තමා අත්අඩංගුවට නොගත්තේ නම් ත්‍රස්ත ප්‍රහාර අවම කරගැනීමට හැකියාව තිබුණා – DIG නාලකගෙන් ප්‍රකාශයක්

(04.06.2019 – 19:09 +0530 – sinhala.adaderana.lk)

සහරාන් හෂීම් සම්බන්ධයෙන් තමා සතුව තිබූ රහසිගත උපායමාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීමට හැකිවූයේ නම් , ප්‍රහාර අවම කරගැනීමට අනිවාර්යෙන්ම හැකියාව තිබූ බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා පවසයි.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරිම්කාරක සභාවට සාක්ෂි ලබාදෙමින් ඔහු අද (04) පැවසුවේ තමා හදිසියේ අත්අඩංගුවට ගැනීම නිසා, අන්තවාදී කල්ලිවලට එරෙහිව කළ විමර්ශනවල අඩුපාඩු සිදුවූ බවයි.

පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තාකිරීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව දෙවැනි දිනටත් අද රැස්වු අතර එහි කටයුතු ආරම්භයේදී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව පළකරන අදහස්වලට ප්‍රතිචාර දැක්විය.

තේරීම් කාරක සභාව ඉදිරියේ ප්‍රථමයෙන් සාක්ෂි දුන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතායි.

මෙහිදී රවී කරුණනායක, සරත් ෆොන්සේකා හා තවත් කමිටු සමාජිකයින් කීප දෙනෙක් ඔහුගෙන් සහරාන් පිළිබඳව ප්‍රශ්න කර සිටියේය.

එහිදී නාලක සිල්වා මහතා පවසා සිටියේ, සහරාන්ගේ වෙබ් අඩවි හා ෆේස් බුක් තුළින් ප්‍රචණ්ඩකාරී දෙයක් සිදු කරමින් සිටි බවයි.

ඒ පිළිබඳ තමා පොලිස්පතිවරයා නිරන්තරයෙන් දැනුවත් කල බව ද පැවසු නාලක සිල්වා මහතා, සහරාන්ට දේශපාලන සහයෝගයක් අනාවරණය වී තිබ්බා යැයි පැවසිය නොහැකි බවත් එය අදාළ නොවන බවත් පැවසීය.

කෙසේ වෙතත් 2017 සිට මේ පිළිබඳ පොලිස්පතිවරයා වෙත වාර්තා කල බවත්, එය තමාට විශ්වාවස බවත් පැවසු නාලක සිල්වා මහතා, තමා අත්අඩංගුවට ගැනීමත් සමඟ සහරාන් පිළිබඳ සිදු කරනු ලැබූ පරීක්ෂණ නැවතුනේ නැතත් නිසි ලෙස ඉදිරියට ගියේ නැතැයි ද පැවසීය.

එල්.ටී.ටී.ඊ ත්‍රස්ථයින් ගැන නිලධාරීන් දැනුවත්ව සිටි නමුත් සහරාන් වැනි අයෙක් තමා හොඳින් අධ්‍යයනය කර සිටි බව ද පැවසීය.

ඔහුගේ ෆේස් බුක් ගිණුම තුළින් අයි.එස් ත්‍රස්ථයින්ට අනුබල දුන් බව ද නාලක සිල්වා මහතා මෙහිදී පැවසු අතර, තමා සිටියේ නම් ප්‍රහාරයන් අවම කර ගැනීමට හැකියාව පවතිනු ඇති බව ද සඳහන් කළේය.

+++++++++++++++++++++++++++++++++++

මංගලට-රාජිතට-චතුරට ගම්පහ විහාරස්ථානවල උත්සව තහනම්

(05.06.2019 – 07:10 +0530 – sinhala.adaderana.lk)

මංගල සමරවීර, රාජිත සේනාරත්න සහ චතුර සේනාරත්න යන මැති ඇමතිවරුන්ට ගම්පහ විහාරස්ථානවල උත්සව ආදීයට සහභාගීවිම තහනම් කිරිමට ගම්පහ විහාරස්ථානවල විහාරාධිපති ස්වාමින් වහන්සේ තීරණය කර තිබේ.

ඊයේ (04) රාත්‍රි රැස්වූ ගම්පහ ආසනයේ විහාරාධිපති සංගමය විසින් මෙම තීරණයට එළඹි බවයි ගම්පහ දිස්ත්‍රික් සසණාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි තෝරපිටියේ ආනන්ද හිමි සදහන් කළේ.

ශ්‍රී ලංකාවට පොදු එක් නීතියක් ක්‍රියාත්මක කරවිම සම්බන්ධයෙන් වැඩපිළීවෙලක් සකස් කළ යුතු බවට යෝජනාවක් ද එහිදී සම්මත වූ බවයි උන්වහන්සේ පවසන්නේ.

+++++++++++++++++++++

***************************************

අපරාධ නීති සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

(05.06.2019 – 13:03 +0530 – hirunews.lk/sinhala)

අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට හැකි වන පරිදි දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව මෙම වැරදි සම්බන්ධයෙන් වරදකරුවන් වන තැනැත්තෙකුට රුපියල් ලක්ෂ 10 ක් දක්වා වන දඩ මුදලක් නියම කිරීමට හෝ වසර 05 කට නොවැඩි සිර දඩුවමක් නියමට හෝ එම දෙකටම යටත් වන පරිදි දඩුවම් පැමිණවීමට මෙම සංශෝධනය යටතේ සිදුවනු ඇති.

එමෙන්ම වෛරී ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට හැකි වනු පිණිස දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

ඒ යටතේ වරදකරුවෙකු වන තැනැත්තෙකුට දඩ මුදලක් හෝ සිර දඩුවමක් නියම කිරීමට හැකිවන ලෙසයි මෙම සංශෝධනයන් සිදු කරනු ලබන්නේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව මෙම සංශෝධනයන් සිදු කරන ලෙස මීට පෙර අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් ද කර තිබුණා ෴

***************************************

මම ජනාධිපතිවරණයට එන්නෙත් නෑ – මහින්දට සහය දෙන්නෙත් නෑ

(05.06.2019 – 13:53 +0530 – sinhala.adaderana.lk)

නැවත තමා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇති බව අද දෙරණට විශ්වාසවන්ත ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙයි.

ඊයේ (04) පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව එක්සත් ජාතික පෙරමුණු අමාත්‍යවරුන් ඉදිරියේ විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

එක්සත් ජාතික පක්ෂය තරුණ ජවයත් එක්ක පක්ෂය හරි මාර්ගයට එන්නේ නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහාය දෙන්න සූදානම් බව එහිදී වැඩිදුරටත් පවසා තිබේ.

එමෙන්ම ඉදිරි ජනාධිපතිවරණයේදී කිසියම් හේතුවක් නිසා හෝ තමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හෝ ඔහුගේ පක්ෂයට සහයෝගය නොදක්වන බව ද ජනාධිපතිවරයා මෙහිදී තවදුරටත් සඳහන් කර ඇත ෴

***************************************

මොරගහහේන ඉන්ධන පිරවුම්හලේ ගැටුමක් – 5 ක් රෝහලේ

(05.06.2019 – 15:22 +0530 – hirunews.lk/sinhala)

හොරණ මොරගහහේන නගරයේ ඉන්ධන පිරවුම්හලට පැමිණි පිරිසක් අද උදෑසන එහි සේවකයන්ට පහරදීමක් සිදුකර තිබෙනවා.

දෙපාර්ශවය අතර ඇතිවූ බහින්බස්වීමකින් පසු මෙම පහරදීම සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අද උදෑසන පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ බෝතලයකට පෙට්‍රල් ඉල්ලා තිබෙනවා.

එය ඉන්ධන පිරවුම්හලේ සේවකයන් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් බහින්බස්වීම සිදුව ඇතැයි සඳහන්.

පසුව ඔවුන් දෙදෙනා පිටව ගොස් තවත් පිරිසක් සමග ත්‍රී රෝද රථයකින් පැමිණ පිරවුම්හලේ සේවකයන්ට සහ කළමණාකරුට පහරදී තිබෙනවා.

සේවකයන් ද එහිදී සැකකරුවන්ට පහරදී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ගැටුමෙන් තුවාල ලැබු 5 දෙනෙකු රෝහල් ගතකර ඇති අතර ඉන් 3 දෙනෙකු හොරණ මූලික රෝහලේත් තවත් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලේත් ප්‍රතිකාර ලබනවා.

ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන දෙදෙනාගේ තත්වය බරපතල බව සඳහන්.

ගැටුමට අදාළව පුද්ගලයන් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොරගහහේන පොලිසියයි සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදු කරන්නේ.

අද උදෑසන සිදුවු මෙම ගැටුම ඉන්ධන පිරවුම්හලේ සවිකර තිබු CCTV කැමරාවල ද සටහන් වී තිබුනා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *