නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ණය වාරිකය ගැන හෙළිදරව්වක්

(05.06.2019 – 22:10 +0530 – hirunews.lk/sinhala)

නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලේ ණය පොලී වාරිකය ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය මාසිකව ගෙවන රුපියල් මිලියන 25 ක මුදලින් කොටසක් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට ද ලැබෙන බව අන්තර් සමාගම් සේවක සංගමය චෝදනා කරනවා.

එම සේවක සංගමය අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි සභාපති වසන්ත සමරසිංහ මහතා මෙම අදහස් පළ කළා.

***************************************

රටේ නීති සම්පාදනය කරනු ලබන්නේ රාජ්‍ය නොවන සංවිධානවලින් බවට චෝදනා

(05.06.2019 – 20:28 +0530 – hirunews.lk/sinhala)

රටක පොදු නීතියක් තිබියදී රාජ්‍ය නොවන සංවිධානවල අවශ්‍යතාව පරිදි රාජ්‍ය ආරක්ෂාව දියාරු කිරීමේ අරමුණින් රජය නව ප්‍රතිත්‍රස්ත පනතක් ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ යෝජිත ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳ සිවිල් සංවිධාන සාමාජිකයින් පිරිසක් අතර ඊයේ පස්වරුවේ කොළඹ පැවැති විද්වත් සාකච්ඡාවකදීයි.

***************************************

හිරු සී.අයි.ඒ. : අයිස් මත්ද්‍රව්‍ය සමග වැටලූ ජාවාරම

(05.06.2019 – 20:25 +0530 – hirunews.lk/sinhala)

අයිස් යනුවෙන් හඳුන්වන මත්ද්‍රව්‍ය අයත්වන්නේ ලොව භයානකම මත්ද්‍රව්‍ය කාණ්ඩයටයි.

ෆේස් බුක් සාද පවත්වමින් එම මත්ද්‍රව්‍ය සූක්ෂමව මෙරට තරුණ තරුණියන් අතරේ ව්‍යාප්ත කරන කණ්ඩායමක් පිළිබද හිරු සී.අයි.ඒ. වෙත තොරතුරු වාර්තා වුණා.

හිරු සී.අයි.ඒ. කණ්ඩායම වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සමග අදාළ කණ්ඩායම වැටලීමට සැලසුමක් සකස් කළේ ඒ අනුවයි.

ෆේස්බුක් සාද සඳහා තරුණියන් රැස් කරන ඕෂි නම් කාන්තාව අයිස් මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා අපව යොමු කළේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ තරුණයෙකු වෙතයි.

ඒ අනුව ඔහුව ප්‍රථමයෙන් අත්අඩංගුවට ගනු ලැබුවා.

අයිස් මත්ද්‍රව්‍ය මිලදී ගත් පසු සාදය සඳහා සම්බන්ධ වන තරුණියන් රැගෙන හෝටලය වෙත පැමිණෙන ලෙස අදාළ කාන්තාව දැන්නුවා.

සාදය සඳහා සහභාගී කරවන එක් තරුණියක් මිලදී ගත යුත්තේ රුපියල් 30,000 ක මුදලකටයි.

සාදය සදහා පැමිණි තරුණියන් වෑන් රථයට ගොඩ වූ පසු වැටලීම ක්‍රියාත්මක වුණා.

මෙවැනි ෆේස් බුක් සාද හරහා සූක්ෂම සිදුවන්නේ මෙරට තරුණ තරුණියන් භයානක මත්ද්‍රව්‍ය සදහා ක්‍රමක්‍රමයෙන් ඇබ්බැහි කර ගැනීමයි.

මෙම වැටලීමේදී එක් සැකකරුවෙකු හා සැකකාරියන් අට දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්වුණා.

ඔවුන් අවිස්සාවේල්ල හා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණවලට ඉදිරිපත් කෙරුණු අතර, සිද්ධිය පිළිබද වළාන දූෂණ මර්දන ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

***************************************

බදියුදීන් ආරක්ෂා කිරීමට අගමැති ඇතුලු පිරිස රටම පාවාදී ඇතැයි මන්ත්‍රී කෙහෙළියගෙන් චෝදනා

(05.06.2019 – 20:02 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ආරක්ෂා කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු නඩය මුළු රටම පාවා දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා චෝදනා කරනවා.

විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

+++++++++++++++++++++++++++++++++++

රටේ ස්ථාවරත්වය වෙනුවෙන් මහනාහිමිවරුන්ගෙන් රජයට කරුණු 15 ක යෝජනාවලියක්

(05.06.2019 – 19:33 +0530 – hirunews.lk/sinhala)

අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අස්ගිරි මහ නාහිමියන්ගේ නිල ආරාමයේදී අද පස්වරුවේ පැවැත්වුණා.

ඊට කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහ නායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් මෙන්ම මල්වතු සහ අස්ගිරි පාර්ශවවල අනුනායක හිමිවරුන්, ඇතුළු මහා සංඝරත්නය එක්ව සිටි බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

එහිදී රටේ පවතින තත්ත්වයත් සමඟ ඉදිරියේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබූ අතර, සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් කියා සිටියේ කරුණු 15 කින් යුත් එකඟතාවකට එහිදී පැමිණි බවයි.

ඒ පිළිබඳව සම්පූර්ණ ප්‍රකාශයක් හෙට දිනයේ ඉදිරිපත් කිරීමට නියමිත බවද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියා.

පස්වරු 2.30 ට ආරම්භ වූ සාකච්ඡාව පැය 3 කට ආසන්න කාලයක් පැවති බවයි එහි සිටින හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර චෝදණාවට ලක්වූ මුස්ලිම් අමාත්‍යවරුන් හැර සෙසු අමාත්‍යවරුන් ආණ්ඩුවෙන් ඉවත් නොවිය යුතුබව ත්‍රෛනිකායක මහා සංඝ රත්නයේ සහභාගිත්වයෙන් මහනුවර පැවදි විශේෂ සංඝ සමුළුවේදී තීරණය කර තිබෙනවා.

***************************************

ඇමති මංගලට එරෙහිව රට පුරා විරෝධතා

(05.06.2019 – 19:15 +0530 – hirunews.lk/sinhala)

මාතර දිස්ත්‍රික්කයේ විහාරස්ථානවල පැවැත්වෙන ආගමික කටයුතු හෝ වෙනත් සමාජීය කටයුතුවලට මුදල් අමාත්‍ය මංගල සමරවීර සහභාගි වන්නේ නම් එම අවස්ථා වර්ජනය කරන බවට මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලය අද ප්‍රතිඥාවක් ලබාදුන්නා.

ඒ, මාතර බෝසමිඳුන් අභියසදීයි.

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවට අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය මෙන්ම පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සුවදුක් විමසීමට අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැමිණීම සම්බන්ධයෙන් නිකුත්කළ ට්විටර් පණිවුඩයද පදනම් කරගෙනයි මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලය මෙම තීරණය ගත්තේ.

ඒ අනුව ශාසනාරක්ෂක බලමණ්ඩලය, මාතර විහාරාධිපතිවරුන්ගේ සංගමය සහ රුහුණු රට භික්ෂු සංවිධානය අද මාතර සුදර්ශි ශාලාව අසල සිට විරෝධතා පාගමනකින් මාතර බෝධීන් වහන්සේ අභියසට පැමිණියා.

එහිදී ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේකම් පූජ්‍ය පරදූවේ ජිනරතන හිමියන් එම ප්‍රතිඥාව ඉදිරිපත් කළා.

මේ අතර, අමාත්‍ය මංගල සමරවීර, මහා සංඝරත්නයට සිදුකරන අපහාස සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ගම්පහ කොට්ඨාශ ශාසනාරක්ෂක බල මණ්ඩලය ඊයේ පස්වරුවේ ගම්පහ සාම මහා විහාරස්ථානයේදී රැස්වුණා.

ප්‍රදේශයේ විහාරස්ථානවල හිමිවරුන් රැසක් එක්ව සිටි එම සාකච්ඡාවේදී තීරණය කර ඇත්තේ මංගල සමරවීර, රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන්ට මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නටද ගම්පහ ප්‍රදේශයේ කිසිදු විහාරස්ථානයක උත්සවයක් සඳහා ඉදිරියේදී ආරාධනා නොකිරීමටයි.

මේ අතර, අමාත්‍ය මංගල සමරවීරගේ ක්‍රියා කලාපයට විරෝධය පළ කිරීම සඳහා දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ජනතාව අද නගරයේ කඩසාප්පු වසා කළු කොඩි ඔසවා විරෝධතාවක් සංවිධාන කර තිබුණද, පොලිසිය ඊට ඉඩ ලබා දුන්නේ නැහැ.

කෙසේ වෙතත්, පසුව මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් දෙහිඅත්තකණ්ඩිය බෞද්ධ මධ්‍යස්ථානයේදී සත්‍යග්‍රහයක් පැවැති අතර, ඊට ප්‍රදේශයේ කතෝලික පූජකතුමන්ද එක්ව සිටියා.

කෙසේ වෙතත්, මහා සංඝරත්නය ගෙන ඇති මෙම තීරණ සම්බන්ධයෙන් මංගල සමරවීර අමාත්‍යවරයා අද දහවල් තවත් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබුණා. එහි දැක්වුණේ ‘‘බුදුන් වහන්සේ යනු තමන් ඝාතනය කරන්නට ආ දේවදත්තට පවා විහාරස්ථානය තහනම් නොකළ උත්තම පුරුෂයෙකි. ඒ උතුම් භාවිතාව තේරුම් නොගත් මෝඩ වහන්සේලා, නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා’’ යනුවෙන්.

***************************************

හදිසි නීතිය යටතේ ෆුල්ෆේස් හෙල්මට් පළදින්නන් අත්අඩංගුවට ගත හැකියි – නීතිපතිගෙන් වැඩබලන පොලිස්පතිට දැනුම්දීමක්

(06.06.2019 – 11:29 +0530 – hirunews.lk/sinhala)

ෆුල්ෆේස් හෙල්මට් පැළඳ යතුරුපැදි ධාවනය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩු පැවරීමේ හැකියාව පවතින බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පති සී.ඩි. වික්‍රමරත්න මහතා වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

දැනට රට තුළ ක්‍රියාත්මක හදිසි නීති රෙගුලාසි යටතේ මෙය සිදුකළ හැකි බවයි සිය මතය ඉදිරිපත් කරමින් නීතිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

පසුගියදා නිකුත් කළ හදිසි නීති රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයේ 32-ඒ වගන්තියෙන් ඊට අදාළ ප්‍රතිපාදන ලැබී ඇති බවට එමඟින් නීතිපතිවරයා දැනුම්දී තිබෙනවා.

මීට අමතරව 2017 වර්ෂයේ පෙබරවාරි මස 23 වනදා නිකුත් කළ 2007/39 දරණ ගැසට් නිවේදනයෙන්ද මේ සඳහා ප්‍රතිපාදන පවතින බවයි නීතිපතිවරයා දැනුම්දී ඇත්තේ ෴

***************************************

බැඳුම්කර කොමිසමට අසත්‍ය සාක්ෂි ලබාදීම ගැන ප්‍රකාශයක් දීමට ඇමති රවීගේ දියණිය සී.අයි.ඩී.යට

(06.06.2019 – 11:51 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය රවී කරුණානායකගේ දියණිය වන ඔනෙලා කරුණානායක අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

ඒ මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

පසුගිය මස 30 වනදා රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීනීතිඥවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය රවී කරුණානායකගෙන් සහ ඔහුගේ දියණිය වන ඔනෙලා කරුණානායකගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම්දී තිබූ බවයි.

කෙසේ වෙතත් රවී කරුණානායක අමාත්‍යවරයා මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ නැහැ.

මහබැංකු බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ඉදිරියේදී චෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බව නීතිපති දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පසුගියදා දැනුම් දුන්නා.

එසේම අමාත්‍ය රවී කරුණානායක සහ එම පවුලේ සාමාජිකයින්ට අයත් ග්ලෝබල් ට්‍රාන්ස්ෆොටේෂන් සමාගමේ ආදායම්, වියදම් වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස අධිකරණය මගින් පසුගිය පෙබරවාරි මස 28 වැනිදා රවී කරුණානායකගේ දියණිය වන ඔනෙලා කරුණානායකට නියම කර ඇතත්, එම වාර්තා භාර දී නොමැති බවයි ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නේ.

එම වාර්තා භාරදීම සම්බන්ධයෙන් ඔනෙලා කරුණානායක උනන්දුවක් දක්වන ආකාරයක් නොපෙනෙන බවත්, අදාළ වාර්තා නොමැතිවීමෙන් පරීක්ෂණ කටයුතු අඩපණ වී ඇති බවත් ඇය සඳහන් කළා ෴

***************************************

සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරකයා බහාලුම් සොරකමක සැකකරුවෙකු බවට හෙලි වේ

(06.06.2019 – 14:06 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ කෝටිපති ව්‍යාපාරික ඉන්සාෆ් අහමඩ් නමැත්තා රුපියල් ලක්ෂ 62 ක ඇළුමිනියම්, පිත්තල සහ යකඩ ඇතුළු කන්ටේනර් බහාලුමක් සොරකම් කිරීමේ සිද්ධියකට අදාලව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවක ප්‍රධාන සැකකරු බවට අධිකරණයේදී කරුණු අනාවරණය වුණා.

ඒ අනුව මෙම සිද්ධියට අදාල නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනා ද සිල්වා මහත්මිය හමුවේ ඉකුත් ජනවාරි මස 29 වනදා යලි කැදවූ අවස්ථාවේදී මොහු අධිකරණයේ පෙනී සිටි තිබුණා.

රුපියල් හැට එක් ලක්ෂ හැට හය දහස් පන්සිය විසි පහක් වටිනා ඇළුමිනියම්, පිත්තල සහ යකඩ අඩංගු කන්ටේනර් බහාලුමක් සොරකම් කලැයි මොහු ඇතුළු 07 දෙනෙකුට විරුද්ධව 2013 වසරේ මැයි මස 30 වනදා ග්‍රෑන්ඩිපාස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබු අතර පසුව එහි සැකකරුවෙකුව මුදා හැරුණා.

අද නඩුව කැදවූ අවස්ථාවේදී ග්‍රෑන්ඞ්පාස් පොලිසියට නියෝග කෙරුණේ මොවුන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපති උපදෙස් ලබාගෙන සැප්තැම්බර් මස 10 වනදාට අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසටයි ෴

***************************************

මහනුවරදී මෝටර් රථයක් දුම්රියක ගැටී තුන්දෙනෙකුට තුවාල

(06.06.2019 – 14:10 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – හීරස්සගල දුම්රිය හරස් මාර්ගය අසලදී මෝටර් රථයක් දුම්රියේ ගැටී අද දහවල් සිදුවූ අනතුරකින් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

එලෙස තුවාල ලබා ඇත්තේ මෝටර් රථයේ ගමන් කළ දෙදෙනෙකු සහ දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටුකරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු බවයි පොලීස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

දුම්රියේ ගැටුණු මෝටර් රථය එහි ඇමිණී ඉදිරියට ගමන් කිරීම හේතුවෙන් දුම්රිය ගේට්ටුකරුගේ කුටියට ද දැඩි අලාභහානි සිදුව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය හරස් ගේට්ටුව නිසියාකාරව වසා නොතිබූ බව දැනට සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පෙන්වා දුන්නා.

https://www.youtube.com/watch?v=BaBkkewRWXA#t=5
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *