීමට ඉඩ නොතබා ඒ සියල්ල සොයා ගන්නා බවත්, ඒ සියල්ල රට හමුවේ පවසන බවත් මේ මොහොතේ සහතික වන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

එමෙන්ම පුපුරණ ද්‍රව්‍ය පමණක් නොව ත්‍රස්ථවාදීන් පිරිස හා සම්බන්ධකම් පවත්වන සියලු දෙනා අත්අඩංගුවට ගැනීමටත් ක්‍රියා කරන බවත්, ඔවුන් සතු කුමන හෝ දේපළක් ඇත්නම් එ්වා ද අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය ෴

+++++++++++++++++++++++++++++++++++++

සහරාන් හෂීම්ගේ දියණියත් DNA පරික්ෂණය සඳහා කොළඹට

(10.05.2019 – 16:25 +0530 – sinhala.adaderana.lk)

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ දියණියගේ රුධිර සාම්පල ලබාගෙන ඩී.එන්.ඒ වාර්තාවක් කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ ඉල්ලීමක් සලකා බැලු කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා එම නියෝගය ලබා දුන් බවයි අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.

මරාගෙන මැරෙන බෝම්බකරුවන්වන් පදිංචිව සිටි ගල්කිස්ස සහ කොල්ලුපිටිය ප්‍රදේශවල පිහිටි නිවාස සහ ෂ්‍රැංග්‍රිලා හෝටලයේ නවාතැන්ගෙන සිටි කාමරයේ තිබු ඇඳුම් පැළදුම් ඇතුළු නඩු භාණ්ඩ සම්බන්ධයෙන් ජෛව විවිධත්ව වාර්තා කැඳවීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බෝම්බකරුවන්ගේ පවුල්වල ඥාතීන්ට අයත් රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයකට ආසන්න වටිනාකමක් ඇති රන් ආභරණ සම්බන්ධයෙන් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වාර්තාව ලැබී ඇති අතර ඒවා රාජසන්තක කිරීමට පියවර ගෙන ඇති බව පොලීසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත ෴

+++++++++++++++++++++++++++++++++++++

ගුවන් මගීන් ඉවසීමෙන් කටයුතු කරන්න

(10.05.2019 – 15:30 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟම කටුනායක ගුවන් තොටුපළේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පියවර ගත් බවත්, එහිදී ගුවන් මගීන්ට 100% ක පහසුකම් පෙර දා මෙන් සැළසීම අපහසු වී ඇති බැවින්, ගුවන් මගීන් ඉවසීමෙන් කටයුතු කළ යුතු බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ධම්මික රණතුංග මහතා පවසයි.

අද (10) උදෑසන කටුනායක ගුවන් තොටුපළේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව කටුනායක ගුවන් තොටුපළ “සිල්ක් රූට්”විශේෂ අමුත්තන්ගේ මැදිරි ශ්‍රවණාගාරයේ දී පැවැත්වූ අතර , එයට දෙස් – විදෙස් මාධ්‍යවේදීන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගුවන් තොටුපළ සභාපතිවරයා මේ බව පැවසීය.

ගුවන් හමුදාව, යුද හමුදාව, පොලීසිය, ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන්, රාජ්‍ය බුද්ධි අංශ සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් ඇතුළත් ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කර, ඔවුන්ගේ දැනුම අනුව නව ආරක්ෂක වැඩපිළිවෙළ සම්පාදනය කර ඇති බවත් පැවසීය.

මෙහිදී මුළින්ම ගුවන් තොටුපළ ආරක්ෂාව සඳහා ප්‍රමුඛත්වය ලබා දීම සිදු කෙරෙන අතර, දෙවනුව ගුවන් මගීන්ගේ පහසුකම් පිළිබඳව අවධානය යොමු කර ඇති බවද පැවසීය.

එහිදී මෙම කරුණු දෙක පිළිබඳව සමබරතාවයකින් යුතුව කටයුතු කිරීම අපහසු වී ඇති අතර, වැඩි බරක් ගුවන් තොටුපළ ආරක්ෂාව සඳහා යොදවා ඇති බවද පැවසීය.

මීළඟට අදහස් දැක්වූ ගුවන් තොටුපළ කළමනාකරණ ප්‍රධානී එච්.එස්.හෙට්ටිආරච්චි මහතා ඉකුත් 21 දින සිට ගුවන් තොටුපළ ගත් ක්‍රියාමාර්ග රූප රාමු සහිතව මාධ්‍යවේදීන්ට ගෙනහැර දැක්වීය .

එහිදී මුළින්ම ගුවන් තොටුපළ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විවිධ පියවර රැසක් ගත් අතර, ඒ නිසා ගුවන් මගීන්ට අපහසුතා ඇති වූ බවද තමා පිළිගන්නා බවද පැවසීය.

දෙවනුව ගුවන් යානා ප්‍රමද වීම් සහ අවලංගු වීම් නොමැති වන ආකාරයට දෛනික කටයුතු බාධාවකින් තොරව පවත්වා ගැනීමට අප කටයුතු කළා. මේ සදහා ගුවන් තොටුපළ සේවකයින් කැපවීමෙන් තම සහයෝගය ලබා දුන්නා.

ගුවන් තොටුපළට පිවිසීමේ දී අමතර ආරක්ෂක කටයුතු නිසා ඇති විය හැකි ප්‍රමාද වීම් අවම කිරීම සඳහා තම ගුවන් යානය පිටත්වීමට පැය 04 කට ගුවන් තොටුපළ වෙත මගීන්ට පැමිණ සිටින ලෙසද කළමනාකරණ ප්‍රධානීවරයා දැනුම් දුන්නේය.

ගුවන් තොටුපළ වෙත පිවිසෙන මගීන් තම පවුලේ උදවිය සහ හිතවතුන් රැගෙන ඒමෙන් වලකින ලෙසත්, ඔවුන්ට ගුවන් තොටුපළ වෙත පිවිසීමට අවසර නොමැති බවද දැන්වීය.

කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යන මගීන් සඳහා අනුගමනය කරන නව ආරක්ෂක ක්‍රියාමාර්ග රැසක් ද එතුමා සඳහන් කළේය.

මුළින්ම ගුවන් තොටුපළ වෙත පිවිසෙන වාහන ප්‍රධාන පිවිසුමේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පරීක්ෂා කෙරෙන අතර, පසුව පිටත්වීමේ පර්යන්තය ආසන්නයේ දී ගුවන් මගීන් ඔවුන් පැමිණි වාහන වලින් බස්සවා, ඔවුන් රැගෙන ආ භාණ්ඩ සහ ගමන් මලු විශේෂ පරීක්ෂාවකට ලක් කෙරෙන බව පැවසීය .

එහිදී ගුවන් මගීන්ගේ සහය සඳහා භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන ට්‍රොලි රථ සහ ඒවා රැගෙන යන පෝටර්වරුන් ද එම ස්ථානයේ රඳවා සිටින බවද දැන්වීය.

මෙසේ ගුවන් තොටුපළ වෙත පිවිසෙන තනි තනි පුද්ගලයන් සහ කණ්ඩායම් වශයෙන් පැමිණෙන පිරිස් වෙන වෙනම මං තීරු ඔස්සේ රැගෙන විත් පරීක්ෂා කරන බවද වැඩිදුරටත් සදහන් කළේය.

මෙහිදී මගීන්ගේ ගමන් මලු සහ භාණ්ඩ පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය එක්ස්-කිරණ යන්ත්‍ර දිනක් වැනි කෙටි කාළයක් තුළ පිටත්වීමේ පර්යන්තයෙන් පිටත සවි කිරීමට කටයුතු කළ ගුවන් තොටුපළ ඉංජිනේරු අංශයේ සේවක පිරිස් වෙත කළමකාර ප්‍රධානීවරයා සිය ප්‍රසංශාව ප්‍රකාශ කළේය.

මීට අමතරව එම පිටත්වීමේ පර්යන්තය ආසන්නයේ මගීන් වැසි, පිනිවලින් ආරක්ෂා කිරීම සඳහා විශේෂ ආවරණයක් සකස් කර ඇති බවද පැවසීය.

තවද ගුවන් තොටුපළ ප්‍රධාන පිවිසුමේ සිට පිටත්වීමේ පර්යන්තය දක්වා මගීන් සහ ඔවුන්ගේ භාණ්ඩ රැගෙන යෑම සදහා නොමිලේ සපයන අභ්‍යන්තර බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇති බවද ඔහු අනාවරණය කළේය.

මෙම ක්‍රියාමාර්ග නිසා ගුවන් තොටුපළ තුළ හට ගන්නා වාහන තදබදය අවම කිරීම සඳහා ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ සිට මිනුවන්ගොඩ මහා මාර්ගය දක්වා ක්ෂණිකව ඉදි කර දුන් සේවා අංශයේ සේවක පිරිස් වෙත ද තම කෘතඥතාව පළ කළේය.

මීට අමතරව පිටත්වීමේ පර්යන්තය තුළ දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන වෛද්‍ය සේවාවක් ද , ගුවන් මගීන්ට අවශ්‍ය තොරතුරු සහ අවශ්‍ය මග පෙන්වීම් සදහා විශේෂ ගුවන් තොටුපළ කාර්යය මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් ද යොදවා ඇති බවද පැවසීය.

මෙහිදී ගුවන් තොටුපළ වෙත ගුවන් මගින් පැමිණ, පිටත්ව යන මගීන්ගේ රථ වාහන නැවැත්වීම සදහා දුරස්ථ රථ ගාල් දෙකක් හදුන්වා දී ඇති අතර , පැම්ණීමේ පර්යන්තයේ සිට එම රථ ගාල් වෙත නොමිලේ ක්‍රියාත්මක වන අභ්‍යන්තර බස් රථ සේවාවක් හදුන්වා දී තිබේ .

මෙම අභ්‍යන්තර බස් රථ සේවාව සදහා වායු සමනය කළ නවීනතම බස් රථ 06 ක් යොදවා තිබේ .

ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ සිට පිටතට යන මගීන්ගේ වාහන තදබදයකට ලක් වුවහොත් , එහිදී අලුතෙන් ඉදිකර ඇති විකල්ප මාර්ග භාවිතා කළ හැකි පහසුකම් සළසා තිබේ .

මීට අමතරව පැමිණීමේ පර්යන්තයේ පිටත ආලින්දයේ සිට ප්‍රවාහන පහසුකම් නොමැති ගුවන් මගීන් සදහා කුළී රථ සේවාවක් මෙන්ම, නගරාන්තර සුඛෝපභෝගී බස් රථ සේවාවක්ද හඳුන්වා දී තිබෙන බවද හෙතෙම පැවසීය.

මෙම සිද්ධිය නිසා සංචාරකයන්ගේ පැමිණීම අඩු වී තිබුණත් එය යථා තත්වයට පත් කිරීම සඳහා ගුවන් සමාගම් නියෝජිතවරුන් සමග තමන් සාකච්ඡා කරන බවද පැවසීය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *