පුතුන් ලේලියන් බොම්බ පුපුරුවා මරාගෙන මැරෙනතුරු ඉෂානා කුළුබඩු ව්‍යාපාරික දේශකීර්තී යුසුෆ් ඊබ්‍රාහීම් නොදැන සිටියාද?

(17.05.2019 – gossiplankanews.com)

පසුගිය 21 වනදා සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරවලියේ පිපුරුණ බෝම්බ තුනක්ම දෙමටගොඩ වාසය කළ පවුලක සාමාජිකයින් විසින් සිදු කර තිබුණි. ඒ කුළුබඩු ව්‍යාපාරික යූසුෆ් ඊබ්‍රාහිම්ගේ පුතුන් දෙදෙනෙකු හා ලේලියකි.

https://www.gossiplankanews.com/2019/05/ishana-ibrahim-story.html

සුළු අපනයන බෝග පිටරට යවා ලංකාවට වැඩිම ආදායම ලබාදෙන්නා ලෙස රාජ්‍ය නායකයින් අතින් දේශකීර්ති සම්මානයට පවා පාත්‍රවූ කුළුබඩු ව්‍යාපාරික යූසුෆ් ඊබ්‍රාහිම් මේ ආකාරයේ දේශ විරෝධි කටයුත්තකට දායකවීම විමතිදායක සිදුවීමකි.

මෙම ඊබ්‍රහිම් පවුලේ කුළුබඩු ව්‍යාපාරය “ඉශානා ස්පයිස් එක්ස්පෝටර්ස්” නමින් ප්‍රකටය. ඔහු ප්‍රධාන වශයෙන් පකිස්ථානය, ඉන්දියාව, ඩුබායි , ඇමරිකාව වැනි රටවලට කුළුබඩු අපනයනයේ යෙදෙයි. ගම්මිරිස් , සාදික්කා, වසාවාසී, කරාඹුනැටි, පුවක් , ගොරකා වැනි කුළු බඩු වර්ග ලංකාවේ විවිධ ප්‍රෙද්ශවලින් මිලට ගෙන අපනයනය කරයි.

මෙම මිලට ගැනීම් වලදී බහුලව මහනුවර , මාතලේ, ප්‍රදේශවල සිටින අතරමැදියන්ගෙන් ඒවා ලබාගනියි.

1986 සිට වසර 33 කට ආසන්න කාලයක් ගොඩනැගුණ ඔවුන්ගේ මෙම ව්‍යාපාරය තුළ මේ වන විට සිංහල ගම්මාන සමඟ විශ්වාසනීය සම්බන්ධතාවයක් ගොඩනඟාගෙන තිබේ.

ගම්මිරිස් ටික, සාදික්කා ටික කඩාගන්නා ගැමියන් සිංහල මුදලාලි මඟහැර බලාසිටින්නේ තම්බි මුදලාලි පැමිණෙන තුරුය.

මසකට කුළුබඩු කන්ටේනර් බර ගාණක් රට පටවන ඉශානා මුදලාලි ජාත්‍යන්තරයේද සම්මානනීය ව්‍යාපාරිකයෙකු ලෙස නම තබා තිබුණි. 2002 දී ස්විට්සර්ලන්තයේ ජීනීවාහිදී International Star Award ඔහු සතුවිය. 2005 දී ජනපති මහින්ද රාජපක්ෂ අතින් දේශකීර්ති සම්මානය දිනාගන්නටද ඔහු සමත්විය. 2006 දී නවදීල්ලියේදී Indian Excellency Award ඔහු දිනාගත්තේය.

2006 තෙක් ලංකාවේ විහාලතම කුළු බඩු අපනයනකරු වූයේ ඔහුය. 2008 දී ජනපති අපනයන සම්මානයද ඔහු සතුවිය.

මුලදී මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි මේ පවුල එම ව්‍යාපාර දියුණුවේ ඉහළට නැගෙත්ම කොළඹට සංක්‍රමණය වූ බව කියැවේ. කොළඹ 12 පරණ මුවර් පටුමගේ ඔහුගේ ඉෂානා ප්‍රධාන අලෙවි සල පිහිටා තිබුණි.

ඔහු දරුවන් 11 දෙනෙකුගේ පියෙකි. පිරිමි දරුවන් 8 දෙනාටත් ගැහැණු දරුවන් 3 දෙනාටත් වෙන වෙනම ගෙවල් සාදාගෙන ඒවා තම නිවස අසළම තනාගතයුතු බව ඔහුගේ අපේක්ෂාව විය. ඒ සඳහා දෙමටගොඩ මහවිල උද්‍යාන පාරේ විශාල ඉඩමක් මිලට ගත් ඔහු එහි සැදුවේ නිවසක් නොව සුපිරි නිවාස සංකීර්ණයකි.

මහගෙදර යාබද අනෙක් නිවාස වල දරුවන්ගේ නිවාස තිබේ.

පසුගියදා සතිඅන්ත පුවත්පතක් මගින් ඊබ්‍රාහිම්ගේ කුළුබඩු ව්‍යාපාරය සම්බන්ධව මීට වසර කිහිපයකට පෙර ඔහු හමුවී සිදු කළ සාකච්ඡාවක් පළ කර තිබුණි. එය ලියූ ලේඛකයා පවසා ඇත්තේ ඊබ්‍රාහීම් මුදලාලිගේ ලාච්චුවේ පන්දහසේ කොළ මිටි ගණන් ඇති බවකි. එම මිටි මිලියන 5 ගොඩවල් වලට වෙන්කර ලේබල් ගසා ඇති බවද වාර්තා කර තිබුණි. ඊබ්‍රාහීම් මුදලාලි රෙඩි කෑෂ් වලින් පමණක් ගනුදෙනු කරන අයෙකු බව එහිදී හඳුන්වාදී ඇත. චෙක්පත් වලින් වැඩ අඩු සාම්ප්‍රදායික බිස්නස් කරුවෙකු විය. ඔහු තීරණය කරන දේ ඒ වේලාවේම කරන අයෙකු බව කියැවිණි.

ඊබ්‍රාහිම් ජවිපෙ ක්‍රියාකාරිකයකුද, නැතිනම් අයිඑස්අයිඑස් ක්‍රියාකාරිකයකුදැයි පැහැදිලි නැති නමුත් අතදිගහැර තම මතය වෙනුවෙන් වියදම් කරන්නට ලෝබ නැති බව එහි දක්වා තිබුණි.

පුවත්පත් ලේඛකයා ඔහු හමුවූ අවස්තාවේදීද ඔහු අසා ඇත්තේ දැන් රටේ වෙන්නේ මොනවද ලෙසිනි. ඔහු මෙරට මුස්ලිම් ජාතිකයන්ගේ පුවත්පතක් වූ ‘විසිවෙල්ලි’ අනිවාර්යයෙන් කියවන බවද පවසා ඇත.දේශපාලනය ගැන ඔහු හොඳ උනන්දුවකින් පසුවූ බව පැවසිණි. ඔහු ජවිපේ ජාතික ලැයිස්තුවේ සිටි අයෙකු බවද පසුගියදා වාර්තාවී තිබුණි.

ඊබ්‍රාහිම් ජීවිතය පටන්ගෙන ඇත්තේ පැදුරේ සිටය. ඔහුගේ මුල් රැකියාව වී ඇත්තේ ඕල්ඩ්මුවර් ස්ට්‍රීට් එකට දුර බැහැරින් ගම්මිරිස්, කරුංකා, කුරුඳු, ගොරකා විකුණා ගැනීමට එන ගොවීන් ආයනකරුවන්ට හඳුන්වා දෙන බ්‍රෝකර් ජොබ් එකකි. එතැනින් පටන්ගත් ඔහු පසුව කුලුබඩු මිලටගැනීමට මහනුවර ගොස් එම අතරමැදියෙකු ලෙස වැඩ කර ඇත. පසුකාලීනව පිටකොටුවේ බෂාර් එකේ කවුරුත් ඔහු හැඳින්වූයේ ලංකාවේ නොම්මර එකේ ගම්මිරිස් එක්ස්පෝටර් ලෙසය.

ඊබ්‍රාහිම්ගේ ඕල්ඩ් මුවර් ස්ට්‍රීට් කාර්යාලයේ දෙතුන්දහසකට කන්නට වියළි ආහාර ද්‍රව්‍ය නිතරම ගොඩගසා තිබුණි. දිගු ගොඩනැගිල්ලක් වූ එහි කෑම කන්නට තිබ්බේ ගොඩනැගිල්ලේ කොනේය. මෙච්චර ආහාර තොගයක් මොකටදැයි විමසීමේදී ඔහු පැවසුවේ එය සිකුරාදාට පල්ලියට එන දිළිඳු ජනතාවට බෙදා දීමට බවය. සාමසර කන්ද නායගිය විට විපතට පත් ජනතාවට ‘ඊබ්‍රාහිම් හජ්ජියාර්’ ලක්ෂ දහයක වියළි ආහාර බෙදාදුන් බවද වාර්තාවි තිබේ.

අන් අයගේ දුක හඳුනන ව්‍යාපාරිකයෙකුවූ ඊබ්‍රාහීම් දෙතුන් සියයක් මරාදමන මෙවැනි වැඩකට සම්බන්ධවීම එක් අතකින් විමතියට කරුණකි. එසේම ලංකාවේ අපනයනකරුවෙකු ලෙස විදේශයන්ගේද ලංකාවේ නම බැබලවූ ඔහු ඔහුගේ පුතුන් ලවා ලංකාවේ විදේශ ප්‍රතිරූපය බිඳවන ලෙස හෝටල්වලට ප්‍රහාර එල්ල කිරීමද විමතිදායකය.

බොම්බ සිද්ධිය වාර්තාවූ දිනයේ ෂැංග්‍රිලා හෝටලයේ ඊබ්‍රහීම්ගේ බාලපුතු ඉල්හාම් , සහරාන් සමග එක්ව පිපිරීම කර තිබූ අතර සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ වැඩිමල් පුතු තඹ ව්‍යාපාරික ඉන්සාෆ් පිපිරීම සිදුකරගෙන තිබුණි. ඉල්හාම්ගේ හැඳුනුම්පතක් ඔස්සේ පොලිසියට ලැබුණ තොරතුරු මත දෙමටගොඩ නිවස ගැන මුල්ම සැකය පැනනැගුන අතර එදින එම නිවස පරීක්සා කරද්දී ඊබ්‍රාහීම්ගේ ගැබිණි ලේලියක දරුවන්ද සමග මෙම තවත් පිපුරුමක් කරගත්තේ නිවසේ ඇතුලුවන දොරක් අසළය. මෙම නිවසේ වාසය කල ඊබ්‍රාහිම් ඇතුලු දරුවන් පසුව අත්අඩංගුවට පත්විය.

මේ සියල්ල සිදුවෙද්දී ඔහු ඒවා නොදැන සිටියේ නැති බව මේ වනවිට සිදු කරන විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

ඊබ්‍රාහිම් තම සියලු දේපොළ මේ ප්‍රහාරයට පෙර පවරා තිබේ. ලක්ෂ 450 ක වටිනා වැල්ලම්පිටියේ සමාගමක වත්කම් ඔහු තෑගි ඔප්පුවකින් පවරා තිබුණේ නැසීගිය දරුවන් සිව් දෙනකුටය. කොළඹ පෞද්ගලික සමාගමක වූ ලක්ෂ 100 දේපොළ ඔහු තම සහෝදරයාට පවරා තිබේ. ඔහු පෞද්ගලික සමාගමකට මාතලේ ලක්ෂ 110 ක් ඉඩමක් හා ලක්ෂ 500 ක ඉඩමක් පවරා ඇති බවද දැන් හෙළිදරව් වී ඇත.

පසුගියදා මාවනැල්ලේ බුදුපිලිම කඩා ගැටලුකාරී තත්වයක් පැනනැගී අවස්ථාවේ ඊබ්‍රාහිම් පුවත්පතකට මෙසේ පවසා තිබුණි :

‘‘මාවනැල්ලේ සිදුවීම කොළඹ බිස්නස්වලට බලපෑවේ අඩුවෙන්. මගේ පුතා වැරැද්දක් කළත් වැරැද්ද වැරැද්දමයි. ව්‍යාපාරිකයින් වශයෙන් අප හිතන්නේ මුස්ලිම්වරු නොවෙයි. ලාංකිකයින් යන හැඟීමෙන්.

ඔය ලොකු බිස්නස්කාරයෝ කවුරුත් උත්පත්තියෙන් කොටිපති නෙවෙයි. කවුරුත් දුක්මහන්සියෙන් තමයි ඔය තත්ත්වයට ආවේ. ඔතන ජාතිවාදයක් නෑ. තොග වෙළෙඳපොළ තුළ ඕන තරම් සිංහල, දෙමළ, දැවැන්ත ව්‍යාපාරිකයෝ ඉන්නවා. දේශපාලකයන් බලය රැක ගන්න ජාතිවාදය වපුරන නිසා සමහරු විරසක වෙනවා.

දැන් බලන්න මහරගම පිළිකා රෝහලට ලොකුම ගොඩනැගිල්ල දුන්නේ කවුද. අපේ කෙනෙක්. පෙට් ස්කෑන් එක ගේන්න මුල් වුණොත් අපේ කෙනෙක්. අපි ජාතිවාදී නෑ. මේ ඔක්කොම ප්‍රදාන කරන්න ඔවුන් මුදල් සෙව්වේ ව්‍යාපාරවලින්. ඒ සල්ලිවලින් අපි පොදුජනතාවටත් සේවය කරනවා.’’ ලෙසිනි.

+++++++++++++++++++++++++++++++++++++

ලේක්හවුස් පත්තර වෑන් එකෙන් පල්ලිවලට කඩු බෙදලා.. සහරාන්ගේ බිරිද කාත්තන්කුඩි ගෙනගිහින්.. ‘මාංචු’ කියයි.. ලේක්හවුස් මාධ්‍යවේදියකු පොලිස් අත්අඩංගුවට.. හැදුනුම්පත් තොගයක්ද හමුවේ..

(17.05.2019 – 10:40 +0530 – lankacnews.com)

රජයේ ප්‍රධාන මුද්‍රිත මාධ්‍ය ආයතනය වන ලේක්හවුස් ආයතනය ISIS ත්‍රස්තවාදීන්ගේ උපායමාර්ගික වශයෙන් සැලසුම් මෙහෙයවන ස්ථානයක් දැයි සැක මතුව තිබෙන බව ලේක්හවූස් සේවකයන් පවසයි.

ඊට හේතුව වන්නේ ලේක්හවුස් පුවත්පත් කාත්තන්කුඩි දක්වා ප්‍රවාහනය කරන LL-0842 දරණ වෑන් රථයෙන් සහරාන්ගේ බිරිද සහ තවත් ත්‍රස්‌තවාදීන් ගමන් කර ඇති බව කොළඹ අපරාධ කොට්‌ඨාසයේ පරීක්ෂණ අනුව හෙලි වී තිබීමයි.

මේ ගැන ලේක්හවුස් ආයතනයේ ‘මාංචු’ නැමැති අපරාධ වාර්තා කරන සිංහල පුවත්පතේ ආරක්ෂක වාර්තා සිදුකරන මාධ්‍යවේදීනී තක්ෂිලා ජයසේකර 2019.05.07 අඟහරැවාදා මැද පිටුවේ සහරාන් ගැන ලියු ලිපියේ අවසානයේ සඳහන් කර ඇත.

ඒ මාධ්‍යවේදීනියට අනුව සහරාන්ගේ බිරිද පුවත්පත් බෙදා හරින ලොරි රථයට ගොඩවී ඇත්තේ ‘රීගල්’ සිනමා ශාලාව අසලිනි.

ඒ අනුව කොළඹ අපරාධ කොට්‌ඨාසය ලේක්හවුස් පුවත්පත් කාත්තන්කුඩි දක්වා ප්‍රවාහනය කළ LL-0842 රථයේ රියදුරු ‘රිෆාස්’ නමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්‌ඨාසය අනුව සහරාන්ගේ බිරිද පානදුර සරික්කමුල්ල නිවසෙන් ලේක්හවුස් පුවත්පත් කාත්තන්කුඩි ගෙන යන ලොරි රථයට ගොඩ වී තබෙන බව වාර්තා වෙයි.

එම වෑන් රථය ලේක්හවුස් ආයතනයේ පුවත්පත් පටවා ගන්නා තුරු ලේක්හවුස් ඉදිපිට රීගල් සිනමා ශාලාව අසලින් සහරාන්ගේ බිරිද බැස ඇති අතර රියදුරා පුවත්පත් පටවාගෙන ආපසු පැමිණි පසු සහරාන්ගේ බිරිය පුවත්පත් ප්‍රවාහනය කරන රථයට නැග ඇත. එය ලේක්හවුස් ‘මාංචු’ පුවත්පතේ 2019.05.07 වාර්තා කර තිබේ.

ඊට අමතරව කොළඹ අවට ස්ථානවලට කඩු ප්වාහනය කීරීම්වලට මෙම ලේක්හවුස් පුවත්පත් බෙදාහරින රථය යොදා ගෙන ඇති බවද ‘මාංචු’ පුවත්පත වාර්තා කර තිබේ.

එපමණක් නොව ලේක්හවුස් ආයතනයේ නව මාධ්‍ය අංශයේ මාධ්‍යවේදියකු වන මොහොමඩ් නමැත්තා මරදාන පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණේ දැනට සතියකට පෙරය.

ඊයේ 16 උදෑසන ලේක්හවුස් දිනමිණ කර්තෘවරියගේ නිල කාමරය අසළින් ලේක්හවුස් ආපනශාලාවට යන පඩිපෙළ අසල ඇති ලේක්හවුස් මුස්ලිම් ජාතිකයන් ආගම අදහන ස්ථානයේ තිබී සිංහල නම් සඳහන් ජාතික හැඳුනුම්පත් සහ පාස්පෝට් තොගයක් හමුවී ඇති අතර ඒවා කොටුව පොලීසියට බාර දී තිබේ.

ලේක්හවුස් සේවකයන් පවසනූයේ ජාතික හැඳුනුම්පත් 100 සහ පාස්පෝට් 50 එම ස්ථානයේ තිබු බවය. නමුත් කොටුව පොලිසියට බාර දී තිබෙන්නේ ඉන් 50 පමණක් බව සේවකයන් පවසයි.

ලේක්හවුස් සේවකයන් මේ ගැන සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා සිටී. ලේක්හවුස් ආයතනය අද අනාරක්ෂිත බව සේවකයෝ පවසති. එහි සේවකයෝ 1700 සේවය කරති.

ලේක්හවුසියට වහාම බෝම්බ හඳුනා ගැනීමේ යන්ත්‍රයක් ගෙන්වීමට ආයතනය තීන්දු කර තිබේ. ISIS ත්‍රස්ත ක්‍රියාවලට ලේක්හවුස් ආයතනයට සම්බන්ධ දෙදෙනකු සැකපිට අත්අඩංගුවට පත්ව තිබුණත් ආයතනය සම්පූර්ණ පරීක්ෂා නොකරන්නේ මන්ද යැයි සේවකයෝ ප්‍රශ්න කරති ෴

Click on image to enlarge
• Use ‘Ctrl’ + ‘+’ keys to increase the size (and font size) of the JPG Image.
• Use ‘Ctrl’ + ‘-‘ keys to decrease the size (and font size) of the JPG Image.

+++++++++++++++++++++++++++++++++++++

බදියුදීන්ට තවත් බරපතල චෝදනාවක්.. අක්කර 1000 ක් සමග ලුණු ලේවාය පුද්ගලික අංශයට.. 20% ක් බදියුදීන්ටයි..

(17.05.2019 – 14:10 +0530 – lankacnews.com)

වාණිජ සහ කර්මාන්ත කටයුතු ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා ගේ මැදිහත් වීමෙන් එලිෆන්ට්පාස්ට් ලුණු ලේවාය පෞද්ගලික අංශයට පැවරීම සඳහා සූදානම් වෙමින් ඇති බව ජාතිය සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ අක්කර 1000 කටත් වඩා වපසරියකින් යුතු මෙම ලේවාය සංවර්ධනය කිරීම සඳහා යැයි කියමින් ටෙන්ඩර් මණ්ඩලය විසින් දැනටමත් ‘කෝ ලංකා’ (Ko lanka) නම් ආයතනයක් බදු ගැනුම්කරු වශයෙන් තීරණය කර ඇති බවයි.

මෙම ආයතනය කොරියානු ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් වන බවත් මෙහි ශ්‍රී ලාංකික අධ්‍යක්ෂක ලෙස කටයුතු කරනුයේ සිරිකොත එජාප මූලස්ථානයේ සේවය කරන තිලක් කාරියවසම් සහ නාමල් පෙරේරා යන අය බවත් ලිපියේ දැක්වේ.

පැවරුම අවසාන අවස්ථාවේදී එහි 20% ක කොටස් ඇමැති රිෂාඩ් බදුර්දීන්ට පැවරීමට ‘කෝ ලංකා’ ආයතනය එකඟ වී ඇති බවද වැඩිදුරටත් සඳහන් වෙයි.

විපක්ෂ නායකවරයා සහ ජනාධිපති ලේකම්වරයා වෙත පිටපත් සහිතව ලිපිය යොමු කර ඇත ෴

+++++++++++++++++++++++++++++++++++++

සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුගේ ෆැක්ටරියට තඹ ටොන් 5000 ක් දෙන්නැයි මන්ත‍්‍රී ශාන්ත බණ්ඩාර දන්වලා.. – එජාපය ජනපතිට පැමිණිලි කරයි..

(17.05.2019 – 11:20 +0530 – lankacnews.com)

පාස්කු ඉරිදා දිනයේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කරන ලද බෝම්බකරුට අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවට අබලි තඹ ටොන් 5000 සහනදායි මිලට ලබා දෙන්නැයි නිර්දේශ කළ ජනාධිපති වරයාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කල වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නැයි එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත.

අදාල තම කර්මාන්ත ශාලාවට අබලි තඹ ටොන් පන්දාහක් පමණ ලබා දෙන්නැයි ඉල්ලමින් ශාන්ත බණ්ඩාර මහතා ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරද්දී කාර්මික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වෙත ලිපියක්ද යොමුකර ඇති බව එම මන්ත්‍රීවරුන් පෙන්වා දෙයි.

අදාළ කර්මාන්ත ශාලාව විසින් නිෂ්පාදනය කරන තඹවලින් රටට විශාල විනිමය ආදායමක් ලබා දෙන බවද ලිපියේ සඳහන් කර ඇතැයි එජාප මන්ත්‍රීවරුන් කියති.

මෙම කර්මාන්ත ශාලාව වැඩිදියුණු කරගැනීමට ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව අබලි තඹ ටොන් 5000 සහනදායි මිල නිකුත් කරන්නැයි එම ලිපියෙන් ශාන්ත බණ්ඩාර මහතා ඉල්ලා ඇතැයි එජාප මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *