අන්තවාදය වපුරමින් බොරු ගොතමින් පත්තර ගෙන යන දුෂ්ඨ ව්‍යාපාරයට ජනපති අගමැති දෙදෙනාම එක්ව ‘දෙහි කපති’

(21.10.2017 – 23:45 +0530 – lankaenews.com)

උතුරු පළාතේ වැසියන් කෙන්ද්‍ර කරගෙන වවුනියාවේ පැවති නිල මෙහෙවර ජනපති ජනතා සේවය ජාතික වැඩ සටහන සමාප්ති උළෙලට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් 21 දා පෙරවරුවේ වවුනියාව සෛවප්‍රකාශ මහා විද්‍යාලයීය භූමිය වෙත පැමිණි අතර එහිදී ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් දෙදෙනාම නව ව්‍යවස්ථාව පාදක කරගෙන බොරු මිථ්‍යා මත වපුරමින් සිංහල පුවත් පත් ගෙන යන දුෂ්ඨ කුමන්ත්‍රණයට දෙහි කැපුවෝය.

ජනාධිපතිවරයා කියා සිටියේ යළි යුද්ධයක් ඇති වීම වැළැක්වීමට නම් බලය බෙදා හැරීම සිදුකළ යුතු බවත් එය කරන්නට ඉඩ නොදී අද ජාතිවාදය වපුරන අය අනාගතයේ යුද්ධයක් ඇති වුවහොත් ඊට වගකිව යුතු බවයි. පත්තර පිටු 20 ක් තිබේනම් අද ඒ සියල්ලෙන්ම ජාතිවාදය වපුරන බවත් අඩුම ගණනේ පිටු 10 කින් ඕනෑම මතයක් කියා ඉතිරි පිටු 10 න් ආණ්ඩුවේ මතයට ඉඩක් දිය යුතු යැයිද ජනාධිපතිවරයා පැවසීය. දැන් කරන්නේ පිටු සියල්ලම භාවිතා කර බොරු වපුරන බවද ජනාධිපතිවරයා කීය. නිල මෙහෙවර ගැනද කතා කරමින් ජනාධිපතිවරයා රජයේ නිලධාරීන්ගෙන් ඇසුවේ මේ කටයුතු කිරීමට (ඉඩම් බලපත්‍ර දීම වැනි) නිල මෙහෙවර එනතුරුම සිටිය යුතුද කියා ය.

මෙහිදී කතා කළ අගමැතිවරයාද අන්තවාදය වපුරන පත්තර වල ක්‍රියාව දැඩි සේ විවේචනය කෙළේය. සමාජයේ අන්තවාදී පිරිස් දෙපාර්ශවයේම සිටින බව ගැටළුවක් නැති බවත් ආණ්ඩුවක් කටයුතු කරන්නේ ඒ අතර මැද අන්තවාදී නොවන අවස්ථාවක් සෙවීමට බවත් කී අගමැතිවරයා පත්තරවලින් ඇසුවේ අතරමැද ස්ථානය ශක්තිමත් නොකර අන්තවාදය ශක්තිමත් කරන්නේ මන්ද කියා ය.

මෙම උත්සවය ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් ස්වදේශ කටයුතු අමාත්‍යංශය මගින් සංවිධානය කර තිබූ අතර, එම අවස්ථාවට ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මැති ඇමැතිවරුන් ද දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන්, උතුරු පළාතේ ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ප්‍රමුඛ එම පළාතේ දේශපාලනඥයින් ද, ආචාර්ය වික්‍රමබාහු මහතා වැනි වෙනත් දේශපාලන පක්ෂ නායකයන්ද සහභාගී වූහ.

ජනාධිපතිවරයාද අග්‍රාමාත්‍යවරයාද පිළිගැනීම සදහා දෙමළ ජාතික සන්ධානයේ එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා හා දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් හා පළාත් සභා මන්ත්‍රීවරුන්ද සහභාගි වී සිටියහ.

වවුනියාව සෛව ප්‍රකාශ මහා විද්‍යාලයට පැමිණි ජනාධිපතිවරයා මෙම සංචාරය සිහිපත් කිරීම පිණිස විදුහල් භූමියේ නා පැළයක්ද, අග්‍රාමාත්‍යවරයා සඳුන් පැළයක්ද සිටවූහ.

ජනපති නිල මෙහෙවරට සමගාමීව මාස හයක් තිස්සේ වවුනියාව ඇතුළු උතුරු ප්‍රදේශයේ වැසියන්ගේ නොවිසදුණු ගැටළු රැසකට අමාත්‍යවරුන් හා ලේකම්වරුන් වරින්වර වවුනියාවට පැමිණ විසඳුම් ලබාදුන් අතර ජනාධිපතිවරයා විසින් උතුරේ වැසියන්ට ඉඩම් බලපත්‍ර 5000 ක් බෙදා දීම සංකේතවත් කරමින් බලපත්‍ර කීපයක් බෙදා දෙන ලදී.

මෙහිදී දෙමළ පරිවර්තනය ද සමගින් ජනාධිපතිවරයා කළ කතාවේ වැදගත් කොටස් [හඬ]

ජනාධිපති වවුනියාවේදී පත්තරවල ජාතිවාදයට බැට දෙයි

ජනාධිපති වවුනියාවේදී පත්තරවල ජාතිවාදයට බැට දෙයි

Posted by Lankaenews on Saturday, October 21, 2017


———————————

මෙහිදී අගමැතිවරයා කළ කතාවේ වැදගත් කොටස් [හඬ]


—————————-







වාර්තාව සහ හඬ ඇමිණුම් – වවුනියාවේ දිනසේන රතුගමගේ
සේයාරූ දිනසේන රතුගමගේ සහ අගමැති මාධ්‍ය එ්කකය

++++++++++++++++++++++++++++++++

*****************************************

දිනසේන රතුගමගේට සාම විනිසුරු පදවියක්
(18.10.2017 – mawbima.lk)

වවුනියාව අම්බලන්ගොඩැල්ලේ දිනසේන රතුගමගේ මහතා මුළු දිවයිනටම බලපාන පරිදි සාමදාන විනිශ්චයකරුවකු වශයෙන් පසුගියදා වවුනියාව දිසා විනිසුරු සෙල්වනයගම් ලෙනින් කුමාර් මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේය.

දේශීය හා විදේශීය මාධ්‍යවේදියකු වශයෙන් කීර්තිනාමයක් හිමිකරගෙන සිටින දිනසේන රතුගමගේ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදනය පිළිබඳ ඩිප්ලෝමාධාරියකු මෙන්ම අධ්‍යාපනවේදී ගෞරව උපාධිධාරියෙක්ද වේ.

වන්නි මාධ්‍යවේදීන්ගේ සංගමයේ අනුශාසකවරයා වන මොහු යුද සමයේදී එම සංගමය බිහිකොට සහෝදර මාධ්‍යවේදීන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් පෙනී සිටි අයෙකි. ඔහු පාරම්පරික ජ්‍යෝතිෂවේදියකු වශයෙන්ද ප්‍රසිද්ධියක් උසුලයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *