වර්චුසා ආයතනයෙන් අහුවුනේ බෝම්බ ප්‍රහාරයේ ‘ටෙක්නිකල් වැඩ්ඩා’

(15.05.2019 – gossiplankanews.com)

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගත් වර්චුසා ආයතනයේ සේවය කළ මුස්ලිම් ජාතික තරුණයා සම්බන්ධයෙන් වසර 03 කට පෙර සිට ඉන්දීය බුද්ධි අංශ මඟින් තොරතුරු විමර්ශනය කර තිබෙනවා.

මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස සේවයේ නිරතව සිටි ඔහු IS ත්‍රස්ත සංවිධානය හා සම්බන්ධ 24 හැවිරිදි වියේ පසු වූ ආදිල් අමීස් (Aadhil Ameez) නම් තරුණයෙක්.

250 කට අධික පිරිසකට මරු කැඳවමින් හෝටල් සහ දේවස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළ කණ්ඩායම් 02 අතර ප්‍රධාන පුරුක මොහු ලෙසයි සැළකෙන්නේ.

මේ වන විට ආදිල් පොලිස් අත්අඩංගුවේ පසුවන අතර ඔහු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ කර නොමැති නමුත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ පාස්කු ප්‍රහාරය එල්ල කර දින 04 කට පසු එනම් අප්‍රේල් 25 වනදා ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රොයිටර් පුවත් සේවය වෙත මේ බව පවසා තිබුණා.

එමෙන්ම ඉන්දියානු ජාතික පර්යේෂණ බුද්ධි ආයතනය (NIA) සහ ගුජරාට් ප්‍රාන්තයේ පොලීසිය මඟින් ලංකාවේ පර්යේෂණ කටයුතු වෙනුවෙන් සහය ලබා දෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

LinkedIn හරහා පෙනී සිටින ආදිල් වෘත්තිමය මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කරන බවත් වෙබ් නිර්මාණකරුවෙකු මෙන්ම පරිගණක විද්‍යාව සම්බන්ධයෙන් ශාස්ත්‍රපති උපාධිධාරියෙකු ලෙසත් කටයුතු කරන බව සඳහන්.

තවද ඔහු එක්සත් රාජධානි විශ්වවිද්‍යාලයක දේශපාලන විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිධරයෙකු ලෙසත් කටයුතු කරනු ලබනවා.

ආදිල් වෙනුවෙන් පෙනී සිටීමට තවමත් නීතිඥවරයෙකු නොමැති බවත් ප්‍රහාරයෙන් පසුව පනවන ලද නව හදිසි නීති රෙගුලාසි යටතේ දින නියමයක් නොමැතිව ඔහුව රඳවා තබා ගැනීමේ හැකියාව පවතින බවත් වාර්තා වනවා.

අලුත්ගම ප්‍රදේශයේ ජීවත් වන ඔහුගේ පියා වන එම්. ආමීස් මෙම සිද්දිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කරන්නේ, “චෝදනාවන් බොරුවක්” බවයි.

ඉන්දියානු බුද්ධි අංශ විසින් 2016 වසරේ සිට ආදිල්ව අධීක්ෂණය කර ඇති අතර ඉස්ලාමීය රාජ්‍ය ක්‍රියාකාරී සැකකරුවන්ට එරෙහිව ආදිල් හට ඉන්දියානු උසාවිවල චෝදනා 02 ක් ද ගොනු කර තිබෙනවා.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි අහමාබාද් ප්‍රදේශයේ යුදෙව් දේවස්ථානයකට පහර දීමට සැලසුම් කළ පුද්ගලයින් දෙදෙනෙකු සමඟ සබඳතා පැවැත් වූ බවට ද ආදිල් හට චෝදනා එල්ල වී තිබෙනවා.

එමෙන්ම ඔහු 2016 වසරේ IS ව්‍යාප්තියට සැකකරුවන් වූ දෙදෙනෙකුට ප්‍රචාරණ ද්‍රව්‍ය ලබාදුන් බවට ද චෝදනා ලබා සිටිනවා.

ඉන්දියානු බුද්ධි අංශ මඟින් අප්‍රේල් මාසයේ දී එල්ල වීමට තිබූ ප්‍රහාර සම්බන්ධයෙන් තුන් වතාවක් ශ්‍රී ලංකාවට අනතුරු අඟවා ඇතැයි ද සඳහන්.

ශ්‍රී ලංකා පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුවේ නිලධාරින් දෙදෙනෙකු සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකු සඳහන් කර ඇත්තේ පාස්කු ප්‍රහාරය සහ ආදිල් යන කණ්ඩායම් දෙක අතර ඇති සම්බන්ධතාවය කුමක් ද යන්න පර්යේෂණ කටයුතු දිගින් දිගටම සිදුකරන බවයි.

එහිදී ආදිල් ප්‍රහාරයේ නායකයෙක් ද ඩිජිටල් යටිතල පහසුකම් සැපයූ කෙනා ද යන්න සොයා බලන බව සඳහන්.

ආදිල් අන්තර්ජාලය භාවිත කරමින් පෙනී සිට ඇත්තේ මාධ්‍යවේදියකු ලෙස බවත් ඔහු සියලු කටයුතු සිය නිවසේ සිට සිදුකර ඇති බවත් හෙළිවී ඇතැයි වාර්තා වනවා.

එමෙන්ම ඔහු ත්‍රස්තවාදීන්ගේ සන්නිවේදන හා පුහුණුව සම්බන්ධයෙන් ද සොයා බලා ඇති බවයි හෙළිදරව් වී ඇත්තේ.

පාස්කු ප්‍රහාරයට දින 04 කට පසු පොලිස් ආදිල්ගේ නිවස පරික්ෂා කර බැලීමේ දී ප්‍රහාරයට සම්බන්ධ සියලු ලේඛන (File Folders) පරිගණකයෙන් ඉවත් කර (Delete) ඇති බව දැනගන්නට ලැබී තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++++

ජන අවධානය වෙනතකට හරවන මංගලගේ සැලැස්මක් ගැන විමල් කියයි

(15.05.2019 – 22:48 +0530 – sinhala.adaderana.lk)

අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගියදා කළ ප්‍රකාශය ජනතාව අතර ගැටුම් නිර්මාණය කිරීමේ ආණ්ඩු සැලැස්මෙහි කොටසක් බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

විපක්ෂ නායක කාර්යාලයේදී අද (15) පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව සඳහන් කළේය.

ආණ්ඩුව තුළ සිටින දේශපාලකයින් චෝදනාවට ලක්වූ මුස්ලිම් අන්වාදීන්ගේ බලපෑම් මත, ජන අවදානය වෙනතකට යොමු කිරීමේ අපේක්ෂාවෙන් මංගල සමරවීර අමාත්‍යවරයා මෙවැනි ප්‍රකාශ කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මේ බව පැවසීය.

මේ අතර සුළු ජනකොටසක් සමූල ඝාතනය වෙනවනම් ආරක්ෂාව සඳහා වගවීමේ මූල ධර්මය යටතේ ජාත්‍යන්තර මැදිහත්වීමක් සිදුකළ හැකි බව ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට පහරදී එය පොහොට්ටුවේ ක්‍රියාවක් බව පවසමින් පටු දේශපාලන වාසි නොගෙන රට ගැන සිතා කටයුතු කරන ලෙස ක්‍රියාත්මක වෙන්න පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා වැඩිදුරටත් පැවසීය.

++++++++++++++++++++++++

එක්සත් ජාතින්ගේ ව්‍යාපෘති උපදේශකයින්ගෙන් වයඹ සිදුවු ප්‍රචණ්ඩ ක්‍රියා ගැන ඒකාබද්ධ ප්‍රකාශයක්

(15.05.2019 – 19:41 +0530 – sinhala.adaderana.lk)

එක්සත් ජාතින්ගේ ‘ජනසංහාරයන් වැළැක්වීමේ’ සහ ‘රැකගැනීමට ඇති වගකීම’ පිළිබඳ ව්‍යාපෘතිවල උපදේශකයින් ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් විශේෂ එකාබද්ධ ප්‍රකාශයනයක් නිකුත් කර තිබේ.

මෑතකදී මුස්ලිම් සහ ක්‍රිස්තියානී ජනසමාජයන් ඉලක්ක කරගනිමින් ප්‍රහාර සිදුවී ඇති බව විශේෂ උපදේශකයින් සඳහන් කරන අතර ආසියානු කලාපයේ වර්ධනය වෙමින් පවතින ජාතිවාදය සහ අන්තවාදය ඒ හරහා ඉස්මතු වන බවත් සුළුතර ජනකොටස් ඒ හරහා අවධානමකට ලක්ව ඇති බවත් එම ප්‍රකාශනයේ දැක්වෙයි.

මෙම වෛරීසහගත ප්‍රහාර වහාම නැවැත්වීම සඳහා ලංකාවේ රජය, විපක්ෂය මෙන්ම සිවිල් සංවිධානද ගතහැති සුදුසු පියවර ගතයුතු බවද මෙම ඒකාබද්ධ ප්‍රකාශනයේ සඳහන් වෙයි.

රජය සිදුවීම් වාර්තා වූ ප්‍රෙද්ශවලට හමුදා අංශ යෙදවීම සහ වැරදි තොරතුරු සංසරණය වීම වැළැක්වීමට ගත් කඩිනම් පියවර සම්බන්ධයෙන් ප්‍රශංසා කරන බවද මෙම ප්‍රකාශනයේ දක්වා තිබේ.

බෞද්ධයෙක් වුවද වුවද හින්දු භක්තිකයෙක් වුවද , මුස්ලිම් වුවද , ක්‍රිස්තියානි භක්තිකයෙක් වුවද එකිනෙකාගේ ආගම ඇඳහීමේ අයිතිය සහ නිදහසේ ජීවත්වීමේ අයිතියට ගරු කරන ලෙසද එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒකාබද්ධ ප්‍රකාශනයෙන් අවධාරණය කර තිබේ.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 85 දෙනෙකු අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

+++++++++++++++++++++++++++++++++++++

බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට අත්සන් 60 ක්

(15.05.2019 – 18:53 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ගෙන එන විශ්වාසභංගයට මන්ත්‍රීවරුන් 60 දෙනෙකු මේ වනවිට අත්සන් තබා ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ – විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායක නිල නිවසේදී ඒ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

මේ අතර, හෙට දිනයේදී මෙම විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට භාරදීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විරුද්ධත්වය පළ කළ බවට පළ වන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කළා.

මේ අතර, නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළේ පාස්කු ඉරුදින සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් රජය මේ දක්වා ගෙන ඇති බොහෝ තීන්දු තීරණ පිළිබඳව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සෑහීමකට පත් නොවන බවයි.

එසේ වූවද, ජනතාව වෙනුවෙන් ආණ්ඩුව විසින් ගනු ලබන නිවැරදි තීන්දු තීරණ සම්බන්ධයෙන් අවශ්‍ය සහයෝගය දැක්වීමට විපක්ෂ නායකවරයා නිරන්තරයෙන් සූදානම් බවයි එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද පස්වරුවේ මුදල් අමාත්‍ය මංගල සමරවීර සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

+++++++++++++++++++++++++++++++++++++

ඇමති බදියුදීන්ගේ රහස් කාමරයක් ගැන සතොස සේවකයන්ගෙන් චෝදනාවක්

(15.05.2019 – 20:00 +0530 – hirunews.lk/sinhala)

කොළඹ- වොක්ෂෝල් වීථියේ පිහිටි සතොස මූලස්ථානයේ රිෂාඩ් බදියුදීන්ගේ රහස්‍ය කාමරයක් ඇති බවට එහි සේවකයන් චෝදනා කරනවා.

ඔවුන් මෙම චෝදනාව එල්ල කළේ අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

+++++++++++++++++++++++++++++++++++++

ඇමති මංගලගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් ඉල්ලා ඒකාබද්ධ විපක්ෂය පොලිස් මූලස්ථානයට

(15.05.2019 – 20:20 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවට මංගල සමරවීර අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඔවුන් චෝදනා කරන්නේ මංගල සමරවීර මහතා සිදුකළ අදාළ ප්‍රකාශය රට තුළ නොසන්සුන්කාරී සිදුවීම් ඇතිවීමට ඉවහල්ව ඇති බවටයි.

+++++++++++++++++++++++++++++++++++++

රාවණා බලය සහ සිංහල රාවයේ භික්ෂූන් වහන්සේලා පොලිස් මූලස්ථානයට

(15.05.2019 – 20:26 +0530 – hirunews.lk/sinhala)

රාවණා බලය, සිංහල රාවය ඇතුළු සංවිධාන කිහිපයක භික්ෂූන් වහන්සේලා පිරිසක් අද පොලිස් මූලස්ථානයට පැමිණියා.

ඒ, රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා සහ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා අත්අඩංගුවට ගන්නා ලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහායි.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණි අවස්ථාවේදී එම හිමිවරුන් විසින් එහි පැමිණි ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට තමන් පැමිණි කාරණය පිළිබද දැනුවත් කළා.

+++++++++++++++++++++++++++++++++++++

ජාතීන් අතර සමගියට පහරදීමට කිසිවෙකුට නොහැකි බව කලහකාරී ක්‍රියාවලින් දේපළ හානි වූ ගම්වැසියන් කියයි

(15.05.2019 – 20:08 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දින දෙකෙහි දිවයිනේ ස්ථාන කිහිපයක ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයන් හේතුවෙන් නිවාස, ව්‍යාපාරික ස්ථාන, රථවාහන ඇතුළු දේපල හානි රැසක් වාර්තා වුණා.

කෙසේ වෙතත් කිසියම් සංවිධානාත්මක කළහකාරීන් පිරිසක් ඇතිකල මෙම තත්ත්වයට මුහුණ දුන් ගම්වැසියන් පවසන්නේ දේපලවලට කවුරුන් පහර දුන්නද ජාතීන් අතර තිබෙන සමගියට පහරදීමට කිසිවෙකුටත් නොහැකි බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *