ගමක් හැදීම නවත්වන්න මන්ත්‍රීනියට බලය දුන්නේ කවුද ?

(22.05.2019 – 11:01 +0530 – lankadeepa.lk)

කෝකිලායි සිංහල ගම්මානයේ තාවකාලික පැල්පත්වල අනන්ත දුක් විඳිමින් ජීවත් වන ජනතාව පසුගියදා තම දූ දරුවන් ද කැටුව බෝඞ් අල්ලාගෙන විරෝධතාවක යෙදී සිටියහ. ඊට හේතුව වූයේ ටකරං හෝ ලෑලි තහඩු කිහිපයක් එහෙන් මෙහෙන් අටවාගෙන තමන් මෙතෙක් ජීවත් වූ තාවකාලික පැල්පත් වෙනුවට ඉදිකිරීමට යෝජිත නිවාස ව්‍යාපෘතිය දේශපාලන බලපෑමක් හේතුවෙන් නතර කර දැමීමය. විරෝධතාවට එක්ව සිටි ගම්මුන් අපගේ ලංකාදීප පුවත්පතේ වාර්තාකරුවන්ට කියා තිබූ පරිදි මේ ව්‍යාපෘතිය නවතා ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කය නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක විසිනි.

කෝකිලායි ගම්මානයේ සිංහල ජනතාව වෙනුවෙන් නිවාස 62ක් ඉදිකිරීමට යෝජිතව තිබුණේ “සැමට සෙවණ” යෝජිත උදාගම්මාන වැඩසටහන යටතේය. ඒ සඳහා රජයේ මුදල් වැය කිරීමට නියමිත විය. එහෙත් මුලතිව් දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මන්ත්‍රීවරිය මේ වැඩසටහනට හරස් කපා තිබේ. හේතුව වශයෙන් ඇය සඳහන් කර ඇත්තේ දෙමළ ජනතාවගේ ඉඩම් තුළ සිංහල ජනතාව සඳහා නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කරන බවට පැමිණිලි ලැබී ඇති බවකි. මේ බව සඳහන් කරමින් මන්ත්‍රීවරිය තවත් පිරිසක් ද සමඟ පැමිණ මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය ලේකම් වෙත පැමිණිලි කර ඇති බවත් ඒ හේතුවෙන් නිවාස ව්‍යාපෘතිය නවතා ඇති බවත් පවසන කෝකිලායි ධීවර සමිතියේ සභාපතිවරයා තමන් නිවාස ඉදිකිරීමට සූදානම් වූයේ තමන්ගේම ඉඩම් තුළ බවද ප්‍රකාශ කර තිබිණි. යුද්ධ කාලයට පෙර සිටම මේ ඉඩම් සඳහා තමන් වරිපනම් ගෙවා ඇති බවට සාක්ෂි තමන් සතු බවද ඔහු කියා තිබිණි. එසේ නම් මේ ව්‍යාපෘතිය නැවැත්වීමට තරම් බලයක් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරියට ලැබුණේ කෙසේදැයි වහාම විමසිය යුතුය. ගමක් ඉදිකිරීම නවතා දැමීමට තරම් හයියක් මන්ත්‍රීවරියට ලබාදුන්නේ කවුදැයි සෙවිය යුතුය.

මුලතිව් දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවට අයිති දිස්ත්‍රික්කයක් මිස වෙනත් රටකට අයිති බිම් කොටසක් නොවේ. එකී ප්‍රදේශ වලට ක්‍රියාත්මක ඉඩම් නීතිය වෙනත් දිස්ත්‍රික්කයක ඉඩම් නීතියෙන් වෙනස් වීමට හැකියාවක් නැත. මේ බව ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මන්ත්‍රීවරිය නොදැන සිටීමට හේතුවක් නැත. කෝකිලායි ගම්මානයේ දශක ගණනක් තිස්සේ ධීවර රැකියාවේ නියුතුව සිටින ජනතාව රජයෙන් තමන්ට කියා නිවෙසක් ලබාගැනීමට අයිතිවාසිකමක් නැතිදැයි මේ මන්ත්‍රීවරියගෙන් විමසීමට අපි කැමැත්තෙමු. මේ අහිංසක මිනිසුන් ජීවත් වන පැල්පත් සමූහය දකින විට අපට හැඟෙන්නේ ඔවුන්ට ලැබෙන්න යන නිවාස ව්‍යාපෘතිය නවතා දැමීම යට ඇත්තේ කෲර දේශපාලන අරමුණක් පමණක් බවය. මේ ඉඩම්වල අයිතිය එහි ජීවත් වූ ජනතාවට නැති බවට වැරැදි ප්‍රචාර සිදුකොට ව්‍යාපෘතිය නවතා දමනු වෙනුවට තමන්ට ලැබුණු එම තොරතුරු පිළිබඳ ඇත්ත නැත්ත සොයා බලා වඩාත් විනිවිද භාවයකින් යුතුව කටයුතු කිරීමට අදාළ මන්ත්‍රීවරියට හොඳින්ම හැකියාව තිබිණි. එහෙත් ඒ වෙනුවට ඇය තෝරාගෙන ඇත්තේ මන්ත්‍රීවරියක වශයෙන් තමන් සතු බලතල පාවිච්චි කොට ව්‍යාපෘතිය නවතා දැමීමට කටයුතු කිරීමය. එය ඕනෑම මෝඩයකුට කළ හැකි විචාර බුද්ධියකින් තොරව ගත හැකි ක්‍රියාමාර්ගයක් බව පෙන්වා දීමට කැමැත්තෙමු.

මුහුදුබඩපත්තුව ප්‍රාදේශීය ලේකම්වරයා ද මෙහිදී මන්ත්‍රීවරියගේ බලපෑමට සම්පූර්ණයෙන් යටත් වී ඇති බවක් පෙනී යයි. වගකීමක් ඇති නිලධාරියකු එසේ හැසිරිය යුතු නැත. මන්ත්‍රීවරුන් ගහන ගහන පදයට නටන්න සූදානම්ව සිටින නිලධාරීන් අතින් කවදාවත් රටට අවශ්‍ය සේවය ඉටුවන්නේ නැත. එවැනි නිලධාරීන් තීන්දු තීරණ ගන්නේ දේශපාලන බලය අතැතිව සිටින පුද්ගලයන්ගේ මනදොළ සපුරා දීමට මිස තමන්ගේ ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රශ්න විසඳා දීමට නොවේ. කොළඹ වුවත් මුලතිව් වුවත් මොන දිස්ත්‍රික්කයක වුවත් ඕනෑම නිලධාරියකුට එය අදාළය.

නිවාස ඉදිකිරීමට යෝජිත වූ ප්‍රදේශය දෙමළ ජනතාවගේ ඉඩම් බවට මේ මන්ත්‍රීවරිය ප්‍රකාශ කළේ ඒ බව සනාථ කිරීමට අවශ්‍ය ලියකියවිලි සහිතව ද යන්න පැහැදිලි නැත. ගම් බිම් නොමැතිව අසරණ වූ දෙමළ පවුල් සිටී නම් ඒ පිළිබඳව ද සොයා බලා ඔවුන්ට ඉඩම් හෝ නිවාස ලබා දිය යුතුය. ඊට කිසිවකුත් විරුද්ධ නොවනු ඇත. එහෙත් යෝජිත නිවාස ව්‍යාපෘතියක් අත්හැර දමා ජනතාව අසරණ තත්ත්වයට ඇද දැමීමට සිදුවන සේ කටයුතු කිරීම මන්ත්‍රීවරියකට තරම් නොවන බව පෙන්වා දිය යුතුය.

මේ ආකාරයට අසාධාරණ අන්දමින් කටයුතු කිරීම ජාතික සංහිඳියාව පිළිබඳ විශ්වාසයක් රට තුළ ගොඩනැංවීමට ගෙන යන වැඩපිළිවෙළට ද බාධාවකි. පසුගිය දිනවලදී රට තුළ ඇති වූ තත්ත්වයත් සමඟ ඇති වූ නොසන්සුන් වූ තත්ත්වයක් පවතින පසුබිමක මෙවැනි ක්‍රියා සිදුවීම රටේ යහපැවැත්මට කිසිසේත් රුකුලක් නොවන බව මේ මන්ත්‍රීවරියට පෙන්වා දීමට කැමැත්තෙමු. මහජන මන්ත්‍රීවරියක යනු වගකීම් පිළිබඳව සැබෑ අවබෝධයකින් යුතුව කටයුතු කළ යුතු පුද්ගලයකු මිස ජාතිවාදී අදහස් අනුව පමණක් කටයුතු කළ යුතු අයකු නොවේ.

අප්‍රේල් 21 වැනිදා පාස්කු ප්‍රහාරයෙන් පසුව අපේ රට බරපතළ ජාතික සහ ජාත්‍යන්තර ආරක්ෂක අර්බුදයකට මුහුණ දී සිටී. කෝකිලායි වැනි සිදුවීම් එම අර්බුදය විසඳීමට නොව එය තවත් සංකීර්ණ කිරීමට හේතුවන බව ස්කන්ධරාජා මන්ත්‍රීවරියට පෙන්වා දීමට කැමැත්තෙමු ෴

***************************************

නැගෙනහිර ආණ්ඩුකාරවරයාගේ අත්තනෝමතික ක්‍රියාවට ජනපතිගෙන් තහනමක්

(27.05.2019 – 12:40 +0530 – lankadeepa.lk)

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවර හිස්බුල්ලා මහතාගේ නියෝග මත නැගෙනහිර පළාතේ දමිළ පාසල්වලින් ස්ථානමාරු කර යැවූ සියළු මුස්ලිම් ගුරුවරුන්ගේ ස්ථානමාරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග මත අවලංගු කිරීමට නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මේ පිළිබඳ ලිඛිත නියෝගය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක මන්සූර් මහතා විසින් මාරුවීම් සිදුකළ විදුහල්වල විදුහල්පතිවරුන් වෙත (24)වනදා යොමු කර ඇති අතර මාරුවීම් ලද ගුරුවරුන් පෙර සේවය පාසල්වල රාජකාරී සදහා අනිවාර්යෙන්ම වාර්තා කළයුතු බවටද නියෝග කර ඇත.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා සිය බලතල පදනම් අනිසි ලෙස ක්‍රියාත්මක කරමින් නැගෙනහිර පළාතේ දෙමළ පාසල්වල ඉගැන්වීම් කරන මුස්ලිම් ගුරුවරුන් මුස්ලිම් පාසල් වෙත මාරුකරමින් සිටින බවට හා කාත්තාන්කුඩියේ මුස්ලිම් සිසුන් වෙනුවෙන් වෙනම අධ්‍යාපන කලාපයක් පිහිටුවීමට සැරසෙන බවට මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වියාලේන්ද්‍රන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පැමිණිලි කර තිබිණි.

මේ පිළිබඳ අවධානය යොමුකර ඇති ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරයා දුරකතන මගින් සම්බන්ධ කර ගනිමින් එකී ස්ථාන මාරු වහාම අවලංගු කරන ලෙසට නියෝග කොට තිබිණි.

මේ අනුව නැගෙනහිර පලාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විසින් මෙකී මාරුකිරීම් සියල්ල අවලංගු කර ඇති අතර ඒ පිළිබඳ ලිපි සියළු විදුහල්පතිවරුන් වෙත යවා තිබේ.

ඒ අනුව මාරු වීම් ලද මෙම ගුරුවරුන් පෙර රාජකාරී කළ විදුහල්වල රාජකාරී සඳහා වාර්තා නොකළහොත් වැටුප් රහිත නිවාඩු ලබාදෙන ලෙසටද විදුහලතිවරුන්ට උපදෙස් දී තිබේ.

මේ අතර හිස්බුල්ලා මහතා විසින් මුස්ලිම් පාසල් 30 ක් එක්කරමින් කාත්තාන්කුඩියේ වෙනම මුස්ලිම් අධ්‍යාපන කලාපයක් පිහිටුවීමේ උත්සහායද ව්‍යර්ථ වී ඇතැයි වාර්තා වේ ෴

+++++++++++++++++++++++++++++++++++

බුර්කාව ගලවා සේවයට එන්නැයි කළ ඉල්ලීමක් හේතුවෙන් වෛද්‍යවරියක් සේවයෙන් ඉවත් වෙයි

(27.05.2019 – 12:38 +0530 – lankadeepa.lk)

බුර්කාව පැළඳ හෝමාගම මූලික රෝහලේ සේවයට පැමිණි මුස්ලිම් ජාතික වෛද්‍යවරියකට එම බුර්කාව ගලවා සේවයට පැමිණෙන ලෙස කළ දැනුම්දීමක් හේතුවෙන් ඇය සිය වෛද්‍ය වෘත්තියෙන් ඉවත් වීමට තීරණය කර ඉල්ලා අස්වීමේ ලිපියක් රෝහල් වෛද්‍ය අධිකාරීවරියට යොමු කර ඇතැයි හෝමාගම රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.

අදාල වෛද්‍යවරිය ඉකුත් අප්‍රේල් මාසයෙ අවසන් සතියෙහි දිනක හෝමාගම රෝහලට බුර්කාව පැළඳ සේවයට වාර්තා කර බාහිර ප‍්‍රතිකාර ඒකකයේ රාජකාරියට පැමිණි අවස්ථාවේදී එහි සිටි රෝගීන් එම වෛද්‍යවරියගෙන් ප‍්‍රතිකාර ලබා ගැනීමට අකමැත්ත පල කර ඇති අතර පසුව එම රෝහල් කාර්ය මණ්ඩලයද බුර්කාව පැළඳ රාජකාරී සිදු කිරීම සම්බන්ධයෙන් විරෝධය පල කර ඇති බව එම ප්‍රකාශකයා කීය.

පසුව රෝහල් ප‍්‍රධානීන් විසින් අදාල වෛද්‍යවරියගේ පියා රෝහලට කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කර වෛද්‍යවරිය ඇයගේ පියාට භාර දීමෙන් පසු රෝහලෙන් පිටව ගොස් ඇත.

එම පිටව යාමෙන් පසු වෛද්‍යවරිය කිසිදු දැනුම්දීමකින් තොරව මැයි මස 02 දින දක්වා රාජකාරියට වාර්තා කර නොමැති බවත් මැයි මස 02 දින දුරකථන ඇමතුමක් ලබා දී තමන් අසනීප තත්වයකින් පෙළෙන බව දැනුම් දී ඇත.

පසුව අදාල වෛද්‍යවරිය විසින් සිය වෛද්‍ය වෘත්තීයෙන් ඉල්ලා අස්වීමට කැමැත්තපල කරමින් හෝමාගම රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය ජේ. හෙට්ටිආරච්චි මහතා වෙත ලිපියක් යොමු කර ඇති බව එම ප්‍රකාශකයා කීය.

මේ පිළිබදව අප හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය ජේ.හෙට්ටිආරච්චි මහතාගෙන් සිදු කළ විමසීමකදී ඔහු මෙසේ පැවසීය.

‘‘එවැනි සිදුවීමක් අප රෝහලේ සිදුව තිබෙනවා.එම සිදුවීමෙන් පසු ඇය තවමත් සේවයට වාර්තා කර නැහැ. පසුව ඇයට සිය වෘත්තියෙන් ඉල්ලා අස්වීමට අවශ්‍ය බව පවසා අප වෙත ලිපියක් ලබා දී තිබෙනවා නමුත් තවම ඇයගේ ඉල්ලා අස්වීම පිලි ගත් බවට අප වෙත දන්වා නැහැ’’ ෴

+++++++++++++++++++++++++++++++++++

ආණ්ඩුව සුදු හුණු ගාන බදියුදීන්ගේ පැටිකිරිය මෙන්න… – නීතිඥ කල්‍යානන්ද තිරාණගම (24.05.2019)

+++++++++++++++++++++++++++++++++++

නවීන තියුණු කැපුම් තල 300කට ආසන්න තොගයක් සෙම්බුකුලිය වැවෙන් මතුවෙයි

(28.05.2019 – mawbima.lk)

විදේශ රටක නිෂ්පාදිත අතිශය තියුණු මුවහත් සහිත කැපුම් තල 300කට ආසන්න ප්‍රමාණයක් කැකිරාව, සෙම්බුකුලිය වැවේ සඟවා තිබියදී පෙරේදා (26 දා) පස්වරුවේ ආරක්ෂක අංශ මඟින් සොයා ගැනිණි.

වැවේ ධීවර කටයුතු සඳහා ගිය ධීවරයන් දෙදෙනකුට වැව තුළ සඟවා තිබූ එම කැපුම් තල ඇතුළත් සැකකටයුතු පාර්සලය හමුව තිබූ අතර එම ධීවරයන් ඒ සම්බන්ධයෙන් කැකිරාව පොලිස් ස්ථානය වෙත දැනුම්දීමට පියවර ගෙන තිබිණි. පසුව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කැඳවා එම සැකකටයුතු පාර්සලය ආරක්ෂිතව පරීක්ෂා කිරීමට පොලිසිය පියවර ගෙන තිබිණි.

යළි ඕනෑම අවස්ථාවක භාවිතයට ගතහැකි අයුරින් ග්‍රීස් ගල්වා කුඩා පෙට්ටිවල ඇසුරුම් කර තිබූ එම තියුණු කැපුම් තල තොගය පාර්සලයක් ලෙස සකසා ජලය කාන්දු නොවන ලෙස ඝන පොලිතීන් ආවරණයක් යොදා පොහොර බෑගයක බහා වැවෙහි ගිල්වා තිබිණි.

එම පාර්සලයේ අඟල් අටහමාර හා දහයක් දිග ප්‍රමාණයන්ගෙන් යුත් විදෙස් රටක නිෂ්පාදිත අතිශය තියුණු ලෙස මුවහත් කරන ලද කැපුම් තල 300කට ආසන්න තොගයක් තිබිණි.

කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් විසින් යම් අපරාධයක් සඳහා යොදාගන්නට මෙම කැපුම් තල තොගය මෙලෙස වැවෙහි සඟවා තබන්නට ඇත්දැයි යන්න පිළිබඳව ආරක්ෂක අංශ සැක පළ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් එම තියුණු කැපුම් තල තොගය කැකිරාව දිසා මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

උතුරු මැද හා වයඹ පළාත් භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන මහතාගේ නියෝග අනුව ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් අනුව සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිස් ස්ථානය මඟින් වැඩිදුර විමර්ශන සිදුකෙරෙමින් පවතී ෴

+++++++++++++++++++++++++++++++++++

(132 min.s)

+++++++++++++++++++++++++++++++++++

අතනත් රිෂාඩ්… මෙතැනිත් රිෂාඩ්.. කොතැනත් රිෂාඩ්.. තේරීම් කාරක සභාව දිගට හරහට රිෂාඩ්ගේ කුණු හෝදයි..

(28.05.2019 – 15:00 +0530 – lankacnews.com)

පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය :

‘‘පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ කතාව අසන විට අපට නිතර ඇසෙන නමක් තමයි රිෂාඩ් බදියුඩීන්. බෝම්බකරුවන් නතර වී සිටියේ රිෂාඩ්ගේ සහෝදරියගේ ගෙදර. බෝම්බ නිෂ්පාදනය කළ බවට සැක කරන කම්හලට තඹ ලබා දී තිබෙන්නේ රිෂාඩ්. පුපුරුවා ගත්තු ත්‍රස්තවාදින් දෙන්නෙක් රිෂාඩ්ගේ පක්ෂයේ භාණ්ඩාගාරිකගේ දුව සහ බෑනා. රිෂාඩ්ගේ ප්‍රබල ආධාරකරුවෙකු වන වන ඊබ්‍රාහිම්ගේ පුතුන් දෙදෙනෙකු ත්‍රස්තවාදින්. යුද හමුදාපතිට සැකකරුවෙකු නිදහස් කරන්න කියලා බල කලේ රිෂාඩ්. රිෂාඩ්ගේ මල්ලිව හමුදාව අත්අඩංගුවට ගත්තා. පොලිසිය උසාවි නොදා නිදහස් කලා. රිෂාඩ්ගේ සම්බන්ධිකරණ ලේකම් කෙනෙකු අත්අඩංගුවට. රිෂාඩ්ගේ උපදේශකයෙකු අත්අඩංගුවට. රිෂාඩ්ගේ පක්ෂයෙන් ඡන්දය ඉල්ලූ දොස්තර ෂාෆි ශිහාඩීන් අත්අඩංගුවට.

මෙහෙම බැලුවාම අතනත් රිෂාඩ්. මෙතැනත් රිෂාඩ්. කොතැනත් රිෂාඩ්. රිෂාඩ් ඇමති හමුදාපතිට බලපෑම් කරනවා. වෛද්‍ය ශාෆිට එරෙහිව එන පැමිණිලි සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී යටපත් වෙනවා. මල්ලිව නිදහස් කර ගන්නවා. නමුත් අද දක්වා ත්‍රස්තවාදි සම්බන්ධතා පිළිබඳ කිසිම ප්‍රශ්න කිරීමක් කරන්නේ නෑ. ඇයි ඒ? ඇමති ඌෂ්ණේ. ඒ නිසා තමයි ස්වාධීන පරීක්ෂණයක් කිරීමට නම් ඔහු ඇමති ධූරයෙන් ඉවත් විය යුතුයි කියන්නේ.

ආණ්ඩුව ඒ වෙනුවට කලේ තේරීම් කාරක සභාවක් පත් කරලා රිෂාඩ්ගේ කුණු හෝදන්න තීරණය කිරීමයි. පාස්කු බෝම්බයෙන් මිය ගිය අයගේ තුවාල වුණු අයගේ ලේ රිෂාඩ්ගේ ඇඟ පුරාම. අමාත්‍ය රිෂාඩ්ගේ ලේ පැල්ලම් හෝදන්න ගිහින් තමන්ගේ ඇඟේ ලේ ගා ගන්න එපා කියා අපි තේරීම් කාරක සභාවේ සාමාජිකයින්ට කියනවා. හෘද සාක්ෂියට එකඟව මේ කාරක සභාවේ ඉන්න බෑ කියලා ඉවත් වුණු කාවින්ද ජයර්වධන මන්ත්‍රිතුමාට අපි හිස නමා ආචාරය පුද කරනවා. ඒ වගේම අනිත් සාමාජිකයින්ටත් කාවින්ද ගත් මග අරගෙන පක්ෂයට උඩින් ආණ්ඩුවට උඩින් අපේ මව්බිම සහ රටේ ආරක්ෂාව තබන්න කියා ඉල්ලීමක් කරනවා.

ලංකා ඉතිහාසයේ විශ්වාස භංග යෝජනා විසි පහක් විවාද කර තිබෙනවා. මේ එකක් වත් තේරීම් කාරක සභාවකට යොමු කරලා නෑ. රිෂාඩ් ඇමතිට විතරක් විශේෂත්වයක් ඇයි? මේ තේරීම් කාරක සභාව හරහා උත්සහ දරන්නේ විශ්වාස භංග යෝජනාව විවාදයට පෙර රිෂාඩ් අමාත්‍යවරයා නිවැරදිකරුවෙකු කරන්නයි. එමගින් එජාප මන්ත්‍රිවරුන් ඔහු රකිනතැනට තල්ලු කරන්නටයි. රිෂාඩ් පිළිබඳ විර්මශනය කරන්න ඕනෑ පොලිසිය මිස තේරීම් කාරක සභාවක් නොවේ. රිෂාඩ්ට අමාත්‍යවරයා ට එරෙහිව චෝදනා ගොනු කරන්න ඕනෑ නීතිපති මිස තේරීම් කාරක සභාවක් නොවේ. රිෂාඩ් අමාත්‍යවරයා වැරදිකරු ද නිවැරදිකරු ද කියන එක තීරණය කල යුත්තේ අධිකරණය මිස තේරීම් කාරක සභාවක් නොවේ.

බල්ලගේ වැඩේ බූරුවා කරන්න ගිහින් වෙච්ච දේ තේරීම් කාරක සභාවත් කරගනීවි කියන විශ්වාසය අපට තියෙනවා.’’

– අරවින්ද අතුකෝරල

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *