අනිද්දා (08) කොළඹට අඩු පීඩනයකින් ජලය සැපයේ

(06.06.2019 – 14:56 +0530 – hirunews.lk/sinhala)

අනිද්දා (08) පෙරවරු 9 සිට පැය 24 ක කාලයක් හෝකන්දර ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන අතර, කොළඹ තවත් ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයකින් ජලය සපයන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සිදුකරනු ලබන කොළඹ නගර සංවර්ධන කිිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි එම මණ්ඩලය සදහන් කළේ.

ඒ අනුව, අදාළ කාල සිීමාව තුළ කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාස යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති ෴

***************************************

පස්යාලේදී බුදු පිළිම වහන්සේලාට හානි කළේ කවුද ?

(06.06.2019 – 11:17 +0530 – sinhala.adaderana.lk)

කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ පස්යාල ප්‍රදේශයේ වෙළඳසැලක් අසල බුදු කුටියක තුළ තිබූ බුදු පිළිම වහන්සේලා තුන් නමකගේ ශීර්ෂ කඩා දමා තිබේ.

ඊයේ(05) මෙම සිදුවීම සිදුව ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

කිසියම් පුද්ගලයෙකු විසින් මෙය සිදු කරන්නය ඇති බව නිට්ටඹුව පොලීසිය සැකකරන අතර මේ වන විට මෙම ප්‍රදේශයට යුද හමුදා ආරක්ෂාව යොදවා තිබේ.

මෙලෙස බුදු පිළිම වහන්සේලා පහරදීමට පෙර අදාළ පුද්ගලයා විසින් අසල වෙළඳසැලේ තිබූ ආරක්ෂිත කැමරාවලට ද හානිකර තිබූ බව අප වාර්තාකරු පැවසීය.

අදාළ සිද්ධිය සම්බන්දයනේ නිට්ටඹුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

***************************************

පොලිස්පති පූජිත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම අරඹයි

(06.06.2019 – 11:45 +0530 – sinhala.adaderana.lk)

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබේ.

පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව තෙවන දිනට අද රැස්විමට නියමිතව තිබේ.

ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු අද (06) කාරක සභාවට කැඳවා තිබුණි.

මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පළමුවරට පසුගිය 29 වනදා රැස්වූ අතර එහිදී ආරක්ෂක ලේකම්වරයා සහ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානීයා සාක්ෂි ලබා දුන්නේය.

දෙවන දිනට පසුගිය 04 වනදා රැස්වූ එම කාරක සභාව හමුවේ ජේෂ්ඨ පොලිස් නිළධාරින් සිව් දෙනෙකු පෙනී සිටීමට නියමිතව තිබුනද කාරක සභාව ඉදිරියේ සාක්ෂි දුන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා පමණයි.

+++++++++++++++++++++

ජනාධිපති මට ආරක්ෂක කවුන්සලයට එන්න එපා කියලා – ආරක්ෂක ලේකම් මට දැනුම් දුන්නා

(06.06.2019 – 12:30 +0530 – sinhala.adaderana.lk)

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබේ.

එහිදී සාක්ෂි ලබා දෙමින් පොලිස්පතිවරයා කියා සිටියේ, ආරක්ෂක කවුන්සලය වෙත සහභාගී වීමට අවශ්‍ය නොවන බව ජනාධිපතිවරයා විසින් පැවසු බව එවකට ආරක්ෂක ලේකම්වරයා පවසා සිටි බවයි.

ස්ථානමාරු වීම් සම්බන්ධයෙන් තිබෙන කටයුත්තකට තමා ඔක්තෝබර් 23 වන දින ආරක්ෂක මණ්ඩලයට සහභාගී වු බවත් ඒ හැරුණ විට තමාට ඔක්තෝබර් මාසයේ සිට සම්බන්ධ වීමට අවශ්‍ය නොමැති බව වාචිකව දැනුම් දුන් බවත් පොලිස්පතිවරයා මෙහිදී කියා සිටියේය.

එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරය දැරූ කපිල වෛද්‍යරත්න මහතා මෙම නියෝගය වාචිකව ලබා දුන් බව ද පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

තමා විසින් ආරක්ෂක මණ්ඩල රැස්වීමට සම්බන්ධ වීමට අවශ්‍ය නොමැති බව දැනුම් දුන් බව ද කියා සිටියේය. ( ? )

ජනාධිපතිවරයා විසින් දැනුම් දුන් බව ද මෙහිදී ලේකම්වරයා දැනුම් දුන් බව ද පොලිස්පතිවරයා මෙහිදී පවසා සිටියේය. ( ? )

+++++++++++++++++++++

පැන්ෂන් නැතුව ගෙදර යනවද? වරද පිළිගන්නවද? පිළිගත්තොත් තානාපති තනතුරක්

(06.06.2019 – 17:20 +0530 – sinhala.adaderana.lk)

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ඉදිරිපත් කළේය.

එහිදී පොලිස්පතිවරයා කියා සිටියේ ජනාධිපතිවරයා විසින් තමාට ඉල්ලා අස්වීමේ ලිපිය බාර දෙන ලෙසත් පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම තමාට බාර ගන්නා ලෙසත් පැවසු බවත් කියා සිටියේය.

පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තාකිරීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව තෙවන දිනට අද රැස්විය.

මෙහිදී වැඩිදුරටත් සාක්ෂි ලබා දෙමින් පොලිස්පතිවරයා කියා සිටියේ, පසුගිය අප්‍රේල් 23 වන දින සවස 06:30 ට පමණ ජනාධිපතිවරයා දුරකථන ඇමතුමක් ලබා දී රාත්‍රී 8 පමණ මුණ ගැසීමට අවශ්‍ය බව පැවසු බවයි.

ඉන්පසුව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තමා කමිටුවක් පත් කිරීමට සිටින බවත් කියා සිටි ජනාධිපතිවරයා, ප්‍රහාරයේ වගකීම පොලිස්පතිවරයා වශයෙන් තමා බාර ගත යුතු බව පැවසු බව ද පූජිත ජයසුන්දර මහතා වැඩිදුරටත් සාක්ෂි දෙමින් පැවසීය.

කුමන පරීක්ෂණ කණ්ඩායමක් ඉදිරියට ගියත් තමාට වරදකරු වීමට සිදු වන බව එහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා විසින් පැවසු අතර, එහිදී “පැන්ෂන් නැතුව ගෙදර යනවා ද? වරද පිළිඅරන් අස්වීම දෙනවද?” යනුවෙන් විමසු බවද පොලිස්පතිවරයා අද දිනයේ දී සාක්ෂි දෙමින් පැවසීය.

ජනාධිපතිවරයා මෙය ඉතා කරුණාවෙන් පැවසු අතර, සිව් වතාවක් පමණ මේ ගැන විමසු බවත් පැවසු පොලිස්පතිවරයා මෙහිදී සඳහන් කළේය.

එහිදී තමා සතු ලියවිලි ජනාධිපතිවරයාට පෙන්වු බවත්, ඒවා දෙස ජනාධිපතිවරයා ඉතා උවමනාවෙන් බලා සිටි බවත් පැවසු පොලිස්පති වරයා, තමා වසර 35 ක පමණ පොලිස් සේවයේ නම කැත කර ගෙන නැතැයි ද පවසා සිටියේය.

තමා හොරෙක් නොවන බවත්, මංකොල්ලකාරයෙක් නොවන බවත් පැවසු පූජිත් ජයසුන්දර මහතා, තමා පොලීසියෙන් හම්බකර ගත්තේ නැති බවත් පැවසීය.

ජනාධිපතිවරයා සමඟ 08:45 පමණ වන තෙක් සාකච්ඡා කළ බවත්, පැවසු පොලිස්පතිවරයා දෙම්පියන්ගේ බූදලය ඇතැත් තමාට කියා තැනැක් හෝ නොමැති බව ද පැවසීය.

කෙසේ වෙතත් නැවත වතාවක් අප්‍රේල් 25 වන දා ජනාධිපතිවරයා විසින් ඇමතුමක් ලබා ගෙන අස්වීමේ ලිපිය බාර නොදීම ගැන තරහින් විමසා සිටි බවත් පැවසු පොලිස්පතිවරයා, තමාව 29 වන දින අනිවාර්ය නිවාඩු යැවු බව ද කියා සිටියේය.

තමා ධූරයෙන් ඉවත් නොවුයේ පොලීසිය පවා දීමට නොහැකි නිසා බවත් පැවසු පොලිස්පතිවරයා, තමාට පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම බාර ගෙන ඉවත් වන්නේ නම් රජයේ ඉහළ තනතුරක් හෝ තානාපති තනතුරක් දෙන බව ද ජනාධිපතිවරයා තමාට කියා සිටි බව ද පැවසීය.

+++++++++++++++++++++

හෙට බරපතළයි කුමක් හෝ දෙයක් සිදුවිය හැකියි – ප්‍රහාරයට පෙරදා රාත්‍රියේත් අනතුරු අඟවලා

(06.06.2019 – 18:00 +0530 – sinhala.adaderana.lk)

අප්‍රේල් මස 20 වෙනිදා සවස තමාට 21 වන දින බරපතළයි කුමක් හෝ දෙයක් සිදුවිය හැකි බවට පවසමින් දුරකථන ඇමතුමක් ලැබුණු බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ඉදිරිපත් කරමින් පැවසීය.

සවස 6.30 ත් 8 ත් අතර කාලයේ දී හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් මෙම දුරකථන ඇමතුම ලැබුණු බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

එහිදී “හෙට භයානකයි, කුමක් හෝ විය හැකියි” යනුවෙන් පමණක් එම දුරකථන පණිවුඩයෙන් තමාට පැවසු බව ඒ මහතා ප්‍රකාශ කරයි.

පසුව තමන් විසින් ඒ පිළිබඳව අදාළව උතුරු, නැගෙනහිර, දකුණු ආදී වශයෙන් පළාත්වල ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දී සියලු දෙනා දැනුවත් කරන ලෙස ප්‍රකාශ කළ බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඒ පිළිබඳව තමන්ගේ දුරකථන සබඳතා ඔස්සේ අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි බවත් පූජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය.

ප්‍රහාර සම්බන්ධයෙන් සියලු දෙනා තමා දැනුවත් කළ බව ද පොලිස්පතිවරයා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කර සිටියේය ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

07.06.2019

***************************************

කාදිනල්තුමාට විවේචන එල්ල කිරීම අනුමත කළ නොහැකියි – වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

(06.06.2019 – 12:24 +0530 – sinhala.adaderana.lk)

සියලු ජාතීන්ගේ එකමුතු භාවය වෙනුවෙන් පෙනී සිටින අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් පිළිබඳව ද්වේශ සහගත ලෙස විවේචන එල්ල කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

ගම්පහ කටාන ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරිය මේබව සඳහන් කළේය.

පසුගිය පාස්කු ප්‍රරහායෙන් පසු රට තුළ ලේ වැගිරීම් සිදු වුවද එවා ගිනි ජාල බවට පත් විමට ඉඩ නොදී රට සන්සුන් කරනු ලැබුවේ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් බව මන්ත්‍රීවරිය පෙන්වා දෙයි.

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් සමඟ රටේ සිටින බොදු ජනතාව එකතුවීම බලා සිටීමට නොහැකිව අමාත්‍ය මංගල සමරවීර මහතා මෙවැනි ප්‍රකාශ සිදු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය.

***************************************

බෞද්ධයින්ට සල්ලි දීලා වෙනත් ආගමකට හරවගන්න ගිහින්

(06.06.2019 – 14:05 +0530 – sinhala.adaderana.lk)

නුවර-දිවුලපිටිය මාර්ගයේ හොරස්මුල්ල ප්‍රදේශයේ කලක සිට පවත්වාගෙන ගිය ‘යොහෝවා විග්නස්’ (Jehovah’s Witnesses?) නැමති ආගමික ස්ථානයක් හේතුවෙන් එම ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ.

අද (06) උදෑසන මෙම සිදුවීම සිදුව ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ගම්වාසීන් පවසන්නේ මෙම නිවසේ සිටින කාන්තාවන් තිදෙනා ගම්වාසීන්ට මුදල් ලබාදී මෙම ‘යොහෝව විග්නස්’ නැමති ආගම වෙත බඳවා ගන්නා බවයි.

ප්‍රදේශවාසීන් අදාළ කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින්නේ මුදල් දී මෙලෙස ආගම්වලට බඳවා නොගන්නා ලෙසයි.

මේ අතර ප්‍රදේශයේ භික්ෂූන්වහන්සේලා සහ පොලීසිය මෙම ස්ථානය වෙත පැමිණ ඇති අතර එහිදී අදාළ කන්තාවන් තිදෙනා විසින් භික්ෂූන්වහන්සේලාට බැණ වැදීම හේතුවෙන් එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක්ද හට ගත්තේය.

පසුව පොලීසිය විසින් ඉල්ලා සියියේ මෙම ගැටළුව විසඳෙන් තුර යළි මෙම ස්ථානයේ ආගමික කාර්යන් හෝ බඳවා ගැනීම් සිදු නොකරන ලෙසයි.

***************************************

මම වඩු මඩු තහනම් කරනවා ; අවුරුදු 5 ක් දෙනවා වෙන ජොබ් හොයාගන්න – ජනාධිපති සිරිසේන

(06.06.2019 – 14:16 +0530 – sinhala.adaderana.lk)

ගස් කැපීම සඳහා භාවිත කරන යන්ත්‍ර ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (06) පෙරවරුවේ කොළඹ පැවති ජගත් පරිසර දින සැමරුම් උත්සවය අමතමින්.

ජගත් පරිසර දින සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා..,

“ගිය සතියේ පරිසර අධිකාරියේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මම කිවුවා වහාම කැබිනට් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ගේන්න ලංකාවට පිටරටින් ගේන ගස් කපන මැෂින් ගෙන ඒම තහනම් කරන්න.

ලෝකයේ පරිසර සංරක්ෂණය පිළිබඳව තද නීති රීති තියෙන රටවල්වල ගස් කපන මැෂින් සම්පූර්ණයෙන් තහනම්.

ලංකාවේ ලොකු සල්ලිකාරයෝ ලොකු ලී මෝල් දාලා තියෙනවා.

එසේ නැති අය අතේ ගෙනියන මැෂින් පාවිච්චි කරනවා.

දුප්පත් අය වඩු මඩු ගහනවා.

මම වඩු මඩුවත් තහනම් කරනවා. පිටරටින් ගේන ගස් කපන මැෂිනුත් තහනම් කරනවා.

ලී මෝල්වලටත් අවුරුදු 5 ක කාලයක් දෙනවා ව්‍යාපාරිකයින්ට වෙනත් ජොබ් එකක් හොයාගන්න.” යනුවෙන් ප්‍රකාශ කර සිටියේය.

***************************************

ආචාර්ය විජේදාසගෙන් කථානායකට බරපතල ලිපියක්

(06.06.2019 – news24.lk)

රාජ්‍ය බුද්ධි තොරතුරු පාර්ලිමේනතුව තුළ හෝ වෙනත් කුමන ස්ථානයකදී හෝ හෙළිදරව් කිරීමට ඉඩ දීම මගින් ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන් චේතනාත්මකව උල්ලංඝනය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.

අදාළ තොරතුරු හෙළිදරව් කිරීමට ඉඩ දීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (1) (අ) සහ 38 (2) (අ) (i) ව්‍යවස්ථාවන්හි ප්‍රතිපාදනයන් චේතනාත්මකව, ජනාධිපතිවරයා විසින් උල්ලංඝනය කර ඇති බවයි රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ.

33 (1) (අ) වගන්තිය පහතින් ….

38 (2) (අ) (i) වගන්තිය පහතින් …

කථානායක කරූ ජයසූරිය මහතා වෙත ලිපියක් යොමු කරමින් විජේදාස රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 5 ක් විභාග වෙමින් පවතින බවයි.

ඊට අමතරව ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුවන් මගින් ද, කරුණු විමර්ශනය කිරීම ආරම්භ කර ඇතැයි විජේදාස රාජපක්ෂ මහතා සිය ලිපිය මගින් සිහිපත් කරනවා.

වර්තමානයේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම තුළින්, රාජ්‍ය බුද්ධි අංශ තොරතුරු හෙළිදරව් වීම නිසා රටේත්, රටේ ජනතාවගේත් අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි මන්ත්‍රීවරයා කථානායකවරයාට යැවූ ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

තේරීම් කාරක සභාවක් හරහා රාජ්‍ය බුද්ධි අංශ රහස්‍ය තොරතුරු හෙළිදරව් වීමේ ප්‍රතිවිපාක පිළිබඳ පූර්ණ වගකීම කථානායකවරයා ද ආණ්ඩුව ද භාර ගත යුතු බව අදාළ ලිපියෙන් පෙන්වා දෙනවා.

විජේදාස රාජපක්ෂ මහතා විසින් කථානායකවරයාට යැවූ ලිපිය පහතින් :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *