ඇමති බදියුදීන් වත්කම් උපයාගෙන ඇති ආකාරය ගැන පොහොට්ටුවෙන් අනාවරණයක්

(26.05.2019 – 21:17 +0530 – hirunews.lk/sinhala)

විවිධ අකටයුතුකම් සිදුකරමින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා අද වන විට රුපියල් බිලියන ගණනක වත්කම් උපයා ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් පවසනවා.

බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔවුන් මේ බව සදහන් කළා.

+++++++++++++++++++++++++++++++++++

නිදහසින් පසු ඥානසාර හිමි මහනුවරට

(26.05.2019 – 20:37 +0530 – hirunews.lk/sinhala)

තමා කෙරෙහි තරුණ පරපුරෙහි පැවති විශ්වාසය රැක ගැනීම වෙනුවෙන් යළිත් සක්‍රීයව කටයුතු කිරීමට තීරණය කළ බව පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සදහන් කළේ මහනුවරදි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (26) මහනුවරට වැඩම කර තිබුණේ මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබාගැනීම සදහායි.

මහනුවර දළදා මාලිගාවට පැමිණ දළදා සමිදුන් වැද පුදා ගැනීමෙන් අනතුරුව පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එහිදි කෙටි අනුශාසනාවක් ද සිදුකළා.

+++++++++++++++++++++++++++++++++++

ශ්‍රී ලංකාවේ සිට IS ත්‍රස්තයින් රැගත් යාත්‍රාවක් ඉන්දියාව යන බවට තොරතුරක්

(26.05.2019 – 19:30 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ සිට අයි.එස්. ත්‍රස්තවාදීන් 15 දෙනෙකු රැගත් යාත්‍රාවක් ඉන්දීය සාගරයේ ලක්ෂද්වීප් දිවයින් වෙත ගමන් කරන බවට ලැබුණු තොරතුරක් මත කේරළ වෙරළේ ආරක්ෂාව තර කර ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.

ඉන්දීය පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග උපුටා දක්වමින් පී.ටී.අයි. ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් වෙරළාසන්න පොලිස් ස්ථාන සහ වෙරළබඩ පොලිස් කොට්ඨාශ ප්‍රධානියාද දැනුවත් කර ඇති බවයි.

මෙවැනි තොරතුරු විටින් විට ලැබුණු නමුදු සැකකටයුතු පුද්ගලයන් නිශ්චිත සංඛ්‍යාවක් පැමිණෙන බව දැනගන්නට හැකිවීම විශේෂත්වයක් බවයි ඉන්දීය ප්‍රවෘත්ති සේවය වැඩිදුරටත් කියා සිටියේ.

පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ධීවර සහ අනෙකුත් යාත්‍රාවලට මුහුුදේ සැකකටයුතු ක්‍රියාකාරකම් පිළිබඳව අවධානයෙන් සිටින්නැයි ඉන්දීය බලධාරීන් දැනුම්දීමක් කර ඇති බවද සඳහන්.

කෙසේ වෙතත්, නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර සඳහන් කළේ මෙරට සිට ඉන්දියාව බලා අයි.එස්. ත්‍රස්තවාදීන් පිටත්ව ගොස් ඇති බවට තොරතුරු ලැබී නොමැති බවයි.

මේ අතර, දිවයිනේ දිස්ත්‍රික්ක 6 ක් කේන්ද්‍ර කර ගනිමින් පොලිසිය හා ත්‍රිවිද හමුදාව එක්ව අද (26) දිනයේ ද සෝදිසි මෙහෙයුම් සිදුකෙරුණා.

බොරැල්ල, වනාතමුල්ල, සර්පන්ටයින් නිවාස සංකීර්ණයේ නිවාස යුද හමුදාව පූර්ණ පරීක්ෂාවකට ලක් කළ ද එහි තිබී සැක කටයුතු කිසිවක් හමුවූයේ නැහැ.

එමෙන්ම මඩාටුගම ඉස්ලාම් දේවස්ථානයක තිබී ටී.එන්.ටී. වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය සහ සඟවා තිබූ ඉලෙක්ට්‍රොනික ඩෙටනේටරයක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් වුණා.

මෙහිදී පුද්ගලයින් දෙදෙනෙකු සැක පිට අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉස්ලාම් දේවස්ථානයට මුද්‍රා තබා තිබෙනවා.

ඊට අමතරව නාරාහේන්පිට – දාබරේ මාවතේ නිවාස කිහිපයක සිදුකළ සෝදිසියකදී පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 15 ක්, පරිඝනක, නීතිවිරෝධී රසායනික ද්‍රව්‍ය, යුද හමුදා හිස් වැසුම් 4 ක්, සන්නිවේදන උපකරණ තොගයක් සහ නිවෙස්වල භාවිතා නොකරන පිහි 10 ක් සොයාගෙන තිබුණා.

මීගමුව – පෝරුතොට ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සත්ත්ව ගොවිපළක 30 දෙනෙකුට ආසන්න දරුවන් නේවාසිකව නවාතැන්ගෙන අධ්‍යාපනය ලබා ඇති බව පරීක්ෂණවලදී අනාවරණ වූ බවයි කමාන්ඩෝ බලකායේ අණදෙන නිලධාරී කර්නල් ශාමාල් සිල්වා සඳහන් කළේ.

එමෙන්ම, ගම්පහ, කළුතර, පුත්තලම, කුරුණෑගල යන දිස්ත්‍රික්කවල නිවාස, වෙළඳසැල් සහ සැක කටයුතු ස්ථාන රැසක් යුද හමුදා නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්වූ අතර එහිදී ව්‍යාජ අංක තහඩු දෙකක් සහ කිනිසි දෙකක් හමුවී තිබෙනවා.

වැලිපැන්න ප්‍රදේශයේ ඉදිකරමින් පැවති නිවසක තිබූ භූ ගත කාමරයක් පොලිස් පරීක්ෂාවට ලක් කෙරුණා.

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් කොළඹ ඊයේ (25) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඉස්ලාම් දේවස්ථාන පරීක්ෂා කරන්නේ නම් ඒ සඳහා පොලිස්පතිවරයාගේ විශේෂ අවසරයක් අවශ්‍ය බවයි.

+++++++++++++++++++++++++++++++++++

පුරාවිද්‍යා භූමියක් ලෙස සැලකෙන ස්ථානයක අරාබි පාසලක්

(25.05.2019 – itnnews.lk)

අනුරාධපුර අසිරිගම ප්‍රදේශයේ පුරාවිද්‍යා භූමියක් ලෙස සැලකෙන ස්ථානයක පවත්වාගෙන ගිය අරාබි පාසලක් පිළිබද තොරතුරු හෙළිවී තිබෙනවා.

යුද හමුදාව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම පාසල පිලිබද තොරතුරු හෙළිවුණා. එම භූමියේ තිබූ විනාශ කළ ඉපැරණි චෛත්‍යයක කොටස් ද හමුවී තිබෙනවා. මෙම ආරාබි පාසලේ සිසුන් හත් දෙනෙකු අධ්‍යාපනය ලබන බවයි පරික්ෂණවලදී හෙළිවී ඇත්තේ. මෙම භූමිය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පුරා විද්‍යා නිලධාරීන් පරික්ෂණ ආරම්භ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එම විද්‍යාලයේ මව්ලවිවරයා හා ගුරුවරුන් වැඩිදුර පරික්ෂණ සදහා පරසන්ගස්වැව පොලිසියට භාර දීමට යුද හමුදාව කටයුතු කළා.

***************************************

හම්බන්තොට ඉඩමක් ඊශ්‍රායල් සමාගමකට.. කැබිනට් අනුමැතියෙන් දෙයි…

(26.05.2019 – colombotoday.com)

හම්බන්තොට, රන්මිණිතැන්න ප්‍රදේශයේ ඉඩම් ඊශ්‍රායලයේ කොකෝවා සමාගමක ව්‍යාපෘතියක් සඳහා පවරා දීමට ඇමති මණ්ඩලය පසුගිය 21 වැනිදා අනුමැතිය ලබා දී ඇත.

ගෝලීය කොකෝවා නිෂ්පාදන සමාගමක් ලෙස හඳුන්වා තිබෙන ඊශ්‍රායලයේ බින් සහ සමාගමේ ව්‍යාපෘතියක් ලෙස එම වගා ව්‍යාපෘතිය දියත් කිරීමට නියමිතය. ඒ වෙනුවෙන් මේ රටේ වෝල්ස්ටා කෝප් සමාගම යොදා ගන්නා බව අදාළ කැබිනට් නිරේදේශයෙන් දක්වා ඇත.

යෝජිත ව්‍යාපෘතිය සඳහා මෙයට පෙර ඇමති මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති අතර, ව්‍යාපෘතිය පිළිබඳ ශක්‍යතා ඇගයීම් වාර්තා සකස් කිරීමේ ප්‍රමාදයක් පැවතී ඇති බව කියැවේ. එම නිසා ශක්‍යතා අධ්‍යායන වාර්තාව සකස් කිරීමට මාස හයක පමණ කාලයක් ලබා දී තිබේ. මෙයට අදාළ අමාත්‍ය මණ්ඩල යෝජනාව වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ඇමතිවරයා විසින් ඉදිරිපත් කර ඇත.

මේ වනවිට හම්බන්තොට වරාය ආශ්‍රිතව අක්කර 15,000 ක් චීන සමාගමකට අවුරුදු 99 ක් සඳහා බදු දී තිබේ. එයින් ඇති වී තිබෙන සමාජීය හා පාරිසරික මෙන්ම භූගෝලීය ජාත්‍යන්තර දේශපාලනික ගැටීම්වලට මුලපිරී තිබේ. එවැනි තත්වයක් ඇති වී තිබෙන තත්වයක් තුළ එම දිස්ත්‍රික්කයේම ඊශ්‍රායල් සමාගමකට ද ඉඩම් දීමේ අනුමැතිය ලබාදීමෙන් අතිශය බරපතල ගැටලු රැසක් රට තුළ මෙන්ම ජාත්‍යාන්තර දේශපාලනයේදීද ලංකාව කේන්ද්‍රගතව නිර්මාණය වීමේ අනතුරක් පවතී ෴

***************************************

විල්පත්තු මායිමේ රක්ෂිතයක් මුස්ලිම් මවුලවි කෙනෙක් සිකුරාදා මහ රෑ එලි කරලා… ඩෝසරයකින් අක්කර දෙකක ගෙවල් හදන්න ගෙපල් තිහක් රෑම කපලා…

(26.05.2019 – aruna.lk)

විල්පත්තුවට මායිම් වූ කල්ලාරු රක්ෂිතයට සිකුරාදා (24) මහරෑ ඩෝසරයක් රැගෙන ඇතුළු වී ඇති මුස්ලිම් මවුලවි කෙනෙකු ඇතුළු කණ්ඩායමක් රක්ෂිතය ඩෝසර් කර නිවාස තිහක් පමණ සෑදීමට හොර රහසේ ගෙපල් කපා ඇතැයි ආරක්ෂක අංශ සෙනසුරාදා (25) සොයාගෙන ඇත.

ආරක්ෂක අංශ මෙම ප්‍රදේශයට යනවිටත් මෙම කණ්ඩායම් රක්ෂිත කැලයේ අක්කර දෙකකට වඩා ඩෝසරයකින් කපා ගෙවල් තිහක් පමණ කපා පිටත්ව ගොස් ඇත.

කල්ලාරු පාලම පසුකර විල්පත්තු දෙසට පැමි‌ණෙද්දී විල්පත්තු වලට මීටර් 400 ක් පමණ දකුණට වන්නට වූ රක්ෂිතයක් මෙසේ ඩෝසර් කර ඇත. සිලාවතුරේ ප්‍රදේශයේ මවුලවි කෙනෙක් මේ සදහා පැමිණ ඇතැයි හෙළිවී ඇත.

– තිස්ස රවින්ද්‍ර පෙරේරා

***************************************

WhatsApp වෙතින් පරිශීලකයන්ට අනතුරු ඇගවීමක්…

(27.05.2019 – 08:02 +0530 – lankacnews.com)

ශ්‍රී ලංකා පරිවර්තන සමූහය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි :

WhatsApp පරිශීලකයන්ට අනතුරු ඇගවීමක්! තෙවන පාර්ශවයක් විසින් නවීකරණය කරනලද වට්සැප් යෙදුම් භාවිතා කරන්නන්ගේ ගිණුම් අවලංගු කිරීමට පියවර

ෆේස්බුක් සමාගම විසින් නිල වට්සැප් යෙදුමට පරිභාහිරව එය තෙවන පාර්ශවයක් විසින් නවීකරණයට ලක් කොට විවිධ වූ නව නාමයන් හරහා භාවිතා කරන සියලුම පරිශීලකයන්ගේ ගිණුම් හා ඔවුන්ගේ පැරණි සංවාද සියල්ලම ඉවත්කිරීමට කටයුතු කරයි.

මේ නිසා GB WhatsApp, Yo WhatsApp, FM WhatsApp ආදී විවිධ වූ නාමයන් හරහා තිබෙන්නා වූ තෙවන පාර්ශවයක් මගින් නවීකරණය කරන ලද වට්සැප් යෙදුම් මගින් භාවිතයට ලක්වන පරිශීලක දුරකථන අංක හදුනාගෙන එම දුරකථන අංක වට්සැප් ජාලය තුල තාවකාලිකව නැවත භාවිතයට ගත නොහැකි වන සේ හා එම පරිශීලකයන්ගේ පැරණි සංවාද සියල්ලන්ගේම පිටපත්ද ඉවත් කිරීමට ෆේස්බුක් සමාගම තීරණය කොට අැත.

නිල වට්සැප් යෙදුමෙහි භාවිතා කිරීමට හැකියාව තිබෙන්නේ එක් පරිශීලක ගිණුමක් වන අතර මේ නිසා දුරකථන අංක කිහිපයක් එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන බොහෝ වට්සැප් පරිශීලකයන් මෙලෙස විශාල වශයෙන් තෙවන පාර්ශවයක් විසින් නවීකරණය කරනලද වට්සැප් යෙදුම් භාවිතය සදහා යොමුවී තිබෙන අතර මෙසේ තෙවන පාර්ශවයක් මගින් නවීකරණය කරන ලද වට්සැප් යෙදුම් භාවිතා කරන පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත පිලිබදව ඇතිවිය හැකි ආරක්ෂක හේතූන් මත ෆේස්බුක් ආයතනයට එම පරිශීලකයන්ගේ දත්ත පිළිබද වගකීමක් දැරීමට නොහැකි නිසා මෙසේ පියවර ගැනීමට සිදුකරනු ලබන බව වට්සැප් සමාගමෙහි නියෝජිතයෙක් ශ්‍රී ලංකා පරිවර්තන සමූහය හා සම්බන්ධවී අප සමුහය දැනුවත් කරනු ලැබුනි.

වට්සැප් සමාගමෙහි නියෝජියා අප ශ්‍රී ලංකා පරිවර්තන සමුහය වෙත සදහන් කල ආකාරයට තෙවන පාර්ශවයක් මගින් නවීකරණය කොට තිබෙන ව්ට්සැප් යෙදුම් භාවිතා කරන පරිශීලකයන් තම ගිණුම් අවලංගු නොවී පවත්වාගෙන යාමට සිදුකළ යුතුදේ වට්සැප් වෙබ් අඩවියෙහි FCQ (නිතර අසන පැන) පිටුවෙහි දක්වා ඇති බව සදහන් කරයි.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

***************************************

‘මුස්ලිම් පල්ලියට ඌරෝ අරන්‍ යන්නෙ නෑ..’ විමල් වීරවංශ සමග ඉරාජ් වීඩියෝව යූ ටියුබය හොල්ලමින් උඩට…

(26.05.2019 – 10:12 +0530 – lankacnews.com)

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් එහි වීඩියෝව යූ ටියුබය වෙත මුදා හැර ඇත.

දිනක් ගතවන්නටත් පෙර යූ ටියුබය තුල එම වීඩියෝව ඉහළ ප්‍රතිචාර ලබමින් තිබේ.

මෑතකාලීනව මෙරට තුළ ඇතිව තිබෙන අන්තවාදී ත්‍රස්තවාදය, යහපාලනය, සහජීවනය, 2015 කැන්දූ වෙනස ආදී ක්ෂේත්‍ර ගණනාවක් පුරා මෙම සාකච්ඡාව විහිදී යයි.

https://www.youtube.com/watch?v=8LO9YOcz3eY

***************************************

12,000 වැඩකට ලක්ෂ 34 ක්.. 30,000 වැඩකට ලක්‍ෂ 72 ක් මුදල් වෙන් කරගෙන..

(27.05.2019 – 08:40 +0530 – lankacnews.com)

දකුණූ පළාත් සභා අධ්‍යාපන අමාත්‍යාංශයේ මුදල් අවභාවිතය නහුතෙට වැඩිවෙලා. බද්දේගම පාසලක රුපියල් දොලොස් දහසකින් (12,000/-) කරන්න පුලුවන් ජල ව්‍යාපාතියකට ලක්ෂ 34 ක් වෙන්කර ගෙන. බොපේ පෝද්දල කසල අංගනයක පීලි දාන්න රුපියල් ලක්ෂ 72 ක් වෙන්කරගෙන. ඒකට වියදම් වුණේ රුපියල් 30,000/- යි. මේ වැඩ දෙකටම රුපියල් ලක්ෂ 106 ක් වෙන්කර ගෙන තිබුණා. නමුත් වැඩ දෙකටම වියදම් වුණේ රුපියල් 42,000/- ක් පමණක් බව පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය.

ගාල්ල ආණ්ඩුකාර කාර්යාලයේ දී අභ්‍යන්තර විගණන නිලධාරින් 35 දෙනෙකුට පත්වීම් භාර දීම සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ කීර්ති තෙන්නකෝන් මහතා මෙසේ ද කීය :

දකුණු පළාත් සභාව පසුගිය කාල වල බොහෝ ව්‍යාපෘති තුළ විශාල මුදල් අවභාවිතයක් සිදුකර තිබෙනවා. නව පත්වීම් ලබාදුන් අභ්‍යන්තර විගණන නිලධාරින්ට කොන්ද පන ඇතිව, හරි දේ හරියට කරන්න යැයි මම උපදෙස් දුන්නා. මේ රාජකාරිය හරි දුෂ්කරයි. මේ රාජකාරිය හරියට ඉටු කලොත් ගොඩක් දුෂිත වංචනික නිලධාරින් ඔවුන් සමග විරසක වේවි. නමුත් මහජන මුදල් ගසා කෑමේ වැඩ විශාල ලෙස අඩු වේවි. මහජන මුදල් ඉතිරි කරන්න ඒ තුළින් අවස්ථාව ලැබෙනවා.

මා ඔවුන්ට උදාහරණ දෙකක් විතරක් මෙහිදී පෙන්වා දුන්නා. බද්දේගම පාසලක පානිය ජල ව්‍යාපාතියකට යැයි කියා දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය රුපියල් ලක්ෂ 34/- ක මුදල් ප්‍රතිපාදන වෙන් කරල තිබුණා. ඒක ගැන මං සොයා බැලුවා. විදුහල්පති තුමා එක්ක කතා කරල මගේ ඉංජිනේරුවන් යොදවල මේ කටයුත්ත සතියක් තුළ නියම ප්‍රමිතියට වැඩ අවසන් කරන්න ගියේ රුපියල් 12,000/- යි. ඒ පාසලේ විදුහල්පතිතුමා ඒ මුදල් යොදවන්නම් කියල අපට කිවුවා.

බෝපෙ පෝද්දල කසල අංගනය ප්‍රතිසංස්කරණ කටයුතු වලට කියල එහි පීලි වගයක් දාන්න රුපියල් ලක්ෂ 72 ක් වෙන් කරගෙන තිබුණා. මට ලැබුණූ තොරතුරු අනුව මම සොයා බලල ඉංජිනේරුවන් යොදවා අලුතින් ඇස්තමේන්තු කරල ඒ වැඩේ නියම විදියට ඉටු කරන්න වියදම් වුනේ රුපියල් 30,000/- යි මම උදාහරණ විදියට පෙන්නපු මේ වැඩ දෙකටම ගිය වියදම රු 42,000/- යි. දකුණු පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පළාත් පාලන අංශයෙන් වෙන් කරගෙන තිබුණු මුදල ලක්ෂ 106 ක්. බලන්න දහස් ගණනින් වැය වන වැඩ වලට ලක්ෂ ගණනින් මුදල් වෙන් කරගෙන ලක්ෂ ගණනින් කරන්න පුඑවන් ව්‍යාපෘති සදහා කෝටි ගණන් වෙන් කරගෙන තිබෙනවාද කියලා ඉදිරියේද දී මා සොයා බලනවා.

අන්න ඒ වගේ දේවල් ගැන විගනන නිලධාරීන්ට හොදින් අවධානය යොමු කරන්න යැයි පැහැදිලි කළා. පළාත් අභ්‍යන්තර විගණන අංශ දැනුමින් සන්නද්ධ කරන්න ඕන. ඔවුන්ට පත්විම් ලබා දුන්නත් ඉදිරියේ දී මා අභ්‍යන්තර විගණන නිලධාරින් හා අල්ලස් කොමිසම සමඟ ඒකාබද්ධව ක්ෂත්‍රයේදී වඩා වැදගත් වන ඔබේ දැනුම වර්ධනය කරන වැඩ මුඑ පවත්වන්න මා කටයුතු කරන බවත් ප්‍රකාශ කළා.

දැනුමින් සන්නද්ධ අභ්‍යන්තර විගනන නිලධාරින් ලෙස ඔවුන්ට නිසි සේවයක් එවිට ඉටු කරන්න පුලුවන් වේවි. සමාජයේ ගෞරවය ලැබෙන පරිදි වඩා හොද සේවයක් කරන්න ඔවුන්ට අවශ්‍ය ශක්තිය හැකියාව ලැබේවායි සුභ පැතූ බවද තෙන්නකෝන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

– ජයකාන්ත ලියනගේ

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • මේ අපිට දැන් කියන්නේ ඊයේද ඔය සල්ලි හම්බ කරගත්තේ. පොදුපෙරමුණු ආණ්ඩුව තියෙන කාලේ ඕනේ උඩ පිනුමක් ගහපන් කියල කට බලියන් ඉදලා දැන් මාධ්‍ය සංදර්ශන කාවද රවට්ටන්න හදන්නේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *