සඳුදා (13) උදෑසන 6 දක්වා කුලියාපිටිය, බිංගිරිය සහ දුම්මලසූරියට පොලිස් ඇඳිරි නීතිය

(13.05.2019 – 00:15 +0530 – hirunews.lk/sinhala)

අද උදෑසන 6 දක්වා කුලියාපිටිය, බිංගිරිය, දුම්මලසූරිය යන පොලිස් බල ප්‍රදේශ සඳහා පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

ඇතිවු නොසන්සුන් තත්වයක් පාලනය කිරීම සඳහා මෙම පියවර ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.

++++++++++++++++++++++++

නොසන්සුන් නිසා කුලියාපිටිය,බිංගිරිය, දුම්මලසූරිය ටත් ඇඳිරි නීතිය

(13.05.2019 – gossiplankanews.com)

ඉරිදා සවස් කාලයේ සිට කුලියාපිටිය සහ ඒ අවට නොසන්සුන් සහ කලබලකාරී ස්වරූපයක් ගෙන තිබු අතර කුලියාපිටිය මුස්ලිම් ජාතිකයන්ට අයත් වෙළෙඳ ස්ථාන ගණනාවකට පහරදීම් සිදු කර තිබේ.

කරන්තිප්පල ප්‍රදේශයේ මෝටර් බයිසිකල් හිස්වැසුම් සහ මෝටර් බයිසිකල් අමතර කොටස් විකුණන කඩසාප්පුවකට සහ හෝටලයකට යම් පහර දීමක් සිදුව ඇති අයුරු ඡායාරූපවල දැක්වේ.

කුලියාපිටිය පොලිසිය අවට රැස්ව පිරිසක් විරෝධතාවයේද නිරතව ඇත.

මේ හේතුව නිසා කුලියාපිටිය ප්‍රදේශයේ හමුදාව සහ පොලීසිය එක්ව ආරක්ෂාව තර කර ඇත.

වහාම ක්‍රියාත්මක වන පරිදි කුලියාපිටිය, බිංගිරිය, දුම්මලසූරිය පොලිස් බල ප්‍රදේශයටත් ‍අද (13) උදෑසන 6 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසා සිටියේ ඇති වු නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා මෙලෙස ඇඳිරි නීතිය පැනවු බවයි.

මේ අතර හලාවත නගරයට ද අද අලුයම 4 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

+++++++++++++++++++++++++++++++++++++

සමාජ මාධ්‍යවලට ප්‍රවේශවීම තාවකාලිකව අවහිර කෙරේ

(13.05.2019 – 06:46 +0530 – hirunews.lk/sinhala)

ෆේස් බුක්, වට්ස් ඇප්, වයිබර් ඇතුළු සමාජ මාධ්‍යවලට ප්‍රවේශවීම යළිත් තාවකාලිකව අවහිරකර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව කියා සිටියේ කෙටි කාලයක් සඳහා මෙම අවහිරකිරීම සිදුකර ඇති බවයි.

ප්‍රදේශ කිහිපයක ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමග රට තුළ සාමය ආරක්ෂා කරගැනීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගත් බවද ඔහු සඳහන් කළා ෴

+++++++++++++++++++++++++++++++++++++

මුස්ලිම් කටයුතු ඇමැති වහාම මාරු කළ යුතුයි – යුද හමුදාපති

(13.05.2019 – divaina.com)

මුස්ලිම් කටයුතු පිළිබඳ ඇමැතිවරයා වහාම මාරුකර එම අමාත්‍යාංශය වෙනත් උගත් බුද්ධිමත් අයකුට පැවරිය යුතුව ඇතැයි යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ‘දිවයින’ට පැවැසීය. මෙම අමාත්‍යාංශය මුස්ලිම් ඇමැතිවරයකුටම දිය යුතු නැහැ. වෙනත් ආගමිකයකුට වුවත් පැවරිය හැකියි.

මූලධර්මවාදීන් සහ අන්තවාදීන් පිළිබඳව අපට නිතර නිතර ඇහෙනවා. වත්මන් මුස්ලිම් කටයුතු පිළිබඳ ඇමැතිවරයා මේවා නිසි ලෙස සොයා බලන්නේ නැහැ. කොටින්ම කියතොත් ගෙදර ඉන්න මිනිහා තමාගේ ගේ පරීක්‍ෂා කරනවා වගෙයි. මෙම පරීක්‍ෂණ කටයුතුවල ස්වාධීනත්වයක් ඕනෑ. එතකොට ප‍්‍රශ්නය විසඳෙයි.

මුස්ලිම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශය කළ යුතු රාජකාරිය හමුදාවට, පොලිසියට සිදුකරන්න වෙලා. වහාම මෙම අමාත්‍යාංශය මාරු කිරීම වැදගත් වෙනවා.

– නෝමන් පළිහවඩන

+++++++++++++++++++++++++++++++++++++

සෙට්ටිකුලම පල්ලිවල අන්තවාදී දේශන පැවැත්වූ මවුලවි කටුනායකදී කොටු වෙයි

(13.05.2019 – divaina.com)

අන්තවාදී අදහස් අන්තර්ජාලය ඔස්සේ මුදා හැර තිබූ වවුනියාව, සෙට්ටිකුලම ප‍්‍රදේශයේ පල්ලිවල දේශන පැවැත්වූ මවුලවිවරයකු පෙරේදා (11 දා) උදෑසන මක්කම වන්දනාවේ ගොස් එමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මුහයිදීන් කයි නමැති 47 හැවිරිදි වියේ පසුවන මෙම පුද්ගලයා මක්කම වන්දනා කටයුතු සඳහා පිරිස් රැගෙන යන වන්දනා නඩයක ප‍්‍රධානියකු ලෙස කටයුතු කරන්නෙකි .

මොහු එහි ගොස් යළි ශ‍්‍රී ලංකාව බලා එමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ ජාතික රහස් තොරතුරු ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපළේ රැක සිට මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව මෙම මවුලවිවරයා මීගමුව මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර, එහිදී මේ මස 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++++

නේවාසික වීසා ලබා ගන්නා සෑම විදේශිකයකුටම බුද්ධි අංශ අනුමැතිය අනිවාර්ය කෙරේ

(13.05.2019 – divaina.com)

මෙරට නේවාසික වීසා ලබා ගැනීමට අපේක්ෂා කරන සෑම විදේශිකයකුම රාජ්‍ය බුද්ධි අංශයේ අනුමැතිය ලබා ගත යුතු බවට රජය නිර්දේශ කර ඇත.

රාජ්‍ය බුද්ධි අංශයේ අනුමැතියෙන් පසුව ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය අනුව නේවාසික වීසා ලබාගත හැකිය. මෙරට නේවාසික වීසා ලබා සිටින මාලදිවයින් වැසියන්ටද ඉදිරියේදී රාජ්‍ය බුද්ධි අංශයේ අනුමැතිය ලබා ගැනීමට සිදුවේ.

මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ මෙරට ආගමික කටයුතුවල යෙදීම සඳහා පාකිස්තාන, ඊජිප්තු, බංගලාදේශ, ඉරාන හා සවුදි අරාබියානු ජාතිකයන් දෙසීයකට පමණ නේවාසික වීසා ලබා දී ඇති බව හෙළිව තිබේ.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු ආරක්ෂාව දැඩි කිරීමේ අරමුණින් හා වහාබ්වාදී දේශකයන් ලංකාවට පැමිණීම වැළැක්වීමේ අරමුණින් රජය මෙම තීරණය ගෙන ඇත.

– චතුර පමුණුව

+++++++++++++++++++++++++++++++++++++

නුවරඑළියේ සහරාන්ගේ අවසන් පුහුණු කඳවුර

(12.05.2019 – divaina.com)

• මීට පෙරත් දෙවරක් එම ස්ථානයේම පුහුණුවීම් කරලා…
• ත‍්‍රස්තයෝ 38 ක් පුහුණුවෙලා, ඒ අතර කාන්තාවෝත්…

රාජ්‍ය බුද්ධිසේවා මඟින් ලද තොරතුරු මත අම්පාර කල්මුනේ සායින්දමරුදු ප‍්‍රදේශයේදී ආරක්‍ෂක අංශ විසින් අයි.එස්. පුහුණුව ලැබූ ත‍්‍රස්තයෙකු වන අබ්දුල් අසීස් මොහොමඞ් රියාස් යන තරුණයෙකු අත්අඩංගුවට පත්වූ අතර ඔහුගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී ඔහු නුවරඑළිය තවුහිද් ජමාත් සංවිධානයේ පුහුණු වැඩසටහන් සඳහා සහභාගි වූ බවත් එය නුවරඑළිය පැවැත්වූ බවත් ප‍්‍රකාශ කර ඇත.

ඒ අනුව, එම සැකකරු පසුගියදා (06 දා) වන දින නුවරඑළියට රැගෙන එනු ලැබූ අතර, ඔහු එහිදී ප‍්‍රකාශ කර ඇත්තේ ඔහු බස් රථයෙන් නුවරඑළියට පැමිණි බවත් ඔහු උදෑසන 5 ට නුවරඑළිය බස්නැවතුම් පළෙන් බැස ඇති අතර ඔහු උදෑසන 5 ට වෑන් රථයකින් මෙම පුහුණුවීම් කළ ස්ථානයට රැගෙන ගිය බවය. එම නිසා එම ස්ථානය නොදන්නා බවයි. නමුත් එම පුහුණුවීම් කළ ස්ථානයේ කන්ද උඩ පන්සලක් ඇති ස්ථානය තිබූ බවත් එම ගොඩනැගිල්ල සුදුපාට තීන්ත ආලේප කර තිබූ බවත් එම නිවස ඉදිරිපිට පාසලක් තිබූ බවත්ය. එම තොරතුරු හරහා ක‍්‍රියාත්මක වූ රාජ්‍ය බුද්ධි අංශ නුවරඑළිය ස්ථානාධිපති නලින්ද සිල්වා හා නුවරඑළිය මූලස්ථාන පොලිස් පරීක්‍ෂක චන්දන බස්නායක හා යුද හමුදාවේ අණදෙන නිලධාරි අසිත රන්තිලක හා නිලධාරීන් කණ්ඩායමක් දින 2 ක් පුරාවට නුවරඑළිය පුරාවට සෝදිසි මෙහෙයුම් කොට මෙම ස්ථාන 06 වැනි දින උදෑසන 11 ට පමණ සොයා ගන්නා ලදී. සොයා ගෙන එම ස්ථානයට මෙම සැකකරු රැගෙන ගිය අතර එහිදී ඔහු විසින් එම ස්ථානය අඳුනාගත් අතර එහිදී සහරාන් විසින් එම පුහුණුව මෙහෙය වූ බවත් එම පුහුණුව සඳහා තරුණ තරුණියන් 38 දෙනකු සහභාගි කරවා ගෙන ඇති අතර, ඔවුන්ට ටී 56 අවි පුහුණුව හා ආගමික දේශනා ලබා දුන් බව එම සැකකරු ප‍්‍රකාශ කළ අතර මේ සඳහා සහභාගි වූ විට මෙයට සහභාගි වූ වෙනත් කිසිම පුද්ගලයෙකු සමඟ කථා කිරීමට ඉඩ ලබා දී නොමැත. මෙම ස්ථානය තවුහිද් ජමාත් සංවිධානය විසින් මීට පෙරද 2018 අගෝස්තු හා දෙසැම්බර් මාස වලදීද මෙම ස්ථානයේම මෙවැනිම පුහුණුවීම් කර ඇති බව රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රකාශ කරයි. මෙම නිවස ගම්පොල පදිංචි පුද්ගලයෙකු විසින් කුලී පදනම මත සංචාරක නිවාඩු නිකේතනයක් පවත්වා ගෙන යන අතර ඔහු විසින් මෙම දෙමහල් ගොඩනැගිල්ල දිනකට රු. 12,000/- බැගින් මෙම සංවිධානයේ මුස්ලිම් තරුණයන් දෙදෙනකු සඳහා වෙන්කරවා දී ඇති අතර ඒ සඳහා අවසර දීම හා ත‍්‍රස්තවාදීන්ට පුහුණුව සඳහා මෙම සංචාරක නිවාඩු නිකේතනය ලබා දීම හා ඒ සම්බන්ධව තොරතුරු වසන් කිරීම යන හේතුවෙන් සංචාරක නිවාඩු නිකේතනය කරගෙන යනු ලැබූ සුනිල් කුලරත්න යන පුද්ගලයා දැනට අත්අඩංගුවට ගෙන ඇත.

නුවරඑළිය මූලස්ථාන පොලිසිය සහ නුවරඑළිය රාජ්‍ය බුද්ධි අංශ මඟින් නුවරඑළිය ප‍්‍රදේශය පුරා සෝදිසි මෙහෙයුම් ක‍්‍රියාත්මක කර ඇති අතර ඉදිරියේදී මෙයට අදාළ තවත් වැදගත් තොරතරු රැසක් අනාවරණය කරගත හැකි වනු බවද නුවරඑළිය බුද්ධි අංශ අනාවරණය කරයි.

මේ සම්බන්ධව ඉදිරි පරීක්‍ෂණ කටයුතු නුවරඑළිය නියෝජ්‍ය පොලිස්පති ඊ. ජයසූරිය මහතාගේ උපදෙස් පරිදි නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ආර්. සුගතපාල නුවරඑළිය මූලස්ථාන පොලිස් පරීක්‍ෂක චන්දන බස්නායක, රාජ්‍ය බුද්ධි අංශ ස්ථානාධිපති නලින්ද සිල්වා, ප‍්‍ර.පො.ප. ධර්මසේන, පො.ප. චන්දන හල්පාගොඩ, පො.ප. සම්පත් ආරියරත්න, උ.පො.ප. ගුණවර්ධන, පො.ප. සංජීව තෙන්නකෝන්, ප‍්‍ර.පො.ප. නිශාන්ත ප‍්‍රදීප් යන මහත්වරුන් ඉදිරි පරීක්‍ෂණ කටයුතු සිදුකරයි ෴

+++++++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *