මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කිසිදු හිමිකාරිත්වයක් රජයට නැහැ – සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්

(30.05.2019 – 20:47 +0530 – hirunews.lk/sinhala)

මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කිසිදු හිමිකාරීත්වයක් රජයට නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය පිළිගෙන තිබෙනවා.

ඒ රාජ්‍ය ආයතනවල සිදුවූ දූෂණ හා වංචා පිළීබද සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්.

2015 ජනවාරි 15 වැනිදා සිට 2018 වසරේ දෙසැම්බර් 31 වැනිදා දක්වා රාජ්‍ය ආයතනවල සිදුවූ දූෂණ හා වංචා පිළීබද සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසම අද රැස් වුණේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි එම කාර්යාලයේදී.

අද දින කොමිෂන් සභාවේදී විභාගයට ගැනුණේ මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමක් නොමැතිව රජයේ මුදල් වැය කිරීම සම්බන්ධවයි.

එහිදී සාක්ෂි දෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය සදහන් කළේ මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කිසිදු හිමිකාරීත්වයක් රජයට නොමැති වුවද ඒ වෙනුවෙන් නෙවිල් ප්‍රනාන්දු මහතා රාජ්‍ය බැංකුවකින් ලබාගෙන ඇති රුපියල් බිලියන 2.5 ක බැංකු ණය රජයෙන් ගෙවන බවයි.

එමෙන්ම රෝහලේ සියලු වියදම් ද රජය විසින් දරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරිය පිළිගෙන තිබෙනවා.

එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරිය වැඩිදුරටත් පවසා ඇත්තේ ගිවිසුම අනුව යම් හෙයකින් නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නේ නම් එය සිදුකළ හැක්කේ වසර 10 කට පසුව බවයි.

ඇමතිවරු මුල්‍ය කටයුතු පිළිබද වැරදි යෝජනා හා තීරණ ගෙන ඒමේදී අමාත්‍යංශ ලේකම්වරුන් වශයෙන් ඒවාට විරුද්ධ වීම තමන්ගේ රාජකාරිය බව පිළිගන්නේදැයි සභාපති විනිසුරුවරයා අමාත්‍යාංශ ලේකම්වරියගෙන් ප්‍රශ්න කර සිටියා.

එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය එම ප්‍රකාශය පිළිගෙන තිබෙනවා.

මෙහිදී කොමිෂන් සභා සභාපතිවරයා ප්‍රශ්න කළේ දැනටමත් රජයේ මුදල් පෞද්ගලික ආයතනයකට වැය කිරීමේ මුදල් ප්‍රතිපත්තියක් සෞඛ්‍ය අමාත්‍යාංශය අනුගමනය කිරීම ඉතා බරපතළ භයානක ක්‍රියාවක් බවයි.

මේ පිළිබද වැඩිදුර සාක්ෂී විමසීම සහ පැමිණිලි විභාගය ලබන මස 6 වැනිදා දක්වා කල් තැබුණා.

+++++++++++++++++++++

නෙවිල් ප්‍රනාන්දු රෝහල ගැන, ප්‍රකාශයක් ලබා ගැනීමට, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට සිතාසි

(31.05.2019 – 12:38 +0530 – hirunews.lk/sinhala)

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමකින් තොරව රජයේ මුදලින් නඩත්තු කිරීම පිළිබදව සාක්ෂි ලබාදීම සඳහා කොමිසම ඉදිරියේ පෙනී සිටින ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත අතපත්තු මහතාට අද සිතාසි යොමු කර තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලබන මස 12 වන දින කොමිසම හමුවේ පෙනී සිටිමින් ප්‍රකාශයක් ලබාදිය යුතු වනවා. එමෙන්ම, මෙම පැමිණිලි පිළිබද වැඩිදුර විභාගය ද එදින සිදුකිරීමට නියමිත බවයි ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටියේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට කොමිසම හමුවේ පෙනී සිටිමින් ප්‍රකාශයක් ලබාදෙන ලෙසට සිතාසි යොමු කිරීමට තීරණය කර ඇත්තේ ඊයේ දින ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සෞඛ්‍ය හා පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය සාක්ෂි ලබාදීමෙන් අනතුරුවයි.

එහිදී ඇය කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ කර සිටියේ මාළඹේ නෙවිල් ප්‍ර‍්‍රනාන්දු රෝහල රජයට අයිති නොමැති වුවත් එහි ණය මුදල් සහ අනෙකුත් සියළු වියදම් රජය විසින් දරණ බවයි.

එමෙන්ම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මගින් නෙවිල් ප්‍රනාන්දු රෝහලේ අයිතිය වසර 10 ක් යනතුරු සයිටම් ආයතනයටම පවරා ඇති අතර, එය රජයට පවරා ගන්නේ නම් එම කාලසීමාවෙන් පසු ක්‍රියා කළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය කොමිසම හමුවේ පිළිගෙන තිබෙනවා.

එමෙන්ම, මේ පිළිබදව අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා වහාම අත්අඩංගුවට ගත යුතු බවයි.

මේ අතර, මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා නොගැනීමෙන් රජයේ මුදල් අවභාවිත කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා චෝදනා කරනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, වත්මන් රජය මේ වන විට රටේ ණය බර ටි‍්‍රලියන 13 ක් දක්වා වැඩි කර ඇති බවයි ෴

***************************************

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන, පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරන්නැයි, නීතිපති අගවිනිසුරුගෙන් ඉල්ලයි

(31.05.2019 – 11:39 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වගඋත්තරකරුවන් කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන ලෙස නීතිපතිවරයා අද අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියා.

ඒ, ඊට අදාළ පෙත්සම් 04 ක් සිසිර ද ආබෲ, ගාමිණී අමරසේකර සහ මූර්දු ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ෆර්සානා ජමීල් කියා සිටියේ අදාළ පෙත්සම්වල ජාතික වැදගත්කමක් සහිත කරුණු පැවතීම හේතුවෙන් ඒවා විභාග කිරීමට පූර්ණ විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

ඒ අනුව පෙත්සම් ලබන මස 06 වැනිදා යළි කැඳවීමටයි විනිසුරු මඩුල්ල නියෝග කළේ.

අදාළ පෙත්සම්, නීතිපතිවරයාගේ ඉල්ලීම පරිදි පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කිරීම සඳහා යොමුකරන ලෙසද මෙහිදී විනිසුරු මඩුල්ල ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත නියෝග කළා ෴

***************************************

31.05.2019
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • What is the game this corrupt UNP government and ministers, led by a corrupt and uncaring PM, doing? They are squandering money and feeding their mates with public taxpayers money. Citizens find life very hard with tax burdens, and these vultures in the government handing over millions of money to their favored individuals for all of them live happily ever after. The country has turned intoma Sodom and Gomorrah under this regime, corruption and scandals everywhere.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *