පොලිස්පති පූජීත් ජයසුන්දරට එරෙහිව පූර්ණ අපරාධ විමර්ශනයක්

(22.05.2019 – 19:11 +0530 – sinhala.adaderana.lk)

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව පූර්ණ අපරාධ විමර්ශනයක් කඩිනමින් සිදු කරන ලෙසට නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබේ.

පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පත්කරන ලද විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ අතුරු වාර්තා දෙකක් ජනාධිපති ලේකම්වරයා විසින් නීතිපතිවරයා වෙත යොමුකර ඇත.

එකී වාර්තා අධ්‍යයනය කර ඇති නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට ලිපි දෙකක් යොමුකරමින් සඳහන් කර ඇත්තේ, පොලිස්පතිවරයාට එරෙහිව පූර්ණ අපරාධ විමර්ෂනයක් කඩිනමින් සිදුකරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලෙසයි.

එමෙන්ම හිටපු ආරක්ෂක ලේකම්, ජාතික බුද්ධි ප්‍රධානී, විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී සහ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යන අයට එරෙහිව පූර්ණ අපරාධ විමර්ශනයක් සිදුකරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන්නැයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට අදාළ ලිපිවලින් දන්වා යවා ඇත.

එම ලිපිවල වැඩිදුරටත් සදහන් වන්නේ, රාජකාරිය පැහැරහැරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව ජාතික පොලිස් කොමිසම හරහා විනය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා ලෙසයි ෴

*****************************************

‘උත්තමාචාරය’ ජනපති අතින් එළි දකියි

(22.05.2019 – 21:54 +0530 – sinhala.adaderana.lk)

සාමයේ දස වර්ෂාභිෂේක සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාවේ පරම වීර විභූෂණ ලාභීන්ගේ වීර ක්‍රියාවන් සමාජයට විවර කරමින් මතු පරපුරේ පරිශීලනය සඳහා “උත්තමාචාරය” ග්‍රන්ථය එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේ දී පැවැත්විණි.

ග්‍රන්ථය එළිදක්වමින් පරම වීර විභූෂණ පදක්කම්ලාභීන්ගේ සමීපතම ඥාතීන් වෙත ග්‍රන්ථය පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

සාමයේ දසවර්ෂාභිෂේක සමරු මුද්දරය සහ මුල්දින කවරය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම ද සිදු විය.

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මහරගම අපේක්ෂා රෝහල වෙත සිදුකරන ලද රුපියල් මිලියන 70 ක මුල්‍ය පරිත්‍යාගයට අදාළ චෙක්පත ද යුධ හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ‍් සේනානායක මහතා විසින් මෙහිදී නිල වශයෙන් ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.

ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් ද,ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, විශ්‍රාමික හමුදා නිලධාරින්, රණවිරු පවුල්වල ඥාතීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ ෴

*****************************************

විනිවිද පෙනෙන බෑග් නිසා දෙමාපියන්ගෙන් දෝෂාරෝපණ

(22.05.2019 – 19:19 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු පාසල් ආරම්භ වූයේ විවිධ ආරක්ෂිත වැඩපිළිවෙල ද සමඟිනි.

පාසල් දරුවන්ගේ පොත් බෑග් පරීක්ෂාව ඉන් ප්‍රධානයි.

එමෙන්ම පාසැල් පොත් බෑග් පිළිබඳව එක් එක් පාසැල් ගෙන ඇති තීරණ මේ වන විට ගැටලු මතුකර ඇත.

පාස්කු ඉරුදින එල්ලවූ ප්‍රහාර මාලාවෙන් පසු දෙවන පාසැල් අධ්‍යන වාරය පසුගිය 6 වැනිදා ආරම්භ කෙරුණත් සිසුන්ගේ පැමිණීම අවම මට්ටමක පැවතියේය.

නමුත් මේ වන විට සිසුන්ගේ පැමිණීම සාමාන්‍ය මට්ටමට පත්ව ඇත.

එවන් පසුබිමක පාසල් ආරක්ෂාව තර කර ඇත්තේ, විවිධ පියවර අනුගමනය කරමිනි.

ඉන් එක් පියවරක් වන්නේ විනිවිද පෙනෙන පොත් බෑග ගෙන එන ලෙසට ඇතැම් පාසැල් ගෙන ඇති තීරණයයි.

මේ හේතුවෙන් සිසුන් මෙන්ම දෙමාපියන් ද දැඩි අපහසුතාවට පත්ව සිටියි.

ඇතැම් පාසල් විනිවිධ පෙනෙන පොත් බෑග් ගෙන එන ලෙසට සිසුන්ට නියම කර නැත.

නමුත් එවැනි පාසැල් වල ආරක්ෂාව ද කිසිසේත්ම අඩුවීමක් සිදුව නැත.

විනිවිද පෙනෙන බෑග් අනිවාර්යය කිරීම ඇතැම් මව්පියන්ට ගැටලු මතුකර ඇත.

දෙමාපියන් පවසන්නේ, එවැනි බෑග් මිලට ගැනීම මෙන්ම ඒවායේ ශක්තිය පිළිබදව සැකයක් පවතින බවයි.

මෙවැනි පසුබිමක විනිවිද පෙනෙන බෑග්වලට ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇති අතර ඒවායේ මිල ගණන් ද ඉහළ ගොස් ඇත.

මේ අතර අධ්‍යාපන අමාත්‍යවරයා පවසන්නේ, එවැනි බෑග් රැගෙන එන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශය කිසිදු අවස්ථාවක නියම කර නොමැති බවයි.

+++++++++++++++++++++++++++++++++++++

ඇමති බදියුදීන් සහ නැගෙනහිර ආණ්ඩුකාරවරයා ධුරවලින් ඉවත්කරන්නැයි ඉල්ලා ජනපති ලේකම් කාර්යාලයට සංදේශයක්

(22.05.2019 – 22:54 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන් එම තනතුරුවලින් වහා ඉවත් කරන ලෙස ඉල්ලා ජාතික සංඝ සම්මේලනය අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත සංදේශයක් භාර දුන්නා.

ඊට ප්‍රථම උන්වහන්සේ නිදහස් චත්‍රරස්‍ර පරිශ්‍රෙය්දී සත්‍යග්‍රහයකද නිරත වුණා.

+++++++++++++++++++++++++++++++++++++

ජාතික ආරක්ෂාවට සීමාවන් නැහැ – හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක

(23.05.2019 – divaina.com)

පසුගිය පාස්කු ඉරිදා සිදු වූ අති බිහිසුණු සහ ම්ලේච්ඡ මරාගෙන මැරෙන ත‍්‍රස්ත ප‍්‍රහාරය හමුවේ ජාතික ආරක්ෂාවේ වැදගත්කම ගැන රට තුළ පුළුල් කතිකාවක් ඇතිව තිබේ. පසුගිය කාලයේ වත්මන් රජය ජාතික ආරක්ෂාවට නිසි ප‍්‍රමුඛත්වය දී කටයුතු නොකිරීමේ විපාක වශයෙන් මෙවැනි බලවත් ව්‍යසනයකට සමස්ත රටටත්, ජනසමාජයටත් මුහුණ දීමට සිදුව තිබෙන බවට රජයට බලවත් චෝදනා එල්ල වී තිබේ. මේ සම්බන්ධයෙන් හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ද බලවත් විවේචන සිදු කළේය. මේ ආගමික අන්තවාදී ත‍්‍රස්තවාදය කොටි ත‍්‍රස්තවාදයට වඩා වෙනස්ය. අතිශය භයානකය. මෙය සුළුවෙන් තකන්නට පුළුවන් කමක් නැත. මේ ව්‍යසනයෙන් ඉතාම කෙටි කාලයකින් රට මුදා ගත යුතුව තිබුණත් රජය ඒ සම්බන්ධයෙන් මහජනතාවට නිසි විශ්වසනීය වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට අසමත් වීම තුළ මේ ප‍්‍රශ්නය නිරාකරණය කර ගැනීමට ගතවන කාලය වෙනස් විය හැකිය. ඒ තුළ මජනතාවගේ සාමාන්‍ය ජනජීවිතයට සහ රටේ ආර්ථිකයට ඇති වන අහිතකර බලපෑම්වල ප‍්‍රමාණය සහ බලපෑම් ද තීරණය වනු ඇත.

මේ බෝම්බ ප‍්‍රහාරයත් සමග අඩපණ වී ඇත්තේ සංචාරක ව්‍යාපාරය පමණක් නොවේ. රටේ බොහෝ ආර්ථික කටයුතු අකර්මන්‍ය වී තිබේ. සංචාරක හෝටල් පාළුවටම ගොස් තිබේ. පැමිණ සිටි සංචාරකයන්ද රටින් වහාම පිවව ගිය බව අපට මතකය. මේ සිදු වීමෙන් පසු රටවල් 37 ක් විසින් අපේ රටේ සංචාරය කිරීම සම්බන්ධයෙන් එරට වැසියන්ට සංචාරක මාර්ගෝපදේශන නිකුත් කර ඇත. පාසල් විවෘත කළත් ළමයින්ගේ පැමිණීම තිබෙන්නේ ඉතාමත් අවම මට්ටමකය. රජය මොනවා කිව්වත් තවමත් රටේ ආරක්ෂක තත්ත්වය ගැන ජනයා තුළ විශ්වාසය තහවුරු වී නැත. අප රට තුළ පවා එවැනි තත්ත්වයක් තිබියදී අපේ රට ආරක්ෂිත බව ලෝකයාට කියා සිටින්නේ කෙසේද? විදෙස් සංචාරකයාට මෙරටට එන්නැයි කියන්නේ කෙසේද? එසේ වුවත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පසුගියදා විදෙස් තානාපතිවරුන් හමුවේ රටේ ආරක්ෂාව තහවුරු වී ඇතැයි ප‍්‍රකාශ කරමින් විදෙස් සංචාරකයන්ට මෙරටට පැමිණෙන්නැයි ආරාධනා කළේය. එහෙත් රාජ්‍ය නායකයාගේ හුදු ප‍්‍රකාශයකින් පමණක් ලෝකයා, විදෙස් රටවල් අපේ රටේ ආරක්ෂක වාතාවරණය ගැන සෑහීමට පත් වනු ඇතැයි සිතිය නොහැකිය. ඒ සඳහා විශ්වසනීය වැඩපිළිවෙළක් තිබිය යුතුය. ඒ ගැන ඔවුන්ට විශ්වාසදායි ලෙස තහවුරු කිරීමටද සිදු වනු ඇත. මේ සිදු වීමෙන් පසු ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට චෝදනා එල්ල වූ අතර පොලිස්පතිවරයා ඉල්ලා අස් නොවුණි. එහෙත් ආරක්ෂක ලේකම් ලෙස සිටි හේමසිරි ප‍්‍රනාන්දු ඉල්ලා අස්විය. ඒ සමගම බලවත් ලෙස ආරංචි පැතිර ගියේ හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා නව ආරක්ෂක ලේකම්වරයා ලෙස පත් කෙරෙනු ඇති බවටය. ඒ ගැන එනම් ජෙනරාල් දයා රත්නායක මහතා එම තනතුරට පත් කරනු ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාස කළේය. එහෙත් එය එසේ සිදු නොවුණි. අවසානයේ ආරංචි පැතිර ගියේ ඔහු එම තනතුර භාර ගැනීම ප‍්‍රතික්ෂේප කර ඇති බවයි. එහෙත් ඇත්ත කතාව එය නොවේ. එනම් ඇත්ත වශයෙන්ම කිසිම අවස්ථාවක ජෙනරාල් දයා රත්නායකට එවැනි ආරාධනයක් ලැබී නොතිබුණි. එය ඔහු අපටද තහවුරු කළේය. ඔහු ශ‍්‍රී ලංකාවේ 20 වන යුද හමුදාපතිවරයාය. මෙවැනි පසුබිමක් තුළ පසුගිය පාස්කු ඉරිදා සිදු වූ අති බිහිසුණු සහ ම්ලේච්ඡු මරාගෙන මැරෙන ත‍්‍රස්ත ප‍්‍රහාරයට හේතු වූ පසුබිම සහ රටේ වත්මන් ආරක්ෂක වාතාවරණය ගැන අපි හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා ගෙන් ප‍්‍රශ්න කළෙමු. පහතින් සටහන් වන්නේ ‘දිවයින‘ ඇසූ ප‍්‍රශ්නවලට හිටපු යුද හමුදාපතිවරයා දුන් පිළිතුරුයි.

ප‍්‍රශ්නය – ඔබ හිටපු යුද හමුදාපතිතුමා ලෙස ඇයි අපට මෙවැනි තත්ත්වයක් ඇති වූයේ සහ වර්තමාන ආරක්ෂක තත්ත්වය ගැන ඔබගේ අදහස පැහැදිලි කර දෙන්න?

පිළිතුර – ඇයි මෙහෙම වුණේ කියන එකට නම් පසුගිය දිනවල සැහෙන්න උත්තර සැපයුණා. අපේ රටේ යුද්ධෙන් පස්සේ තිබුණු ආරක්ෂක ව්‍යුහයන්, අපේ ආරක්ෂාව තහවුරු වීමට තිබුණු ක‍්‍රමවේදයන් එසේම ඒ සඳහා සමස්ත රට තුළම තිබුණු ජාලය යම් මට්ටමකට කඩා වැටීම තුළත් ඒ සඳහා තිබුණු අපේ යොමු වීම, ඒ සඳහා අපේ තිබුණු මානසිකත්වය සහ ඒ සඳහා අප තුළ සැදිලා තිබුණු සංස්කෘතිය තුළ තමා මේක මේ තත්ත්වයට පත් වුණා කියල අපි දන්නේ. ඒ වගේම දැනට තියන තත්ත්වය ගත්තොත් හුඟාක් දුරට ආරක්ෂාව සහ රට එකතු වෙලා, ජනතාවත් සහයෝගය දක්වල රටේ ආරක්ෂක තත්ත්වය සුබවාදී තත්ත්වයට පත් වෙලා තියන බව පේනවා. ඒ නිසා මේ අන්තවාදී නායකයන්ගේ තිබුණු ක‍්‍රමවේදය, ඔවුන්ගේ තිබුණු නායකත්වය සහ ඔවුන්ගේ ඒ ක‍්‍රියාකාරීත්වය කියන දේවල් සෑහෙන දුරකට පාලනයකට යටත් කරලා තියන බවයි පේන්නේ. ඒ නිසා හොඳ තත්ත්වයකට දැන් අපි ඇවිල්ල තියෙන බව පේනවා.

ප‍්‍රශ්නය – ආරක්ෂක හමුදාවන්ට යම් යම් සීමාවන් පැනවෙන බවක් කියවෙනවා. මෙතරම් විනාශයක් සිදුව තිබියදී එහෙම පරීක්ෂා කිරීම්වලට ඉඩ නොලැබෙන බව පැවසෙනවා. එහෙම සීමාවන් පැනවිය යුතුද?

පිළිතුර – නෑ. මේවගේ තත්ත්වයකදී සාමාන්‍ය සමාජයක් වශයෙන් සීමාවන් සිදු වෙනවා. එහෙත් ජාතික ආරක්ෂාව තහවුරු කර ගැනීමට අවස්ථානෝචිතව කළ යුතු සෑම දෙයක්ම කළ යුතුයි කියන ස්ථාවරයේ තමයි අපි ඉන්නේ. ඒ වගේ දේවල්වලට සීමාවන් පැවතෙනවා නම්, ඒ වගේ දේවල්වලට යම් යම් දේශපාලන ඇඟිලි ගැසීම් වෙනවා නම්, වෙනත් තහනම් කිරීම් හෝ ඒවා අඩු කිරීම් හෝ සිදු වෙනව නම් එය සුදුසු නැහැ කියලයි අපට තේරෙන්නේ.

ප‍්‍රශ්නය – මේ තත්ත්වයෙන් ගොඩ ඒමට අපට කොපමණ කාලයක් ගත වෙයිද කියන එක ගැන ඔබගේ තක්සේරුව කුමක්ද?

පිළිතුර – ඒවා ඉතාම සංකීර්ණ ප‍්‍රශ්න, ඇත්තටම මේකට තියන ක‍්‍රමවේදය ගැන කෙටියෙන්ම කියනව නම් අපි සියලු දෙනාම මෙය අවබෝධ කර ගන්න ඕන. ප‍්‍රශ්නය තේරුම් ගන්නට ඕන. ඒ ප‍්‍රශ්නය තේරුම්ගෙන එය නිරාකරණය කිරීම සඳහා ක‍්‍රමවේදය නිර්මාණය කරගන්න ඕන. ඒ ක‍්‍රමවේදය නිර්මාණය කරලා එය සමාජගත වෙන්න ඕන. එය සමාජගත වෙලා ඒවා ජාලගත වීම තුළ තමයි මේවා නවත්වගන්න පුළුවන් වෙන්නේ. එවැනි ක‍්‍රමවේදයක් යුද කාලයේ සහ පශ්චාත් යුද සමයේ රට තුළම ක‍්‍රියාත්මක වුණා. ඒ සඳහා රට තුළ සංස්කෘතියක් තිබුණා. ඒ සඳහා ක‍්‍රමවේදයක් තිබුණා. ඒ සඳහා මානසිකත්වයක් සහ රට තුළ නායකත්වයක් තිබුණා. ඒවා නැවත අදට සාපේක්ෂව සහ අදට ගැලපෙන ආකාරයට ප‍්‍රතිෂ්ථාපනය වීම තුළ තමා විසඳුමක් තියෙන්නේ. අද තර්ජනයට ගැලපෙන ආකාරයට ඒවා ප‍්‍රතිෂ්ථාපනය වීම තුළ තමා මෙයට විසඳුම ලබා ගන්න පුළුවන් වෙන්නේ. මේ සඳහා මේ මාසෙන් දෙකෙන් තුනෙන් කියල කාලවකවානු නිර්ණය කිරීම ඉතාම අපහසු කාර්යයක්. නමුත් මේ ක‍්‍රමවේදය පටන් ගෙන ක‍්‍රමානුකුලව කිරීම තුළ අපට පුළුවන් වෙනවා, අපේ රටේ අත්දැකීම් බහුල නිසා ඔය අනිත් රටවලට වඩා ඒ රටවලට සාපේක්ෂව ගත්තොත් කෙටි කාලයක් තුළ මේක වළක්වාගන්න පුළුවන් කියල තමයි අපි විශ්වාස කරන්නේ.

ප‍්‍රශ්නය – උතුරු නැගෙනහිර ආරක්ෂක කඳවුරු පවා පසුගිය කාලයේ ඉවත් කරනු ලැබුවා. ඒවායිනුත් රටේ ආරක්ෂාවට අහිතකර බලපෑමක් වුණා නේද?

පිළිතුර – මේකට එකක් කියල ගන්න බෑ. මෙය ක‍්‍රමානුකූලව මේ රට තුළ ජාතික ආරක්ෂාවට තිබුණු ප‍්‍රමුඛතාව අඩු වීම, ඒ සඳහා තිබුණු මානසිකත්වයේ අඩු වීම, ඒ සඳහා තිබුණු යොමු වීමේ අඩු වීම, ඒ සඳහා තිබුණු සංස්කෘතියේ කඩා වැටීම වැනි දේවල් තුළ තමයි මේවා සිදු වෙන්නේ. ඒ නිසා මේකට ඔය කරුණු එකක් නෙවෙයි හැම දෙයක්ම මේකට සම්බන්ධ වෙනවා. එකින් එක කියනවට වඩා සමස්තයක් ලෙස මම මේ කිව්වේ.

ප‍්‍රශ්නය – හසුවන කඩු , කිනිසි සහ පුපුරන ද්‍රව්‍ය යනාදිය පෙන්වීමට මාධ්‍ය වාරණයක් දාලා තියෙනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

පිළිතුර – මෙහෙමයි, අපේ රටේ අනිත් දියුණු රටවලට සාපේක්ෂව ගත්තම ගොඩක් අනවශ්‍ය දේවල් නම් මාධ්‍යයෙන් පෙන්වනවා තමයි. මාධ්‍ය තුළ මිනී මැරීමකදී, බෙලි කැපීම සහ එවැනි අපරාධ සම්බන්ධයෙන් විවෘත සමාජයට මාධ්‍ය මගින් පෙන්වීමේදී යම්කිසි නියාමනයක්, යම් ප‍්‍රමිතියක් තිබිය යුතුයි. හැබැයි මෙන්න මෙහෙම ගත්තොත් තමයි මේකේ ප‍්‍රශ්නේ තිබෙන්නේ. ඒ නිසා මෙවැනි දේවල්, මේ අවස්ථාවේදී මිනිසුන් තුළ ඇති වෙලා තියන ව්‍යාකුලත්වය, කුතුහලය, මිනිසුන්ගේ මේවා දැනගැනීමට තිබෙන ප‍්‍රචාරණයන්, කට කතා යෑම ඒ වගේ දේවල් වළක්වාගන්න ක‍්‍රමවේදයක් අනිවාර්යෙන්ම තිබිය යුතුයි. 1983 ත් මෙවැනි දේවල් වහන්න ගිහින්, මෙවැනි දේවල් සමාජයෙන් වෙන් කර තැබීමට ගිහිල්ල සිදු වූ දේ අප දන්නවා. වසර 30 ක කාලයක් තුළ මේ තත්ත්වය සිදු වුණා. ඒ නිසා මෙවැනි අවස්ථාවක වගකිව යුතු අය ඉතාම හොඳින් සුක්ෂමව කල්පනා කරලා මෙය කොහොමද සමාජගත කරන්නේ කියල බලන්න ඕන. සමස්ත සමාජයේ කුතුහලයට සහ සැකයට භාජනය වෙන දේවල් අඩු කරලා, අවම කරලා සමාජයත් එක්ක එකට එකතු වෙලා යෑම අත්‍යවශ්‍යයි මේ අවස්ථාවේදී.

ප‍්‍රශ්නය – මේ මාධ්‍ය වාරණය තුළ ආරක්ෂක අංශවලට හමු වන අවි ආයුධ සම්බන්ධයෙන් විවිධ අන්වර්ථ නාමයන් යොදා සමාජ මාධ්‍ය ජාලයේ සඳහන් කරලා තිබෙන බව අපට දක්නට ලැබෙනවා?

ප‍්‍රශ්නය – මේ වගේ දේවල් සිදු වෙන්නේ සමාජය සම්බන්ධ නොවී අන්‍යෝන්‍ය අවබෝධයකින් තොරව මේවා කිරීම තුළ තමයි මේවා විහිළු බවට පත් වෙන්නේ. මෙන්න මේවා විහිළු බවට පත් නොවී ජාතික ආරක්ෂාව සහ මේ අවස්ථාවේ අපට ඇති වෙලා තියෙන්නේ ඉතාමත්ම ව්‍යාකුල අවස්ථාවක්. ඒ වගේම ඉතාමත්ම බැරෑරුම් අවස්ථාවක්. ඒ නිසා මේ බැරෑරුම් තත්ත්වය විහිළුවට ගන්න හොඳ නෑ. මේවා විහිළුවකට ගන්නේ නැතිව, විශේෂයෙන් ජාතික ආරක්ෂාව කියන දේ සමස්ත සමාජය තුළ සහ සමාජ මාධ්‍ය තුළ විහිළුවකට ලක් වෙලා. මේක මේ විහිළුවට ලක් නොකර මෙහි වැදගත්කම තේරුම් ගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍යයි.

සංවාදය :
ශ්‍යාම් නුවන් ගනේවත්ත
ඕමල්පේ ප‍්‍රදීප් ජනක

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *