තේරීම් කාරක සභාවෙන් බුද්ධි අංශ දරුණු පාවාදීමක.. ඔවුන්ගේ ජීවිත අනතුරේ.. වහා නවතා දමන්න.. ආරක්‍ෂක ප‍්‍රධානීන් ගණනාවත් ජනාධිපති හමුවී විරෝධය පාති..

(30.05.2019 – 00:04 +0530 – lankacnews.com)

පසුගිය පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ ත‍්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ජාතික බුද්ධි අංශ නිලධාරීන් ගෙන්වීම සම්බන්ධයෙන් දැඩි විරෝධය එල්ල වී තිබේ.

ඊයේ (29) දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසුණු මෙරට ආරක්ෂක අංශ භාර ඉහළ බලධාරීන් කිහිප දෙනෙකු ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ මෙමගින් මෙරට සක්‍රීය බුද්ධි අංශ ඉතාමත් දරුණු ලෙස හෙළිදරව් වී අවධානමකට පත්වන බවයි.

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා ඊයේ දිනයේ මෙම කමිටුව හමුවේ කැඳවා ප්‍රශ්න කරන ලද අතර ඒ සම්බන්ධයෙන් ආරක්ෂක ප්‍රධානීන් විසින් ජනාධිපතිවරයා වෙත තම දැඩි නොසතුට පළකර ඇත.

ඉදිරි දින කිහිපයේදී ද මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව රැස් වීමට නියමිත බවත් එහිදී බුද්ධි අංශ නිලධාරීන් කොතරම් ප‍්‍රමාණයක් ප‍්‍රශ්න කරාවිදැයි නොදන්නා බවත් පෙන්වා දී ඇති ඔවුන් මාධ්‍ය ඉදිරියේ සිදුකරන මෙම ප්‍රශ්න කිරීම් පසුගිය කලෙක මිලේනියම් සිටි සිදුවීමේදී බුද්ධි අංශ පාවාදීමට එහාගිය පාවාදීමක් බවද පවසා තිබේ.

යම් ප‍්‍රකාශයක් ගැනීමට ඇති නම් ඕනෑම බුද්ධි නිලධාරියෙකුගෙන් ප‍්‍රශ්න කිරීමට විරෝධයක් නැති නමුත් එය කල යුත්තේ රාජ්‍ය ආරක්ෂාව ප‍්‍රමුඛව සලකා බලා බවත් බුද්ධි නිලධාරීන් ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවේ නිරාවරණය කිරීම හා ඔවුනගෙන් අතිශය රහසිගත තොරතුරු ගැන ප‍්‍රශ්න කිරීම් කිරීම නුසුදුසු බවත් ඔවුන්ගේ අදහස වී ඇත.

ජාත්‍යන්තර ත‍්‍රස්තවාදී සංවිධානයට එරෙහිව ඉතා අවදානම් සහගත බුද්ධි තොරතුරු රැස් කිරීමක යෙදෙමින් සිටින මෙරට බුද්ධි නිලධාරීන් මේ ආකාරයෙන් මාධ්‍ය හරහා හෙළි කිරීම මගින් ඔවුන්ගේත් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේත් ජීවිත දැඩි අවදානම් තත්ත්වයකට පත් කරවමින් ඇතැයිද ඔවුන් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

ඒකාබද්ද විපක්‍ෂය, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙම තේරීම් කාරක සභාව වර්ජනය කර ඇති අතර එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ මෙම කමිටුව නියෝජනය කරති ෴

+++++++++++++++++++++

ප්‍රහාරය ගැන සොයන තේරීම් කාරක සභාව සජීවීව විකාශය කිරීම නවත්වන්න

(30.05.2019 – 17:32 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සජීවීව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම නතර කළ යුතුබව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසා සිටියි.

අද (30) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත්කිරීමේදී එහි අරමුණු පිළිබඳ තිබු බලවත් සැකය හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු සියලු දෙනාත් ඒ සඳහා සහභාගී වීම අත්හරිනු ලැබු බව ඒ මහතා ප්‍රකාශ කර සිටියි.

එක් අතකින් ආණ්ඩුවේ වැරදි වසා ගැනීමටත් තවත් අතකින් රිෂිඩ් බදියුදීන් අමාත්‍යවරයා ආරක්ෂා කර ගැනීමටත් මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අරමුණු කරගත් බව ඒ මහතා වැඩි දුරටත් පවසා සිටියේය.

මහබැංකු වංචාවේ ප්‍රධාන චූදිතයන් පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකිවයුත්තන් සෙවීමේ ගවේශණයක යෙදීම හාස්‍යයට කරුණක් බවත් ප්‍රහාරයේ ප්‍රධාන මූල්‍ය ප්‍රවාහය නියෝජනය කරන ඊබ්‍රහම් නැමැත්තා ජාතික ලැයිස්තු සාමාජිකයෙක් ලෙස තබාගත් ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් බුද්ධි අංශවලට මුදල් ලැබීම පිළිබඳ පොලීසියෙන් විමසීම ද විහිළුවක් බවත් විමල් වීරවංශ මහතා පැවසීය.

මේ සියල්ල රටේ ආරක්ෂාවත් සමඟ සිදු කරන සෙල්ලමක් බවත් ප්‍රහාරය පිළිබඳ තොරතුරු ප්‍රහාරයට පෙර දැනගෙන තිබියදීත් ඒ පිළිබඳ සැලකිල්ලක් නොදක්වා ලේ තැවරුණු දෑත් සෝදගන්න ආණ්ඩුව ක්‍රියා කිරිමෙන් සිදුවන්නේ බුද්ධි අංහ ක්‍රියාන්විතයන් සම්පුර්ණයෙන්ම අනාවරණය වීම හා ඒවා ලෝකය ඉදිරියේ හෑල්ලුවට ලක්වීම බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.

ප්‍රහාරයේ වරද ඇත්තේ බුද්ධි අංශවලට හෝ පොලිස්පතිට ලෙස තනි පාර්ශවයක් වෙත නොවන බවත් ඒ මහතා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය :

  • අයි.එස්. ගැන ආරක්ෂක මණ්ඩලයේ දී සාකච්ඡා වෙලා තියෙනවා.
  • අප්‍රෙල් මාසයට පෙර ආරක්ෂක මණ්ඩලය රැස් වෙලා නෑ.
  • දේශපාලනඥයෝ මෙහි වගකීම බාර නොගෙන පාපකර්මයට දායක වුවන් උඩ වාඩි කරගෙන බුද්ධි අංශ නිලධාරීන්ගෙන් සර් කියවගන්නවා.
  • මොන තේරීම් කාරක සභාවද මීට කලින් සජීවීව විකාශය කළේ?
  • මහබැංකු හොරකම පිළිබඳ පරීක්ෂණය දුන්නද සජීවීව?
  • තවදුරටත් මේ රටේ ජාතික ආරක්ෂාව නාඩගමකට නොගෙන සජීවි විකාශ ලබාදීම වහාම නතර කරන්න.
  • කථානායක කල්පනා කරලා බලන්න ඕන.
  • බුද්ධි අංශ නිලධාරියා කියනවා බලය දුන්නෙ නෑලු.
  • එදා ආරක්ෂක ලේකම් බලය දීලා කැඳ හැලියක් හදාගෙන රට හදන්න පුළුවන්ද?
  • ඔය කෝලම නතර කරන්න.
  • ආරක්ෂක ප්‍රධානීන්ගෙන් ඉල්ලනවා ඔය නාඩගමට යන්න එපා.
  • නැගෙනහිර ආණ්ඩුකාරවරයාට පට්ටම් දෙනවා.
  • විපක්ෂ නායකට වෙඩි නොවදින කාර් ගෙන්නන්න හදනවා.
  • රනිල්ට තේරෙනවා විපක්ෂ නායක තනතුරට මාරු වෙයි කියලා

– යනුවෙන් ඒ මහතා සිය අදහස් පල කළේය.

+++++++++++++++++++++

+++++++++++++++++++++

තේරීම් කාරක සභාවේ ක්‍රියාවලිය මාධ්‍යයට විවර කිරීම ගෝල්ෆේස් එකේ හනිමුන් එක ගත්තා වගේ – ඥාණසාර හිමි

(30.05.2019 – 20:05 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ තේරීම් කාරක සභාව මාධ්‍යයට විවෘත කිරීම තුළින් රටේ සියුම් ආරක්ෂිත තොරතුරු ලොවට විවරවී බුද්ධි අංශ තවදුරටත් අඩපණ වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා පවසනවා.

එබැවින් තේරීම් කාරක සභාවේ කටයුතු මාධ්‍යයට විවෘත කිරීම වහා නැවැත්විය යුතු බව අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ක්‍රියාවලිය සහ එය මාධ්‍යයට විවර කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.

+++++++++++++++++++++

30.05.2019
30.05.2019

+++++++++++++++++++++++++++++++++++

30.05.2019

+++++++++++++++++++++++++++++++++++

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන තමන්ව දැනුවත් කළ බවට පළ වන වාර්තා ජනපති ප්‍රතික්ෂේප කරයි

(30.05.2019 – 13:24 +0530 – hirunews.lk/sinhala)

පසුගිය අප්‍රේල් මස 08 වනදා පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ මාසික රැස්වීමේදී ත්‍රස්ත සැලැස්මක් පිළිබඳව තොරතුරු ලැබී ඇති බවට කිසිදු නිලධාරීයෙකු තමන් දැනුම්වත් කර නොතිබූ බව සිය නිල ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා.

එමෙන්ම ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පැය දෙකකට අධික කාලයක් පැවති එම සාකච්ජාවේදී පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විදේශ මිත්‍ර රටකින් ලබාදී තිබූ කිසිදු තොරතුරක් පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා හෝ වෙනත් නිලධාරියෙකු ජනාධිපතිවරයා දැනුම්වත් කිරීමට පියවර ගෙන නොතිබුණු බවයි.

මෙම සිදුවීම පිළිබඳව ජනාධිපතිවරයා දැනුම්වත් කර තිබූ බවට පළ වන දේශීය සහ විදේශීය වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවද ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

පසුගිය පෙබරවාරි මාසයෙන් පසුව ජාතික ආරක්ෂක මණ්ඩලය රැස් නොවූ බවට පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තුව තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ජාතික බුද්ධි ප්‍රධානියා කළ ප්‍රකාශයක් මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ගෙවී ගිය වසරකට වැඩි කාලයක් ජාතික ආරක්ෂක මණ්ඩලය තුල සිදු කෙරුණු සාකච්ජා නිල නොවන ලෙස මාධ්‍ය මඟින් පළ වීමට පටන් ගැනීම හේතුවෙන් ජාතික ආරක්ෂක මණ්ඩලයට වඩා වෙනත් ව්‍යුහයකින් යුක්ත ජාතික ආරක්ෂක කමිටුව පිහිටුවන්නට කටයුතු කරනු ලැබුවා.

එම ජාතික ආරක්ෂක කමිටුව පසුගිය කාලය තුල සති දෙකකට වරක් අඛණ්ඩව රැස්වී තිබූ අතර ඇතැම් අවස්ථාවල ජනාධිපතිවරයා විසින් සතියකට වරක් එම රැස්වීම කැදවීමට කටයුතු කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය තවදුරටත් සඳහන් කළේ.

***************************************

විජයදාසට වන්දි ගෙවන්න ලේක්හවුස් ආයතනයට දුන් තීන්දුව ස්ථිරයි

(31.05.2019 – 08:31 +0530 – sinhala.adaderana.lk)

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ කීර්තියට සිදුකළ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 500 ක මුදලක් වන්දි වශයෙන් ගෙවන මෙන් කොළඹ දිසා අධිකරණය විසින් ලේක්හවුස් ආයතනයට එරෙහිව දුන් තීන්දුව ස්ථිර කර තිබේ.

ඒ ඊයේ (30) බස්නාහිර පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණය විසිනි.

ලේක්හවුස් ආයතනයේ පුවත්පත්වල පල කරන ලද ප්‍රවෘත්තියකින් සිය කීර්තියට හානි සිදු වූ බවත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් අය කර දෙන ලෙසත් ඉල්ලමින් විජයදාස රාජපක්ෂ මහතා විසින් 2010 වසරේ කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

ඒක පාක්ෂිකව පැවති මෙම නඩු විභාගයෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ දිසා අධිකරණය අදාළ ප්‍රවෘත්තිය තුළින් විජේදාස රාජපක්ෂ මහතාගේ කීර්තියට හානියක් සිදුවී ඇති බවත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් ගෙවන ලෙසත් ලේක්හවුස් ආයතනයට නියම කර තිබුණි.

එම තීන්දුවට එරෙහිව ලේක්හවුස් ආයතනය විසින් එම අභියාචනය ඉදිරිපත් කර තිබුණු අතර එය විභාග කල බස්නාහිර පළාත් සිවිල් අභියාචනාධිකරණය එය ප්‍රතික්ෂේප කරමින් කොළඹ දිසා අධිකරණය මඟින් දුන් තීන්දුව ස්ථිර කරනු ලැබීය ෴

***************************************

විපක්ෂයේ ඔම්බුස්මන්ට් කාර්යාලය ජුනි 03 වනදා ඇරඹේ

(30.05.2019 – 17:29 +0530 – hirunews.lk/sinhala)

2015 වසරේ සිට මේ දක්වා රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශය මගින් සිදුකොට ඇති වංචා, දූෂණ සහ නීතිවිරෝධී ක්‍රියා මෙන්ම දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් පැමිණිලි භාර ගැනීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත ඔම්බුස්මන්ට් කාර්යාලයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, ලබන මස 3 වනදා පෙරවරු 10ට කොළඹ – ශ්‍රීමත් මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී මෙම කාර්යාලය ආරම්භ වනු ඇති.

සතියේ දින පහේ උදෑසන 9 සිට දහවල් 12 දක්වා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මූලිකත්වයෙන් මෙම ඔම්බුස්මන්ට් කාර්යාලය ක්‍රියාත්මක වන බවයි විපක්ෂ නායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

ඒ අනුව, තමන්ට සිදුව ඇති ඕනෑම අසාධාරණයක්, වංචාවක්, දේශපාලන පළිගැනීමක් මෙන්ම මූදල් අවභාවිතාවයන් සම්බන්ධයෙන් ද තොරතුරු ඔම්බුස්මන්ට් කාර්යාලය වෙත ලබාදෙන ලෙසටයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Fully agree with the betrayal of intelligence service and experts. These bloody, arrogant, uninformed and corrupt politicans committee have no sense of proprietary over intelligence matters and trying to show off their power in public for political purposes. I am surprised that FM SF has not given the right advice to these idiots, whereas he should know better after the millenium fiasco. They are exposing everything of National Security (more like lack of national Security) to terrorists, enemies and all foreign countries. We are becoming a joke, an object of ridicule and derison.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *