පාර්ලිමේන්තුවේ සේවය කරන තව්හිද් ජමාත් සාමාජිකයන් අල්ලන්න පොලිස් දැලක්

(21.05.2019 – divaina.com)

පාර්ලිමේන්තු සංකීර්ණයේ සේවය කරන තවුහිද් ජමාත් ත‍්‍රස්ත කණ්ඩායමට අයත් තවත් සාමාජිකයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

පාර්ලිමේන්තු සංකීර්ණයේ භාෂා පරිවර්තකයකු ලෙස සේවය කරමින් සිටි නවුෂාඩ් නමැත්තා සහ කුරුණෑගල මහ රෝහලේ සේවය කරමින් සිටි සහජාන් නමැති තවුහිද් ජමාත් සාමාජිකයන්ගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීමේදී පාර්ලිමේන්තුවේ සේවය කරන තවුහිද් ජමාත් සංවිධානයේ තවත් සාමාජිකයන් පිරිසක් පිළිබඳව තොරතුරු හෙළි වී තිබිණි.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන පිළිබඳව කථානායක කරු ජයසූරිය මහතා දැනුවත් කර ඇති අතර, ඒ මහතාගේද පූර්ණ සහාය ඇතිව ඉදිරියේදී මොවුන් අත්අඩංගුවට ගැනීමට ක‍්‍රියාකරගෙන යන බව පොලිසිය පවසයි.

කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ පූර්ණ අධීක්ෂණයෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයකු වූ නවුෂාඩ් නමැත්තා වසර 13 ක් තිස්සේ එම තනතුරේ රාජකාරි කළ අයෙකි.

මොහු තවුහිද් ජමාත් ත‍්‍රස්ත කල්ලියේ නායකයා වූ සහරාන් සමග එක්ව එම සංවිධානයේ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල කාර්ය භාරයක් කළ අයකු බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

තවුහිද් ජමාත් ත‍්‍රස්ත කල්ලියේ සාමාජිකයන් පාර්ලිමේන්තු සංකීර්ණයේ රැකියා කිරීම පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට ද බරපතළ තර්ජනයක් බව පොලිසිය පවසයි.

එනිසා මෙම සැකකරුවන් නොබෝ දිනකින් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ රහසිගත සැලසුම් පිළිබදව ද හෙළිකර ගන්නා බව පොලිසිය පවසයි.

වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන, කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහින්ද දිසානායක යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ පොලිස් පරීක්ෂක පුෂ්පලාල් මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

– හේමන්ත රන්දුණු

***************************************

ඇමති මංගලට පොළොන්නරුවේ විහාරස්ථාන තහනම් – පුලතිසි පැවිදි හඬ

(21.05.2019 – 21:14 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය මංගල සමරවීර මාධ්‍යයට එල්ල කරන බලපෑම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා අද (21) අදහස් පළකළා.

ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

මේ අතර, මංගල සමරවීර සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පුලතිසි පැවිදිහඬ සංවිධානය ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අදහස් පළ කළා.

***************************************

“අත්සන් කිරීමට යන බව කියන ගිවිසුම ගැන ඒකාබද්ධ විපක්ෂය දැඩි අවධානයෙන් ලු”

(22.05.2019 – nethnews.lk)

ශ‍්‍රී ලංකාව අමෙරිකාව සමග අත්සන් කිරීමට සූදානම් වන බව කියන ආරක්ෂක ගිවිසුම පිළිබඳව ද ඒකාබද්ධ විපක්ෂයේ දැඩි අවධානය යොමුව තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර පැවසුවේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ (21) රැස් වූ අවස්ථාවේ ද ඒ පිළිබඳ සාකච්ඡා කෙරුණු බවයි.

අදාළ ආරක්ෂක ගිවිසුම සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තුවේ දී ප‍්‍රශ්න කළ බවද අග‍්‍රාමාත්‍යවරයා ඊට පිළිතුරු ලබාදෙන බව කීවත් ප‍්‍රමාණවත් පිළිතුරක් නොලැබුණු බවද වාසුදේව නානායක්කාර මන්ත‍්‍රීවරයා මෙහිදී කියා සිටියා.

අමෙරිකාව සමග ශ‍්‍රී ලංකාව අත්සන් කිරීමට සූදානම් වන බව කියන ආරක්ෂක ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (21) සංවාද ඇති වුණා.

ඒ අළලා නෙත් නිවුස් පාර්ලිමේන්තු වාර්තාකරු සකස් කළ වාර්තාවක් පහතින් දැක්වෙයි.

+++++++++++++++++++++++++++++++++++

අමෙරිකාව වීසා සහන වැඩසටහනට ලංකාව ඇතුළු කළේ ඇයි? (16.05.2019)

+++++++++++++++++++++++++++++++++++

පාස්කු ප්‍රහාරයෙන් මුස්ලිම් ව්‍යාපාරවලටත් බරපතලයි !!

(22.05.2019 – colombotoday.com)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයත් සමග රට පුරා මුස්ලිම් ව්‍යාපාරිකයන්ට ද දැඩි බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා වනවා. සිංහල හා දෙමළ පාරිභෝගිකයන් එම ව්‍යාපාරික ස්ථාන ප්‍රතික්ෂේප කිරීම එයට හේතු වී තිබෙනවා.

පිටකොටුවේ මුස්ලිම් තොග වෙළද වයාපාරවලටද මෙම බලපෑම දැඩිව දැනී තිබෙන අතර, පිට පළාත්වලින් පැමිණෙන වෙළදුන් මුස්ලිම් තොග ව්‍යාපාර ප්‍රතික්ෂේප කර සිංහල සහ දෙමළ තොග කඩ වෙත පමණක් යෑමේ ප්‍රවණතාවක් ඇති වී තිබෙන බවයි පැවසෙන්නේ.

එමෙන්ම වෙසක් උත්සවය ඉලක්ක කරමින් අනායනය කල විදුලි බල්බ්, වෙසක් කූඩු, කොඩි, වෙසක් කාඩ් ඇතුළු සැරසිලි ද අලෙවිය ඉතා පහළ අගයක් ගත් බවයි පැවසෙන්නේ.

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සිදුකළ තව්හිද් ත්‍රස්තවාදීන් සදහා කෝටි ගණනින් අරමුදල් සපයා ඇත්තේ මුස්ලිම් ව්‍යාපාරිකයන් බවට හෙළි වී තිබෙන අතර, මුස්ලිම් ව්‍යාපාර වර්ධනය සදහා යෙදවෙන මුදල් අන්තවාදය පෝෂණය කිරීමට ලබා දෙන අරමුදලක් බවටත්, එය සියතින් ගෙළ සිදගැනීමට සමාන බවත් සිංහල /දෙමළ සමාජය අතර මතයක් ඇතිවී තිබෙනවා.

එමෙන්ම තව්හිද් ත්‍රස්ත සැකකරුවන් සතුව තිබී වද පෙති, ගබ්සා පෙති සහ මත් පෙති තොග ගබඩාවක් කොළඹ ආදුරුප්පු වීදියෙන් සොයා ගැනීමත් සමග, කලක පටන් ආන්දෝලනයට තුඩ දී තිබුණු වද භාවය ඇති කරන රසායනික ද්‍රව්‍ය පිළිදව කුකුස තහවුරු වීමද සිංහල/දෙමළ පාරිභෝගිකයන් මුස්ලිම් වයාපාර ප්‍රතික්ෂේප කිරීමට තවත් ප්‍රබල හේතුවක් වී තිබෙනවා. තේ කොළ වලට කවලම් කිරීම සදහා සූදානම්කර තිබූ අධි අන්තරායකාරී රසායන ද්‍රව්‍ය ලීටර් 1600 ක් පමණ පසුගිය සතියේ මාතලේ දී සොයා ගැනීමත් සමග ආහාරවලට විෂ එකතු කිරීමේ තවත් මහාපරිමාණ ජාවාරමක් අනාවරණය විය.

මේ අතර ජමියාතුල් උලෙමා පූජක සභාව විසින් ක්‍රියාත්මක කරන හලාල් සහතිකයෙන් උපයා ගන්නා මුදල් ඉස්ලාම් ත්‍රස්තවාදය පෝෂණය කිරීම සදහා යෙදනෙ බවට බොදුබල සේනා සංවිධානය විසින් කලකට පෙර අනාවරණය කර තිබුණු අතර, පාස්කු ප්‍රහාරයෙන් පසුව හලාල් සහතිකය සහිත භාණ්ඩ ප්‍රතික්ෂේප කිරීමටද ජනතාව පෙළඹී තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

තව්හිද් ජමාත් ත‍්‍රස්තයෝ 1000 ක් ශ‍්‍රී ලංකාවේ ; රට පුරා පිහිටි කඳවුරු 17 ක පුහුණුව ලබලා

(22.05.2019 – divaina.com)

තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයට සම්බන්ධ සාමාජිකයන් දහසකට (1000) අධික පිරිසක් ශ‍්‍රී ලංකාවේ සිටින බව පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත.

මෙම තොරතුරු ලැබී ඇත්තේ කුරුණෑගල මහ රෝහලේ රාජකාරි කරමින් සිටියදී අත්අඩංගුවට ගත් සහජහාන් නමැති තව්හිද් ජමාත් සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයාගෙන් ප‍්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මතය.

තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා වූ සහරාන් හෂීම් සහ ප‍්‍රාදේශීය නායකයන් යටතේ රටේ විවිධ ප‍්‍රදේශවල පුහුණු කඳවුරු 17 ක් පවත්වාගෙන ගොස් තිබූ බව හෙළි වී ඇත. මෙම පුහුණු කඳවුරුවල පුහුණුව ලැබූ තව්හිද් ජමාත් සාමාජිකයන්ගේ සංගණනයක් කිරීමේදී එම සංවිධානයට සම්බන්ධව පුද්ගලයන් දහසකට අධික පිරිසක් සිටින බව අනාවරණය වී තිබේ.

මේ ආකාරයට පුහුණු කඳවුරුවල පුහුණුව ලැබු තව්හිද් ජමාත් ත‍්‍රස්තයන් රැසක් පිළිබඳව තොරතුරු පොලිසිය වෙත ලැබී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇත.

වනාතවිල්ලූව, නුවරඑළිය, කුරුණෑගල, සමන්තුරේ, අක්කරපත්තුව, කල්මුණේ, හම්බන්තොට, මහනුවර, ඇතුළු ප‍්‍රදේශ 17 ක තව්හිද් ජමාත් ත‍්‍රස්තවාදීන්ගේ පුහුණු කඳවුරු ස්ථාපිතකර තිබූ බව පොලිස් ආරංචිමාර්ග පැවසීය.

– හේමන්ත රන්දුණු

+++++++++++++++++++++++++++++++++++

මුස්ලිම්කරණයට ලක්වුණු බෞද්ධ රටවල්

https://www.youtube.com/watch?v=yL3xwQ_INkY

***************************************

ලංකාවේ රැඩිකල් උගතුන්ට අටපාස් ආමිකාරයෙකුගෙන් ලිපියක්…

(18.05.2019 – lankaleadnews.com)

අටපාස් ආමිකාරයෙකු ලෙස ලංකාවේ විකල්ප උගතුන්, වියතුන්, සාහිත්‍ය කලාකරුවන් වෙත මා මේ ලිපිය ලියනුයේ උතුරේ යුද්ධය ගැන ඔබලා එකල දැරූ පුදුමාකාර විදග්ධ අදහස් මගේ පුංචි මොළයට වැටහෙන ආකාරය ගැන යමක් කීම සඳහාය. යුද්ධය නිමා වී වසර දහයකට පසු යුද්ධය ගැන ඔබලා එදා කී මේ කතා තවමත් වලංගුදැයි දැනගැනීමට ආසා කරමි.

ඔබලාගේ දියුණු දැක්මට අනුව ලංකාවේ හමුදාව යනු ලෝකයේ නරකම පිරිසකි. සෙල්ලමට දෙමළුන් මරන තිරිසනුන් ජාතියකි. කොටි සාමාජිකයන් මෙන් උත්තුංග අරමුණකට කැපවූ වීරයන් නොව පඩියට වැඩ කරන කුලීකාරයන් පිරිසකි. එදා අප ලවා කොටි පැරදවීම ගැන ඔබ අහස උසට සුසුම් හෙලූ හැටි මට මතකය. අද හදිසියේ රට පුරා මරබිය ව්‍යාප්ත වී ඇති මොහොතක හමුදාව ගැන ඔබ එදා කී කතා නැවත අසන්නට කැමැත්තෙමි. එවිට අලුත් පරපුරේ ගංජා බලඇණියට රටේ ආරක්ෂාව බාරදී අපට සැනසිල්ලේ නිදාගැනීමට පුළුවන.

ධනේශ්වර හමුදාවක් ලවා කොටි මර්දනය කිරීම වැරදි බව ඔබලා නිතර කී බව මට මතකය. එහෙව් ඔබ තමන්ගේ ගෙදරට හොරු පැන්නොත් ධනේශ්වර පොලීසියට නොයා සමාජවාදී පොලීසියක් සොයා යන්නේදැයි නොදනිමි. “හොරු කියන්නේ පීඩිත පන්තියේ අපේම මිනිස්සු… හොරකම තමයි පීඩිතයාගේ විමුක්ති අරගලය… හොරකමට හේතුවෙච්ච සමාජ ආර්ථික හේතු නැති කරනවා මිසක් පීඩිතයන්ව ධනේශ්වර මර්දන යන්ත්‍රයට බිලිදෙන එක වැරදියි…” එවැනි අවස්ථාවල ඔබ එසේ කියනු ඇතැයි සිතමි.

ඔබේ ප්‍රබුද්ධ මතය අනුව ප්‍රභාකරන්ලා බිහිවූයේ දෙමළාට ඇති ප්‍රශ්න නිසාය. හේතුව තිබියදී ඵලය නැසීම නිශ්ඵලය. මගේ අටපාස් මොළයට වැටහෙන ආකාරයට කොටි සංවිධානය පමණක් නොව අයිඑස්අයිඑස් සංවිධානය බිහිවීමටද හේතු තිබේ. ඔවුන්ටද නොයෙක් ප්‍රශ්න ඇත. එපමණක් නොව ලෝකයේ සියලු කුඩුකාරයන්, අපරාධකරුවන්, මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන්, මැරයන්, සොරුන් බිහිවීමට අදාළ හේතු තිබේ. ඒ හේතු සියල්ල නිට්ටාවට නැතිවන තුරු ඔවුන්ට කැමති දෙයක් කිරීමට ඉඩදී අප ඔවුන්ව ඔක්කේ තබා සුරතල් කළ යුතුය. සියල්ලට හේතු ඇතත් මට සිතාගත නොහැක්කේ ඔබලා වැනි අපූරු මිනිසුන් බිහිවීමට බලපෑ හේතුව පමණි.

යුද්ධයේ අනිටු ප්‍රතිඵල ගැන ඔබලා නිතර බණ කියූ හැටි මට මතකය. මට තේරෙන හැටියට නම් යුද්ධය ඇතුළු ලෝකයේ කිසිදු ප්‍රශ්නයකට සර්ව සාධාරණ විසඳුම් නැත. හොරු ඇල්ලීමෙන්, කුඩු නැති කිරීමෙන්, පමණක් නොව ලංකාවේ හොඳ අධ්‍යාපනයක් ඇති කිරීමෙන් වුවද අසාධාරණයට ලක්වන පිරිසක් සිටිති. එසේ නම් යුද්ධය වැනි ප්‍රශ්නයක් සර්ව සාධාරණ ලෙස විසඳන්නේ කෙසේද? ඔබේ සිත රිදුනද එහිදී සාපේක්ෂව වඩා සාධාරණ විසඳුම වූයේ ප්‍රභාකරන් පරාජය කිරීමය. කුඩු මුදලාලිලාගේ දරුපවුල් ගැන හිතා ඔවුන්ව හිරේ නොදමා සිටින්න යැයි කියන උගත්තු ලෝකයේ නැත. එහෙත් යුද්ධයේ අනිටු විපාක ගැන කියමින් ප්‍රභාකරන් ආරක්ෂා කළ උගත්තු විශාල පිරිසක් ලංකාවේ සිටිති.

ඔබලා නිතරම රට ජාතිය තදින් පිළිකෙව් කරති. රට ජාතිය වෙනුවෙන් යුධ වැදීම පටු ගෝත්‍රවාදී වැඩක් බව නිතර පවසති. දේශප්‍රේමය තක්කඩිකමක් බව කියති. මට තේරෙන ආකාරයට නම් ජාතිය ගැන කතා කිරීම වැරදි නම් ලාංකිකත්වය ගැන කතා කිරීමද වැරදිය. මහද්වීප ගැනද කතා කිරීමද වැරදිය. මුළු ලෝකය හෝ මානව සංහතිය ගැන කතා කිරීමද වැරදිය. ඒ සෑම තැනකදීම අපි පටු සීමාවක හිරවෙමු. කළ යුත්තේ ඔබලා මෙන් ජාති, ආගම්, දූපත්, මහද්වීප, ග්‍රහලෝක, සෞරග්‍රහ මණ්ඩල, ක්ෂීරපථ ආදී සියලු සීමා ඉක්මවා ගිය විශ්වවාදී පොරවල් වීමය. ඔබලා මුළු විශ්වයටම අයත් විශ්ව පුරවැසියන් බව මම දනිමි. එහෙත් කොළඹ නගරයේ බෝම්බ පුපුරන විට ඔබට විශ්වයට පලාගොස් ආරක්ෂා වීමට ක්‍රමයක් නැති බැවින්, එවැනි අවස්ථාවලදී අටපාස් ගෝත්‍රවාදීන්ගේ සහය අවශ්‍ය වේ යැයි සිතමි.

ලෝකය තනි යායක් යැයි පැවසූ සේකර ගැන ඔබලා නිතර කතා කරති. එහෙත් ඒ සේකරම රත්නදීප ජන්ම භූමි වැනි අම්බ ගෝත්‍රවාදී ගීත ලියූ බව මා අසා ඇත. ලෝකය තනි යායක් යැයි පවසන ඔබලා තමන්ගේ නිවෙස් ආරක්ෂාවට දොරගුලු, වැට මායිම්, තාප්ප ඉදිකරගෙන සිටින්නේ ඇයි දැයි මට නොතේරේ. ලෝකය තනි යායක් යැයි කියන ඔබ තමන්ගේ වත්තට පැන පොල් කැඩීමට වෙන අයට අවසර දෙන්නේද? පුදුමය වන්නේ ගෙදර වැට මායිම වෙනුවෙන් සටන් කරන ඔබ රටේ ආරක්ෂාව විහිළුවට ලක්කිරීමය. ඒ වෙනුවෙන් මහගම සේකරව පවා සමූහ දූෂණයට ලක් කිරීමය.

අවසානයේදී ලංකාවේ විකල්ප උගත්තු යනු පොල් ගහ පෙන්වා ඊට තුත්තිරි ගහ යැයි පවසන මරිමෝල් මැන්ටලයන් පිරිසක් යැයි හැගෙන්නේ මට පමණක් දෝ යන ගැටලුව තදින්ම මට වද දෙන්නට විය. ඒ නිසාම මම උගතුන් යනු කවුදැයි අලුතින්ම සොයා බැලීමට පටන් ගත්තෙමි. ඔබලා වැනි උගතුන් අතිවිශාල පිරිසක් සිරියාව, ලිබියාව වැනි රටවලද සිටි බව එහිදී මට දැනගන්නට ලැබිණි.

– ඉසුරු ප්‍රසංග

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 2

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *