රෝහල් ළඟ නොමිලේ කන්න දෙන මුස්‌ලිම් සංවිධාන ගැන සොයන්න – ගාමිණී ලොකුගේ ආණ්‌ඩුවෙන් ඉල්ලයි

(22.06.2019 – divaina.com)

කොළඹ ජාතික රෝහල, කළුබෝවිල, පිළිකා වැනි රෝහල්වල සායනවලට එන ජනතාවට නොමිලේ බුෆේ කෑම කන්න දෙන මුස්‌ලිම් සංවිධානය ගැන වහාම අවධානය යොමු කරන්න යෑයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා ‘දිවයිනට’ පැවැසීය.

මොවුන් මෙම ආහාර වසර 4 කට අධික කාලයක සිට ජනතාවට නොමිලේ ලබා දෙනුයේ කුමන පදනමකින්ද? යන්න ප්‍රශ්නයක්‌ බව ද හෙතෙම කීය.

මෙහි දී තවදුරටත් කතා කළ ගාමිණී ලොකුගේ මහතා මෙසේ ද කීය :

දැන් මේ නොමිලේ කෑම දෙන සංවිධානය කුමන අරමුණකින් කෑම දෙනවා ද කියා සැකයි. මේ දෙන ආහාර හරහා කාන්තාවන් වඳභාවයට පත්කරනවා ද කියලත් සැකයක්‌ තියෙනවා. මොවුන්ගේ මේ තරම් උනන්දුව මොකද? මේවා සෞඛ්‍ය බලධාරීන් වහා සොයා බලන්න ඕනෑ.

දැන් මේ අය රජයේ රෝහල්වල සායනවලට එන බෞද්ධ ජනතාව ළඟට ගිහින් ටිකට්‌ එක දෙනවා. කාන්තාවන්ට තමයි මේ ටිකට්‌ එක විශේෂයෙන් දෙන්නේ. එහෙම දීලා කියනවා සායනයෙන් කරගන්න වැඩේ කරගෙන අපේ මේ තැනට ගිහින් කෑම කන්න කියලා. එතන කුකුල් මස්‌, එළවළු, පරිප්පු ඇතුළු තවත් කෑම බුෆේ විදිහටයි කෑම දෙන්නේ. මම ජනාධිපතිතුමාගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා මේ ගැන සොයා බලා ඉක්‌මන් පියවරක්‌ ගන්න කියලා ෴

+++++++++++++++++++++++++++++++++++

ජාතික තව්හිද් ජමාත් – ජමාතේ මිලාතේ ඊබ්‍රහිම් සහ විලයාත් අස්‌ සෙයිලාන් අන්තවාදී මුස්‌ලිම් සංවිධාන 3 ක්‌ තහනම්

(22.06.2019 – divaina.com)

ජාතික තව්හිද් ජමාත් සංවිධානය, ජමාතේ මිලාතේ ඊබ්‍රහිම් සහ විලයාත් අස්‌ සෙයිලාන් යන සංවිධාන තුන තහනම් කිරීමට ඊයේ (21 දා) පාර්ලිමේන්තු අනුමැතිය හිමි විණි.ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනතේ 27 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් කැඳවනු ලැබූ මෙම නියෝගයට අදාළ ගැසට්‌ පත්‍රය සභානායක, ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කරනු ලැබීය.

රටේ සාමය පවත්වාගෙන යැමට රජය විසින් සිදුකරනු ලබන ප්‍රයත්නය වැඩි දියුණු කිරීමේ අරමුණින් ජාතික සහ මහජන ආරක්‍ෂාව, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම මෙහි අරමුණ බව රජය කියයි. ඉහත සංවිධානවල සාමාජිකයකු වීම, නායකත්වය සැපයීම, නිල ඇඳුම්, සංකේත, ලාංඡන, ධජ පැලඳීම, ප්‍රදර්ශනය, එසැවීම තහනම් වන අතර එම රැස්‌වීම් කැඳවීම, සාමාජිකත්වය ලබා ගැනීම එවැනි අයකුට රැකවරණය දීම, ප්‍රවර්ධනය, ආධාර අනුබල දීම, ඒ සඳහා ප්‍රවාහනය, ද්‍රව්‍ය සම්පාදනය හා බෙදාහැරීම ඒ වෙනුවෙන් නිරතවීම හෝ තොරතුරු පතුරුවා හැරීම සපුරා තහනම් කර ඇත. අදාළ ගැසට්‌ නිවේදනයට අනුව එම නියෝග උල්ලංඝනය කළ අයකුට එරෙහිව මහාධිකරණය මගින් වරදකරුවකු කරනු ලැබූවකුට අවුරුදු විස්‌සක්‌ නොඉක්‌මන කාලයක්‌ සඳහා බන්ධනාගාරගත කිරීමේ හැකියාව පවතියි.

මෙම නියෝග කඩකරනු ලැබූ විට එම රැඳවුම් භාරයට පත්වන පුද්ගලයන්ට හෝ එම කණ්‌ඩායමේ අයවලුන්ගේ මුදල්, සුරැකුම් හෝ බැරකම් හෝ වෙනත් දේපළ රාජසන්තක කරනු ලැබේ.

ඊට අමතරව ශ්‍රී ලංකා රජය සමග ගිවිසුම්ගතව සිටින ජාත්‍යන්තර සංවිධානයක අයිතිවාසිකම්වලට මෙම නියෝගවල විධි විධාන කිසිම ආකාරයකින් බලනොපාන බවට ද මෙමගින් කටයුතු කර ඇත ෴

+++++++++++++++++++++++++++++++++++

පාස්‌කු ප්‍රහාරයෙන් පසු එන්. ජී. ඕ. එකකට යුරෝපා සංගමයෙන් රු. කෝටි 4 ක්‌ ලැබිලා

(22.06 2019 – divaina.com)

පාස්‌කු ඉරිදා ප්‍රහාරය නිසා මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය නොවන සංවිධානයකට රුපියල් කෝටි හතරක මුදලක්‌ ලැබී ඇත. ආගමික සහජීවනය ඇති කිරීම සඳහා මේ මුදල ලැබී ඇතැයි ආරංචි මාර්ග කියා සිටියි.

යුරෝපා සංගමය විසින් මේ මුදල ලබාදී ඇත. එහෙත් පාස්‌කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් විපතට පත්වූ පවුල්වලට යුරෝපා සංගමය මෙතෙක්‌ කිසිදු ආධාරයක්‌ හෝ බරපතළ තුවාල ලැබූවන් යුරෝපයේ ප්‍රධානතම රෝහල්වලට යවා ප්‍රතිකාර කිරීමේ පහසුකම් සලසා නැත.

යුරෝපා සංගමය විසින් මෙලෙස මුදල් ලබාදුන් රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානියා රජයේ ආයතනයක ද සේවය කරන අතර ඔහුට රජයෙන් මසකට රුපියල් 75,000 ක වැටුපක්‌ ද ගෙවන බව හෙළි වී තිබේ.

– කීර්ති වර්ණකුලසූරිය

+++++++++++++++++++++

අයිසිස්‌ තර්ජනය මැද සිදුවන නාඩගම්

(22.06.2019 – divaina.com)

සහරාන් හෂීම් ප්‍රමුඛ අයිසිස්‌ ත්‍රස්‌ත ක්‍රියාකාරී කල්ලිය සිදු කළ බිහිසුණු ප්‍රහාරයේ දෝංකාරය තවමත් පහව ගොස්‌ නැත. එහෙත් දැන් සිදුවන්නේ කුමක්‌ද? හිටපු කාත්තන්කුඩි පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා සහරාන් ගැන නොදන්නා අයකු මෙන් තේරීම් කමිටුව හමුවේ සාක්‍ෂි දුන්නේය. මවුලවිවරයෙක්‌ පැවසුවේ 2018 දී සහරාන් ගැන අනතුරු ඇඟ වූ බවයි. එහෙත් සහරාන් අල්ලා ගැනීමට පොලිසිය ක්‍රියා කළේ නැත. මේ අද රටේ පැවැති අවාසනාවන්ත තත්ත්වයයි.

මේ පසුබිම මැද රජයේ බලධාරීහු ගැටුම් කළමනාකරණය ගැන පාඩම් කියා දීමට ඉදිරිපත් වී ඇත. 300 කගේ දිවි අහිමි වූ පාස්‌කු ප්‍රහාරය මැද මේ ගැටුම් කළමනාකරණය විදේශීය රටවල් සැනසීම උදෙසා පැවැත්වුණේ ද? තොරතුරු ලැබී තිබුණත් සහරාන්ට එරෙහිව ක්‍රියා කිරීම හෝ පාස්‌කු ඉරිදා ප්‍රහාරය ව්‍යර්ථ කිරීමට රජය අපොහොසත් විය. මේ තත්ත්වය මත පාස්‌කු ඉරිදා ප්‍රහාරය සිදුවී මාස දෙකක්‌ ගත වන අවස්‌ථාවේ තවදුරටත් අයිසිස්‌ ක්‍රියාකාරීන් මෙරට සිටින්නේද හා ඔවුන්ගේ ඉදිරි ක්‍රියාමාර්ග කුමක්‌ද යන්න නිරීක්‍ෂණය වී නැත.

එහෙත් රජයේ බලධාරීන් පාස්‌කු ප්‍රහාරය අමතක කර ගැටුම් කළමනාකරණ සන්නිවේදන ගැන ඉගැන්වීමට ඉදිරිපත්වීම විහිළුවක්‌ බවට පත්වී ඇත. 2002 ඊනියා සටන්විරාම ගිවිසුම සමයේ කොළඹ ප්‍රධාන සාම වෙළෙන්දුන් ජාතික සාම මණ්‌ඩලය ද ගැටුම් කළමනාකරණ වැඩමුළු පවත්වමින් නැති සාමයක්‌ ඇති කිරීමට ක්‍රියා කළේය. එහෙත් එම මෙහෙයුම් මුළුමනින්ම අසාර්ථක විය. ගැටුම් කළමනාකරණ වැඩමුළුව මැද ප්‍රභාකරන් තම ඝාතන පිළිවෙත දිගටම ගෙන ගියේය.

දැන් යළිත් වරක්‌ මේ ගැටුම් කළමනාකරණ එන්ජීඕ ව්‍යාපෘතිය රජය මැදිහත්වී දියත් කර ඇත. ඊට දායක වී ඇත්තේ ගැටුම් කළමනාකරණ විද්වතුන් ද ? පාස්‌කු ඉරිදා ප්‍රහාරය එල්ලවූ සමයේ මොවුන් සිටියේ කොහේද? රජයේ බලධාරීහු මහජන මුදල් වැය කරමින් ගැටුම් කළමනාකරණ වැඩමුළු පැවැත්වීමේ අරමුණ කුමක්‌ද?

සියල්ලටම පෙර ජාතික ආරක්‍ෂාවේ හිඩැස පිරවිය යුතුය. එහෙත් ඒ ගැන අවධානය යොමු වී නැත. කොළඹ ඇති මෙතෝදිස්‌ත දෙව්මැඳුරු සංඛ්‍යාව කොපමණ දැයි හිටපු ආරක්‍ෂක ලේකම්ගෙන් විමසූ රාජ්‍ය බුද්ධි ප්‍රධානියකු මෙරට සිටිනතාක්‌ ජාතික ආරක්‍ෂාවේ අරාජික තත්ත්වය ගැන කිව යුතු නැත. අද අවශ්‍ය වී ඇත්තේ ගැටුම් කළමනාකරණයක්‌ නොව රටේ ආරක්‍ෂාවට එල්ලවී ඇති බරපතළ තර්ජනයට නිසි පියවර ගැනීමයි. ඉන්දියාවේ මුම්බායි නුවර ටාඡ් හෝටලයට ත්‍රස්‌ත ප්‍රහාර එල්ල වීමෙන් පසු රජය ගැටුම් කළමනාකරණ වැඩමුළු පැවැත්වූයේ නැත. ඩකාහි යුදෙව් මධ්‍යස්‌ථානයකට ත්‍රස්‌ත ප්‍රහාර එල්ලවූ විට අගමැතිනි ෂික්‌ හෂීනා ගැටුම් කළමනාකරණ සන්නිවේදන වැඩමුළු පැවැත්වූයේද?

මේ පසුබිම මැද මාධ්‍ය ක්‍ෂේත්‍රයට ගැටුම් කළමනාකරණ සන්නිවේදන වැඩමුළු පැවැත්විය යුතු යෑයි තීන්දු කිරීම කාගේ ව්‍යාපෘතියක්‌ද?

2008 වසරේ ඔක්‌තෝබර් මස ඉස්‌ලාමීය අන්තවාදීන් ගැන අප දිවයින පුවත්පතින් අනතුරු අඟවද්දී මේ ගැටුම් කළමනාකරුවන් සිටියේ කොහේද? මොවුන්ගේ අතීතය කිවයුතු නැත.

රටෙක ප්‍රධානතම කාර්ය ජාතික ආරක්‍ෂාවයි. එසේ නැතිව ගැටුම් කළමනාකරණ ව්‍යාපෘති නොවේ. 2002 සටන්විරාම ගිවිසුමින් පසු නෝර්වේ සංවිධානයක් මෙරට ගැටුම් කළමනාකරණ වැඩමුළුවලට ක්‍රොන් මිලියන ගණනක අරමුදල් ලබාදී ඇත. එම අරමුදල් ඇතැම් එන්ජීඕ ප්‍රධානීන්ගේ ගිණුම්වලට බැර වී ඇත.

මේ නිසා රටේ ජනතාවට අවශ්‍ය වී ඇත්තේ එදා රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් දියත් කළ ව්‍යාපෘති රජය විසින් නැවතත් දියත් කිරීම නොවේ.

පසුගිය කාලයේ රජය සංහිඳියා මෙහෙයුම දියත් කළ අතර සහරාන් හෂීම් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් මෙම මෙහෙයුම මුළුමනින්ම කුඩු කළේය. මේ නිසා අද කිසිවෙක්‌ සංහිඳියාව ගැන හඬ නඟන්නේ නැත. එසේම රජයේ බලධාරීන් මතකතබාගත යුත්තේ අතීතයේ සිදුවීම් ගැන දන්නා මාධ්‍යවේදීන් තවමත් ජීවතුන් අතර සිටින බවයි.

කොටින් යුද වදිද්දී එම රජය ගැටුම් කළමනාකරණ වැඩමුළු පැවැත්වූයේ නැති බවද එම බලධාරීහු තේරුම් ගත යුතුව ඇත. එසේම මේ ගැටුම් කළමනාකරණ උපදේශකයන් යෑයි හඳුන්වා ගන්නා පාර්ශ්ව වන්නි මෙහෙයුම යටතේ සහ ප්‍රභාකරන් ඝාතන සිදුකරද්දී සිටියේ කොහේද?

1200 කට අධික පිරිසක්‌ අත්අඩංගුවට ගෙන ඇතත් සැඟවුණු අයිසිස්‌ ක්‍රියාකාරීන් කීදෙනෙක්‌ සිටින්නේද යන්න රජය සහ ආරක්‍ෂක අංශ නොදනී.

එසේම අන්තවාදීන්ගේ ආධාරකරුවෝ වෙස්‌ මුහුණු දමාගෙන ජීවත් වෙති. ඔවුන් අවස්‌ථාව එනතුරු බලා සිටින බව පැහැදිලිය. මේ අතර ශ්‍රී ලංකාවට යළිත් වරක්‌ අයිසිස්‌ තර්ජනය එල්ලවී ඇති බව ඉන්දීය එන්සීටීවී රූපවාහිනිය අනතුරු අඟවා ඇත.

ඉන්දීය බුද්ධි සේවාව මේ බව ඉන්දියාවටද අනතුරු අඟවා තිබේ. ඉරාකයේ සහ සිරියාවේ පරාජයත් සමග තම ක්‍රමවේදයන් අග්නිදිග ආසියාවට යොමුවී ඇති බව දක්‌වන ඉන්දීය බුද්ධි සේවාව අයිසිස්‌ තර්ජනය ගැන කේරළ බලධාරීන් වෙත ලිපි තුනක්‌ යවා ඇති බවද සඳහන් කර ඇත.

අයිසිස්‌ ත්‍රස්‌ත තර්ජනය ගැන ඉන්දියාව අනතුරු ඇඟ වූ දෙවැනි වතාව මෙයයි.

මෙයට පෙර පසුගිය සතියේදී කොචි ප්‍රදේශයේ සාප්පු සංකීර්ණයකට අයිසිස්‌ ප්‍රහාර එල්ල වන බවට ඉන්දීය බුද්ධි සේවාව අනතුරු අඟවා තිබුණි.

අයිසිස්‌ ක්‍රියාකාරීන් මෙතෙක්‌ භාවිතා කළ පණිවුඩ හුවමාරු කිරීමේ ඇප් අඩවිය වෙනුවට වෙනත් අඩවි තුනක්‌ භාවිතා කරන බවට ද මෙහිදී තොරතුරු හෙළි වී ඇත.

ඉන්දීය එන්ඩීටීවී රූපවාහිනිය වැඩිදුරටත් පැවසුවේ අයිසිස්‌ ක්‍රමවේදය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වෙත මාරු කර ඇති බවයි.

මේ නිසා අයිසිස්‌ ක්‍රියාකාරීන් ගැන නිරීක්‍ෂණය කරන බවද ඉන්දීය බුද්ධි සේවාව දන්වා ඇත.

එහෙත් මෙරට ගැටුම් කළමනාකරණය ගැන වැඩමුළුවක්‌ පත්වන්නේ එල්ල වී ඇති අයිසිස්‌ තර්ජනය නතර කිරීමටද?

මෙය පුදුමයක්‌ නොවේ. ‘සක්‌විති’ නමැත්තා සමඟ කටයුතු කළ අයකුට ද ජනාධිපති ජනමාධ්‍ය සම්මානයක්‌ හිමිවිය. මෙරට ජාතික ආරක්‍ෂාවට වින කළ ‘සාධාරණ සමාජය’ නමින් අටවාගත් සංවිධානයේ ක්‍රියාකාරියකුට ද එවන් සම්මානයක්‌ හිමි විය. මේ පසුබිම මැද රුසියානු නියෝජ්‍ය ආරක්‍ෂක ලේකම්වරයකු වූ වික්‌ටර් කුකෝව් එරට පැවැති සමුළුවකදී පවසා ඇත්තේ සිරියාවේ හා ඉරාකයේ අයිසිස්‌ ක්‍රියාකාරීන් සමග එක්‌ව සටන් කළ මෙරට අයිසිස්‌ හිතවාදීන් පාස්‌කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදු කළ බවයි.

රුසියානු නිලධාරීන් මේ තොරතුරු හෙළි කරන තෙක්‌ මෙරට බුද්ධි සේවාවට ඒ බව වාර්තා වූයේ නැත.

පාස්‌කු ඉරිදා ප්‍රහාරය එල්ල කළේ සිරියාවට සහ ඉරාකයට ගොස්‌ පැමිණි ශ්‍රී ලාංකික අයිසිස්‌ ක්‍රියාකාරීන් බව හෙළි කළ රුසියාවේ නියෝජ්‍ය ආරක්‍ෂක ලේකම් යුරී කෝකෝව්

මේ අතර පාස්‌කු ප්‍රහාරය සිදුවී ඊයේට (21 දිනට) මාස දෙකක්‌ ගත වී ඇත. පාස්‌කු ප්‍රහාරයට ගොදුරු වූවන්ට යුක්‌තිය ඉටු කිරීමට යැයි දන්වමින් එක්‌තරා පිරිසක්‌ ඉටිපන්දම් දල්වා ඇත.

එහෙත් මේ අමානුෂික ක්‍රියාව පිළිබඳ වගකිවයුතු පිරිස්‌ තවදුරටත් මෙරට නිදැල්ලේ සිටිති. පාස්‌කු ප්‍රහාරයට වගකිව යුත්තන් එකිනෙකා චෝදනා එල්ල කර ගනිද්දී සහරාන් ප්‍රමුඛව අයිසිස්‌ කල්ලිය මෙම ප්‍රහාර එල්ල කළේ විධායක ජනපති ක්‍රමය වෙනස්‌ නොකිරීම නිසා බවට ප්‍රකාශ කරති.

එහෙත් අයිසිස්‌ තර්ජනය අවසන්වී නැත. ඉන්දීය බුද්ධි සේවා තවදුරටත් දක්‌වා ඇත්තේ 3000 කට අධික අයිසිස්‌ ක්‍රියාකාරීන් කේරළයේ සිටින බවත් ඔවුන් ගැන නිරීක්‍ෂණය කරන බවත්ය. මේ අතර මාලදිවයින කථානායක මොහමද් හෂිද් පැවසුවේ අයිසිස්‌ සංවිධානයට සම්බන්ධ මාලදිවයින ක්‍රියාකාරීන් 160 ක්‌ ගැන තොරතුරු ලැබී ඇති බවයි.

මෙරට මාලදිවයින ජාතිකයන් 5000 කට අධික පිරිසක්‌ සිටින බව හමුදාපතිවරයා හෙළි කර ඇත.

එසේම ඉන්දියානුවන් 12,000 ක්‌ ද සිටී. මේ පාර්ශ්ව ගැන නිසි විමර්ශනයක්‌ හෝ ඔවුන්ගේ ඡායාරූප බුද්ධි අංශ සතුව තිබේද?

මෙවන් වාතාවරණයක්‌ මත අවසාන අයිසිස්‌ ක්‍රියාකාරිකයකු ද අසුවී ඇතැයි ප්‍රකාශ වී තිබේ.

අසුවී ඇත්තේ අවසාන අයිසිස්‌ ක්‍රියාකාරියා බව කියන්නේ කෙසේද?

එසේම පාස්‌කු ප්‍රහාරයෙන් මියගිය පිරිස කවුදැයි අද වනතුරු අනාවරණය කිරීමට හෝ නාමලේඛනයක්‌ ප්‍රකාශ කිරීමටද රජය ක්‍රියාකර නැත.

එහෙත් පාස්‌කු ප්‍රහාරයට මුල්වී රාජ්‍ය නොවන සංවිධානවලට ඉල්ලමක්‌ පෑදී ඇත. ඒ විදේශ රටවලින් ආගමික සහජීවනය නැංවීම සඳහා යෑයි කියමින් අති විශාල මුදල් සම්භාරයක්‌ රාජ්‍ය නොවන සංවිධානවලට ලැබීමයි.

– කීර්ති වර්ණකුලසූරිය

+++++++++++++++++++++++++++++++++++

ෂරියා විශ්වවිද්‍යාලයේ සියලු වැඩ නීති විරෝධීයි… හිස්‌බුල්ලාට නීතිය තදින්ම – ෂරියා විශ්වවිද්‍යාලය ගැන නිරීක්‌ෂණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මහාචාර්ය ආශු මාරසිංහ කියයි

(22.06.2019 – divaina.com)

  • ආයතනය හැදීමේ අරමුණ ෂරියා උගන්වන උලමාවරුන් බිහි කිරීම
  • 2013 ගිවිසුම අත්සන් කළේ හිස්‌බුල්ලා සහ ඩලස්‌
  • සියලු වත්කම් රජයට පවරා ගන්න තීරණ

මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලය හෙවත් බැටික්‌ලෝ කැම්පස්‌ (ප්‍රයිවට්‌) ලිමිටඩ් ආයතනයට මුදල් ලැබීම්, ඉඩම් අත්පත් කර ගැනීම් හා ඉදිකිරීම් සියල්ල නීති විරෝධීව සිදු කර ඇති නිසා ඊට වගකිවයුතු හිටපු ආණ්‌ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්‌බුල්ලා ඇතුළු වැරදිකරුවන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිමය පියවර ගත යුතු බව අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්‌ෂණ කාරක සභාවේ සභාපති මහාචාර්ය ආශු මාරසිංහ මහතා ඊයේ (21 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලය සම්බන්ධව එම අධීක්‌ෂණ කාරක සභාව විසින් සිදු කරන ලද නිරීක්‌ෂණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මහාචාර්ය මාරසිංහ මහතා මේ බව කීවේය.

මෙම නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් අදාළ වැරදිකරුවන් මේ වනවිට සිටිය යුත්තේ සිරභාරයේ බව කී හෙතෙම 2015.07.17 දින හිරා පදනම විසින් උසස්‌ අධ්‍යාපන ආයතනයක්‌ ලෙස ආයෝජන ව්‍යාපෘතියක්‌ හඳුන්වා දෙන බව පවසමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයට පළමුව අයෑදුම්පත් ඉදිරිපත් කරමින් මෙම ෂරියා විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව ද කීය.

මෙම ෂරියා විශ්වවිද්‍යාලයේ සභාපති සහ එවක ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති එම්. එල්. ඒ. එම්. හිස්‌බුල්ලා මහතා විසින් 2015.07.03 දා අධ්‍යාපන ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතාගෙන් මෙය උසස්‌ අධ්‍යාපන ආයතනයක්‌ ලෙස සැලකීමේ අනුමැතිය ඉල්ලා ඇතැයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්‌වේ.

මෙම ආයතනය පිහිටුවීමට ප්‍රදානයක්‌ හෝ ණයක්‌ වශයෙන් අවස්‌ථා හතරකදී රුපියල් බිලියන 3.6 ක විදේශ මුදලක්‌ ලැබී ඇතැයි ද මෙකී ආයතනය ස්‌ථාපනය කිරීමේ ප්‍රධාන අරමුණක්‌ වී ඇත්තේ ඒ හරහා ෂරියා නීතිය හෝ ඉස්‌ලාම් ධර්මයට අදාළ උලමාවරුන් බිහිකිරීම බවට සැකයක්‌ මතුවන බවද වාර්තාවේ දැක්‌වේ.

මෙම විශ්වවිද්‍යාලයේ සියලු ගොඩනැඟිලි ඉස්‌ලාම් ආගමට සහ අරාබි ගෘහ නිර්මාණ ශිල්පයට අයත් අංගයන්ගෙන් යුක්‌ත බව ද භූමි අලංකරණය මගින් ප්‍රදේශයට ආගන්තුක වූ අරාබි පරිසරයක්‌ නිර්මාණය කර ඇතැයි ද ඒ අනුව මෙම ආයතනය වෙනත් අධ්‍යාපන පාඨමාලා පවත්වන මුවාවෙන් ෂරියා නීතිය හෝ ඉස්‌ලාම් ආගම හා සම්බන්ධ මූලධර්මවාදීන් බිහි කරන ආයතනයක්‌ බවට කාරක සභාව විශ්වාස කරන බව ද සඳහන් කර තිබේ.

මෙම විශ්වවිද්‍යාලය සඳහා ශ්‍රී ලංකා හිරා පදනම සහ තරුණ කටයුතු හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය අතර ගිවිසුම 2013 වසරේදී අත්සන් කරන්නේ එම පදනමේ සභාපති සහ එවක පාර්ලිමේන්තු මන්ත්‍රී හිස්‌බුල්ලා මහතා සහ විෂය භාර ඇමැති ඩලස්‌ අලහප්පෙරුම මහතා බවත් මන්ත්‍රීවරයකු ලෙස සිටිමින් රජය සමඟ ගිවිසුම් අත්සන් කිරීම වරදක්‌ බවත් වාර්තාවේ දැක්‌වේ.

හිස්‌බුල්ලා මහතා නියෝජ්‍ය ඇමැතිවරයකුව සිටිමින් මෙතෙක්‌ සමාගම් රෙජිස්‌ට්‍රාර් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ සමාගමකට අවසර ඉල්ලා ඇත්තේ වංචාකාරී ලිපියක්‌ මගින් උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය නොමඟ යවමින් බව ද වාර්තාවේ දැක්‌වෙයි.

මෙම ආයතනයට රුපියල් බිලියන 3.6 ක මුදලක්‌ අරාබියෙන් බැර කර තිබෙන්නේ ප්‍රදානයක්‌ ලෙස බව එහි වර්තමාන සභාපති හිරාස්‌ හිස්‌බුල්ලා මහතා (හිස්‌බුල්ලා මහතාගේ පුත්‍රයා) ප්‍රකාශ කර ඇතත් හිටපු නැගෙනහිර ආණ්‌ඩුකාර හිස්‌බුල්ලා මහතා ප්‍රකාශ කර තිබෙන්නේ මෙය ණයක්‌ ලෙස ලද මුදලක්‌ බව යෑයි ද වාර්තාවේ දැක්‌වෙයි. අදාළ ණය ගිවිසුම් පරීක්‌ෂා කරද්දී ඒ පිළිබඳ බරපතළ සැක සංකා උපදවන බව ද සඳහන් කරන වාර්තාවේ මෙසේ දැක්‌වෙයි.

මෙම විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා මහවැලි අධිකාරියට අයත් අසේලපුර ප්‍රදේශයෙන් අක්‌කර 35 ක ඉඩමක්‌ අවුරුදු තිහක බද්දට ලබාගෙන ඇතත් ඊට වඩා වැඩි බිම් ප්‍රමාණයක්‌ විශ්වවිද්‍යාලය විසින් පාරිභෝජනය සිදුකරන බව බැලූ බැල්මට පෙනේ. ඒ අනුව අක්‌කර අටක ඉඩම් කොටසක විශ්වවිද්‍යාලයේ ගොඩනැඟිලි අනවසර ලෙස ඉදිකර ඇත. ඒ පිළිබඳව වැරදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතු බව කාරක සභාව නිර්දේශ කර තිබේ.

විශ්වවිද්‍යාලයේ අදාළ ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා උතුරු වාකරේ ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ලබාගෙන නැත. මෙවන් ෂරියා ධර්මය හෝ මූලධර්මවාදී ආගම් උගන්වන ආයතන බිහිවීම රටේ ජාතික ආරක්‌ෂාවට තර්ජනයක්‌ බව ද පවසන වාර්තාව මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලයට නීත්‍යානුකූලව ලබාදුන් ඉඩම් සහ අනවසර ඉදිකිරීම් ද සමගින් සියලු වත්කම් රජයට පවරා ගත යුතු බව ද නිර්දේශ කර තිබේ.

මෙම ආයතනයේ මුදල් ලැබීම, අනවසර ඉදිකිරීම්, බලහත්කාරයෙන් රජයේ ඉඩම් අත්පත් කර ගැනීම් ආදී සියල්ල නීති විරෝධීව කර ඇති බව තහවුරු වන නිසා හදිසි නීතිය යටතේ වහා මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලය රජයට පවරාගෙන වැරදිකරුවන්ට තරාතිරම නොබලා කඩිනමින් නීතිමය පියවර ගත යුතු බව ද නිර්දේශ කරන කාරක සභාව සති හයක්‌ තුළ ඇමැති මණ්‌ඩලය විසින් මෙම වාර්තාව නිරීක්‌ෂණය කර පාර්ලිමේන්තුවට වාර්තා කළ යුතු බව ද දක්‌වා සිටී.

ආශු මාරසිංහ මහතා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු අදහස්‌ දැක්‌වූ ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායක මහතා මෙම වාර්තාව සම්බන්ධව ඉතා ඉක්‌මනින් විවාදයක්‌ අවශ්‍ය බව කීය. ඒ අනුව විවාදයක්‌ ලබා දීමට ආණ්‌ඩුව සූදානම් බව සභානායක ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය ෴

***************************************

රටේ භාරකාරයන් වියයුතු දේශපාලකයෝ හැසිරෙන්නේ රටේ අයිතිකරුවන් ලෙසටයි… අවුරුදු 4-5 කට බලයට ඇවිත් අවුරුදු 400-500 ට අදාළ ගිවිසුම් ගහනවා – පූජ්‍ය මැදගොඩ අභයතිස්‌ස හිමි

(22.06.2019 – divaina.com)

“එදා මුව දඩයමේ ගිය රජුට මිහිඳු මහ රහතන් වහන්සේ සඳහන් කළේ රජතුමනි ඔබ රටේ භාරකාරයා මිස අයිතිකාරයා නොවෙයි කියලයි. නමුත් ඡන්දයෙන් බලයට පැමිණි දේශපාලනඥයන් බොහෝ විට කටයුතු කළේ අයිතිකරුවන් ලෙසයි. අවුරුදු හතරකට පහකට බලයට එන අය ඇතැම් විට අවුරුදු හාර පන්සීයකට අදාළ ගිවිසුම් ගහනවා. ඒ නිසා රටේ තියන වටිනාකම වෙනස්‌ වෙලා” යෑයි පැපිලියාන සුනේත්‍රා මහා දේවී පිරිවෙන් විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමියෝ ඉකුත් 18 විහාරස්‌ථානයේ පැවැති රැස්‌වීමේදී පැවසූහ.

ජාතිය මුහුණපා තිබෙන බැරෑරුම් වාතාවරණයෙන් මිදීම සඳහා ජාතික විද්වත් භික්‍ෂු සංසදය ඉදිරිපත් කර තිබෙන දස පනත සාර්ථක කිරීමට පිහිටුවා ඇති මහජන අදහස්‌ විමසීමේ කොමිෂමේ තුන්වැනි රැස්‌වීම මෙදින පැවැත්විණි. මෙරට ජ්‍යෙෂ්ඨ කලා ශිල්පීන් රැසක්‌ සහභාගි කරවාගත් මෙම රැස්‌වීමේදී අභයතිස්‌ස හිමියෝ මෙසේ සඳහන් කළහ.

මහින්දාගමනයෙන් පසු මේ රටේ පාලකයන් හා පාලන තන්ත්‍රය නිවැරැදිව මෙහෙයවීම සඳහා එදා භික්‍ෂූන් වහන්සේලා ඇපකැප වුණා. මෙරට විශ්වවිද්‍යාල ආචාර්ය හිමිවරුන් හා විවිධ ක්‌ෂේත්‍රවල සිටින භික්‍ෂූන් වහන්සේලාගෙන් සැදුම්ලත් ජාතික විද්වත් භික්‍ෂු සංසදය අද මේ කරන්නේ ඒ කාර්ය භාරයයි.

අද අපට පෙනෙනවා මේ දේශපාලනය පොර පිටියක්‌ බවට පත්වෙලා කියලා. ඔවුන් හිතාගෙන ඉන්නවා ඔවුන් කාකොටා ගන්නේ අප වෙනුවෙන් කියලා. නමුත් ඔවුන් අපට කරන්නේ ඔවුන් වෙනුවෙන්ය කියන එක පිටත සිටින අය අවබෝධ කරගෙන ඉන්න බව ඔවුන් දන්නේ නෑ. වේදිකාවෙන් පහළ සිටින අපි හැමෝම වින්දිතයන් බවට පත්වෙනවා. ඒ නිසා අපේ ප්‍රශ්නවලට පිළිතුරු සපයා ගන්න අපටම සිදුවී තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදය යෑයි කියන්නේ ජනතා ඡන්දයෙන් බලයට පත්වීම නෙමෙයි. එසේ බලයට පත්වන කෙනා ඒ ජනතාවගේ අරමුණු පොරොන්දු ඉටුකරමින් පාලනය කිරීමයි ප්‍රජාතන්ත්‍රවාදය යෑයි කියන්නේ. ඒ අනුව ඉදිරියේදී මේ රට යායුත්තේ කොතැනටද යන්න කලාකරුවන් හැටියට ඔබට අදහස්‌ දැක්‌විය හැකියි.

ඒ සඳහා උපාය මාර්ගයක්‌ ලෙස අප දස පනත සකස්‌ කළා. අනාගතයේදී කවුරු හෝ මේ රට කරවන උදවියට රටවැසියාගේ අභිප්‍රාය මෙයයි කටයුතු කළයුත්තේ මේ විදියට යෑයි මෙම දස පනත තුළින් වටහාගත හැකියි. එසේ නොකරන අය වෙනුවෙන් ජනතාව තීන්දු ගනීවි. ඒ සඳහා ඔබේ අදහස්‌ අපේ කොමිෂන් සභාවට ඉතා වැදගත් යෑයිද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

මෙම අවස්‌ථාවට සහභාගි වූ නාට්‍ය ආචාරිණී ලලිතා සරත්ච්න්ද්‍ර මහත්මිය :
“අද නාට්‍ය පෙන්වන්න රඟහලක්‌ නෑ. තියෙන ඒවායේ මිල අධිකයි. අඩුම ගණනේ මූලික පහසුකම්වත් නෑ. පාසල් විෂයට නාට්‍ය ඇතුළත් කළත් නාට්‍ය බලන්න පහසුකම් නැතිව ළමයි අසරණ වෙලා. ප්‍රවේශ පත්‍ර මිල වැඩිකළොත් ප්‍රේක්‌ෂකයන් එන්නේ නෑ. මේවා සකස්‌ විය යුතු ක්‍රමවේදයක්‌ ඉදිරියේදී අවශ්‍යයි.”

ප්‍රවීණ කලා ශිල්පී රෝහණ බැද්දගේ මහතා :
“අද හැම කලා ක්‌ෂේත්‍රයක්‌ම කඩා වැටිලා. එකම රජයේ වුවත් ඇමැතිවරු වෙනස්‌ වන ආකාරයට ප්‍රතිපත්ති වෙනස්‌ වෙනවා. හැදිච්ච කම් නැතිව නැහැදිච්චකම් මතුවන රටක්‌ මේක. ආණ්‌ඩු කරන අය තුළ ස්‌වයං විනයක්‌ තිබිය යුතුයි. මම යෝජනා කරන්නේ අධ්‍යාපන ක්‍රමය තුළ ආචාරධර්ම කියා දීමට ප්‍රධාන තැනක්‌ තිබිය යුතුයි කියලයි.”

ප්‍රවීණ ගායන ශිල්පිනී නීලා වික්‍රමසිංහ මහත්මිය :
“අපේ ගීත අවභාවිත වීමෙන් අප ඉන්නේ ලොකු අනතුරකයි. එය නැවැත් වීමට නම් පද රචකයාටත් තනු රචකයාටත්, ගායකයා හෝ ගායිකාවටත් සමානව ගීතයේ අයිතිය ඇති බවට ඉදිරියේදී නීති සකස්‌ විය යුතුයි. ස්‌ථිර වේතනයක්‌ නොලබන ගායන ශිල්පීන් බද්දෙන් නිදහස්‌ කරන වැඩපිළිවෙලක්‌ අවශ්‍යයි.”

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ සෝමරත්න දිසානායක මහතා :
“කලාකරුවන්ට තිබූ බදු සහන කප්පාදු කිරීම අපට ගැටලුවක්‌. සිනමාවට තියන තර්ජනය තමයි විදේශීය චිත්‍රපට ගෙනැවිත් පෙන්වීම. සිනමාව කියන්නේ තාක්‍ෂණික කලාවක්‌. ලොකු තාක්‍ෂණයකට යන්න මෙරට සිනමාවේදීන්ට අපහසුයි. ඒ නිසා චිත්‍රපට නිෂ්පාදකයන්ට බදු හෝ ණය සහන ක්‍රමයක්‌ ඉදිරියේදී ලැබිය යුතුයි. මේ දේවලට උදව් කරන නායකයෙකුට හෝ කණ්‌ඩායමකට පක්‍ෂ පාට භේදවලින් තොරව එකම වේදිකාවකට නගින්න අපි කැමැතියි.”

ප්‍රවීණ රංග ශිල්පී ලාල් කුලරත්න මහතා :
“හැම කලා ක්‌ෂේත්‍රයක්‌ම අයිති විය යුත්තේ සංස්‌කෘතික අමාත්‍යාංශයටයි. ඉදිරි පාලන ක්‍රමයකට අපි යෝජනා කරනවා සංස්‌කෘතික අමාත්‍යාංශය මුල්තැනට ගන්න කියා.”

ප්‍රවීණ සංගීතඥ සමන්ත පෙරේරා මහතා :
“පහත සඳහන් කරුණු ඉටුකරන නායකයෙකුට අපේ සහාය ලබා දෙනවා. ‘උසස්‌ පෙළ විභාගයට තම මව් බස හා ලංකා ඉතිහාසය අනිවාර්ය කළ යුතුයි. විද්යුත් මාධ්‍යවල හා බස්‌ රථවල ප්‍රචාරය වන සමහර ගීතවලට වාරණයක්‌ ඇති කළ යුතුයි. විදේශ නාට්‍ය මෙරට ප්‍රදර්ශනය නැවත්විය යුතුයි. සෞන්දර්ය විෂය බිහිකිරීමට අතහිත දෙන පාලනයක්‌ බිහිවිය යුතුයි’.”

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • The answer to this doubt is boycott everything coming from muslim patronage. Dont eat in their hotels, cafes restaurants, or dansals. Anything free may have some issue with them. And dont borrow money from them either: Remember Baddegama thambi, that was having an eye on Manike! Like that all thambi MPs are suspect as they may be the ring leaders of all these calamities in SLK

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *