ශ‍්‍රී ලංකා අමරපුර ධම්මරක්ඛිත මහා නිකාය නව ව්‍යවස්ථාවට විරුද්ද වෙති…. මහ නාහිමියන්ම මාධ්‍ය හමුවක් කැදවති….

(24.10.2017 – 15:00 +0530 – lankacnews.com)

නව ව්‍යවස්ථාවක් ගෙන ඒමටය මේ මොහොතේ කිසිදු උවමනාවක් නැති බව ශ‍්‍රී ලංකා අමරපුර ධම්මරක්ඛිත මහා නිකාය සදහන් කරයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම නිකායේ මහානායක පූජ්‍ය ත්‍රීකුණාමලයේ ආනන්ද නාහිමියන් මේ බව කියා සිටියහ.

මැතිවරණ ක්‍රමය පමණක් සංශෝධනය කරන්නේ නම් ඊට එකග වන බවත් කී උන් වහන්සේ දැනට ඉදිරිපත් කර ඇති කමිටු වාර්තාව යම් හෙයකින් ව්‍යවස්ථාව බවට පත් වුවහොත් එය රටට මර උගුලක් වනු ඇති බවද පැවසූහ.

වත්මන් ආණ්ඩුව ගැන කිසිම විශ්වාසයක් තැබිය නොහැකි බවත් මෙම කමිටු වාර්තාවම ව්‍යවස්ථාව බවට පත් කිරීමට ඔවුන් විවිධ උපාය භාවිතා කරනු ඇති බවද එහිමියෝ කියා සිටියහ.

++++++++++++++++++++++++++++++++++

පාර්ලිමේන්තුවෙන් සම්මත වුවත් ජනමත විමසුමෙන් නව ව්‍යවස්‌ථාව පැරදවීමට සංඝරත්නය පෙරට එනවා – බෙල්ලන්විල විමලරතන නාහිමි
(25.10.2017 – divaina.com)

යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත කරගත්ත ද එය ජනමත විචාරණයකට යැමේදී බහුතර ජන මතයකින් පරාජය කිරීමට මහා සංඝරත්නය පෙරටුව කටයුතු කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ ඊයේ (24 දා) පැවසූහ.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලයේ මෙහෙයුම් කමිටු අතුරු වාර්තාව පිළිබඳව අදහස්‌ දැක්‌වීම සඳහා ඊයේ සමස්‌ත ලංකා බෞද්ධ මහා සම්මේලන මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් උන්වහන්සේ එසේ ප්‍රකාශ කළහ.

අගමැතිවරයා ඇතුළු විවිධ පාර්ශ්ව මේ වන විට නව ව්‍යවස්‌ථාවක්‌ හෝ කෙටුම්පතක්‌ සකස්‌ කර නොමැති බවත් එම නිසා ඒ ගැන කතා කරන අය කරුණු හරිහැටි නොදැන කතා කරන බවත් පැවසුවත් මහා සංඝරත්නය මේ ගැන ගැඹුරින් හදාරා කරුණු කාරණා දැනගෙන කතා කරන බව උන්වහන්සේ කීහ.

මෙම යෝජනාවලිය අධ්‍යයනය කිරීමේදී ඉතා පැහැදිලිව පෙනී යන්නේ ශ්‍රී ලාංකේය සමස්‌ත ජනතාවගේ අනාගතය හා ජන සමාජයේ සහජීවනය අවදානමේ හෙළීමට හා බෙදුම්වාදී අරමුණුවලට රුකුල් දීමට පාදක විය හැකි ව්‍යවස්‌ථා නිර්දේශ එහි අන්තර්ගතව ඇති බව යෑයි උන්වහන්සේ කියා සිටියේය.

ඒවා අතර,
(අ) පාර්ලිමේන්තු බලතල දුර්වල කරන වගන්ති,
(ආ) ජනාධිපතිවරයා විසින් ආණ්‌ඩුකාරවරයා හරහා පළාතක බලතල පාලනය කිරීමට දැනට තිබෙන ප්‍රතිපාදන අහෝසි කෙරෙන නිර්දේශ
(ඇ) ඉඩම් ඇතුළු ඉතා වැදගත් ක්‍ෂේත්‍ර මත පවත්වා ශ්‍රේෂ්ඨාධිකරණයේ බල වපසරිය ව්‍යවස්‌ථා අධිකරණයක්‌ (කොහොම පිහිටුවනවද යන්න පැහැදිලි නැත) පිහිටුවීම තුළින් අහෝසි කෙරෙන වගන්ති
(ඈ) උතුර හා නැගෙනහිර දෙපළාත් එක ඒකකයක්‌ ලෙස සැලකිය යුතු බවට නව ව්‍යවස්‌ථාවෙන් පිළිගැනෙන පරිදි පැනවෙන වගන්තිද,
(ඉ) පළාත් තුළ ජාතික වැදගත්කමකින් යුතු කටයුත්තකදී මැදිහත්වීමට රජයට මෙතෙක්‌ තියෙන ඉඩකඩ අහෝසි වන පරිදි සමගාමී ලැයිස්‌තුව ඉවත් කිරීමට කෙරෙන යෝජනා ද
(ඊ) ඕනෑම පක්‍ෂයක්‌ සඳහා ජාතික ප්‍රතිපත්ති සැකසීමේදී රජයට හා පාර්ලිමේන්තුවට වර්තමානයේ ඇති ප්‍රතිපාදන ඉවත් කිරීමට කර තිබෙන නිර්දේශ ද (පළාත් සභාවකට අවශ්‍ය නම් පෝය නිවාඩුව වුවද එම පළාතේ බෞද්ධයන් අඩු නම් එය වෙනස්‌ කර වෙනත් දිනයක්‌ යොදා ගැනීමට හැකිය.) ඇතුළු තවත් බොහෝ යෝජිත පියවර ශ්‍රී ලංකා රාජ්‍යයේ ඒකීයත්වය විනාශ කිරීමට තුඩුදෙන බව මධ්‍යස්‌ථ හා නිර්දේශපාලනික මනසකින් මෙම ක්‍රියාවලිය දෙස බලන ඕනෑම අයෙකුට වැටහී යනු ඇතැයි උන්වහන්සේ පැවසූහ.

තවද මෙම යෝජනාවලිය තුළ අන්තර්ගත වී තිබෙන විකල්ප යෝජනා හරහා මෙහි සත්‍ය තත්ත්වය රටේ ජනතාවට වසන් කෙරෙන පරිදි සිංහල, දෙමළ, ඉංග්‍රීසි යෙදුම්වල පරස්‌පර තේරුම් ඇතිවන ආකාරයට වගන්ති සකස්‌ කර තිබෙන බව පැහැදිලිව පෙනීයන බව ද උන්වහන්සේ කීහ.

උදාහරණයක්‌ ලෙස යෝජිත ව්‍යවස්‌ථාවේ ශ්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යයක්‌ ලෙස සෘජුව සඳහන් කර නොමැති වුවත් වක්‍රව ඒ බව ඉස්‌මතු කිරීමට මෙම එකිනෙකින් වෙනස්‌ තේරුම් සහිත සිංහල, දෙමළ, ඉංග්‍රීසි වචන භාවිතයෙන් උත්සාහ දරා ඇති බව ද උන්වහන්සේ අවධාරණය කර සිටියහ. එසේම බුදු සසුනට හිමි සුවිශේෂී ව්‍යවස්‌ථාමය ප්‍රමුඛස්‌ථානය ද ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9 වැනි වගන්තියට සංශෝධන සහ විකල්ප ඉදිරිපත් කරමින් දියාරු කර ඇති බව ද උන්වහන්සේ කීහ.

මාධ්‍ය හමුව සඳහා පූජ්‍ය බලන්ගොඩ සෝභිත, අතිපූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද, මහාචාර්ය කෝන්ගස්‌තැන්නේ ආනන්ද, බෙල්ලන පුණ්‍යරතන, පූජ්‍ය හෑගොඩ විපස්‌සි, ආචාර්ය රොටුඹ ප්‍රේමරතන යන නාහිමිවරු ද එක්‌ව සිටියහ ෴

—————————–

වජිරාරාමාධිපති පූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද නාහිමි :

අපි රජය පෙරළන්නවත් වෙනත් අරමුණුවලටවත් පෙනී සිටින්නේ නැහැ. අනාගතයේදී මේ රටේ ජනතාව විශාල කරදරයකට මෙම නව ව්‍යවස්‌ථාව තුළින් සිද්ධවේවි කියන මතයේ සිටයි අපි මේ ප්‍රකාශ කරන්නේ. ගමේ ජනතාව අතර තියෙනවා ගොනා මොකටද හැරෙන්නේ කියලා වේලාසනින් දැනගෙන එයට එරෙහිව ක්‍රියාකිරීමක්‌. මේ වගේ වැටහීමක්‌ රටේ නව ව්‍යවස්‌ථාවක්‌ සැකසීම තුළ සිදුවන බවට හැඟීමක්‌ මේ රටේ මහා සංඝරත්නයට, විද්වතුන්ට, නීතිඥ මහත්වරුන් ඇතුළු විවිධ පාර්ශ්වයන්වලට ඇතිවී තිබෙනවා. මේ නිසයි ව්‍යවස්‌ථාව සකස්‌ කිරීමට පෙර ඒ ගැන දැනුවත්ව අදහස්‌ ප්‍රකාශ කරන්නේ.

සමස්‌ත දෙමළ ජනගහනයෙන් උතුරේ සිටින්නේ සීයට 32 ක ප්‍රමාණයක්‌. ඉතිරි සීයට 68 වෙනත් ප්‍රදේශවල ජීවත් වෙනවා. උතුරේ ඉන්න සුළු සිංහල ජනතාවට කිසිම ප්‍රශ්නයක්‌ නැහැ. ඒ අය අතර සහජීවනය, එකමුතුකම තියෙනවා. මීට වඩා සංහිඳියාව මොකද්ද? මේ ෆෙඩරල් වුවමනාව තියෙන්නේ දේශපාලනඥයන් ඇතුළු කිහිපදෙනකුටයි.

රත්මලානේ ධර්ම පර්යේෂණාධිපති පූජ්‍ය හෑගොඩ විපස්‌සි හිමි :

ආණ්‌ඩුව ගේන්න යන නව ව්‍යවස්‌ථාවට අතුරු වාර්තාව සම්බන්ධයෙන් වියත් පිරිස සහ මහා සංඝරත්නය ගැඹුරු ලෙස අධ්‍යයනය කර තිබෙනවා. එහි අහිතකර බව පෙනීයැම නිසයි මහා සංඝරත්නය මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන්නේ.

1956 ඉංග්‍රීසි භාෂාව වෙනුවට දෙමළ භාෂාව පරිවර්තනය කළා. 1958 සිංහල භාෂාව කාටවත් අසාධාරණයක්‌ නොවන ලෙස පරිවර්තනය කළා. 1978 සිංහල දෙමළ රාජ්‍ය භාෂාව කළා. දැන් මේ අයට අවශ්‍ය වෙලා තියෙන්නේ බෙදුම්වාදයට යැමටයි.

++++++++++++++++++++++++++++++++++

තමන් ද සම්බන්ධ, ශ්‍රී ලංකාව දෙකඩ කිරීමේ මහා ෆෙඩරල් කුමන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට විශාල බාධාවක් වූ මහා සංඝරත්නය ගැන NGO වේසිපුත්‍රයෙකුගේ මර ළතෝනිය :

++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 3

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *