මහජන මුදල් කෝටි ගනනක් විනාශ කළ මධ්‍යම අධිවේගී මාර්ගය

(16.06.2019 – 21:40 +0530 – hirunews.lk/sinhala)

මෙරට මාර්ග පද්ධතියේ යෝධ පිම්මක් වන්නට තිබූ මධ්‍යම අධිවේගී මාර්ගය තවමත් මෙරට ජනතාවට හීනයක්ව තිබෙනවා.

ඒ මෙරට දේශපාලඥයින් තමන්ට ලැබෙන ඕනෑම අවස්ථාවකින් ගසා කෑමට දක්වන කෑදරකම නිසාවෙන්.

විගණකාධිපතිවරයාගේ විශේෂ විගණන වාර්තාවට අනුව තවමත් එකදු අදියරක් හෝ වැඩ නිමවා නොමැති මධ්‍යම අධිවේගී මාර්ගය වෙනුවෙන් පසුගිය දෙසැම්බර් මාසය වන විට පමණක් මෙරට ජනතාවට අහිමිව ඇති මුදල රුපියල් මිලියන 2193 ක්.

බ්‍රිතාන්‍ය පාලනයෙන් පසුව මෙරට මාර්ග පද්ධතියට සුවිශාල වෙනස්කම් රැසක් සිදුකරමින් අධිවේගී මාර්ග, මෙරට මාර්ග සිතියමට එක්වුණා.

ඒ අනුව මේ වන විට දක්ෂිණ අධිවේගී මාර්ගය සහ කටුනායක අධිවේගී මාර්ගය මෙරට මාර්ග පද්ධතියට එක්ව අවසන්ව ඇති අතර කොළඹ – නුවර මාර්ගයේ නිරන්තරයෙන් පවතින අධික රථවාහන තදබදය හේතුවෙන් මෙරට ජනතාව වැඩි බලාපොරොත්තුවක් තබාගෙන සිටියේ මධ්‍යම අධිවේගී මාර්ගය පිළිබදවයි.

නමුත් විගණකාධිපතිවරයා සිදුකල විශේෂ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය නිසි ශක්‍යතා අධ්‍යයනයකින් තොරව ආරම්භ කර ඇති නිසා එහි ඉදිකිරීම් කටයුතු තවදුරටත් අසාමාන්‍ය ලෙස ප්‍රමාදවන බවයි.

එමෙන්ම නිසි පරිසර අධ්‍යනයක් නොමැති වීම හේතුවෙන් මධ්‍යම අධිවේගී මාර්ගයෙන් සිදුවන පරිසර හානියද උමා ඔය ව්‍යාපෘතියට දෙවෙනි වන්නේ නැහැ.

මධ්‍යම පළාතට අධිවේගී මාර්ගයක් ඉදිකිරීම සදහා 1990 වසරේ සිටම සැළසුම් සැකසුණද වරින් වර සිදුවූ ආණ්ඩු පෙරළිත් සමග එම ව්‍යාපෘති සියල්ල ඇණ හිටියේ මෙම ඉදිකිරීම් සදහා ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීම හේතුවෙන්.

විගණකාධිපතිවරයා පෙන්වා දෙන්නේ මෙලෙස ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙරටට සිදුවූ අලාභය මෙපමණකැයි තක්සේරු කල නොහැකි බවයි.

මධ්‍යම අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් සිදුකළ මෙම විගණනයට හෙළිදරව් නොකෙරුණු තොරතුරු රැසක් ද වනවා.

එනම් මෙම ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනයක් සදහා ස්වීඩන් රජය සහ ස්වීඩන් ජාත්‍යාන්තර සංවර්ධන ආයතනය විසින් මෙරටට ලබාදුන් රුපියල් මිලියන 119 ක ප්‍රදානයෙන් රුපියල් මිලියන 85 ක් මාර්ග සංවර්ධන අධිකාරිය වියදම් කල ආකාරය පිළිබදව කිසිදු කරුණක් හෙළිදරව් වී නැහැ.

තවද 2003 වසරේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගත් කොළඹ – මහනුවර අධිවේගී මාර්ගය ඉදිකිරීමේ කටයුතු සදහා මැලේසියාවේ පෞද්ගලික සමාගම සමග පැවති ගිවිසුම හා ඔවුන් සමග සිදුකරන ලද ක්‍රියාවලියට අදාළ ගණුදෙණුවල තොරතුරු කිසිවක් ද බලධාරීන් විසින් මෙම විගණනයට හෙළිදරව් නොකිරීමට වගබලාගෙන තිබෙනවා.

මැලේසියාවේ පෞද්ගලික සමාගම සමග පැවති ගණුදෙනු කාලය තුළ මෙම කටයුතු සිදුකිරීම සදහා ව්‍යාපෘති කළමණාකරණ ඒකකයක් පිහිටුවා තිබූ අතර එහි කාර්ය මණ්ඩලය සදහා 2012 වසර අවසාන වන විට රුපියල් මිලියන 284 ක වියදමක් දරා තිබෙනවා.

ඒ අනුව ස්විඩන් රජයෙන් ලබාදුන් මාර්ග සංවර්ධන අධිකාරිය ගිණුම්ගත නොකල රුපියල් මිලියන 85 සහ ව්‍යාපෘති කළමණාකරණ ඒකකයේ කාර්ය මණ්ඩලයට වියදම් කල රුපියල් මිලියන 284 එකතුව වන රුපියල් මිලියන 369 ගිණුම්වලින් වසන්කරන ලද වියදමක් බවට විගණනයේදී හෙළිව තිබෙනවා.

මේ අතර මධ්‍යම අධිවේගි මාර්ගයේ පළමු කොටස වන කඩවත සිට මීරිගම දක්වා ඉදිකිරීම් කටයුතු ප්‍රසම්පාදන මූලධර්මවලට පටහැනිව රුපියල් මිලියන 158,386 ක මුදලට MCC ආයතනය වෙත ලබාදීමට 2015 ජූලි 06 වනදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට එම මාසයේම 16 වනදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවද විගණන වාර්තාවේ සදහන්.

ඒ අනුව මේ වන විට යටිමඩි ගැසීම්, ගසාකෑම්, බහිරවයන් විසින් මුදල් ගිලදැමීම් වලින් අඩුවක් නොමැතිව මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩකටයුතු ඉබිගමනේ යන්නේ ජනතා මුදල් කෝටි ගණනින් කාබාසිනියා කරමින්.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය උමා ඔය ව්‍යාපෘතියට නොදෙවෙනි බව පවසන්නේ ඇයි?

ඒ පිළිබදව අපි හෙට (17) හෙළිදරවු කරන්නෙමු.

+++++++++++++++++++++

17.06.2019

***************************************

විල්පත්තුවේ ගෙවල් 592 ක් වසා තිබියදී තවත් 88 ක් හදන්නේ ඇයි?

(16.06.2019 – aruna.lk)

වසර ගණනකට පසුව යුද හමුදාව විල්පත්තුව වන රක්ෂිතයට ඇතුළු වූයේ එය රකින මීළඟ මෙහෙයුමට උර දෙන්නටය.

විල්පත්තුව රක්ෂිතය දිනෙන් දින පරිහානියට යැවූ, අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ වන සංහාරයට එරෙහිව කැලෑ වැදුණු යුද හමුදාව, යළි විල්පත්තුවට පණ දෙන්නට ‘තුරුලිය වෙනුවෙන් අපි’ වන වගා ව්‍යාපෘතිය මේ සතියේත් ක්‍රියාත්මක කළේය.

යුද හමුදාව විල්පත්තුව වනාන්තරයට යළි ජීවය දෙන්නට යද්දී, කල්ලාරු රක්ෂිතයේ කැලෑ කැප්පවූ රාජ්‍ය බලධාරින් දැන් සූදානම් වන්නේ එහි නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීමටය.

ඒ විල්පත්තුවේ කරඩික්කුලි ප්‍රදේශයේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විල්පත්තු වනෝද්‍යානයට උතුරින් වූ වනාන්තර සියල්ල එක්කර ‘සංරක්ෂිත කලාප’ ලෙස ගැසට් කරන්නේ 2017 මාර්තු 24 දා තම රුසියානු සංචාරය අතරතුරදීය.

රුසියාවේ සිට ජනපති අත්සන් තැබූ ගැසට් පත්‍රයට අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මාවිල්ලු, වෙප්පල්, කරඩික්කුලි, මරිච්චකට්ටි, විලත්තිකුලම්, පෙරියමුරුප්පු යන රක්ෂිත සියල්ල එකට එකතු කර ඇත. වන සංරක්ෂණ ආඥාපනතේ 3 (අ) වගන්තිය අනුව මෙය ‘මාවිල්ලු සංරක්ෂණ වනාන්තරය’ ලෙස ප්‍රකාශයට පත් කෙරුණේය.

මාවිල්ලු සංරක්ෂණ වනාන්තරයේ මායිම් වෙනස් කළ හැක්කේ විෂය භාර ඇමැති විසින් සාදන ලද නියමයක්, ජනාධිපතිවරයා විසින් අනුමත කරන ලදුව පාර්ලිමේන්තුවේ සම්මත කොට එසේ සම්මත කළ දැන්වීම ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසුවය. ඒ බව ගැසට් නිවේදනය නිකුත් කළ දිනයේ ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලෝක පරිසර දිනය සමරන්නට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් සඳහන් කළේ වන සම්පත රැක ගැනීම උදෙසා ඉදිරියේදී ලීමෝල් සහ වඩු මඩුද වසා දමන්නට සූදානම් බවය.

ජනපතිවරයා එසේ කියද්දී නිවාස අමාත්‍යාංශය මගින් විල්පත්තුවේ කරඩික්කුලි රක්ෂිත කැලයේ කොටස් කපා මුස්ලිම් පවුල් පදිංචි කරවන්නට කටයුතු යොදා තිබුණේ පසුගිය සතියේ පටන්ය.

මේ අතර යුද හමුදාවේ 54 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර මහතා හා 542 බල සේනාධිපති කර්නල් රවී හේරත් මහතා විසින් ඉකුත් 23 වැනිදා මුසලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ග්‍රාම නිලධාරින් සහ රාජ්‍ය නිලධාරින් කැඳවා දැනුම් දුන්නේ යළි විල්පත්තුව හා අවට කැලෑ කපන්නට ඉඩක් නොදෙන බවයි. එම දැනුම් දීමෙන් පැය විසිහතරක් යන්නට පෙර කල්ලාරු රක්ෂිතයට ඩෝසර් රැගෙන එන මව්ලවිවරුන් දෙදෙනකු ඇතුළු කණ්ඩායමක් කැලෑව ඩෝසර් කර නිවාස ව්‍යාපෘතියට අවශ්‍ය අත්තිවාරම් කපන්නේ හොරෙන් මැණික් පතල්, නිධන් හාරන ආකාරයටය.

ජනපතිවරයා ගැසට් නිවේදනයකින් කැලෑ කපන්නට තහනම් කළ රක්ෂිතය නිවාස අමාත්‍යාංශයේ වුවමනාවට කපා දමන්නේ ජනපති නියෝගද නොතකාය. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ නිලධාරින් පසුගිය දිනෙක අදාළ ප්‍රදේශයට එන්නේ ආරක්ෂක අංශවලටත් පූර්ව දැනුම්දීමකින් තොරවය.

කරදික්කුලි ප්‍රදේශයට පුත්තලමේ සිට මව්ලවිවරුන්, නැවත පදිංචි කරන්නට යන මුස්ලිම් වැසියන් පවා ගෙන්වා ප්‍රාදේශීය ලේකම් ඉදිරියේම මෙම ප්‍රදේශයේ නිවාස ව්‍යාපෘතිය දිගටම කරගෙන යන බව අමාත්‍යාංශ නිලධාරින් දන්වන්නේ පසුගිය 04 වැනි අඟහරුවාදාය.

විල්පත්තු රක්ෂිතය අවට අක්කර 2100 ක කැලෑව එළිපෙහෙළි කර ඉදිකළ නිවාස 1893 න් නිවාස 592 ක්ම කිසිවකුවත් පදිංචි නොකර තිබියදී තවත් නිවාස අසූඅටක් ඉදිකරන මේ ව්‍යාපෘතිය හදිසියේම කරන්නට යන්නේ මුළු රටේම අවධානය විල්පත්තුවට යොමුව තිබියදීය.

කටාර් රාජ්‍යයේ සිට පොම්ප කරන ලද මුදල්වලින් හැදූ ‘ජාසිම් සිටි’ ව්‍යාපෘතිය යටතේ ඉදිකළ නිවාස අතරේ තවමත් විවෘත නොවූ රජයේ කාර්යාල, ගොඩනැගිලි පාළුවට ගොස් තිබියදී කැලෑ කපමින් මෙම නිවාස ව්‍යාපෘතියට අත තබා ඇත.

කල්ලාරු රක්ෂිතයේ කරදික්කුලි මුස්ලිම් ගම්මානය ඉදිකරන්නට සූදානම් වන තැන සිට කලින් නිවාස ව්‍යාපෘතියට දුර කිලෝමීටර් පහකි. කිලෝ මීටර් පහක් දුරින් නිවාස 592 ක් කැලෑවට යද්දී යළි රජයේ රක්ෂිත කපා දමා නිවාස හදන්නේ කුමන කරුණක් අරබයාද යන්න ආරක්ෂක අංශවලටත් ඇති ගැටලුවකි.

ආරක්ෂක අංශ පෙන්වා දෙන අන්දමට මෙය අවතැන් වූ මුස්ලිම් පවුල් යළි පදිංචි කරවන මුවාවෙන්, වෙරළ තීරයේ බලය අල්ලන මෙහෙයුමේ තවත් කොටසකි. එවිට එම තීරයට තවත් නිවාස 88 ක් එකතුවන බව ආරක්ෂක අංශ පෙන්වා දෙයි.

මුසලි ප්‍රාදේශීය ලේකම් වසන්ත කුමාර්ගෙන් විමසූ විට ඔහු පවසන්නේ රජයට අයත් මෙම ඉඩම රක්ෂිතයට හානි නොවන ලෙස වෙන්කරගත් එකක් බවය. නමුත් ජනාධිපතිවරයා මෙම ප්‍රදේශ රක්ෂිත ලෙස ගැසට් කළේ 2017 දීය. ජනපති අණත් නොතකා ප්‍රාදේශීය ලේකම්වරුන් ඉඩම් මුදාහරින්නේ අරාබිකරයෙන් ගලාඑන මුදල් කුට්ටිවලට යටවීම නිසා බවට ආරක්ෂක අංශ සැක පහල කරයි. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව යුද හමුදාවට විල්පත්තුව රකින්නට බලය දුන්නත් හදිසියේ කැලෑ කපා ඉදිකරන්නට යන නිවාස ව්‍යාපෘතියට එරෙහි වන්නට ඔවුන්ට නොහැකි වී ඇත.

– තිස්ස රවීන්ද්‍ර පෙරේරා

***************************************

ඇමරිකානු සම්බාධක ගැන, ජනපති සහ රුසියානු ජනපති අතර සාකච්ඡාවක්

(16.06.2019 – 18:43 +0530 – hirunews.lk/sinhala)

රුසියාවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන යම් භාණ්ඩ සඳහා ඇමරිකාව විසින් මේ වන විට පනවා ඇති සම්බාධක සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා සාකච්ඡා කර තිබෙනවා.

ඒ, තජිකිස්ථානයේ – දුෂාන්බේ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය හා විශ්වාසය ගොඩනැගීමේ පියවර පිළිබද 5 වන සමුළුව අතරතුරයි.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, නුදුරු දිනෙකදීම ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස මෙහිදී ජනාධිපතිවරයා රුසියානු ජනාධිපතිවරයාට ආරාධනා කළ බවයි.

මේ අතර, පොළොන්නරුව බෞද්ධ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන පොසොන් මහා බත් දන්සල විවෘත කිරීමේ අවස්ථාවට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද එක්වුණා.

***************************************

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ගැන අදත් පළවූ පක්ෂ විපක්ෂ අදහස්

(16.06.2019 – 21:02 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ පරමාර්ථය පාස්කු ප්‍රහාරයේ තොරතුරු සෙවීම නොව ඊට එරෙහිව කටයුතු කළ ආරක්ෂක අංශ සහ රාජ්‍ය නිලධාරීන් දුර්වල කිරීම බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසනවා.

එම තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් අදත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.

+++++++++++++++++++++++++++++++++++

තමන් සිංහල බෞද්ධ කියන්න සමහරු ලැජ්ජයි.. තම ආගම ජාතිය ගැන කියන්න බයක් වෙන්න ඕන නෑ.. – මහින්ද රාජපක්ෂ

(17.06.2019 – 06:22 +0530 – lankacnews.com)

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පසුගියදා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයාගේ සිදු කල ප්‍රශ්න කිරීම් අනුමත නොහැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

කලවාන – පොතුපිටිය ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයක් සඳහා එක් වෙමින් විපක්ෂ නායක වරයා වැඩිදුරටත් කියා සිටියේ වත්මන් රජයේ ඇතැම් ක්‍රියාකාරකම් නිසා බුදුදහමට හානිකර තත්වයක් ඇතිවූ බවයි.

කලවාන- පොතුපිටිය -ඉඹුලකන්ද මිහිඳු කළා විහාරස්ථානයේ බුද්ධ මන්දිරය සහිත චෛත්‍ය විවුර්ත විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක වරයා :

‘‘අවුරුදු තිහක් තිබුණු යුද්ධය අපි අවුරුදු දෙකහමාරකින් තුනක් යන්නට ප්‍රථම අපි අවසන් කළා. ඒක කරලා අපි රටේ සංවර්ධනය ඇති කළා. එදා ගමේ මිනිස්සුන්ගේ අතේ සල්ලි තිබුනා. රටේ සල්ලි තිබුනා. ආර්ථිකය ඉදිරියට ගියා. ආර්ථිකයේ තිබුණු හැම අංශයක්ම ඉහළ නග්ගන්න අපිට මේ කාලය තුළ පුළුවන් වුනා. ලක්ෂ හතරක් වෙලා තිබුණු සංචාරකයින් ලක්ෂ දහ අටක් දක්වා වැඩි කරලා මම භාර දුන්නේ. මේ අය විසි හතර දක්වා ඇවිත් අද බිංදුවට වැටිලා තියෙනවා. මේ තත්වයෙන් ආර්ථිකය කඩා හැලෙනකොට පසුගිය දවසේ ඇතිවෙච්ච ප්‍රහාරය නිසා අපිට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වුනේ නැහැ වසර දහයක්.

අවුරුදු තිහක යුද්දෙන් පස්සේ අපි ලබාගත්ත අවුරුදු දහයේ නිදහස සම්පුර්ණ වෙන්න තිබුනේ මැයි මාසේ දහ නමවෙනිදා. අපිට දහ නමය සමරන්න සිද්ද වුනේ නැවත භයෙන්. වෙසක් උත්සවය හැමදාම මැයි මාසේ තිබුණා. පහුගිය කාලේ බක් මාසයට ආවා ඒක. බලන්න ඒ වෙනස. ඊට පස්සේ අවුරුද්දේ මැයි දිනය සමරන්න බැරි වුණා. ඊළඟට පහුගිය වෙසක් උත්සවය අපට සමරන්න බැරි වුනා. දැන් පොසොන් උත්සවයක් තියෙනවා. ඒක අපි සමරන්න ඕන. අපි අද සන්තෝෂ වෙන්නේ මේ වගේ මේ සෙනගක් ඇවිල්ලා…විශාල පිරිසක් ඇවිල්ලා පන්සලක උත්සවය සම්බන්ධ වීම පිළිබඳව. අපි බයෙන් ජීවත් විය යුතු නැහැ. අපේ රටේ කිසි කෙනෙක් කිසි කෙනෙකුට බියවිය යුතු නැහැ. නමුත් මේ වගේ රටක් මේ වගේ තත්වයකට අද වැටුනේ ඇයි?… අපේ ජාතික ආරක්ෂාව අපෙන් ගිලිහිලා ගියා. ඒ ජාතික ආරක්ෂාව ගැන ඔවුන් තැකුවේ බොහොම පහසු විදියට. මට මතකයි සමහර ඇමතිවරු ගිහිල්ලා පාරවල් හරස් කරලා තිබුණු බැරියර් විසි කළා. මේ මොන බොරු වැඩක්ද කියලා. හමුදාව අයින් කෙරෙව්වා. කඳවුරු අයින් කළා. එහෙම කරලා ‘නිදහසේ අපිට ප්‍රශ්නයක් නැහැ’ කියලා බොහොම සැහැල්ලුවෙන් ජාතික ආරක්ෂාව ගැන බැලුවේ. ආරක්ෂක මණ්ඩලය නිසි ආකාරයෙන් රැස් වුනේ නැහැ. සාක්කි තියෙනවා. ඉතින් එවැනි තත්වයක් ඇතිවෙලා තියෙන අවස්තාවක තමයි මේ බෝම්බ ප්‍රහාරය ආවේ. ආගමික අන්තවාදය නිසා. මම හැමවෙලාවෙම කියන්නේ ‘ත්‍රස්තවාදියාට ආගමක් හෝ ජාතියක් නැහැ’ කියලා. මම විස්වාස කරනවා ත්‍රස්තවාදියා ත්‍රස්තවාදියාමයි කියලා. ‘හොඳ ත්‍රස්තවාදියෝ’ කියලා කට්ටියක් නැහැ. නමුත් අද මොකද වෙලා තියෙන්නේ මේ අයට?… මේක නිසා අද මුළු ජාතියක්ම සැකෙන් ජීවත් වෙනවා… භයෙන් ජීවත් වෙනවා… සියලු දෙනා… මුළු රටක් භයෙන් ජීවත් වෙනවා. ඒ වගේ තත්වයකට අද පත්වෙලා තියෙනවා… අම්මලාට ගිහින් පාසල් මුරකරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ තත්වය වෙනස් වෙන්න ඕන.මේ මානිසිකත්වයෙන් අපි ඈත් වෙන්න ඕන. නායකයන් මුලින් ඉදිරිපත් වෙන්න ඕන. නායකයන් ඒ සඳහා සුදානම් විය යුතුව තියෙනවා. මේ රට ආරක්ෂා කරගත යුතුව තියෙනවා.

බුදු දහම පිළිබඳව අද කතා වෙනවා. අද සමහරුන්ට සිංහල බෞද්ධකම නැතිවෙලා. එක අමතක වෙලා.. අද සමහර අයට ලැජ්ජයි තමන් සිංහල කියල කියන්න. සමහරුන්ට ලැජ්ජයි තමන් බෞද්ධයෙක් කියලා කියන්න. තමන්ගේ ආගම ගැන ජාතිය ගැන කතා කරන්න බයක් වෙන්න ඕන නැහැ.. අද වෙලා තියෙන්නේ ‘සිංහලයා කියලා කිව්වොත්’ ඒක ජාතිවාදී කතාවක් කියලා කියන්න පටන් ගන්නවා… හැමෝටම තමන්ට කියලා සංස්කෘතියක්, අනන්‍යතාවයක් තියෙනවා.. ඒක සිංහලයට වගේම දෙමල අයටත් තියෙනවා… ඒක මුස්ලිම් ජාතියටත් තියෙනවා.. ඒ ගැන අපේ කිසි තර්කයක් නැහැ.. එකේ ගැටළුවකුත් නැහැ. හැමෝම ත්‍රස්තවාදීන් නෙමෙයි.. හැම දෙමළ කෙනෙක්ම ත්‍රස්තවාදියෙක් නෙමෙයි.. අපිට පුළුවන්කම තිබුණා පහළොස් දහසක් පුනරුත්තාපනය කරලා සමාජයට යවන්න.. හැබැයි අපි පරිස්සම් වුනා.. ඔවුන් ගැන විමසිල්ලෙන් හිටියා. අපේ කාලය තුලදී. අද නැවත වාරයක් මේ තත්වය ඇති වුනේ ඒ තිබිච්ච ක්‍රමවේදය, ආරක්ෂක වළල්ල, ආරක්ෂක අංශය අඩපන කිරීමේ ප්‍රතිපලයක් ලෙසයි.

අද හාමුදුවරු හිරේ දානවා. පහුගිය කාලේ පොතක් ලිව්වා ආගම ගැන.. ආගම් අවශ්‍ය නැහැ කියලා.‘නිබ්බාන පරමං සුඛං’ වෙනුවට ‘නිර්වස්ත්‍ර පරමං සුඛං’ කියලා පොත් ලිව්වා.. මේකෙන් පේනවා මොනතරම් සුක්ෂමව පසුගිය අවුරුදු හතර තුළ ආණ්ඩුව බුදුදහම විනාස කිරීමට කටයුතු කලාද කියලා. ඒක ඉතාම සියුම් විදියට කළා. ඒ එක්කම නොයෙක් දේවල් ඉදිරිපත් වුනා… සම ලිංගික විවාහ පිළිබඳව අපි දැක්කා කතා කරනවා.. ඒවාට අවසර දෙන්න ඕන කියලා කතා කළා.. මෙවැනි තත්වයන් රටතුළ ඇති වේගෙන ආවා. ඒ සියල්ලම මේ ආණ්ඩුව තුළ ඔවුන්ගේ ප්‍රතිපත්ති බවට පත් වුනා. පිට රටින් එන්.ජී.ඕ කාරයෝ එනවා. ඒ අයගේ න්‍යායන් මේ රටට ඇවිත් ක්‍රියාත්මක කරන්න හදනවා. ‘මේ රටේ ජාතියක් අවශ්‍ය නැහැ.. ආගමක් අවශ්‍ය නැහැ…’ කියපු උදවිය තමයි එදා අපිව පරාජය කරන්න මහා ලොකු සටනක් කලේ.. අද අපිට පේනවා මේවාගෙන් ඇතිවෙලා තියෙන ප්‍රතිඵලය. වෛරක්කාරී සමාජයක් ඇති කළා මේ අය.. උදේ පාන්දර රුපවාහිනිය බැලුවොත් අපිට පෙන්නේ වෛරය වපුරන එක. උදේ පාන්දර ඉඳලා වෛරය.. අවුරුදු හතර තිස්සේ කළේ එකම කාර්‍යයයි. අපිට විරුද්දව චෝදනා තියෙනවා කියලා උසාවි ගෙනියන්නයි නඩු පවරන්නැයි උත්සහ කළා. අද අධිකරණය ස්වාධීනයි කියනවා. අපි කියනවා ‘අධිකරණය ස්වාධීනයි’ කියලා. හැබැයි අධිකරණය ස්වාධීන වෙනකොට තව පැත්තකින් මොනවද කරන්නේ?… පාර්ලිමේන්තුවට අලුත් පනත් ගේනවා. නඩුවක් මහාධිකරණයේ පවරන්නේ නීතිපති දෙපාර්තමේන්තුවෙන්. අද නීතිපති දෙපාර්තමේන්තුව නම් ලැයිස්තුවක් යවනවා අග්‍ර විනිශ්චයකාරයට. අග්‍ර විනිශ්චයකාරයා තෝරනවා මේකේ නඩුව යන්න ඕන… මේකේ නඩුවක් තියෙනවා… අද එතුමා තමයි නඩුව ඉදිරිපත් කරන්නේ… එතකොට මොකක්ද වෙන්නේ ? ඒක පල්ලෙහා උසාවියට යවනවා. අග්‍ර විනිශ්චයකාරයා නඩුවක් තියෙනවා කියලා එවපු එක පහල අධිකරණයෙන් ඔහුව නිදහස් කරන්න දෙපාරක් හිතනවා. මොන අදහස තිබුනත්.. ලොකු ප්‍රශ්නයක්.. ඒක නිසා අධිකරණයේ කටයුතු ක්‍රියාත්මක වෙනකොට ස්වාධීනත්වය ජනතාවට පෙනෙන්න තියෙන්න ඕන. නැතිනම් මේ ගැන සැකයක් ඇතිවෙනවා. මේක අධිකරණයේ වරද නෙමෙයි. පාර්ලිමේන්තුවේ වරද. පාර්ලිමේන්තුවෙන් සම්මත කරගත්ත පනතේ වරද. වැරදි පනත් සම්මත කරගත්තම වැරදි විදියට තීන්දු එන, වැරදි විදියට ක්‍රියාත්මක වෙන අධිකරණයක් ඉබේ ඇති වෙනවා. එතකොට ජනතාවට අධිකරණය කෙරෙහි ඇති විශ්වාසය නැතිවෙලා රට අරාජික වෙලා යනවා. අධිකරණයට තියෙන බය, අධිකරණයට තියෙන ගෞරවය, අධිකරණයට තියෙන ස්වාධීනත්වය – විශ්වාසය අබමල් රේණුවකින්වත් අඩුවෙන්න හොඳ නැහැ. නීතිඥයන් වශයෙන් අපි හැමදාම අධිකරණයට ගරු කරනවා. නමුත් මේ තත්වයට පත් කරන්නේ ආණ්ඩුව විසින්. මේක තමයි ඇත්ත කතාව. මේවා පිළිබඳව සොයාබලන්න ඕන යුගය ඇවිල්ලා තියෙනවා. හිතන්න කාලය ඇවිල්ලා තියෙනවා. මේ තත්වය වෙනස් වෙන්න ඕන. පලිගැනීම සඳහා අලුතෙන් අධිකරණ පිහිටුවීම වැරදියි. ඒ නිසා මේවා පිළිබඳවත් සැලකිලිමත් වෙන්න ඕන. ඒ හින්දා.. අද තියෙන්නෙ ඉතාම කනගාටුදායක තත්වයක් .. රටේ ජනාධිපති නැහැ, රටේ අගමැති නැහැ, රට අරාජික වෙලා. සියලුදෙනා මොනවා වෙනවද කියලා දන්නේ නැහැ. පාර්ලිමේන්තුව හෙට අනිද්දා රැස්වෙනවා. මේ තත්වය යටතේ රටක් ඉදිරියට යන්නෙත් නැහැ; ජනතාවට සෙතක් වෙන්නෙත් නැහැ .. ඒකයි අපේ විශ්වාසය.

අනතුරුව විපක්ෂ නායකවරයා මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන්නා :

මාධ්‍යවේදියා :

‘‘පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළා.එහි ප්‍රශ්න කිරීම් සිදුකරගෙන යන අතර තුර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතාගෙන් ඇඳුම් සම්බන්ධයෙන් ගෙන ආ චක්‍රලේඛනයක් ගැන ප්‍රශ්න කිරීමක් සිදු කළා.මේ ගැන ඔබ තුමාගේ අදහස මොකක්ද?’’

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා :

‘‘මම හිතන්නේ නැහැ මේ අයට එහෙම ප්‍රශ්න කරන්න බලයක් තියෙනවා කියලා. තේරීම් කාරක සභාව පත් කල කාරණයක් තියෙනවනේ. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳවයි ප්‍රශ්න කරන්නේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා ගෙනල්ල ප්‍රශ්න කරන්නේ ප්‍රහාරයෙන් පස්සෙනේ නිකුත්කල චක්‍ර ලේඛනයක් ගැනයි. ඒ ගැන ප්‍රශ්න කරන්න බැහැ.”

– දෙනියාය ප්‍රියංක ගමගේ

***************************************

මිනිස්සු මරණ රජයක මම ඉන්නේ නෑ – මංගලගේ ප්‍රකාශයට රාජිතගේ විරෝධය

June 17, 2019 01:02 pm

විදේශීය දුම්වැටි ආනයනය කිරීමට කටයුතු කරන කැබිනට් මණ්ඩලයක් තුළ තමා නොසිටින බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

චීන දුම්වැටි මෙරටට ආනයනය කළ යුතු බවට මීට පෙර මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද කොළඹදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ඇමතිතුමා මංගල සමරවීර ඇමත්‍යවරයා විසින් චීනයෙන් සිගරට් ගෙන්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කුමන ක්‍රියාවක් සිදු කරන්නේ ද යන්න මාධ්‍යවේදීන් විසින් මෙහිදී අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, ලංකාවේ ඇති දුම්වැටිවලට අමතරව තව චීනයෙන් ගෙන්වීමට අදහස් කරන්නේ නම්, එය කෙසේ හෝ අනුමත කළ නොහැකි කටයුත්තක් බවයි.

එයට තමා සම්පූර්ණයෙන් විරුද්ධ වන බවත්, මෙම තීරණයට යම් බලපෑමක් සිදුවන්නේ නම් එවැනි ඇමති මණ්ඩලයක තමා අසුන් ගන්නේ නැති බව ද රාජිත සේනාරත්න මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේය.

තමා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙනුත් වෛද්‍යවරයෙක් ලෙසත්, මිනිසුන්ව ඝාතනය කරන මිනිස්සු ලෙඩ කරන රජයක තමා සිටින්නේ නැති බව ද පැවසු සෞඛ්‍ය අමාත්‍යවරයා, 2015 ජාතික මැතිවරණ වේදිකාවේ මෙය ප්‍රධාන මාතෘකාවක් වූ බවත් පැවසු රාජිත සේනාරත්න මහතා, මේ සඳහා මහජන වරම හිමිකර ගෙන ඇති බව ද පැවසීය.

***************************************

බදියුදීන් ඉඩම් වංචා සඳහා හිස් ලේඛනවලට අස්සන් අරන් – ජනපති කොමිසමේ දී හෙළිවෙයි

(17.06.2019 – 12:44 +0530 – sinhala.adaderana.lk)

රිෂාද් බදියුදීන් මන්ත්‍රීවරයා විසින් රජයේ ඉඩම් ව්‍යාජ ඔප්පු මඟින් වෙනත් පාර්ශවයන් වෙත පවරාදීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

රජයේ ආයතනවල දූෂණ හා වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව වෙත පූජ්‍ය තීනියාවල පාලිත හිමි විසින් පැමිණිල්ලක් සිදුකර තිබුණි.

එමඟින් දක්වා ඇත්තේ මන්නාරම ප්‍රදේශයේ අක්කර 3000 ක ඉඩම් සිය බිරිඳ සහ පවුලේ ඥාතීන් වෙත පවරාදීමට රිෂාද් බදියුදීන් මන්ත්‍රීවරයා කටයුතු කර ඇති බවයි.

ඒ අනුව සාක්ෂි සඳහා කැඳවු පාර්ශව විසින් රජයේ ඉඩම් පවරාදීම සම්බන්ධ තොරතුරු අනාවරණය වී තිබේ.

පසුගිය යුද සමයේදි මන්නාරම ප්‍රදේශයේ අක්කර 3000 ක භූමි ප්‍රදේශයක ජීවත්ව වෙනත් ප්‍රදේශවලට ගිය ජනතාවගේ ඉඩම්, රිෂාද් බදියුදින් මන්ත්‍රීවරයා විසින් පවරාගෙන ඇති බව අනාවරණය වී ඇත.

එම ජනතාවට රුපියල් ලක්ෂ 5 ත් 10 ත් අතර ප්‍රමාණයක මුදල් ලබාදී අදාල ඉඩම් පවරාගෙන ඇති අතර ඇතැම් පුද්ගලයින්ගෙන් හිස් ලේඛනවලට ද අත්සන් ලබාගෙන ඇති බවට ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව වෙත සාක්ෂි ලබාදෙන පිරිස් සදහන් කර තිබේ.

මේ වන විට පුද්ගලයින් 17 දෙනෙකු පමණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සදහා අද (17) පැමිණෙන ලෙස පුද්ගලයින් 08 දෙනෙකුට ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව දැනුම් දී ඇති බව එහි ප්‍රකාශකයෙකු අද දෙරණට සඳහන් කළේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *