ෂාෆිට එරෙහිව අද දිනට පැමිණිලි 795 යි

(06.06.2019 – 19:05 +0530 – sinhala.adaderana.lk)

වෛද්‍ය සෙයිගු සියාබ්දින් මොහොමඩ් ශාෆි සම්බන්ධයෙන් මව්වරුන් ඇතුළු 534 ක ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ සිසේරියන් සැත්කම් සිදුකළ මව්වරු පරීක්ෂා කිරීම සඳහා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥ කමිටුවක් ද පත් කර ඇති බවයි.

මේ අතර අද දිනයේදීත් වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මෙහොමඩ් ෂාෆිට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණිලි 31 ක් ලැබී ඇත.

ඒ අනුව කුරුණෑගල ශික්ෂණ රෝහලට පමණක් ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 681 කි.

එමෙන්ම වෛද්‍ය ෂාෆිට එරෙහිව මව්වරු 11 දෙනෙකු දඹුල්ල මහ රෝහලට අද පැමිණිලි ඉදිරිපත් කළේය.

මේ වන විට එම රෝහලට ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 114 ක්.

ඒ අනුව වෛද්‍ය ෂාෆිට එරෙහිව කුරුණෑගල සහ දඹුල්ල රෝහල් වෙත මේ වන විට ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව795 කි.

***************************************

පූජ්‍ය අක්මීමන දයාරත්න හිමියන් සංවිධානය කළ පෙරහැරට සහ රැස්වීමකට තහනම් නියෝගයක්

(06.06.2019 – 23:24 +0530 – sinhala.adaderana.lk)

දෙහිවල පොලිස් වසම තුළ පූජ්‍ය අක්මීමන දයාරත්න හිමියන් විසින් නිතී විරෝධි ලෙස සංවිධානය කර ඇති පෙරහැර සහ රැස්වීම ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් සම්පුර්ණයෙන් තහනම් කර ඇති බව පොලීසිය පවසයි.

පූජ්‍ය අක්මීමන දයාරත්න හිමියන් විසින් නිතී විරෝධි පෙරහැරක් සහ රැස්වීමක් සංවිධානය කරන බවට දෙහිවල පොලිසියට බුද්ධි තොරතුරක් ලැබි තිබූ බව පොලීසි පවසයි.

මෙම පෙරහැර සහ රැස්වීම හේතුවෙන් දෙහිවල පොලිස් වසම තුළ මහජන සාමයට බාධාවීමක් සහ මහජනයා අතර නොසන්සුන්තාවයක් හා ගැටුම්කාරී තත්ත්වයක් ඇති විය හැකි බවට දෙහිවල පොලිසිය විසින් ගල්කිස්ස මහේස්ත්‍රාත්අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසීය ෴

***************************************

මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වුනේ මාධ්‍ය ඉස්සරහා ප්‍රදර්ශනයකට පමණයි – පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්

(06.06.2019 – 21:18 +0530 – sinhala.adaderana.lk)

ත්‍රස්තවාදින්ට සම්බන්ධකම් ඇති එක් ඇමැතිවරයෙකුට චෝදනා කරන විට සියලු ඇමැතිවරු ඉල්ලා අස්වීම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ සැලසුම් සහගත වැඩපිළිවෙලක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා පවසයි.

අද (06) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහ්න කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා මේ බව පැවසීය :

“අගමැතිවරයාගේ අලුත්ම අපාය මාර්ගයයි මේ දිනවල ක්‍රියාත්මක වෙන්නේ. අපි ත්‍රස්තවාදින්ට සම්බන්ධකම් තියෙනවා කියලා එක ඇමැතිවරයෙකුට චෝදනා කරද්දි සියලු ඇමැතිවරු ඉල්ලා අස්විම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ සැලසුම් සහගත වැඩපිළීවෙලක්.

අමාත්‍යවරු ඉල්ලා අස්වුනේ මාධ්‍ය ඉස්සරහා ප්‍රදර්ශනයකට පමණයි. වරප්‍රසාද සියල්ල තියෙනවා. පාර්ලිමේන්තුවේ ලේකම්තුමාත් ජනාධිපති ලේකම්තුමාත් මේ වෙනකල් ලිඛිතව අස්විම දැනුම්දීලා නැහැ කියලා ප්‍රකාශ කරලා තියෙනවා.

මේක ඉදිරි මාසය නාට්‍යයයි. අන්තවාදීන්ට විරුද්ධ වුනු අපේ මුස්ලිම් ජනතාව මේ සිද්ධිය නිසා බියවෙලා. අමාත්‍යවරු සියලු දෙනා ඉල්ලා අස්වුනේ ඇයි කියලා ඔවුන් හිතනවා.

ත්‍රස්තවාදයට සහාය නොදුන් මුස්ලිම් ජනතාව පවා ත්‍රස්තවාදින් විදියට දකින තත්ත්වයකටයි රට පත්වුනේ. මේක රනිල් වික්‍රමසිංහගේ සැලැස්ම.

රිෂාඞ් බදියුදින් ඇතුලු එජාපයට සම්බන්ධ නොවන ඇමැතිවරු ස්වාධිනව කටයුතු කරන්න සූදානමින් සිටින අවස්ථාවක කබිර් හෂිම් ඇමැතිවරයාත් එක්කම එකට ගොනු කලේ එජාපය වෙනුවෙන් මුස්ලිම් ඡන්ද ටික රැකගන්නයි.

මේක තාවකාලිකයි. තාවකාලිකව එළියට දැමිමක් විතරයි. මුස්ලිම් ජනතාවගේ ඡන්ද ගැනීමේ දුෂ්ට අරමුනින් මේක කලේ. කබිර් හසිම් හිටපු ඇමැතිවරයා කියනවා ස්වාධීන පරික්ෂණයක් පවත්වන්නලු ඔවුන් ඉල්ලා අස්වුනේ.

අපි කබිර් හසිම් ඇමැතිවරයාට චෝදනා කලේ නැහැ. එදා මැවනැල්ලේ බුදුපිළිම කඩන සිද්ධියේදී තොරතුරු දුන්න පුද්ගලයාට වෙඩි තියලා යනකල් ඔහුව ආරක්ෂා රකගන්න කබිර් හසිම් ඇමැතිවරයාට බැරිවුනා.

ත්‍රස්තවාදීන්ටය විරෝධී සාමාන්‍ය මුස්ලිම් ජනතාව ආරක්ෂා කරගන්න මේ අයට පුලුවන් වෙයි කියලා අපි හිතන්නේ නැහැ. ත්‍රස්තවාදින්ට සම්බන්ධ එක අමාත්‍යවරයෙක් ආරක්ෂා කරන්න පාර්ලිමේන්තුවේ අපි සියලු දෙනා එකමුතුව කටයුතු කරනවා වගේම මුස්ලිම් ජනතාවත් ත්‍රස්තවාදින්ගේ පැත්තට තල්ලු කරන පණිවිඩයක් මේ තුළ ගැබ්වෙලා තියෙනවා.”

+++++++++++++++++++++++++++++++++++

මංගල සිදුකළ ප්‍රකාශ පිළිකුල් සහගතයි – SB

(06.06.2019 – 20:09 +0530 – sinhala.adaderana.lk)

ආගමික නායකයින්ට අපහාස වන අයුරින් අමාත්‍ය මංගල සමරවීර මහතා කළ ප්‍රකාශ පිළිකුල් සහගත බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි.

අද (06) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

අමාත්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මනසින් විකෘති පුද්ගලයෙක් ලෙස දොඩවන ආකාරය පෙනි යන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එමෙන්ම මෙවැනි ප්‍රකාශ සිදුකරමින් මංගල සමරවීර මහතා විසින් රට තුළ යළි ගිනි අවුලන්න උත්සාහ කිරීම පිළිබඳ ඔවුන් දැඩි විරෝධයදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

සහරාන් පාර්ශවයෙන් වෙඩි ප්‍රහාරයට ලක් වූ තස්ලීම් දෙරණට කළ අනාවරණය

(06.06.2019 – 19:02 +0530 – sinhala.adaderana.lk)

සහරාන්ගේ පාර්ශ්වයෙන් වෙඩි ප්‍රහාරයට ලක්ව බරපතළ තුවාල ලැබූ මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලීම් ප්‍රථම වරට අද දෙරණ සමඟ වීඩියෝ තාක්ෂණ ඔස්සේ සාකච්ඡාවකට එක් වුණි.

මාවනැල්ල බුදු පිළිම විනාශ කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ තොරතුරු පළමු වතාවට හෙළි කළ තස්ලීම් අන්තවාදයට එරෙහිව තමා ක්‍රියා කළ ආකාරය මාධ්‍යයට හෙළි කරන ප්‍රථම අවස්ථාව මෙයයි.

අන්තවාදීන් විසින්, මාවනැල්ල ලිඳුලවත්ත ප්‍රෙද්ශයේ බුදු පිළිම විනාශ කරන්නේ 2018 දෙසැම්බර් මස 26 වැනිදායි.

අදාළ සැකකරුවන් පිළිබද පළමුව තොරතුරු අනාවරණ කරන්නේ, තස්ලිම් විසිනි.

කෙසේ වෙතත් පසුව කරන ලද පරීක්ෂණවලදී තස්ලිම් විසින් අනාවරණ කරන ලද බුදු පිළිම විනාශ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැණුනි.

අන්තවාදීන් පිළිබද වැදගත් තොරතුරු රැසක් හෙළි කළ තිදරු පියෙකු වූ තස්ලීම් සැකකරුවන්ගේ ඉලක්කයක් බවට පත් වුණි.

2019 මාර්තු 05 වැනිදා මාවනැල්ල දනාගම පිහිටි නිවසට එන අන්තවාදීන් නිදා සිටි තස්ලීම්ගේ හිසට වෙඩි තබා පලා යයි.

තමා ලබා දුන් තොරතුරු වලට අනුව ආරක්ෂක අංශ ක්‍රියාත්මක වූයේ නම් පාස්කු ඉරිදා ප්‍රහාරය වලක්වා ගැනීමට හැකි ව තිබූ බව මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලීම්ගේ අදහසයි.

“මගේ ඇමතිතුමාට කිව්වා. එයා කිව්වා ඒක මට කියලා වැඩක් නැහැ ආරක්ෂක අංශවලට කියන්න කියලා.

දවසින් දවස එක එක්කෙනා අත්අඩංගුවට ගන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒ හැමෝගේම කටඋත්තරවල තමයි සම්බන්ධ වුණේ සාදික් සහා ෂාහිඩ් කියන දෙපළ.

ඒ කට්ටියගේ මෙහෙයවීමෙන් තමයි මේක කළේ කියලා සඳහන් වුණා. ඊට පස්සේ මම හොයාගත්තා සහරාන් මේකේ පිටිපස්සේ ඉන්නවා කියලා.

සහරාන් හෂීම් ගැන මුලින්ම දැනගත්තේ පෙබරවාරි 20 වගේ.

බුදුපිළිම කැඩුව කට්ටිය අත්අඩංගුවට ගත්තාම ඒ අය අතරේ අදුරන අය හිටියා. මම ඒ අයගෙන්ම ඇහුවා ඇයි බං මෙහෙම කරන්නේ කියලා.

මම සාදික්ගෙන් ඒ ගැන ඇහුවා. එතකොට සාදික් කිව්වා ඔයා අපිත් එක්ක සම්බන්ධ වෙන්නකෝ කියලා.

බුදු පිළිම කඩපු සිද්ධියට මේ ෂාහිඩ් සහා සාදික් කියන දෙන්නා සම්බන්ධයි කියලා ඔත්තුව දුන්නේ පෙබරවාරි මාසයේ.

ඒ ගැන අර කොළඹින් ආපු සෙට් එකට කිව්වා.

ගෙදරට ඇවිල්ලා මගේ ඔලුවට තිබ්බේ. මට එච්චර ගණන් ගියේ නැහැ. මට සිහිය ආවායින් පස්සේ තමයි දැනගන්න ලැබුණේ මට වෙඩි ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා කියලා.

ඔත්තුව දුන්නට පස්සේ පොලිසිය හරියට ක්‍රියාත්මක වුණේ නෑ. එහෙම ක්‍රියාත්මක වෙලා තිබුණා නම් ඔය 21 වැනිදා ප්‍රහාරයත් වළක්වන්න තිබ්බා” ඔහු අද දෙරණට පැවසීය.

+++++++++++++++++++++++++++++++++++

ජවිපෙ ගේන විශ්වාසභංගයට සහාය දෙනවා – මහින්ද රාජපක්ෂ

(06.06.2019 – 18:58 +0530 – sinhala.adaderana.lk)

ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංගයට සහය ලබාදෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ලංකා සම සමාජ පක්ෂය සමග විජේරාම නිල නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

ලංකා සම සමාජ පක්ෂය විසින් ඉදිරි රජයක් සඳහා වූ රටට නව මාවතක් යන තේමාව යටතේ සකස් කරන ලද යෝජනාවලියක් අද පෙරවරුවේ විජේරාම නිල නිවසේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වුවේය.

අනතුරුව විපක්ෂ නායකවරයා මාධ්‍යයට අදහස් පළ කලේය :

“මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වෙලා නැහැ කියලා අද ජනපති ලේකම් කිව්වා.

මේ රටේ බෝම්බයකින් මිනිස්සු මැරුණා. ඒක අතහැරලා දැම්මා. තුවාලකාරයන්ව කවුරුත් බලන්නේ නැහැ.

ආර්ථිකය කඩා වැටිලා.

බදියුදීන් අමාත්‍යවරයාටයි, හිස්බුල්ලා, අසාද් සාලි ගැනම කතා කරලා වැඩක් නැහැ. දැන් එයාලා ඉල්ලා අස්වුණානේ. විපක්ෂයක් ලෙස අපි විශ්වාසභංගයක් ඉදිරිපත් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් අස්වුණා. අපි බලාගෙන ඉන්නවා ඉදිරියට කරන දේ ගැන. විශ්වාසභංගය වෙනත් විදිහකට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.

ජ.වි.පෙ.ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් ගේනවා. අපි ඒකට සහයෝගය දෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සූදානම්ද කියලා එයාගෙන් අහන්න ඕනෙ.” මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා පැවසීය.

+++++++++++++++++++++++++++++++++++

පාසල්වල ආරක්ෂාවට මව්පියන් අවශ්‍ය නෑ – අධ්‍යාපන අමාත්‍යංශය

(06.06.2019 – 18:27 +0530 – sinhala.adaderana.lk)

දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක බළකාය යොදවා ඇති බැවින් ඒ වෙනුවෙන් මව්පියන් කැඳවීම තවදුරටත් අවශ්‍ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඇතැම් පාසල්වල ආරක්ෂක කටයුතු සඳහා මව්පියන් යොදවා ගැනීමේ දී ඔවුන් අපහසුතාවට පත්වන අයුරින් එම කටයුතු සිදු ව ඇති බව ද, ගැබිනි මව්වරුන් පවා පාසල්වල ආරක්ෂාව වෙනුවෙන් ඇතැම් අවස්ථාවල ගේට්ටු ඉදිරිපිට රැඳී සිට පරීක්ෂා කිරීමේ ක්‍රියාවල යෙදී සිට ඇති බවට ද පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත තොරතුරු වාර්තා වී ඇත.

එමෙන්ම පාසල් බෑග් ගෙන ඒම වැළැක්වීමට හෝ ඒ වෙනුවට ආදේශක ලෙස විනිවිද පෙනෙන බෑග් ගෙන ඒමට බලකරමින්, දරුවන් හා මව්පියන් අපහසුතාවට පත්වන අන්දමේ සිදුවීම් කිහිපයක් පිළිබඳ ව ද පැමිණිලි රැසක් ලැබී ඇත.

ඉහත තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සහ මේ වන විට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග කෙරෙහි විශ්වාසය තබමින් ‍පාසල් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලිය වෙනුවෙන් මව්පියන් සම්බන්ධ කරගැනීම තවදුරටත් අවශ්‍ය නොවන බව, අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙයි ෴

+++++++++++++++++++++++++++++++++++

රිෂාඩ් විලච්චිකුලම් රක්ෂිතයේ තවත් සහරාන්ලා පිරිසක් පදිංචි කරලා – ජානිපෙ

(06.06.2019 – 16:15 +0530 – sinhala.adaderana.lk)

රිෂාඩ් බදුර්දීන් විසින් පසුගිය කාලයේ විලච්චිකුලම් රක්ෂිතයේ අක්කර දහස් ගණනක් එළි පෙහෙළි කර පිහිටුවා ඇති මුස්ලිම් ගම්මානවල වහබ්වාදී ත්‍රස්තවාදීන්ට රැකවරණය ලබාදුන් ආරක්ෂක නිවස්න පිහිටා තිබූ බව අනාවරණය වී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ තරුණ කටයුතු පිළිබඳ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයශාන්ත ගුණසේකර මහතා පෙන්වා දෙයි.

ඔහු වහාම අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවීමට එම කාරණය වුව හොඳටම ප්‍රමාණවත් බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

අද (06) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කර සිටියේය.

රිෂාඩ් බදුර්දීන්, අසාත්සාලි, ඒ.එම්.එල්.එම් හිස්බුල්ලා හා මුජිබර් රහුමාන් යන මුස්ලිම් දේශපාලනඥයන්ට පාස්කු ඉරිදා දින ප්‍රහාරයෙන් පසු දැඩි ජනතා විරෝධයක් එල්ල වූයේ ඔවුන් වහබ්වාදී ත්‍රස්තවාදය පතුරවා හැරීමෙන් මඟින් බිහිවූ ත්‍රස්තවාදීන් ආරක්ෂා කළ කපටි නරීන් පිරිසක් නිසා බවයැයි පෙන්වා දුන් උදයශාන්ත ගුණසේකර මන්ත්‍රීවරයා, එවැනි චෝදනා එල්ල නොවූ මුස්ලිම් ඇමැතිවරුන් ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් තම ධුරවලින් ඉල්ලා අස්වූයේ කුමක් නිසාදැයි ප්‍රශ්න කර සිටියේය.

එවැනි ඒකාබද්ධ ප්‍රකාශ නිකුත් කරමින් වගකීමෙන් යුතුව කටයුතු කිරීමට මුස්ලිම් ඇමතිවරුන්ට අවස්ථා රැසක් තිබූ බවත් ඔවුන් එම අවස්ථාවලදී කිසිවක් නොකර සිත් සේ තම වරප්‍රසාද භුක්ති විදිමින් කාලය ගත කළ බවත් ඒ මහතා චෝදනා කළේය.

මාවනැල්ලේ බුදු පිළිම කැඩීමේ සිදුවීම, ඒ සම්බන්ධයෙන්පොලීසියට තොරතුරු ලබා දුන් කබීර් හෂීම් ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාට වහබ්වාදී ත්‍රස්තවාදීන් විසින් වෙඩි තැබීම, වනාතවිල්ලූවේ අධිබලැති පුපුරන ද්‍රව්‍ය සමඟ වහාබ් ත්‍රස්ත කඳවුරක් සොයා ගැනීම, අප්‍රේල් 21 වැනිදා වහබ්වාදී ත්‍රස්ත ප්‍රහාරයෙන් 400කට වැඩි පිරිසක් මියයාම වැනි අවස්ථාවලදී මේ මුස්ලිම් දේශපාලනඥයන් ඉල්ලා අස්වීමට තබා අඩුම තරමින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළේ නැති බවද උදයශාන්ත ගුණසේකර මහතා මෙහිදී සිහිපත් කළේය.

එහෙත් රිෂාඩ් බදුර්දීන් නැමති වහබ්වාදී ත්‍රස්තවාදයට කිරි පෙවූ අන්තවාදියා රැක ගැනීමට මුස්ලිම් ඇමැතිවරුන් ඔහු සමඟ සිට ගනිමින් ඉල්ලා අස්වීම සිංහල, දෙමළ ජනතාව පමණක් නොව මධ්‍යස්ථ මුස්ලිම් ජනතාව ද අනතුරේ හෙළීමක් බව ඒ මහතා සඳහන් කළේය.

සහරාන්ලා සහ රිෂාඩ් බදුර්දීන්ලා සමඟ සිටගැනීමෙන් මෙරට සමස්ත මුස්ලිම් ප්‍රජාවම වහබ්වාදී ත්‍රස්තවාදයට යටත් කරවීමට රවුෆ් හකීම්, කබීර් හෂීම් ඇතුළු මුස්ලිම් දේශපාලකයන් 19 දෙනෙකු කටයුතු කිරීම ජාතියේ අවාසනාවක් බව ද උදයශාන්ත ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *