‘තුරුලිය වෙනුවෙන් අපි’ විල්පත්තුවට

(18.05.2019 – 12:45 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා යුද හමුදාව මනුසත් දෙරණ හා රිට්ස්බරි එක්ව සංවිධාන කරන ‘තුරුලිය වෙනුවෙන් අපි’ විල්පත්තුවේ නැවත වන වගා කිරීමේ ව්‍යාපෘතියේ පළමු වන අදියර අද (18) ආරම්භ වුණි.

ඒ අනුව අද දිනයේ පළමු පියවර වශයෙන් පැළ හය දහසක් විල්පත්තු මරිච්චකඩ්ඩි ඇතුළු ස්ථාන 03 ක රෝපණය කිරීම සිදුවෙයි.

මෙම ව්‍යාපෘතිය යටතේ විල්පත්තු ප්‍රෙද්ශයේ මරිච්චකඩ්ඩි, පාලෝස්පිකන්දල් හා ශ්‍රී නගර් යන ප්‍රදේශවල පැල රෝපණය කරනු ලබයි.

අද පෙරවරුවේ මරිච්චකඩ්ඩි 46 වන කිලෝමීටර කණුව ප්‍රදේශයේදී පැවති එහි ප්‍රධාන උත්සවයට යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාද එක්වුණි.

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා මහතාගේ මෙහෙයවීම යටතේ මෙම ව්‍යාපෘතිය සංවිධාන කෙරුණු අතර මෙම සද්කාර්යය සදහා රාජ්‍ය ආයතන ප්‍රධානින් ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළු බොහෝ පිරිසක් සිය දායකත්වය සැපයූවේය.

*****************************************

තිස් වසරක යුද්ධය අවසන් කර සාමයේ පරවියන් රට තුළ ඉගිල වූ ඓතිහාසික දිනය අදයි

(18.05.2019 – 07:31 +0530 – sinhala.adaderana.lk)

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කර අදට වසර 10 ක් සපිරෙයි .

ශ්‍රී ලංකා රණවිරුවන් කළ ඒ උදාරතර මෙහෙය අද සැමරෙන්නේ ශ්‍රී ලංකාව තවත් අභියෝගයකට මුහුණදී සිටින පසුබිමකදීය.

මේ සටහන එම ත්‍රස්තවාදය පරාජය කරමින් ජාතිය ලද ජයග්‍රහණය පිළිබඳවයි.

1975 ජූලි 27 වැනිදා එවක යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා නල්ලුර් කෝවිල වෙත යමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනයවීම මෙරට තිස් වසරක යුද්ධයේ පළමු අඳුරු මතකය වනු ඇතැයි එදා කිසිවකු හෝ සිතුවේ නැත.

එම සිද්ධියෙන් ඇරඹි ත්‍රස්තවාදයේ අඳුරු සෙවනැලි 1983 දී එල්.ටී.ටී.ඊය හමුදා සෙබලුන් 13 දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියත් සමගින් දිවයින පුරා පැතිරගියේය.

ඒ කළු ජූලිය නමැති කළු පැල්ලම මෙරට ඉතිහාසයට එක්කරමින්ය.

ඉන් පසු ගෙවුණු දශක දෙකක කාලය තුළ එල්.ටී.ටී.ඊ.ය ත්‍රස්තවාදය විසින් මෙරට ආගමික නායකයින්, රාජ්‍ය‍ නායකයින්, දේශපාලඥයින්, රණවිරුවන් පමණක් නොව සිවිල් වැසියන්ද දහස් ගණනින් අමු අමුවේ ඝාතනය කරන ලද්දේ ලොව ප්‍රබලම ත්‍රස්තවාදී සංවිධානය බවට පත්වෙමින්ය.

2001 වසරේදී ශ්‍රී ලංකා රජය සමඟ සටන් විරාම ගිවිසුමකට එළැඹුනත් එල්.ටී.ටී.ඊ.ය දිගින් දගටම එය කඩ කරමින් සිය ම්ලෙච්ඡ අරමුණ වෙනුවෙන් සටන් වැදුණු අතර ගොවි ජනතාවට ජලය සපයන නැගෙනහිර මාවිල්ආරු සොරොව්ව වසාදැමීම එහි උච්ඡතම අවස්ථාව වුණි.

ඒ අනුව නැගෙනහිර ගොවි ජනතාව වෙනුවෙන් 2006 ජූලි 21 වැනිදා මාවිල්ආරු සොරොව්ව මුදාගැනීමට ආරක්ෂක හමුදා දියත් කළ මෙහෙයුම සිව් වන ඊළාම් යුද්ධයේ ආරම්භ වුණි.

එවක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මගපෙන්වීම යටතේ එවක යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකාත්, නාවික හමුදාපති වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩත්, ගුවන්හමුදාපති එයාර් වයිස් මාෂල් රොෂාන් ගුණතිලකත් කොටි ත්‍රසත්වාදයට එරෙහි මෙහෙයුම් දියත් කළ අතර රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ නායකත්වයෙන් යුත් සිවිල් ආරක්ෂක බලකායත්, පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රි ලංකා පොලිස් සේවයත් ඊට නොමඳ සහායක් ලබාදුනි.

දෙමළ ජනයා මිනිස් පළිහක් ලෙස භාවිත කරමින් තම ජීවිතය ආරක්ෂා කරගැනීමට කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් දැරූ නින්දිත උත්සාහය පරාජය කරමින් මෙරට හමුදා ලොව විශාලතම ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ අභියෝගයද එහිදී සාර්ථකව ජයගනු ලැබුවේය.

විදෙස් බලපෑම් වට පවා යටත් නොවෙමින් ගෙන යනු ලැබූ ඒ මානුෂිය මෙහෙයුම අදට වසර 10 කට පෙර හරියටම අද වන් දිනක නිමා වූයේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය සහමුලින්ම පරාජය කර ශ්‍රී ලංකාවට සාමය උදාකර දෙමින්ය.

ඒ අනුව 2009 මැයි මස 18 වනදා ඒ ඓතිහාසික දිනයේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කෙරුණේ යළිත් සාමකාමී යුගයක් මෙරට ජනතාවට උදාකර දෙමින්ය.

වසර 10 ක් භුක්ති විඳි ඒ නිදහස පසුගිය අප්‍රේල් 21 වැනිදා දෙදරා ගියේ තවත් ත්‍රස්තවාදයකින් ශ්‍රී ලංකාවම සලිත කරවමින්ය.

කොටි ත්‍රස්තවාදයෙන් නිදහස් කරගත් මව්බිමට අයි.එස්. අභියෝගයට මුහුණදීමට සිදුවුණේ නව අබියෝගයක් එක් කරමින්ය.

තිස් වසරක සාපලත් යුද්ධයකින් පීඩා විඳි අප එම ව්‍යසනයේන මුදාගත් ශ්‍රී ලාංකේය රණවිරුවන්ට ජාතියක් ලෙස අප කෘතඥ විය යුතු වනවා සේම, නැවතත් සාපකාරී ත්‍රස්තවාදයක් නිර්මානය නොවීම සඳහා සහෝදරත්වයෙන් එක්ව කටයුතු කිරීම සිංහල – දෙමළ – මුස්ලිම් – බර්ගර් අප සැමගේ වගකීම බව අද දෙරණ සිහිපත් කර සිටී.

*****************************************

සම්බුදු තෙමඟුල සමරන අසිරිමත් වෙසක් පුන් පොහෝ දිනය අද (18) යි

(18.05.2019 – 06:52 +0530 – sinhala.adaderana.lk)

‍සම්බුදු තෙමඟුල සිදුවූ වෙසක් පුන් පුර පසලොස්වක පොහෝ දිනය අදයි.

ලොව පුරා බෞද්ධ ජනතාවගේ ප්‍රමුඛතම උත්සවය ලෙස වෙසක් දිනය සැමරෙන්නේ සම්බුද්ධ චරිතයට අදාළ ප්‍රධාන අවස්ථා 3 ක් මුල් කර ගනිමිනුයි.

සිද්ධාර්ථ කුමාරයාගේ උප්පත්තිය, ශ්‍රී සම්බුද්ධත්වයට පත්වීම සහ බුදුන් වහන්සේගේ පරිනිර්වාණය යන අවස්ථා තුන සිදුවූ දිනය ලෙස වෙසක් පුන් පොහෝ දිනය සැමරෙයි.

මීට අමතරව බුඳුන් වහන්සේ තෙවන වරට ශ්‍රී ලංකාවේ කැලණිය පුදබිමට වැඩම කිරීම ද සුමන සමන් දෙවියන්ගේ ආරාධනය මත සමනළ කන්ද මුදුනේ බුදු සිරිපා පිහිටුවීම ද අද වැනි දිනක සිදුවූ බවට බෞද්ධ ඉතිහාසයේ දැක්වෙයි.

සිරිපා වන්දනා සමය ද වෙසක් පොහෝය දිනයෙන් නිමාවට පත්වෙයි.

1885 වසරේ සිට වෙසක් දිනය ජාතික නිවාඩු දිනයක් වන අතර 2000 වසරේ සිට වෙසක් දිනය ජාත්යනන්තර නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

++++++++++++++++++++++++

සම්බුදු තෙමගුල සමරන්න පන්සල්, පල්ලි, කෝවිල් එක්වෙයි – විහාරස්ථානවල ආගමික වතාවත් රැසක්

(18.05.2019 – 19:35 +0530 – hirunews.lk/sinhala)

බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ තෙමගුල සිහිපත් කෙරෙන වෙසක් පුන් පොහෝ දිනය අදයි.

වෙසක්පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් මෙවර හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන අද දිනය පුරා පැවැත්වුණේ ඇඹිලිපිටිය – සංඛපාල පුරාණ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින්.

උදෑසන 06:00 ට අෂ්ඨාංග ශීලයේ සමාදන් කරමින් මෙම වැඩසටහන ආරම්භ වූ අතර, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ඇතුළු ආමිස ප්‍රතිපත්ති පූජාවන් රැසක් ඊට ඇතුළත් වුණා.

මෙවර වෙසක් පොහොය දිනය පෙර වසරවලට සාපේක්ෂව විශේෂ වන්නේ පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ප්‍රතිපත්ති පූජාවන්ට පමණක් වැඩි ඉඩකඩක් ලබාදෙන ලෙසට බෞද්ධ සංවිධාන මෙන්ම රජයෙන් කළ දැනුම්දීම හේතුවෙන්.

ඒ අනුව, දන්සැල්, තොරණ්, පහන්කූඩු ප්‍රදර්ශන, බොදු බැති ගී වැඩසටහන් ඇතුළු බෞද්ධ විහාරස්ථානවල සිදුකෙරෙන වෙසක් උත්සව රැසක් මෙවර අවලංගු කෙරුණා.

කොළඹ දිස්ත්‍රික්කයේ ඉදිකෙරුණු පෑලියගොඩ – නවලෝක තොරණ, කොස්ගස් හන්දිය තොරණ ඇතුළු කිහිපයක්ම අවලංගු කෙරුණු අතර එම ස්ථානවල බෞද්ධ ආගමික වතාවත් සිදුවූ බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල ආගමික වතාවත් සාමාන්‍ය පරිදි සිදුකෙරුණු බව එම ප්‍රදේශවල අප වාර්තාකරුවන් සදහන් කළා.

විශේෂයෙන් අනුරාධපුරයේ, ශ්‍රී මහාබෝධිය, රුවන්වැලි මහාසෑය ඇතුළු අටමස්ථාන වන්දනා කිරීම සදහා පැමිණි බැතිමතුන්ගේ සංඛ්‍යාව පෙර වසරවලට සාපේක්ෂව අඩු අගයක් ගත්තා.

එහෙත්, මහනුවර ශ්‍රී දළදා මාලිගාව වන්දනා කිරීම සදහා පැමිණි බැතිමතුන්ගේ ඉහළ අගයක් පෙන්නුම් කල බවයි අප වාර්තාකරු කියා සිටියේ.

කතරගම – කිරිවෙහෙර පුදබිමටද මෙවර අඩු බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණ සිටි බවයි අප වාර්තාකරු කියා සිටියේ.

මෙලෙස බෞද්ධ සිද්ධස්ථානවල බැතිමතුන්ගේ අඩු ප්‍රවණතාවයක් දක්නට ලැබුණ ද ඒ සෑම ස්ථානයකම ප්‍රමාණවත් පරිදි යුද හමුදාව සහ පොලිස් ආරක්ෂාවල් යොදවා තිබූ බව සදහන්.

බෞද්ධ සිද්ධස්ථානවලට සාපේක්ෂව උතුරු පළාත ද ඇතුළුව දිවයින පුරා ප්‍රදේශ රැසක කතෝලික දේවස්ථාන වෙසක් කූඩු ඇතුළු බෞද්ධ සැරසිලිවලින් සමන්විතවීම විශේෂත්වයක්.

බහුතර මුස්ලිම් ජනතාවක් නියෝජනය කරන බේරුවල නගරය මෙවර බෞද්ධ කොඩි සහ වෙසක් සැරසිලි වලින් අලංකාර කර තිබූ අතර, ඒ සදහා මුස්ලිම් ජනතාව විශාල පිරිසක් එක්ව සිටියා.

මේ අතර, පසුගියදා ත්‍රස්ත ප්‍රහාරයට ලක් වූ මීගමුව – කටුවපිටිය දේවස්ථානයේ ද අද වෙසක් සැරසිලි දක්නට ලැබුණා.

කටුවපිටිය නගරය බෞද්ධ සැරසිලිවලින් අලංකාර වී තිබූ බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු කියා සිටියේ.

මේ අතර, දිවයින පුරා හින්දු කෝවිල් රැසක් වෙසක් සැරසිලි වලින් අලංකාර කර තිබුණා.

+++++++++++++++++++++++++++++++++++++

ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර වෙසක් තොරණ

(18.05.2019 – 17:09 +0530 – hirunews.lk/sinhala)

තථාගත බුදුපියාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන්පෑම සිදුවූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් බෞද්ධ විහාරයේ තොරණයක් ප්‍රදර්ශනය කරනු ලබනවා.

ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් බෞද්ධ විහාරයේ විහාරාධිපති පූජ්‍ය උඩුගබ්බල සුමේධ හිමිගේ අනුශාසකත්වයෙන් එරට වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව මෙම තොරණ ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර තිබෙනවා.

අද සහ හෙට යන දෙදින පුරා මෙම තොරණ ප්‍රදර්ශණය කරන බවයි වාර්තා වන්නේ.

*****************************************

ජිවිතයේ සැඳෑ සමය ගෙවන රෝගී මවු පිය පිරිසක් මහළු මඩමක අපා දුක් විඳින හැටි ගැන හිරු CIA කළ හෙළිදරව්ව

(18.05.2019 – 20:26 +0530 – hirunews.lk/sinhala)

දරුවන් සමාජයේ ඉහළ තැන්වලට ගෙනෙන්නටල බොහෝ මව්පියන් තම ජීවිත කාලය පුරාම සිදුකරන්නෙ අනේකවිඳ කැපකිරීමක්.

නමුත් කාලයත් සමගම වියපත්වන මව්පියන් අතපය වාරු නැතිව ආයෙමත් පොඩි දරුවන්ගෙ තත්ත්වයට පත්වෙනවා.

එවන් තත්ත්වයට පත් වු පසු මව්පියන් වැඩිහිටි නිවාසවල අතහැර දැමීම මිනිසත්කම ලැබුවෙකුට අනුතම කළ හැකි ක්‍රියාවක් ද ?

තවත් වෙසක් පුන් පොහෝ දිනයක් ගෙවී යන අද දිනයේ මේ සටහන ඇතැම් දරුවන් අතින් ගිලිහී යන මිනිසත්කම යළි සිහිපත් කිරීමටයි.

*****************************************

ඇමති සජිත්ගේ ප්‍රකාශය ගැන අගමැති පිළිතුරු සැපයිය යුතු බව මන්ත්‍රී රෝහිත කියයි

(18.05.2019 – 20:12 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුව විසින් යෝජනා කරන ලද ප්‍රතිත්‍රස්ත පනත නැවත හකුළාගත ගත යුතු යැයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා වහා පිළිතුරු සැපයිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඊයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද කළුතරදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

*****************************************

ජනාධිපතිවරණයට අනිවාර්යයෙන්ම ඉදිරිපත් වන බව ගෝඨාභය යළි කියයි

(18.05.2019 – 19:27 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි ජනාධිපතිවරණයට තමා අනිවාර්යෙන්ම ඉදිරිපත් වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යළි තහවුරු කළා.

හිටපු ආරක්ෂක ලේකම්වරයා ඉදිරි ජනාධිපතිවරණයට තමන් තරග වදින බව පළමු වරට ප්‍රකාශ කළේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සිදුවී දින 6 කට පසුවයි.

අල්ජසීරා රූපවාහිනිය සමඟ සාකච්ඡාවකට සහභාගි වෙමින් ඔහු කියා සිටියේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා තමා තීරණයකට එළඹුණේ බොහෝ කලකට පෙර බවයි.

එසේ නොවේ නම්, තමාගේ එක්සත් ජනපද පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටියා.

කෙසේ වෙතත්, අල්ජසීරා වාර්තාවේ දැක්වෙන්නේ මෑතකදී ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ ඇමරිකානු පුරවැසිභාවය අහිමි වූවන්ගේ නිල නාම ලේඛණයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ නම ඇතුළත්ව නොතිබූ බවයි.

එම නිල නාම ලේඛණයෙන් ආවරණය කෙරෙන්නේ 2019 වසරේ පළමු මාස තුන ඇතුළත ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කළ හෝ අහෝසි කළ පුද්ගලයින්ගේ තොරතුරුයි.

රටේ මතු වී ඇති ආරක්ෂක වාතාවරණය තමන්ට ජනාධිපතිවරණය සඳහා තරඟ වැදීමට අවස්ථාවක් සලසන්නේ දැයි නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලෙස හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ මැතිවරණය නොව රට සහ ජාතියට සිදුවන විනාශය පිළිබදව තමන් අවධානය යොමුකරන බවයි.

*****************************************

රිය අනතුරකින් දෙදෙනෙකුට තුවාල

(18.05.2019 – 18:45 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල මහියංගණය මාර්ගයේ බලගොල්ල 18 කණුව ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් යුවළක් තුවාල ලබා තිබෙනවා.

ඔවුන් දෙදෙනා ගමන් කළ යතුරුපැදිය කැබ් රථයක ගැටීමෙනුයි අද දහවල් අනතුර සිදුවී ඇත්තේ.

තුවාලකරුවන් බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

*****************************************

ත්‍රි රෝද රථයක් බස් රථයක ගැටී දෙදෙනෙකු රෝහලේ

(18.05.2019 – 12:56 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවාය – තණමල්විල මාර්ගයේදී ත්‍රි රෝද රථයක් බස් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

ඊයේ (17) සවස සිදුවූ මේ අනතුරින් ත්‍රි රෝද රථයේ ගමන් කළ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු රෝහල් ගත කළ බවයි පොලීසිය පැවසුවේ.

ත්‍රි රෝද රථය නවතා තිබු පෞද්ගලික බස් රථයක් ඉස්සර කිරීමට යෑමේදියි මේ අනතුර සිදුව ඇත්තේ.

අනතුරට ලක්ව ඇත්තේ බුත්තල පැල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.

වැල්ලවාය පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

මේ අතර මේ අනතුර සිදුවන ආකාරය ඒ අසල තිබු CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.

එම වීඩියෝව පහතින් :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *