බෝම්බ-කලබල අස්සේ ඇමරිකා උගුල අටවයි.. ත‍්‍රි’මලේ සිට කොළඹට අක්කර ලක්‍ෂ 22 ක භූමියක් ඇමරිකාවට.. වලංගු ඇමරිකා නීතිය පමණයි..

(17.05.2019 – 09:20 +0530 – lankacnews.com)

ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා වූ අක්කර ලක්ෂ 22 ට වඩා වැඩි ඉඩම් ප්‍රමාණයක් කිසිදු අනුමැතියක් නැතිව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්තනෝමතික ලෙස ඇමරිකාවට ලබාදීමට කටයුතු කරමින් සිටින බව ජාතික සමගිය වේගය කැඳවුම්කරු රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

මෙම ඉඩම් ප්‍රමාණය ලබා දෙන්නේ අක්කරයකට රුපියල් 24 ක මාසික කුලියට බවද ඒ මහතා සඳහන් කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම බිම් තීරුව ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා කිලෝ මීටර් දෙසීයක් දිගට සරල රේඛාවක් ආකාරයට පිහිටන බවත් ඉඩම් අක්කර ලක්ෂ විසි දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් ඊට අයිති වන බවත් ඔහු සඳහන් කළේය.

මෙම ඉඩම් ප්‍රමාණයක් ‘මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්’ නැමැති සමාගමකට විකිණීමට සැරසෙන්නේ දැවැන්ත ඇමරිකානු ආයෝජන කලාපයක් යැයි කියමින් බවද ඔහු සඳහන් කළේය.

මෙම බිම් තීරුවෙන් මෙරට උතුර සහ දකුණ වෙන්වන අතර එම කලාපය තුළ බල පැවැත්වෙන්නේ ඇමරිකානු නීතිය සහ ඇමරිකානු ආධිපත්‍යය පමණක් බවද මෙම කලාපය තුල සිදුවන කිසිදු කටයුත්තකට හෝ අපරාධයකට ශ්‍රී ලංකාවේ පොලිසියට හෝ අධිකරණයට මැදිහත් වීමේ හැකියාවක් නැති බවද ඔහු කියා සිටියේය.

මෙම කටයුත්ත සඳහා ජනතා අනුමැතිය හෝ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා ගැනීමට කටයුතු කර නැති බවද ඔහු සඳහන් කළේය.

මෙරට ජාතික ආරක්ෂාව ස්වාධීනත්වය මෙන්ම භෞමික අඛණ්ඩතාවය ද මෙමගින් බරපතළ අවදානමකට ලක්වන බවද වීරසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය ෴

*****************************************

කටුබැද්දේ විහාරස්ථානයක ගින්නක්

(17.05.2019 – 09:15 +0530 – hirunews.lk/sinhala)

මොරටුව – කටුබැද්ද ශ්‍රී ඥානවිමලාරාම විහාරස්ථානයේ තෙමහල් ගොඩනැගිල්ලක අද උදෑසන ගින්නක් හටගෙන තිබෙනවා.

පොලීසීය පැවසුවේ මොරටුව පොලීසිය සහ ගිනි නිවීමේ නිලධාරීන් එක්ව එය නිවා දැමීමට කටයුතු කළ බවයි.

ගින්නෙන් එම ගොඩනැගිල්ලට දැඩි හානි සිදුව ඇති අතර, විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා ෴

මොරටුව පොලිස් වසමේ කටුබැද්ද දේවාලය පාර, ශ්‍රී ඥාණවිමලාරාමය විහාරස්ථානයේ ගින්නක් හටගෙන ඇත.
(17.05.2019 – sinhala.adaderana.lk)

*****************************************

මහජනයා කැලඹෙන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කරන අයට වැඩ වරදී

(17.05.2019 – 12:07 +0530 – sinhala.adaderana.lk)

රට තුළ පවතින වාතාවරණය යටතේ පොදු ජනතාවගේ අවධානය යොමු විය යුතු නීති, රෙගුලාසි හා ඊට අදාළ වගන්ති පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරයි.

මහජනයා බියවැද්දීමට හෝ මහජනයා කැලඹීමට පත්කළ හැකි කිසියම් කටකථාවක් හෝ අසත්‍ය ප්‍රචාරයක් සන්නිවේදනය කරන පුද්ගලයන්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන බව රජය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ මහජනයාගේ දැනුවත්භාවය සඳහා ඒ පිළිබඳව පවතින නීති රෙගුලාසි සහ වගන්ති පිළිබඳව මහජනයාගේ අවධානය යොමු කරන බවයි.

ඒ අනුව මහජනයා බිය වැද්දිය හැකි හෝ මහජනයා කැලඹිය හැකි කිසියම් කටකතාවක් හෝ අසත්‍ය ප්‍රකාශයක් ප්‍රචාරය කිරීම, යුද්ධ පැතිර වීම හෝ ජාතික, වාර්ගික, ආගමික වෛරය සඳහා පෙළඹවීම, වාර්ගික හෝ ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් ඇති වීමට සැලැස්වීම යන කරුණු සම්බන්ධයෙන් නිතිය ක්‍රියාත්මක කෙරෙන ආකාරය පිළිබඳව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

2019 අංක 01 දරන හදිසි අවස්ථා විවිධ විධිවිධාන හා බලතල නියෝග යටතේ වන රෙගුලාසි, 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසක්ම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 3 (1) වගන්තිය සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලිකව විධිවිධාන පනත යටතේ අදාළ චෝදනාවලට වැරදිකරුවන් වන පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කළ හැකි බව රජය නිවේදනය කරයි ෴

*****************************************

‘තුරුලිය වෙනුවෙන් අපි විල්පත්තුවට’ ජාතික ක්‍රියාන්විතය හෙට (18)

(17.05.2019 – 13:54 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ‘මනූසත් දෙරණ’ සමඟ එක්ව ජාතික රණවිරු දිනයට සමගාමීව හෙට (18) විල්පත්තුව මරිච්චකඩ්ඩු ප්‍රදේශයේදී ‘තුරුලිය වෙනුවෙන් අපි’ රුක් රෝපණ ව්‍යාපෘතිය සංවිධානය කර තිබේ.

මෙම උත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රදානත්වයෙන් මරිච්චකඩ්ඩි 46 වන කිලෝ මීටර් කණුව අසලදී උදෑසන 09:00 ට ආරම්භ කිරිමට නියමිතය.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුම් අවසන් කර දසවරසක් සැමරුම වෙනුවෙන් යුද්ධ හමුදා සහ මනුසත් දෙරණ එක්ව මෙම ජාතික ක්‍රියාන්විතය දියත් කරයි.

එදිනම පාලසෝතිකන්ඩාල්, කරාඩික්කූලී සහ ශ්‍රීනාත් නගර් යන ප්‍රදේශයන්හි ජාතික සැමරුම් දිනයට සමගාමීව රුක් රෝපණය කිරීමට නියමිතය.

විල්පත්තුව වන උද්‍යානයේ නැවත රුක් රෝපණය කිරිම සඳහා උනන්දුවක් දක්වන මහජනතාවට ආරාධනා කරනු ලැබේ ෴

*****************************************

එක මවකගේ දරුවෝ…

(16.05.2019 – sinhala.adaderana.lk)

ගාල්ල නගරයේ පිහිටි ඕල්කට් මහා විද්‍යාලය මුස්ලිම් සහ සිංහල දරු දැරියන් විශාල පිරිසක් ඉගෙනුම ලබන පාසලකි.

සිංහල මුස්ලිම් සිසුන් පිරිසක් එක්ව වෙසක් උළෙල නිමිත්තෙන් වෙසක් කූඩුවලින් සැරසීමේ කටයුතුවල යෙදී සිටින අයුරුයි ඉතා අපූරුවට අද දෙරණ කැමරා කාචයේ සනිටුහන් විය.

පාසල් තුළින් ඇති වෙන මේ මිත්‍රත්වය සමාජයට ගලා යන්නේ නම් හෙට දවසේ මුළු මහත් ලංකාව සාමකාමී වටපිටාවක් හිමිවනු නොඅනුමානය.

+++++++++++++++++++++++++++++++++++++

සුවහසක් බෞද්ධයාගේ වෙසක් පැතුමට ජනපති සවන් නොදෙයි. වෙසක් දිනයේදී ඥානසාර හිමිට නිදහසක් නෑ

(17.05.2019 – colombotoday.com)

ඉස්ලාම් ත්‍රස්තවාදීන් විසින් පසුගිය පාස්කු ඉරිදා මෙරටට එල්ල කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව හේතුවෙන් මෙවර වෙසක් පින් කම් බොහොමයක් පැවැත්වෙන්නේ නැත. ඒ හේතුවෙන්, බෞද්ධයාට අහිමි මේ වෙසඟේ ඥානසාර හිමි නිදහස් කිරීම හෝ සිදුකර වෙසක් දිනය අර්ථවත් කරන ලෙස පාර්ශව ගණනාවක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් සිදු කරන ලදි.

මීට ඉහතදී අස්ගිරි සංඝ සභාව, මල්වත්ත සංඝ සභාව, රාමඤ්ඤ සංඝ සභාව, අමරපුර සංඝ සභාව, කෝට්ටේ සංඝ සභාව, ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේවරයා ලිඛිතව ඥානසාර හිමි නිදහස් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් සිදු කරන ලදි.

මෙරට ජීවත්වන කතෝලික ජනතාව වෙනුවෙන් මැල්කම් රංජිත් අගරදගුරුතුමන්ද ජනාධිපතිවරයාගෙන් කිහිප විටෙක දී ඉල්ලීම් සිදුකළ බව එතුමා භික්ෂුන් වහන්සේලා හමුවේ ප්‍රකාශ කර ඇත.

එමෙන්ම මෙරට ජීවත්වන හින්දු ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා හින්දු සම්මේලනය ද ජනාධිපතිවරයාගෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙසට ඉල්ලීම් සිදු කරන ලදි.

මෙම ඉල්ලීම් සියල්ල ළිබඳව සලකා බලන ලෙස දන්වමින් බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ද ජනාධිපතිවරයා වෙත ලිඛිතව ඥානසාර හිමි නිදහස් කරන ලෙසට ඉල්ලීමක් කරන ලදි.

පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවක්ද ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම සිදු කරන ලද අතර, ජනාධිපතිවරයා මේ කිසිවකුටත් ඇහුම්කන් නොදී වෙසක් දිනයේදී ඥානසාර හිමි නිදහස් නොකිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ ෴

++++++++++++++++++++++++

වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 762 ක් ජනපති සමාවෙන් නිදහස ලබයි

(18.05.2019 – 13:42 +0530 – sinhala.adaderana.lk)

අදට යෙදෙන වෙසක් පොහොය දිනය නිමිත්තෙන් සිරකරුවන් 762 දෙනෙකුට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබා දුන්නේය.

එහි ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර දෙපාර්තමේන්තු පරිශ්‍රෙය්දී පැවැත්වුණි.

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ලබාදීමේ ජාතික උත්සවය වැලිකඩ බන්ධනාගාර දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදී සුළු වැරදි සම්බන්ධයෙන් දිවයිනේ බන්ධනාගාර 30 ක රැඳවියන් ලෙස සිටි පුද්ගලයින් 762 දෙදෙනෙකුට ජනාධිපති පොදු සමාව හිමිවුණි.

එහිදී සිය අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ නිදහස ලබා නැවත සමාජයට යන සිරකරුවන් ලෙස ඔවුන් නැවත වැරදි සමාජයට එක්වුවහොත් සියළු දෙනාගේම දෝෂාරෝපණ එල්ල වන්නේ තමන් වෙත බවය.

එනිසා ඔවුන් නිදහස් කිරීමේ වගකීම තමන් බාර ගෙන ඇති අතර මේ රටේ පළමු මහජන සේවකයා ලෙස තමන් දැඩි ලෙස අද නිදහස ලබන රැඳවියන් මත විශ්වාසය තබන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේය.

තමන් ඔවුන්ගෙන් ඉල්ල සිටින්නේ නැවත වැරදි සමාජයට එකතු වීමෙන් වළකින ලෙස බවත් ජනාධිපතිවරයා කියා සිටියි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • So US terrorists are going to come to Sri Lanka and draw the separation boundary in a partitioned country. Why the president and people are remaining silent? Get this american slave Ranil off his pedestal. Time to dissolve this useless and treacherous parliament of traitors; four and a half years are up now, right? Just a few more days.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *