සැකකරුවෙකු අත්අඩංගුවට ගත් විට බදියුදීන් මට කතා කළා – හමුදාපති මාධ්‍යයට කියයි

(16.05.2019 – 19:34 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව දෙහිවලදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා තමන්ට අවස්ථා තුනකදී කතා කළ බව යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසා සිටියි.

හමුදාපතිවරයා මේ බව අනාවරණ කළේ, අද (16) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී විශ්වාසභංගයේ ඇතුළත් කරුණක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරුදෙමිනි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් නිදහස් කරන ලෙසට බලපෑම් සිදු වු බවට මැයි මස 5 දින පුවත්පතකට සිදුකල ප්‍රකාශය පිළිබඳව එහිදී හමුදාපතිවරයා ප්‍රකාශ කරනු ලැබුවේ එය බලපෑමකට වඩා ඉල්ලීමක් ලෙස තමන් සඳහන් කිරීමට කැමති බවයි.

එහිදී එක්තරා පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව රිෂාඩ් ඇමතිවරයා තමන්ට දුරකථන ඇමතුමක් ලබා දුන් බවත් එහිදී තමන් විසින් ඊට පිළිතුරු 2 ක් ලබාදුන් බවත් යුධ හමුදාපතිවරයා කියා සිටියේය.

පළමු අවස්ථාවේ දී තමන් අදාළ සැකකරු පිළිබඳව සොයා බලා ඉදිරියේදී දැනුම් දෙන බවත්, දෙවනි වරත් ඒ පිළිතුරම ලබා දුන් බව පැවසු හමුදාපතිවරයා තුන්වෙනි වර ඇමතිවරයාට ප්‍රකාශ කර ඇත්තේ අත්අඩංගුවට පත් වුවන් අතර එවන් පුද්ගලයෙකු සිටින බවත් නැවත අවුරුදු එක හමාරකට පසුව මෙම දුරකථන ඇමතුම ලබා ගන්නා ලෙසත්ය.

අදාළ සැකකරු පිළිබඳ මාධ්‍යවේදීන් විමසු අවස්ථවේ ඔහු කියා සිටියේ නිශ්චිතවම එය කිව නොහැකි බවත් දෙහිවලින් අත්අඩංගුවට ගත් සැකකරුවෙක් ලෙස කිව හැකි බවත්ය.

++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++++

සතොසේ වාහන අන්තවාදි ක්‍රියා සඳහා යොදාගත්තේ දැයි සොයා බලන්න

(17.05.2019 – 06:47 +0530 – sinhala.adaderana.lk)

සතොසට අයත් වාහන කිහිපයක් මුස්ලිම් ජාතිකයන් සිව් දෙනෙකු රැගෙන නැගෙනහිර පළාතේ සැකකටයුතු ස්ථාන කිහිපයක ගමන් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස පොලීසියට දැනුම් දුන් බව අමාත්‍යවරයා ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ඉල්ලා සිටියේ සතොසේ වාහන අන්තවාදි ක්‍රියා සඳහා යොදාගත්තේ දැයි විමර්ශනයක් කරන ලෙසයි.

මේ අතර අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා සතොස ආයතනයේ වංචා කිහිපයකට සම්බන්ධ බවට තොරුතුරු ලැබී ඇතැයි ද හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම තුර්කියේ සිට පැමිණි ත්‍රස්තවාදී ව්‍යාපරයකට සම්බන්ධ 50 දෙනෙකු පමණ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට එරෙහිව රිෂාද් බදියුදීන් අමාත්‍යවරයාගේ බලපෑමක් ඇති බවට රාජ්‍ය අමාත්‍යවරයෙකු විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇති බවද එස්.බී. දිසානායක අමාත්‍යවරයා සඳහන් කළේය.

++++++++++++++++++++++++

16.05.2019

++++++++++++++++++++++++

16.05.2019

+++++++++++++++++++++++++++++++++++++

වත්තලදී අත්අඩංගුවට ගත් සැකකරු ගැන කරුණු රැසක් හෙළිවෙයි

(16.05.2019 – 18:29 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරයට පැමිණි ත්‍රස්තවාදීන් සමඟ සමීප සබඳතා පැවැත්වූ බව කියන කෝටිපති ව්‍යාපාරිකයෙක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ඊයේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ වත්තල මාබෝල ප්‍රදේශයේදී. සැකකාර කෝටිපති ව්‍යාපාරිකයාට මාබෝල ප්‍රදේශයේ සුඛෝපභෝගී තෙමහල් මහල් නිවසක් සහ දෙමහල් නිවසක් ඇති බවත් ඔහුගේ බිරින්දෑවරු දෙදෙනා සහ දරුවන් එහි පදිංචි සිටින බවත් පොලිසිය පැවසුවා.

වසර කිහිපයකට පෙර වත්තල ප්‍රදේශයේ කුලී ත්‍රිරෝද රථ රියදුරෙක් ලෙස ජීවිකාව ගෙන ගිය සැකකරු මෙවන විට නැව් භාණ්ඩ ප්‍රවාහන ආයතනයක හිමිකරුවෙකු බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

****************************

මේ අතර අයි එස් ත්‍රස්තවාදීන් සමග සිරියාවේ දී පුහුණුව ලබන ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් මෙරටට එවන ලද රුපියල් ලක්ෂ 40 කට අධික මුදලක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතිබව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනුජා ජයතුංග මහත්මියට දැනුම් දුන්නා.

විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් පැවසුවේ දැනට සිරියාවේ රැඳී සිටින මොහොමඩ් මුහුසිත් ඉෂාක් අහමඩ් හා ඔහුගේ සහෝදරයා වන සර්පාස් නිලාම් යන දෙදෙනා සහ මොහොමඩ් අරූෂ් මොහොමඩ් සුහයිර් නැමැත්තා විසින් මෙම මුදල් මෙරටට එවා ඇති බවත් එම මුදල් වලින් කොටසක් ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක තිබී සොයා ගත් බවයි.

මොහොමඩ් මුහුසිත් ඉෂාක් ගල්කිස්සේ වෙසෙන තම මව්පියන් වෙත මෙම මුදල් එවා ඇති අතර ඒ සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කර ඇත්තේද ඉෂාක්ගේ පියා විසින්.

තම පුත් ඉෂාක් අහමඩ්ගේ දියණියක වන අස්මා සමග මෙරටට පැමිණෙන තැනැත්තෙකු පාර්සලයක් ගෙනවිත් දෙනු ඇති බවට සිරියාවේ සිටින මොහොමඩ් සුහයිර් නැමැත්තා 2018 සැප්තැම්බර් මස දිනක තමන්ට වට්ස්ඇප් දුරකථ ඇමතුමක් මගින් දැනුම් දුන් බව පැමිණිලිකාර ඉෂාක් අහමඩ්ගේ පියා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පවසා තිබෙනවා.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ඉන් දින කිහිපයකට පසු මුහුණ සම්පූර්ණයෙන් ආවරණය කරගත් කාන්තාවක් තම නිවසට පැමිණ මොහොමඩ් සුහයිර් ට දෙන ලෙස පවසා පාර්සලයක් තම දියණියට ලබා දී ඇති බවයි.

තවත් දින හතකට පසු මුහුණ සම්පූර්ණයෙන් ආවරණය කරගත් වෙනත් පුද්ගලයෙක් නිවසට පැමිණ මොහොමඩ් සුහයිර් ට දෙන ලෙස පවසා තවත් පාර්සලයක් ලබාදුන් බවද පැමිණිලිකරු සිය පැමිණිල්ලේ සඳහන් කර තිබුණා.

පසුව මොහොමඩ් සුහයිර් තමාට දුරකතන ඇමතුමක් ලබා දී අදාල පාර්සල් වල ඇති මුදල් ඇමරිකානු ඩොලර් වලට මාරුකර තමා දැනුම්දෙන තුරු ආරක්ෂිතව නිවසේ තබාගන්නා ලෙස දැනුම් දී ඇති බව පැමිණිලිකරු පවසනවා.

එම පාර්සල් වල රුපියල් ලක්ෂ 40 කට අධික මුදලක් තිබූ බවත් වැල්ලවත්ත ප්‍රදේශයේ විදේශ මුදල් හුවමාරු කරන ස්ථාන තුනකින් එම සම්පූර්ණ මුදල ඇමරිකානු ඩොලර් වලට මාරු කර ගත් බවත් ඉෂාක් අහමඩ්ගේ පියා සිය පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා.

පැමිණිලිකරුගේ ප්‍රකාශය මත සිය භාරයට ගත් ඇමරිකානු ඩොලර් 23,500 ක මුදල නීත්‍යානුකූල මුදල් නෝට්ටුදැයි පරික්ෂා කරන ලෙස මහබැංකුවට නියෝගයක් නිකුත් කරන්නැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ ඇති ඇමරිකානු ඩොලර් මුදල් නෝට්ටු නීත්‍යානුකූලද යන්න පිළිබඳ පරික්ෂා කර වාර්තාවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය කලමණාකරුට නියෝග කළා.

**************************

මේ අතර ෂැංග්‍රි-ලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම්ගේ ඩී.එන්.ඒ වාර්තාව සැකසීම සඳහා ඔහුගේ දියණියගේ රුධිර සාම්පල පසුගිය සිකුරාදා තම ආයතනයට ලැබුණු බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් හිරු ප්‍රවෘත්ති වෙත තහවුරු කළා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ අදාල ඩී.එන්.ඒ සැසඳුම් වාර්තාව දෙදිනක් තුල අධිකරණයට ලබා දීමට අපේක්ෂා කරන බවයි.

*************************

මේ අතර රට තුල නීතියේ ආධිපත්‍ය බිඳ වැටීම වැලැක්වීම සඳහා වූ යෝජනා 7 ක් සම්මත කරගැනීමට විශේෂ මහ සභාවක් කැඳවන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන් පිරිසක් එහි ලේකම්වරයාට ලිපියක් භාර දුන්නා.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම භාරගත් අයි එස් සංවිධානයත් එහි දේශිය හවුල්කාර සංවිධාන ලෙස හඳුනාගෙන ඇති ජාතික තවුහිද් ජමාත්ල ජමාතෛ මිල්ලතු ඊබ්‍රහිම් සංවිධානත් අන්තවාදී දේශන සිදුකරන සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ තහනම් ත්‍රස්තවාදි සංවිධාන ලෙස නම් කිරීම ඔවුන්ගේ පළමු යෝජනාවයි.

මීට අමතරව පාස්කු ඉරිදා ප්‍රහාරයේ අධිකරණ කටයුතු සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයක් පිහිටුවීම, සම්පූර්ණ මුහුණ ආවරණය කරගත් ඇඳුම ස්ථීරව තහනම් කිරීම, අන්තවාදී ඉගැන්වීම් සිදුකරන ආයතන පිහිටුවීමට ඉඩ ලබා නොදීම හා අන්තවාදී දේශනා හා ඉගැන්වීම් සිදුකිරීම අපරාධ වරදක් ලෙස අර්ථ ගැන්වීම, සරණාගතයින් සියලු දෙනා ආරක්ෂිතව පිටත් කර හැරීම, ත්‍රස්තවාදීන්ට අනුබල සහ පහසුකම් සැලසූ බවට චෝදනා එල්ල වී ඇති දේශපාලනඥයන් පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් සිදු කිරීම සහ ප්‍රති ත්‍රස්ත පනත වෙනුවට දැනට පවතින ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට අවශ්‍ය සංශෝධන සිදු කිරීම සෙසු යෝජනා වනවා.

+++++++++++++++++++++++++++++++++++++

අසාද් සාලි-හිස්බුල්ලා ඉවත් කරන ලෙස ඉල්ලා ජනපතිට සංදේශයක් ?

(17.05.2019 – 11:12 +0530 – sinhala.adaderana.lk)

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා යන මහත්වරුන් වහාම එම තනතුරුවලින් ඉවත් කරන්නැයි ඉල්ලා ජනපතිවරයාට සංදේශයක් භාරදීමට කටයුතු කරන බව පූජ්‍ය අතුරලියේ රතන හිමි පවසයි.

( Rathana of Athuraliya )

කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් සිදුකරන ප්‍රකාශන ඉතාමත් අන්තවාදී ඒවා බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පෙන්වා දෙයි.

එමෙන්ම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා විසින් ආරම්භ කර ඇති විශ්වවිද්‍යාලය අන්තවාදය ව්‍යාප්ත කිරීම සඳහා ඔළු හෝදන ස්ථානයක් බව උන්වහන්සේ සඳහන් කළේය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළේ ඉස්ලාම් අන්තවාදය ව්‍යාප්ත කිරීම සඳහා ආයතන ගොඩනැගු පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි ෴

+++++++++++++++++++++++++++++++++++++

ආණ්ඩුවේ ඇතැම් අය ජනතාව අතරට එන්න උත්සාහ ගන්නේ දේශපාලන වාසි වෙනුවෙන්

(17.05.2019 – 13:33 +0530 – sinhala.adaderana.lk)

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ආණ්ඩුව නියෝජනය කරන ඇතැම් දේශපාලන නායකයින් ජනතාව අතරට පැමිණීමට උත්සාහ කරන්නේ දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පවසයි.

රටේ ජනතාව තුළ වත්මන් ආණ්ඩුව පිළිබඳව දැඩි අප්‍රසාදයක්, පිළිකුලක් ඇති වී තිබීම හේතුවෙන් ආණ්ඩුවේ ඇමතිවරුන් තම කඳවුර අතැර දමා ජනතාවගේ දිශාවට ඒමට උත්සාහ ගන්නා බව ඒ මහතා ප්‍රකාශ කරයි.

පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා ජාතික මඟ නමින් වෙනමම සංවිධානයක් ගොඩනඟා ආණ්ඩුවට එරෙහිව ඔහුගේ දේශපාලන සටනට පණ පොවන බව ප්‍රකාශ කරන අතර අතුරලියේ රතන හිමි ත්‍රස්තවාදය පරාජය කිරීමේ පංචවිධ ප්‍රතිපත්තියක් ගෙන යන බවත් තව නොබෝ දිනකින් සජිත් ප්‍රේමදාස මහතා සහ රාජිත සේනාරත්න මහතා විසින් ද ආණ්ඩුවට එරෙහි වැඩසටහනක් ක්‍රියාත්මක කළ හැකි බව රංජිත් සොයිසා මහතා ප්‍රකාශ කරයි.

ඔවුන්ගේ අපේක්ෂාව වන්නේ ළඟ එන මැතිවරණයේදී ජනතාව අතර ඇතිවී ඇති අප්‍රසාදය හේතුවෙන් ජයග්‍රහණය කළ නොහැකි බව හැඟෙන විට ජන මනස විකෘති කර පුහු වීරයන් බවට පත්වී පාර්ලිමේන්තුවට තේරී පත්වීම බවත් ඉන් පසු තම සුපුරුදු අරාජිකවාදී ප්‍රතිපත්තිය අනුගමනය කිරීම බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියි.

රත්නපුර කහවත්ත ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය ෴

+++++++++++++++++++++++++++++++++++++

වන්දි දෙන්න ගිය ඇමති ජෝන්ට මීගමුවේදී විරෝධය

(16.05.2019 – 19:25 +0530 – hirunews.lk/sinhala)

මීගමුව – කටුවපිටිය දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන්ට සහ තුවාල ලැබූ පුද්ගලයින්ට වන්දි මුදල් ප්‍රදානය කිරීමේ අවස්ථාවක් අතරතුර අද උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ඒ, දේශපාලනඥයින් පැමිණ මාධ්‍ය සංදර්ශන සිදුකරන බවට ප්‍රහාරයෙන් පීඩාවට පත්වූ පුද්ගලයෙකු චෝදනා කිරීමත් සමඟයි.

මීගමුව – තම්මිට – කාදිනල් කුරේ මධ්‍යස්ථානයේදී සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංගගේ ප්‍රධානත්වයෙන් වන්දි මුදල් ප්‍රදානය කිරීම පැවති අතර, එහිදී අමාත්‍යවරයා අදහස් පළ කළා.

කෙසේ වෙතත්, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පීඩාවට පත්ව වන්දි ලබාගැනීම සඳහා පැමිණ සිටි පුද්ගලයෙකු එහිදී මෙලෙස ඊට විරෝධය පළ කරමින් එම ස්ථානයෙන් පිටව ගියා.

++++++++++++++++++++++++

විපතට පත්වූවෝ වන්දි උත්සවය වර්ජනය කරති

(16.05.2019 – 16:01 +0530 – lankadeepa.lk)

කටුවාපිටිය දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට වන්දිගෙවීම සඳහා අද (16) මීගමුවේ කාදිනල් කුරේ මධ්‍යස්ථානයේදී පැවැත්වූ උත්සවයේදී, මාධ්‍ය කැඳවා ප්‍රචාරණාත්මක වාසි සහ දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කළේ යැයි විරෝධය පළකරමින් වන්දිලාභීහු පිරිසක් වන්දිගෙවීමේ උත්සවය වර්ජනය කර පිටව ගියහ.

පාස්කු ඉරිදා කටුවපිටිය දේවස්ථානයට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය 89 දෙනෙකු සඳහා මිලියන122 ක් සහ තුවාල ලැබූ පුද්ගලයන් 130 දෙනෙකුට මිලියන 18.1 ක් වශයෙන් ගෙවනු ලබන වන්දි මුදලේ අවසන් වාරිකය ගෙවීම සඳහා හානිපූර්ණ කාර්යාලය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි. උත්සවයට පැමිණි සිටි වන්දිලාභීහු කටාන ආසනයේ පදිංචිකරුවෝ වෙති.

සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සව කටයුතු පැවැත්විණි. එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතාද මීට එක්ව සිටියේය.

තම දෙමවුපියන් සහ දරුවා අහිමිවූ, කටුවපිටිය පදිංචි යුවළක් වාසි ලබාගැනීමට පැමිණෙන දේශපාලකයන් අතින් වන්දි මුදල් ලබානොගන්නා බව පවසමින් උත්සවය වර්ජනය කළහ.

පුර්ණ සුවය නොලැබූ තුවාලකරුවෝ ද වන්දි ලබාගැනීමට පැමිණ සිටි පිරිස අතර වූහ. වන්දිලබාගැනීම සඳහා තවමත් සුවනොවූ රෝගීහු කුලී වාහනවලින් පැමිණ සිටියහ. හානිපුර්ණ කාර්යාලය විසින් වන්දිලාභින්ට අවශ්‍ය උපදෙස් හා තොරතුරු ලිපියක් මගින් දන්වා යවා නොතිබුණු අතර මේ හේතුවෙන් ඔවුන්ව නියමිත ආසනවල අසුන්ගැන්වීම සඳහා දැඩි වෙහෙසක් දැරීමට සංවිධායකයන්ට සිදුවිය ෴

+++++++++++++++++++++++++++++++++++++

ප්‍රබල ත්‍රස්තයන් 20 ක් රහස් පොලීසියේ

(17.05.2019 – 07:28 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 78 දෙනාගෙන් 20 දෙනෙකුම ඊට ඍජුව සම්බන්ධ වූවන් බවට අනාවරණ වී තිබෙනවා.

ඔවුන්ගෙන් මේ වනවිටත් ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇති අතර, අනාවරණ වන තොරතුරු ඔස්සේ පරීක්ෂණ සිදුකරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

පෙරේදා දිනයේදීද ත්‍රස්ත ප්‍රහාරකයින් සමඟ සමීප සබඳතා පැවැත් වූ කෝටිපති ව්‍යාපාරිකයෙකු වත්තල – මාබෝල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

මීට අමතරව තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන ලද පරීක්ෂණවලින් අනතුරුවයි ෴

+++++++++++++++++++++++++++++++++++++

සහරාන් සමඟ සබඳතා පැවැත්වූ විදුහල්පතිවරයෙක් සහ වැඩබලන විදුහල්පතිවරයෙක් STF අත්අඩංගුවට

(17.05.2019 – 11:21 +0530 – sinhala.adaderana.lk)

තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමඟ සමීප සබදතා පැවැත්වූ බවට සැකපිට මුස්ලිම් විද්‍යාල දෙකක විදුහල්පතිවරයෙකු සහ වැඩබලන විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොව්පතාන, වීරචෝලේ පත්තෑව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ඊයේ (16) රාත්‍රී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළේය.

අදාළ සැකකරුවන් හොරොව්පතාන, කපුගොල්ලෑව, පත්තෑව ප්‍රදේශයේ එකම ලිපිනයක පදිංචිව සිටි පුද්ගලයින් දෙදෙනෙකු බව වාර්තා වෙයි.

ඔවුන් නූර් මොහොම්මදු අබ්දුල් රසූල් සහ කාන මොහෙමද් මිජාම් නමැත්තන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේය.

ඔවුන් දෙදෙනා තවුහිද් ජමාත් සංවිධානයේ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් මනා දැනුමක් පවතින බවට අනාවරණය වී තිබේ.

‍සහරාන් හෂීම් සහ මොහොමඩ් ඊබ්‍රහිම් අන්සාර් යන පුද්ගලයින් දෙදෙනා විසින් අදාළ ප්‍රදේශයේ තවුහිද් ජමාත් පල්ලි ගොඩනගා සැකකරුවන් දෙදෙනාට බාර දී ඇති බව පොලිසිය පැවසීය ෴

+++++++++++++++++++++++++++++++++++++

ගුරුවරියන්ගේ ඇඳුමට එරෙහිව දෙමාපියන් පිරිසක් මහ මඟට

(17.05.2019 – 12:38 +0530 – sinhala.adaderana.lk)

මුස්ලිම් ගුරුවරියන් පිරිසකගේ ඇඳුම් සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයක් මුල්කරගනිමින් මහනුවර ප්‍රසිද්ධ බාලිකා පාසලක ගුරුවරුන් සහ මව්පියන් විරෝධතාවක නිරත වී ඇත.

අද (17) පෙරවරුවේ විද්‍යාලය ඉදිරිපිට මෙම විරෝධතාව පැවති බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

එම විද්‍යාලයේ මුස්ලිම් ගුරුවරියන් 16 දෙනෙකු සේවයේ නිරතව සිටින අතර ඉන් ගුරුවරියන් 5 දෙනෙකු සාරියකින් හෝ එකඟවිය හැකි ඇදුමකින් සැරසී පැමිණීම ප්‍රතික්ෂේප කර ඇති බව විරෝධතාවයේ නිරත ගුරුවරුන් සහ මව්පියන් පවසා සිටියි.

මේ හේතුවෙන් එම ගුරුවරියන්ට අද දිනයේ පාසලට ඇතුළු වීමට ද විරෝධතාකරුවන් අවස්ථාව ලබා නොදුන් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

මෙම ගැටලුව සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා දැනුවත් කිරිමට පියවර ගනු ලැබූව ද මෙතෙක් ඒ සඳහා විසදුමක් ලැබී නොමැති බව ඔවුන් පවසා සිටියි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *