කොළඹ තැන් කීපයකට සෙනසුරාදා (22) වතුර නෑ

(20.06.2019 – 12:26 +0530 – sinhala.adaderana.lk)

2019 ජූනි මස 22 වන දින පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12 තෙක් පැය 15 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ විදුලි පද්ධතියේ වැඩිදියුණු කිරීමක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් සහ ජුබිලි ජල සැපයුම පද්ධතියේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුන බව මණ්ඩලය වැඩිදුරටත් නිවේදනය කරයි.

ඒ අනුව, කොළඹ, දෙහිවල-ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශය, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයට මෙලෙස ජල කප්පාදුව බලපැවැත් වෙයි ෴

***************************************

CTJ මහලේකම් අබ්දුල් රාසික් සාක්ෂි දීම අරඹයි

(20.06.2019 – 14:54 +0530 – sinhala.adaderana.lk)

ලංකා තවුහිද් ජමාද් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික් අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම සඳහා පැමිණ තිබේ.

බුදු රාජානන් වහන්සේ මිනි මස් ආහාරයට ගත් බවට තමා කළ ප්‍රකාශය පැටලීමනික් සිදුවූ බවත් තමා ඒ සම්බන්ධයෙන් සමාව අයැඳ සිටි බවත් එහිදී අදහස් දක්වමින් අබ්දුල් රාසික් පවසා සඳහන් කළේය.

පැහැදිළිවම IS සංවිංධානයේ සිටින පුද්ගලයින් මුස්ලිම් ජාතිකයන් නොවන බවත් වාහබ් වාදය යනු ත්‍රස්තවාය නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම වහාබ් වාදය යනු සංකල්පයක් නොවන බවත් එය නාමකරණයක් පමණක් බවත් ලංකා තවුහිද් ජමාද් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික් වැඩිදුටත් පැවසීය.

අද (20) දිනයේදී කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස සමස්ත ලංකා තවුහිද් ජමාද් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික්ට දැනුම් දී තිබුණි.

මේ අතර මින් ඉදිරියට සාක්ෂි විමසීමේදී ඇතැම් සාක්ෂිකරුවන්ගේ අනන්‍යතාවය හෙළි නොකිරීමට සහ සාක්ෂි විමසීම් රහසිගතව සිදු කිරීමට පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කර ඇත.

ඇතැම් සාක්ෂි විමසීමේදී මාධ්‍ය නොමැතිව සාක්ෂි සටහන් කිරිමට විශේෂ කාරක සභාව තීරණය කළ බව එහි සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේය.

කාරක සභාවේ නියෝජිතයින් ඊයේ (19) පස්වරුවේ රැස්වූ අවස්ථාවේදී මෙම තීරණ ගෙන ඇත.

ජාතික ආරක්ෂාවට අදාළ සහ ආරක්ෂක බුද්ධි අංශ නිලධාරින්ගෙන් සාක්ෂි විමසීමේදී මාධ්‍ය නොමැතිව අදාල සාක්ෂි සටහන් කර ගැනීමට තීරණය කළ බව ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේය.

මීට අමතරව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු ලබන ජුලි මස අවසන්වීමට පෙර අවසන් කිරිම සම්බන්ධයෙන් ද ඊයේ (19) පැවැති සාකච්ඡාවේදී අවධානය යොමුව ඇත.

ඉදිරියේදී පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාක්ෂි විමසීම සඳහා කැඳවන සාක්ෂිකරුවන්ගේ ලේඛනයක් ද සකස් කර ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් අද දිනයේ (20) මුස්ලිම් සංවිධාන කිහිපයක නියෝජිතයින් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටිමට නියමිතයි.

+++++++++++++++++++++

+++++++++++++++++++++

https://www.facebook.com/AdaDeranaLive/videos/2419902334726616/

+++++++++++++++++++++++++++++++++++

රාජ්‍ය සේවකයින්ගේ ඇඳුම වෙනස් කරපු චක්‍රලේඛයේ වෙනසක් නෑ

(20.06.2019 – 14:12 +0530 – sinhala.adaderana.lk)

රාජ්‍ය සේවකයින්ගේ ඇඳුම පිළිබඳ නිකුත් කර ඇති චක්‍රලේඛය සංශෝධනය කිරීමේ තීරණයකට මේ වන තෙක් පැමිණ නොමැති බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ නිකුත් කර ඇති අදාල චක්‍රලේඛය තාවකාලික අත්හිටුවිමට හෝ සංශෝධනය කිරිමට පියවර ගෙන නොමැති බවයි.

සියලු රාජ්‍ය සේවකයින් තවදුරටත් අදාල චක්‍රලේඛයට යටත්ව කටයුතු කළ යුතු බව එම ප්‍රකාශකයා කියා සිටියේය.

පසුගිය ජුනි මස 17 වන සඳුදා දින රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා සමඟ මෙම චක්‍රලේඛයට අදාල සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබූ බවට මාධ්‍ය වාර්තා පල වුණි.

එහෙත් එවැනි සාකච්ඡාවක් නොපැවැති බව සඳහන්ය.

රජයේ ආයතනවල නිලධාරීන්ට ජාතික ඇඳුම හෝ කමිසය හා කලිසමත් නිලධාරිනියන්ට සාරිය හෝ ඔසරියත් ඇදීම අනිවාර්ය වන අතර කිසිදු නිලධාරියෙකු මුහුණු ආවරණය නොකර සිය අනන්‍යතාව හඳුනාගත හැකි අයුරින් සිය රාජකාරි කටයුතු සිදු කිරීම අනිවාර්ය වෙයි ෴

***************************************

අද (20) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක් දුම්රිය නවතී

(20.06.2019 – 16:38 +0530 – sinhala.adaderana.lk)

අද (20) මධ්‍යම රාත්‍රී 12 සිට සිට පැය 48 ක කාලයක් දුම්රිය වර්ජනයක් සිදු කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර ඇත.

මුදල් අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡා අසාර්ථකවිම හේතුවෙන් වැඩවර්ජනයේ නිරත වීමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කර ඇත.

වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය වෘත්තිය සමිති ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබුණු නමුත් මුදල් අමාත්‍යවරයා සමඟ අද දිනයේ සාකච්ඡාවක් ලබා දෙන බවට ප්‍රවාහන අමාත්‍යවරයා ලබාදුන් පොරොන්දුවකට අනුව වැඩවර්ජනය තාවකාලිකව නතර කිරීමට දුම්රිය වෘත්තිය සමිති ඊයේ තීරණ කළේය.

වර්ජනය සඳහා දුම්රිය රියදුරන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන් සහ පාලකවරුන් මෙම වර්ජනය සදහා එක්විමට නියමිතයි ෴

+++++++++++++++++++++

21.06.2019

+++++++++++++++++++++

21.06.2019

***************************************

චම්පික රණවකගේ ප්‍රතිරූපය හදන්න අමාත්‍යාංශ ලේකම් හතර වටින් සල්ලි අදියි

(21.06.2019 – mawbima.lk)

මහ නගර සභා සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ දේශපාලන ප්‍රතිරූපය ගොඩනැංවීමේ ප්‍රචාරක ව්‍යාපෘතියක් සඳහා එම අමාත්‍යාංශයේ ලේකම් ඉන්ජිනේරු නිහාල් රූපසිංහ මහතා රුපියල් කෝටි 10 ක මුදලක් අමාත්‍යාංශයට අයත් ආයතන හා ව්‍යාපෘතිවලින් එකතු කරගනිමින් පවතී.

මහජනතාව දැනුවත් කිරීම හා ප්‍රචාරණ කටයුතුවලට යෙදීම සඳහා යැයි කියමින් අමාත්‍යාංශ ලේකම්වරයා මෙලෙස මුදල් එකතු කරගෙන ඇත.

මැතිවරණ සමයට පෙරාතුව මේ මුදල් වැයකර ඇමැතිවරයාගේ ප්‍රතිරූපය ගොඩනැඟීම මේ වැඩසටහනේ අරමුණ වී ඇතැයි එම අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘මව්බිම’ට හෙළි කළේය.

මෙලෙස ප්‍රචාරක වැඩසටහන්වලට යැයි කියමින් ලබා ගන්නා මුදල් යොදවා ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ දේශපාලන ප්‍රතිරූපය ගොඩනඟා ගැනීමේ සැලසුමක් ක්‍රියාවට නංවා ඇතැයි එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් හෙළිකර සිටී.

මේ මාස කිහිපය තුළ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ඒ ඒ ආයතන හා ව්‍යාපෘතිවලින් ප්‍රචාරණ වියදම් සඳහා ලබාගෙන ඇති මුදල් ප්‍රමාණයන් මෙසේය :

  • ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවෙන් රුපියල් මිලියන 20 යි,
  • නාගරික සංවර්ධන අධිකාරිය (සුචිතපුර ව්‍යාපෘති හා වෙනත් ව්‍යාපෘති) මඟින් රුපියල් මිලියන 20 යි,
  • කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය මඟින් රුපියල් මිලියන 10 යි,
  • උපාය මාර්ගික නාගරික සංවර්ධන ව්‍යාපෘතියෙන් රුපියල් මිලියන 10 යි,
  • 3එම් ව්‍යාපෘතිය රුපියල් මිලියන 3 යි,
  • පරිපාලන නගර සංවර්ධන ව්‍යාපෘතිය රුපියල් මිලියන 1 යි.
  • ගුවන් නගර සංවර්ධන ව්‍යාපෘතිය මිලියන 1 යි,
  • ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය මිලියන 3 යි,
  • තාක්‍ෂණ නගර සංවර්ධන ව්‍යාපෘතිය මිලියන 1 යි,
  • ප්‍රවාහන නගර සංවර්ධන ව්‍යාපෘතිය රුපියල් මිලියන 1 යි,
  • සමුද්‍රීය නගර සංවර්ධන ව්‍යාපෘතිය රුපියල් මිලියන 1 යි,
  • බස් නව්‍යකරණ හා සහසර ව්‍යාපෘතිය මිලියන 1 යි,
  • වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය රුපියල් මිලියන 4 යි,
  • සැහැල්ලු සංක්‍රමණ දුම්රිය පද්ධති ව්‍යාපෘතිය රුපියල් මිලියන 4 යි,
  • 2019 වර්ෂයේ අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක වෙනත් ව්‍යාපෘති මඟින් තවත් රුපියල් මිලියන 20 යි

මේ රුපියල් කෝටි 10 ක මුදල ඇමැතිවරයකුගේ ප්‍රතිරූපය නංවා ගැනීම සඳහා වෙන් කිරීම මූල්‍ය අවභාවිතයක් ද? නැද්ද? යන්න සොයා බැලිය යුතුව ඇතැයිද අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියා හෙළි කර සිටියේය.

– ශිරාන් රණසිංහ

***************************************

චිත්‍රපට බෙදාහැරීම සංස්ථාවට පවරාගැනීම අත්හිටුවන්නැයි කළ ඉල්ලීම ඉවතට

(21.06.2019 – mawbima.lk)

මෙරට පෞද්ගලික සමාගම් හතරක් විසින් සිදුකළ චිත්‍රපට බෙදාහැරීමේ ක්‍රියාවලිය ඉකුත් වසරේ ජුනි මාසයේ සිට ජාතික චිත්‍රපට සංස්ථාව යටතට පවරා ගැනීමට විෂය භාර ඇමැතිවරයා විසින් ගනු ලැබූ තීරණයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස කරනු ලැබූ ඉල්ලීමක් ගාස්තුවට යටත්ව ප්‍රතික්ෂේප කිරීමට කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය නියෝග කළාය.

2018 වසරේ ජුනි මස 09 වැනිදා විෂය භාර අමාත්‍යවරයා විසින් ලබාදුන් උපදෙස් මත ජාතික චිත්‍රපට සංස්ථාව විසින් ගනුලැබූ මෙම තීරණය නීත්‍යනුකූල සහ අවසානාත්මක තීරණයක් ලෙස තම අධිකරණයට පෙනී යන හෙයින් පැමිණිල්ල විසින් ඉල්ලා සිටින ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප

කරන බවද විනිසුරු අමාලි රණවීර මහත්මිය සිය නියෝගයේ සඳහන් කළාය. චිත්‍රපට බෙදාහැරීමේ ක්‍රියාවලිය ජාතික චිත්‍රපට සංස්ථාව යටතට පවරා ගැනීමට ගනුලැබූ තීරණයට එරෙහිව චිත්‍රපට බෙදාහැරීමේ කාර්යයේ නිරත වී සිටින ඊ.ඒ.පී. චිත්‍රපට සමාගම, ලංකා ෆිල්ම් ඩිස්ට්‍රිබියුටර්ස් සමාගම, සිනමා එන්ටර්ටේට්මන්ට් සමාගම සහ මූවී ප්‍රඩක්ෂන් සමාගම විසින් ඉකුත් ජුනි මස මෙම නඩුව ගොනුකර තිබිණි.

ඒ තුළින් පැමිණිලිකාර සමාගම් ප්‍රකාශ කර තිබුණේ කාලයක් තිස්සේ තමන් විසින් සිදුකළ චිත්‍රපට බෙදාහැරීමේ ක්‍රියාවලිය ජාතික චිත්‍රපට සංස්ථාව යටතට පවරා ගැනීම තුළින් තම සමාගම්වලට මෙන්ම දේශීය සිනමා කර්මාන්තයටද දැඩි අගතියක් සිදුවන බව පෙන්වා දී තිබිණි. එහෙත් ජාතික චිත්‍රපට සංස්ථාව ප්‍රකාශ කර තිබුණේ දේශීය සිනමා කර්මාන්තයේ උන්නතිය උදෙසා මෙම තීරණය ගනු ලැබූ බවයි ෴

***************************************

මේ රටේ දරුවකු මන්දපෝෂණයෙන් මියගියේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි

(21.06.2019 – mawbima.lk)

මන්දපෝෂණයෙන් ළමයි මියයන රටක ත්‍රස්ත ප්‍රභාරයෙන් හිස් කබල්වලට හානි වූ ළමයින්ට හිස් කබල් යළි සකස් කිරීමේ සැත්කම් කිරීමට මුදල් නැතිව මවුපියන් වැලපෙන රටක පාලකයෝ පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කරමින් තමන්ගේ සුඛවිහරණය සලසා ගැනීමට ක්‍රියා කිරීම අභාග්‍යසම්පන්න කරුණක් යැයි සිංහලේ විමුක්ති පෙරමුණේ සභාපති අක්මීමන දයාරතන හිමියෝ පැවැසූහ.

එක් ග්‍රාම සේවා කොට්ඨාසයක් තුළ ග්‍රාම නිලධාරි, සංවර්ධන නිලධාරි, සමෘද්ධි නිලධාරි යන නිලධාරීන් සිටියදීත් දරුවන් මන්දපෝෂණයෙන් මියයෑම බරපතළ වරදක් බවත් එම නිලධාරීන් තම රාජකාරිය පැහැරහැර ඇති බවත් දයාරතන හිමියෝ පැවැසූහ.

සිංහලේ විමුක්ති පෙරමුණ ඊයේ (20 දා) දෙහිවල බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් දයාරතන හිමියෝ වැඩිදුරටත් මෙසේද කීහ :

“තේරීම් කාරක සභාවෙන් යම් ක්‍රියාවලියක් මේ වෙනකොට කරගෙන යනවා. මේක හරියට හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක්. හිස්බුල්ලාව තේරීම් කාරක සභාවට ගෙන්වපු අවස්ථාවේදී ප්‍රකාශයක් කරනවා සහරාන් කියන පුද්ගලයා 2015 ජනාධිපතිවරණයේදී කාටද වැඩ කළේ කියලා. එතැනදී කීවා රාවුෆ් හකීම්ගේ මාර්ගයෙන් ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාට වැඩ කළා කියලා. රාවුෆ් හකීම්ව කියන්නේ මේ කාරක සභාවේ සාමාජිකයෙක්. මේක අපිට පේන්නේ ඉතාම විහිළු සහගත විදියටයි. මේ රටේ නීතිය ක්‍රියාත්මක වුණා නම් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රබල දේශපාලනඥයන් මේ වනකොට අත්අඩංගුවට ගෙන තිබිය යුතුයි. ඒ වගේම කුරුණෑගල රෝහලේ වඳ සැත්කම් කරපු වෛද්‍යවරයා සම්බන්ධ තාම නීතිය නිසි ආකාරයට ක්‍රියාත්මක කරන්නෙ නෑ. මේ සිද්ධි යට ගහන්න උත්සාහ කරන අයට ඊළඟට එන ආණ්ඩුවක් ඉදිරියේ යට ගැසූ සියලු දේට උත්තර බඳින්න වෙයි කියන එක.

තිස්සමහරාම ප්‍රදේශයේ දිළිඳු පවුලක දරුවෙක් මන්දපෝෂණයෙන් මරණයට පත්වෙලා තියෙනවා. මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ ලක්‍ෂ 05කට සමෘද්ධිය වැඩි කරල තියෙනවා කීවා. එතකොට මේ රටේ විශාල පිරිසකට සමෘද්ධිය දෙනවා. එතකොට මේක දෙනවා ඇත්තේ දිළිඳුකම බලලා නෙවෙයි වෙන්න ඇති. පාක්‍ෂිකත්වය බලලා වෙන්න ඇති.

ලංකාවේ ළමයෙක් ආහාරපාන නැතිව මන්දපෝෂණයෙන් මියගියා කියලා මම ඇහුවේ මේ ඉතිහාසයේ පළමු වතාවට. මේක බරපතළ තත්ත්වයක්.

පාස්කු ප්‍රහාරය නිසා ළමයින් හත්දෙනකුගේ හිස්කබල් අයින් කරලා, පර්යේෂණාගාර තුළ තබා තියෙනවා. හිස්කබල් යළි සකස් කිරීමේ සැත්කම්වලට මූල්‍ය ආධාර දෙන්න කියන එක ලැජ්ජ සහගත වැඩක්. ඇයි ආණ්ඩුවට බැරි මේ ළමයි හත්දෙනාට අවශ්‍ය මූල්‍ය ආධාර ලබාදෙන්න.

අද ජනාධිපති කියනවා වඩු මඩු තහනම් කරනවා කියලා. වඩු මඩුව තුළ මිනී පෙට්ටි හදන්නේ නෑ කියනවා. අපි අහනවා ජනාධිපතිතුමාගෙන් ඔබතුමා පොළොවේ පය ගහලද ඉන්නේ කියලා. වඩු මඩු තහනම් කරන එක නෙවෙයි කළ යුත්තේ. විල්පත්තුවේ කැලය රිෂාඩ් බදියුදීන් කාන්තාරයක් කරන එකය නැවැත්වීමයි. ඊට නිසි ක්‍රියාමාර්ග ගනිමින් අදාළ පාර්ශ්වවලට නීතිය ක්‍රියාත්මක කර අත්අඩංගුවට නොගෙන වඩු මඩු තහනම් කිරීම ලැජ්ජා සහගත වැඩක් බව අපි ජනාධිපතිතුමාට කියනවා ෴

+++++++++++++++++++++++++++++++++++

පුළුවන්නම් නායකයෝ හදනවා; බැරිනම් එලවනවා – පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

(21.06.2019 – 07:57 +0530 – sinhala.adaderana.lk)

ත්‍රස්තවාදයට සහ අන්තවාදයට මුහුණ දීම සඳහා ජාතික නායකත්වයක් අනුව කටයුතු කළ යුතු බව බොදු බල සංවීධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ ජාතියක් වශයෙන් තීරණය ගැනීම සඳහා ඉදිරියේදී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි.

කොළඹ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.

ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා අවශ්‍ය ජාතික න්‍යාය පත්‍රයක් උදෙසා අනිවාර්යයෙන්ම අධිෂ්ඨානශීලිව වැඩ කටයුතු කරන බවත් ඒ වෙනුවෙන් ගොඩනැගිය හැකි පුළුල් ජාතික බලවේගය නිර්මාණය කරන බවත් උන්වහන්සේ පැවසීය.

ජුලි මස 7 දින සිට ඒ සඳහා අවශ්‍ය වැඩසටහන මහනුවරින් ආරම්භ කරන බවත් ඒ සඳහා ස්වාමීන් වහන්නේ දස දහසක් පමණ එකතුවන බවත් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පැවසීය.

56 න් පසු බිහිවන පුළුල් ජාතිකවාදී වැඩපිළිවෙල නැවත ගෙන එන බවත් අවුරුදු 70 ක් රට ආපස්සට ගෙන ගිය පාලකයන්ට මෙය තවදුරටත් හැසිරවීමට ඉඩ නොතබන බවත් උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේය.

“එක්කෝ මේ නායකයෝ පුලුවන්නම් හදනවාත නැත්තම් එලවනවා.එලවලා නායකයෙක් හදනවා” යනුවෙන් උන්වහන්සේ ප්‍රකාශ කරයි ෴

+++++++++++++++++++++++++++++++++++

රජය පාස්කු ප්‍රහාරයේ සත්‍ය වසන් කරමින් සිටිනවා – කාදිනල් හිමිපාණන් රෝමයේදී කියයි

(21.06.2019 – 08:09 +0530 – hirunews.lk/sinhala)

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ වතිකානුවේදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බැහැදුටුවා.

ඒ, පසුගිය අප්‍රේල් 21 වන දා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයේදී මෙරට කතෝලික දේවස්ථානවලට එල්ල වූ ප්‍රහාරයේ දර්ශන ඇතුළත් DVD තැටියක් ද සමඟයි.

එමගින් පාප් වහන්සේ දැනුවත් කිරීමටත්, කළ හැක්කේ කුමක් ද යන්න පිළිබදව අවබෝධයක් ලබාදීමටත් අපේක්ෂා කරන බව රෝමයේදී අදහස් දක්වමින් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සඳහන් කළා.

ශ්‍රී ලංකාවේ සිද්ධීන් සම්බන්ධයෙන් පාප් වහන්සේ කම්පනයට පත්ව සිටි බවත්, ඒ පිළිබද තමන්ට පණිවුඩ එවූ බවත්, කාදිනල් හිමිපාණන්, පාප් වහන්සේ බැහැ දැකීමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.

කෙසේ නමුත්, පාප් වහන්සේ සහ කාදිනල් හිමිපාණන් අතර පැවති පෞද්ගලික හමුවේ තොරතුරු වතිකානුව මගින් ප්‍රකාශයට පත් කර නැහැ.

ඊට පෙර රෝමයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කියා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රජය බරපතල ලෙස වගකීම් පැහැර හැර ඇති බවයි.

කමිටු රැසක් හරහා දැන් සිදුකෙරෙන පරීක්ෂණවලින් වගකීම එකිනෙකාට පැවරීමට උත්සාහ කෙරෙනවා. එහෙත් පාස්කු ප්‍රහාරයේ සත්‍යය රජය වසන් කරන බවයි කාදිනල් හිමිපාණන් අවධාරණය කළේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් කලින් ලැබුණු ඔත්තු සේවා තොරතුරු රජය සැලකිල්ලට නොගැනීම පිළිබඳව ද කාදිනල් හිමිපාණන් මෙහිදී අදහස් පළ කළා.

එම තොරතුරු සැලකිල්ලට ගෙන තමා දැනුවත් කළේ නම් පාස්කු ඉරිදා දිනයේ දේවස්ථාන වසා බැතිමතුන් නිවෙස්වලට යවා ප්‍රහාරයේ හානිය වැළැක්වීමට තිබූ බවයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රෝමයේදී ප්‍රකාශ කළේ ෴

***************************************

හෘදයාබාධයක් හේතුවෙන් බැංකුවක කළමනාකරුවෙකුට එක්වරම අත්වූ ඉරණම

(20.06.2019 – 15:27 +0530 – hirunews.lk/sinhala)

හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් බැංකුවක කළමනාකරුවෙකු එක්වරම බිම ඇදවැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ රාජ්‍ය බැංකුවකින් බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

එහිදී බොහෝ පිරිසක් චෝදනා කර ඇත්තේ ඉන්දීය බැංකු ක්ෂේත්‍රයේ මෙවැනි සිදුවීම් වාර්තා වීමට හේතුව රජයේ දුර්වලතා බවයි.

එම අවස්ථාව දැක්වෙන CCTV දර්ශන පෙළ පහතින් :

https://cdn-b-east.streamable.com/video/mp4-mobile/dzv6y.mp4?token=1eY0PtAk6zGzP_qbvZd0tQ&expires=1561099080

+++++++++++++++++++++

(ලෝවැඩ සඟරාව > 46 )
බණ නම් නිබොරුය මුනිවරයින් නේ
කයනම් නොතිරය අදහා ගන්නේ
පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ
පිණ නම් නොපමා වැ මැ කරගන්නේ

http://www.e-thaksalawa.moe.gov.lk/web/en/e-library/item/207-2014-08-04-07-18-33.html

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *