ජනාධිපති නිල නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක්

(01.06.2019 – 20:07 +0530 – sinhala.adaderana.lk)

අන්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, අසාත් සාලි සහ එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන්ට සහ මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නැයි බලකරමින් අද (01) පස්වරුවේ ජනාධිපති නිල නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත් විය.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, අසාත් සාලි සහ එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන්ට සහ මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානය ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.

අනතුරුව විරෝධතාවයට සහභාගිවු පිරිස් මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවස ඉදිරිපිටට ඔවුන් පා ගමනින් පැමිණියේය.

අනතුරුව එම මහගමසේකර මාවත ඉදිරිපිට මාර්ගය හරස්කරමින් පිරිත් සජ්ජායනා කරමින් ඔවුන් විරෝධතාවයේ නිරත වුණි.

මේ අතර අද දිනයේ මාධ්‍ය හමු කිහිපයකදීද අන්තවාදී අදහස් දරණ දේශපාලන නියෝජිතයින්ට එරෙහිව අදහස් පළ කළේය.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

ප්‍රහාරයේ පරීක්ෂණ දේශපාලන හෝ බිස්නස් ඩීල් එකක් නොවිය යුතුයි – රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා

(01.06.2019 – 23:04 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු දේශපාලන හෝ බිස්නස් ඩිල් එකක් බවට පත් නොවිය යුතු බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කලේ පුත්තලම් දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර්ධන කටයුතු පිලිබඳ සොයා බැලීම සඳහා පක්ෂ ක්‍රියාකිරීන් සමඟ පැවතී සාකච්ඡාවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,

“පාස්කු ප්‍රහාරයෙන් පසු රට තුල ජනතා ආරක්‍ෂාව තහවුරු කිරීමට නම් අනිවාර්යෙන්ම පුර්ණ පරීක්ෂණයක් සිදු කල යුතුයි.

එසේ නොමැතිව ජනතාවගේ බිය සැක මුළුමනින්ම තුරන් කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ.

ආරක්ෂක අංශ විසින් ප්‍රහාරයෙන් පසු මුලික පියවර අනුගමනය කරමින් ජනතා ආරක්‍ෂාව සඳහා අවශ්‍ය මුල් අදියරේ කටයුතු සිදු කර තිබෙනවා.

කෙසේ වෙතත් ඇතැම් අවස්ථාවල පරීක්ෂණ කටයුතු සඳහා බලපෑම් එල්ල කල බවටත් අන්තවාදයට පදනම සැකසු බවටත් ප්‍රබල දේශපාලන චරිතයන්ට චෝදනා එල්ල වී තිබෙනවා. රිෂාඩ් බදියුදීන් කැබිනට් අමාත්‍යවරයා, එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා සහ අසාත් සාලි යන ආණ්ඩුකාරවරුන් ඒ අතර සිටීම විශේෂයි.

ඒ වගේම මේ ප්‍රහාරය දින දෙක තුනකින් හෝ මාස දෙක තුනකින් සැලසුම් කල හැකි දෙයක් නොවෙයි. එසේනම් මෙහි ආරම්භය කොහෙද? මේවට පසුබිම හැදුවේ කවුද? අන්තවාදීන්ට දේශපාලන රැකවරණය දුන්නේ කවුද?

මෙම ප්‍රහාරයට කලින් සිදුකල පරීක්ෂණය කසියම් පුද්ගලයෙකුගේ බලපෑමෙන් නැවත්තුවද? යන කරණා පිලිබඳ සොයා බැලිය යුතුයි.

අනෙක් වැදගත්ම කාරණය තමයි ප්‍රහාරකයන් සහ ඔවුන්ගේ සගයන් අපවිසින් විනාශ කලත්, අත්අඩංගුවට ගත්තත් තවත් අන්තවාදී මතධාරීන් විශාල ප්‍රමාණයක් ඉන්න පුළුවන්. ඒ පිළිබඳව අපට තිබෙන තක්සේරුව කුමක්ද?

මෙම සිදුවීම පිලිබඳ සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මේ වන විට රැස්වෙලා තිබෙනවා. ප්‍රහාරය වනවිට ආරක්ෂක මණ්ඩලයත් මාස දෙකකින් රැස් වී නොමැති බවයි එහිදී හෙළිවෙලා තිබෙන්නේ. එයින් ගම්‍ය වෙනවා ජාතික ආරක්ෂාව පිලිබඳ තිබෙන තක්සේරුවේ පරිමාව.

මේ සිද්ධියෙන් පසු ජනාධිපතිතුමා කොමිසමක් පත් කළා එහි වාර්තාව එන්න තිබුනේ සති දෙකකින් සති හයක් ගිහිල්ලත් ඒ වාර්තාව තවම නැහැ.

ඒ වගේම ජනාධිපතිවරයා කිව්වා ආරක්ෂක ව්‍යුහයේ පුර්ණ ප්‍රතිසංවිධානයක් ඇතිකරනවා කියලා.

නමුත් පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා ඉවත් කිරීම හැරෙන්නට ප්‍රබල ව්‍යුහාත්මක වෙනස්කමක් සිදු කර නැහැ.

පාස්කු ප්‍රහාරය පිලිබඳ සිදුකරන පරීක්ෂණ කිසියම් පුද්ගලයෙකුගේ හෝ පක්ෂයක දේශපාලන අනාගතය තීරණය කරන්න පදනම් කරන්න එපා.

ආණ්ඩු හදන්නේ කොහොමද? ආණ්ඩු තියාගන්නේ කොහොමද? ජනාධිපතිවරණයේදී හිට ගන්නේ කොහෙද? කියන එක ජනතාවට වැදගත් නැහැ.

අවසන් වශයෙන් කිව යුතුව ඇත්තේ මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙසිය විසි පස් දෙනා පාස්කු ප්‍රහාරයෙන් තැතිගත් ජනතාවට සාධාරණයක් ඉටු නොකළහොත් ඉදරි මැතිවරණ වලදී ප්‍රභල ජනතා ප්‍රහාරයකට ලක්වනු ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.”යනුවෙන් ප්‍රකාශ කළේය ෴

+++++++++++++++++++++++++++++++++++

***************************************

දේශපාලනඥයින් එකම වේදිකාවකට පැමිණිය යුතු බව ඥානසාර හිමි කියයි

(01.06.2019 – 19:28 +0530 – hirunews.lk/sinhala)

බුදු දහම ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආගම බවට පත් කළ යුතු බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එමෙන්ම, රටේ පවතින තත්ත්වය පිළිබද සියලු දේශපාලනඥයන් එකම වේදිකාවකට පැමිණ විවෘත සාකච්ඡාවක් පැවැත්විය යුතු බව ද පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එහිදී සදහන් කළා.

‘‘සංඝ සාමග්‍රීය ජාතියේ සැපතට හේතුවේ’’ යන මැයෙන් වන සංදේශයක් ද, අද පස්වරුවේ බොදුබල සේනා සංවිධානය විසින් ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් වෙත පිළිගන්වනු ලැබුවා.

එහි දැක්වෙන්නේ සියලු සංඝයා වහන්සේ එක්වී දේශපාලන නායකයන්ට සමගි වන්නට බලකල යුතු බවයි.

ඒ වෙනුවෙන් සියලු නිකායන් නියෝජනය වන ‘ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයක්’ පිහිටුවීමට යෝජනා කරන බව ද, ඥානසාර හිමියන් සදහන් කර තිබෙනවා.

***************************************

කෝටි 10 ක මැණිකක් සොරකම් කළ 3 ක් අත්අඩංගුවට

(01.06.2019 – 17:43 +0530 – hirunews.lk/sinhala)

මහරගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට අයත් රුපියල් කෝටි 10කට අධික වටිනාකමින් යුත් ඔප නොදැමූ ගෙවුඩ මැණිකක් සොරකම් කළ කාන්තාවක් ඇතුලු 3 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙරේදා පස්වරුවේ අදාළ ව්‍යාපාරිකයාට අයත් ව්‍යාපාරික ස්ථානය අසලදී සොරකම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එම ව්‍යාපාරිකයාගේ මෝටර් රථයේ ආසනයක් යට සගවා තිබු මැණික එහි පැමිණි සැකකරුවන් දෙදෙනෙකු විසින් රැගෙන පළාගොස් තිබෙනවා.

පසුව ලැබුනු පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශණයකදීයි සැකකරුවන් දෙදෙනෙකු සහ කාන්තාවක් අත්අඩංගුවට ගැනුනේ.

සිද්ධියට අදාළව තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා බොරලැස්ගමුව පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

***************************************

හිරු සී.අයි.ඒ. අනාවරණයෙන් පසු ලැබුනු ලිපිය

(01.06.2019 – 20:34 +0530 – hirunews.lk/sinhala)

හිරු සී.අයි.ඒ. හරහා පසුගිය 28 වැනිදා අප හෙළි කළේ සතොසට අයත් තිස්සමහාරාම – පන්නගමුව සහල් සැකසුම් මධ්‍යස්ථානයේ ගුල්ලන් හා පණු කැඳලි සහිත මිනිස් පරිභෝජනයට නුදුසුදු සහල් තොගයක් නැවත සකසා වෙළෙඳපොළට එවීමට කටයුතු කරන අයුරුයි.

අතිශය අපිරිසිදු තත්ත්වයේ ඇති එම සහල් තොගය නැවත සැකසීමේදී ඉන් පිටවන දූවිල්ල හේතුවෙන් තමන් විවිධ රෝගාබාධවලට ලක්වන බව එහි සේවකයන් හෙළි කළා.

මෙහි සේවකයන් පවසන පරිදි කලකට ඉහත මෙම සහල් සැකසුම් මධ්‍යස්ථානය හරහා සිදු කෙරුණේ දේශීය ගොවීන්ගෙන් මිලදී ගන්නා වී කොටා සතොස ආයතන හරහා අලෙවි කිරීමයි.

එහෙත් කොමිස් කුට්ටිවලට ඉව අල්ලන දේශපාලනඥයින් පසුගිය කාලය පුරා සිදුකර තිබුණේ විදේශයන්ගෙන් ගෙන්වන ප්‍රමිතියෙන් තොර සහල් මෙලෙස සකසා වෙළෙඳපොලට එවීමයි.

තත්ත්වය එලෙස පවතිද්දී හිරු සී.අයි.ඒ. හරහා සිදුකළ අනාවරණයෙන් අනතුරුව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා යටතේ පවතින කර්මාන්ත, වානිජ කටයුතු දිගු කාලීන අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම හා සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය අපට ලිපියක් යොමුකර තිබෙනවා.

ලංකා සතොස පිළිබඳ සාවද්‍ය තොරතුරු පළ කර ඇති බව දක්වා ඇති එම ලිපියේ මාර්තු මස සිට පල්ලේගමුව සහල් මධ්‍යස්ථානයෙන් කිසිදු ආකාරයක සහල් ප්‍රමාණයක් මිලදී ගැනීමක් සිදුකර නොමැති බව දක්වා තිබෙනවා.

අප කිසි විටකත් හිරු සී.අයි.ඒ හරහා පල්ලේගමුව සහල් මධ්‍යස්ථානයක් පිළිබඳ හෙළි නොකළ අතරල අප අනාවරණ කළේ තිස්සමහාරාම – පන්නගමුව සහල් මධ්‍යස්ථානය පිළිබඳවයි.

තම අමාත්‍යාංශයට අයත් සහල් සැකසුම් මධයස්ථාන පිළිබදවත් ඔවුන්ට නිසි අවබෝධයක් නොමැති බව මෙම ලිපිය මගින් ද ඔවුන් පැහැදිලිව ඔප්පු කර තිබෙනවා.

අප හෙළි කළ තිස්සමහාරාම – පන්නගමුව සහල් මධ්‍යස්ථානයේ නිලධාරියෙකු හෙලි කළේ නැවත සකසන මෙම සහල් ලංකා සතොස වෙත යොමුකරන බවයි.

එම ලිපිය යොමුකළ බලධාරීන්ට අප සිහිපත් කර සිටින්නේ තමන් නිවැරදි බව ලිපි මගින් මාධ්‍යයට දැන්වීමට යුහුසුළු වීමට පෙර අමාත්‍යාංශයට අයත් සහල් මධ්‍යස්ථාන පිහිටි ස්ථාන පිළිබද දැනුවත්ව සිටින ලෙසයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *