බදියුදීන් බේරා ගැනීමේ මෙහෙයුම ක‍්‍රියාත්මකයි.. ජාතික ලයිස්තු ඊබ‍්‍රාහීම් වෙනුවෙන් ජවිපෙ තුට්ටු දෙකේ වැඩක..

(21.05.2019 – 15:50 +0530 – lankacnews.com)

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයකදී ඇමති රිෂාඩ් බදුර්දීන්ට තීරක බලයක් ලැබෙන බවත් ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ට ඔහුට එරෙහි විශ්වාසභංගයේදී දෙවරක් සිතා ඡන්දය දීමට සිදුවන බවත් එනිසා ජවිපෙ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් රැගෙනවිත් මේ මොහොතේදී සිදු කළේ ‘තුට්ටු දෙකේ’ වැඩක් බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද (21) දින අගරදගුරුතුමන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද පැවසීය :

‘‘හරියට මීට මාසයකට පෙරයි පාස්කු ඉරිදා දින ම්ලේච්ඡ මරාගෙන මැරෙන ප‍්‍රහාරය සිදු වුණේ. ඒ ප‍්‍රහාරයෙන් කම්පනයට පත් වූ සමාජයක් තමයි අද වන තෙක් පවතින්නේ. කාදිනල්තුමන් මුණ ගැහිලා, ඒ මාසයකට පෙර සිදු වූ විනාශය පිළිබඳව අපේ කනගාටුව ප‍්‍රකාශ කළා. ඒ විනාශය එතැනින් එහාට වර්ධනය වීමට ඉඩ නොතබා කාදිනල්තුමන් ගත් ක‍්‍රියාමාර්ග පිළිබඳව අපේ ප‍්‍රශංසාව පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගත්තා.

ඒ වගේම මේ මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදීන් බිහි කරන වහාබ්වාදී ත‍්‍රස්තවාදයට උඩගෙඩි දුන් රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය පිළිබඳවත් අපි මේ අවස්ථාවේ කාදිනල්තුමන් දැනුම්වත් කළා.’’

එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප‍්‍රශ්න කිහිපයකට පිළිතුරු දුන් විමල් වීරවංශ මහතා :

ප‍්‍රශ්නය : රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් රැගෙනවිත් තිබෙන මේ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් ගෙන ඒම ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර : මේ වෙලාවේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආවාම ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන් ආණ්ඩුව රැක ගැනීම දෙසා බලලයි රිෂාඩ් බදුර්දීන් දෙස බලන්නේ. ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයකදී රිෂාඩ් බදුර්දීන්ගේ පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 06-07 දෙනා තීරණාත්මක සාධකයක් වෙනවා. මේ විදියට විශ්වාසභංග යෝජනා 02 ක් ගෙන ආවාම රිෂාඩ් බදුර්දීන්ට ‘කේවල් කිරීමේ බලයක්’ ලැබෙනවා. දැන් රිෂාඩ් බදුර්දීන්ට ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන්ට කිව හැකියි, ‘නුඹලා මා බේරා නොගත්තොත් මගේ පක්ෂයේ ඡන්ද ටික ආණ්ඩුව බේරා ගැනීමට ලබා දෙන්නේ නැහැ’ කියා. පසුගිය කාලය පුරා රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුවට විශ්වාසය පළ කරපු, රනිල් වික‍්‍රමසිංහගේ අගමැතිකම රැකලා දෙන්න උසාවි ගිය ජවිපෙ එකපාරටම පුදුමාකාර ආණ්ඩු විරෝධියෙක් වෙලා. මෙතැනදී කළේ තුට්ටු දෙකේ වැඩක්. ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙනවිත් රිෂාඩ් බදුර්දීන්ට ‘තීරක බලයක්, කේවල් කිරීමේ බලයක්’ ලබා දී වහාබ්වාදී ත‍්‍රස්තවාදයේ පියවරයකු රැක දීමයි මේ සිදු කළේ.

ප‍්‍රශ්නය: මෙහෙම කළාම ජවිපෙට ලැබෙන ප‍්‍රතිලාභය කුමක්ද ?

පිළිතුර: ප‍්‍රතිලාභය බලාගන්න වෙන්නේ ඔවුන්ගේ බැංකු ගිණුම්වලට වැටිලා තිබෙන ගණන කීයද, කියන එකත් සමඟයි. දැන් අනාවරණය වී තිබෙනවා, පසුගිය පාස්කු දින මරාගෙන මැරෙන ප‍්‍රහාරයන් සඳහා මූල්‍ය අනුග‍්‍රහය දක්වා තිබෙන්නේ, ජවිපෙ ජාතික ලැයිස්තු අපේක්ෂක මොහොමඩ් ඊබ‍්‍රාහිම් කියලා. ඊට අමතරව එයාගෙ පුතුන් දෙදෙනෙකුම එදා මරාගෙන මැරිලා තියෙනවා. මේ ප‍්‍රහාරය පිටුපස සිට ප‍්‍රබලම මූල්‍ය ප‍්‍රවාහය තමයි මේ ඊබ‍්‍රාහිම්. මේ ඊබ‍්‍රාහිම් ජවිපෙ පමණක් නොවෙයි රිෂාඩ් බදුර්දීන්ගෙත් හිතවතා, ඥාතියා. ඒ නිසා ජවිපෙ මේ මොහොතේ ඊබ‍්‍රාහිම් වෙනුවෙන් ඔහුගේ හිතවතා, ඥාතියා බේරා ගැනීමට ඉදිරිපත්ව සිටිනවා. මේ ක‍්‍රියාත්මක වන්නේ රිෂාඩ් බදුර්දීන් බේරාගැනීමේ ජවිපෙ මෙහෙයුමයි.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

+++++++++++++++++++++++++++++++++++

මැර කල්ලිවලට ඉඩ දීලා ආණ්ඩුව නිකම් හිටියා – විමල් වීරවංශ

(17.05.2019 – lankadeepa.lk/sunday/)

රටේ අලුත් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සංධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සමඟ කළ සාකච්ඡාවකි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා

ප්‍රශ්නය:- රටේ අලුත් තත්ත්වය ඔබ කොහොමද විග්‍රහ කරන්නේ?

පිළිතුර:- අපි රටක් හැටියට අද ඉන්නේ ඉතාම අන්තරාදායක අවස්ථාවක. පසුගිය අප්‍රේල් 21 වැනිදා එල්ල වෙච්ච ඉස්ලාම් වහාබ්වාදී ත්‍රස්තවාදී මරාගෙන මැරෙන ප්‍රහාර දාමයෙන් පස්සේ මේ අන්තරාදායක ඉරණමට අපි මුහුණ දීලා තියෙනවා. 21 වැනිදාට කලින් තිබුණ සමාජයයි 21 වැනිදාට පසුව තියෙන සමාජයයි එකක් නොවෙයි දෙකක්.

ඔබ දන්නවා එල්ටීටීඊ ත්‍රස්තවාදය ජයග්‍රහණය කළා නම්, දෙමළ ඊළම හැදුණ නම්, ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිත ප්‍රදේශය එක්සත් ජනපද හමුදාවන්ගෙයි නේටෝ හමුදාවන්ගෙයි මිලිටරි තිප්පොළක් බවට පත්වීමට නියමිතව තිබුණා. ඒක වැළකුණේ කොටි ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජයට පත් කරන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් පුළුවන් වුණ නිසා.

හැබැයි ඔබ දන්නවා ‘ජෝන් සී. ටෙනිස්’ කියන ඇමරිකා එක්සත් ජනපද හත්වැනි නාවික පැසිපික් හමුදා බළ ඇණිය සහිතව ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ නතර කරගෙන තියාගෙන ඉන්නවා.

ප්‍රශ්නය:- ඔබ එකිනෙකට අසමාන සිදුවීම් මාලාවක් එක රූපයකට ගන්න හදනවා. ඒක සාධාරණයිද?

පිළිතුර:- ඔබ මගේ පිළිතුර සම්පූර්ණයෙන්ම ගන්නකෝ. එතකොට ඔය ප්‍රශ්නයට උත්තරයක් ලැබෙයි. ඔය මම කියපු නෞකාවේ ප්‍රහාරක ගුවන් යානා සියයකට වැඩියෙන් නවත්වන්න පුළුවන්. හයදාහක් භට පිරිසකට රැඳී ඉන්න පුළුවන්.

දැන් මේ හත් වැනි පැසිපික් නාවික හමුදා බළ ඇණිය. දැන් ඒකට කියන්නේ ඉන්දු පැසිපික් කියලා. ඒ බළ ඇණියට ලෝකයේ භූමියෙන් සියයට පනහකට වඩා බලපෑම් කරන්න පුළුවන්. ඒක ඇමරිකා එක්සත් ජනපදය සතුව තිබෙන විශාලතම බළ ඇණියක්. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජයට පත් කළ හින්දා ත්‍රිකුණාමලය වරායට ගොඩ බාන්න බැරි වෙච්ච දේ දැනට තියෙනවා අපේ මුහුදු සීමාවේ නැවක. ඒ අයට මීට වඩා රට ඇතුළට එන්න ඕනෑ. ඒත් එහෙම එන්න නිකම් බෑ. දැනට ආණ්ඩුව අත්සන් කරලා තියෙනවා ඇමරිකා එක්සත් ජනපදය සමග පිටු 80 කට වඩා වැඩි ගිවිසුමක්. ඒකේ එක වගන්තියක් තමයි එහි පහත දැක්වෙන ඇමෙරිකා හමුදා අනු ඛණ්ඩවලට හදිසි තත්ත්වයකදී ලංකාවට එන්න පුළුවන් කියලා.

ඒ අනුඛණ්ඩ අතර මේ 7 වැනි ඉන්දු පැසිපික් නාවික හමුදා බළ ඇණියත් තියෙනවා. එතකොට එහෙමනම් එක්සත් ජනපද මිලිටරි තිප්පොළක් බවට ලංකාව පත් කරගන්න. ශ්‍රී ලංකාව ඔවුන්ගේ ගොදුරු බිමක් බවට පත් කරගන්න පැරදිච්ච එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය වෙනුවට නව ත්‍රස්තවාදයක් ඕනෑ. ඒ නව ත්‍රස්තවාදය ගොඩනැගීමේ ක්‍රියාදාමය 2010 ඉඳන් බොහොම සූක්ෂම විදියට වෙලා තියෙනවා. යුද හමුදා බුද්ධි අංශ මේක සමීපව නිරීක්ෂණය කරලා තියෙනවා.

හැබැයි 2015 ජනවාරි 8 න් පස්සේ යුද හමුදා බුද්ධි අංශ අකර්මණ්‍ය කිරීමේ ප්‍රතිඵලයක් හැටියට ඒ අධීක්ෂණය නැවතිලා තියෙනවා. අඩපණ වෙලා තියෙනවා. අවසානයේ ඒ මිත්‍යා මතයේ ඒ කියන්නේ ස්වර්ගයට ගිහිල්ලා කන්‍යාවියන් හැත්තෑ දෙකක් එක්ක සතුටෙන් ඉන්න පුළුවන් කියන මෝඩ ඇදහිල්ල මත අලුත් ත්‍රස්තවාදය නිර්මාණය කර ගත්තා. ඒ නිසා තමයි දවස් දෙක තුනක් ගියාට පස්සේ අයි එස් අයි එස් එක පිළිගත්තේ මේක අපේ වැඩක් කියලා.

ප්‍රශ්නය:- ඔබ කියන්නේ මේක ඔවුන්ගේ වැඩක් නොවෙයි කියලද?

පිළිතුර:- අයි එස් අයි එස් එක සම්බන්ධයි. හැබැයි ලංකාවේ මිනිස්සුයි මේ අපරාධය කළේ. මේ රටේ ඉපදිච්ච අය. එහෙම නැතිව සිරියාවෙන් කවුරුවත් ආවේ නැහැ.

ප්‍රශ්නය:- මේක ගෝලීය ත්‍රස්තවාදයක් කියලා අගමැති රනිල් කිව්වා?

පිළිතුර:- එහෙම කියන්නෙම ගෝලීය ත්‍රස්තවාදය මර්දනය කරන්න ගෝලීය මැදිහත්වීමක් කරගන්නයි. අන්න අර හදිසි තත්ත්වය දැන් ටික ටික හදනවා. 21 න් පස්සේ බොහොම උපේක්ෂාවෙන් මේ වේදනාකාරී ඉරණම දරාගෙන හිටපු සිංහල ජන සමාජයට චෝදනා කරන්න බැරි හින්දා සංවිධානාත්මක කල්ලි දාලා ප්‍රචණ්ඩකාරී තත්ත්ව ඇති කරනවා.

ප්‍රශ්නය:- ඔබ කියන්නේ වයඹත් මිනුවන්ගොඩත් ක්‍රියාත්මක වුණේ ආණ්ඩුවේ කල්ලි කියලද?

පිළිතුර:- ඉතාම පැහැදිළිවම. ඒ පළාත්වල මිනිස්සුත් නොවෙයි. එක්කෝ බයිසිකල් වලින් ඇවිත්. එහෙම නැතිනම් ලොරි වලින් ගෙන්නලා. එහෙම ගෙන්වලා මුස්ලිම් ජනතාවට පහර දෙන්න සැලැස්සුවා.

ප්‍රශ්නය:- ඔබ වගකීමෙන්ද කියන්නේ? මේක බොහොම සංවේදී තත්ත්වයක්!

පිළිතුර:- ඉතාම වගකීමෙන් කියන්නේ. ඒ මැර කල්ලි වලට ඉඩ දීලා ආණ්ඩුව නිකම් හිටියා. රිෂාඩ් බදුර්දීන්ම කියනවා ‘හමුදාව පොලිසිය නීතිය ක්‍රියාත්මක කළේ නෑ. බලාගෙන හිටියා’ කියලා. සුමන්තිරන් කියනවා ‘හමුදාව පොලිසිය නීතිය ක්‍රියාත්මක කළේ නෑ. බලාගෙන හිටිය’ කියලා. හමුදාව පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකළා නම් ඒක එහෙම වෙන්න ආණ්ඩුවේ ඉහළින් නියෝගයක් එන්න ඕනැ. නැතිනම් හමුදාව පොලිසිය බැඳිලා ඉන්නවා නීතිය ක්‍රියාත්මක කරන්න.

නිකම් හිටියානම් එහෙම ඉඳල තියෙන්නේ ඉහළින් ආපු නියෝග මත. ඒකෙන් පේනවා සිංහල ජන සමාජයට චෝදනා එල්ල කරන්න පොට පාදා ගන්න ආණ්ඩුව සංවිධානාත්මක මැර කල්ලි යැව්වා කියලා.

ප්‍රශ්නය:- පොහොට්ටුව නොවෙයිද ඔය ගැටුම් පිටිපස්සේ හිටියේ?

පිළිතුර:- ඔය ආණ්ඩුව කියන කතාවනේ. ආණ්ඩුව බලනවා එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් බාවන්න. දෙමළ කියමනක් තියෙනවා. ‘දරුවා කොනිත්තන්නෙයි දරුවා නළවන්නෙයි එක්කෙනාම’ කියලා. ආණ්ඩුව තමයි දරුවා කොනිත්තන්නෙත් නළවන්න තොටිල්ල පදවන්නෙත්.

දැන් බලන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය දැන් නිවේදනයක් නිකුත්කරලා තියෙනවා. ‘රෙස්පොන්සිබිලිටි ටු ප්‍රොටෙට්’ කියලා. ආරක්ෂාව සඳහා වගකීම කියලා. ‘ලංකාවේ සමූහ ඝාතන සිදුවෙනවා. ඉස්ලාම් සහ කිතුනු බැතිමතුන්ට ආරක්ෂාව නෑ. රටේ ආරක්ෂක අංශ ඒ අයට ආරක්ෂාව දෙන්න සමත් නැහැ. මෙච්චර මැරිලා තියෙනවා. ඒ නිසා ආරක්ෂාව සඳහා වගකීම කියන මූලධර්මයට අනුව මේ දිහා බලන්න ජාත්‍යන්තර ප්‍රජාව කටයුතු කළ යුතුයි’ කියලා.

අන්න බලන්න! දැන් හරිනේ මුලින් මීයා එවනවා. ඊට පස්සේ ගැරඬියා එවනවා. දැන් අර කියපු හදිසි තත්ත්වය ඇති කරලා තියෙනවා. ඊළඟ අඩව්ව අල්ලන්නයි දැන් හදන්නේ. ඒ අන්තර් ජාතික බලවේග වලට ඒ අඩව්ව අල්ලන්න පුළුවන් වෙන විදියට රට අරාජික කිරීම, අස්ථාවර කිරීම මේ තකතීරු ආණ්ඩුව දවසෙන් දවස කරගෙන යනවා. ඇයි දරුවන් ඉස්කෝලේ යවන්නේ නැත්තේ මව්පියෝ. ආණ්ඩුව ගැන විශ්වාස නෑ. එහෙම නැතිව ත්‍රස්ත ප්‍රහාරයට බයේ නොවෙයි. ආණ්ඩුව ගැන විශ්වාසයක් නෑ. දින 12 කට කලින් මේ අපරාධය දැන ගෙනත් ඒක වළක්වන්න කිසිම පියවරක් නොගත්තු වගකීම් විරහිත ආණ්ඩුවක් මේක.

එහෙම ආණ්ඩුවක නායකයෝ එකක් කියනවා. තව එක්කෙනෙක් තව එකක් කියනවා. ඒ දෙන්නටම වඩා වෙනස් එකක් තව එක්කෙනෙක් කියනවා. මෙන්න මේ තත්ත්වය තුළ මහජනතාව ඉන්නේ වික්ෂිප්ත වෙලා. අසරණ වෙලා. සිංහල ජන සමාජය විතරක් නොවෙයි සිංහල කතෝලික සිංහල බෞද්ධ දෙමළ කතෝලික, දෙමළ හින්දු, ඉස්ලාම් බැතිමතුන් මේ හැම කෙනෙක්ම ඉන්නේ අසරණ වෙලා. අපේක්ෂා භංගත්වයට පත් වෙලා. රටේ ආර්ථිකය දරුණු ලෙස කඩා වැටිලා. හැබැයි මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල වැඩි කරන එක ජනතාවගේ දුක දැකලා නතර වෙන්නේ නෑ.

මෙච්චර ආර්ථික පීඩාවක හිරවෙලා ඉන්න මිනිසුන්ගේ කරමත ආයෙමත් ඉන්ධන මිල වැඩිකරලා බර පටවන්න පුළුවන් නම් ආණ්ඩුවකට ඒක තමයි ලෝකයේ තියෙන නරුමම ආණ්ඩුව. එහෙම ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත්වෙලා මේ අරාජික තත්ත්වය ඉක්මනින් තුරන් නොකළොත් අපේ රට ජාත්‍යන්තර බලවතුන්ගේ දඩ බිමක් බවට පත්වෙලා ගිල ගැනිමට ලක් වෙනවා.

ප්‍රශ්නය:- වගකිව යුතු විපක්ෂයක් නම් මේ අර්බුදයෙන් රට ගොඩගන්න විසඳුම් ඉදිරිපත් කළ යුතුයි. ඔබලා එහෙම විසඳුම් ඉදිරිපත් කළාද?

පිළිතුර:- විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විජේරාම නිල නිවසේ පහුගිය බදාදා අපේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම රැස්වුණා. එතැනදි අපි තීරණ දෙකක් ගත්තා. එකක් තමයි අපි කමිටුවක් පත්කළා. මේ අන්තවාදය වහාබ්වාදය තුරන් කිරිම සඳහා ගතයුතු පියවර සියල්ල යෝජනා කරලා එක කෙටුම්පතක් හදන්න.

ප්‍රශ්නය:- ඒ කෙටුම්පතේ අන්තර්ගතය?

පිළිතුර:- මේ තත්ත්වය තුරන් කරන්න අලුතෙන් ගෙන ආ යුතු නීති මොනවාද? විවාහ නීතිය එකක් විය යුතුයි. විවාහ විය හැක්කේ අවුරුදු 18 න් පස්සේ. බහු විවාහ බැහැ. ඊළඟට දරුවන් සංඛ්‍යාව සීමාවිය යුතුයි. අන්තවාදය පතුරුවන අධ්‍යාපන ක්‍රමය නැති කළ යුතුයි. එක අධ්‍යාපන ක්‍රමයකට රට ගේන්න ඕන. ජාතිකත්ව හෝ ආගමික අනන්‍යතා පදනමින් දේශපාලන පක්ෂ පිහිටුවන්න බැරිවෙන්න ඕනෑ.

මෙන්න මේ වගේ අදහස් ගොඩක් මන්ත්‍රිවරුන් අතරින් ආවා. අවසානයේ තීරණය කළා කමිටුව රැස්වෙලා වහාම ගතයුතු පියවර සඳහන් කෙටුම්පතක් හදන්න.

ප්‍රශ්නය:- ඔබ කියපු ඇතැම් යෝජනා ඉතාම ගෝත්‍රිකයි කියලා හිතෙන්නේ නැද්ද?

පිළිතුර:- මොනවද ඒ ගෝත්‍රික අදහස්?

ප්‍රශ්නය:- දරුවන් ගණන ආණ්ඩුව තීරණය කරන්න ගියාම?

පිළිතුර:- ඒක ගෝත්‍රිකවාදී අදහසක් නොවෙයි. එහෙනම් චීනය ගෝත්‍රිකවාදී රටක්ද? චීනයේ දරුවන් ගණන සීමා කරලා නැද්ද? අද අපේ කැලෑ ගහනය අඩුවෙලා තියෙන්නේ ඇයි? අපට ඔරොත්තු නොදෙන තරමේ ජනගහනයක් අපට ඉන්නවා. එහෙම නම් ඉතින් විල්පත්තුව එළිකර තව පදිංචි කරන්න වෙයි. ඇයි ඉන්න ඉඩම් තියෙන්න එපැයි, මේක පුංචි රටක්. අපේ කැලෑ ගහනය අපි ආරක්ෂා කරගන්න ඕනැ.

ඒ වගේම අපේ රටේ සංස්කෘතිය මූලික වශයෙන්ම නිර්මාණය කරපු සිංහල බෞද්ධයා කෙරෙහි අපේ විශේෂ අවධානය යොමු කළ යුතුයි සුළුතර ජනතාව වගේම.

ප්‍රශ්නය:- අන් ජාතියක් පීඩාවට පත්කරන ඕනෑම ජාතියක් තමන්ගේම වූ යදම් තනා ගනී කියලා මාක්ස් කිව්වා.

පිළිතුර:- නෑ. මෙතැන අන් ජාතියක් පීඩාවට පත්වෙන්නේ නෑ. පාතිමාගේ ගෙදර හදන්නත් පුළුවන් දරුවන් තුන්දෙනා නම් කාන්තිගේ ගෙදර හදන්නත් පුළුවන් දරුවන් තුන් දෙනානම් කවුරුවත් පීඩාවට පත්වෙන්නේ නෑ. මේ රට තමයි ලෝකයේ සුළු ජාතිය කතා කරන භාෂාව මහා ජාතිය ඉගෙන ගන්නේ.

දෙමළ ඉගෙන ගන්නවා මගේ දුව. අපේ සිංහල පාසල්වල දෙමළ උගන්වනවා. හැබැයි මේ රටේ තියෙනවා අරාබි පාසල්. ඒවායේ සිංහල උගන්වන්නේ නෑ මුස්ලිම් දරුවට. මේ රටේ තියෙනවා මද්‍රසා පාසල් සමහර ඒවායේ සිංහල උගන්වන්නේ නැහැ. යාපනේ තියෙන පාසල්වල සිංහල උගන්වන්නේ නෑ. සුළු ජාතිය මහා ජාතියේ භාෂාව ඉගෙන ගන්නේ නෑ. මහා ජාතිය සුළු ජාතියේ භාෂාව ඉගෙන ගන්නවා.

අපේ මේ මහා සංස්කෘතියට මුහු වෙන්නේ නැතිව අපිට එකට පවතින්න බෑ. ඒ මුහුවීමට අවශ්‍ය නෛතික හා අනෙකුත් පියවර ගන්න ඕනෑ. අපට බොරු කරන්න දැන් බෑ. එහෙම බොරු කරන්න අයිතියකුත් නෑ. අර පාස්කු ඉරිදා මැරිච්ච මිනිසුන්ට යුක්තිය ඉටුකළ යුතුයි.

ඒ මැරිච්ච මිනිසුන්ට යුක්තිය ඉටු කරන්නේ නැත්නම් අපි තරම් නරුම දේශපාලන පක්ෂ හෝ කණ්ඩායම් ලෝකයේ වෙන කොහේවත් නෑ. ඒ නිසා පාස්කු ඉරිදා මියගිය සාමකාමී මිනිසුන්ට යුක්තිය ඉටුකිරීම සඳහා ගතයුතු සෑම පියවරක්ම ගත යුතුයි. වෙනවෙන වැල්වටාරම් කතා කරලා වැඩක් නෑ.

ප්‍රශ්නය:- ඇමැති මංගල කිව්වා පාස්කු ඉරිදා ප්‍රහාරය ආරංචි වෙලා සමහරු කිරිබත් කෑවා කියලා.

පිළිතුර:- පොහොට්ටුව රට ගිනි තියලා වාසි ගන්න ඕනැ නම් මෙච්චර කාලයක් ගත වෙනකම් බලාගෙන ඉන්නවද? පොහොට්ටුවට එහෙම ගායක් තිබ්බානම් සිද්ධිය වෙච්ච ගමන් නේද මේ ප්‍රති ප්‍රහාර එල්ල කරන්නේ. අපි කවදාවත් එහෙම කරලා නෑ. එහෙම නොකර රට සන්සුන් කරන්න නොවෙයිද මහින්ද රාජපක්ෂ මැතිතුමා කටයුතු කළේ.

අගමැතිතුමා කැඳවපු සාකච්ඡාවට විපක්ෂ නායකතුමා ගියේ නැද්ද? ත්‍රස්තවාදය පරාජය කරන්න අපි ඕනෑම සහයෝගයක් දෙනවා කියලා කිව්වේ නැද්ද? රට ගිනි අවුළුවන එක වචනයක් කිව්වද? ජනාධිපතිතුමා කැඳවපු සර්ව පාක්ෂික සමුළුවට ගියෙ නැද්ද? අපි මහින්ද රාපජක්ෂ විපක්ෂ නායකතුමාගේ නායකත්වය යටතේ ඉතාම වගකීමෙන් අපි තීන්දු තීරණ ගත්තා.

ප්‍රශ්නය:- ඔබ ඇමැති මංගලගේ කතාව මග ඇරියා.

පිළිතුර:- මග ඇරියා නොවෙයි අප්‍රසන්නයි. කිරිබත් කෑවා තියා අතට ගත්ත බත් ටික කටට දාගන්න බැරි තත්ත්වයට අපි පත්වුණා. මොකද්ද මේ වුණේ කියන වේදනාව අපේ කාගෙත් හිත්වලට ආවා. එවෙලේ මේ අපි පොහොට්ටුවද අරකද මේකද කියලා නොවෙයි රටේ මිනිස්සු විදියටයි අපි ඒ දිහා බැලුවේ. අපේ දරු පැටවුන්ට මොකක්ද මේ වෙන්න යන්නේ කියලා ප්‍රශ්නාර්ථ ඇතුවයි අපි ඒ දිහා බැලුවේ. දරුවෝ නැති අයටනම් මේ වගේ විපතක් වුණාමත් කිරිබත් කන්න හිතෙනවා ඇති.

එහෙම නරුම මානසිකත්වයක් අපට අදාළව ගොඩනගන්න හැදුවට රටේ ජනතාව ඒක පිළිගන්නේ නැහැ. මේ දේවල්වල ගමනාන්තය ගැන අවබෝධයක් තියෙන අපිට කොහොමද සතුටු වෙන්න පුළුවන් වෙන්නේ. මේ රට සිරියාවක් ලිබියාවක් කිරීමේ දිශාවටයි මේ යන්නේ. ඉතින් කොහොමද සතුටු වෙන්නේ? තමන්ගේ රටට එහෙම විපතක් වෙන්න යනකොට ඒ දිහා බලලා සතුටු වෙන්න පුළුවන් කාටද? මංගලලාට එහෙම සතුටු වෙන්න පුළුවන්.

ප්‍රශ්නය:- ඇයි ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංගයක් ගේන්නේ නැතිව ඇමැති බදුර්දීන්ට විශ්වාස භංගයක් ගේන්නේ?

පිළිතුර:- බදුර්දින් කියන්නේ මේ වහාබ්වාදී අන්තවාදය පතුරුවන්න ශක්තිමත් කරන්න කටයුතු කරපු ඇමැතිවරයෙක්ය කියන චෝදනාව ඉතාම බරපතළ විදියට තියෙනවා. වගකිව යුතු පුද්ගලයෙක් නම් ඔහු මේ සිද්ධියෙන් පස්සේ ඉල්ලා අස්විය යුතුව තිබුණා. ස්වාධීන පරීක්ෂණයකට ඉඩදෙන්න. එසේ වුණේ නැහැ. එක්කෝ ජනාධිපතිවරයා විසින් ඔහු ඉවත් කළ යුතුයි. ඒක වුණෙත් නැහැ. ඒ නිසා තමයි අපි තීරණය කරන්නේ මේ වහාබ්වාදී අන්තවාදය පතුරුවන්න ප්‍රබල ලෙස දායක වුණා කියන රිෂාඩ් බදියුදීන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගේන්​න.

ප්‍රශ්නය:- මගේ ප්‍රශ්නය ඇයි ආණ්ඩුවට එරෙහිව ගේන්නේ නැත්තේ?

පිළිතුර:- ආණ්ඩුවටම එරෙහිව ගෙන ආවා නම් එතකොට ආණ්ඩුව හැටියට කවුරුත් එකට එකතුවෙනවා. බදුර්දින්ට විරුද්ධව මේ විශ්වාසභංග යෝජනාව ගෙනාවම ආණ්ඩුවේ ඉන්න සිංහල කිතුනු මැති ඇමැතිවරුන්ට ඔහු ගන්න තීරණය කුමක්ද කියන උභතෝකෝටිකයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දෙමළ ජාතික සන්ධානයට මේ වහබ්වාදී අන්තවාදයට සහාය දීලා ගම්වලට යන්න පුළුවන් වෙයිද බැරිවෙයිද කියලා හිතන්න වෙනවා. ආණ්ඩුවේ ඉන්න තවත් මන්ත්‍රීවරුන්ට වුණත් මේ අන්තවාදයට එරෙහිව විරුද්ධව ඡන්දය දීලා ගමට යන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියන ප්‍රශ්නය එනවා.

ආණ්ඩුවට විරුද්ධව මේක ගෙනාවනම් මේ අර්බුදයට මේ විදියට ඒ ගොල්ලන්ට එන්නේ නෑ. අන්න ඒ අර්බුදයට මේ සියලුදෙනා කොටු කිරීමේ මූලික පරමාර්ථයක් ඇතිව තමයි අපි මේ විශ්වාසභංගය ගේන්නේ. ඒ ඡන්ද විමසීමේදී එක එක්කෙනා අත උස්සන පැත්ත අනුව තේරෙයි මේ වහාබ්වාදි අන්තවාදය රකින්නේ කවුද? ඊට විරුද්ධව සැබෑ ලෙසම හිටගෙන ඉන්නේ කවුද කියලා.

ප්‍රශ්නය:- ජවිපෙ කියලා තිබුණ විශ්වාසභංගය සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නේ අන්තර්ගත කරුණු බලලා කියලා?

පිළිතුර:- ඕනෑම කෙනෙකුට ඕනෑම තීරණයක් ගන්න පුළුවන්. ඒ තීරණය ඕනෑම කෙනකුගේ දේශපාලන අනාගතයට තීරණාත්මකව බලපානවා.

ප්‍රශ්නය:- තවත් අයගේ නම් කියැවුණා. ඇයි බදුර්දීන්ට විතරක් විශ්වාසභංගය ගේන්නේ?

පිළිතුර:- විශ්වාසභංග යෝජනාවක් ගේන්න පුළුවන් ඇමැතිවරයකුට එරෙහිව විතරයි. ඇමැති කෙනෙක් විදියට මේ චෝදනාවට ලක්වුණේ බදුර්දීන් විතරයි. ඊළඟට ඉන්නවා මන්ත්‍රි කෙනෙක් මුජිබර් රහුමාන්. මන්ත්‍රීවරයකුට එරෙහිව විශ්වාසභංග යෝජනා ගේන්න බෑ. ඊළඟට චෝදනා තියෙන්නේ අසාද් සාලිට හා හිස්බුල්ලාට. ඒ ගොල්ලෝ ආණ්ඩුකාරවරු. ආණ්ඩුකාරවරුන්ට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනා ගේන්නත් බෑ. ඒ නිසා තමයි අපි මේ ගෙන ආ හැකි එකම පුද්ගලයා වෙච්ච රිෂාද් බදුර්දීන්ට එරෙහිව මේ විශ්වාසභංග යෝජනාව ගේන්නේ.

සාකච්ඡා කළේ : ප්‍රසන්න සංජීව තෙන්නකෝන්

+++++++++++++++++++++++++++++++++++

21.05.2019

+++++++++++++++++++++++++++++++++++

21.05.2019

+++++++++++++++++++++++++++++++++++

හිස්බුල්ලා කාත්තන්කුඩියේ වෙනම මුස්ලිම් අධ්‍යාපන කලාපයක් පිහිටුවන තැතක…

(21.05.2019 – colombotoday.com)

මඩකලපුව කාත්තන්කුඩියේ මුස්ලිම් සිසුන් පමණක් ඇතුළත් වන වෙනම මුස්ලිම් අධ්‍යාපන කලාපයක් පිහිටුවීමේ උත්සහයක් පවතී. මේ පිටුපස සිටින්නේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා බව දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව ගිය මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියාලේන්ද්‍රන් මහතා පවසයි.

මෙම අධ්‍යාපන කලාපයට කාත්තාන්කුඩියේ මුස්ලිම් විද්‍යාල 22 ම ඇතුළුව විද්‍යාල 30 ක් ඇතුළත් කරගෙන ඇත. මඩකලපුව දිස්ත්‍රික්කයේ දැනට අධ්‍යාපන කලාප 5 ක් ඇති අතර කාත්තාන්කුඩියේ තවත් අධ්‍යාපන කලාපයක් පිහිටුවීමට භූගෝලීය හේතුවක් නොමැත. පාසල් 22 කින් යුත් කාත්තාන්කුඩිය වෙනම අධ්‍යාපන කලාපයක් කරන්නේ නම් පාසල් 83 ක් ඇති කල්කුඩා අධ්‍යාපන කලාපය කලාප කීයකට බෙදිය යුතු ද යන්න විමසා බැලිය යුතුය.

මේ පිළිබද සොයා බලා ජනාධිපතිවරයා විසින් අවශ්‍ය පියවර ගනු ඇතැයි තමා අපේක්ෂා කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය. ආසියාවේ විශාලමතම ඉස්ලාම් විශ්වවිද්‍යාලය ඉදිකිරීමේ කුමන්ත්‍රණය පිටුපස ද සිටින්නේ හිස්බුල්ලා ආණ්ඩුකාරයා බවද ඔහු පවසයි ෴

+++++++++++++++++++++++++++++++++++

හිස්බුල්ලා මන්නාරමේ අක්කර 508 මිළට අරන්… මෙච්චර සල්ලි කොහෙන්ද ? – දෙමළ සන්ධානය ප්‍රශ්න කරයි

(21.05.2019 – colombotoday.com)

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට අයත් සමාගමක් විසින් මන්නාරම ඔලෙයිතොඩුවායි උපරි ප්‍රදේශයේ අක්කර 508 ක ඉඩමක් මිලදී ගෙන තිබෙන බව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී චාල්සි නිමලනාදන් මහතා පවසයි.

ඉඩම නිරීක්ෂණය කිරීමේ චාරිකාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ මෙවැනි විශාල ඉඩමක් මිළදී ගෙන තිබීම සැක සහිත බවයි.

‘‘මෙම ඉඩම මිලදීගෙන තිබෙන්නේ 2013 වසරේදී. හිස්බුල්ලාට මේ තරම් මුදලක් ලැබුණේ කොහොමද? ඔහු ආරාබි සංස්කෘතිය අනුව මඩකලපුවේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ඉදිකරමින් තිබෙනවා. එයට මුදල් ලැබී ඇත්තේ සෞදි අරාබියෙන්. එසේ තිබියදී අක්කර 508 ක් වැනි විශාල ඉඩනමක් මන්නාරම දිස්ත්‍රික්කයෙන් මිලදීගෙන තිබෙන්නේ කවර අරමුණක් සදහාදැයි අප දන්නේ නෑ. මේ ගැන ආණ්ඩුවෙන් කඩිනම් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි’’ යැයිද මන්ත්‍රීවරයා පවසයි ෴

+++++++++++++++++++++++++++++++++++

වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය සොයා ගත් පසු හමුදා බුද්ධි අංශයත් හවුල් කරගත්තානම් තත්ත්වය වෙනස් වෙන්න තිබුනා – යුද හමුදාපති මහේෂ් සේනානායක

(17.05.2019 – lankadeepa.lk/sunday/)

වනාතවිල්ලුවේ සිද්ධියේ පරීක්‍ෂණ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හා යුද හමුදා බුද්ධි අංශ එක්ව සිදු කළේ නම් තත්ත්වය මෙයට වඩා වෙනස්වීමට ඉඩ තිබුණේ යැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා කියයි.

ඉරිදා ලංකාදීප පුවත්පත සමඟ කළ සාකච්ඡාවකදී යුද හමුදාපතිවරයා මේ බව පැවසීය.

“වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයාගත් සිද්ධියෙන් පරීක්‍ෂණ සිදුකළ කණ්ඩායම් යුද හමුදාව සමඟ සහයෝගයෙන් කටයුතු කළානම් අපිත් මේ ගැන සොයා බලනවා. ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අපට එකතුවෙලා යන්න තිබුණ ගමනක් නැතිවුණා. මෙම පරීක්‍ෂණ සිදුකළ කණ්ඩායම් යුද හමුදාව සමඟ තොරතුරු හුවමාරු කරගැනීම, සම්බන්ධතා නොපැවැත්වීම ගැන යුද හමුදාපතිවරයා ලෙස මම කණගාටුවෙනවා.” යැයිද ජනරාල් සේනානායක මහතා මෙහිදී පැවසීය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • It was the UNP thugs that created mayhem in 1983 against tamil citizens. UNP thugs did it again against muslims in the southwest a couple of years ago, and here in Minuwangoda area it is again the kurundu polu brigade of UNPers that created mayhem. The thugs are now sleeping in their beds, while the poor local people that were watching from a distance are in sleeping in jail. Misrule and wicked rule by UNpers is endemic to our society, so the voters MUST get rid of these treacherous traitors from the parliament at the next election. Clean this country off this parasites.

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *