වහාබ් ත‍්‍රස්තවාදීන්ටත් වඩා දරුණු කපටි නරි හතර දෙනෙක් ආණ්ඩුවේ..

(23.05.2019 – 15:50 +0530 – lankacnews.com)

අයිඑස් සංවිධානය හා සබඳකම් ඇති වහාබ්වාදී ත්‍රස්තයන් 1000 කට අධික පිරිසක් ද ත්‍රස්ත කඳවුරු 17 ක් ද මේ රට තුළ තිබෙන බව අරක්‍ෂක අංශ මගින් කළ විමර්ශනවලදී අනාවරණය වී තිබුණත් වත්මන් පාලකයන් වගකීම් විරහිත ප්‍රකාශ කරමින් එම තත්වය පිළි නොගනිමින් මරාගෙන මැරෙන ප්‍රහාරවලින් පසු ගෙවී ගිය මාසයක කාලය නිකරුණේ ගෙවා දැමූ බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

අද (23) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී එහි තරුණ කටයුතු ලේකම්, උදයශාන්ත ගුණසේකර මහතා මෙසේ චෝදනා කර සිටියේය.

පසුගියදා අත්අඩංගුවට පත් කුරුණෑගල රෝහලේ තාක්‍ෂණ ශිල්පියකු ලෙස සේවය කළ ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ප්‍රබලයකු ආරක්‍ෂක අංශවලට පවසා තිබුණේ අයිඑස් සංවිධානයේ පුහුණුව ලැබූ ඕනෑම ත්‍රස්ත ප්‍රහාරයකට යොමු කළ හැකි 1000 කට වැඩි පිරිසක් මෙරට සිටින බව යැයි ද එහෙත් රටේ සේනාධිනායකයා පවසන්නේ රට තුළ ඇත්තේ ත්‍රස්තවාදින් 158 දෙනෙකු පමණක් කියා යැයි ද යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.

එසේම මේ වන විට වහාබ්වාදී කඳවුරු 17 ක් ආරක්‍ෂක අංශ විසින් සොයා ගෙන ඇති නිසා ඒවායින් පුහුණුව ලබා ඇත්තේ 150 ක පමණ පිරිසක් දැයි තමන් සේනාධිනායකවරයාගෙන් ප්‍රශ්න කරන බව ද උදයශාන්ත ගුණසේකර මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශකර තිබුණේ එක් අයකු හැර සියලු වහාබ්වාදී ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගෙන අවසන් බව යැයි ද ඉන් පෙනී යන්නේ මේ පාලකයන්ගේ සියලු ප්‍රකාශවල තිබෙන වගකීම් විරහිත බව යැයි ද ගුණසේකර මහතා පෙන්වා දුන්නේය.

කපටි නරි 04 දෙනා’

රට තුළ සිටින වහාබ් ත්‍රස්තවාදීන්ටත් වඩා භයානක ඔවුන්ට උඩගෙඩි දුන්, ඔවුන්ගේ ආරක්‍ෂකයන් ලෙස කටයුතු කළ රිෂාඩ් බදුර්දීන්, අසාත් සාලි, හිස්බුල්ලා හා මුජිබර් රහුමාන් යන ‘කපටි නරීන්’ සිව් දෙනා බව තේරුම් ගැනීම ඉතා වැදගත් බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ඔවුන්ගේ ඡන්ද කුට්ටිවලට කෑදර වී ජන ජීවිත සමඟ කරන මේ ‘දාං ඇදිල්ල’ දැන්වත් නකතර කළ යුතු බව ද ඒ මහතා අවධාරණය කළේය.

සිංහල, දෙමළ, මුස්ලිම් සියලු අන්තවාදයන් පැරදවිය හැකි, කිසිදු අන්තවාදයකට වැඩීමට ඉඩ නොදෙන පාලනයක් තුළින් පමණක් මේ ප්‍රශ්නය විසඳිය හැකි බවත් ශරියා නීති, විවිධ විවාහ නීති ආදිය අහෝසි කර මුළු රටම එකට නීති පද්ධතියක් යටතට ගෙන ඒම සිදු කළ හැක්කේ ද එවැනි පාලනයක් යටතේ බවත් ගුණසේකර මන්ත්‍රිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ ‘අනාගතය අපි’ තරුණ ව්‍යාපාරයේ ලේකම් විමුක්ති රාජපක්‍ෂ, කැස්බෑව නගර සභා මන්ත්‍රී රංජිත් පත්මසිරි යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

+++++++++++++++++++++++++++++++++++

ජනපති සමාව ගැන ඥානසාර හිමි මාධ්‍යට අදහස් දක්වයි

(24.05.2019 – 22:28 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපති පොදු සමාව ලැබූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඊයේ (23) රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවුණි.

එහිදී තමන් වහන්සේට ජනාධිපති පොදු සමාව ලබාදීම සම්බන්ධයෙන් ඥානසාර හිමියන් විසින් ජනාධිපතිවරයාට ස්තූතිය පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ජනාධිපති සමාව ලැබූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ රාත්‍රී හමුවුණි.

ඒ, මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදීයි.

එම අවස්ථාවට ඥානසාර හිමියන්ගේ මව ද එක්ව සිටියා.

එහිදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් ජනාධිපතිවරයාවෙත සිය ගෞරවය හා ස්තුතිය පළකළේය.

ඥානසාර හිමියන් ඊයේ (23) තම විහාරස්ථානය වූ රාජගිරිය ශ්‍රී සද්ධර්මරාජික විහාරයේදී ප්‍රකාශ කළේ, පවතින තත්ත්වය හමුවේ තම සහාය ජනාධිපතිවරයාට සහ ආරක්ෂක අංශවලට ලබාදෙන බවයි.

තමන් වහන්සේ සිරගතව සිටි සමයේදී මුහුණ දුන් අත්අදැකීම් සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද මාධ්‍යයට මෙලෙස අදහස් පල කළේය.

තමන්ට ජනාධිපතිවරයා විසන් නිදහස ලබා දීම පිළිබඳ ඇතැමුන් පල කරන විවේචන තමාට අදාළ නොවන බවත් තමන්ගේ එකම නායකයා වන්නේ බුදුන් වහන්සේ පමණක් බවත් උන්වහන්සේ ප්‍රකාශ කළේය.

එසේම ජනාධිපතිවරයා වෙත පවිත්‍ර සිතින් යුතුව තම ගෞරවය ලබා දෙන බවත් ඥානසාර හිමි ප්‍රකාශ කළේය.

එසේම වහබි සහ සලාබි මතවාදවලින් මුස්ලිම් සමාජය ආක්‍රමණය වෙමින් පවතින අතර මේ හේතුවෙන් භික්ෂුන් වහන්සේලාගෙන් ඇතැම් අවස්ථාවල උදව් ඉල්ලා සිටියේ මුස්ලිම් සමාජයම බවත් උන් වහන්සේ පැවසීය.

ඒ පිළිබඳව අදහස් පල කිරීමට ඔවුන් බිය වු බවත් ඒ තරමටම එම මතවාද වල බලපෑම දරුණු බවත් උන්වහන්සේ පැවසීය.

2013 අගභාගයේ දී සහරාන් පිළිබඳව තමන් වහන්සේ හෙළි කළ බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට දැනුම් දුන් බවත් උන් වහන්සේ ප්‍රකාශ කරයි.

රට තුළ ගත යුතු ආරක්ෂක නීති පිිිළිබඳව කිසිවෙකුගෙන් විමසිය යුතු නැති බවත් සෘජු තීරණ ගැනීමට පාලකයන්ට හැකියාවක් නැති බවත් ඥානසාර හිමි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

අධි සුඛෝපබෝගී දිවියක් ගතකළ මිනිසුන් දෙවියන් වෙනුවෙන් මරාගෙන මැරීමට පෙළඹී ඇති කළ එමඟින් පහළ සමාජය වෙත ලබාදෙන පණිවුඩය පිළිබඳව සිතා බැලිය යුතු බව උන්වහන්සේ ප්‍රකාශ කරයි.

තමන්ගේ කට වචනයට විරුද්ධ වු පිරිස් ප්‍රහාරය සිදුවීම පිළිබඳ කිසිදු තැකීමක් නැති බවත් ඥානසාර හිමි පැවසීය.

අබ්දුල් රාසික් විසින් මේ වන විට ආරක්ෂක අංශ රැවටීමේ ක්‍රියාවලියක නිරතව ඇති බවත් වැඩිදුරටත් උන් වහන්සේ සඳහන් කර සිටියේය.

ප්‍රහාරය පිළිබඳව කරුණු සඳහන් කරමින් 2013 වසරේදී ඉදිරිපත් කළ සාක්ෂි සහ අදාළ තොරතුරු තමන් ළඟ පවතින තමා මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවා දැනුවත් කළ බවත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේය.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

පාස්කු ප්‍රහාරයට පෙර සහරාන් මැදිවූ ගැටුමක් මාධ්‍යයට

(24.05.2019 – 18:57 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා සහ අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් යන අයට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බව සිංහලේ අපි ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවල චන්දරතන හිමියන් පවසයි.

අද (24) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

එහිදී උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ පාස්කු ප්‍රහාරයට පෙර මොහොමඩ් සහරාන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳ කාත්තන්කුඩි පොලිසියේ ස්ථානාධිපතිවරයාට සහ නැගෙනහිර පළාත් හිටපු මහඇමතිවරයාට එරෙහිව ද පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි.

2017 කාත්තන්කුඩි ප්‍රදේශයේදී සිදු කළ පහරදීමක දර්ශන කිහිපයක් පූජ්‍ය ජඹුරේවල චන්දරතන හිමියන් විසින් මාධ්‍ය වෙත මෙහිදී ප්‍රදර්ශනය කර තිබේ.

2017 කාත්තන්කුඩි ප්‍රදේශයේදී කළ පහරදීම පසු අත්අඩංගුවේ පසුවූ සහරාන්ව නිදහස් කරගන්නේ එවකට නැගෙනහිර පළාතේ මහඇමතිවරයා බව උන්වහන්සේ පෙන්වා දෙයි.

එවකට පොලිස් ස්ථානාධිපති ආරියබන්දු වෙලගෙදර මහතා විසින් අදාළ ගැටුම පිළිබඳව විමර්ශන කරගෙන යන අවස්ථාවේදී ස්ථානාධිපතිවරයා මාරුකර යැවූ බව උන්වහන්සේ සඳහන් කළේය.

පසුව වෙනත් අයෙක් ස්ථානාධිපතිධුරයට පත් කළ බවත් අදාළ ස්ථානාධිපතිවරයා පොලිසියේ වැඩභාර ගනිද්දි සහරාන්ට විරුද්ධව නඩු දෙකකට සම්බන්ධ වරෙන්තු ලබාගෙන තිබෙනවා පොලීසිය මගින් නමුත් සහරාන් අත්අඩංගුවට නොගෙන ඇති බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.

මේ හේතුවෙන් එවකට සිටි පොලිස් ස්ථානාධිපතිවරයා සහ හිටපු මහඇමතිවරයා ගැන වහාම පරීක්ෂණයක් සිදුකළ යුතු බව සිංහලේ අපි ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය ජඹුරේවල චන්දරතන හිමියන් පවසයි.

+++++++++++++++++++++++++++++++++++

ප්‍රහාරයෙන් පසු පීඩාවට පත් පාර්ශව සඳහා සහන ලබා දෙන්න – මහින්ද රාජපක්ෂ

(24.05.2019 – 19:44 +0530 – sinhala.adaderana.lk)

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ආර්ථික වශයෙන් පීඩාවට පත් පාර්ශ්වවලට සහන ලබා දෙන ලෙස ඉල්ලමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (24) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශයක් සිදු කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

‘‘ගම්මිරිස්, කරුංකා අපනයන අඩපණ වීම නිසා ලක්ෂ 20 ක් පමණ අපහසුතාවට පත් වෙලා.

‍සංචාරක කර්මාන්තය අඩපණ වෙලා. හෝටල් වසා දමා සේවකයින් නිවාඩු යවලා. අවලංගු වූ ගුවන් ගමන් ගණන තුන්සීයකට අධිකයි.

වෙසක් තොරණ ඉදිරිපත් කරන්න සිටි පිරිසට ඒවා ප්‍රදර්ශනය කරන්න බැරි වුණා. ඔවුන් බරපතළ අර්බුදයකට මුහුණ පා සිටිනවා.

මූල්‍ය සමාගම්වලින් ලබාගත් ණය සඳහා සහනදායි වැඩපිළිවෙළක් සකස් කරන්න. ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග ගැන සභාවට කියන්න.

පාරවල් වහගෙන ඉන්නවා කියලා චෝදනා කළා. මම විතරක් නෙමෙයි ඒ පාරේ ඉන්නේ. චම්පික තාප්ප ගහලා අලුතින්. පලස්තීන තානාපති කාර්යාලය තියෙනවා.

මේවගේ තත්ත්වයකදී අපේ සහායත් අරගන්න උත්සාහ කරනවා හැර අපිට චෝදනා කරන්න හදනවා නම් ඒක වැරදි ක්‍රියාවක්.’’

+++++++++++++++++++++++++++++++++++

24.05.2019

+++++++++++++++++++++++++++++++++++

ප්‍රහාරය ගැන හොයන විශේෂ තේරීම් කාරක සභාව බදියුදීන්ට සුදුහුණු ගාන්න පත්කරපු එකක්

(24.05.2019 – 19:17 +0530 – sinhala.adaderana.lk)

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා බේරාගැනිමේ අරමුණෙන් පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව ක්‍රියාත්මක වන බව, කාවින්ද ජයවර්ධන මන්ත්‍රිවරයා එම කාරක සභාවෙන් ඉවත් විම තුළින් පැහැදිළි වන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

අද (24) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙහාන් සේමසිංහ මහතා මේ බව පැවසීය.

‘‘කථානායකවරයා මොන ස්ථාවර නියෝග යටතේද විශ්වාසභංග යෝජනාවක් තේරීම් කාරක සභාවට යොමුකළේ කියලා අපි ප්‍රශ්න කරනවා.

ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කරපු තේරිම් කාරකසභාවකට වඩා මේක රිෂාඩ් බදියුදීන්ට සුදුහුණු ගාන්න පත්කරපු එකක්. මේ වෙද්දි රජයේ පැත්තෙන් අට දෙනෙක් නම් කරලා.

සුමන්දිරම් ඇතුලු මේ අට දෙනාගේ සංයුතිය බැලුවාම කාවින්ද ජයවර්ධන හා සරත් ෆොන්සේකා ඇරෙන්න ආනෙක් සියලු දෙනාම මුනිවත රැක්කා.

ඒ කියන්නේ මොවුන් පුර්ව නිගමනයකට ආවා රිෂාඞ් බදියුදින් මෙයට සමබන්ධ නැති බවට. කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා කතෝලික ජනතාව නියෝජනය කරමින් මේ අසාධාරණ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පෙනී හිටියිද නැත්නම් ඔහුට තියෙන කතෝලික ඡන්ද ප්‍රමාණය ගැන හිතලා මේ කමිටුවට පත්කළාද කියන්න බැහැ.’’

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

ශ්‍රි ලංකාවට අමෙරිකානු යුද මැදිහත් වීමක් ?

(24.05.2019 – 18:00 +0530 – sinhala.adaderana.lk)

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ශ්‍රි ලංකාවට අමෙරිකානු යුද මැදිහත් වීමක් සිදු වෙමින් පවතින බව වමේ දේශපාලන නියෝජිතයින් පවසයි.

ඔවුන් මේ බව කියා සිටියේ ‘ගෝලීය ත්‍රස්තවාදය සහ අප කළ යුතු දේ’ යන මැයෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සංවිධාන කළ සම්මන්ත්‍රණයකදීය.

එමෙන්ම සෞදියේ කුමාරවරුන්ට ත්‍රස්තවාදී කණ්ඩායම් භාරදී ඇති බව පෙන්වා දෙන ඩීව් ගුණසේකර මහතා එම කුමාරවරුන් එම ත්‍රස්තවාදී කණ්ඩායම් උවමනා වෙලාවට වාසියට පාවිච්චි කරන බව සඳහන් කළේය.

ත්‍රස්තවාදී කණ්ඩායම් ගැන හොඳින්ම දන්නා රට අමෙරිකාව බවත් අමෙරිකාවට වඩා ටිකක් අඩුවෙන් සෞදිය දන්න බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ප්‍රධාන ලේකම් ඩීව් ගුණසේකර මහතා පැවසීය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *