රජයේ නිලධාරින්ගේ ඇඳුම් සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක්

(31.05.2019 – 15:09 +0530 – hirunews.lk/sinhala)

රජයට අයත් කාර්යාලය පරිශ්‍රවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රජයේ නිලධාරින්ගේ ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙතයි.

ඒ අනුව රාජකාරි වේලාව තුළ කාර්යාලවලට පැමිණෙන පිරිමි නිලධාරින් කලිසමක් සහ කමිසයෙන් හෝ ජාතික ඇඳුමෙන් සැරසී යුතු අතර, කාන්තා නිලධාරිනියන් සාරියකින් හෝ ඔසරියකින් සැරසිය යුතුයි.

දැනටමත් නිල ඇඳුමක් හෝ නිල ඇඳුම් දීමනා ලබන නිලධාරින් තමාගේ අනුමත නිල ඇඳුමෙන් සැරසී රාජකාරියේ යෙදී සිටිය යුතු බව ද එම චක්‍රලේඛයේ සඳහන්.

කෙසේ වෙතත්, ගර්භනී තත්ත්වයේ පසුවන කාන්තාවන්ට සේවයට පැමිණීමේදී පහසු සහ සුදුසු ඇඳුමින් සැරසී පැමිණිය හැකියි.

ආගමික චාරිත්‍රයකට අනුව ඇඳුම් සකස් කරගෙන සිටින නිලධාරින්ට අනන්‍යතාවය තහවුරු වන ලෙස සම්පූර්ණ මුහුණ පැහැදිලිව හඳුනා ගත හැකිවන ලෙස අතිරේක පැළඳුමක් භාවිත කළ හැකි බවයි එම චක්‍රලේඛයේ සඳහන් වන්නේ.

***************************************

ප්‍රවීන රංගන ශිල්පිනී චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය දැයෙන් සමුගනී

(31.05.2019 – 16:31 +0530 – sinhala.adaderana.lk)

ප්‍රවීන රංගන ශිල්පිනී චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.

කොළඹ ජාතික රෝහලේ දී අද (31) පෙරවරුවේ ඇය අභාවප්‍රාප්ත වු බව පවුලේ ඥාතින් සඳහන් කළේය.

දීර්ඝ කාලයක සිට රෝගී තත්ත්වයෙන් පසුවු චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය ඊයේ (30) දිනයේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.

කෝපි කඩේ ටෙලි නාට්‍ය මාලාවේ සොමි නෝනා චරිතය ඔස්සේ ප්‍රෙක්ෂකයින් අතර වඩාත් ප්‍රචලිත වු චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය මිය යනවිට 83 වන වියේ පසු වුණි.

දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන ඉරිදා බොරැල්ල පොදු සුසාන භුමියේදී සිදු කිරීමට නියමිතයි.

+++++++++++++++++++++

01.06.2019

+++++++++++++++++++++

14.06.2019

***************************************

ජනපතිවරණය දෙසැම්බර් 7 පැවැත්වෙන බවට මැතිවරණ කොමිසම දැනුම්දී ඇතැයි ජනපති ඉන්දියාවේදී කියයි

(31.05.2019 – 20:58 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරණය දෙසැම්බර් මස 7 වැනිදා පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසා ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සිය ඉන්දීය සංචාරය අතරතුර විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවැනි පදවි ප්‍රාප්ති දිවුරුම් දීමේ උත්සවයට සහභාගීවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත වුණා.

මෙහිදී පසුගියදා ශ්‍රී ලංකාව මුහුණ දුන් ඛේදජනක සිදුවීම කණගාටුවෙන් සිහිපත් කළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහායක් ලබා දීමට ඉදිරියේදී සූදානම් බව පොරොන්දු වී තිබෙනවා.

මේ අතර ජනාධිපතිවරයා මෙම සංචාරය අතරතුරදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඉදිරි ජනාධිපතිවරණය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අදහස් පළ කළා.

***************************************

කොළඹ මහ නගර සභාවට පත් කළ වැඩබලන නාගරික කොමසාරිස්වරයා නිසා අර්බුධකාරී තත්වයක්

(31.05.2019 – 20:49 +0530 – hirunews.lk/sinhala)

කොළඹ මහ නගර සභාව සඳහා නව වැඩබලන නාගරික කොමසාරිස්වරයෙකු පත්කිරීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා කටයුතු කිරීම හේතුවෙන් අර්බුදකාරී තත්ත්වයක් මතුව තිබෙනවා.

ඒ හිටපු නාගරික කොමසාරිස්වරයා සිය කාර්යාලයෙන් ඉවත්ව නොයාම හේතුවෙන්.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් කොළඹ මහ නගර සභාවේ වැඩබලන නාගරික කොමසාරිස්වරයා ලෙස පත්කර ඇත්තේ ලලිත් වික්‍රමරත්න මහතායි.

ඒ අනුව ඔහු මෙම මස 28 වැනි දින සිට කොළඹ මහ නගර සභාවේ වැඩබලන නාගරික කොමසාරිස්වරයා නියෝජ්‍ය නාගරික කොමසාරිස්වරයාගේ කාර්යාලයේදී රාජකාරි කටයුතු සිදුකරමින් සිටිනවා.

කෙසේ වෙතත් හිටපු නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර මහතා නාගරික කොමසාරිස්වරයා ලෙස කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් කාර්යාලයේ තවදුරටත් රැඳී සිටින්නේ සිය ස්ථානමාරුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ බව පවසමින්.

තමන් සුපුරුදු පරිදි සිය තනතුරේ රාජකාරිවල නිරතව සිටින බව කොළඹ ඩාර්ලි පාරේ පිහිටි නාගරික කොමසාරිස් නිල නිවසේදී අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් කොළඹ මහ නගර සභාවේ උද්ගත වී ඇති මෙම අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා අදහස් පළ කළේ කොළඹ නව නගර ශාලාවේ පැවති උත්සවයකින් අනතුරුවයි.

***************************************

මුජිබර් යකා නටද්දී හිරු බලයේදී මුසම්මිල් වහාබියන්ගේ බුර්කා ගලවයි.. සමාජ ජාලාවල ඉහලම හරසර..

(01.06.2019 – 09:20 +0530 – lankacnews.com)

හිරු රූපවාහිනියේ බලය දේශපාලන සංවාද වැඩසටහනට මෙවර ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මෙහොමඩ් මුසම්මිල් මහතා සහභාගි විය.

ඉස්ලාම් අන්තවාදය ගැනත් වහාබ්වාදය ගැනත් ඔහු දිගින් දිගටම කරුණු ඉදිරිපත් කලේ එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රි මුජිබර් රහුමන්ගේ විරෝධතා එල්ල වෙද්දීය.

මුසම්මිල් මහතාගේ අදහස් පල කිරීම මේ වන විට සමාජ ජාලයන්හි ඉහල ප‍්‍රතිචාර හිමිකරගනිමින් හුවමාරු වෙයි.

+++++++++++++++++++++

Hiru TV Balaya > Episode 295 (2019-05-30) (122 min.s) :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *