ඇමති රිෂාඩ්ගේ විශ්වාසභංගය විවාදයට ගැනීමට හෙට (23) දිනයක් ලබාදෙන බව කතානායක කියයි – පාර්ලිමේන්තුවත් කල් තැබේ

(22.05.2019 – 15:43 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට හෙට, දිනයක් ලබාදෙන කතානායක කරූ ජයසූරිය ප්‍රකාශ කළා.

හෙට පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී ඒ පිළිබඳව සාකච්ඡා කර දිනයක් ලබාදෙන බවයි කතානායකවරයා විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඒ සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ කියා සිටියේ.

ඒ සමඟ ඇති වූ විවාදාත්මක තත්ත්වයත් සමඟ පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10:30 දක්වා කල් තැබුණා.

22.05.2019

+++++++++++++++++++++

ඒකාබද්ධයෙන් රතු එළියක්

(22.05.2019 – 12:36 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව කඩිනමින් විවාදයට නොගතහොත් පාර්ලිමේන්තුවේ කටයුතු සිදුකරගෙන යාමට ඉඩ ලබානොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා.

විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ෴

+++++++++++++++++++++

බදියුදීන්ට එරෙහි විශ්වාසය නැති වු පළමු කරුණ ගැන ගම්මන්පිල හෙළි කරයි

(22.05.2019 – 16:46 +0530 – sinhala.adaderana.lk)

පසුගියදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයෙකු නිදහස් කිරීමට රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා තමාට ප්‍රකාශ කළ බවට යුද හමුදාපතිවරයා විසින් සිදු කරන ප්‍රකාශය හරහා ඔහුට විරුද්ධව එල්ල වී ඇති විශ්වාසභංගයේ පළමු කරුණ ඔප්පු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

විපක්ෂනායක කාර්යාලයේ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

අමාත්‍යවරයාට එරෙහිව චෝදනා 10 කින් සමන්විත යෝජනාවක් කථානායකවරයාට බාර දුන් බවත් එහිදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හේතා විතානගේ මහතා මෙම කරුණු සැබෑවක් නම් මෙයට එකඟ වීමට අපිත් කැමති යනුවෙන් සඳහන් කළ බව ද ගම්මන්පිල මහතා කියා සිටියේය.

මේ වන විට එහි තිබු පළමු චෝදනාව සත්‍යයක් බව යුද හමුදාපතිවරයා විසින්ම ප්‍රකාශ කර ඇති බව ද ගම්මන්පිල මහතා පැවසීය.

යුද හමුදාපතිවරයා අපේ කෙනෙක් නොව ආණ්ඩුව විසින් පත් කරන ලද අයෙක් බව ද කියා සිටි ගම්මන්පිල මහතා, ඔහුගේ ප්‍රකාශයෙන් මෙම පළමු යෝජනාව සනාථ වු බව ද ගම්මන්පිල මහතා වැඩිදුරටත් කියා සිටියේය.

එනිසා හමුදාපතිගේ උත්තරය තුළම බදියුදීන් අමාත්‍යවරයා ත්‍රස්ථ සැකකරුවෙකු නිදහස් කර ගැනීමට බලපැම් කර ඇති බව ඉතා පැහැදිලි බවත්, එවැනි දෙයක් රට හමුවේ කීමට ඉදිරිපත් වීම ගැන හමුදාපතිට ස්තූතිවන්ත වන බව ද ගම්මන්පිල මහතා මෙහිදී පැවසීය.

+++++++++++++++++++++++++++++++++++

ඇප මත මුදාහැරුණු වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවකයින් 8 දෙනෙකුට නොතීසි

(22.05.2019 – 14:22 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහැරුණු වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවකයින් 8 දෙනෙකුට ලබන 27 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබෙනවා.

වැල්ලම්පිටිය පොලීසිය මෝසමක් මගින් සිදුකළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුවයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ විසින් මෙලෙස නොතීසි නිකුත් කර ඇත්තේ.

මෙම තඹ කර්මාන්තශාලාව කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ ඉන්සාෆ් අහමඩ් ඊබ්‍රාහිම්ට අයත්වන අතර, ප්‍රහාරයෙන් පසු එහි සේවය කළ 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබුණා.

කෙසේ වෙතත් එහිදී ඇප කොන්දේසි සපුරා ගැනීමට නොහැකිව එක් සේවකයෙකු යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. එසේම මෙම සිද්ධියෙන් පසුව අත්අඩංගුවට ගැණුනු තඹ කම්හලේ තවත් සේවකයෙකු ද මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ ෴

+++++++++++++++++++++

වැල්ලම්පිටිය ඕ.අයි.සී.ට මාරුවක්

(22.05.2019 – 11:40 +0530 – hirunews.lk/sinhala)

වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.එස්. හේවාවිතාරණ වහාම ක්‍රියාත්මක වන පරිදි ගාල්ල කොට්ඨාශය වෙත මාරුකර යවා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි මෙම ස්ථාන මාරුවීම සිදු කර ඇති බවයි.

වැල්ලම්පිටිය තඹ කර්මාන්තශාලාවේ සේවයේ නියුතුව සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට අධිකරණයෙන් ඇප ලබාදීමේ පොලිසිය පාර්ශවයෙන් වරදක් සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව මෙම ස්ථාන මාරුව සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කළේ.

මෙම තඹ කර්මාන්තශාලාව කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ ඉන්සාෆ් අහමඩ් ඊබ්‍රාහිම්ට අයත්. ප්‍රහාරයෙන් පසු තඹ කම්හලේ සේවය කළ 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබුණා.

කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් පසුව අත්අඩංගුවට ගැණුනු තඹ කම්හලේ තවත් සේවකයෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ ෴

+++++++++++++++++++++++++++++++++++

හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කෙරේ

(22.05.2019 – 14:35 +0530 – hirunews.lk/sinhala)

හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.

මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන වගන්තියෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව එකී ආඥා පනතේ දෙවන කොටසේ විධිවිධාන දිවයින පුරාම ක්‍රියාත්මක විය යුතුයැයි එම ගැසට් පත්‍රයේ සඳහන් ෴

+++++++++++++++++++++++++++++++++++

රනිල්ට ඕන කරන්නේ කුමක් හෝ කෝලාහලයක් ඇති කර ජාත්‍යන්තර හමුදාවක් ගෙන්වීමටයි

(22.05.2019 – 17:02 +0530 – sinhala.adaderana.lk)

රජය විසින් තේරීම් කාරක සභාවක් පත් කර ඇත්තේ බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව කල්දැමීමට බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ආණ්ඩුව කුමන ආකාරයේ තීන්දු ගනු ලැබූවත් ශක්තිමත් කර බය දුරු කර යුතුව ඇතැයි පැවසු මන්ත්‍රීවරයා, එනිසා ඒකාබද්ධ විපක්ෂයත් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණත්, සහෝදර දේශපාලන පක්ෂත් සමඟ රටේ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට කටයුතු කරනු ලබන බව ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ආණ්ඩුව හා ජනත විමුක්ති පෙරමුණ අද දෙබිඩි ප්‍රතිපත්තියක් ගෙනියන බවත් පැවසු මන්ත්‍රීවරයා, ඒකාබද්ධය විසින් රිෂාඩ් බදියුර්දීන් මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට තීන්දු කළ නමුත් අගමැතිවරයා හා ජනතා විමුක්ති පෙරමුණ එක්ව එය වක්‍ර ප්‍රශ්නයක් බවට පත් කල බවත්, ඒ සඳහා කථානායකවරයාත් හවුල් වු බව ද කියා සිටියේය.

පක්ෂ නායක රැස්වීමේ දී මෙය බාර දී තිබිය දීත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සදහා එක්සත් ජාතික පක්ෂය අනුමැතිය ලබා දෙන බවත් එයට එජාප නායකයින් කැමැත්ත ප්‍රකාශ කරන විට ජනතා විමුක්ති පෙරමුණ නිහඩව සිටි බවත් පැවසු මන්ත්‍රීවරයා එහිදී කථානායකවරයා ඔවුන්ගේ පැත්ත ගෙන තේරීම් කාරක කමිටු වාර්තාවෙන් පසුව විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා බව පැවසු බව ද පැවසීය.

ආණ්ඩුව අද වන විට මැතිවරණ කල්දමමින් සිටින බවත් පැවසු මන්ත්‍රීවරයා කථානායකවරයාට මේ ගැන ඍජු තීරණයක් ගැනීමට තිබු බවත් පැවසීය.

එහෙම කොන්දක් නොමැති බව පැවසු මන්ත්‍රීවරයා ආණ්ඩුවට හා අගමැතිවරයා මේ මොහොතේ කුමක් හෝ කෝලාහලයක් ඇති කර ජාත්‍යන්තර හමුදා මෙරටට ගෙන්වීමට උත්සහ ගන්නා බවත් ගාමිණි ලොකුගේ මහතා කියා සිටියේය.

එනිසා රාජ්‍ය නොවන සංවිධාන 15 ක් පමණ එක්සත් ජාතීන්ගේ හමුදාවක් මෙරටට ගෙන්වන ලෙස ඉල්ලීමක් කර ඇතැයි ද පැවසීය.

***************************************

ඥානසාර හිමියන් ගැන වාර්තාවක් ජනපති ලේකම් කාර්යාලයට

(22.05.2019 – 12:50 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර ගතව සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ විස්තර ඇතුළත් වාර්තාවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කර තිබෙනවා.

ඊයේ ජනාධිපති ලේකම්වරයා ලිපියක් මගින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත දැනුම්දී තිබුණේ උන්වහන්සේගේ තොරතුරු ඇතුළත් වාර්තාවක් ලබා දෙන ලෙසයි.

එ අනුව ඊයේ පස්වරුවේම බන්ධනාගාර කොමසාරිස් මෙහෙයුම් කාර්යාලය විසින් එම වාර්තාව යොමු කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියෙකු කියා සිටියා.

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ සිරදඩුවම, බන්ධනාගාර ගත වූ දිනය සහ සිරදඩුවමට අනුව බන්ධනාගාරය තුළ ගෙවා ඇති කාල සීමාව , මෙන්ම බන්ධනාගාර ගත වූ දින සිට උන්සහන්සේගේ හැසිරිම සහ සිරදඩුවම අවසන් වන දිනය ඇතුළත් වාර්තාවක් ලබා දෙන ලෙසයි ජනාධිපති ලේකම් කාර්යාලය මගින් මෙලෙස ඉල්ලා ඇත්තේ.

එ අනුව එම සියලු කරුණු ඇතුළත් කර අදාළ වාර්තාව ඉදිරිපත් කළ බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියා වැඩිදුරටත් සදහන් කළා ෴

+++++++++++++++++++++

ඥානසාර හිමිට ජනපති සමාව ?

(22.05.2019 – 22:39 +0530 – sinhala.adaderana.lk)

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව හෙට(23) ලබා දෙනු ඇතැයි වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් අද දෙරණ කල විමසීමක දී බොදුබල සේනා සංවිධා‍නයේ ප්‍රකාශකයෙක් සඳහන් කර සිටියේ, මේ පිළිබඳ ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දැනුම් දීමක් සිදු කරනු ලැබූ බවයි.

ඒ අනුව හෙට සවස 3 ට පමණ ඥානසාර හිමියන් නිදහස් කරනු ඇතැයි ද වාර්තා විය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් විමසීමක් කලත් ඔවුන් පවසා සිටියේ මේ පිළිබඳ නිල වශයෙන් දැනුම් දීමක් කළ නොහැකි බවයි.

ඥානසාර හිමියන්ට පෙබරවාරි 4 වෙනිදා ජනාධිපති සමාව ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව සිංහල රාවය සංවිධානයේ මහලේකම් පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පැවසීය.

එමෙන්ම පසුගිය වෙසක් පෝය දිනයට පෙර ඥානසාර හිමියන්ට ජනාධිපති පොදු සමාව දී නිදහස් කරන්නැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පසුගිය දා ඉල්ලීමක් කළේය.

‍ඥානසාර හිමියන්ගේ නිදහස සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන හා සමාජීය වශයෙන් විශාල කථිකාවතක් නිර්මාණය වී තිබේ.

එවන් පසුබිමක උන්වහසේට ජනපති සමාව හිමි වෙනු ඇතැයි බොහෝ පිරිසක් බලාපොරොත්තුවෙන් පසුවෙයි.

අමාත්‍ය රවී කරුණානායක මහතා ද අද (22) රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සුව දුක් බැලීම සඳහා වැලිකඩ බන්ධනාගාරය වෙත ගිය අතර ඉන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ එක් පුද්ගලයෙකුගේ නමක් ඉලක්ක කරගනිමින් යම් යම් දේවල් වසන් කිරීමට ඇතැම් පිරිස් උත්සාහ දරණ බවත් සාමකාමීව පවතින ප්‍රශ්නය උග්‍ර කිරීම නොව සැබෑ තත්ත්වය සොයා බැලීම අවශ්‍ය බවත්ය.

එමෙන්ම ඥානසාර හිමියන්ට ලබාදී ඇති දඬුවම සාධාරණද නැද්ද කියලා සිතා බැලිය යුතු බවත්, අසාධාරණ තත්ත්වයක් ඇති වුණොත්, මේ තිබෙන ගැටළුව තවත් බැරෑරුම් විය හැකි බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

අධිකරණයට අපහාස කළේ යැයි කියන චෝදනා හතරකට වරදකරු කෙරුණු බොදුබල සේනා සංවිධානය ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර 19 ක සිරදඬුවම් නියම කළ අභියාචනාධිකරණය සිරදඬුවම වසර 6කින් ගෙවිය යුතු බව නියම කළේ පසුගිය 2018 වසරේ අගෝස්තු මස 8 වන දාය.

තීන්දුව දෙමින් විනිසුරුවරු සඳහන් කර සිටියේ ඥාණසාර හිමියන්ට එරෙහිව ඉදිකර තිබූ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ චෝදනා 4 කටඋන් වහන්සේ වරදකරු කරණ බවයි.

එම චෝදනාවලින් සඳහන් කර තිබුණේ 2016 වසරේ ජනවාරි මස මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමට අදාළ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණ භූමිය තුළ කලහාකාරී ආකාරයෙන් හැසිරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කිරීම, රජයේ නීතිඥවරුන්ට අපහාසයක් සිදු කිරීම ඇතුළු චෝදනා ඥානසාර හිමිට එරෙහිව ඇති බවයි.

නඩු විභාගයේදී චෝදනා පත්‍රය කියවීමෙන් පසුව වගඋත්තරකාර ඥානසාර හිමියන් සඳහන් කර සිටියේ තමන් වහන්සේ එම චෝදනාවලට නිවැරදිකරු වන බවයි.

ඒ අනුව දීර්ඝ සාක්ෂි විභාග පැවැති අතර එහිදී පැමිණිල්ල ඉදිරිපත් කළ හෝමාගම හිටපු මහේස්ත්‍රාත් මෙන්ම ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක, රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා ඇතුළු පොලිසියේ සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු පාර්ශව ගණනාවක් සාක්ෂි ලබා දී තිබුණි.

මෙම නඩු විභාගයේදී ඥානසාර හිමියන් සාක්ෂි දෙමින් කියා තිබුණේ මෙම සිද්ධිය හරහා අධිකරණයට අපහාස කිරීමේ චේතනාවක් තමන් වහන්සේ තුළ නොතිබූ බවයි.

රට බේරා ගත් යුද හමුදා බුද්ධි අංශ නිලධාරින්ට ඇප ප්‍රතික්ෂේප වී රිමාන්ඩ් භාරයට පත්වන අවස්ථාවේදී ඒ පිළිබඳව සංවේදී වීම නිසා මෙම තත්ත්වය උද්ගත වූ බවත් ඒ හරහා තමන් වහන්සේ අධිකරණයට කිසිදු අපහාසයක් සිදු නොකළ බවද නඩු විභාගයේ සාක්ෂි දෙමින් ඥානසාර හිමියන් වැඩිදුරටත් සඳහන් කර තිබුණි ෴

+++++++++++++++++++++

මව් සෙනෙහස…

(23.05.2019 – sinhala.adaderana.lk)

සිරදඬුවම් ලබා බන්ධනාගාර ගතව සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට අද (23) දිනයේ ජනපති පොදු සමාව හිමිවනු ඇති බවට වාර්තා වෙයි.

මේ අතර ඥානසාර හිමියන්ගේ මව කරන්දෙණිය, ගලගොඩඅත්තේ ප්‍රදේශයේ පිහිටි සිය නිවසෙන් සිට කොළඹ බලා පිටත්වීමට නියමිත බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ඒ පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බැහැ දැකීමේ සූදානමින් බව වාර්තා වෙයි.

ඥානසාර හිමියන්ගේ මව සහ ප්‍රදේශවාසීන් එක්ව නිවසේ මේ වන විට භික්ෂූන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් ආගමික වාතාවත් සිදු කරමින් පවතී.

මේ අතර බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමි සඳහන් කළේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ ලිපියට ඊයේ (22) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තබා ඇති බවයි.

අධිකරණයට අපහස කිරීමේ චෝදනාවට වරදකරු වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට පසුගිය වසරේ අගෝස්තු මස 08 වන දින බරපතළ වැඩ සහිත වසර 06 ක සිරදඬුවමක් හිමිවුණි.

උන්වහන්සේට පොදු සමාවක් ලබාගැනීම සඳහා පාර්ශව කිහිපයක්ම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර තිබූ අතර පසුගිය වෙසක් පුන් පොහොය දින ජනාධිපතිවරයා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ගොස් ඥාණසාර හිමියන් සමග කතාබහක ද නිරත වී තිබේ.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනපති පොදු සමාව ලබාදී ඇති බවට පල වන වාර්තා සම්බන්ධයෙන් අද දෙරණ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජේ. ඩබ්ලිව් තෙන්නකෝන් මහතාගෙන් විමසීමක් කළේය. ඔහු සඳහන් කළේ එවන් තීරණයක් සම්බන්ධයෙන් නිල වශයෙන් කිසිදු දැනුම්දීමක් මෙතෙක් සිදු කර නොමැති බවයි.

කෙසේවෙතත් ජනපති පොදු සමාව යටතේ අද පස්වරුවේ ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බන්ධනාගාරයෙන් රැගෙනයාමට සියලු කටයුතු සූදානම් කර ඇති බව බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියන් වැඩිදුරටත් පැවසීය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *