කළ යුත්තේ කුමක් ද? : පණිවිඩ හුවමාරු ජාල නොතැකීමේ වරද

(15.05.2019 – 12:28 +0530 – lankadeepa.lk)

‘කළ යුත්තේ කුමක් ද?’ විශේෂාංගයෙන් අද කතා කරන්නේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතාය. ඔහු සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ ආචාර්ය උපාධිධාරියකු වන අතර චීනයේ සිචුවාන් හා ලේෂාන් විශ්වවිද්‍යාලවල ආරාධිත මහාචාර්යවරයකු ලෙස ද සේවය කරයි.

“අප්‍රේල් 21 වැනිදා මුස්ලිම් අන්තවාදීන් ප්‍රහාර එල්ල කළේ ඇයි දැයි සොයා බලද්දී කරුණු දෙකක් කෙරෙහි අවධානය යොමු කිරීමට සිදු වෙයි. පළමුව අවධානය යොමු කළ යුත්තේ මේ ප්‍රහාරය සඳහා ලංකාව තෝරා ගත්තේ ඇයි ද යන්න ගැනයි. පිළිතුරු සෙවීම අමාරුම කාරණය එයයි. අනෙක් කාරණය ලංකාවේ පැවැති වාතාවරණය අනුව මෙවැනි ප්‍රහාර එල්ල කිරීමට පහසු වාතාවරණයක් පැවැතීමය. අප්‍රේල් 21 වැනිදා වනවිට ලංකාවේ පැවැතියේ ඕනෑම කෙනකුට ඕනෑම තැනක ඕනෑම හානියක් කළ හැකි තත්ත්වයකි. මුස්ලිම් අන්තවාදීන්ට පමණක් නොව එල්.ටී.ටී.ඊ.යේ කිහිපදෙනකු සිටියා නම් ඔවුනට ද මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව තිබිණි.

බෝම්බ පිපිරුණේ පැය කීපයක් ඇතුළතදී වුණාට මෙවැනි ප්‍රහාරයක් ක්ෂණිකව සැලසුම් කළ නොහැකිය. මේවා මාස ගණනක් තිස්සේ සැලසුම් කළ ප්‍රහාර මාලාවකි. පුහුණු කඳවුරු තිබුණු තැන්, වෙඩි බෙහෙත් රැස්කිරීම්, අත්අඩංගුවට ගැනීම්, අත්අඩංගුවට ගෙන මුදාහැරීම් යනාදී තොරතුරු රැසක් දැන් අනාවරණය වී තිබේ. එසේ කිරීමෙන් ඔවුන් අවබෝධ කරගත්තේ තමන්ට ඕනෑම දෙයක් කළ හැකි වාතාවරණයක් රටේ පැවැති බවය. එසේ වූයේ පසුගිය කාලය තුළ ජාතික ආරක්ෂාවට ඉතා පහත් සැලකිල්ලක් ඇතිවීම හේතුවෙනි. ජාතික ආරක්ෂාවට තිබුණේ ඉතාමත්ම අඩු තක්සේරුවකි.

ජාතික ආරක්ෂාව ලෙස මා අදහස් කරන්නේ හුදෙක් රජයකින්, හමුදාවකින්, පොලිසියකින් ලැබෙන ආරක්ෂාව නොවේ. කොටි සංවිධානය සමඟ කළ යුද්ධය නිම වී ගත වී ඇත්තේ අවුරුදු 10 කි. මෙහිදී සිහියට නැගෙන්නේ ජනප්‍රිය කියමනකි.

‘යුද්ධයේදී සොල්දාදුවන් සේම දෙවියන් ද ඕනෑ වෙයි. යුද්ධය නිමා වූ පසු දෙවියෝ පසෙකට වූහ. සොල්දාදුවා අමතක විය.’

පසුගිය කාලයේදී ලංකාවේ සිදු වූයේ ද එයමය. 2009 යුද්ධය නිමා වූ පසුව ඇතැමුනට සොල්දාදුවා අමතක වූ අතර තවත් පිරිසක් වෙහෙස මහන්සි වූයේ සොල්දාදුවා අමතක කරවීමටය. රජයේ වගකිව යුතු නිලධාරීන් කියා සිටියේ රණවිරුවන් කීම වැරැදි බවය. සොල්දාදුවන්ට එසේ ආමන්ත්‍රණය කළ නොහැකි බවය. අවුරුදු 30ක් තිස්සේ තිබූ යුද්ධය දිනුවේ කොහොම ද? යුද්ධ කළේ කවුද යනාදිය වගකිව යුතු නිලධරයෝත් දේශපාලකයෝත් අමතක කළහ. ජනතා සිත් සතන්වලිනුත් එය අමතක කරවීමට වගකිව යුත්තෝ බොහෝ දේ කළහ. ‘රණවිරුවා’ යන්න දේශපාලකයන් ගොඩනැගූ සංකල්පයක් නොව පොදු ජන මනසින් ගොඩනැගුනකි. රණවිරුවාට සමාජයේ තිබුණේ ලොකු ගරුත්වයකි.

එහෙත් 2015න් පසුව ඒ රණවිරුවන්ට ලැබුණේ ඉතා පහත් සැලකිලිය. ජාතික ආරක්ෂාවට ද ලැබුණේ එතරම්ම පහත් සැලකිල්ලකි. ආරක්ෂක මණ්ඩලය ගැන දැන් ඇසෙන කතාවලින් අනාවරණය වන්නේ ජාතික ආරක්ෂාව විහිළුවක් බවට පත්ව තිබූ බවය. ආරක්ෂක මණ්ඩලය හරි හැටියට ක්‍රියාත්මක වූයේ නම් මෙවැනි තත්ත්වයක් උද්ගත විය නොහැකිය. ලැබෙන තොරතුරු ගැන ඔවුහු අවස්ථා ගණනාවකදී සාකච්ඡා කරති. අප්‍රේල් 21 ප්‍රහාරය අද ඊයේක සැලසුම් කළ ප්‍රහාරයක් නොවේ. ජමියතුල් උලමා සංවිධානයෙන් අවි දුන් බවක් දැන් කියැවෙයි. වනාතවිල්ලුවේදී පුහුණු කඳවුරක් අල්ලා ගැනීම, මාවනැල්ලේදී බුදු පිළිම කැඩීම යනාදී සිදුවීම් දාමයක් අනාවරණය වී තිබේ. ඒ සිදුවීම් ගැන ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡා නොකෙරෙන්නේ නම් ඒවා සාකච්ඡා කෙරෙන්නේ කොහේදී ද? මේ ගැන එහිදී සාකච්ඡා කෙරෙන්නට ඇතැයි අපට උපකල්පනය කිරීමට සිදුවෙයි. එහෙත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට නිසි පියවරක් ගෙන නොමැති බව දැන් අනාවරණය වෙයි. ඉන් අනාවරණය වන්නේ ආණ්ඩුව හා රජය ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පවත්වාගෙන යන ක්‍රමයේ ලොකු හිඩැසක් තිබෙන බවය.

‘මම දන්නේ නෑ – මම වගකියන්නේ නෑ’ යි බිහිවී තිබෙන්නේ අලුත් සංස්කෘතියකි. එය බරපතළ ඛේදවාචකයකි. ප්‍රමුඛ සිදුවීම් මාලාව වූයේ අප්‍රේල් 21 වැනිදාය. දැන් එයට සති හතරකට ආසන්න වී තිබේ. රටේ සියලු ජනයාට අවශ්‍යව තිබෙන්නේ යථා තත්ත්වයට පැමිණීමටය. දරුවන් පාසල් නොයවා නිවෙසට වී මුළු ගැන්වී සිටීමට කවුරුත් අකැමැත්තාහ. එහෙත් අදටත් පවතින්නේ රටට ජනතාවට වගකීමට බැඳී සිටින පුද්ගලයකු නොමැති තත්ත්වයකි. සමාජය යළි යථා තත්ත්වයට පත් නොවන්නේ එහෙයිනි. වෙච්ච දේ වෙලා ඉවරය. දැන් කළ යුත්තේ ජනතාවට නිවැරැදි පණිවුඩයක් ලබාදීමය. එහෙත් අදටත්, ප්‍රහාරයෙන් මාසයක් ගත වී තිබියදීත් අද දකින්නට ලැබෙන්නේ පණිවුඩ තරගයකි. මේක කරන්නේ මම, මේකේ වගකීම තියෙන්නේ මට කියා කියන්නෝ බොහෝය. එසේ කීවාට කිසි දෙයක් වන්නේ ද නැත. ජනතාවට නිවැරැදි පණිවිඩයක් නොලැබෙයි. ජනතාව බලා සිටින්නේ හැකි තරම් ඉක්මනට යථා තත්ත්වයට පත්වීමටය. එහිදී රජයට තිබෙන වගකීම සුවිශාලය. රජය පළමුව වගකීම ගත යුතුය.

ඉතාමත්ම වැදගත් කාරණය මේ යුද්ධය වෙනස් බව තේරුම් ගැනීමය. එල්.ටී.ටී.ඊ.ය සමඟ යුද්ධයේදී භූමියක් සමඟ නායකයකු සේම ඔහුට හමුදාවක් ද සිටියේය. ඒ හමුදා සෙබළු බොහෝ අවස්ථාවලදී නිල ඇඳුම් ඇන්දාහ. ඔවුනටම සුවිශේෂ වූ අවි ආයුධ සේම යුද ටැංකි යනාදිය ද තිබිණි. ඒ නිසා ඒ සංවිධානය ගැන බොහෝ තොරතුරු අපි දැනගෙන සිටියෙමු. කලක් සටන් කළ නිසා සතුරන් ගැන අවබෝධයක් ලබා ගැනීමට ද අපට හැකිව තිබිණි. ඒ වගේම ඔවුන් සටන් කළේ දේශපාලන අරමුණක් එනම්, වෙනම රාජ්‍යයක් දිනා ගැනීම සඳහාය. ඔවුන් සටන් කළේ මැරෙන්නට නොව ජීවත් වීමටය. ඔවුනගේ සගයන් මරාගෙන මැරුණේ අනෙක් අයට ජීවත්වීමට ඉඩකඩ සලසා දීමටය. එනම් දෙමළ ජනතාවට වෙනම නිජභූමියක් වෙනම රටක් ලබා ගැනීමටය.

එහෙත් මුස්ලිම් අන්තවාදය එල්.ටී.ටී.ඊ.යට හාත්පසින්ම වෙනස්ය. මෙහි නායකයා කවුදැයි කිසිවෙක් නොදනිති. සිටින පිරිස කවුදැයි තමන්වත් නොදන්නා බව මුස්ලිම් සමාජය කියයි. අවි ආයුධ කොපමණ තිබේදැයි දන්නා කෙනෙක් ද නැත. එසේම අන්තවාදීන් බලාපොරොත්තු වන්නේ මොනවාදැයි දන්නා අයෙක් ද නැත. ඇත්ත බලාපොරොත්තුව කන්‍යාවියන් 72ක් ද ස්වර්ගයට යාමදැයි කිසිවෙක් නොදනිති. දැන් මෙහි තිබෙන්නේ දේශපාලන ත්‍රස්තවාදයක් නොවේ. දැන් රටේ පවතින්නේ අන්තවාදී මතවාදී ත්‍රස්තවාදයකි. එහෙයින් මේ යුද්ධය වෙනස්ය. මෙය පරාජය කිරීම අපහසුය. එහෙත් අපට කළ හැකි දේවල් තිබේ. එහි පළමුවැන්න ජාතික ආරක්ෂාව නැවත වතාවක් ඉහළට ඔසවා තැබීමය.

අනෙක මේ යුද්ධය තනිකරම බුද්ධි යුද්ධයකි. මෙය බුද්ධි තොරතුරු මතම කිරීමට සිදුවී තිබෙන යුද්ධයකි. ප්‍රහාර සේම ප්‍රතිප්‍රහාර ද බුද්ධි තොරතුරු මත එල්ල කිරීමට සිදු වෙයි. ඔවුන් තම මතවාදය පතුරුවන්නේ හා තම ක්‍රියාදාම ක්‍රියාත්මක කරවන්නේ පණිවුඩ හුවමාරු ජාල මගිනි. දැන් අප සූදානම් විය යුත්තේ එයටය. ඒ නිසා 2010 සිටි බුද්ධි අංශ එදා ලෙසින් ක්‍රියාත්මක වීම අදට නොගැළැපෙයි. එහෙත් ඒ පිරිස අපට දැනුත් පාවිච්චි කළ හැකිය. ඔවුහු පුරුදු පුහුණු වූ පිරිසකි.

දැන් මුස්ලිම් අන්තවාදීන් සමඟ කිරීමට සිදුවී තිබෙන්නේ බුද්ධි තොරතුරු යුද්ධයකි. තොරතුරු හා බුද්ධි තොරතුරු දෙකකි. අපට යම් තොරතුරක් ලැබුණු විට ඒ තොරතුරු පාවිච්චි කර යම් බුද්ධි තොරතුරක් ලබා ගැනීමට අපට හැකියාව තිබිය යුතුය. එහෙත් මෑත කාලයේ අපේ රටෙහි එසේ සිදුවූයේ නැත. එසේ වූයේ නම් මෙවැනි ප්‍රහාරයක් එල්ලවිය නොහැකිය. අපේ බුද්ධි අංශවලට මේ ගැන තොරතුරක් හොයා ගැනීමට නොහැකි වූ බව පිළිගැනීමට අපට සිදුවෙයි. ලැබුණු තොරතුරු මත ක්‍රියාත්මක වීමට නොහැකි වූ බව ද අපට පිළිගැනීමට සිදුවෙයි. ඉන් අනාවරණය වන්නේ අපේ අඩුවක් තිබෙන බවය. අප පළමුව ඒ අඩුව සොයාගත යුතුය. අප්‍රේල් 4 හා 9 සේම 11 වැනිදා ලෙස අවස්ථා තුනකදී තොරතුරු ලැබී තිබියදීත් ආරක්ෂක පියවරක් නොගත් බව දැන් ලොවම දන්නා සත්‍යයකි. පුද්ගලයකුගේ හෝ දෙදෙනකුගේ තනතුරු අහිමි කළ පමණින් ඒ ප්‍රශ්නයට පිළිතුරු ලැබෙන්නේ නැත.

මේ ප්‍රශ්නයට පිළියම හුදෙක් ජාතික ආරක්ෂාවම නොවේ. මා දකින්නේ ජාතික ආරක්ෂක සංස්කෘතියක අත්‍යවශ්‍යතාවයි. ලැබෙන එවැනි තොරතුරු සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේ එවැනි සංස්කෘතියක් තිබුණොත් පමණකි. එසේ නොවූ කල වෙන්නේ ‘නිසි කටයුතු සඳහා’ කියමින් බෝලය පාස් කිරීම පමණකි. බුද්ධි තොරතුරක් නිසි කටයුතු සඳහා ඉදිරිපත් නොකිරීම හාස්‍යජනක කාරණයකි. ඒ හාස්‍යය අවසානයේ උදාවන්නේ ඛේදවාචකයකි. එවැනි තොරතුරක් ලැබුණු වහාම බුද්ධි අංශ නිලධාරීන් කැඳවා, ත්‍රිවිධ හමුදා හා පොලිස් ලොක්කන් කැඳවා සාකච්ඡා කර ඒ තොරතුරේ හරය අවබෝධ කරගෙන ඊට සම්බන්ධ සිදුවීම් ගැන තර්කානුකූලව කිරා මැන බලා ගත යුතු ක්‍රියාමාර්ග යුහුසුළුව ගත යුතුය. රටට ජනතාවට අනාවරණය වී තිබෙන තොරතුරු අනුව එවැන්නක් සිදු වී නැත. කාදිනල්තුමාට තිබෙන ලොකුම දුක වළක්වා ගැනීමට හැකියාව තිබියදී මේ ප්‍රහාර වළක්වා නොගැනීමය. මේ ප්‍රහාර වළක්වා ගැනීමට නොහැකි වූයේ ජාතික ආරක්ෂක සංස්කෘතියක් නොතිබූ හෙයිනි. ලැබෙන තොරතුරු මේසයෙන් මේසයට පාස් කර ඇඟ ගලවා ගන්නේ එවැනි සංස්කෘතියක් නොතිබීමේ මහිමයෙනි. ඒ නිසා තොරතුරු ලබාගැනීමත්, එහි අඩංගු දේවල් තේරුම් ගැනීමත්, ඒ තොරතුරු බුද්ධි තොරතුරුවලට සම්බන්ධ කිරීමත්, ඒ තුළින් අනාගතයේ විය හැකි දේවල් ගැන පුරෝකථනය කිරීමත් සහ අවශ්‍ය අයට තත්වාකාරයෙන් දැනුම් දීමත් සිදුවන්නේ ජාතික ආරක්ෂක සංස්කෘතියක් පැවැතුණහොත් පමණකි.

බුද්ධි තොරතුරු කොතරම් හොඳ වුවත් එය අවශ්‍ය වෙලාවට අදාළ කෙනාට නොලැබුණහොත් ඔහුට ක්‍රියාත්මක විය නොහැකිය. බුද්ධි තොරතුරු අදාළ පුද්ගලයාට ලැබුණු පසු ක්‍රියාවලිය එතැනින් නතර නොවෙයි. තොරතුරු හරි තැනට ලැබුණු බව බුද්ධි අංශ ප්‍රධානියා දැනගත යුතුය. එහෙත් එවැනි දේවල් නොවන්නේ ජාතික ආරක්‍ෂක සංස්කෘතියක් නොමැති හෙයිනි. එය අලුත් දෙයක් නොවේ. යුද්ධ කාලේ තිබුණු තත්ත්වයකි. එහෙයින් අප යළි එතැනට යා යුතුය. අනෙක් කාරණය බුද්ධි අංශ වර්තමානයේ පවතින තර්ජනයට ගැළැපෙන ආකාරයට යෙදවිය යුතුය. අවශ්‍ය නම් නවීකරණය කළ යුතුය. අපේ බුද්ධි අංශ පසුගිය කාලයේ සිටියේ කලකිරීමෙනි. විශාල පිරිසකට හිරිහැර සිදුවිය. ඇතැමුන් දැනටත් සිටින්නේ බන්ධනාගාරවලය. ඒ සියල්ල සිදු වූයේ දේශපාලන න්‍යාය පත්‍ර මත බව රටම දන්නා කරුණකි.

සඳහන් කළ යුතු විශේෂ කාරණය වන්නේ 2015 න් පසු හමුදා බුද්ධි අංශ බුද්ධි කටයුතුවලින් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමය. ත්‍රිවිධ හමුදාවම බුද්ධි කටයුතුවලින් සියයට සියයක්ම ඉවත් කර ඒ කටයුතු පැවැරුවේ පොලිසියටය. 2015 න් පසු හමුදා බුද්ධි අංශ කිසිම බුද්ධි කටයුත්තක් කළේ නැත. එවැන්නක් ඇමෙරිකාව, එංගලන්තය, ඉන්දියාව වැනි රටවලත් සිදු නොවෙයි. ඒ රටවල බුද්ධි කටයුතුවලට හමුදා බුද්ධි අංශ අනිවාර්යයෙන්ම සම්බන්ධ කරගනී. පොලිසියේ රාජකාරිවල ස්වභාවය වෙනස්ය. පොලිසිය ලැබෙන තොරතුරු පසුපස යනවා මිස තොරතුරු සොයා ගෙන හඹා නොයයි. හමුදා බුද්ධි අංශ හැම අංශයකටම රිංගයි. උදාහරණයකට යුද සමයේ අපේ හමුදා සාමාජිකයන් තේ කඩ පවත්වාගෙන ගියේ මුදල් හම්බ කිරීමට නොවේ. ඔවුන්ගේ අපේක්‍ෂාව වූයේ තේ බීමට එහි එන අය කතා කරන දේවල් අහගෙන යම් යම් තොරතුරු ලබාගැනීමය. අපේ හමුදා යුද සමයේ ඒ මට්ටමට ගියේය. අවුරුදු 30 ක් පුරා පැවැති යුද්ධයක් නිම කළේ ඒ මට්ටමට පහළ බැස කටයුතු කළ නිසාය.

අප්‍රේල් 21 වැනිදා රටේ සිදු වූයේ ප්‍රභාකරන්ට අවශ්‍යව තිබූ දෙයකි. 2005 නොවැම්බර් 5 වැනිදා මහවිරු කතාවේදී ප්‍රභාකරන් කියා සිටියේ තමාට ගැසීමට වන්නියට පැමිණියොත් කොළඹ සහ දකුණ ලේ විලක් කරන බවය. ඒ සඳහා අවශ්‍ය පිරිස් අවි ආයුධ හා පුපුරන ද්‍රව්‍ය ඔහු ඒ වනවිටත් රට පුරා ස්ථානගත කර තිබිණි.

කොළඹ වරාය ඇතුළු සියලු ආරක්‍ෂක ආගමික හා දේශපාලන මර්මස්ථානවල සිතියම් සකසා තිබිණි. එහෙත් ඔවුනට අවශ්‍ය දේ කර ගැනීමට නොහැකි විය. පුපුරන ද්‍රව්‍ය කිලෝ 1000 ක් පිරවූ ලොරියක් කොළඹ දී පුපුරුවා හැරීමට සැලසුම් කර තිබුණත් එය කර ගැනීමට නොහැකි විය. එසේ නොහැකි වීමට ප්‍රධාන හේතුව අපේ හමුදා බුද්ධි අංශ ඒ වනවිටත් එල්ටීටීඊය ඇතුළටත් රිංගා සිටීමය. 2015 දී අකා මකා විකා දැම්මේ එසේ දියුණු කර තිබූ හමුදා බුද්ධි අංශයකි. වගකීම පොලිසියට භාර දුන්නත් ඒ වගකීම ඉටු කිරීමට පොලිසියට නොහැකි වූ බව දැන් රට හමුවේ ප්‍රදර්ශනය වී හමාරය.

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු ගත් ක්‍රියාමාර්ග ගැන අපට ඇත්තේ ලොකු පැහැදීමකි. එහෙත් එහිදී වගකීම උරට ගෙන කටයුතු කළේ හමුදා සෙබළුන් මිස පොලිසිය නොවේ. මුස්ලිම් ප්‍රජාව තොරතුරු ලබාදුන් බව සත්‍යයකි. එහෙත් තත්ත්වය පාලනය කළේ හමුදාවය. ත්‍රිවිධ හමුදාවේ අද වනවිට සිටින්නේ යුද්ධය දුටු අයගෙන් 50% ක් වැනි පිරිසකි. යුද්ධය දුටු හා යුද කළ අනෙක් 50% විශ්‍රාම ලබා ගොසිනි. වටලා සෝදිසි කළ, මාර්ග බාධකවල රාජකාරි කළ සෙබළුන් හා නිලධාරීන් දැන් එන්න එන්න අඩුවෙයි. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ තව අවුරුදු පහකදී පමණ යුද හමුදා සාමාජිකයන් අතර යුද්ධය දුටු හා යුද්ධ කළ භටයන් හා නිලධාරීන් නොමැතිවීමය. දිගු කාලයක් ලද අත්දැකීම් නවකයන්ට දිය යුතුය. ඔවුන් පුහුණු කළ යුතුය. උතුරට හමුදා එපා කියා උද්ඝෝෂණ කළ හා පෙළපාලි ගිය දෙමළ දේශපාලකයන් උතුරට යළි හමුදා ඉල්ලන්නේ ඇයි දැයි දකුණේ දේශපාලන නායකයන් දැන්වත් කල්පනා කළ යුතුය.

දැන් රටේ පවතින්නේ බුද්ධි තොරතුරු සම්බන්ධ යුද්ධයකි. මේ යුද්ධයෙන් දිනන්නේ වඩාත් දක්ෂයාය. එල්ටීටීඊ ඩයස්පෝරාවේ අය සේම මත්කුඩු ජාවාරම්කරුවන්ද දැන් බොරදියේ මාළු බෑමට පෙළඹීමේ සම්භාවිතාව ද ඉතා ඉහළය. ඒ නිසා සමස්ත සමාජයම ආවරණය වන අයුරින් බුද්ධි තොරතුරු මෙහෙයුම් කළ යුතුය. පසුගිය කාලයේ කෙලෙසූ ගරුත්වය ඔවුනට යළි ලබාදිය යුතුය. තමන් කරන රාජකාරි නිසා ඔවුන් අමාරුවේ නොවැටෙන බවට සහතිකයක් ඔවුනට ලබා දිය යුතුය. හමුදාවේ දැනට ඉතිරිව සිටින පළපුරුදු ටික දෙනාගෙන් හෝ ප්‍රයෝජන ගෙන හමුදා බුද්ධි අංශය යළි පුහුණු හා නවීකරණය කළ යුතුය. අනෙක් කාරණය මේ වෙලාවේ රටට අවශ්‍යව තිබෙන්නේ ඍජු අදීන අභීත දේශපාලන නායකත්වයකි. වගකීම් භාර නොගන්නා තම පෞද්ගලික වුවමනා මත කටයුතු කරන දේශපාලන නායකයන්ගෙන් රටටවත් ජනතාවටත් ආරක්‍ෂාව සැලසෙන්නේ නැති බව දැන් ඔප්පු වී හමාරය.

සාකච්ඡා සටහන – ගුණසිංහ හේරත්

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *