තෙවන දිනටත් රතන හිමි උපවාසයේ – හිමියන් බැලීමට පැමිණි දුමින්දට ජනතා විරෝධය

(02.06.2019 – 19:12 +0530 – sinhala.adaderana.lk)

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා මෙන්ම අසාද් සාලි සහ එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරු එම ධුරවලින් ඉවත් කරන ලෙසට බලකරමින් පූජ්‍ය අතුරලිය රතන හිමියන් ආරම්භ කළ උපවාසය තුන්වන දිනට මේ වන විටත් ක්‍රියාත්මකයි.

තවත් පාර්ශ්ව කිහිපයක්ම එම හිමියන්ට සහාය පළ කරමින් ස්ථාන කිහිපයක උපවාස ආරම්භ කර ඇත.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරු එම ධුරවලින් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් හතරක් මුල් කරගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් දළඳා මාළිගාව අබියස අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළේ ඉකුත් සිකුරාදායි.

රතන හිමියන් අවධාරණය කර සිටියේ ජනාධිපතිවරයා මෙම ඉල්ලීම් ඉටුකරන තෙක් නිරාහාරව අඛණ්ඩ උපවාසයේ නිරතවන බවයි.

මහනුවර මහ රෝහලේ වෛද්‍යවරු ඊයේ රාත්‍රියේ පැමිණ රතන හිමිගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරනු ලැබුවේය.

රතන හිමියන් බැහැදැකීම සඳහා ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේද එම ස්ථානයට වැඩම කළා.

එමෙන්ම බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිද රතන හිමි බැහැ දැකීම සඳහා එහි වැඩම කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම පැමිණ රතන හිමියන්ගේ සුවදුක් විමසුවේය.

මෙහිදී රතන හිමියන්ගේ සුවදුක් විමසීමට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාට රැස්ව සිටි පිරිසගෙන් විරෝධයක් එල්ල වුණි.

දෙමළ ජාතික සන්ධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව පසුව ඒකාබද්ධ විපක්ෂයට සහාය පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. වියාලේන්ද්‍රන් මහතාද පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ උපවාසයට සහය පළ කරමින් මඩකලපුවේ ගාන්ධි උද්‍යානය ඉදිරිපිට ඊයේ (2) ආරම්භ කළ උපවාසය දෙවන දිනටත් අද ක්‍රියාත්මක වුණි.

මෙම උපවාසයට සහාය පල කිරීමට දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ලේඛකාධිකාරි පූජ්‍ය දේවගල දේවාලංකාර හිමි සහ පොළොන්නරුව දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරී පූජ්‍ය දිඹුලාගල රාහුලාලංකාර හිමි ද අද එක්වුණි.

ගලහා හාල්වත්ත ඓතිහාසික බෝධිය ඉදිරිපිටදී සමස්ත ලංකා හින්දු සම්මේලනයේ සාමාජිකයන්ද අද රතන හිමිට සහාය පළ කරමින් උපාවසයක් ආරම්භ කළේය.

මේ අතර පූජ්‍ය හෙට්ට්පොල සීවලි හිමිද අද දහවල් රතන හිමිගේ උපවාසයට සහාය පළ කරමින් කළුතරදී උපවාසයක නිරත වුණි.

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව අද මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කළේය.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් උපවාසයට හේතු ලෙස සඳහන් කර ඇති කරුණු පිළිබඳ අවධානය යොමු කොට අවශ්‍ය පියවර නොපමාව ගන්නා ලෙස ජනාධිපතිවරයා ඇතුළු රජයෙන් ඉල්ලා සිටින බවයි එහි සඳහන්ය.

මේ අතර කටුවාපිටිය දේවස්ථානයට එල්ලවූ ප්‍රහාරයෙන් දිවි අහිමිවූවන්ගේ ඥාතීන් ඇතුලු පිරිසක් අද පස්වරුවේ රතන හිමිගේ උපවාසයට සහාය දැක්වීමට එක්වුණි.

+++++++++++++++++++++

02.06.2019

+++++++++++++++++++++

02.06.2019

+++++++++++++++++++++++++++++++++++

වියාලේන්ද්‍රන්ගේ උපවාසයට දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ නාහිමිවරුන් දෙදෙනෙකුත් එක් වෙයි

(02.06.2019 – 16:30 +0530 – sinhala.adaderana.lk)

අමාත්‍ය රිෂාඩ් බදියුදින් සහ ආණ්ඩුකාරවරු දෙදෙනෙකු ධුරයෙන් ඉවත්කිරිම ඇතුලුව ඉල්ලිම් හතරකට බල කරමින් පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් විසින් ආරම්භ කල උපවාසයට සහය පල කරමින් මඩකලපු දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් වියාලේන්ද්‍රන් ඇතුලු පිරිසක් ඊයේ (01) මඩකලපුවේ ආරම්භ කළ උපවාසයට සහය පලකරමින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ නාහිමිවරුන් දෙනමක්ද එක්ව ඇත.

ඒ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ බුද්ධ ශ‍්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරි දේවගල දේවාලංකාර හිමියන් සහ පොලොන්නරුව දිස්ත‍්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරි දිඹුලාගල රාහුලාලංකාර යන නාහිමිවරුන් දෙනමයි.

උපවාසයට එක් වෙමින් උන් වහන්සේලා පැවසුවේ අන්තවාදී මුස්ලිම් අන්තවාදින් අමාත්‍යවරුන්ට ලබා දුන් තනතුරු වලින් ඔවුන් ඉවත් කරන ලෙසත් නැගෙනහිර පළාතේ මුස්ලිම් අන්තවාදින්ගේ බලයෙන් දෙමල හා සිංහල ජනතාව බේරා ගැනීමට ජනපතිවරයා සහ අගමැතිවරයා වහා ක‍්‍රීයා කල යුතු බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඓතිහාසික ශ්‍රී දළදා මාලිගය අබියස ආරම්භ කළ උපවාසයේ තෙවැනි දිනය අදයි ෴

+++++++++++++++++++++++++++++++++++

30.05.2019

+++++++++++++++++++++++++++++++++++

උපවාසයේ නිරත රතන හිමියන්ගේ සහයට රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායකත් එක්වෙයි – මහනුවර නගරයේ වෙළදසැලුත් වසයි

(03.06.2019 – 07:33 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ අසාද් සාලි, එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් එම තනතුරුවලින් ඉවත් කිරිම ඇතුළු ඉල්ලීම් 04 ක් මුල් කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආරම්භ කළ අඛන්ඩ උපවාසයට අදට දින 04 ක් ගතවනවා.

ප්‍රදේශයේ හිරු වාර්තාකරුවන් සදහන් කළේ උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ඇති බැවින් ඊයේ (02) රාත්‍රියේද වෛද්‍යවරුන් පැමිණ පරීක්ෂා කර ඇති බවයි.

එමෙන්ම විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ද ඊයේ (02) පස්වරුවේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට සහය පළ කරමින් එම ස්ථානයට පැමිණියා.

උන්වහන්සේගේ සුවදුක් විමසීම සඳහා මහා සංඝරත්නය, දේශපාලනඥයින් සහ සිවිල් සංවිධාන ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් ද උපවාසය සිදුකරන ශ්‍රී දළදා මාළිගාවේ මහමළුවට පැමිණෙන බවයි වාර්තාකරුවන් කියා සිටියේ.

මේ අතර, රතන හිමියන්ගේ උපවාසයට සහය පළ කරමින් මහනුවර සිංහල වෙළඳ පෙරමුණ අද (03) නගරයේ සියළු වෙළදසැල් වසා දමා විරෝධතාවක නිරතවීමට තීරණය කර තිබෙනවා.

කළු කොඩි ඔසවමින් නගරයේ සියළුම වෙළදසැල් මෙලෙස අද උදෑසන සිට වසා දැමීමටයි එම පෙරමුණ තීරණය කර ඇත්තේ.

එමෙන්ම රතන හිමියන්ගේ උපවාසයට සහය පළ කරමින් අද (03) පස්වරු 3 සිට 5 දක්වා පැය දෙකක කාලයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සියළුම වෙළඳසැල් ද වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිටට පැමිණ රතන හිමියන්ගේ ඉල්ලීම්වලට කඩිනම් විසදුමක් ලබාදෙන ලෙසට බල කරමින් විරෝධතා ව්‍යාපාරයක් ද පැවැත්වීමට තීරණය කර ඇති බවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළද සංගමයේ සභාපති ශාන්ත ඒකනායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මීට අමතරව වැලිගම නගරයේ ද රතන හිමියන්ට සහය පළ කරමින් ප්‍රදේශයේ සංඝයා වහන්සේලා ප්‍රමුඛ ප්‍රදේශවාසීන් අද උදෑසන විරෝධතාවක නිරතවනවා.

අලූත්ගම බස් නැවතුම්පොළ ඉදිරිපිට ද ස්වාමීන් වහන්සේලා පිරිසක් ඊයේ රාත්‍රියේ උපවාසයක් ආරම්භ කළේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට සහය පළ කරමින්.

මේ අතර පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ උපවාසයට සහය පළ කරමින් අලුත්ගමින් ආරම්භ කෙරෙන පෞද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කර ඇති බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය කියා සිටියේ ෴

+++++++++++++++++++++

ප්‍රහාරයට වක්‍රාකාරයෙන් සම්බන්ධ අය ගැන විශේෂ පරීක්ෂණයක් සිදු කල යුතුයි – අගරදගුරු

(03.06.2019 – 10:28 +0530 – sinhala.adaderana.lk)

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (03) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාළිගාව අබියස අඛණ්ඩ උපවාසයක නිරතව සිටින පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සුවදුක් විමසීම සඳහා පැමිණියේය.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ අසාද් සාලි , එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරු එම ධුරවලින් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් හතරක් මුල්කරගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් දළඳා මාළිගාව අබියස අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළේ ඉකුත් සිකුරාදායි.

රතන හිමියන් අවධාරණය කර සිටියේ ජනාධිපතිවරයා මෙම ඉල්ලීම් ඉටුකරන තෙක් නිරාහාරව අඛණ්ඩ උපවාසයේ නිරතවන බවයි.

මෙම අවස්ථාවට එක්වෙමින් අගරදගුරු මැල්කම් කාදිනල් හිමිපාණන් කියා සිටියේ, සිදුවු ප්‍රහාරයන් ගැන නිසි පරීක්ෂණයක් සිදු කළේ නොමැති බවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයන්ගෙන් මිය ගිය හා තුවාල වු ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිමින් රතන හිමියන් එයට අදාළ සැබෑ තතු සොයා ගෙන මෙවැනි උපවාසයක් කරන බවත් පැවසු අගරදරගුරු හිමියන් මෙම බෝම්බ ප්‍රහාරයට අනුග්‍රහය දැක්වුයේ කවුද යන්න පිළිබඳ තවමත් සත්‍ය හෙළි වී නොමැති බව ද පවසා සිටියේය.

බෝම්බ සිදුවීමෙන් මියගිය හා තුවාල වු පවුල්වල අයගේ පවුල්වලට සාධාරණයක් සිදු වුවා යැයි සිතිය නොහැකි බවත් නිලධාරීන් පසුපස යමින් ආගම් පසුපස තිබෙන සැකය හා බිය ඉස්ලාම් ජාතිකයන් අතර ඉස්මතු වීමට ඉඩ දී ප්‍රහාරයට වක්‍රව සම්බන්ධ වුයේ කවුරුන්ද ගැන විශේෂයෙන් සොයා බැලීය යුතුයි.

+++++++++++++++++++++

රතන හිමිගේ ඉල්ලීම් ගැන ඇමති චම්පික ජනපති සමඟ සාකච්ඡාවක්

(03.06.2019 – 10:08 +0530 – sinhala.adaderana.lk)

අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ බැහැදැක සුවදුක් විමසීම සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද උදෑසන මහනුවර දළඳා මාළිඟා පරිශ‍්‍රය වෙත පැමිණි ඇත.

දේශපාලන ගමනේ ප‍්‍රමුඛ සටන් සඟයෙකු වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා සහ උන් වහන්සේගේ අධිෂ්ඨානය ජය ගැනීම උදෙසා ශක්තියක් වීම සඳහා මෙලෙස පැමිණි බව අමාත්‍යවරයා පවසයි.

උන් වහන්සේ බැහැදැකීමට ප‍්‍රථම අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ (02) දවසේ අතුරලියේ රතන හිමියන්ගේ උපවාසය පැවැත්වීමට හේතු වී ඇති කරුණ සම්බන්ධව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා කර ඇත.

එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ, මේ අවස්ථාවේදී රතන ස්වාමීන්වහන්සේගේ සහ පොදුවේ සමස්ථ රටේම ඉල්ලීම ඉටු කිරීම අත්‍යාවශ්‍ය වී ඇති බවයි.

ඒ අනුව ජනාධිපතිවරයාගේ යහපත් ප‍්‍රතිචාරයක් අද දිනය තුළ අපේක්‍ෂා කරන බවද ඇමති චම්පික පෙන්වා දෙයි.

+++++++++++++++++++++

03.06.2019

+++++++++++++++++++++

රතන හිමිගේ ඉල්ලීම්වලට සහාය පළ කරමින් මීගමුවෙන් ආරම්භ වන සියලු පෞද්ගලික බස් වර්ජනයක් අරඹයි

(03.06.2019 – nethnews.lk)

උපවාසයේ නිරත පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ඉල්ලීම්වලට සහායෝගය පළ කරමින් මීගමුවෙන් ආරම්භ වන සියලු පෞද්ගලික බස් රථ මේ වන විට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඊට මීගමුව නගරයේ ත්‍රීරෝද රථ ද සහාය පළ කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ හේතුවෙන් මීගමුව නගරයේ මගීන් රැසක් අපහසුතාවයට පත්ව ඇති බවත් සඳහන්.

අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මෙන්ම ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි සහ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා එම ධූරවලින් ඉවත් කිරීම රතන හිමියන් ආරම්භ කළ උපවාසයේ ප‍්‍රමුඛ ඉල්ලීම් 03 යි.

මේ අතර පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආරම්භ කළ උපවාසයට සහය පළ කරමින් කලුතර පෞද්ගලික බස් රථ සේවකයින් පිරිසක් ද බස් ධාවනයෙන් ඉවත් වී තිබෙනවා.

කලුතර කොළඹ පෞද්ගලික බස් රථ කිසිවක් මේ වනවිට ධාවනය නොවන බව නෙත් නිවුස් වාර්තාකරු ප‍්‍රකාශ කළා.

ඇතැම් දුර ගමන් සේවා බස්රථ ද කලුතරට පමණක් ධාවනය වන බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. රතන හිමියන්ට සහය පළ කරමින් බස්රථ සේවකයින් කලුතර බස් නැවතුම්පලේ හා ඒ අවට ප‍්‍රදේශයේ විවිධ පුවරු ද ප‍්‍රදර්ශනය කරමින් සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *