බුද්ධි අංශ මේජර් වරයෙකු ලෙස පෙනී සිටි නිසාර් ඉම්රාන් STF අත්අඩංගුවට

(02.06.2019 – 10:13 +0530 – sinhala.adaderana.lk)

යුද හමුදා බුද්ධි බලකායේ මේජර් වරයෙකු ලෙස පෙනී සිටිමින් අන්තවාදී ක්‍රියාවල යෙදුණු බවට සැකපිට පුද්ගලයෙකු මොරටුව – ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකායට ලද තොරතුරක් මත මොරටුව, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ සිදු කල වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි මොහම්මදු නිසාර් ඉම්රාන් නොහොත් ජෝන් වෝල්ක් නමැති මෙම සැකකරු යුධ හමුදා බුද්ධි බලකායේ මේජර් වරයෙකු ලෙස පෙනී සිටිමින් ප්‍රදේශවාසීන් මුලාකර විවිධ නම් වලින් පෙනී සිට අන්තවාදී ක්‍රියාවල නිරතව සිට ඇති බව සදහන්.

සැකකරු සතුව තිබී යුධ හමුදාව භාවිත කරන කමිස තුනක්, කඩුවක්, ඩ්‍රෝන යානාවක්, ජංගම දුරකතනයක්, කැමරා දෙකක්, ලැප්ටොප් පරිඝණක 03 ක් ඇතුළු උපකරණ තොඟයක් ද විශේෂ කාර්යය බලකාය භාරයට ගෙන ඇත.

සැකකරු වැඩිදුර විමර්ශන සදහා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය පැවසුවේය ෴

+++++++++++++++++++++++++++++++++++

සහරාන්ගේ කණ්ඩායමේ දෙවන පෙළ නායකයින් අල්ලනවාට බලපෑම්

(02.06.2019 – aruna.lk)

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් සමග කටයුතු කළ දෙවැනි පෙළෙ අන්තවාදී නායකයින් අත්අඩංගුවට ගැනීමත් සමග ඔවුන් මුදාගැනීමට සහ අත්අඩංගුවට ගැනීම් වළක්වන ලෙස ප්‍රබල දේශපාලනඥයින්ගෙන් මෙන්ම මුස්ලිම් ආගමික හා සිවිල් සංවිධානවලින්ද ආරක්ෂක අංශවලට බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ.

එහිදී දැනට අත්අඩංගුවට ගෙන ඇති සහරාන් සමග කටයුතු කළ ප්‍රබලයින් සහ එම සංවිධානයේ දේශන හා පුහුණුවීම් කටයුතුවල නිරත වීම නිසා අත්අඩංගුවට පත්වී සිටින අන්තවාදී පුද්ගලයින් කඩිනමින් නිදහස් කරන ලෙසට වන බලපෑම් හේතුවෙන් පරීක්ෂණ කටයුතු අඩපණ වීමේ තත්ත්වයක් මතුව ඇති බව ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේ බලපෑම් කරනු ලබන අය අතර ආණ්ඩුකාරවරුන්, ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා පළාත් පාලන සහ මුස්ලිම් ආගමික නායකයින්ද ඇත. වැඩි වශයෙන් බලපෑම් එල්ලවී ඇත්තේ පොලිස් ස්ථානාධිපතිවරුන්ට හා කොට්ඨාසභාර පොලිස් අධිකාරීවරුන්ට බවද වාර්තා වේ.

පාස්කු ඉරිදා ස්ථාන අටකට එල්ල වූ මුස්ලිම් අන්තවාදී ප්‍රහාරය මේ වන විට දේශපාලන බලපපෙරළියකට තල්ලු වීම නිසා මෙම තත්ත්වය වඩාත් උග්‍ර වී තිබේ.

අන්තවාදී කණ්ඩායමේ දෙවැනි පෙළ කණ්ඩායමට සම්බන්ධ එකසිය විස්සකට (120) ආසන්න ප්‍රමාණයක් ආරක්ෂක බුද්ධි අංශ විසින් හඳුනාගෙන ඇත. ඔවුන්ගෙන් බහුතරයක් මේ වනවිටත් අත්අඩංගුවට පත්ව ඇති අතර ඉන් ද වැඩි පිරිසක් පුහුණු වීම්වලට සහභාගි වී කරාතේ හා කඩු හරඹ පුහුණු වී තිබේ. ආත්මාරක්ෂක සටන් කලාවට අමතරව අන්තවාදී අදහස් පතුරවන දේශනවලටද සහභාගි වී ඇත.

මීට අමතරව සහරාන්ගේ තුන්වැනි පෙළ පිළිබඳ තොරතුරුද බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇති අතර ඔවුන් පිළිබඳ පරීක්ෂණ කිරීමේදී දේශපාලන සහ ආගමික බලපෑම් වැඩි ලෙස එල්ල වන්නට පටන් ගෙන තිබේ. එම පිරිසට සහරාන් හා ඔහුගේ පළමු පෙළ කණ්ඩායම විසින් අන්තවාදී අදහස් උද්දීපනය වන ආකාරයේ අදහස් සමාජගත කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

මේ වනවිට තව්හිද් ජමාත් සංවිධානයට සෘජුව හා වක්‍රාකාරයෙන් සම්බන්ධ වී කටයුතු කළ දහසකට ආසන්න පිරිසක් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව පොලිසිය හා ත්‍රිවිධ හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ගෙන ඇත. ඉන් 66ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගැනී‍ම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරති.

ඊට අමතරව ත්‍රස්ත විමර්ශන ඒකකයේදී සැකකරුවන් 21 දෙනකු රඳවා ගැනීමේ නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරයි.

– චමින්ද සේනාරත්න

+++++++++++++++++++++++++++++++++++

රටේ සියලු නායකයින් අල්ටකියාවට හසුවෙලා

(02.06.2019 – 12:38 +0530 – sinhala.adaderana.lk)

නබි නායක තුමන් පවා අනුමත නොකළ ඩිරාර් නමින් හඳුන්වන මුස්ලිම් පල්ලි සෑදීමට අවසර ලබා දී ඇත්තේ එම්.එච්.එම් හලීම් අමාත්‍යවරයා බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ මහනුවර ගැටඹේ ශ්‍රී රාජෝපවනාරාමයේ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවකදීයී.

ගැටඹේ ශ්‍රී රාජෝපවනාරාමය වෙත ඊයේ වැඩම කළ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ ගැටඹේ ශ්‍රී රාජෝපවනාරාමය වැඳ පුදා ගත්තේය.

ගැටඹේ ශ්‍රී රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පැටියාගෙඩ සිරිවිමල හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ඉන් අනතුරුවයි.

රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ත්‍රෛයි නිකායික මහ සඝරුවන එකමුතුව මේ අවස්ථාවේදී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් වන යෝජනාවලියේ ප්‍රථම පිටපත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් කැප්පැටියාගෙඩ සිරිවිමල හිමියන්ට පිරිනැවේය.

ඉන් අනතුරුව ඥානසාර හිමි විසින් මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ මඩාටුගම පල්ලියක් මුස්ලිම් පිරිසක්ම පැමිණ කඩා බිඳ දැමූ බවත් නබි තුමා ප්‍රකාශ කර ඇත්තේද එම ඩිනාර් පල්ලි කඩා බිඳ දමා එම ස්ථානයේ කුණු දැමිය යුතු බවත්ය.

එවන් ඉගැන්වීම් තිබියදීත් ඩිනාර් පල්ලි ඉදිකිරීමට හලීම් ඇමතිවරයා අවසර ලබා දී ඇති බව උන්වහන්සේ පවසයි.

මංගල සමරවීර මහතා ප්‍රකාශ කළ පරිදි මේ රට සිංහල බෞද්ධ රටක් නොවේය යන ප්‍රකාශයේ යම් සත්‍යයක් පවතින බවත් මේ රටේ බුද්ධාගම රාජ්‍ය ආගම ලෙස කිසිදු තැනක සඳහන් නොවන බවත් උන්වහන්සේ ප්‍රකාශ කරයි.

කුරානයේ නැති ආගමික අන්තවාදීන්ගේ පවතින “අල්ටකියා” න්‍යායට එනම් තමන්ගේ අරමුණු ඉටු කර ගැනීමට ඕනෑම කෙනෙක් රැවටීම සඳහා මේ රටේ ජනපතිගේ සිට සියලු පක්ෂවලට නායකත්වය දෙන සියලු නායකයින් යොමුවී ඇති බව ඥානසාර හිමි ප්‍රකාශ කර සිටියි.

එතැනින් මිඳීමට කටයුතු නොකරන්නේනම් ඉතිහාසයේ නැවත හැරවිය නොහැකි වරදක් සිදුකරගන්නා බව උන්වහන්සේ අවධාරණය කර සිටියේය ෴

+++++++++++++++++++++++++++++++++++

සහරාන්ගේ පල්ලි හැදු ඉංජිනේරුවරයෙක් අත්අඩංගුවට

(02.06.2019 – 10:51 +0530 – lankadeepa.lk)

සහරාන් හසීම් හා තව්හීත් ජමාත් සංවිධානය සමඟ සමීප සබඳතා පවත්වමින් හොරොව්පොතාන පත්තෑව සහ කැබිතිගොල්ලෑව ඇල්ලැව යන ප්‍රදේශවල තව්හීත් ජමාත් පල්ලි ඉදිකිරීම සඳහා මුදල් ලබාදුන් ඉදිකිරීම් ඉංජිනේරුවරයකු දෙහිවල දී අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලීසිය කියයි.

සහරාන් හසීම් සහ තව්හීත් ජමාත් සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ බවට මීට පෙර හොරොව්පොතාන පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ලබාගත් තොරතුරු මත හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපති ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් දෙහිවල ප්‍රදේශයට ගොස් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අංක 51/බී, කවුඩාන පාර දෙහිවල ලිපිනයෙන් පදිංචි මොහොමඩ් සහිම් නසුර්දින් (53) නමැති සැකකරුවෙකුය.

මොහු වසර දහයකට වැඩි කාලයක් සෞදි අරාබි රටේ ඉදිකිරීම් ඉංජිනේරුවරයකු වශයෙන් සේවය කර පසුව ශ්‍රී ලංකාවේ විවිධ ව්‍යාපෘතිවල කොන්ත්‍රාත්කරුවෙකු වශයෙන් ද කටයුතු කර ඇති බව පොලිසිය කියයි.

සහරාන් හසීම් ගෙ හොරොව්පොතාන සහ කැබිතිගොල්ලෑව ප්‍රදේශ බාර නායකයා ලෙස හඳුනාගෙන ඇති දැනට විදේශ ගතව සිටින අබු බකර් නැමැත්තා සමඟ ද මෙම සැකකරු සමීප සබඳතා පවත්වා ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

පල්ලි ඉදිකිරීම සඳහා මෙතරම් විශාල මුදලක් සැකකරුට ලැබුණේ කෙසේ ද එම මුදල් බෙදාහැරීම සිදු කළේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් මේ වන විට පොලිසිය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව උසස් නිලධාරියෙක් පැවැසීය.

අත්අඩංගුවට ගත් සැකකරු ත්‍රස්තවාදී වැළැක්වීමෙන් තාවකාලික විධිවිධාන පනත යටතේ පොලිසියට ලැබී ඇති බලතල අනුව පැය 72 ක් රඳවා ප්‍රශ්න කිරීමට නියමිතය ෴

***************************************

සෙබලෙකුට මරු කැදවමින් යාපනේ පලාලිහිදී පුපුරා ඇත්තේ පීඩන බෝම්බයක් හෝ මර උගුලක්..

(02.06.2019 – 12:00 +0530 – lankacnews.com)

යාපනය පලාලි ගුවන් හමුදා කඳවුර ප්‍රදේශයේ පිහිටි වාසවිලාන් යුද හමුදා කඳවුර ආසන්නයේ කැලෑවක ඊයේ (01) සවස සිදු වූ පිපිරීමකින් යුද හමුදා සෙබලෙකු මිය ගොස් තවත් සෙබලුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවට කන්කසන්තුරෙයි පොලීසිය පවසයි.

වාසවිලාන් යුද හමුදා කඳවුරේ සිටි යුද හමුදා සෙබලුන් තිදෙනෙකු කිසියම් කටයුත්තක් සඳහා ප්‍රදේශයේ පිහිටි කැලෑවක් වෙතට ගොස් ඇති අතර එහිදී බෝම්බයක් වැනි යමක් පිපිරීමෙන් මෙම අනතුර සිදුව ඇත.

යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් අටවන ලද මර උගුලක් හෝ පීඩණ බෝම්බයක් පුපුරා යාමෙන් මෙම සිදුවීම සිදුව ඇති බවටත් පිපිරීමෙන් බරපතල තුවාල ලැබූ සෙබලුන් දෙදෙනෙකු යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවටද පරික්ෂණ සිදු කරන කන්කසන්තුරෙයි පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

***************************************

ජාතික තවුහිද් ජමාත් සංවිධානයට ආධාර දුන් ඉංජිනේරුවෙක් දෙහිවලදී කොටු වෙයි

(02.06.2019 – 16:41 +0530 – sinhala.adaderana.lk)

ජාතික තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධව විවිධාකාරයෙන් ආධාර අනුබලදීම සම්බන්ධයෙන් හොරොව්පතාන පොලිසියට ලද තොරතුරකට අනුව විමර්ශන සිදුකර දෙහිවලදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ (01) අත්අඩංගුවට ගත් අදාළ සැකකරු දෙහිවල කවුඩාන පාරේ පදිංචි වයස අවුරුදු 53 ක මොහොමඩ් සහීන් නසුර්දීන් ලෙස හඳුනාගෙන ඇති බවයි.

ජාතික තව්හිද් ජමාත් සංවිධානයට මුදල් ආධාර ලබාදුන් බවට මෙම පුද්ගලයාට චෝදනා එල්ල වී තිබේ.

හැවිරිදි මොහොමඩ් සහීෆ් නසියුර්දීන් නැමති අදාළ පුද්ගලයා සන්නිවේදන ඉංජිනේරුවරයෙකු වශයෙන් කටයුතු කර ඇති බව සඳහන් වේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *