යහපාලන ආණ්ඩුවේ වංචා දූෂණ තොරතුරු ‘ටොප් 10 කම්බ හොරු’ පොතේ තියෙනවා

(10.05.2019 – mawbima.lk)

යහපාලන ආණ්ඩුව බලයට පත් වී පසුගිය වසර හතරහමාර තුළ සිදු කරන ලද වංචා හා දූෂණ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය සිදු කරන ලද අධ්‍යයනයන්ගෙන් අනාවරණය කර ගත් තොරතුරු ඇතුළත් ලක්ෂ 62 ක් ජනතාවගේ සිහින බොඳ කළ ‘යහපාලන ටොප් 10 කම්බ හොරු’ නමින් ග්‍රන්ථයක් මාධ්‍යට නිකුත් කිරීම ඊයේ (09 දා) විපක්ෂ නායක කාර්යාලයේදී සිදු විය.

පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ෂෙහාන් සේමසිංහ, ඩී.වී. චානක, ආනන්ද අලුත්ගමගේ ඇතුළු මන්ත්‍රිවරු කීප දෙනෙක්ද මේ අවස්ථාවට සහභාගි වූහ.

මෙහිදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙසේද පැවැසීය :

මෛත්‍රි පාලනයක් – ස්ථාවර රටක් යන තේමාව මුල්කරගෙන දූෂණයෙන් තොර රටක් බිහි කරන බවට පොරොන්දු වී 2015 ජනවාරි 8 දින පිහිටුවූ යහපාලන ආණ්ඩුව දින 20 ක් ගත වීමටත් පෙර මහ බැංකුවේ බැඳුම්කර වංචාව සිදුකළා. මේ වංචාව කර මේ වන විට වසර 4 1/2 ක් ගත වෙලා. නමුත් තවමත් ඊට ප්‍රධාන චූදිතයන් ලෙස චෝදනා එල්ල වී ඇති අගමැති රනිල් වික්‍රමසිංහ හා හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් තවමත් නිදැල්ලේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් 2016-10-29 දින ඒකාබද්ධ විපක්ෂය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කර තිබුණත් මේ දක්වා ඒ පිළිබඳ කිසිදු පරීක්ෂණයක් හෝ විභාගයක් සිදුකර නෑ.

ඒ නිසයි අදාළ හොරකම් හා ඊට සම්බන්ධ යහපාලන ආණ්ඩුවේ අමාත්‍යවරු මෙන්ම එම හොරකම් සිදු කළ බව තහවුරු කළ හැකි සාක්ෂිද සහිතව පිටු 750 කින් සමන්විත යහපාලන ඊර්ණීර්ථී කම්බ හොරු නමැති ග්‍රන්ථය ජනතා අධිකරණයට ඉදිරිපත් කරන්නේ. ජනතාව එය අධ්‍යයනය කර ඉදිරි මැතිවරණවලදී යහපත් තීන්දුවක් ලබා දෙයි.

ටොප් 1, 5 හා 10 පැමිණිලි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිලිය. පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව මහ බැංකු බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පැමිණිල්ල ටොප් 10 වල පළමු වැන්නය. මෙම පැමිණිල්ලේ විත්තිකරුවන් ලෙස නම් කර ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය රවි කරුණානායක හා හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ය. හම්බන්තොට වරාය චීන සමාගමකට විකිණීම හරහා සිදු කරන ලද දූෂණය සම්බන්ධයෙන් අගමැතිවරයාට එරෙහිව මහින්ද යාපා අබේවර්ධන මන්ත්‍රිවරයා ඉදිරිපත් කර ඇති පැමිණිල්ල ටොප් 5 ලෙස සඳහන් කර තිබෙනවා. එම පැමිණිල්ලේ විත්තිකරුවන් ලෙස අගමැති රනිල් වික්‍රමසිංහට අමතරව අමාත්‍ය මලික් සමරවික්‍රම හා අගමැති ආර්ථික උපදේශක ආර්. පාස්කරලිංගම්ද නම් කර තිබෙනවා. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට ගල් අඟුරු සැපයීමේදී රජයට රුපියල් මිලියන 5,000 ක් පාඩු කර ඇති බවට විදුර වික්‍රමනායක මන්ත්‍රිවරයා අගමැති රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය මලික් සමරවික්‍රම, අගමැති ආර්ථික උපදේශක ආර්. පාස්කරලිංගම් යන අය විත්තිකරුවන් කරමින් ඉදිරිපත් කර ඇති පැමිණිල්ල ටොප් 10 ලෙස සඳහන් කරලා තියෙනවා.

රවි කරුණානායක අමාත්‍යවරයාට එරෙහිව ටොප් 10 න් යටතේ පැමිණිලිවලින් දෙවැනි හා 8 වැනි පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ. සිය අමාත්‍ය බලතල පාව්චිචි කරමින් පෞද්ගලික ව්‍යාපාර සඳහා වාහන ආනයනය කර රජයට වංචා කිරීම යටතේ රමේෂ් පතිරණ මන්ත්‍රිවරයා ඉදිරිපත් කර ඇති පැමිණිල්ල ටොප් 10 න්වල දෙවැන්නය. එහි විත්තිකරුවන් ලෙස රවි කරුණානායක අමාත්‍යවරයාට අමතරව හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ද නම් කර ඇත. උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා විසින් රවි කරුණානායක අමාත්‍යවරයා හා හර්ෂ ප්‍රනාන්දු ද සිල්වා යන අය විත්තිකරුවන් කරමින් ටොප් 8 පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ රජයට පාඩු සිදු කරමින් සිදුකරන වාහන කැබලි කිරීමේ ජාවාරම සම්බන්ධයෙන්.

ධීවර අමාත්‍යවරයාව සිටියදී රාජිත සේනාරත්න මහතා මෝදර ධීවර වරාය බදු දීම හා ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා වංචනික ලෙස නැව් අටක් ගෙන්වීම යන චෝදනාව යටතේ රංජිත් ද සොයිසා මන්ත්‍රිවරයා ඉදිරිපත් කර ඇති පැමිණිල්ල ටොප් 9-1 ලෙස නම් කර ඇත. ටොප් 9-2 ලෙස රංජිත් ද සොයිසා මන්ත්‍රිවරයා රාජිත සේනාරත්න මහතාට චෝදනා කර ඇත්තේ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස සිදුකරන ඖෂධ මාෆියාව සම්බන්ධයෙනි.

අමාත්‍ය මලික් සමරවික්‍රම මහපොළ භාර අරමුදලෙන් මුදල් වංචා කිරීම පිළිබඳව චෝදනා කරමින් සිසිර ජයකොඩි මන්ත්‍රිවරයා ඉදිරිපත් කර ඇති පැමිණිල්ල ටොප් 3 ලෙස හඳුන්වා තිබෙනවා. ටොප් 4 පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ තලතා අතුකෝරල අමාත්‍යවරියට එරෙහිව නිරෝෂන් ප්‍රේමරත්න මන්ත්‍රිවරයාය. එහි චෝදනාව වී ඇත්තේ මැද පෙරදිග යන ශ්‍රමිකයන් සඳහා වූ රක්ෂණ ක්‍රමයෙන් මුදල් වංචා කිරීමයි. ටොප් 6 චෝදනාව එල්ල වී ඇත්තේ අමාත්‍ය කබීර් හෂීම් මහතාටයි. කනක හේරත් මන්ත්‍රිවරයා මෙම චෝදනාව එල්ල කරමින් සඳහන් කරන්නේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඇණවුම් කරන ලද එයාර් බස් ගුවන් යානා අවලංගු කිරීමේදී රුපියල් බිලියන 54 ක වංචාවක් සිදු කර ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර අමාත්‍ය පී. හැරිසන්ට එරෙහිව ටොප් 7 යටතේ චෝදනා එල්ල කර ඇත. වී අලෙවි මණ්ඩලය මඟින් වෙළෙඳපොළට සහ තෝරාගත් සමාගම් කීපයකට වී නිකුත් කිරීමේදී රුපියල් බිලියන 10 ක වංචාවක් සිදුකර ඇති බව එම පැමිණිල්ලේ සඳහන්ය. මේ ආකාරයට යහපාලන ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු අමාත්‍යවරු 6 දෙනකු හා අමාත්‍යවරියක 2016 වර්ෂයේ හා 2017 වර්ෂයේ මුල් කාලය තුළ රජයට සිදුකර ඇති පාඩුව රුපියල් කෝටි 1315 ක් බවද ටොප් 10 කම්බ හොරු ග්‍රන්ථයෙන් පෙන්වා දී ඇත ෴

*****************************************

අණ නොතකා ධාවනය කළ රථ දෙකකට වෙඩි ප්‍රහාර-අයෙක් මරුට

(11.05.2019 – 08:17 +0530 – sinhala.adaderana.lk)

වත්තල-හුණුපිටිය ප්‍රදේශයේ දී අණ නොතකා ධාවනය කළ මෝටර් රථ දෙකකට නාවික හමුදාව විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් එක් පුද්ගලයෙකු මිය ගොස් ඇත.

අද (11) දින අලුයමවත්තල, හුණුපිටිය නාවික හමුදා මාර්ග බාධකය ඉදිරිපිට දී වාහනයක් පරීක්ෂා කිරීමට ගොස් ඇති අවස්ථාවේ අණ නොතකා එම රථය රාජකාරියේ යෙදී සිට නාවික හමුදා නිලධාරියාද හප්පා පලා යාමට උත්සාහ කර ඇත.

මේ අවස්ථාවේ රථය නැවැත්වීමට තවත් නිලධාරියෙක් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ප්‍රහාරයෙන් තුවාල ලැබු රථයේ රියදුරු රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 34 ක් වු මීගමුව පාර වත්තල ලිපිනයේ පදිංචි අයෙකි.

ඉන් පැයකට පමණ පසු මෙම මාර්ග බාධකයේදීම තවත් මෝටර් රථයක් අණ නොතකා පලා යාමට උත්සහ කළ අවස්ථාවේ ද වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත.

රථයේ රියදුරු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මෙම අවස්ථ දෙකට අදාළ මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ රියදුරුවරුන් දෙදෙනාම අධික ලෙස බීමත්ව රිය පදවා ඇති බවයි.

සිදුවීම සම්බන්ධයෙන් වත්තල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි ෴

++++++++++++++++++++++++

*****************************************

ජාතික තවුහිත් ජමාද් සංවිධානය තහනම් කිරීමේ ගැසට් පත්‍රයක් තවමත් නිකුත් කර නෑ

(11.05.2019 – 07:18 +0530 – sinhala.adaderana.lk)

ජාතික තවුහිත් ජමාද් සංවිධානය තහනම් කරන බවට ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ නිකුත් කළ ද එම සංවිධානය තහනම් කරමින් ගැසට් පත්‍රයක් පල කිරිමට රජය මෙතෙක් කටයුතු කර නොමැති බව පූජ්‍ය ආනන්ද සාගර හිමි පවසයි.

උන්වහන්සේ පවසන්නේ එම සංවිධානය තහනම් කිරිමට කටයුතු නොකිරිම මගින් රජය පිළිබඳව යම් සැකයක් මතුවන බවයි.

ත්‍රස්ත විරෝධි ජාතික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් හින්දු පූජකවරුන් දැනුවත් කිරිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආනන්ද සාගර හිමි මේ බව ප්‍රකාශ කළේය ෴

*****************************************

දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයේ අනතුරකින් අයෙක් මරුට

(11.05.2019 – 09:25 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ ඉනාමලුව ප්‍රදේශයේදී අද (11) අළුයම සිදු වූ රිය අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා ඇතැයි සීගිරිය පොලිසිය පවසනවා.

මෙසේ අනතුරට පත්ව ඇත්තේ බිත්තර වී ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් සහ PVC බට ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක්.

එහි දී මියගොස් ඇත්තේ බිත්තර වී ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයේ රිය සහායකයා බව පොලීසිය සඳහන් කළා.

බිත්තර වී ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථය ප්‍රධාන මාර්ගය අසල නවතා තිබූ PVC බට ප්‍රවාහනය කළ ලොරි රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අළුයම 05:00 ට පමණ සිදුවූ මෙම රිය අනතුරෙන් බිත්තර වී ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයේ රිය සහායකයා එළියට ගැනීම සඳහා පැය දෙකක පමණ අධික කාලයක් ප්‍රදේශවාසීන් දැඩි වෙහෙසක් දැරූ බව පොලිසිය පවසනවා.

ලොරි රථයේ රියදුරු ගේ සිරුර සිර වී තිබුණු බවත් කිහිපදෙනෙකු ඔහුගේ ඔහු එළියට ගැනීම සඳහා උත්සාහ කළ ද තවත් පිරිසක් සිය ජංගම දුරකථන වලින් මෙම සිරුර වීඩියෝ ගත කරමින් සිටීම විශේෂත්වයක්.

නවතා තිබූ ලොරි රථයේ රියදුරු කියා සිටියේ තමන් බිරිඳ දරුවන් සහ මව සමඟ පොලොන්නරුව ප්‍රදේශයට මෙම ලොරි රථයෙන් ගමන් කරමින් සිටියදී රාත්‍රී කාලයේ පන්සල ආසන්නයේ නවතා නිදාගත් බවයි.

අනතුර සම්බන්ධයෙන් සීගිරිය පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

*****************************************

බස් – දුම්රිය ගැටුමින් උතුරේ දුම්රිය ගමන් නවතී

(11.05.2019 – 10:37 +0530 – lankadeepa.lk)

යාපනය කන්කසන්තුරෙයි සිට කොළඹ දක්වා ධාවනය වූ උත්තර දේවි දුම්රිය යාපනය කොඩිකාමම් කරම්බකම් මන්සංධියේදී අද (11) උදෑසන බස් රථයක් ගැටීමෙන් උතුරු දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු නැවතුණු අතර බස් රථයේ රියදුරු බරපතල තුවාල ලැබූ බවට කොඩිකාමම් පොලීසිය පවසයි.

කරම්බකම් මන්සංධියේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේදී ආලෝක සංඥාද නොසලකා හරමින් පෞද්ගලික බස් රථයක් ධාවනය කිරීමට ගත් උත්සහයකදී මෙම අනතුර සිදුව ඇති අතර එහිදී බස් රථයේ රියදුරු පමණක් සිටි හෙයින් රියදුරු බරපතල තුවාල ලබා කොඩිකාමම් රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩි දුර ප්‍රතිකාර සඳහා යාපනය මහ රෝහලට ඇතුලත්කර ඇත.

උත්තර දේවි දුම්රියේ බස් රථය ගැටීමෙන් පසුව මීටර් 50 කට වැඩි ඈතක් බස් රථය දුම්රිය මාර්ගයේ ඇදී ගොස් ඇති අතර එහිදී බස් රථය සම්පූරණයෙන්ම විනාශ වූ අතරම උත්තර දේවී දුම්රියටද හානි සිදුවිය.

එහිදී දුම්රියේ තෙල් ටැංකියට හානි සිදු වී තෙල් කාන්දු වීමක් සිදු වූ අතර දුම්රිය ගමන්ද සම්පූර්ණයෙන්ම නැවතුණි.

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු පලෙයි දුම්රිය ස්ථානය දක්වා සිදු කෙරෙන අතර හානි වූ උත්තර දේවී දුම්රිය පලෙයි දුම්රිය ස්ථානය දක්වා ඇදගෙන යාමට කටයුතු සිදු කරමින් සිටින අතරම ඉන් අනතුරුව දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවටද දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරියෙක් කියා සිටියේය.

++++++++++++++++++++++++

*****************************************

2011 සිට එච්.අයි.වී. ආසාදිත දරුවන් බිහි වී නැහැ

(11.05.2019 – 07:24 +0530 – hirunews.lk/sinhala)

2011 වර්ෂයේ සිට එච්.අයි.වී. ආසාදිත මව්වරුන්ගෙන් උපත ලබන දරුවන්ට එම වෛරසය ආසාදනය නොවීම සදහා ප්‍රතිකාර ලබාදී ඇති බව ජාතික එච්.අයි.වී. ඒඩ්ස් වැඩසටහන පවසනවා.

එහි උපදේශිකා වෛද්‍ය ලිලානි රාජපක්ෂ කියා සිටියේ ගර්භනී සමයේ මුල් කාලයේදී මවට එච්.අයි.වී. වෛරසය ආසාදනය වී ඇති බව හදුනා ගැනීම තුළින් ප්‍රතිකාර සිදුකළ හැකි බවයි ෴

*****************************************

ආණ්ඩුව මාධ්‍ය වාරණය සිදුකරන බවට සිවිල් සංවිධාන කිහිපයකින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

(10.05.2019 – 18:52 +0530 – hirunews.lk/sinhala)

වත්මන් ආණ්ඩුව මාධ්‍ය වාරණයක් සිදුකරමින් පවතින බව පවසමින් සිංහල රාවය සංවිධානය සහ තවත් සංවිධාන කිහිපයක් අද මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

පැමිණිල්ල ඉදිරිපත් කිරීම සදහා ත්‍රස්ත විරෝධී ජාතික එකමුතුවේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්, රාවණා බලය සංවිධානයේ කැදවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්, සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැදවුම්කරු නීතිඥ ප්‍රේමනාත් සී.දොලවත්ත මහතා එක්ව සිටියා.

+++++++++++++++++++++++++++++++++++++

10.05.2019

+++++++++++++++++++++++++++++++++++++

10.05.2019

+++++++++++++++++++++++++++++++++++++

නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලාට එරෙහිව, ත්‍රිකුණාමලයේ හර්තාල්

(10.05.2019 – 12:50 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් අද දිනයේ හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක වනවා.

ඒ, නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ඉවත් කරන ලෙස ඉල්ලමින්.

කන්තලේ, ත්‍රිකුණාමලය, සේරුනුවර සහ මොරවැව යන ප්‍රදේශවල අද දිනයේ මෙලෙස හර්තාල් ක්‍රියාත්මක වන බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ.

හර්තාල් ව්‍යාපාරය අතරතුර ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී බස් රථ කිහිපයකට සහ ලොරි රථ දෙකකට පහරදීම් සිදුව ඇති බව ද වාර්තා වුණා.

මේ අතර, පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකළ ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ දේශපාලනඥයන් සිටින්නේ නම්, ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. කාදර් මස්තාන් පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙරට සමස්ත මුස්ලිම් ප්‍රජාව ත්‍රස්තවාදීන් නොවන බවයි.

+++++++++++++++++++++++++++++++++++++

IS වීඩියෝව හැදුවෙ කොල්ලුපිටියේ හෝටලයේ 5 තට්ටුවේ සැමියන් මැරුණම ශෝකය සමරන්න සුදු ඇඳුම් අපි ඇඳගත්තා – සහරාන්ගේ බිරිය සාදියා

(11.05.2019 – gossiplankanews.com)

සහරාන් හෂීම්ගේ බිරිය සාදියාගෙන් හා දරුවාගෙන් මේ වනවිට සිදු කරන ප්‍රශ්න කිරීම් අනුව බෝම්බ සිද්ධියට අදාළව තවත් වැදගත් කරුණු රැසක් අනාවරණය වී තිබේ.

පරීක්ෂණ පවත්වන නිලධාරීන්ට සහරාන් මිය නොගිය බවට හා මියගිය බවට පැවති විවිධ සැකකිරීම් ගැන විමසීමේදී සාදියාගේ ප්‍රකාශ අනුව තහවුරුව ඇත්තේ සහරාන් සැබැවින්ම මියගිය බවයි.

ඔහු ආගම වෙනුවෙන් මියයාම ‘ජිහාඩ්’ වෙනවා ලෙස හඳුන්වා තිබූ අතර තමා මෙම ප්‍රහාරයෙන් මියයනු ඇති බවත් එය ඔහු කිව්වේ මං ජිහාඩ් වෙන්න යන්නේ ලෙසින් බවත් ඉන්පසු තමා වෙනුවෙන් මුස්ලිම් චාරිත්‍ර අනුව බිරියක ලෙස මාස 4 ක ‘ඉක්තා’ ශෝක කාලයක් සමරන ලෙසත් සහරාන් තමන්ට දැන්වූ බව සාදියා ප්‍රකාශ කර ඇත.

අවසාන දිනවල ඔවුන් නැවතී සිටියේ කොල්ලුපිටියේ සුපිරි හෝටලයකට සම්බන්ධ නිවාස සංකීර්ණයක බවත් එහි 5 වන මහළේ කාමර 3 ක ඒකකයක් මාස 2 ක් සඳහා මිලට ගෙන බොම්බ පිපිරුම සඳහා සූදානම්වූ අය හා පවුල්වල අය නැවතී සිටි බවත් සහරාන්ගේ බිරිය සාදියා ප්‍රකාශ කර ඇත. එම නිවස සඳහා මසකට රුපියල් 140,000 ක් ගෙවූ බවද ඇය දන්වා ඇත.

සහරාන් සහ අනෙක් අය මෙම ප්‍රහාරයේදී මරාගෙන මැරෙන බවට දිවුරුම් දීම සිදු කරන ලද්දේද එම කාමරයක සිට බවත් ඇය ප්‍රකාශ කර ඇත. එම වීඩියෝව එහිදී පටිගත කර අයිඑස් සංවිධානය වෙත යොමු කරන ලද බවත් ඇය දන්වා ඇති අතර දිවුරුම සිදු කළේ පිපුරුමට පැය 24 කට පෙර 20 වනදා බවද දන්වා ඇත.

සාදියා දන්වා ඇති පරිදි තමා සැමියාගේ ක්‍රියා කලාපයන් ගැන කැමැත්තක් නොවූවද ඔහු සමග අකමැත්තෙන් වුවත් බියෙන් එකට ජීවත්වූ බව දන්වා ඇත.

තමා අවස්ථා කිහිපයකදී දික්කසාදය ඉල්ලුවත් එය ලබාදීමට ඔහු එකඟ නොවූ බවත් තමාට බුර්කාව ඇඳිමට පවා අණ කර තිබූ බවත් ඇය පවසා ඇත.

21 වනදා පිපිරුමෙන් පසු එදිනම උදේ 11:30 ට පමණ තමා ඇතුළු පිරිස සයින්දුමරුදු ගිය බවත් තම සැමියා මියයාම ගැන කම්පාවෙන් සිටි බවත් ඇය පවසා ඇත. ඇතුළෙන් සුදු ඇඳුම් ඇඳගෙන උඩින් කලු ඇඳුම අඳින්න මව දන්වා සිටි නිසා ගෙනවිත් තිබූ සුදු ඇඳුම් තමා ඇතුලු අය ඇන්ද බවත් එහි මරාගෙන මැරෙන බිරියන් තිදෙනෙකු සිටි බවත් ඒ ආකාරයට ඉක්තා ශෝකය සමරමින් සිටින අතර පොලිසියට ඉව වැටීමෙන් පසු අනෙක් අයට මරාගෙන මැරෙන්නට සිදුවූ බවත් ඇය දන්වා ඇත.

ඇයගේ ප්‍රකාශ අනුව ඔවුන් සුදු ඇඳුම් ඇඳගෙන තිබෙන්නේ ශෝකය සැමරීමටය. එසේම ගෙනවිත් තිබූ සුදු ඇඳුම් වලින් අඩුවූ සුදු ඇඳුම් එම අවස්ථාවේ මරාගෙන මැරුණ අනික් කාන්තාවන් පැළඳ සිටි බව ඇයගේ ප්‍රකාශ අනුව කියැවිණි.

සහරාන් ගේ දියණිය වන සිවු හැවිරිදි මොහොමඩ් සහරාන් රැසෙයිනාගෙන් ආරක්ෂක අංශ ප්‍රහ්න කිරීම් කළද වැඩි තොරතුරක් ලබාගන්නට තවම හැකිවී නැත.

‘‘තාත්තගේ නම කියන්න බැහැ… කිව්වොත් කන් දෙකයි කටයි කපනවා කියලා තාත්තා කිව්වා…’’ යැයි ඇය එක්වරක් පවසා ඇත.

දැනට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන මෙම දෙදෙනා විශේෂ පොලිස් ආරක්සාව යටතේ රඳවා සිටින අතර වැඩිදුර ප්‍රශ්න කිරීම් ඉදිරියටත් සිදුවේ ෴

+++++++++++++++++++++++++++++++++++++

ඉන්සාම්ගේ තඹ කම්හලේ භාණ්ඩ ගෙනඒමට එරෙහි වූ කැලණිමුල්ල ජනතාව

(11.05.2019 – 20:01 +0530 – sinhala.adaderana.lk)

ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ලකළ ඉන්සාම් අහමඩ්ට අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවෙහි භාණ්ඩ තොගයක් කැලණිමුල්ල ගබඩාවකට රැගෙන ඒමට එරෙහි වූ ප්‍රදේශවාසීන් ඊයේ (11) රාත්‍රීයේ එම ගබඩාව වටලනු ලැබුවේය‍.

ප්‍රදේශවාසීන් පවසන්නේ, අදාළ ගබඩාව නිරන්තරයෙන් සෝදිසි කිරීම්වලට ලක්කළ යුතු බවයි.

ඉන්සාම්ට අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ භාණ්ඩ තොගයක් වැල්ලම්පිටිය කැලණිමුල්ල ප්‍රදේශයේ ගබඩාවකට රැගෙන ඒමට එරෙහිව ප්‍රෙද්ශවාසීන් ඊයේ රාත්‍රි එම ගබඩා පරිශ්‍රය වටලනු ලැබුවේ.

එහිදි එම ස්ථානයට පැමිණි වැල්ලම්පිටිය පොලිස් නිලධාරීන්ට ජනතාවගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්.

අනතුරුව පොලිස් නිලධාරින් විසින් ගබඩා පරිශ්‍රෙය් නවතා තිබු ලොරි රථ දෙකක් පරික්ෂාවට ලක් කළේය.

යුද හමුදා හා පොලිස් නිලධාරින් විසින් අනතුරුව ගබඩාව පරික්ෂාවට ලක් කළේය.

එහිදී අනතුරකට ලක්ව තිබූ යතුරු පැදියක් සම්බන්ධයෙන් යුද හමුදා සහ පොලිසිය ගබඩා ආරක්ෂක නිලධාරීයාගෙන් ප්‍රශ්න කළේය.

මේ අතර බලපත්‍ර රහිතව හෝ වෙනත් ආකාරයකින් හෝ නීති විරෝධීව පුපුරණ ද්‍රව්‍ය ලඟ තබාගෙන ඇත්නම් ලබන 14 වැනිදා පෙරවරු 6 ට පෙර ලඟම ඇති පොලිස් ස්ථානයට භාර දෙන්නැයි පොලිස් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

++++++++++++++++++++++++

තඹ කම්හලේ අය මොකටද රේඩ් කරන්නෙ කියා ඇමතුමක් දුන් රිටායර් පොලිස් ඔෆිසර් ඉම්රාන්ගෙ යාළුවෙක්

(00.05.2019 – gossiplankanews.com)

බෝම්බ ප්‍රහාර මාලාවට සම්බන්ධ විමර්ශන සඳහා වැල්ලම්පිටිය අවිස්සාවේල්ල පාරේ පිහිටි ඉම්සාම් අහමඩ්ට අයත් තඹ කම්හළ වැටලීමට පොලිසිය ක්‍රියා කරද්දී වැල්ලම්පිටිය පොලිස් ස්ථානයට දුරකථන ඇමතුමක් ගෙන ඇති විශ්‍රාමික පොලිස් නිලධාරියකු “මොකටද ඒක රේඩ් කරන්න ගියේ ? දැන් මොකුත් හම්බුණාද ඒකෙ මුකුත් නෑ නේ ?” ලෙස නොනිසි මැදිහත්වීමක් සහිත ප්‍රශ්න කිරීම් සිදු කර තිබීම ගැන වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ආරක්ෂක අමාත්‍යංශය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.

පොලිස් බුද්ධි සේවයේ හිටපු නිලධාරියකු බව කියන මොහු අදාළ තඹ කම්හලේ පිරිස ආරක්ෂා කිරීමට අවශ්‍ය වූයේ ඇයි යන්න ගැන සොයා බලන්නට නියමිතය. විශ්‍රාමික පොලිස් නිලධාරියා අත්අඩංගුවේ පසුවන ඉම්රාන් හාජි සමග සමීප සම්බන්ධතා පැවැත්වූ අයකු බවද කරුනු හෙළිව ඇත.

වැල්ලම්පිටිය පොලිසියේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානයට පැමිණිලි කිරීමෙන් පසු මේ මැදහත්වීම සැලවී ඇත.

එසේම තඹ කර්මාන්ත ශාලාවේ සේවකයන් නව දෙනාට අධිකරණයේ ඇප නියම කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකය එල්ලවී ඇත්තේ අධිකරණයට නොව ඔවුනට ඇප ලබාදෙන පරිදි අධිකරණයට කරුණු ඉදිරිපත් කළ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙනි.

මීට අදාලව කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන් තිදෙනෙකුගෙන් පැය අටකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ඇතැයිද වාර්තාවේ.

එම සේවකයින් මෙම බෝම්බ නිර්මාණයට හා ඔත්තු බැලීමට සම්බන්ධ බවට සාක්ෂි රැසක් තිබියදී ඇප මත නිදහස් විය ෴

+++++++++++++++++++++++++++++++++++++

ජාතික නිදහස් පෙරමුණේ මොහොමඩ් මුසම්මිල් මහතා (11.05.2019)
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *