සිසේරියන් සැත්කම්වලින් පසු – තව්හිද් ජමාත් දොස්තර සිංහල බෞද්ධ මවුවරුන් හාරදහසක් වඳ කරලා

(23.05.2019 – divaina.com)

සාක්ෂි සහිතව තොරතුරු හෙළි වේ – දොස්තර අල්ලන්න පුළුල් පරීක්ෂණ

සිංහල බෞද්ධ මවුවරුන් 4000 කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව කියන තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයකු වන වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

සිංහල බෞද්ධ මවුවරුන් පළමු දරු උපත සඳහා සිසේරියන් සැත්කමට භාජනය වෙද්දී සැකකාර වෛද්‍යවරයා ඉතාම සූක්ෂම ආකාරයට එම මවුවරුන්ගේ ශරීරයේ පැලෝපීය නාලය (නාල ?) ගැටගසා ඔවුන් වඳ භාවයට පත් කර ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

සැත්කමට භාජනය වන සිංහල බෞද්ධ මවුවරුන්ට නොදැනෙන්නට මෙම වෛද්‍යවරයා මේ ආකාරයට ඔවුන් වඳ භාවයට පත් කර ඇති බව ද අනාවරණය වී ඇත.

සැකකාර වෛද්‍යවරයා වසර ගණනක් තිස්සේ ගැබිනි මවුවරුන් හත්දහසකට වැඩි පිරිසකට සිසේරියන් සැත්කම සිදු කර ඇති අතර ඒ අතරින් හාරදහසකට අධික බෞද්ධ මවුවරුන් මේ ආකාරයට වඳ භාවයට පත් කර ඇති බව හෙළි වී තිබේ.

මෙම වෛද්‍යවරයා තම හිතවතුන් කීපදෙනකු සමඟම මේ බව ප‍්‍රකාශ කර ඇති අතර මොහුගේ මෙම කි‍්‍රයාකලාපය පිළිබඳව සෞඛ්‍ය ක්ෂේත‍්‍රය සම්බන්ධ නිලධාරීන් කීප දෙනකු ද පොලිසියට තොරතුරු ලබාදී ඇත. වෛද්‍යවරයා මෙම අපරාධය සිදු කළ බවට සාක්ෂි සහිතව තොරතුරු ලැබී ඇති බව ද පොලිසිය පවසයි.

සැකකාර වෛද්‍යවරයා සම්බන්ධයෙන් සතියකට වැඩි කාලයක් තිස්සේ පොලිසිය පුළුල් විමර්ශනයක් කි‍්‍රයාත්මක කරගෙන යන අතර ඉදිරි දින කීපය ඇතුළතදී මොහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ද පොලිස් ආරංචි මාර්ග පැවසීය.

තව්හිද් ජමාත් ත‍්‍රස්ත කල්ලියට සම්බන්ධ ප‍්‍රබල සාමාජිකයන් කීප දෙනකුගෙන් ප‍්‍රශ්න කිරීමේදී මෙම වෛද්‍යවරයා පිළිබඳව තොරතුරු හෙළි වූ බව ද එම ආරංචි මාර්ග කියා සිටියහ.

– හේමන්ත රන්දුණු

+++++++++++++++++++++

සිසේරියන් සැත්කම් කළ බවට සැක NTJ වෛද්‍යවරයා ගැන හොයන්න GMOA සහය

(23.05.2019 – 12:47 +0530 – sinhala.adaderana.lk)

තවුහිද් ජමාත් සංවිධානයේ ප්‍රභල සමාජිකයෙක් බවට සැක වෛද්‍යවරයෙකු විසින් සිංහල බෞද්ධ මවුවරුන් 4000 කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව කියන පුවතක් සම්බන්ධව අද ජාතික පුවත් පතක් විසින් වාර්තා කර තිබුණි.

අදාළ සිද්ධිය පිළිබඳ පාර්ලිමෙන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් අද (23) පාර්ලිමේන්තුවේදී කථානායකවරයා දැනුවත් කර සිටියේය.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් පෙන්වා දුන්නේ මෙම සිදුවීම තත්ත්වය සත්‍ය සිදුවීමක් නම් එය ඉතා බරපතළ බවයි.

මේ අතර අනෙක් ජාතිකත්වයන් නියෝජනය කරන පුද්ගලයින් මෙම පුවත හේතුවෙන් මුස්ලිම් වෛද්‍යවරයෙකු ගෙන් ප්‍රතිකාර ලබා ගැනීම පවා ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් උදා විය හැකි බව මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එමෙන්ම මෙම පුවත ජනතාව අතර ගැටුමක් සහ සැකයක් ඇති කළ හැකි තත්ත්වයක් බවත් මුස්ලිම් වෛද්‍යවරුන් රෝහල්වලින් පලවාහරින තත්ත්වයක්ද උද්ගතවිය හැකි බව අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මේ හේතුවෙන් රජය විසින් මෙම පුවත සම්බන්ධයෙන් නිසි පරික්ෂණයක් කරන ලෙස පාර්ලිමෙන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

එහිදී කථානායක කරූ ජයසූරිය මහතා කියා සිටියේ මෙම පුවත අද උදෑසන දුටු විගස වැඩබලන පොලිස්පති වරයාට සහ බුද්ධි අංශ ප්‍රධානීගෙන් විමසා සිටි බවයි.

කථානායක කරූ ජයසූරිය මහතා කියා සිටියේ ආරක්ෂක ප්‍රධානීන් විසින් කියා සිටියේ එම පුවත අසත්‍ය බවයි.

මේ අතර තවුහීද් ජමාත් සංවිධානයට සම්බන්ධව කටයුතු කර ඇති බව කියන වෛද්‍යවරයා සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි.

තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයෙකු විසින් මව්වරුන් හාරදහසක පමණ පිරිසක් වඳ සැත්කම්වලට ලක් කර ඇති බවට අද දිනයේ ජාතික පුවත්පතක ප්‍රධාන පුවත ලෙස වාර්තා කර තිබුණි.

අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අදාළ වෛද්‍යවරයා පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ පුළුල් මෙහෙයුමක් ආරම්භ කර බව එම වාර්තාවේ සඳහන් වුණි ෴

+++++++++++++++++++++++++++++++++++

ජවිපෙ විශ්වාස භංගය ලෝක ඉතිහාසයට එක්වෙයි.. කොන්ත්‍රාත්තුව රනිල්ගෙන්ද.. ඊබ්‍රාහිම්ගෙන්ද..

(23.05.2019 – 13:20 +0530 – lankacnews.com)

ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය :

‘‘රිෂාඩ් බදියුඩීන් අමාත්‍යවරයාට එරෙහිව සාක්ෂි සහිත චෝදනා 10 ක් අඩංගු විශ්වාස භංග යෝජනාවක් භාර දුන්නා. එජාප මන්ත්‍රි හේෂා විතාරණ කිව්වේ මේ චෝදනා ඔප්පු වුණොත් තමන් සහය දෙන්න සූදානම් කියලා. ඔන්න දැන් පළමු චෝදනාව සත්‍යයක් බව යුද හමුදාපතිවරයාම සනාථ කර තිබෙනවා. එතුමා අපේ කෙනෙක් නෙමෙයි. මේ ආණ්ඩුව විසින් පත්කල යුද හමුදාපතිවරයා. එතැනදී රිෂාඩ් ඇමතිවරයා මොකක්ද කියන්නේ. මම අඳුරන කෙනාගෙ පුතාව අරගෙන ගිහින් තිබුණා. පොලීසියෙනුත් නෙවෙයි අරං ගිහින් තියෙන්නේ. ඒ නිසා එහෙම කෙනෙක් ඉන්නවාද කියලා අහන්නයි යුද හමුදාපතිතුමන්ට කතාකලේ කියලා. මොකක්ද හමුදාපතිතුමන්ගේ උත්තරය. මට හදිසි නීතිය යටතේ පුද්ගලයෙක් වසර එක හමාරක් රදවා තියාගන්න පුළුවන්. ඒ නිසා අවුරුදු එක හමාරකින් කතා කරන්න. අදාල පුද්ගයා ඉන්නවද කියලා ඇහුව නම් ඉන්නව කියන්න වසර එක හමාරක් ඉල්ලනව ද? නෑ. ඉන්න පුද්ගලයා නිදහස් කරන්න කියලා බලපෑම් කල නිසා තමයි හමුදාපතිවරයා කියන්නේ මට වසර එක හමාරක් තියාගන්න පුළුවන් ඒ නිසා තව වසර එක හමාරකින් කතා කරන්න කියලා. යුධ හමුදාපතිතුමන් දෙන උත්තරය තුලම රිෂාඩ් ඇමතිවරයා ත්‍රස්ථවාදී සැක කරුවෙකු නිදහස් කරගන්න එතුමන්ට බලපෑම් කරපු බව ඉතාම පැහැදිලි. එවැනි කාරණයක් රට ඉදිරියේ හෙළි කිරීමට තරම් පෞරුෂත්වයක් තිබීම ගැන අපි අපේ යුද හමුදාපතිවරයා ගැන ආඩම්බර වෙනවා. රිෂාඩ් ඇමතිවරයා පිළිබඳ සමාජයේ මතු වී ඇති කෝපය නිසා පක්ෂයට වඩා ඉදිරියෙන් රට තියලා මේ විශ්වාස භංග යෝජනාවට සහය දෙන්න එජාප සහ දෙමළ සංධානයේ මන්ත්‍රිවරුන් රාශියක් ඉදිරිපත් වුණා. මේ යෝජනාව ජයග්‍රහණය කරන ලකුණු හතර වටින් මතු වෙන්න ගත්තා.

යෝජනාව සම්මත වෙන බව දැක්කාම වඩාත් කලබල වුණේ ජවිපෙ. එක පැත්තකින් තමන්ගේ බරපැන දරණ රනිල් හාමුගේ ආණ්ඩුව රකින්න ඕනෑ. අනිත් පැත්තෙන් තමන්ගේ බරපැන දරණ තවත් කෙනෙක් වෙන ඊබ්‍රහිම්ගේ හිතවතා වන රිෂාඩ් බදියුඩීන් ඇමතිවරයා රකින්න ඕනෑ. ඒ නිසා එජාප ආණ්ඩුවට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගෙනාවා. මේක තමයි ලෝක ඉතිහාසයේ පළමු වරට ආණ්ඩුවක් රැක ගන්න ගෙනාපු විශ්වාස භංග යෝජනාව. අපි අපේ විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේ කිව්වා, මේක දින්නත් දිනුම්. පැරදුනත් දිනුම්. දින්නොත් මුස්ලිම් අන්තවාදය පෝෂණය කළ ඇමතිවරයාට බලය අහිමි වෙනවා. පැරදුනොත් ඉස්ලාම් අන්තවාදින් රකින මන්ත්‍රිවරුන් කවුදැයි රට ඉදිරියේ හෙලි වෙනවා.

ජවිපෙ විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කරන විධිය දැන් ජවිපෙ අපට කියන්න ඕනෑ. ජවිපෙට එහෙම සැලැස්මක් නෑ. ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙනාවාම එජාපය වගේම දෙමළ සංධානයත් එජාප ආණ්ඩුව රකින්න ඡන්දය දෙන බව අපි 2018 අප්‍රේල් වගේම නොවැම්බර් මාසයේත් දැක්කා.

එදා අපි ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙනාවේ ආණ්ඩුව පෙරලලා අපේ ආණ්ඩුවක් පිහිටුවන්න. ජවිපෙ අපි ආණ්ඩුවක් හදනවාටත් විරුද්ධයි. එහෙම නම් එජාප ආණ්ඩුව පෙරලලා හදන්නේ කාගේ ආණ්ඩුවක් ද? දැන් ජවිපෙ මන්ත්‍රිවරුන් හයදෙනාට ආණ්ඩුවක් හදන්න පුළුවන් ද? ඒ නිසා ජවිපෙ විශ්වාස භංග යෝජනාව ගෙනාවේ ආණ්ඩු පෙරලන්න නොවේ. ආණ්ඩුව රකින්න. ජවිපෙ විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කරලා ආණ්ඩුව පෙරලන හැටිත් ඊට පස්සේ ජවිපෙ අළුත් ආණ්ඩුවක් පිහිටුවන හැටිත් වහාම රටට කියන්න ඕනෑ. ආණ්ඩුව පෙරළුවට පස්සේ ජවිපෙ ආණ්ඩුවක් හදන්න 113 හදාගන්න හැටිත් රටට කියන්න ඕනෑ. ඒක කියා ගන්න බැරි නම් තමන් අද ගෙනැවිත් තියෙන්නේ මේ ආණ්ඩුව රැක ගැනීමේ – ඒ වගේම රිෂාඩ් බදියුඩීන් කියන ත්‍රස්තවාදය රකින අන්තවාදියා රැක ගැනීමේ විශ්වාස භංග යෝජනාවක් කියලා පිළි අරගෙන මෙම යෝජනාව ජවිපෙ විසින් ඉවත් කර ගත යුතුයි.

ජවිපෙ ඔළුව උඩ තියාගෙන ගෙනාපු 19 වන සංශෝධනය නිසා, ආණ්ඩුව පැරදුනා කියලා අඩුම ගණනේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නත් බෑ. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුනේ විශ්වාස භංග යෝජනාව සම්මත වුනත් මේ පාර්ලිමේන්තුව තුලින්ම තමයි අළුත් ආණ්ඩුවද සෑදිය යුත්තේ. ඒ නිසා අනුර කුමාර දිසානායක මැතිතුමන් අද හෙටම මාධ්‍ය හමුවක් පවත්වා ආණ්ඩුව පෙරළීමට ඉලක්කම් හදා ගත් හැටිත් ජවිපෙ ආණ්ඩුවට 113 හදා ගන්නා හැටිත් රටට කියාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

ඇයි අපි කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ මේ විශ්වාස භංග යෝජනාව ගෙනාවේ එජාප රජය සහ රිෂාඩ් අමාත්‍යවරයා රැක ගන්න කියල. රිෂාඩ් අමාත්‍යවරයා ගාව මන්ත්‍රිධූර පහක් තියෙනවා. ඒ නිසා එජාප ආණ්ඩුව රැක ගන්න රිෂාඩ්ගේ මන්ත්‍රි ධූර පහ ඕනෑ. මෙතෙක් කල් අසරණව අනේ මගේ අමාත්‍යධූරය රැක දෙන්න කියලා හැගීම්බරව කියපු රිෂාඩ් ඇමතිවරයාට ජවිපෙ විශ්වාස භංගය නිසා නව පණක් ලැබෙනවා. ඔන්න දැන් ඔහුට කේවල් කිරීමේ බලයක් ලැබිලා. දැන් රිෂාඩ් දානවා කොන්දේසියක්. අපේ සහය ආණ්ඩුවට දෙන්නේ ඔබ මාව රකිනවා නම් පමණයි. මා රැකුනොත් ඔබ රැකේවි ඔබ රැකුනොත් මා රැකේවි කියන එකිනෙකා මත ලැදියාවක් ජවිපෙ විසින් රිෂාඩ් අමාත්‍යවරයාට අද ගොඩ නගා දී තිබෙනවා. ආණ්ඩුව රැක ගන්න රිෂාඩ් ඉදිරියේ දනින් වැටෙන්න, මෙතෙක් සිංහයින් වගේ හිටිය එජාප මන්ත්‍රිවරුන්ට සිදු වෙනවා.

ජවිපෙට ඕනෑ දේශප්‍රේමි සහ දේශද්‍රෝහි ලෙසට පාරලිමේන්තුවේ ඇඳුණු බෙදුම් රේඛාව මකලා දාලා යළිත් මන්ත්‍රිවරුන් පක්ෂ අනුව පෙල ගස්සලා රිෂාඩ් බදියුඩීන් රැක ගන්නයි. ජවිපෙ රිෂාඩ් වෙනුවෙන් මෙතරම් පෙනි සිටින්නේ ඇයි? රිෂාඩ් සහ ජවිපෙ අතර තිබෙන නොකැඩෙන යකඩ දම්වැල තමයි මොහොමඩ් ඊබ්‍රාහිම් යූසුෆ් කියන කුප්‍රකට ව්‍යාපාරිකයා. රිෂාඩ් බේරුණොත් විතරයි ඊබ්‍රාහිම් බේරෙන්නේ. ඊබ්‍රාහිම් බේරුණොත් තමයි ජවිපෙ බේරෙන්නේ.

රිෂාඩ් රකින්න ආණ්ඩුව පාර්ලිමේන්තු සම්ප්‍රදායත් අමු අමුවේ උල්ලංඝනය කරයි ද?

හරි අපූරු දෙයක් පාර්ලිමේන්තුවේ සිදුවුණා. අප ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට දිනයන් නියම කිරීමට නියමිතව තිබුණා. නමුත් මන්ත්‍රි කණ්ඩායම රැස් වුනහම ආණ්ඩුවේ සභානායක කියනවා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තේරීම් කාරක සභාවක් පත් කරන්නට දැන් ඉල්ලලා තිබෙනවා. අපි ඒ තේරීම් කාරක සභාව පත් කරනවා. එම කාරක සභාවේ තොරතුරු අනුව රිෂාඩ් බදියුඩීන් අමාත්‍යවරයා වැරදිකරුවෙක් වුනොත් අපි මේ විශ්වාසභංග යෝජනාව සාකච්ඡාවට ගනිමු කියලා.

මේක පාර්ලිමේන්තු සම්ප්‍රදාය අමු අමුවේ උල්ලංඝනය කිරීමක්. ව්‍යවස්ථාවට අනුව ඉදිරිපත් කර ඇති චෝදනා සත්‍ය බවට ඔප්පු කර ඒ අනුව කෙනෙක් ඉවත් කිරීමට පාවිච්චි කරන වචනය ‘විශ්වාස භංගය’ නොවෙයි; ‘දෝෂාභියෝගය’ යි. ජනාධිපතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාධිකරණයේ විනිසුරුවන්ට එරෙහිව ගෙන එනු ලබන්නේ දෝෂාභියෝගයයි. එහිදී එම දෝෂාභියෝගය සම්මත කිරීමට කලින් එම චෝදනා වල සත්‍ය අසත්‍ය භාවය සොයා බැලීම සඳහා කමිටුවක් පත් කරනවා. ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ විට අනුර යාපා මන්ත්‍රි තුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරලා සාක්ෂි විභාගයක් සිදු කරලා ඒ අයගේ වාර්තාව මත පදනම් වෙලා තමයි ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු තුමිය ඉවත් කළේ. නමුත් විශ්වාසභංගය කදී එහෙම නැහැ. පාර්ලිමේන්තුවේ බහුතරයක් හිතනවනම් රිෂාඩ් බදියුඩීන් අමාත්‍යවරයා තමන්ට විශ්වාස නැහැ කියලා එය හොඳටම ප්‍රමාණවත් ඔහුව ඉවත් කිරීමට.

ඒ නිසා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන දෝෂාභියෝගය සම්බන්ධ විධිවිධාන විශ්වාසභංගය එකට අමුණා තබා රිෂාඩ් බදියුඩීන් අමාත්‍යවරයා බේරාගැනීමේ කූට වෑයමක මේ ආණ්ඩුව අද යෙදී සිටිනවා. මොකද ආණ්ඩුව දන්නවා මේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළොත් ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී වගේ ප්‍රශ්නයකට ආණ්ඩුවට මුහුණ පාන්න වන බව. මේ යෝජනාව සම්මත වෙනවා. මොකද පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ගෙන් බහුතරයක් ඔහුගේ අන්තවාදී ක්‍රියා දාමයට එරෙහි වෙනවා. එහෙම එරෙහි වුනොත් රිෂාඩ් තමන්ට අහිමි වෙනවා. එහෙම එරෙහි නොවුනොත් ජනතාවගේ ඡන්දය ඔවුන්ට අහිමි වෙනවා. දෙකම නොවෙන්නට මේ ආණ්ඩුව මේ විශ්වාසභංගය විවාදයට නොගෙන සිටීමට උත්සාහ දරයි. ආණ්ඩුව ඒ කපටි තැනට තල්ලු වුණත් පාර්ලිමේන්තුවේ වගකිවයුතු විපක්ෂයක් විදිහට, ජනතාවගේ ජීවිත උදුර ගත්ත මේ බෝම්බ ප්‍රහාරයෙන් ලේ ඇඟ පුරාම තැවරුනු රිෂාඩ් බදියුඩීන් අමාත්‍යවරයා බේරාගන්නට ඇවිල්ලා ඔහුගේ ඇඟේ තැවරුණු ත්‍රස්ත ප්‍රහාරයේ ලේ තමන්ගේ ඇඟේ ගා ගන්න එපා කියලා අපි එජාපයටත් ජවිපෙටත් අනතුරු අඟවනවා.’’

– අරවින්ද අතුකෝරල

+++++++++++++++++++++++++++++++++++

ඇමති රිෂාඩ් පිට පිටම දෙවන වරටත් CID යෙන් කට්ටි පනී !!

(23.05.2019 – colombotoday.com)

වාණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇතත් ඔහු එය මඟහරිමින් සිටින බව වාර්තා වෙයි.

පසුගිය 16 වැනිදා දෙවෙනි වරටත් එම දැනුවත් කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අමාත්‍යවරයාට සිදුකර ඇතත් ඔහු පැමිණ නැත.

ඉස්ලාමීය අන්තවාදී සංවිධානයක් වූ ජාතික තවුහිද් ජමාත් සංවිධානයට සහය දී බවට රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබෙන නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු කැඳවා ඇත්තේ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට නොව සහල් හොරකමක් සම්බන්ධයෙන් වන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට බව සඳහන්.

අවස්ථා දෙකකදීම ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟහැර ඇති හෙයින් අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය යටතේ දැන්වීමක් නිකුත් කරන අතර ඉන් පසුව අධිකරණ නියෝගයකින් ඔහුව අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ ෴

+++++++++++++++++++++++++++++++++++

ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදයශාන්ත ගුණසේකර මහතා
(23.05.2019)

+++++++++++++++++++++++++++++++++++

මුහුණු ආවරණය සහිත ඇඳුම් හා ආරක්ෂිත හිස් ආවරණ පිළිබඳ පාසල් ප්‍රධානීන්ට ලිපියක්

(23.05.2019 – 14:49 +0530 – hirunews.lk/sinhala)

මුහුණු ආවරණ සහිත ඇඳුම් සහ ආරක්ෂිත හිස් ආවරණ පැළඳ පාසලට කිසිවෙකු හෝ ඇතුලුවීම පිළිබඳ සිදුවීමකදී පාසල් ප්‍රධානීන් මැදිහත් විය යුතු ආකාරය පිළිබඳ විශේෂ ලිපියක් පාසල් ප්‍රධානීන් වෙත නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන ලේකම්වරයාට මෙම උපදෙස් ලබාදී ඇති බවයි එම අමාත්‍යංශය නිවේදනය කළේ.

මුහුණු ආවරණය සම්බන්ධයෙන් හදිසි නීති රෙගුලාසි යටතේ පනවා ඇති විධිවිධාන පිළිබඳ නොදැනුවත්කම හේතුවෙන් මුහුණු ආවරණ කරගෙන ඇතැම් පුද්ගලයන් පාසලට පැමිණීම මෙන්ම ඇතැම් ගුරුවරියන් ද මුහුණු ආවරණ සහිත ඇඳුමෙන් සැරසී පැමිණීම හේතුවෙන් ද පසුගිය දිනවල පාසල් කිහිපයක ගැටලු සහගත තත්වයන් මතුව තිබුනා.

මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් එවැනි සිද්ධියකදී පාසල් ප්‍රධානීන් මැදිහත් විය යුතු ආකාරය සහ පාසල්වලට ඇතුලුවීමේදී මුහුණ ආවරණ සහිත ඇඳුම් හා ආරක්ෂිත හිස් ආවරණ පැළඳීම සම්බන්ධයෙන් නියෝග ද ඇතුලත්වයි අදාළ විශේෂ ලිපිය නිකුත් කෙරෙන්නේ.

පූර්ණ මුහුණු ආවරණ සම්බන්ධයෙන් හදිසි නීති රෙගුලාසි යටතේ නිකුත් කර ඇති ගැසට් නිවේදනවල දැක්වෙන නියෝගයට අනුකූලව සහ මානව හිමිකම් කොමිෂන් සභාව මුහුණු ආවරණය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශයට යොමු කර ඇති චිත්‍රණයක් ද සහිතවයි අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් සහිතව එම විශේෂ ලිපිය පාසල් ප්‍රධානීන්ට යොමුකර ඇත්තේ.

+++++++++++++++++++++++++++++++++++

බදියුදීන් විරෝධය රට පුරා ඇවිලෙයි… විශ්වාසභංගයට ඡන්දය නොදී ගමට නොඑනු ! – පාර්ලිමේන්තු මන්ත්‍රීලාට රට වටෙන් අනතුරු ඇගවීම්

(22.05.2019 – colombotoday.com)

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සහ මෙරට වහාබ්වාදය ප්‍රචලිත කිරිමට චෝදනාවට ලක්ව සිටින අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වසභංග යෝජනාවට පක්ෂව ඡන්දය නොදී සිය මැතිවරණ බල ප්‍රදේශවලට නොඑන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අනතුරු අගවන පුවරු රට පුරා නගර ගණනාවක ප්‍රදර්ශනය කර ඇත.‍

චෝදනා ගණනාවකට චූදිතයා වන බදියුදීන් ඇමතිවරයාට එරෙහිව ජනතා විරෝධයක් පැවති අතර පාස්කු ප්‍රහාරට සම්බන්ධ ත්‍රස්තවාදීන් හා සැකකරුවන් බොහෝ දෙනෙකු අමාත්‍යවරයාගේ සමීපතමයන් වීම සහ ඔවුන් සමග ගනුදෙණු කළ බවට පැහැදිලි සාක්ෂි අනාවරණය වීමත් සමග එම විරෝධය වඩාත් උත්සන්න වී තිබේ.‍

සිය දේශපාලන බලය පවත්වා ගැනීම හා අමාත්‍යවරයාගේ මුදල්වලට ගිජු වී ඔහු වෙනුවෙන් පෙනී සිටින සියල්ලන්ම දේශ ද්‍රෝහීන් ලෙස සැළකිය යුතු යැයි මේ වන විට ජනතා මතයක් ගොඩනැගී ඇත.

+++++++++++++++++++++++++++++++++++

ජනපති සමාව ලැබූ ඥානසාර හිමි බන්ධනාගාරයෙන් පිටව යයි

(23.05.2019 – 18:06 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපති පොදු සමාව හිමිවු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මීට සුළු මොහොතකට පෙර වැලිකඩ බන්ධනාගාරයෙන් පිටව ගොස් තිබේ.

උන්වහන්සේ නිදහස ලබා වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපස දොරටුවෙන් පිටතට පැමිණෙනු ඇතැයි අපේක්ෂාවෙන් විශාල පිරිසක් අද පෙරවරුවේ සිට වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට රැඳී සිටියේය.

එම පිරිස අතර භික්ෂූන් වහන්සේ, බොදුබල සේනා සංවිධානයේ නියෝජිතයින්, මාධ්‍යවේදීන් මෙන්ම ඥානසාර හිමියන්ගේ මෑණියන් ද රැඳී සිටිනු දක්නට ලැබුණි.

කෙසේ වෙතත් පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමි මාධ්‍යයට පැවසුවේ පවතින ආරක්ෂක තත්ත්වය මත ඥානසාර හිමියන් බන්ධනාගාරයේ වෙනත් දොරටුවකින් පිටතට පැමිණ ඇති බවයි.

සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ නිර්දේශය ඇතුළත් ලිපිය තමා වෙත ලැබුණු බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අද පස්වරුවේ පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන් මහතා පැවසුවේ ජනාධිපතිවරයාගේ අත්සනින් යුතු අදාල ලිපිය තමා වෙත ලැබුණු බවයි.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට පූර්ණ නිදහස ලබාදෙන ලෙස අදාල ලිපියේ සඳහන් වන බව ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

+++++++++++++++++++++

ඥාණසාර හිමියන් නිදහස ලබා බන්ධනාගාරයෙන් පිටවෙයි

(23.05.2019 – 18:02 +0530 – hirunews.lk/sinhala)

ජනපති සමාව හිමිවූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද (23) පස්වරුවේ වැලිකඩ බන්ධනාගාරයෙන් පිටව ගියා.

උන්වහන්සේ අනතුරුව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහනායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් බැහැදැකීමට නියමිත බවයි එම ස්ථානයට පැමිණ සිටි සිංහලේ අපි ජාතික සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් ප්‍රකාශ කළේ.

ඥාණසාර හිමියන් නිදහස් කිරීමේ ජනපති නියෝගය අද තමන් වෙත ලැබුණු බව ඊට පෙර බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්.ජේ.ඩබ්ලිව්. තෙන්නකෝන් මහතා ද හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අධිකරණය තුළ කළහකාරී ලෙස හැසිරීමේ සිද්ධිය වාර්තාවුණේ 2016 වසරේ ජනවාරි 25 වනදායි.

එම සිද්ධිය සම්බන්ධයෙන් එවක හෝමාගම මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ කොළඹ – කොටුව මහේස්ත්‍රාත්වරයා ලෙස වර්තමානයේ කටයුතු කරන රංග දිසානායක, ඥාණසාර හිමියන්ට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ චෝදනා 4 ක් යටතේ පැමිණිල්ලක් ගොනු කළා.

ඒ පිළිබඳ වසරකට ආසන්න කාලයක් පැවති නඩු විභාගය අවසානයේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් එම චෝදනා 4 ටම වරදකරු කරමින් අභියාචනාධිකරණය උන්වහන්සේට වසර 19 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළා. ඒ, එම සිරදඬුවම වසර 6 කින් ගෙවී යන ලෙසයි.

දඩුවම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට ඥාණසාර හිමියන් විසින් ගොනුකළ ඇපෑල ප්‍රතික්ෂේප වූ අතර, පසුව උන්වහන්සේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචන පෙත්සමක් ගොනු කළා.

පසුගිය වසරේ ඔක්තෝම්බර් 5 වනදා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ එම පෙත්සම කැඳවූ අතර, එහිදී විනිසුරු මඩුල්ල තීරණය කළේ එම අභියාචනය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමටයි.

ඒ අනුව තම දඬුවම ලිහිල් කරගැනීම හෝ අහෝසි කරගැනීම සඳහා බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට තිබූ අධිකරණමය අවස්ථා සියල්ල අවසන් වුණා.

මේ අතර හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය තුළදී 2016 ජනවාරි 25 වනදා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට බැණ තර්ජනය කිරීමේ සිද්ධියටද වරදකරු කෙරුණු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට මාස 6 කින් ගෙවී යන පරිදි බරපතල වැඩ සහිත සිර දඬුවමක් පනවනු ලැබුවා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් හෝමාගම මහාධිකරණයේ ගොනුකළ අභියාචනයකට අනුව අදාළ සිරදඩුවම වසර 5කට අත්හිටුවීමටයි අධිකරණය නියෝග කළේ.

ඒ වනවිටත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිර දඩුවමක් විඳිමින් සිටි බැවින් උන්වහන්සේ තවදුරටත් බන්ධනාගාර ගත කෙරුණා.

පසුව බොදුබල සේනා සංවිධානයේ නියෝජිතයින් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් සහ ඥාණසාර හිමියන්ගේ මව අවස්ථා කිහිපයකදීම ජනාධිපති සමාව යටතේ උන්වහන්සේ නිදහස් කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කළා.

ජනාධිපති පොදු සමාව යටතේ උන්වහන්සේට ඇප ලැබෙනු ඇති බව බොදුබල සේනා සංවිධානයේ නියෝජිතයින් ඊයේ ප්‍රකාශ කළේ මෙවන් පසුබිමකයි.

ඒ අනුව අද පස්වරුවේ සිටම වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට සහ ඒ අවට උන්වහන්සේට නිදහස හිමිවනු ඇතැයි අපේක්ෂාවෙන් බොහෝ පිරිසක් රැස්ව සිටියා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *