දිවයිනටම රෑ 9 ට – ගම්පහට රෑ 7 ට – වයඹට සවස 6 ට ඇඳිරි නීතිය පනවයි

(14.05.2019 – 17:23 +0530 – sinhala.adaderana.lk)

මුළු දිවයිනම ආවරණය වන පරිදි අද (14) රාත්‍රී 09.00 සිට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.

ඒ අනුව හෙට (15) අළුයම 04.00 දක්වා පොලිස් ඇදිරි නීතිය බල පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේය.

මේ අතර ගම්පහ පොලිස් කොට්ඨාශයට පමණක් අද රාත්‍රී 07.00 සිට හෙට පෙරවරු 06.00 දක්වා පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඒ අනුව ගම්පහ, මිනුවන්ගොඩ, දොම්පේ, ගණේමුල්ල, කිරිඳිවැල, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ, වේයන්ගොඩ, වීරගුල, වැලිවේරිය, පල්ලෙවෙල සහ යක්කල යන පොලිස් වසම්වලට එම කාලය තුළ පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

මේ අතර වයඹ පළාතට තාවකාලිකව ඉවත් කර තිබූ පොලිස් ඇදිරි නීතිය අද පස්වරු 06.00 සිට යලි ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව හෙට උදෑසන 06.00 පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

ඇතිවු නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා ඊයේ (13) පස්වරුවේ සිට යලි දැනුම්දෙන තුරු වයඹ පළාතට පොලිස් ඇදිරි නීතිය පැනවීමට පියවර ගත්තේය.

කෙසේවෙතත් අද පස්වරු 04.00 සිට පැය දෙකක කාලයක් සඳහා පොලිස් ඇදිරි නීතිය ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි.

පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ නීතිය හා සාමය කඩවන ආකාරයේ කිසිඳු ක්‍රියාවක නොයෙදෙන ලෙසත් ඇදිරී නීතිය කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

මේ අතර මිනුවන්ගොඩ නගරය හා ඒ අවට හටගත් කලහකාරී හා ප්‍රචණ්ඩකාරී සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් 14 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ ෴

+++++++++++++++++++++++++++++++++++++

ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන්ගෙන් නිවේදනයක්

(14.05.2019 – 19:28 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන්ගේ සිත්සතන් තුළ විශ්වාසය, නීතිය හා සාධාරණත්වය තහවුරු කිරීම වෙනුවට එය නොසලකා හැරීම මෙන්ම, නිසි වේලාවට, නිසි ලෙස කටයුතු නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස නැවතත්, රට තුළ ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය වී ඇති බව මහානාහිමිවරුන් පෙන්වා දෙනවා.

ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, වගකිව යුතු අමාත්‍යවරයෙකු, ශ්‍රී ලංකාව, සිංහල බෞද්ධ රාජ්‍යයක් නොවන බවට ප්‍රකාශ කිරීමද ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් වැනි බවයි.

සියලු වාර්ගික, සියලු ආගමික සමගිය, සමාදානය තහවුරු වන සේ කටයුතු කිරීම පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ගේ හා විශේෂයෙන් පාලකයන් සතු බලවත් වගකීමක්.

එමෙන්ම බලය මුල්කරගෙන ඡන්ද ගොඩ වැඩි කර ගැනීමේ චේතනාවෙන් කටයුතු කිරීම නිසා අයහපත් ප්‍රතිඵල රැසක් උද්ගත වී ඇති බවයි මහනාහිමිවරුන් පෙන්වා දෙන්නේ.

මීට පෙරද අවස්ථා කිහිපයකදී රටේ යහපැවැත්ම හා අභිවර්ධනය උදෙසා මහා සංඝරත්නය විසින් අනුශාසනා ලබාදී ඇති නමුත්, ඒවා නොසලකා හැරීමේ ප්‍රතිඵලයක් ලෙස නැවත නැවතත් බලධාරීන්ගේ අවධානයට එම කරුණු යොමු කිරීමට සිදුවීම කණගාටුවට කරුණක් බව මහනාහිමිවරුන් පවසනවා.

මෙම අවාසනාවන්ත අවස්ථාවේදී නීතිය හා සාමය ආරක්ෂා කිරීමෙහි නිරතව සිටින ආරක්ෂක අංශවලට රටට හිතැතිව කටයුතු කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදීම කාගේත් පරම යුතුකමක්.

උතුම් තෙමඟුල යෙදෙන වෙසක් පුන් පොහෝ දිනය සැදැහැ සිතින් අනුස්මරණය කිරීමේ, සාමකාමී පරිසරයක් ඇති කර ගැනීම සඳහා ලක්වැසි සියළු ජනතාවම එක්ව සමගියෙන් කටයුතු කර ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් වළක්වා ගැනීමට සහයෝගය ලබාදීම සුදුසු යැයි ත්‍රෛනිකායික මහනාහිමිවරුන් එම නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ අතර අද කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කළේ නීතිය අතට ගෙන කටයුතු කිරීම සුදුසු නොවන බවයි.

එමෙන්ම පසුගිය දිනවල ඇතිවූ සිද්ධිවලදී දේශපාලන පක්ෂවල නායකයින් ඔවුන්ගේ ප්‍රාදේශීය නායකයින් හසුරුවා ගැනීමට කටයුතු කළ යුතු බවද උන්වහන්සේ පෙන්වා දුන්නා ෴

+++++++++++++++++++++++++++++++++++++

ඇමති මංගලගේ මතභේදාත්මක ප්‍රකාශයට අදත් දසතින් විරෝධය

(14.05.2019 – 19:23 +0530 – hirunews.lk/sinhala)

තමන් පසුගියදා සිදුකළ මතභේදාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර අද නැවතත් අදහස් පළ කළා.

කෙසේ නමුත් එහිදීද අමාත්‍යවරයා යළි අවධාරණය කළේ ශ්‍රී ලංකාව, සිංහල බෞද්ධයන්ට පමණක් නොව සියලු ජාතීන්ට අයිති රටක් බවයි.

කෙසේ වෙතත්, අමාත්‍ය මංගල සමරවීර සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද දිනයේදී ද දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, කුමාර වෙල්ගම, ෂෙහාන් සේමසිංහ ඊට එරෙහිව අදහස් පළ කළා.

+++++++++++++++++++++++++++++++++++++

හලාල් සහතිකයෙන් ගන්නා මුදල් මෙරට ත්‍රස්තවාදය ප්‍රවර්ධනයට… හලාල් එපා ! – පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක්

(14.05.2019 – colombotoday.com)

පාරිභෝගික සුරැකිමේ එකමුතුව මගින් 2019.05.13 දින පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් කලේය. ඒ සිංහල බෞද්ධයන් වශයෙන් අපට හලාල් ආහාර භවිතා කිරිමේ කිසිම අවශ්‍යතාවයක් නොමැති බව පෙන්වා දීමටය.

ඒ සදහා ආචාර්ය පුජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමි ද බුදුගල ජිනවංස හිමි හා පස්සරමුල්ලේ දයාවංස හිමිවරුන්ද, බෝසෙත් කලහේපතිරණ, මෙන්ම දුලිප් සංජය, සුමිත් වැලිවත්ත යන අය ද සහභාගිව සිටිහ.

පාරිභෝගික අධිකාරියේ සභාපති තුමාට පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පෙන්වා දුන්නේ මේ රට තුල මුස්ලීම් ජනතාව 7% ක් පමණ ජිවත් වන බැවින් මෙවැනි හලාල් සහිත අහාරයක් සිංහල බෞද්ධයන් වන අපට අවශ්‍ය නොවන බවයි. එම නිසා ඔබ තුමා පාරිභෝගිකයන් අරක්ෂා කරන අයතනයේ සභාපති වශයෙන් මේ සදහා වහාම මැදිහත් විය යුතුය බවය. මේ හලාල් සහතිකය ලබා ගැනිමට යොද ගන්නා මුදල්වලින් මෙරට ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරිමට යොදා ගන්නා බැවින් වහාම මැදිහත් වී මෙම පාරිභෝගික භාණ්ඩවලින් මෙම හලාල් සහතිකය ඉවත් කර දෙන ලෙස ඉල්ලා සිටිහ.

සභාපති තුමා කියා සිටියේ මා ඉදිරියේදි පැවැත් වීමට නියමිත ජිවන වියදම් අඩු කිරිමේ කමිටුවට මෙම ගැටළුව ඉදිරිපත් කරන බවයි. එහිදි ලැබෙන උපදෙස් අනුව ක්‍රියා කරන බවයි. මෙම ජිවන වියදම් අඩුකරන කමිටුව කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් සැදුම්ලත් කමිටුවකි. ඒ කමිටුව ක්‍රියාකාරිවය ගැන අප අවධානයෙන් සිටින බව අප මෙහිදි අවධාරණය කරන ලදි. බෝසෙත් කළහේපතිරණ මහතා කියා සිටියේ මෙම හලාල් සහතිකය නිකුත් කිරිමට යම් භාණ්ඩයක් නිෂ්පාදනය වන සියලුම නිෂ්පාදන ද්‍රව්‍ය සම්බන්ධයෙන් සහතිකයක් අවශ්‍ය බවයි. එය අතිවිශාල දැවැන්ත වක්‍රකාරව සිදුවන ක්‍රියාදාමයකි.

වැඩි දුරටත් ඕමල්පේ නාහිමියන් පෙන්වා දුන්නේ නීතියට පටහැනි ආකාරයෙන් හලාල් සහතිකය නිකුත් කරමින් ඒ හාරහා අන්තවාදි කල්ලි අති විශාල මුදලක් උපන අතර බෞද්ධයන් ඇතුළු අන්‍යාගමිකයන් ගෙන් ද හලාල් බද්ද මෙමප අන්තවාදි කල්ලි අය කර කර ගනු ලැබේ. පාරිභෝගික ආහාර ද්‍රව්‍ය වෙළදපොල තුලදි ආගමික වශයෙන් වර්ගීකකරණයට ලක්කිරිම අමු අමුවේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන වගන්තිය උල්ලංඝනය කිරිමකි.

හලාල් ලෙස ඊනියා සහතිකයක් වෙළද හෝ පාරිභෝගික භාණ්ඩයක ලේබලයක් මත සදහන් කිරිමට 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරි පනත යටතේ ප්‍රතිපාදන නොමැත. ඉහත පනත ප්‍රකාරව වෙළද හෝ පාරිභෝගික භාණ්ඩයක ලේබලයක මත එම භාණ්ඩයේ ප්‍රමිති සහ පිරිවිතර වශයෙන් සදහන් කල හැක්කේ ප්‍රකාරව ශ්‍රි ලංකා ප්‍රමිති ආයතන විසින් නියම කරන ලද ප්‍රමිති සහ පිරිවිතර පමණි.

ඒ අනුව අප සංවිධානය ඔබ ආයතයෙන් ගෞරවයෙන් ආයාචනය කර සිටින්නේ ඔබ ආයතනයට පැවරි ඇති බලතල අනුව වෙනත් ප්‍රතිපාදන අතර 2003 අංක 09 දරණ ආයතනයට පැවරි ඇති බලතල අධිකාරි පනතේ 10 වන වගන්තිය ප්‍රකාරව අන්තවාදි ආගිමික සංවිධාන විසින් නිකුත් කර බෞද්ධයන් ඇතුළු අන්‍යාගමිකයන් ගෙන් හලාල් බද්ද වක්‍ර ආකාරයෙන් අයකර ගැනීම නතර කර දෙන ලෙසටයි. මෙම ආයාචනය සිදුකර සිටින්නේ වෙනත් ප්‍රතිපාදන අතර 2003 අංක 09 දරණ පාරිභෝගික යටයුතු පිළිබඳ අධිකාරියේ පනතේ 7 (අ) සහ 7 (ඇ) වගන්ති ප්‍රකාරවයි.

මෙම අවස්ථාවට පාරිභෝගික අධිකාරියේ සභාපති තුමා ද එම අංශයේ නීති අංශයේ ප්‍රධානියද සහභාගි විය.

බුදුගල ජිනවංස හිමි
මාධ්‍ය කටයුතු

+++++++++++++++++++++++++++++++++++++

ආගමික ගැටුම් අවුලන්න ඇමරිකාවේ සිට එවූ ලිපි තොගයක් මධ්‍යම තැපෑලේදී අත්අඩංගුවට…

(14.05.2019 – colombotoday.com)

බෞද්ධ හා කතෝලික ආගමිකයින් අතර ගැටුම් ඇති කිරීම සඳහා බුද්ධාගමට අපහාස ප්‍රකාශ සඳහන් ලිපි ගනනාවක් කොටුව මධ්‍යම තැපැල් හුවමාරුවේ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ හා මීගමුව ප්‍රදේශවල විහාරස්ථාන රැසක ලිපිනවලට යොමු කර තිබූ මෙම ලිපි ඇමරිකාවේ නිව්යෝක් සිට එවා තිබූ බවද පොලිසිය සඳහන් කරයි.

මේ ආකාරයේ ලිපි 21 එකක් අත්අඩංගුවට ගෙන ඇති බව ද පොලිසිය කියා සිටී.

ලිපි විවෘත කර බැලූ පසු එම ලිපි එවන පුද්ගලයාගේ කිසිදු ඇඟිලි සලකුණක් හෝ සටහන්ව නොතිබීම විශේෂත්වයක් බව ද ඒවා එවූ අය ඒ තරම් සූක්ෂම වී ඇති බවද පොලිසිය සඳහන් කරයි ෴

+++++++++++++++++++++++++++++++++++++

අන්තවාදී මුස්ලිම් සංවිධාන 3 ක් තහනම් කෙරෙන ගැසට් පත්‍රය නිකුත් කෙරේ

(14.05.2019 – colombotoday.com)

ජාතික තවුහිත් ජමාත්, ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහිම් සහ විලායත් අස් සෙයිලානි යන සංවිධාන 03 තහනම් කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ.

+++++++++++++++++++++++++++++++++++++

වගකීම් දැරීමට නොහැකි අය රටේ නායකත්වයෙන් අයින් කරන්න ඕනෑ – අගරදගුරු තුමාගෙන් ප්‍රකාශයක්

(13.05.2019 – colombotoday.com)

“පාස්කු දා ප්‍රහාරය මටත් පෞද්ගලිකව වැදුණු ලොකු පහරක්. ඒ වේදනාවෙන් තවමත් මම පීඩා විඳිනවා. මේ දේවල් හොඳටම දැනගෙන ඒවා මඟහැර ගැනීමට කටයුතු නොකරපු ඒ නිලධාරීන් විතරක් නොව මේ රටේ නායකත්වය පවා මේ විනාශයට වගකිව යුතු බව මා නැවත වරක් ප්‍රකාශ කරනවා.” යැයි මැල්කම් රංජිත් අගරදගුරු තුමා පැවසුහ.

කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබුවන් වෙනුවෙන් පැවැත්වූ විශේෂ දිව්‍ය පූජාවෙන් පසු කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැදුරේ දී අගරදගුරු තුමා මෙසේ කීහ.

එහිදී අගරදගුරු තුමා මෙසේ ද පැවසුහ :

“පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය හා තුවාල වූ අයගේ ජිවිත වලට සිදුවූ මේ විනාශය දේව කැමැත්ත අනුව සිදුවූ දෙයක් නොවන බව පැහැදිලියි. එය මනුෂ්‍යාගේ පව්කාරකම තුළ සිදුවූ දෙයක්. මනුෂ්‍යාගේ පව්කාරකමේ ගොදුරක් බවට අපේ සහෝදර සහෝදරියෝ පත්වුණා.”

ඒ වරද කළ අයට අත හෝදගන්න බැහැ. මේ වරද කළ අයට දඬුවම් කරන්න ඕනෑ. එය කළ යුත්තේ ඔවුන්ව බලතල වලින් පහ කිරිමෙනුයි. මේ වාගේ වගකීම් දැරීමට නොහැකි අය අපේ රටේ නායකත්වයෙන් අයින් කරන්න ඕනෑ. සමහරු තවම නිදැල්ලේ හැසිරෙනවා. සමහරු සාන්තුවරු වගේ ඉන්නවා. ඔවුන් හිතනවා බේරිලා ඉන්න පුළුවන් කියලා. මනුෂ්‍යාගේ විනිශ්චයාසනයෙන් දඬුවම් නොලැබුණත් දෙවියන්ගේ විනිශ්චයාසනයෙන් දඬුවම් ලැබෙනවා. මේ අපරාධය නොකළා මෙන් නිහඬව සිටින අදාළ පුද්ගලයින්ට දඬුවම් කිරිමට මැලිවන අයට දෙවියන් වහන්සේගේ දඬුවම ලැබෙනවා.

“ආත්මාර්ථකාමී අදහස් හා දේශපාලන මතිමතාන්තර මුදුන්පත් කිරිමට කටයුතු කළ සියලු දෙනාටම දෙවියන් වහන්සේගෙන් දඬුවම් ලැබෙනවා. දැන් මගේ පස්සෙනුත් එලවනවා කියලා ආරංචියි. මම බය නෑ. මගේ ජිවිතය ඔබට සහ දෙවියන්ට අයිතියි. ඕනෑම වේලාවක ජිවිතය පුජා කරන්න මම සුදානම්.”

එම දිව්‍ය පුජාව සඳහා බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයගේ ඥාතීහු සහ තුවාල ලැබුවෝ සහභාගී වුහ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *