නැගෙනහිර පළාතේ පූනාහි පිහිටි ෂරියා සරසවියට ගිය මාධ්‍යවේදීන් පැය 3 ක් දොරටුව ළඟ

(17.05.2019 – 15:14 +0530 – lankadeepa.lk)

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.එම්. හිස්බුල්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පූනාහි පිහිටි ෂරියා විශ්වවිද්‍යාලයේ රැස්වීම වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට ආණ්ඩුකාරවරයාගේ පෞද්ගලික ආරක්ෂකයකු ඊට ඇතුළත්වීමට ඉඩනොදීම නිසා ප්‍රධාන දොරටුව අසළ පැය කිහිපයක් රැඳී සිටීමට ඔවුන්ට සිදුවිය.

මාධ්‍යවේදීන්ට ෂරියා විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට ආරක්ෂක අංශවලින් අවස්ථාව ලැබී තිබුණද, පෞද්ගලික ආරක්ෂකයාගේ මැදිහත්වීම හේතුවෙන් ඔවුන්ට පැය තුනක පමණ කාලයක් දොරටුව ඉදිරිපිට සිටීමට සිදුවිණි.

අනතුරුව පොළොන්නරුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ එම අවස්ථාවට පැමිණ ආරක්ෂක අංශවල අවසරය මත මාධ්‍යවේදීන් ෂරියා විශ්වවිද්‍යාලය තුළට රැගෙන යාමට කටයුතු කළහ.

එහි ගොඩනැගිලි නිරීක්ෂණය කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලේකම් එම්. තාහිර් මහතා විසින් මාධ්‍යවේදීන්ට අවස්ථාව සලසා දී තිබුණද, රැස්වීම වාර්තාකිරීමට ඔවුන්ට ආරාධනා ලැබුණද ඊට අවස්ථාව හිමිවී නොතිබුණි.

මෙම රැස්වීම සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. එම්. හිස්බුල්ලා, උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ශාඛා කමිටු සභාපති කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ, මඩකලපුව දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු යන මහත්වරුද, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරීහු රැසක්ද එක්ව සිටියහ.

++++++++++++++++++++++++

මඩකළපුවේ ඉදිවන පෞද්ගලික සරසවිය රජයට පවරා ගන්න බෑ – හිස්බුල්ලා

(17.05.2019 – 19:06 +0530 – sinhala.adaderana.lk)

මඩකළපුව පූනානි ප්‍රදේශයේ ඉදිවන පෞද්ගලික විශ්වවිද්‍යාලය රජයට පවරා ගත නොහැකි බව එහි හිටපු සභාපති නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ උසස් අධ්‍යාපන ආංශික අධීක්ෂණ කාරක සභා නියෝජිතයන් අද (17) එම විශ්වවිද්‍යාලය පරීක්ෂා කිරීමට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව කියා සිටියේය.

පාර්ලිමේන්තුවේ උසස් අධ්‍යාපන ආංශික අධීක්ෂණ කාරක සභා නියෝජිතයන් පිරිසක් අද උදෑසන මඩකලපුව, පුනානි ප්‍රදේශයේ ඉදිවන බැටික්ලෝ කැම්පස් ශ්‍රී ලංකා නම් විශ්වවිද්‍යාලයේ නිරික්ෂණ චාරිකාවක නිරතවුණි.

කෙසේවෙතත් එම අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට මෙම විශ්වවවිද්‍යාලයේ හිටපු සභාපති නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.එම්. හිස්බුල්ලා මහතා අවසර ලබාදී නොතිබූ බව අප වාර්තාකරුවන් පවසයි.

පැය කිහිපයකට පසුව පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර හිමියන් එම ස්ථානයට පැමිණ විශ්වවිද්‍යාලය නිරික්ෂණය කිරීමට මාධ්‍යයට අවස්ථාව ලබානොදීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල කළේය.

අනතුරුව ආරක්ෂක අංශවල අවසරය මත මාධ්‍යවේදීන්ට එම විශ්වවිද්‍යාලය තුළට යැමට අවසර ලබාදුන්නේය.

නවීන පහසුකම්වලින් සමන්විත මෙම විශ්වවිද්‍යාලයේ නිරික්ෂණය කිරිමටද අද දෙරණට අවස්ථාව හිමිවුණි.

ඔහු එසේ පැවසුවද මෙම විශ්වවිද්‍යාලයේ ඉගැන්වීමට අපේක්ෂා කරන විෂය නිර්දේශය සහ ඊට අදාළ ආචාර්ය මණ්ඩලය පිළිබඳව උසස් අධ්‍යාපන අමාත්‍යංශයට ඉදිරිපත් කළ වාර්තාවේ ශරියා හා ඉස්ලාම් අධ්‍යාපනය පාඨමාලා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

මේ අතර අද දෙරණ 360 වැඩසටහනටද එක්වෙමින් එල්.එම්.හිස්බුල්ලා මහතා ආගමික ඉස්ලාමිය ආගමික ඉගැන්විම සිදුකිරීමට සැලසුම්කර ඇති බව පිළිගත්තේය.

++++++++++++++++++++++++

ශරියා විශ්වවිද්‍යාලය ගැන පරීක්ෂණයකට අදාල බලධාරීන්ට කෝප් කමිටුවෙන් කැඳවීමක්

(16.05.2019 – colombotoday.com)

‘බැටික්ලෝ කැම්පස් ශ්‍රී ලංකා’ නමින් මඩකලපුවේ ඉදිවන විශ්වවිද්‍යාලය පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව තීරණය කර තිබේ.

එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, වෘත්තීය පුහුණු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යන අයතනයන්හි නිලධාරීන් ලබන 21 වැනි දා කමිටුව හමුවට කැඳවා ඇති බවයි ෴

+++++++++++++++++++++++++++++++++++++

මරාගෙන මැරුන බෝම්බයාට අයත් වැල්ලම්පිටිය තඹ කම්හලේ තවත් අයෙක් රිමාන්ඩ්

(17.05.2019 – 15:13 +0530 – lankadeepa.lk)

බෝම්බකරුට අයත් තඹ කම්හලේ තවත් අයෙක් රිමාන්ඩ්

මරාගෙන මැරෙන බෝම්බකරුවක් වූ මොහොමඩ් ඉන්සාක් නම් ව්‍යාපාරිකයාට අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාවේ සේවය කළ තවත් පුද්ගලයකු වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (17) නියෝග කළේය.

මෙම සැකකරු මරාගෙන මැරෙන බෝම්බකරු වූ මොහොමඩ් ඉන්සාක් සමග දැඩි සමීප සම්බන්ධතා පවත්වා ඇති බවත් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මෙම කර්මාන්තශාලාවේ සේවයේ කරමින් සිට පැනගොස් සිටියදී මාවනැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ හිඟුල මාවනැල්ලේ පදිංචිව සිටි මොහොමඩ් වයිස් මොහොමඩ් සල්මාන් නූර් සාරික් නමැත්තෙකි ෴

+++++++++++++++++++++++++++++++++++++

සහරාන්ගේ පුහුණු තිප්පොළක් අරුප්පලින් අල්ලයි

(17.05.2019 – 09:55 +0530 – lankadeepa.lk)

ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ ප්‍රබල සාමාජිකයින් පුහුණු කඳවුරක් ලෙස භාවිත කළ බව කියන මහනුවර, අරුප්පල ප්‍රදේශයේ දෙමහල් නිවසක් ආරක්ෂක අංශ විසින් ඊයේ (16) සොයාගනු ලැබීය.

යුද, ගුවන්, නාවික සහ පොලිස් බලඇණි දින ගණනාවක් පුරා සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම සුවිසල් දෙමහල් නිවස පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන තිබිණි යැයි ආරක්ෂක අංශ පවසයි.

මහනුවර, අරුප්පල, ධර්මාශෝක මාවතේ පිහිටි මෙම දෙමහල් නිවස සුවිසල් තාප්පයකින් වටවී තිබූ අතර නිවාස භූමියෙහි විශාල ප්‍රමාණයේ ගරාජයක්ද තිබිණි.

සැකකටයුතු නිවෙස සෝදිසිකිරීමේදී අන්තවාදීන් විසින් භාවිත කරනු ලැබූ බවට සැකකෙරෙන පොත්පත් රාශියක් සහ දේශන පැවැත්වීමේදී පාවිච්චි කරනු ලැබූ ආම්පන්න කිහිපයක්ද සොයාගෙන ඇතැයි සඳහන් වෙයි.

මෙම දෙමහල් නිවසේ ව්‍යාපාරිකයකු විසින් නවාතැන්පොළක් පවත්වාගෙන ගොස් ඇති අතර එම ස්ථානයට පැමිණෙන පුද්ගලයින් පිළිබඳ සටහන් තබන තොරතුරු පොතට අනුව මෙම ත්‍රස්තවාදී කණ්ඩායම් වරින්වර මෙම නිවසට පැමිණ ඇති බවට තොරතුරු අනාවරණ වන බවත් ආරක්ෂක අංශ පවසයි.

ත්‍රස්තවාදී කණ්ඩායමේ සාමාජිකයින් වරකට අටදෙනෙකු පමණ මෙම ස්ථානයේ ලැගුම් ගෙන ඇති බවද ඔවුන් දේශන පවත්වමින් ඉතා රහසිගතව මෙම නිවසේ සති දෙකක පමණ කාලයක් රැඳී සිට ඇති බව අනාවරණය වී ඇතැයිද ආරක්ෂක අංශ වැඩිදුරටත් සඳහන් කරයි.

ත්‍රස්ත කණ්ඩායම් මෙම නිවසේ රැඳී සිටියදී ඔවුන් මුණගැසීම සඳහා බාහිර පුද්ගලයන් කීපදෙනෙකු සුඛෝපභෝගී වාහනවලින් වරින්වර පැමිණ ඇති බව එම නිවසේ සේවකයන්ගෙන් කරන ලද ප්‍රශ්නකිරීම්වලින් අනාවරණය වී ඇත.

ආරක්ෂක අංශ මහනුවර නගරයේ සිදුකළ ඒකාබද්ධ විශේෂ සෝදිසි මෙහෙයුමකදී අන්තවාදී කණ්ඩායම්වලට අයත් බවට සැකපිට අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම දෙමහල් නිවසේ පවත්වාගෙන ගිය බව කියන පුහුණු කඳවුර පිළිබඳ තොරතුරු අනාවරණය කරගත් බව ආරක්ෂක අංශ පවසයි.

තවුහීත් ජමාත් සංවිධානයේ ප්‍රබල සාමාජිකයන් 2018 වසරේ සිට මෙම ස්ථානය සිය දේශන පැවැත්වීමේ පුහුණු කඳවුරක් ලෙස පවත්වාගෙන ගොස් ඇති බවත් එම සංවිධානයේ නායකයා ඇතුළු නායකයින් රැසක් මෙහි පැමිණ සිට ඇති බවත් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇතැයිද ආරක්ෂක අංශ සඳහන් කරයි.

ආරක්ෂක අංශ විසින් සිදුකරන ලද සෝදිසි මෙහෙයුම්වලදී මහනුවර ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවු දෙනකු මේ වන විට මහනුවර පොලිසියේ රඳවා තබාගෙන ප්‍රශ්න කරගෙන යන බව පොලිසිය පවසයි ෴

+++++++++++++++++++++++++++++++++++++

කල්පිටියේ ඩ්‍රෝන කැමරාවක් සැරිසරයි

(17.05.2019 – 09:46 +0530 – lankadeepa.lk)

කල්පිටිය අහසේ අද (17) අලුයම 01:00 ට පමණ ඩ්‍රෝන කැමරාවක් බදු සැකකටයුතු යානාවක් සැරිසැරූ බවත්, මේ පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් හමුදාව දැනුවත් කළ බවත් පුත්තලම පොලිසිය පවසයි.

මෙය ඩ්‍රෝන කැමරාවක් හෝ කුඩා වර්ගයේ අහස් යානාවක් විය හැකි බව පුත්තලම පොලිස් අධිකාරී ජේ. ඒ. චන්ද්‍රසේන මහතා පවසයි.

මීට පෙර ද වරින්වර මෙවැනි සැකකටයුතු යානාවක් කල්පිටිය අහසේ සැරිසැරූ බව ඒ මහතා පැවසුවේ ය.

රටේ වැදගත් ආර්ථික ස්ථානයක් වන ලක්විජය ගල් අඟුරු බලාගාරය කල්පිටිය අර්ධදීපයේ පිහිටා තිබෙන බව සිහිකළ ඒ මහතා කල්පිටි කලපුව ආශ්‍රිත යාත්‍රාවක සිට මෙම යන්ත්‍රය එවන බවට ද සැක කරන බව ද පැවසුවේ ය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *