බදියුදීන් හා අසාද් සාලි සහාය දෙන ජනපති අපේක්ෂකයෙකුට සහාය දෙන්නේ නෑ – උදය ගම්මන්පිල

(13.05.2019 – colombotoday.com)

රිෂාඩ් බදියුදීන් හා අසාද් සාලි සහාය ලබාදෙන ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙකුට තමන් සහාය නොදෙන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (13 දා) පැවසීය.

අන්තවාදීන් සුළු පිරිසකට මේ රට නටවන්න හැකිවී ඇත්තේ සිංහලයා දෙකට බෙදී ආණ්ඩු නිර්මාණය කිරීමට අන්තවාදීන් වන්දනා කරන නිසායැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා,

“ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් අන්තවාදය ත්‍රස්තවාදයක් බවට පෙරලී පාස්කු ඉරිදා මහ විනාශය සිදු කරන තෙක් එය පෝෂණය කිරීමට ඍජුවම වගකිවයුතු දේශපාලකයන් දෙදෙනෙකු අපි හඳුනා ගෙන තිබෙනවා. ඒ තමයි රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා සහ අසාද් සාලි ආණ්ඩුකාරවරයා. අන්තවාදීන් සුළු පිරිසකට මේ රට නටවන්න, රිදවන්න, සොලවන්න පුළුවන් වෙලා තිබෙන්නේ සිංහලයා දෙකට බෙදිලා ආණ්ඩු හදන්න අන්තවාදීන් වන්දනා කරන නිසා. ඒ නිසා පිවිතුරු හෙළඋරුමය මධ්‍යම කාරක සභාව තීන්දුවක් ගත්තා. ඒ අනුව රිෂාඩ් බදියුදීන් හෝඅසාද් සාලිගේ සහාය ලබන කිසිම ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙකුට පිවිතුරු හෙළ උරුමයේ සහාය ලබා දෙන්නේ නෑ කියන තීන්දුව අපි ගත්තා. අපි කෙතරම් ප්‍රිය කරන, ගරු කරන අපේක්‍ෂකයෙකු වුවත් මුස්ලිම් අන්තවාදීන්ගේ සහාය ලබනවා නම්, ඒ අපේක්‍ෂකයාට අපේ සහාය ලබා දෙන්නේ නෑ.

දැන් අපෙන් අසාවි නම් දෙකක් විතරද? අර නම නැත්තේ ඇයි? මේ නම නැත්තේ ඇයි? කියලා. ෆේස්බුක් එකේ පෝස්ට් දාන හැඟීම් බර තරුණයෙකු විධියට වගකිව යුතු දේශපාලන පක්‍ෂයකට හැසිරෙන්න බෑ. අපි නම් ගණනාවක් සලකළා මුස්ලිම් අන්තවාදය පෝෂණය කළ බවට නිශ්චිත සාක්ෂි තිබෙන, අත්අඩංගුවට ගැනීමට තරම් මේ අපරාධයට සම්බන්ධ බවට තොරතුරු තිබෙන පුද්ගලයන් පමණයි අප නම් කළේ. ඔබට තව තියෙනවා නම් තොරතුරු අපට ලබාදෙන්න. අපි ලෑස්තියි මේ ලැයිස්තුව ඕනෑම වෙලාවක දිගු කරන්න. ඒකට මේ ලැයිස්තුව විවෘතයි. මේ ලැයිස්තුවේ ආරම්භය පමණයි.

අපි දීර්ඝ කාලයක් මේ රටේ දෙමළ බෙදුම්වාදය සහ ඉස්ලාම් අන්තවාදය පිළිබඳ අනතුරු ඇඟෙව්වා. එදා සතුරු පිලේ මෙන්ම මිතුරු පිලේ අයද අපිව දැක්කෙ අන්තවාදීන් විදියටයි. අද අපි කිව්ව දේවල් මහපොළොවේ ඇත්ත බවට පත්වෙලා ජාතියේම ඇස් ඇරිලා තියෙනවා. රට රත් වෙලා තියෙනවා. හැබැයි මේ රටේ ජනතාව පිළිබඳ අපට තියෙන අත්දැකීම් අනුව නම් දැන් මේ රත් වීම ඉතා ඉක්මනින් සිසිල් වේගෙන යනවා. තව ටික කලකින් පාස්කු ඉරිදා බෝම්බය කිව්වම මොන පාස්කු ඉරිදා බෝම්බයේද කියලා වුණත් අහන්න ඉඩ තියෙනවා. වේළුපිල්ලේ පිරිබාහරන් නම් කිව්වේ සිංහලයාගේ මතකය සති දෙකයි කියලා. දැන් සති තුනක් ගෙවිලා හමාරයි. අපි ඉන්නේ භයානක අවධියකට පත්වෙලා.” යනුවෙන් පවසා සිටියේය ෴

+++++++++++++++++++++++++++++++++++++

මුස්ලිම් ආගමික අමාත්‍යංශයේ අනුමැතියෙන් නේවාසික වීසා ලැබූ මුස්ලිම් ජාතිකයන් 200 ක් රට තුළ !

(13.05.2019 – colombotoday.com)

මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයේ අනුමැතිය මත විදෙස් මුස්ලිම් ජාතිකයන් 200 කට වැඩි පිරිකට මෙරට මුස්ලිම් ආගමික කටයුතු සිදු කිරීම සඳහා නේවාසික වීසා නිකුත් කර ඇති බව හෙළි වී තිබේ.

පකිස්තානය, ඊජිප්තුව, බංග්ලාදේශය, සෞදි ඇතුළු රටවල් කිහිපයක පුද්ගලයන්ට මෙසේ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයේ අනුමැතියෙන් නේවාසික වීසා නිකුත් කර තිබේ. මෙම පුද්ගලයන් අතර වහාබ්වාදය ඇතුළු අන්තවාදී ඉගැන්වීම් සිදු කරන පුද්ගලයන් සිටින්නේද යන්න සම්බන්ධයෙන් සැක කරයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් නේවාසික වීසා ලබාදීම සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවට රජය තීරණය කර තිබේ. ඊට හේතු වී ඇත්තේ විවිධ ආයතනවල නිර්දේශය මත නේවාසික වීසා ලබා දීමේදී ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි විවිධ අන්තවාදී කණ්ඩායම්වලට සම්බන්ධ පුද්ගලයන්ට රට තුළට පැමිණීමට ඉඩකඩ විවර වීමයි.

මේ නිසා නේවාසික වීසා ලබාදීමේදී ඒ සඳහා රාජ්‍ය බුද්ධි අංශයේ අනුමැතිය ලබා ගැනීම මින් ඉදිරියට අනිවාර්ය වේ. ඒ අනුව මින් පසු කිසිදු විදේශිකයෙකුට රාජ්‍ය බුද්ධි අංශයේ අනුමැතිය නොමැතිව නේවාසික වීසා ලබා ගැනීමට නොහැකි වනු ඇත.

මේ වනවිටත් රට තුළ නේවාසික වීසා මත රැඳී සිටින පුද්ගලයන් සම්බන්ධයෙන්ද රාජ්‍ය බුද්ධි අංශය හරහා වාර්තා ලබා ගැනීමටද නියමිත බවයි වාර්තා වන්නේ ෴

+++++++++++++++++++++++++++++++++++++

වැල්ලම්පිටිය පොලිස්ථානාධිපති සහරාන් කල්ලියට ඇප දීමේ ඇත්ත කතාව කියයි

(14.05.2019 – 22:00 +0530 – lankadeepa.lk)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ ඉන්සාෆ් අහමඩ් නැමැත්තාට අයත් වැල්ලම්පිටියේ පිහිටි තඹ කම්හලේ සේවය කරමින් සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් නවදෙනකුට අලුත්කඩේ අංක දෙක උසාවියේ මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා පොලිස් විරෝධය නොතකා ඇප ලබා දුන් බවටත්, එය නඩු වාර්තාවේ සඳහන් කර නොමැති බවටත් චෝදනා කරමින් වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී හේවාවිතාන මහතා අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් කර ඇත.

සැකකරුවන්ට ඇප නොදෙන ලෙස පොලිසිය කළ ලිඛිත හා වාචික ඉල්ලීම් නොසලකා ඇප ලබා දී ඇති බවටත් එහි ප්‍රතිඵලයක් ලෙස තමා ඇතුළු නිලධාරීන් කිහිපදෙනකුට එරෙහිව පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවටත් හේවාවිතාන මහතා තම පැමිණිල්ලේ සඳහන් කර ඇත.

එම නිසා මේ සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් කරන්නැයි අධිකරණ සේවා කොම්සමෙන් ඉල්ලා සිටින බවද එහි සඳහන් වේ. සැකකරුවන්ට ඇප ලබා දීමට පොලිසිය දැඩි ලෙස විරුද්ධ වූ බවට මෙම නඩුවේම විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීවේදී පිටිගල කංකානම්ලාගේ දොන් වසන්ත මහතා දිවුරුම් ප්‍රකාශයක් මගින් පවසා ඇතැයිද එම පැමිණිල්ලේ සඳහන් වේ.

දුරකතන විශ්ලේෂණ වාර්තා ඔස්සේ කරන ලද විමර්ශනයේදී මෙම සැකකරුවන් සිම්පත් දෙකේ සිට අට දක්වා සංඛ්‍යාවක් ළඟ තබාගෙන ඇති බවත්, ඔවුන් අපරාධය සඳහා පැහැදිලි අවබෝධයෙන් කටයුතු කර ඇතැයි විමර්ශනයේදී පෙනී ගොස් ඇති බවත් අධිකරණයට වාර්තා කළ බවද පොලිස් ස්ථානාධිපතිවරයා සිය පැමිණෙල්ලේ සඳහන් කර ඇත.

කොළඹ අපරාධ කොට්ටාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී උදය හේමන්ත මහතා පසුගිය අප්‍රේල් මස 21 දින රාත්‍රියේ කළ දැනුම්දීමක් මත වැල්ලම්පිටියේ පිහිටි කොලෝසස් නැමැති තඹ කම්හලට ආරක්ෂාව යෙදූ බවත් පසුව ඔහුගේ උපදෙස් මත පුද්ගලයන් නව දෙනකු පොලිස් බාරයට ගත් බවත් පොලිස් ස්ථානාධිපති ගාමිණී හේවාවිතාන මහතා සඳහන් කර තිබේ.

– බිගුන් මේනක ගමගේ සහ තරිදු ජයවර්ධන

+++++++++++++++++++++++++++++++++++++

රට ගිනි තියෙන ඇමතිලා ගැනත් පරීක්ෂණ කරන්න – පුජ්‍ය මාවරලේ භද්දිය හිමි

(14.05.2019 – 20:16 +0530 – hirunews.lk/sinhala)

තරුණයන් සමාජ මාධ්‍යවල පළ කරන ප්‍රකාශ පිළිබද පරීක්ෂණ පවත්වන අයුරින් අමාත්‍යවරු සිදුකරන රට ගිනි තබන ප්‍රකාශ පිළිබදවද පරීක්ෂණ පැවැත්විය යුතු බව පූජ්‍ය මාවරලේ භද්දිය හිමියන් පවසනවා.

ජාතික මග මහජන සමුළුව අමතමින් උන්වහන්සේ මෙම අදහස් පලකළා.

‘ජාතික මග – රට රකින රට හදන මහජන ව්‍යාපාරයේ’ මංගල මහා සමුළුව ආගමික නායකයන් සහ දේශපාලඥයින්ගේ සහභාගීත්වයෙන් අද බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.

මේ අවස්ථාවට කතානායක කරූ ජයසූරිය මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක්ද සහභාගීවී සිටියා.

++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++

ෂැංග්‍රිලා බෝම්බකරුගේ ඉඩමක් මාතලේ ප්‍රාදේශීය සභාවට පවරා ගැනීමේ යෝජනාවක් සම්මතයි

(15.05.2019 – 12:59 +0530 – hirunews.lk/sinhala)

ෂැංග්‍රිල්ලා හෝටලයේ බෝම්බ ප්‍රහාරය සිදුකළ ත්‍රස්තවාදියාට අයත් මාතලේ – කැටවල – හතමුණගාල ප්‍රදේශයේ පිහිටි අක්කර 22ක ඉඩම රාජසන්තක කිරීමේදී එය මාතලේ ප්‍රාදේශීය සභාවට පවරා ගන්නා ලෙසට ඉදිරිපත් වූ යෝජනාවක් ඒකමතිකව සම්මත වී තිබෙනවා.

පෙරේදා පැවති එම ප්‍රාදේශිය සභාවේ මහ සභා රැස්වීමට අදාල යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ එහි පොදුජන පෙරමුණේ මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ විසින්.

දැනට ගම්මිරිස් වගා කර ඇති මෙම ඉඩම බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව ආරක්ෂක අංශ විසින් පරීක්ෂා කළ නමුත් එහි තිබී කිසිවක් හමුවුණේ නැහැ.

කෙසේ වෙතත්, බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ඉන්ෂාෆ් අහමඩ් නමැති සැකකරු බෝම්බ පිපිරීමට මාස 06 කට පමණ පෙර මෙම ඉඩමට පැමිණ ඇති බවට ද හෙලි වී තිබෙනවා.

අදාල යෝජනාව ඉදිරිපත් කළ මාතලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ ප්‍රකාශ කළේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල එක් රැස්වන කසල ප්‍රතිචක්‍රීයකරණය කිරීමට ඉඩමක් නොමැති බැවින් මොහුට අයත් ඉඩම ප්‍රාදේශීය සභාවට ලබා ගන්නා ලෙස යෝජනා කළ බවයි.

මේ අතර, පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදු කළ ත්‍රස්තවාදීන්ට තාක්ෂණික සහය ලබාදීමේ චෝදනාව මත දැනට අත්අඩංගුවේ සිටින මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන ආදිල් අමීස් නමැති සැකකරු අයි එස් ත්‍රස්ත සංවිධානය සමඟ පැවැත්වූ සබදතාවයන් පිළිබඳව ඉන්දීය බුද්ධි අංශ වසර 03ක් තිස්සේ නිරීක්ෂණය කර තිබෙනවා.

රොයිටර් පුවත් සේවය සඳහන් කළේ එම ත්‍රස්ත සංවිධානයට එරෙහිව ඉන්දියාවේ විභාග වන නඩු දෙකක චෝදනා පත්‍රවල 24 හැවිරිදි අලුත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහුගේ නම ද සඳහන් වී ඇති බවයි.

ප්‍රහාරයෙන් පසු, ජාතික තවුහිත් ජමාත් සහ ජමාතේ මිල්ලාතේ ඊබ්‍රාහිම් යන සංවිධාන මෙරට තුල තහනම් කරන ලද අතර මෙම සැකකරු මොවුන් සමඟ සබඳතා පවත්වා ඇති බවද හෙලි වී තිබෙනවා.

ප්‍රහාරයෙන් පසු මෙම පුද්ගලයා සේවය කළ දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ මෘදුකාංග නිෂ්පාදන සමාගමක් ද පොලිසිය විසින් පරීක්ෂා කරනු ලැබුවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *