කුසට අහරක් නොමැතිව මියගිය බිළිඳාගේ සංවේදී කතාව

(18.06.2019 – 20:53 +0530 – hirunews.lk/sinhala)

කුසට නිසි අහරක් නොමැතිවීම හේතුවෙන් මාස 11 ක දරුවෙකු මියගොස් ඇති පුවතක් තිස්සමහාරාම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඒ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද සාකච්ඡාවට ලක්වුණා.

තිස්සමහාරාම විජයපුර පදිංචි මව්පිය යුවළකට දාව සිව්වැනි දරුවා ලෙස උපන් මලිත් වීරසිංහ මියගොස් තිබුණේ පසුගිය මැයි මස 15 වැනිදායි.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ මන්දපෝෂණය හේතුවෙන් දරුවා මියගොස් ඇති බවයි.

+++++++++++++++++++++

‘කිරි පැකට් එකක් දැක්ක කාලයක් මතක නෑ’ – මියගිය දරුවාගේ මව

(19.06.2019 – 11:29 +0530 – lankadeepa.lk)

මගේ දරුවා මිය ගියේ පසුගිය මැයි මාසයේ 14 වෙනිදා. හම්බන්තොට රෝහලේ දොස්තර මහත්තය කිවුවේ දරුවා මන්ද පෝෂණයෙන් මැරුණා කියල. අපේ මනුස්සයටත් ඒ හැටි ආදායමක් නෑ. කිරි පැකට් එකක් දැක්ක කාලයක් මතක නෑ. ළමයි දුක් විඳිනව තමයි. ඒත් අපිට කරන්න දෙයක් නෑ. අපි අන්ත අසරණ වෙලා යැයි තිස්සමහාරාම නැදිගම්විල ග්‍රාම නිලධාරී වසමේ විජේපුර පදිංචිව සිට පසුගිය මැයි මාසයේ 14 වැනිදා මියගිය මලිත් මිහිරංග දේශප්‍රිය රාජපක්ෂ මාස 11 ක් වයසැති බිළිඳාගේ මව වන ගයාත්‍රි ඉන්දිකා ජයසිංහ මහත්මිය (42) ඊයේ (18) සවස පැවසුවාය.

හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බන්ධුල හරිශ්චන්ද්‍ර මහතා මෙම තොරතුරු හෙළි කිරීමෙන් පසු ඊයේ සවස අප එම නිවසට ගිය අවස්ථාවේදී ජයසිංහ මහත්මිය මේ පිළිබඳ එසේ කීවාය.

ගයත්‍රිගේ සැමියා වන තුසිත චන්දන මහතා රැකියාව වශයෙන් මිරිදිය මත්ස්‍ය වෙළෙඳාම කරන අතර ධීවරයකුගෙන් මිලදී ගන්නා මාළු ගම පුරා ඇවිද විකිණීමෙන් ලැබෙන සොච්චම් මුදලින් තම දරුපැටවුන්ට කන්න අඳින්න දෙන බව තුසිතගේ බිරිඳ පැවසුවාය.

තුසිතගේ පවුලේ සාමාජිකයින් ගණන පහකි. ඒ ඔහු, බිරිඳ හා දරුවන් තිදෙනා ය. දරුවන් තිදෙනා පාසල් යන්නේ නැදිගම්විල විද්‍යාලයටය. නිවසේ සිට කිලෝමීටර් 03 ක් පමණ පා ගමනින් පාසලට යන්නට ඔවුන්ට සිදුව තිබේ. ළමයින් තිදෙනාටම ඇත්තේ ඇඳුම් කඩමලු කිහිපයක් පමණි. බොහෝ විට පාසල් ඇඳුමෙන්ම සවස් කාලය ගත කරන්නට එම දරුවන්ට සිදුව තිබේ.

ඔවුන් පෙරේදා (17) දිනයේ දී උදය ආහාර ලබාගෙන තිබුණේ පාසලෙනි. සම්බෝල හා අල හොදි සමග බත් කෑ බව එම දරුවෝ අප සමග කීහ. ඔවුන් දහවල් ආහාරයට ගෙන තිබුණේ පරිප්පු හොද්දක් සමග බත් පමණි.

තුසිතගේ බිරිඳ :

“මගේ දරුවා මිය ගියේ පසුගිය මැයි මාසයේ 14 දා. හම්බන්තොට රෝහලේ දොස්තර මහත්තය කිවුවේ දරුවා මන්ද පෝෂණයෙන් මැරුණා කියල. අපේ මනුස්සයටත් ඒ හැටි ආදායමක් නෑ. කිරි පැකට් එකක් දැක්ක කාලයක් මතක නෑ. ළමයි දුක් විඳිනව තමයි. ඒත් අපිට කරන්න දෙයක් නෑ. අපි අන්ත අසරණ වෙලා.

ළමය නැති වුණාට පස්සෙ අපේ ගෙදර කිරිබතක් අද වෙනකම් හැදුවෙ නෑ. අපිටත් දරු කැක්කුමක් තියෙනවා.” ඇය කඳුළු සළමින් පැවසුවාය.

හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බන්ධුල හරිශ්චන්ද්‍ර මහතා :

“මේ දරුවා මිය ගියේ ආහාර හිඟකම නිසා ඇති වූ මන්ද පෝෂණයෙන් කියල ඒ දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ අධිකරණ වෛද්‍යවරයා ඔහුගේ වාර්තාවේ සඳහන් කොට තිබෙනවා. මෙවැනි තත්ත්වයක් ඇති උනේ කොහොමද? මේ ග්‍රාමය නියෝජනය කරමින් රජයේ නිලධාරීන් රැසක් සිටිනවා. පවුල් සෞඛ්‍ය සේවිකාව ආර්ථික සංවර්ධන නිලධාරීවරයා සමෘද්ධි සංවර්ධන නිලධාරීවරයා ආදී නිලධාරීන් රැසක් ගම තුළ සිටිනවා. ඔවුන් තම රාජකාරිය නිසිලෙස ඉටු නොකිරීම නිසා මෙම අවාසනාවන්ත තත්ත්වය ඇති වී තිබෙනවා.

ආදායම නොසලකා පෝෂණ මල්ලක් මේ වන විට රජයෙන් ලබා දෙනවා. එය මේ පවුලට ලැබුණාද කියල අප සොයා බැලිය යුතුයි. එමෙන්ම මේ පවුලට සමෘද්ධි සහනාධාරය ලැබී නෑ. ඇහැට පේන දේවල් දැකල ප්‍රායෝගිකව වැඩ නොකිරීම නිසා ඒ පවුලට සමෘද්ධි සහනාධාරය ලැබී නෑ. නිලධාරීන් හොඳට ඇඳල කාර්යාලෙ හොඳට ඉඳල හවසට ගෙදර යන එක තම වගකීම පමණක් කියල හිතනවානම් ඒක වැරදියි.

නිලධාරීන්ට වගකීමක් වගේම වගවීමක්ද තිබෙනවා. අපට තිබෙනවා අපගේ රැකියාව මත නියම වූ කාර්යයක්. ඒ කාර්ය අපි නිරන්තරයෙන් සිදුකළ යුතු වෙනවා. අපේ නිලධාරීන් එසේ නොකරන්නේ නම් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් තවදුරටත් සිදු වෙන්න පුළුවන්.”

මේ සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එම්.කේ. බන්දුල හරිස්චන්ද්‍ර මහතා, තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාලිංග ප්‍රියවංශ මහතාගෙන් ඊයේ (18) පැවති හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී කරුණු විමසීමේදී ප්‍රාදේශීය ලේකම්වරයා මෙසේ කීය :

“මෙම පවුලේ දරුවන් හතර දෙනෙක් සිටිනවා. මිය ගොස් ඇත්තේ බාල දරුවා. වයස මාස 11 යි. අනික් දරුවන් වයස අවුරුදු 9, 8, 5 යන වයස්වල පසුවෙනවා. මවත් ඉතාම දුර්වල මට්මක සිටින්නේ. පෝෂණ මල්ල ලබා දීමට අදාළ අයැදුම්පත් පුරවා දෙන ලෙස කියා සිටියත් ඒවා භාර දී නැහැ. සමෘද්ධි ආධාරයත් ලබා දී නැහැ. නිවසක් සාදා ගන්න නිවාස අධිකාරියෙන් රුපියල් ලක්ෂ පහක ආධාරයක් ලබා දී තිබෙනවා. නිවසට අත්තිවාරම පමණක් දා තිබෙනවා. පියා දරුවන් ගැන සොයා බලනවාට වඩා රටේ තොටේ වැඩ ගැන සොයා බලනවා. ජාතියට දරුවන් බිහිකරන්න ඕන කියලත් කියලා තියනවා. අපේ පැත්තෙන් අඩු පාඩු සිදු වී ඇති බව මම පිළිගන්නවා. අදාල නිලධාරීන් ගේ උනන්දුවීම නැති බවත් පිළිගන්නවා.”

මෙහිදී දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ පවුල් සෞඛ්‍ය සේවිකාව දරුවන් පිළිබඳ සොයා බැලීම සිදු කරමින් දරුවාගේ උස බර සටහන් කරමින් කාඩ් එකක් පවත්වාගෙන යන අතර පෝෂණ ඌණතාවයෙන් පෙලෙන මෙම දරුවන් සම්බන්ධයෙන් කිසිදු පියවර ගෙන නැති බව මෙම මරණයෙන් හෙළිවන හෙයින් එම කොට්ඨාසයේ පවුල් සෞඛ්‍ය සේවිකාව සම්බන්ධයෙන් ද වහා පරීක්ෂණයක් පැවැත්විය යුතු බව හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට දන්වා යැවීමට කටයුතු කරන ලෙසට අදාළ නිලධාරින්ට මෙහි දී කීය.

මවුපියන් දරුවන් ඇති කළත් දරුවන් රැක බලා ගැනීම රජයේ වගකීමක් වන හෙයින් ඒ සඳහා ගමකට බුද්ධිමත් රජයේ නිලධාරින් ලෙස ග්‍රාම නිලධාරි, සමෘද්ධි සංවර්ධන නිලධාරි, ආර්ථික සංවර්ධන නිලධාරි, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය, ග්‍රාම ශක්ති නිලධාරි ඇතුළු රාජ්‍ය නිලධාරින් පත් කර සිටින්නේ මේවා ගැන සොයා බැලීමට හෙයින් ඒ කිසිවෙකුගෙන් මේ දරුවන්ට යුතුකම ඉටුවී නැති හෙයින් සියලු දෙනා නිදහසට කවර කරුණු කීවත් ඉන් පලක් නැති බව දිස්ත්‍රික් ලේකම්වරයා අවධාරණයෙන් කීය ෴

+++++++++++++++++++++

තිස්සමහාරාමයේ දරුවා මියයෑමේ සිද්ධියට 05 ක ගේ වැඩ තහනම් කරන්නැයි නියෝගයක්

(19.06.2019 – 12:49 +0530 – hirunews.lk/sinhala)

තිස්සමහාරාම – විජයපුර ප්‍රදේශයේදී මන්දපෝෂණයෙන් කුඩා දරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරින් 5 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට තමන් නියෝග කළ බව හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා පවසනවා.

ඊයේ දින දිස්ත්‍රික් සංවර්ධන කමිටුව රැස්වූ අවස්ථාවේදී විජයපුර ග්‍රාම නිලධාරි කොට්ඨාශය භාර රාජ්‍ය නිලධාරින් 5 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට තමන් දිස්ත්‍රික් ලේකම්වරයා වෙත උපදෙස් ලබාදුන් බවයි රාජ්‍ය අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

තිස්සමහාරාම – විජයපුර ප්‍රදේශයේ පදිංචිව සිටි මාස 11 ක් වයසැති කුඩා දරුවෙකු මන්දපෝෂණය හේතුවෙන් පසුගිය මැයි මස 14 වනදා මියගොස් තිබුණා.

පවුලේ බාලයා වන මෙම දරුවාට වැඩිමහල් සහෝදර සහෝදරින් තුන් දෙනෙකු සිටිනවා.

කෙසේ වෙතත් එම පවුලට සමෘද්ධි සහනාධාරය ලබා දීමට ප්‍රදේශයේ සමෘද්ධි නිලධාරීවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් කටයුතු කර තිබුණත් එය ලබාදීමට නොහැකි වී ඇත්තේ පියා විසින් සමෘද්ධි සහනාධාරය ප්‍රතික්ෂේප කිරීම නිසා බවටයි හෙලිව ඇත්තේ.

කෙසේ වෙතත් ඊයේ රැස් වූ හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී මෙම දරුවාගේ මරණය සම්බන්ධයෙන් සංවාදයට බදුන් වී තිබෙනවා.

එහිදී එම කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදාරච්චි මහතා නියෝග කර ඇත්තේ සිද්ධියට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් 05 දෙනෙකුගේ වැඩ තහනම් කරන ලෙසයි. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ද රාජ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

+++++++++++++++++++++

මන්දපෝෂණයෙන් මිය ගිය දරුවාගේ සිද්ධිය රාජ්‍ය සේවකයින්ගේ පිට පටවන්න එපා

(20.06.2019 – 12:27 +0530 – sinhala.adaderana.lk)

මන්දපෝෂණය වැළඳීමෙන් මිය ගිය දරුවාගේ සිද්ධිය පහල රාජ්‍ය සේවයේ නියුතු රාජ්‍ය සේවකයන්ගේ පිට පටවා නිදහස් වීමට උත්සාහ දරයි නම් ඊට විරුද්ධව දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ඉදිරියේදී ගන්නා බව ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය පවසයි.

තිස්සමහාරාම ප්‍රදේශයේ මන්දපෝෂණය වැලඳීමෙන් මිය ගිය දරුවාගේ සිද්ධිය පහල රාජ්‍ය සේවයේ නියුතු රාජ්‍ය සේවකයන්ගෙ පිට පටවා දේශපාලන අධිකාරිය සහ ඉහල පරිපාලන නිලධාරීන් අත පිසදා ගැනීමට උත්සාහ කරන්නේ නම් ඊට විරුද්ධව දැඩි වෘතීය සමිති ක්‍රියාමාර්ගයක් ඉදිරියේදී ගන්නා බව ඔවුන් පවසා සිටියි.

අද (20) දින පෙරවරුවේ දඹුල්ල ප්‍රදේශයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔවුන් මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරි වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සුමිත් කොඩිකාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

එහිදී සභාපතිවරයා කියා සිටියේකුඩා දිළිඳු දරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් තම රාජ්‍ය නිලධාරීන්ගෙන් ලබා ගත් තොරතුරු අනුව ඔවුන් සිය රාජකාරි නොපිරිහෙලා ඉටු කර තිබෙන බවත් රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරන දේශපාලන අධිකාරිය දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු පිරිස මෙහි වගකීම බාරගත යුතු බවය .

මෙම සිද්ධියට හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයා තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම්වරයා ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ඇතුළු ඉහළ නිලධාරීන් වගකිව යුතු බවත් සාධාරණ පරීක්ෂණයක් වහාම සිදු කළ යුතු බවද සුමිත් කොඩිකාර මහතා සඳහන් කළේය.

දේශපාලන අධිකාරියේ අතපෙවීම මත රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදාරච්චි මහතාගේ නීතිය රාජ්‍ය සේවකයන්ට ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබා නොදිය යුතු බවත් රාජ්‍ය නිලධාරින් හට වැඩ තහනම් කිරීමට සිදුවන්නේ නම් ඒ සඳහා රාජ්‍ය සේවකයන්ට බලපාන නීති රෙගුලාසිවලට අනුකූලව කටයුතු කළ යුතු බවත් එසේ නොමැතිව රාජ්‍ය ඇමතිවරයාගේ අවශ්‍යතා මත කිසිදු ආකාරයකින් රාජ්‍ය සේවකයන් හට දඬුවම් කිරීමට නොහැකි බව ඒ මහතා පැවසීය.

මෙම තීන්දු තීරණ ආපස්සට නොගතහොත් දිවයින පුරා ක්ෂේත්‍ර නිලධාරීන් දැවැන්ත වැඩ වර්ජනයකට ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරි වෘත්තීය සමිති සම්මේලනය එළඹෙන බවත් එහිදී ප්‍රකාශ විය.

මෙම මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ ජාතික සංවිධායක ප්‍රදීප් බස්නායක මහතා කියා සිටියේ හම්බන්තොට රාජ්‍ය නිලධාරීන් පස් දෙනකුගේ වැඩ තහනමකට ලක් කළහොත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදාරච්චි මහතාට සහ දිස්ත්‍රික් ලේකම්වරයාට එරෙහිව දීප ව්‍යාප්ත විසිරී සිටින ග්‍රාම නිලධාරීන් සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ආර්ථික සංවර්ධන නිලධාරීන් කෘෂි පර්යේෂණ නිලධාරීන් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සියලු දෙනාම ඒකරාශී වී වැඩවර්ජනයක නිරත වන බවත්ය.

දිස්ත්‍රික් ලේකම්වරයා සහ දීලිප් වෙදආරච්චි රාජ්‍ය ඇමැතිවරයා සිදු කළ ප්‍රකාශයන් ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ ඉල්ලා අස් කර ගත යුතු බවත් එසේ සිදු නොකරන්නේ නම් ලබන බදාදා දිනයේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පළමු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භකොට පසුව දිවයින පුරා විසිරී සිටින ගම් මට්ටමේ ශ්‍රේෂ්ඨ නිලධාරීන් රාජකාරි කටයුතුවලින් ඉවත්ව වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව සඳහන් කළේය ෴

+++++++++++++++++++++

‘සෞඛ්‍ය නිලධාරිනියට චෝදනා කළොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා’ – රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනී

(20.06.2019 – 15:58 +0530 – lankadeepa.lk)

දේශපාලනඥයින් තවදුරටත් සෞඛ්‍ය නිලධාරිනියට චෝදනා කරන්නේ නම් ලබන සඳුදා සිට දිවයිනේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් රාජකාරිවලින් ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනී දේවිකා කොඩිතුවක්කු මහත්මිය අද (20) හිඟුරක්ගොඩ ප්‍රදේශයේදී පැවසුවාය.

තිස්සමහාරාමයේ නැදිගම්විල මන්දපෝෂණය හේතුවෙන් මියගිය දරුවා පිළිබඳ වගකීම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ වරදින් වූවක් බව විවිධ දේශපාලනඥයන් විසින් තවදුරටත් පවසනවානම් මෙසේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට සූදානම් බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

හිඟුරක්ගොඩදී අද පැවති මාධ්‍ය හමුවකදී ඇය මෙසේද කීවාය :

“තිස්සමහාරාම සෞඛ්‍ය නිලධාරී කාර්යාලයට අයත් නැදිගම්විල ගම්මානයේ පදිංචි ගයත්ත්‍රි ඉන්දිකා මවගේ මාස 11 ක දරුවා මියයාම ම සම්බන්ධයෙන් එහි සේවය කරන පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ නිලධාරිනියට විවිධ දේශපාලනඥයන් විසින් ලකුණු දමාගැනීම සඳහා චෝදනා එල්ල කරමින් පවතිනවා.

ඒ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය විසින් ඒ මව ගැබ් ගත් අවස්ථාවේ සිට දරුවා ප්‍රසූත කිරමෙන් පසු දක්වා තම රාජකාරිය නිසි ලෙස කර තිබෙනවා. නමුත් මේ දේශපාලනඥයෝ ඇයට සහ එම පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට දිගින් දිගටම චෝදනා කරනවා.

සෑම ගමකම සිටිනවා රජයේ නිලධාරිවරු 6 දෙනෙක්. මේ මියගිය දරුවාට සහ පවුලට අවශ්‍ය ආහාර ලබාදීම හෝ ලබාගැනීමට කටයුතු කිරීම ඒ අයගේ වගකිමක්. මෙම දරුවාගේ මරණය සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් නොකර අපට චෝදනා එල්ලකිරීම කිසිසේත් පිළිගත නොහැකියි. අපි අපේ සෞඛ්‍ය පැත්තේ සියලු වගකිම් කර තිබියදීත් දිගින් දිගටම චෝදනා එල්ල කරනවා නම් අප විසින් කිසිදු පැකිලීමකින් තොරව සියලු රාජකාරිවලින් ඉවත් ලබන සඳුදා සිටම දිවයින පුරා වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙනවා” යැයි ද රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනිය දේවිකා කොඩිතුවක්කු මහත්මිය වැඩිදුරටත් පැවසුවාය ෴

+++++++++++++++++++++

තිස්සමහරාමයේ මන්ද පෝෂණයෙන් මිය ගිය දරුවාගේ මව කියපු කථාව

(21.06.2019 – 16:57 +0530 – sinhala.adaderana.lk)

පසුගිය දා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතාගේ හෙළිදරව්වක් මත ආහාර නොමැතිව මිය ගිය බිළිඳෙකු පිළිබද අද දෙරණ වාර්තා කළේය.

හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයාගේ මෙම ප්‍රකාශය අනුව ආහාර නොමැතිව මියගිය දරුවාගේ පවුලේ ඥාතීන් සොයා පසුගිය (18) වන දා තිස්සමහාරාම විජයපුර ගෝනගමුව ග්‍රාමයට ගියේය.

මෙලෙස මිය ගිය මාස 11 ක් වයසැති මලිත් මිහිරංග කුඩා දරුවායි.

පුංචි මලිත් සිය මව පියා සහ සහෝදර සහෝදරියන් තිදෙනා සමග මේ කුඩා නිවසේ ගත කළ ඉතා කෙටිකාලය තුළ දරුවෙකුට අවශ්‍යකරන නිසි පෝෂ්‍යදායී ආහාරවේලක් තියා කුස ගින්නට ප්‍රමාණවත් ආහාර වේලක් ලැබුණේ ද ඉතාමත් කලාතුරකින්.

දරුවාට මන්ද පෝෂණය ඇති බව වෛද්‍යවරුනුත් පැවසු බව කියා සිටි මිය ගිය දරුවාගේ මව වැඩිදුරටත් කියා සිටියේ දරුවා ත්‍රිපෝෂ ආහාරයට ගැනීමට කැමැත්තෙන් සිටි බවයි.

කෙසේ වෙතත් ඊයේ (20) දිනයේ දී අද දෙරණ වාර්තාකරු නැවත වරක් මිය ගිය දරුවාගේ නිවසට ගිය අතර, එහිදී දරුවාගේ මව විසින් දරුවා කිසිදු අයුරකින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා රජයේ රෝහලක් වෙත ගෙන නොගිය බව ද පැවසීය.

එමෙන්ම දරුවා ආහාර ප්‍රතික්ෂේප කලත් ඇය ඒ සඳහා කිසිවක් නොකල බවත්, මව විසින් අද දෙරණ වාර්තාකරුට පවසයි.

මේ අතර, මාසයකට පමණ පෙර රුපියල් ලක්ෂයක් පමණ වටිනා කිරිපිටි හා වෙනත් ද්‍රව්‍ය නිවසට ලැබුණු බවත් ඇය විසින් පිළිගැණිනි.

***************************************

හිස්බුල්ලා සමග සිටි සැක කටයුතු අරාබි ජාතිකයින්ගේ සවිස්තර වාර්තාව මෙන්න

(18.06.2019 – colombotoday.com)

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා විසින් සැක කටයුතු සෞදි අරාබියානු ගුවන් ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන් තිදෙනෙකු හෝටලයකින් ඉවත්කරගන්නා CCTV දර්ශන මාධ්‍ය මගින් ප්‍රසිද්ධ වීමත් සමගම සමාජය තුල ආන්දෝලනයක් ඇතිවී තිබේ.

Colombo Today තොරතුරු ජාලයට අනුව මෙම තිදෙනා 2019 අප්‍රේල් 18 ලංකාවට පැමිණ ඇත. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව, අප්‍රේල් 23 වනදා මොවුන් තිදෙනාම කටුනායක ගුවන් තොටුපලින් දිවයිනෙන් පිටව ගොස් ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ හිටපු නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා සඳහන් කර සිටියේ ඔවුන් ආයෝජකයන් පිරිසක් බවයි. කෙසේ වෙතත් සෞදි අරාබියානු ගමන් බලපත්‍ර අංක R457940 හිමි 1973 ඔක්තෝබර් 23 දින උපන් මොහොමඩ් ඊබ්‍රහිම් (ALKHODIRI MOHAMMED IBRAHIM) යන පුද්ගලයා 2015 සැප්තැම්බර් 01 වනදා නිකුත් කරන ලද ගුවන් ගමන් බලපත්‍රයෙන් 2017 මාර්තු 29 දින, 2017 නොවැම්බර් 01 දින සහ 2019 අප්‍රේල් 18 වන දින ලංකාවට පැමිණ ඇත. පසුගිය වර්ෂ කිහිපය තුල තෙවරක් ලංකාවට පැමිණ ඇති ඔහු විසින් මෙරට තුල සිදු කළ කිසිදු ආයෝජනයක් හෙළිකිරීමට හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයා අසමත් වී ඇත.

මොහොමඩ් ඊබ්‍රහිම් (ALKHODIRI MOHAMMED IBRAHIM) යන පුද්ගලයා පිළිබඳව පොලීසිය විමර්ශන සිදුකරන්නේනම්, මොහු පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාර දෙකකට සම්බන්ධ ඊබ්‍රහිම් සොහොයුරන්ට නෑකම් කියන පුද්ගලයෙක්ද යන්න වහා සොයා බැලිය යුතුව ඇත. එමෙන්ම මොහු සෞදි අරාබියානු පුරවැසිභාවය ලබාගත් ශ්‍රී ලංකිකයෙකුද යන්න පිළිබඳවද විශාල සැකයක් ජනතාව තුල මතුව ඇත.

ඔහු සමග පැමිණි අනෙක් දෙදෙනා වන්නේ,

  1. සෞදි අරාබියානු ගමන් බලපත්‍ර අංක v051381 හිමි 1965 ඔක්තෝබර් 26 දින උපන් අබ්දුල්ලා හමීඩ් (ALKHODIRI ABDULLAH HAMAD)
  2. සෞදි අරාබියානු ගමන් බලපත්‍ර අංක W935674 හිමි 1968 සැප්තැම්බර් 24 දින උපන් ෆාහඩ් සාඩා (ALKHODIRI FAHAD SAADA)

අප්‍රේල් 18 වනදා රාත්‍රිය අංක 30, හයිඩ් පාර්ක් කෝර්නර්, කොළඹ ලිපිනයේ පිහිටි යුනීක් ටවර්ස් නමැති ස්ථානයේ එපාර්ට්මන්ට් එකක් කුලියට ලබාගෙන මෙම තිදෙනා එහි නැවතී සිට ඇත. ඒ සඳහා ඩොලර් 150 ක් මොහොමඩ් ඊබ්‍රහිම් නමැති පුද්ගලයාගේ නමින් ගෙවා ඇත.

මෙම තිදෙනා කොළඹ සිට පාසිකුඩා දක්වා 2019 අප්‍රේල් 19 දින ගමන් කර ඇති අතර ඒ සඳහා යොදාගත් වෑන් රථය පිළිබඳව මෙරට ආරක්ෂක අංශ පරීක්ෂණ සිදුකල යුතුව ඇත. ඒ සඳහා යුනීක් ටවර්ස් එපාර්ට්මන්ට්හී CCTV දර්ශන විශ්ලේෂණය කිරීම ආරක්ෂක අංශ සතු කාර්යයකි. (අප වෙත වාර්තා වෙන කරුණු සියල්ල පළකිරීම අපගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බැවින් මේ අවස්ථාවේදී පළකිරීමෙන් වැළකී සිටිමු.)

Coconut Cultivation board Road, Pasikuda යන ලිපිනයේ ඇති The Calm Resort – Spa හෝටලයේ මෙම තිදෙනා අප්‍රේල් 19, 20, 21, 22 යන දිනයන් සඳහා කාමර වෙන් කරගෙන ඇත. ඒ සඳහා රුපියල් 95,804.10 ක ගෙවීම් සිදුකර ඇත්තේ අප්‍රේල් 22 රාත්‍රී 09.35 ට පමණ වේ.

මෙම ස්ථානයට අප්‍රේල් 22 රාත්‍රියේ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා පැමිණ සෞදි ජාතිකයන් කැඳවාගෙන යන CCTV දර්ශන මීට ඉහතදී මාධ්‍ය මගින් ප්‍රචාරය වූ අතර, අප්‍රේල් 23 වනදා මෙම තිදෙනා කටුනායක ගුවන් තොටුපලින් පිටව ගොස් ඇත ෴

***************************************

අපේ රටේ කඩවල් ලක්‍ෂ 2 ක් තියනවා. නමුත් බඩු විකිනෙන්නේ නෑ. මෙන්න හේතුව… – අරුණ බණ්ඩාර (09.06.2019)

***************************************

06.06.2019

***************************************

ඇමති රාජිත ජනපති තීරණයට පිටින් ගිහින් කළ පත්කිරීමක් ගැන GMOA හෙළිදරව්වක්

(18.06.2019 – 21:58 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මහබැංකු බැදුම්කර පාඩුවට වැඩි පාඩුවක් රටට සිදුකර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගෙ සංගමය පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ රුසියාවෙන් ගෙන්වන තත්ව සහතික නොකල පිළිකා ඖෂධ වලින් පමණක් සිදුව ඇති පාඩුව රුපියල් කෝටි 10 කට අධික බවයි.

***************************************

රිෂාඩ් චෝදනා වලින් නිදහස් කරගන්න ආණ්ඩුව කටයුතු කරනවා – ආනන්ද සාගර හිමි

(18.06.2019 – 21:46 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව එල්ලවී ඇති චෝදනාවලින් ඔහුව නිදහස් කරගැනීම සදහා රජය කූට උපක්‍රම භාවිතා කරන බවට පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් චෝදනා කරනවා.

ප්‍රකාශයක් ලබාදීම සදහා අද පස්වරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මෙම අදහස් පලකළා.

විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය විසින් පොලිස් මූලස්ථානයට ගොනුකර තිබූ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා පූජ්‍ය ආනන්ද සාගර හිමියන් අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණියා.

***************************************

2020 ජනපතිවරණය ගැන පක්ෂ විපක්ෂ අදහස්

(18.06.2019 – 21:39 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් භික්ෂු සංවිධාන සහ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත් විවිධ අදහස් පළ කළා.

***************************************

කොමිසම ඉදිරියේ නිරුත්තර වූ කාත්තන්කුඩි හිටපු OIC

(18.06.2019 – 20:12 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදි ප්‍රහාරය පිළිබද සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අද කාත්තණ්කුඩිය පොලිසියේ වත්මන් සහ හිටපු ස්ථානාධිපතිවරුන්ගෙන් සාක්ෂි විමසුවා.

කාරක සභාව රැස්වීමට ප්‍රථම අදාළ තේරීම් කාරක සභාවේ නියෝජිතයින් කථානායක කරු ජයසුරිය මහතා හමුවී තේරීම් කාරක සභාවේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ අද ප්‍රථමයෙන් සාක්ෂි ලබාදීමට කැදවා තිබුණේ කාත්තණ්කුඩි පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.පී. කස්තුරිආරච්චි මහතායි.

අනතුරුව සාක්ෂි විමසීම සදහා කාත්තන්කුඩි පොලිසියේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආරියබන්දු වෙදගෙදර මහතා කැඳවා තිබුණා.

***************************************

ගාල්ල ඇල්පිටිය ප්‍රධාන මාර්ගයේ බටපොළ ප්‍රදේශයේදීයි (18.06.2019)

***************************************

කථානායකට ජාත්‍යන්තර උපදේශකයෙක් – විපක්ෂය ප්‍රශ්න කරයි – වැරදුණු කෝටි ගණනක පරිපූරකයක් ඉවතට

(18.06.2019 – 19:25 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළ රුපියල් මිලියන 56,546 ක පරිපුරක ඇස්තමේන්තුවේ දෝෂ ඇති බැවින් ඉවත් කරගන්නා බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා.

පරිපුරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසින්.

කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අතර, පසුව එය ඉවත් කරගන්නා බව ආණ්ඩුව සඳහන් කළා.

පළාත් සභා 9 ට අදාළ සහ අමාත්‍යාංශ කිහිපයක ප්‍රතිපාදන මෙන්ම විපක්ෂ නායකවරයාගේ භාවිතයට නිල වාහනයක් ලබාගැනීම, අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල ගේ නිල නිවස නවීකරණයට අදාළ හිඟ බිල්පත් නිරවුල් කිරිම ඇතුළු තවත් වියදම් සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබුණා.

එමෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් ප්‍රසාද් කාරියවසම් කථානායකවරයාගේ ජාත්‍යන්තර උපදේශකවරයෙකු ලෙස පත් කරගැනීම සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තුවේ සංවාදයට ලක්වුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ඒ පිළිබද ප්‍රශ්ණ කිරිමත් සමගයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *