නාමල් කුමාර – අමිත් වීරසිංහ අත්අඩංගුවට

(14.05.2019 – 11:44 +0530 – sinhala.adaderana.lk)

දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර සහ මහ සොහොන් බලකායේ අමිත් වීරසිංහ යන පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

අදාළ පුද්ගලයින් දෙදෙනා අද (14) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කළේය.

දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර වාරකාපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර මහ සොහොන් බලකායේ අමිත් වීරසිංහ යන අය මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

ප්‍රදේශ කිහිපයක සිදුවූ කලහකාරී සහ නොසන්සුන්කාරී සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අදාළ පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මුලස්ථානය විසින් පත්කර ඇති පොලිස් අධිකාරීවරයෙතුගේ අධීක්ෂණයෙන් යුක්ක විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුතර ඇති බව පොලීසිය පවසයි ෴

++++++++++++++++++++++++

17.05.2019

+++++++++++++++++++++++++++++++++++++

ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට…

(14.05.2019 – colombotoday.com)

නව සිංහලේ ජාතික සංවිධානයේ අධ්‍යක්ෂ ඩෑන් ප්‍රියසාද් අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අපරාධ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් ඔහුගේ මීතොටමුල්ලේ නිවසට ගොස් ඔහු පිළිබඳ විස්තර විමසා ඇති අතර ඔහු එම වේලාවේ නිවසේ සිට නොමැත.

අනතුරුව ඩෑන් ප්‍රියසාද් නීතීඥයකු මාර්ගයෙන් පැමිණ බාර වීමෙන් පසු අත්අඩංගුවට නෙ ඇත.

උද්ඝෝෂණවල නියැලි සිටි බවට ඇති තොරතුරු හේතුවෙන් ප්‍රශ්න කිරීම් සඳහා මොහු අත්අඩංගුවට ගෙන ඇත.

ෂැංග්‍රිලා බෝම්බකරුගේ තඹ කම්හලේ සේවකයන් ඇප දී නිදහස් කිරීමට එරෙහිව ඔහු ඇතුළු පිරිසක් පෙරේදා වැල්ලම්පිටිය පොලිසිය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත විය ෴

+++++++++++++++++++++++++++++++++++++

සියළු මැති ඇමතිවරුන්ගේ ප‍්‍රභූ ආරක්‍ෂකයන් පාසැල් ආරක්‍ෂාවට යොදන්නැයි කියයි..

(14.05.2019 – 08:02 +0530 – lankacnews.com)

ප්‍රභූ ආරක්ෂාවට යොදවා ඈති සියලු ආරක්ෂක නිලධාරීන් යොදවා වහාම පාසල් වල ආරක්ෂාව තහවුරු කරන්නැයි ගම්පහ දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපතිවරයා ප්‍රමුක ආණ්ඩුවෙන් ඉල්ලයි.

පාස්කු ප්‍රහාරයෙන් පසුව සති දෙකක් ඉකුත්ව ගොස් ඇතත් රටේ ආරක්ෂාව තහවුරු කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇතැයි පෙන්වාදෙන රණතුංග මහතා මෙහෙයුම් මගින් අත්අඩංගුවට ගන්නා ආයුධ පෙන්වීම මාධ්‍යට තහනම් කරමින් උත්සාහ කරන්නේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න නොමැති බව පෙන්වමින් රටේ ජනතාව නොමග යැවීමට බවයි.

මේ දිනවල යුරෝපා සංචාරයක නිරතව සිටින රණතුංග මහතා රටේ වර්තමාන තත්වය සම්බන්ධයෙන් දුරකථනය ඔස්සේ අප වෙත අදහස් පළකරමින් මේ බව සදහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණතුංග මහතා පෙන්වා දුන්නේ රටේ ආරක්ෂාව පිළිබද විශ්වාශයක් නොමැති නිසා දෙමාපියන් දරුවන් පාසල් නොයවන බවයි.

ආණ්ඩුව කොතරම් කීවද ජනතාව මේ ආණ්ඩුව තුට්ටුවකට මායිම් නොකරන බව මෙමගින් තහවුරු වන බව පැවසු රණතුංග මහතා මාධ්‍ය වාරණය කරමින් රටේ ජන ජීවිතය සාමාන්‍යකරණය වී ඇති බව පෙන්වා දරුවන් පාසල් යැවීමට දෙමාපියන් පෙලඹවිමේ උත්සාහයක ආණ්ඩුව නිරත වී සිටින බවට චෝදනා කරයි.

ආණ්ඩුව ආරක්ෂක අංශ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගන්න කඩු කිනිසි ආදිය නොපෙන්වන ලෙස මාධ්‍යට තහනම් කලේ ආණ්ඩුවට ජැක් ගසා සිටින මුස්ලිම් මැති ඇමතිවරුන්ගේ උවමනාවට බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා ආණ්ඩුව හිත මතාම තවත් මහා ඛේදවාචකයකට පාර කපන්නේදැයි සැක සිතෙන බවද කියා සිටියේය.

දරුවන්ගේ ආරක්ෂාව අංක 1 බැවින් ප්‍රභූ ආරක්ෂාවට යොදවා ඇති ආරක්ෂකයන් වහාම පාසල්වල ආරක්ෂාවට යොදවන ලෙස ඉල්ලා සිටින බව පැවසු රණතුංග මහතා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මේ පිළිබද වහා පියවර ගත යුතු බවද පෙන්වා දුන්නේය.

– ප‍්‍රදීප් අනුර කුමාර

+++++++++++++++++++++++++++++++++++++

ගෝලීය ත්‍රස්තවාදය පරාජය කල නායකයා තේමාවෙන් මෛත‍්‍රී මීලග ජනාධිපතිවරණයට…

(14.05.2019 – 06:23 +0530 – lankacnews.com)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් රට තුළ මතුව ඇති අනාරක්ෂිත තත්ත්වය පාලනය කරනු වෙනුවට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වෙත සීමා පැනවීම තුළින් ආණ්ඩුව ජනතාව හමුවේ නිරුවත් වී තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

තරු පහේ ප්‍රජාත්‍රක්තවාදය හා මාධ්‍ය නිදහස පිළිබද කිඹුල් කදුලු හෙලමින් බියට පත්වූ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය හා මාධ්‍ය නිදහස අද රෙද්ද පල්ලෙන් බේරෙන බව පෙන්වා දුන් රණතුංග මහතා ත්‍රස්තවාදය පරාජය කිරීමට නම් ආණ්ඩුව තුල සිටිමින් ත්‍රස්තවාදය පෝෂණය කරන ඇමතිවරුන් හා ආණ්ඩුකාරවරුන් වහා ඉවත් කල යුතු බවද පෙන්වා දුන්නේය. එහෙත් මුස්ලිම් ඡන්ද නැතිවෙතැයි බියෙන් වෙව්ලන ආණ්ඩුවට එවැනි තීන්දුවක් ගත නොහැකි බවද රණතුංග මහතා කීවේය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ ඉතාලියේ මිලානෝ නගරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් සමඟ පැවැති සුහද හමුවකට 13 වැනි දා සහභාගී වෙමිනි.

මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය :

‘‘අද වෙන කොට රටේ තිබෙන තත්ත්වය තමුන්නාන්සේලා දන්නවා. වසර තිහක ත්‍රස්තවාදයක් නිමා කරලා සාමය උදා කරපු රට අද නැවත වරක් ත්‍රස්තවාදීන්ගේ ගොදුරක් බවට පත්වෙලා තිබෙනවා. දරුවකුට පාසල් යන්න බැරි, වැඩිහිටියකුට රැකියාවට යන්න බැරි භයානක තත්ත්වයක් උදා වෙලා. මිනිස්සු උදේට ගෙදරින් එළියට බහින්නේ නැවතත් නිවසට ඒමට ලැබේදැයි සැකයෙන් යුතුවයි.

මේ තත්ත්වය උදා වුණේ කොහොමද කියලා අපි කල්පනා කරලා බලන්න ඕනේ. 2015 දී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ අපේ ආන්ඩුව විසින් වර්තමාන ජනාධිපතිවරයාට භාර දුන්නේ මර බියෙන් තොර රටක්. සංවර්ධනගේ අරුණලු දකිමින් හිටපු රටක්. ආර්ථිකය මනා ස්ථාවරත්වයකට පැමිණ තිබුණු රටක්. ජාතිවාදය, ආගම්වාදය අවසන් කරලා සමගියෙන් පිරුණු රටක්.

මෛත්‍රිපාල මහත්තයට රට ගොඩනගන්න අමුතුවෙන් කරන්න දෙයක් තිබුණේ නැහැ. එතුමට තිබුණේ මහින්ද මහත්තයා හදලා දීපු රට ඉදිරියට ගෙනියන එක විතරයි. එක්සත් ජාතික පක්ෂයත් හවුල් කරගෙන නිදහස් පක්ෂයේ පිරිසකුත් එකතු වෙලා වසර හතරක් යන්නත් පෙර රටට කරපු විනාශය අපි දැන් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. විනාශය දැන් ඇස්පනා පිට ඔප්පු වෙලා ඉවරයි.

අපි එදා ඉඳන් කිව්වා අපෙන් පලි ගත්තට කමක් නැහැ ජාතික ආරක්ෂාව අඩු කරන්න එපා කියලා. මේ අය මොකද කළේ? සියලුම බුද්ධි අංශ අඩපණ කළා. ඉතුරු වෙලා හිටපු බුද්ධි නිලධාරීන් යෙදෙව්වේ ජාතික ආරක්ෂාව ගැන හොයන්න නෙමෙයි විපක්ෂයේ අපි ගැන හොයන්නයි. මහින්ද මහත්තයා ඇතුළු අපේ පිරිසගේ පස්සෙන් වැටිලා අපි මොනවද කරන්නේ කියලා හොයන එක තමයි බුද්ධි අංශයේ මෙහෙයුම වුණේ.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ පස්සේ වැටිලා හිටියා මිසක් ත්‍රස්තවාදය, අන්තවාදය ගැන හොයන්න වෙලාවක් ආන්ඩුවට තිබුණේ නැහැ. ආණ්ඩුවේ සම්පූර්ණ යාන්ත්‍රණයම යොදවලා තිබුණේ අපිව හිර කරන්නයි. බලයට ඇවිත් මාස දෙකකින් මහ බැංකුව සුද්ධ කරලා ආර්ථිකය විනාශ කළා. එපා කියද්දි රණවිරුවන් හිර කරලා ජාතික ආරක්ෂාව විනාශ කළා.

දැන් අගමැතිවරයයි ජනාධිපතිවරයයි දෙපැත්ත බෙදිලා බෝලේ පාස් කර කර ඉන්නවා. දෙන්නා දෙපැත්තේ සාංචි මැද්දේ වගේ ජනතාව මැදට වෙලා බලන් ඉන්නවා. මේ සෙල්ලම හරියන්නේ නැහැ. 2015 ඉඳන් මේ දෙගොල්ලෝ ආණ්ඩු කළේ එකට. රට කෑවේ එකට. එහෙනම් කොහොමද එක් පිරිසක් විතරක් වැරදි වෙන්නේ. ජනාධිපති ප්‍රමුඛ සමස්ථ ආණ්ඩුව මේ ව්‍යසනයට වගකිව යුතුයි. රනිල් කරූ සජිත් ඇතුළු එක්සත් ජාතික පක්ෂ නායකයන්ට මේ චෝදනාවෙන් ගැලවෙන්න බෑ.

ත්‍රස්තවාදය පරාජය කරන්න ජනාධිපතිට, අගමැතිට සහ ආණ්ඩුවට කොන්ද පණ තියෙන්න ඕනේ. මාධ්‍ය සහ සමාජ මාධ්‍ය අවහිර කරා කියලා ත්‍රස්තවාදය පරාජය කරන්න බැහැ. ආණ්ඩුව හදන්නේ ත්‍රස්තවාදය අවසන් කරන්න නෙමෙයි ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා ජනතාවගෙන් වසන් කරන්නයි. මෙහෙම ගියොත් තත්ත්වය තවත් උග්‍ර වෙලා ජනතාව පාරට බහින එක වළක්වන්න බැහැ.

සමහර ඇමැතිවරුන්ගේ කතා රටේ තියෙන අර්බුදය තව තවත් අවුළුවනවා. මංගල සමරවීර කියන ඇඳුම් නිර්මාණ ශිල්පියා කියලා තියෙනවා ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නෙමෙයි කියලා. මංගලගේ කතාව අපි තවත් එක මෝඩ කතාවක් කියලා අහක දාන්න හොඳ නැහැ. මංගල හදන්නේ නිවෙමින් තිබෙන ජාතිවාදයේ ගින්න නැවත අවුළුවන්නයි.

මංගලලා දන්නවා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයට මේ රටේ සිංහලයන්ගේ ඡන්ද ලැබෙන්නේ නැහැ කියලා. ඒ නිසා දැන් හදන්නේ ජාතිවාදය අවුළුවලා රටේ ගැටුම් ඇති කරන්නයි. ජනාධිපතිවරයාට කොන්ද පණ තියෙනවා නම් පියල් නිශාන්ත නෙමෙයි මංගල සමරවීරවයි ප්‍රශ්න කළ යුත්තේ. හැබැයි අන්තවාදය පෝෂණය කරපු රිෂාඩ්ලා, හිස්බුල්ලලා අයින් කරගන්න බැරි ජනාධිපතිගෙන් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.

ජනාධිපතිවරයාගේ අරමුණ වෙලා තියෙන්නේ මේ තියෙන තත්ත්වයෙන් ප්‍රයෝජන අරගෙන ලබන පාරත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නයි. අපට දැනගන්න ලැබිලා තියෙනවා ගෝලීය ත්‍රස්තවාදය පරාජය කරපු නායකයා කියලා බෝඩ් එකක් ගහගෙන ජනාධිපතිවරණයට යන්න සූදානම් වෙනවා කියලා. සාමකාමී රට ත්‍රස්තවාදයට ඇදලා දාපු නායකයා විදියට මිසක් වෙන විදියකට ජනතාව හමුවට යන්න මෛත්‍රිට බැහැ.

ඒ අස්සෙන් 2015 දී වැඩබැරි යහපාලන ආණ්ඩුව බලයට ගේන්න කඩේ ගිය රතු අලි පැටව් චම්පිකලා වගේ අය කන්ඩායමත් අලුත් වටයකින් ජනතාව හමුවට එන්න හදනවා. හැබැයි අමතක කරන්න එපා අපේ රට මේ උගුලට වට්ටවන්න මූලික වුණෙත් මේ නඩයම තමයි කියලා. චම්පික රණවකලා දැන් කතා කරන්නේ මැරිලා ඉපදිලා වගෙයි.

චම්පික එදා කිව්වේ රාජපක්ෂලා නැතුවට ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරන්න මෛත්‍රිට, රනිල්ට පුළුවන් කියලයි. දැන් ඒ කතා බොරු වෙලා තියෙනවා. චම්පිකලා වෙස් මුහුණු බැඳගෙන ආවට ජනතාව හමුවේ ඒ වෙස් මුහුණු ගලවන්න අපි සූදානම්. රට විනාශ කරපු චම්පික, රාජිත, මංගල ඇතුළු යහපාලන හොර නඩයට පාඩමක් උගන්වන්න කියා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.’’

– ප‍්‍රදීප් අනුර කුමාර

+++++++++++++++++++++++++++++++++++++

ඇමති බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට අස්සන් 26 ක්

(14.05.2019 – 19:14 +0530 – sinhala.adaderana.lk)

කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව සඳහා මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 26 දෙනෙකු අත්සන් තබා තිබේ.

කෙසේවෙතත් එම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය හෙට (15) කණ්ඩායම් රැස්වීමේදී අවසන් තීරණයකට එළැඹීමට නියමිත බව වාර්තා වෙයි.

කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංගයක් ගෙන එන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පසුගිය දා ප්‍රකාශ කළ අතර ඊයේ (13) මල්වතු සහ අස්ගිරි මහ නා හිමිවරුන් බැහැදැක ඒ පිළිබඳ දැනුවත්කිරීමද සිදු කළේය.

ඒ අනුව එම විශ්වාංභංග යෝජනාවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද මේ වන විට අත්සන් තබා තිබේ.

මේ වන විට මන්ත්‍රීවරුන් 26 දෙනෙක් අදාළ විශ්වාසභංගයට අත්සන් තබා ඇති අතර එහි පළමු අත්සන තබා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතායී.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් එහි හත්වන අත්සන තබා තිබෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම නියෝජනය කරන එස් .බී දිසානායක මන්ත්‍රීවරයාද ඊට අත්සන් තබා තිබේ.

කෙ‍සේවෙතත් හෙට පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති බව වාර්තා වෙයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම විශ්වාසභංග යෝජනාවට සහය දෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යෙව්දීන් එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතාගෙන් විමසීමක් කළේය.

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ, ඒ පිළිබඳව තමන් තවමත් දැනුවත් වී නොමැති බවයි. මාධ්‍ය තුළින් පමණක් ඒ ගැන කථා කර ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස තවමත් ඒ ගැන දැනුවත් නොමැති බව ද සඳහන් කළේය ෴

+++++++++++++++++++++++++++++++++++++

14.05.2019

+++++++++++++++++++++++++++++++++++++

තෛයිනිකායික මහනාහිමිවරුන් විශේෂ නිවේදනයක්

(14.05.2019 – 18:46 +0530 – sinhala.adaderana.lk)

ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ගෙන් වැළකී සාමකාමීව එදිනෙදා කටයුතුවල නිරත වන ලෙස තෛයිනිකායික මහනාහිමිවරුන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.

මෙම අවස්ථාවේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමෙහි නිරතව සිටින ආරක්ෂක අංශවලට මැදිහත්ව රටට හිතැතිව කටයුතු කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීම සියලුදෙනාගේ පරම යුතුකමක් බවයි උන්වහන්සේ පෙන්වා දෙයි.

මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල, අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන, අමරපුර මහ නිකායේ මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ශ්‍රී ධම්මාවාස සහ රාමඤ්ඤ මහ නිකායේ මහනායක නාපාන ශ්‍රී පේමසිරි යන මහනාහිමිවරුන්ගේ අත්සනින් යුතුව අදාළ නිවේදනය නිකුත් කර තිබේ.

සියලු වාර්ගික හා ආගමික සමඟිගිය, සාමදානය තහවුරු වන සේ කටයුතු කිරීම පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ගේ හා විශේෂයෙන් පාලකයින් සතු බලවත් වගකීමක් බව පෙන්වාදෙන මහනාහිමිවරුන් පවසන්නේ බලය මුල්කරගෙන ඡන්ද ගොඩ වැඩි කරගැනීමේ චේතනාවෙන් කටයුතු කිරිමේ ප්‍රතිඵලයක් ලෙස අයහපත් ප්‍රතිඵල රැසක් උද්ගතව ඇති බවයි.

මෙවැනි තත්ත්වයක් පවතින අවස්ථාවක දී ඇතැම් වගකිව යුතු අමාත්‍යවරුන් සිදුකරන ප්‍රකාශ ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් වැනි යැයි මහනාහිමිවරුන් පවසයි.

පාස්කු ඉරු දින ඇතිවූ අවාසනාවන්ත සිද්ධියේ වින්දිතයින්ගේ සිත් සතන් තුළ විශ්වාසය හා නීතිය සාධාරණත්වය තහවුරු කිරීම වෙනුවට එය නොසලකා හරිමින් කටයුතු කරන ආකාරයක් දක්නට ලැබෙන අතර නිසි වේලාවට, නිසි ආකාරයට කටයුතු නොකිරීම ප්‍රචණ්ඩ ක්‍රියාවන් යළි ඇතිවීමට හේතුවී ඇති බවයි උන්වහන්සේ පෙන්වා දෙයි.

මීට පෙර අවස්ථා කිහිපයක දී රටේ යහපැවැත්ම හා අභිවර්ධනය උදෙසා මහා සංඝරත්නය විසින් අනුශාසනා ලබා දී ඇති නමුත් ඒවා නොසලකා හැරීමේ ප්‍රතිඵලයක් ලෙස නැවත නැවත බලධාරීන්ගේ අවධානයට එම කරුණු යොමු කිරීමට සිදුවීම කණගාටුවට කරුණක් බව ද තෛයිනිකායික මහනාහිමිවරුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය ෴

+++++++++++++++++++++++++++++++++++++

ත‍්‍රස්තවාදය ලංකාවෙන් මුලිනුපුටා දැමීමට සහය දෙන බව චීන ජනපති සහතික වෙයි

(14.05.2019 – 18:39 +0530 – sinhala.adaderana.lk)

ත‍්‍රස්තවාදය ශ‍්‍රී ලංකාවෙන් මුලිනුපුටා දැමීමට ඕනෑම සහයක් ලබාදෙන බවට චීන ජනපති ෂී ජින්පින් මහතා ජනපතිට සහතික වෙයි.

ත‍්‍රස්තවාදය සහ අන්තර්ජාල අපරාධ මැඩලීමට අවශ්‍ය නවීන තාක්ෂණික උපකරණ මෙන්ම දැනුම ශ‍්‍රී ලංකාවට ලබාදීමට චීන ජනපති එකඟ වෙයි.

ත‍්‍රස්තවාදය ශ‍්‍රී ලංකාවෙන් මුලිනුපුටා දමා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ශ‍්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදෙන බව චීන ජනාධිපති ෂි ජින්පින් මහතා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාමා වෙත සහතික වෙයි.

චීනයේ එක් දින නිල සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ චීන ජනාධිපතිවරයා අතර නිල හමුව අද (14) පස්වරුවේ චීන ජනාධිපති මන්දිරයේ දී පැවැත්වුණු අතර එහිදී මේ බව අවධාරණය කෙරිණි.

මේ අතර ශ‍්‍රී ලංකාව තුළ මතුවූ මෙම හදිසි තත්ත්වය හමුවේ ආරක්ෂක අංශවල කටයුතු වෙනුවෙන් ජනාධිපතිතුමාගේ ඉල්ලීම පරිදි රුපියල් කෝටි 260 ක මූල්‍ය පරිත්‍යාගයක් ලබාදීමට ද චීන රජය පියවර ගෙන ඇත.

එමෙන්ම ශී‍්‍ර ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සඳහා රුපියල් කෝට් 150 ක් වටිනා ජීප් රථ 100 ක් ඇතුළු පහසුකම් වහාම ශ‍්‍රී ලංකාවට ලබාදීමට ද චීන ජනාධිපතිවරයා එකඟතාවය පළ කර තිබේ.

මේ අතර දෙරටේ ආරක්ෂක අංශවල සහයෝගීතාව වෙනුවෙන් නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ද මෙම රාජ්‍ය නායක හමුවෙන් අනතුරුව සිදු විය.

ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා චීන ජනාධිපති මන්දිරය වෙත ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා චීන ජනාධිපති ෂී ජින්පින් මහතා විසින් ඉතා සුහදශීලිව පිළිගනු ලැබීය.

චීන ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ ලොව කොතැනක වුව ද ම්ලේච්ඡ ත‍්‍රස්තවාදය තමා දැඩි ලෙස හෙළා දකින බවයි.

අපේ‍්‍රල් 21 වනදා ශී‍්‍ර ලංකාවේ සිදුවූ ම්ලේච්ඡ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ මෙහිදී සිය බලවත් අප‍්‍රසාදය පළ කළ චීන ජනාධිපතිවරයා එහිදී අසීරුතාවයට පත්වූ සියලු ශ‍්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් සිය කණගාටුව පළ කළේය.

ත‍්‍රස්ත අභියෝගය ජය ගනිමින් යළි නැඟි සිටින ශ‍්‍රී ලංකාව සමඟ චීන රජය සෑමවිටම අත්වැල් බැඳගෙන සිටින බව මෙහිදී අවධාරණය කළ චීන ජනාධිතිවරයා ඒ වෙනුවෙන් ඕනෑම අවස්ථාවක ඕනෑම සහයක් උපරිම ලෙස ලබාදීමට කටයුතු කරන බව ද කියා සිටියේය.

අපේ‍්‍රල් 21 වනදා සිදුවීම සහ එහිදී ගත් පියවර මෙන්ම ශ‍්‍රී ලංකාවේ නව ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා චීන ජනාධිපතිතුමා සමඟ විශේෂ කරුණු රැසක් සාකච්ඡා කරන ලදී.

දෙරටේ ආරක්ෂක අංශ අතර සහයෝගිතා වැඩපිළිවෙළ ශක්තිමත් කර ගැනීම සහ බුද්ධි අංශ අතර තොරතුරු හුවමාරු වැඩසටහන් පුළුල් කර ගැනීම පිළිබඳව ද සාකච්ඡාවට බඳුන් කෙරිණි.

එමෙන්ම ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ ත‍්‍රස්තවාදය මැඩලීමේ දී මෙන්ම අන්තර්ජාල සහ සමාජ වෙබ් අඩවි හරහා අසත්‍ය ප‍්‍රචාර පතුරවමින් සැඟිවී සිට ත‍්‍රස්තවාදය වපුරන පිරිස් සහ අපරාධ සිදු කරන්නන් හඳුනාගැනීමටත්, එම අපරාධ වළක්වා ගැනීම වෙනුවෙනුත් අවශ්‍ය තාක්ෂණික උපකරණ සහ දැනුම ශී‍්‍ර ලංකාවට නොමැති බවයි.

එම උපකරණ සහ තාක්ෂණය ශ‍්‍රී ලංකාවට ලබාගැනීම සඳහා කඩිනම් සහය ලබාදීමට මෙහිදී එකඟගතාවය පළ කළ චීන ජනාධිපතිවරයා ඒ පිළිබඳ සොයා බැලීමට චීන තාක්ෂණික කණ්ඩායමක් ශ‍්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බව ද කියා සිටියේ ය.
චීන ණය ආධාර මත ශ‍්‍රී ලංකාවේ කි‍්‍රයාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය පිළිබඳව ද මෙහිදී නායක දෙපළ සාකච්ඡා කළ අතර එම සංවර්ධන ව්‍යාපෘති බොහොමයක කටයුතු කඩිනමින් නිමා කිරීම තම අපේක්ෂාව බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම චීන ආධාර යටතේ පොළොන්නරුවේ ඉදිකෙරෙමින් පවතින වකුගඩු රෝහලේ ඉදිකිරීම් කටයුතු පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

ශ‍්‍රී ලංකාව සෑමවිටම අවංක මිතුරෙකු ලෙස චීනයට ලබාදෙන සහය ද මෙහිදී චීන ජනාධිපතිවරයාගේ විශේෂ පැසසුමට ලක් කෙරිණි.

එමෙන්ම මත්ද්‍රව්‍ය මර්දනය වෙනුවෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාමා දියත් කළ වැඩපිළිවෙළ පිළිබඳව ද සිහිපත් කළ චීන ජනාධිපතිවරයා එම අභියෝගය ද ජය ගැනීමට ශ‍්‍රී ලංකාවට හැකියාව පවතින බවට විශ්වාසය පළ කළේය ෴

+++++++++++++++++++++++++++++++++++++

කුලියාපිටිය ගැටුමට මා සම්බන්ධ යැයි කීම බොරුවක් – මධු මාධව

(14.05.2019 – 18:04 +0530 – sinhala.adaderana.lk)

කුලියාපිටිය ගැටුමට තමා සම්බන්ධ යැයි කීම සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව මධු මාධව අරවින්ද මහතා පවසයි.

අද (14) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අරවින්ද මහතා කියා සිටියේ, සිංහල ජාතිය කුපිත කිරීමේ කොන්ත්‍රාත්තුව ඉදිරියට අරගෙන යන පිරිස විසින් ගත් අපූරු අසාර්ථක උත්සාහයක් ලෙස මෙය දැක්විය හැකි බවයි.

ඊයේ (13) දිනයේ දී කුලියාපිටිය ගැටුමේ මහා කුමන්ත්‍රකරු කියලා තමාට එරෙහිව නිර්මාණය කරන ලද ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළින් ඉතා සීඝ්‍රයෙන් පැතිර යමින් ඇති බව ද ඔහු මෙහිදී සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මධු මාධව අරවින්ද මහතා මෙසේ පැවසීය :

‘‘මුලින්ම කියන්න ඕනෑ මේ කුලියාපිටිය නොවෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ පාලම උඩයි මේ සිද්ධිය වෙන්නේ.

අපි ඊයේ දිවුලපිටිය දක්වා ගමන් කරමිනුයි සිටියේ. ඉදිරියේ වාහන තදබදයක් තිබුණා. ඒ නිසා අප ඉදිරියට ගිහිල්ලා එතන සිටිය පොලිස් නිලධාරියෙක් ගෙන් විමසනවා මොකක්ද මේ වෙලා තියෙන්නෙ කියලා.

එවිට එතුමා මට කියනවා ‘සර් යන්න එපා ඉස්සරහට. ඉස්සරහ කලබලයක්.’

ඒ නිසා අපි නැවත හැරිලා වාහනය වෙත ගියා. එය යම් කිසිවෙක් විසින් වීඩියෝ කර තිබුණා.

එම දර්ශනය යොදා ගනිමින් මේ සියල්ල පිටිපස්සේ සිටියේ අපි බවට මතයකුයි මේ සූක්ෂමව මඩ ප්‍රචාරවලින් ඉදිරියට අරන් ගියේ.

ඔබ ඒ වීඩියෝව හොඳින් බලන්න. සාමාන්‍යයෙන් ප්‍රහාරයකට යන කෙනෙක් ගිහින් එන පිළිවෙළක් තියෙනවා. ගහපං මරපන් කොටපන් කියලා යන කෙනෙක්ගේ අතේ යම් යම් දේවල් තියෙනවා. වීඩියෝවෙන් පැහැදිලිව පේනවා එවන්නක් නොමැති බව.

සිංහල ජාතිය වෙනුවෙන් දේශපාලනය කරන අපි පිටුපසින් ඉඳලා කිසිවක් කරන්නේ නැහැ. කරනවා නම් ඉදිරියෙන්ම ඉඳලා ඉදිරි පසින්ම ඉඳලා තමයි කරන්නේ.

ඒ වගේම කළ දේ කියනවා. ඒ නිසා මේ අසාර්ථක උත්සාහය ඉතාම තරයේ ප්‍රතික්ෂේප කරනවා.

ඒ වගේම මේ කතාව සහමුලින්ම බොරුවක් බව මේ වෙනකොටත් මිනුවන්ගොඩ ප්‍රදේශයේ සියලු දෙනාම දන්නවා.’’

*****************************************

පාරේ වැටිලා හිටිය මනුස්සයට පිහිට වෙන්න ගිහින් වෙච්ච හදියක්

(14.05.2019 – 13:23 +0530 – sinhala.adaderana.lk)

ලොරි රථ රියදුරෙකුට පොල්ලකින් පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අතරින් එක් අයෙකුව අත්අඩංගුවට ගෙන ඇත.

අද (14) අළුයම 5 ට පමණ හලාවත – ආණමඩුව මාර්ගයේ කුමාරකට්ටුව ප්‍රදේශයේදී මෙම පහර දීම සිදුවී ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

පහර කෑමට ලක්ව ඇත්තේ පල්ලම – සේරුකැලේ ප්‍රදේශයේ පදිංචි සුනිල් අවුරුදු 54 ක පුද්ගලයෙක්.

හෙතෙම බරපතල තුවාල සහිතව ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.

බංගදෙණිය – කරුකුපනේ ප්‍රදේශයේ සිට බෝට්ටු පවටා ගත් ලොරි රථ 03 ක් අද අළුයම ත්‍රීකුණාමළය බලා පිටත්වී තිබේ.

හලාවත – ආණමඩුව මාර්ගයේ කුමාරකට්ටුව ප්‍රදේශයේදී මහ පාර මැද කිසියම් පුද්ගලයෙකු වැටී සිටි දැක ඇති එක් ලොරි රථයක රියදුරෙක් තම රථය නවත්වා ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට ගොස් ඇත.

එම අවස්ථාවේ බිම වැටී සිටි පුද්ගලයා සහ ඒ ආසන්නයේ සැගවී සිටි තවත් අයෙකු පැමිණ පහර දීම සිදු කර ඇති බව වාර්තා වේ.

මහ මඟ ගමන් කරන වාහන කොල්ලකෑමේ අදහසින් එක් පුද්ගලයෙකු බිම වැටී සිට ව්‍යාජ රංගනයක නිරත වී සිටින්නට ඇති බවට පොලීසිය සැක පල කරයි.

මෙම පහර දීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සිටින බව පොලීසිය සදහන් කරයි.

හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *