දිවයිනටම අද (13) රාත්‍රී 9 යේ සිට ඇඳිරි නීතිය පනවයි

(13.05.2019 – 20:09 +0530 – sinhala.adaderana.lk)

දිවයිනේ සියළුම ප්‍රදේශවලට අද (13) රාත්‍රී 9.00 සිට හෙට (14) පෙරවරු 4.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය අංශය මේ බව නිවේදනය කළේය.

මීට අමතරව ගම්පහ පොලිස් කොට්ඨාසයට ද වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

ඒ අනුව හෙට(14) උදෑසන 6 දක්වා එම ප්‍ර දේශයට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇති.

ගම්පහ, මිනුවන්ගොඩ, දොම්පේ, ගණේමුල්ල, කිරිඳිවැල, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ,වේයන්ගොඩ, වීරගුල, වැලිවේරිය, පල්ලේවෙල හා යක්කල පොලිස් වසම්වලට බලපැවැත්වෙන පරිදි මෙම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.

වයඹ පළාතට ද නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නිතිය පැනවීය.

ඒ අනුව, කුලියාපිටිය, බිංගිරිය, දුම්මලසුරිය, හෙට්ටිපොළ, කොබෙයිගනේ සහ රස්නායකපුර යන පොලිස් බල ප්‍රදේශවලට අද පස්වරුවේ සිට පොලිස් ඇඳිරී නිතිය ක්‍රියාත්මක විය ෴

+++++++++++++++++++++++++++++++++++++

ජනපති තම නොහැකියාව වසාගැනීමට සමාජ මාධ්‍ය පලිහක් කරගෙනැයි චෝදනා…

(13.05.2019 – 16:40 +0530 – lankacnews.com)

ශ්‍රී ලංකා පරිවර්තන සමුහය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි :

“සමාජ මාධ්‍ය භාවිතා කරන්නේ උගත්කමින් අඩු සමාජයක්”තමාගේ නොහැකියාව වසාගැනීමට සමාජ මාධ්‍ය පලිහක් කරගත් ජනපතිගේ ප්‍රකාශය හෙලා දකිමු

ජනපති විසින් ඊයේ දින ජනමාධ්‍ය ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අප සමූහයේ අවධානය යොමුවූ අතර එතුමාගේ ප්‍රකාශයෙහි දැකගත හැකි වූයේ සමාජ මාධ්‍ය භාවිතා කරන බොහෝ පිරිසක් උගත්කමින් අඩු පිරිසක් බවය.

ශ්‍රී ලංකා පරිවර්තන සමූහය වශයෙන් අප සමූහය ජනපති විසින් සිදුකල එම ප්‍රකාශය තරයේ හෙලාදකින අතර අන්තර් ජාලය නොමිලයේ භාවිත කළ හැකි කලාප ප‍්‍රධාන නගර වල ඇති කිරීමට ‘මෛත‍්‍රී පාලනයක් – ස්ථාවර රටක්’ ප‍්‍රතිපත්තිය යටතේ කටයුතු කරන බව පවසමින් සමාජ මාධ්‍ය පරිශීලිකයන්ගේ වටිනා චන්දය ලබාගෙන බලයට පැමිණි පසු තමාව බලයට ගෙනආ සමාජ මාධ්‍ය පරිශීලකයන් දැන උගත්කමින් අඩු පුද්ගලයන් යැයි හංවඩු ගැසීම කෙතරම් සාධාරණ ක්‍රියාවක්දැයි අප සමූහය එතුමාගෙන් විමසීමට කැමැත්තෙමු.

එතුමාගේ දින 100 වැඩසටහනෙහි පොරොන්දුවූ පරිදි “ජන වර්ග අතර හෝ ආගම් අතර අසමගිය, වෛරය, ආගමික නායකයින්ට අපහාස වන අයුරින් ක්‍රියා කිරීම හෝ ප්‍රකාශ කිරීම වැළැක්වීම සඳහා නීතිමය හා සමාජමය ක්‍රියාමාර්ග ගැනීම” යන වගන්තිය ක්‍රියාවට නැංවීමට අපොහොසත් වීමෙහි වගකීම එතුමා භාරගතයුතු බවත් එතුමාගේ නොහැකියාවට සමාජ මාධ්‍ය ජාල අඩවි පලිහක් කරගෙන ජනතාව නොමග යැවීම වහාම නතරකලයුතු බවත් සමාජ මාධ්‍ය ඔස්සේ රජයට සහ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට නැගෙන දැඩි විරෝධය මැඩලීමට සමාජ මාධ්‍ය ගිණුම්/සමූහ/පිටු වාරණයට ලක් කිරීමට සමාජ මාධ්‍ය ආයතන වලට පැවසීම වහාම නතරකල යුතු බවත් එතුමාට ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ලෙස අප ඉතා වගකීමෙන් ප්‍රකාශ කරමු.

තවද සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන අසත්‍ය තොරතුරු බෙදාහරිනු ලබන්නේ සාමාන්‍ය සමාජ මාධ්‍ය පරිශීලකයන් නොව යම් කුඩා සංවිධානාත්මක පිරිසක් විසින් බවත් එම නිසා සමස්ත සමාජ මාධ්‍ය පරිශීලකයන් සියල්ලටම චෝදනා එල්ල කරනවා වෙනුවට අදාළ පුද්ගලයන්ට තරාතිරම නොබලා පවතින නීති ප්‍රතිපාදන යටතේ දඩුවම් ලබාදෙන ලෙසත් එතුමාගෙන් ඉල්ලා සිටින අතර සමාජ මාධ්‍ය වෙබ් අඩවි පිලිබදව එතුමා තුල පවතින වැරදි ආකල්ප ඉවත්කරගන්නා ලෙස අප එතුමාගෙන් ඉල්ලා සිටිමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

*****************************************

පොළොන්නරුවට හෙට (14) පැය 10 ක ජල කප්පාදුවක්

(13.05.2019 – nethnews.lk)

පොළොන්නරුවේ බැඳිවැව හා සේවාගම යන ජල සම්පාදන මගින් ජලය බෙදා හරින සියලු ප්‍රදේශ වෙත හෙට (14) පැය 10 ක ජල කප්පාදුවක් සිදු කෙරෙනවා. ඒ, හෙට පෙරවරු 09 සිට රාත්‍රී 07 දක්වායි. පොළොන්නරුව ජල පවිත්‍රාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් මීට හේතුව බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා ෴

*****************************************

අනුරාධපුරයේදී අත්අඩංගුවට ගත් මාධ්‍යවේදියා 27 දක්වා රිමාන්ඩ් කෙරේ

(13.05.2019 – nethnews.lk)

තවුහීද් ජමාද් අන්තවාදී ත්‍රස්ත සංවිධානයේ දේශන ඇතුළු ක්‍රියාකාරකම් රැසක් අඩංගු සංයුක්ත තැටි (සී.ඩී) තොගයක් සිය සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කල විද්‍යුත් මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියෙකු මේ මස 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා අද (13) නියෝග කරනු ලැබුවා.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනේ උදය මාවත, අනුරාධපුර ලිපිනයේ පදිංචි විද්‍යුත් මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියෙකු වන මොහොමඩ් රිස්වි මහරූෆ් නැමත්තායි.

සැකකරු අධිකරණයට ඉදිරිපත්කල අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක එච්.එම්.කේ.යසරත්න කියා සිටියේ ජනමාධ්‍යවේදියෙකු බව කියන සැකකරු ත්‍රස්තවාදය වැලක්වීමේ 379 දරණ පනතේ 48 දරණ (තාවකාලික) විදිවිදානයට අනුව අධිකරණයට ඉදිරිපත් කල බවයි.

සැකකරුට අයත් බව කියන අනුරාධපුර උදය මාවතේ පිහිටි නිවස යුද හමුදාව හා පොලිසිය එක්ව පසුගිය 12 වෙනිදා සිදුකල පුර්ණ පරික්ෂාවකදී එහි තිබී සැකකටයුතු සංයුක්ත තැටි 326 ප්‍රමාණයක් සොයාගත් බවත් එම සංයුක්ත තැටි අහඹු ලෙස සිදුකල පරික්ෂාවේදි තවුහිද් ජමාන් අන්තවාදී ත්‍රස්ත සංවිධානයේ දේශන හා විවිධ ක්‍රියාකාරකම් සහිත විඩියෝ පට 90 ක පමණ ප්‍රමාණයක් හමුවූ බව උප පොලිස් පරික්ෂකවරයා අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

එමෙන්ම සැකකරු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන තවදුරටත් සිදුවන බැවින් ඔහුට ඇප ලබාදීමට තරයේ විරුද්ධවන බව කි උප පොලිස් පරික්ෂකවරයා ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව සැකකරුව මේ මස 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා ෴

++++++++++++++++++++++++

(13.05.2019 – mawbima.lk)

තවුහීද් ජමාන් අන්තවාදී ත්‍රස්ත සංවිධානයේ දේශන ඇතුළු ක්‍රියාකාරකම් රැසක් අඩංගු සංයුක්ත තැටි (සී.ඩී) තොගයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැලක්වීමේ පනතින් අධිකරණයට ඉදිරිපත්කල රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය ආයතනයක ජනමාධ්‍යවේදියෙකු යැයි කියා ගන්නා මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙකුට ඇප ලබාදීම තරයේ ප්‍රතික්ෂේපකල අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා ඔහුව මේමස (27) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන අද නියෝග කළා.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ උතුරුමැද පළාත් සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීධූරයක් හිමිකර ගැනීමට තරගකර පරාජයට ලක්වූ මොහොමඩ් රිස්වි මහරූෆ් නැමත්තායි.

+++++++++++++++++++++++++++++++++++++

බැටරි කෑලි 24 ක් මිලදී ගත් හා 500 ක් මිලදී ගන්නට ආ 4 දෙනකු ගැන පොලිස් පරීක්ෂණ

(13.05.2019 – mawbima.lk)

අතුරුගිරිය පිට්ටුගල සුපිරි වෙළෙඳසලකට බැටරි කෑලි පන්සීයක් මිලදී ගැනීමට පැමිණි පුද්ගලයන් දෙදෙනා හා බැටරි කෑලි විසිහතරක් මිලදී ගත් පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අතුරුගිරිය පොලිසිය කියයි.

එම වෙළෙඳසලේ කළමනාකරු පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.

මීට දින කිහිපයකට ඉහතදී එම වෙළෙඳසල කරා පැමිණි පුද්ගලයන් දෙදෙනකු බැටරි කෑලි විසිහතරක් මිලදී ගෙන පැය එකහමාරක් දෙකක් පමණ කාලය තුළදී අනෙක් පුද්ගලයන් දෙදෙනා පැමිණ ඇතැයි පොලිසිය කළ විමර්ශනවලදී හෙළි වී ඇත. ඔවුන් දෙදෙනා බැටරි කෑලි පන්සීයක් ඇණවුම් කළ අවස්ථාවේදී කළමනාකරු බැටරි කෑලි එතරම් ප්‍රමාණයක් තිබේ දැයි සොයා බැලීමට ගබඩාවට ගිය අවස්ථාවේදී එම දෙදෙනා පිටවී ගොස් තිබූ බව පොලිසිය කියයි. බැටරි කෑලි මිලදී ගත් පුද්ගලයන් දෙදෙනා පිළිබඳ හා බැටරි ඇණවුම් කළ පුද්ගලයන් දෙදෙනා පිළිබඳ වෙළෙඳසලෙහි සවිකර තිබෙන සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ පරීක්ෂණ පවත්වන බව පොලිස් නිලධාරියා වැඩි දුරටත් පැවැසීය. අතුරුගිරිය පොලිසිය පරීක්ෂණ පවත්වයි ෴

+++++++++++++++++++++++++++++++++++++

නීනියට අවතන නොවුනොත් සිය බලය ක්‍රියාත්මක කරනවා – හමුදාපති

(13.05.2019 – 22:21 +0530 – sinhala.adaderana.lk)

මේ අවස්ථාව වන විට වයඹ පළාතේ යම් යම් ස්ථානවල සිවිල් ජනතාවට අයත් දෙපල වලට ඇතැම් පිරිස් හනී සිදු කර ඇති බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

මෙම හනී සිදුකරන්නේ ප්‍රදේශයේ බිමත්ව සැරිසරණ ඇතැම් පුද්ගලයන් බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව දැනුම් දුන්නේය.

මේ වන වට එම ප්‍රදේශ ආවරණය වන පරිදි ත්‍රීවිධ හමුදාවේ බට පිරිස් සහ පොලීසිය එක්ව ආරක්ෂාව සපයන බවද එම නිවේදනයේ සඳහන් වේ.

ජනතාවගෙන් ඉල්ලීමක් සිදු කරමින් හමුදාපතිවරයා පැවසුවේ එම කැරලි කොලහාල සිදු කරන පිරිස්වෙත එක්කාසු නොවි තම නිවෙස් තුලට වී සමකාමීව සිටින ලෙසයි.

පනවා ඇති නීතින්ට අවනත නොවී කටයුතු සිදු කරන සෑම පුද්ගලයෙකුටම තදින් නීතිය ක්‍රියාත්මක කරන බවද ඒ මහතා පැවසීය.

එලෙස් වුවහොත් යුද හමුදාවට සිය බලය යෙදීමට සිදු වන බවත් එවිට යම් යම් ප්‍රශ්න වලට මුහුණ දීමට සිදු විය හැකි බවත් ඒ මහතා පවසයි.

ආගම් වාදී ජාතී වාදී නැතිව නොවී මෙම අවස්ථාවේදි කටයුතු කරන ලෙසට හමුදාපතිවරයා දන්වා සිටියි ෴

+++++++++++++++++++++++++++++++++++++

කොළොන්නාව ආසන සංවිධායක මරික්කාර් ඉවත් කරන්න වැල්ලම්පිටිය OIC එපා

(14.05.2019 – mawbima.lk)

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. මරික්කාර් මහතා කොළොන්නාව ආසනයෙන් ඉවත් කරන ලෙසත් වැල්ලම්පිටිය පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා ඉවත් කරන ලෙසත් බල කරමින් ඊයේ (13 දා) වැල්ලම්පිටියේදී විරෝධතා උද්ඝෝෂණයක් පවත්වනු ලැබීය.

එස්.එම්. මරික්කාර් මන්ත්‍රිවරයා දේශපාලන බලය යොදා ගනිමින් ත්‍රස්තවාදයට අනුබල දෙන බවත්, නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා කරන බවත් එම උද්ඝෝෂකයෝ කියා සිටියහ. එමෙන්ම ඉස්ලාම් ත්‍රස්තවාදියකුට අයත් බව හෙළිවී තිබෙන තඹ කර්මාන්ත ශාලාවේ සේවකයන්ට ඇප ලබා ගැනීමට හැකිවන අයුරින් කටයුතු කළ බව කියන වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා එම පොලිස් ස්ථානයෙන් ඉවත් කළ යුතු බවද උද්ඝෝෂකයෝ කියා සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ නව සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් මහතා ප්‍රකාශ කළේ වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවකයන්ට ඇප ලබා දුන්නේ කෙසේද යන්න ගැටලුවක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඒ සම්බන්ධයෙන් ජනතාවට පිළිතුරු දිය යුතු බවත්ය. ආණ්ඩුව හිතාමතාම ත්‍රස්තවාදය ව්‍යාප්තවීමට ඉඩ දෙන්නේද යන සැකයක් ජනතාවට ඇති බවත් ඔහු කීවේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *