ජනාධිපති සහ ආණ්ඩුව විවේචනය කල Facebook ගිණුම් හා Youtube නාලිකා වලට දැවැන්ත සයිබර් ප්‍රහාරයක්… අවහිර කරයි..

(24.06.2019 – 10:00 +0530 – lankacnews.com)

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විවේචනය කල Facebook ගිණුම් හා Youtube නාලිකා වලට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වෙමින් ඇති බව නීතීඥ සංවිධාන එකමුතුව සදහන් කරයි.

මේ බව සදහන් කරමින් එහි සභාපති නීතීඥ මනෝජ් ගමගේ මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙහි දැක්වෙයි.

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව විවේචනය කල Facebook ගිණුම් හා Youtube නාලිකා වලට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් …

ජනාධිපතිවරයා හා ආණ්ඩුව විවේචනය කල පෞද්ගලික Facebook ගිණුම් හා පිටුවලට මෙන්ම Youtube මුල්කරගත් ප්‍රවෘත්ති හා කාලීන නාලිකා සදහා පසුගිය සති කිහිපය පුරාවට අසාමාන්‍ය ආකාරයේ විවිධ බාධාවන් හා අක්‍රිය වීම් සිදු වී ඇති බවට අප සංගමය වෙත විවිධ පාර්ශවයන් පැමිණිලි රාශියක් කර ඇත.

මේ පිළිබදව සොයා බැලීමේදී අපහට අනාවරණය වූයේ එලෙස සයිබර් ප්‍රහාරයන්ට ලක් වූ හා Facebook සමාජ මාධ්‍ය ජාලයෙන් මකා දැමුණු ගිණුම් හා පිටු බොහෝමයක් ජනාධිපතිවරයා හා ආණ්ඩුව විවේචනය කල ඒවා බවයි.

විශේෂයෙන්ම සයිබර් ප්‍රහාරයන් වැළැක්වීම සදහා පිහිටුවා ඇති රාජ්‍ය ආයතනයක්ම මේ වන විට දේශපාලන අතකොළුවක් බවට පත් වී වෛරී ප්‍රකාශ වලට මුවා වී Facebook ආයතනයට ලබාදෙන සාවද්‍ය තොරතුරු හේතුවෙන් හා Facebook ආයතනයට අනුයුක්තව භාෂා පරිවර්තනය සදහා පත්කර ඇති පක්ෂග්‍රාහී පුද්ගලයන්ගේ වැරදි අර්ථකතන මත මේ තත්වයට මුහුණ දීමට මෙරට Facebook පරිශීලකයන්ට සිදු වී ඇති බවට අප වෙත තවදුරටත් තොරතුරු අනාවරණය වී ඇත.

මේ තත්වය මත මිලියන ගණනක පරිශිලකයන් සිටින Facebook සමාජ ජාල වෙබ් අඩවිය හා Youtube නාලිකාව ඉදිරි මැතිවරණයකට ආණ්ඩු පක්ෂයට වාසි දායක ලෙස හසුරුවා ගැනීමේ දැඩි අවධානමක් මේ සමග මතු වී ඇත.

2015 දී එවකට පැවැති ආණ්ඩුව පෙරළා දැමීමට සාවද්‍ය පුවත් හා මඩ ප්‍රචාර සදහා Facebook සමාජ ජාල වෙබ් අඩවිය හා Youtube නාලිකාව ප්‍රයෝජනයට ගෙන තරුණ තරුණියන්ට Free-Wifi හා Google බැලූන් ලබාදෙන බවට පොරොන්දු ලබාදුන් වර්තමාන යහපාලන ආණ්ඩුව විසින්ම මෙලෙස එම සමාජ මාධ්‍ය ජාලා තුල ඇති නිදහස විනාශ කිරීමට කටයුතු කිරීම අප සංගමය පිළිකුලෙන් හෙළා දකිනු කැමැත්තෙමු.

එමෙන්ම මෙරටේ මහජන මතය විකෘති කර ආණ්ඩුවට වාසිදායක වටපිටාවක් නිර්මාණය කර විරුද්ධවාදී මතවාද යටපත් කිරීම සදහා Facebook සමාජ මාධ්‍ය මෙලෙස ආණ්ඩුව විසින් අපයෝජනයට ලක් කිරීම පිළිබදව Facebook බළධාරීන්ගේ විශේෂ අවධානය නිල වශයෙන් යොමු කිරීමට විපක්ෂය නියෝජනය කරන සියලු දෙනා වහා පියවර ගත යුතුව ඇත.

මෙයට,
විශ්වාසී,

නීතීඥ ආර් මනෝජ් ගමගේ
සභාපති
නීතීඥ සංවිධාන එකමුතුව

***************************************

අත්හදා බලන යුගයක් නෙමෙයි මේක – මහින්ද රාජපක්ෂ

(24.06.2019 – 10:01 +0530 – sinhala.adaderana.lk)

මැතිවරණ කාලසීමාවක් තුළ 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීමට කාලයක් නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හඟුරන්කෙත මාදවෙල රජමහා විහාරයේ රන් පත්තිරුවට අත්සන් තැබීමේ උත්සවයට එක්වීමෙන් අනතුරුව මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

තමාට 18 වන ව්‍යවස්ථාවේ ඇති හානියක් පිළිබඳව නම් නොපෙනුන බවත්, 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන පරක්කු වී හෝ තේරුම් යෑම පිළිබඳ තමා ජනාධිපතිවරයාට ස්තූතිවන්ත වන බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

තවත් මාස 4 කින් මැතිවරණයක් පවත්වන බවත්, එවැනි තත්ත්වයක් තුළ අත්හදා බැලීමට තරම් කාලයක් නොමැති බව ද විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් ගෙන ව්‍යවස්ථාව වෙනස් කළ යුතු බවත් එසේ නොමැතිව කිසිවක් පවසා වැඩක් නොමැති බවත් මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය ෴

+++++++++++++++++++++++++++++++++++

රටට අවශ්‍ය වෙන්නේ සක්විති රජකම ලැබුණත් රට පාවෙලා දෙන්නේ නැති නායකයෙක් – බන්දුල ගුණවර්ධන

(24.06.2019 – 09:51 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා මේවන විටත් ජනතාව විසින් තෝරා අවසන් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ මහතා මේබව සඳහන් කළේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති වැඩ සටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින්.

මේ වන විට ජනතාවට අවශ්‍ය වී ඇත්තේ සක්විති රජකම ලැබුනත් නොවෙනස්ව රට පවා නොදෙන නායකයෙක් බවද මන්ත්‍රීවරයා එහිදි පැවසීය.

පොදු ජන පෙරමුණ ඇතුළු අනෙකුත් පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් පොදු අපෙක්ෂකයාගේ නම අගොස්තු මස 11 වන දා පක්ෂ සම්මේලනයේදි ප්‍රකාශ කරන බවද ඔහු පවසයි.

සුනාමීයට හසු වු පොල් කොම්බයක් සේ ආණ්ඩු කරන පිරිස සහ එයට සහය දක්වන පිරිස මුහුදටම ගසා යන මැතිවරණයක් ඉදිරියෙදි පැමිනෙන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

***************************************

ජාත්‍යන්තර මුහුදේදී බහුදින යාත්‍රා 10 කට නැව් කීපයකින් පහර දෙයි

(23.06.2019 – 22:26 +0530 – sinhala.adaderana.lk)

ජාත්‍යන්තර මුහුදේ මසුන් මැරීම සඳහා ගිය බහුදින යාත්‍රා 10 කට පමණ නැව් කීපයක් විසින් පහර දීම් ආරම්භ කර ඇතැයි සමස්ථ ලංකා බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය සදහන් කරයි.

ජාත්‍යන්තර මුහුදේ මසුන් බහුලව සිටින ස්ථානයකදී මෙම පහර දීම සිදු කර ඇත.

පහර කෑමට ලක්ව ඇත්තේ මෙරට ලියා පදිංචි බහු දින යාත්‍රා වන සෙහාන් සෙනුර, සදලි, සුභාෂි, ක්ලෝඩියා, ඊශානි, රූටි බබා, රාංකුරුල්ලා, හිරුණි 01 යන ධීවර යාත්‍රා බවට ගුවන් සංඥා මගින් කරන ලද විමසීම් වලදී හදුනා ගෙන තිබේ.

මෙම ධීවර යාත්‍රා වල මෙරට ධීවරයින් 70 ක් පමණ සිටින බවද වාර්තා වේ.

මෙරට ලියාපදිංචි විදේශීය රටවල් වලට අයත් නැව් වලින් මෙම පහර දීම් සිදු කරන බවට ඔවුන් චෝදනා කරයි.

අද (23) දිනයේදී නැව් වල සිට යකඩ කැබලි වලින් පහර දීම හේතුවෙන් එක් බහු දින යාත්‍රවල සිටි ධීවරයින් තිදෙනෙකුද තුවාල ලබා ඇති බව ඔවුන් පවසයි.

මේ සම්බන්ධයෙන් බහුදින යාත්‍රා හිමියන්ගේ සංගමය විසින් ධීවර දෙපාර්තමේන්තුවට,වෙන්නප්පුව සහ මාරවිල පොලීසිය වලටද පැමිණිළි කර ඇත ෴

***************************************

මේ දීගේ හරියන්නේ නෑ කියලා කලින් කිව්වා – රෝහිත අබේගුණවර්ධන

(23.06.2019 – 18:59 +0530 – sinhala.adaderana.lk)

2015 දී බලයට ආ රජය අතිශය අස්ථාවර තත්ත්වයක ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

වැඩිදුරටත් සිය අදහස් දක්වමින් ඒ මෙසේ ප්‍රකාශ කර සිටියේය :

“2015 ට කලින් කිව්වානේ මේ දීගේ හරියන්නේ නෑ කියලා.

මේ අය බලෙන් බන්දලා දුන්නා වගේ මේ පැත්තේ මෛත්‍රීපාල මහත්තයා හිටියා අනිත් පැත්තෙන් රනිල් මහත්තයා හිටියා.

පෝරුවේ නැග්ගුවා – දෙන්නා මුදු දැම්මා – අවුරුදු හතරක් ගියා ළමයි නෑ.

සෝභිත හිමි හිටියානම් ආයෙත් අපවත් වෙනවා”

***************************************

එක රටටක ඕනෙ එක නීතියයි – ඥානසාර හිමි

(23.06.2019 – 18:32 +0530 – sinhala.adaderana.lk)

රටක එක නීතියක් පමණක් ක්‍රියාත්මක විය යුතු බවත් විදෙස් රටවල් සමඟ ගිවිසුම් අස්සන් කිරීම පාලනය කළ යුතු බවත් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමි පවසයි.

නාත්තන්ඩිය ප්‍රදේශයේ අද පැවති ජන හමුවක් අමතමින් උන්වහන්සේ මේ බව සදහන් කළේය.

එහිදී සිය අදහස් දක්වමින් ඒ හිමියන් මෙසේ ප්‍රකාශ කර සිටියේය :

“මොකක්ද මේ බලහත්කාරකම? මේ බලහත්කාරකමට අපි යටවෙන්න ඕනෙද?

පාලකයෝ නිවට වුණාට අපිට නිවට වෙලා මේවට ඉඩ දෙන්න බෑ.

ගිවිසුමක් නිසා මාලදිවයිනේ සියලුම දූපත් කටාර් රාජ්‍යට අයිති වුණා. කටාර් කියන්නේ වහබ්වාදය ලෝකය පුරා පැතිරවීමට විශාල මුදලක් වියදම් කරන රටක්.

ඒ නිසා මේවා වහාම පාලනයට යටත් කළ යුතුයි.”

+++++++++++++++++++++++++++++++++++

සරත් ෆොන්සේකා විතරයි හරියට වැඩේ කරන්නේ ! (19.06.2019)

***************************************

ඊළග ජනාධිපතිට උසස් පෙලවත් තිබිය යුතුයි.. ජාතික ප‍්‍රශ්න දන්නෙවත් නැති උපන්ගෙයි ගොබ්බයන් එපා..

(24.06.2019 – 15:00 +0530 – lankacnews.com)

දේශපාලන ස්ථාවරත්වය තහවුරු කළ හැකි නායකයෙක් රටට වර්තමානයේ අවශ්‍යව තිබෙන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා කොළඹ දී ප්‍රකාශ කළේය.

දේශපාලනයට රටේ සෑම ප්‍රශ්නයක්ම විසදන්න බැරි වුවත් බොහෝ ප්‍රශ්න විසදිය හැකි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

රටේ වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් එසේ ප්‍රකාශ කල කරුණාරත්න පරණවිතාන මහතා මෙසේද කීය :

දේශපාලනයට රටක බොහෝ ප්‍රශ්ණ විසදන්න පුළුවන්. ඒ සදහා හොඳ ශක්තිමත් දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. ඊළගට පත් කර ගන්න ජනාධිපතිවරයා අඩුම තරමින් උසස් පෙළ සමත් වෙලා තියෙන්න ඕනෑ. අද රටට අවශ්‍ය වෙලා තියෙන්නේ කෙළින් කථා කරන ප්‍රශ්නයක් වුනාම එහෙට මෙහෙට බොලේ පාස් කරන්නේ නැති තමන්ගේ උපන්ගෙයි ගොබ්බකම් එළි පිටට පෙන්වන්නේ නැති නිර්භීතව වැඩ කරන පුද්ගලයෙක්.

ඒ විතරක් නෙමෙයි, රටේ ප්‍රශ්න – ලෝකේ ප්‍රශ්න ගැන හොද අවබෝධයක් නායකයට තියෙන්න ඕනෑ. මේ රටේ ජාතිය, සංස්කෘතිය, ඉතිහාසය ගැන හැගීමක් තියෙන නායකයෙක් අපට අවශ්‍යයි. ජාතික ආරක්ෂාව තහවුරු කරන්නේ කොහොමද? ජාතික සමගිය තහවුරු කරන්නේ කොහොමද? බිද වැටුණු ආර්ථිකය ගොඩ නඟන්නේ කොහොමද? මහා පරිමාණ ප්‍රශ්නයක් වෙලා තියෙන බල ශක්ති අර්බුදය විසදන්නේ කොහොමද? අධ්‍යාපනය, පාරිසරික උවදුරු වැනි ප්‍රශ්න නිරාකරණය කරන්න පුළුවන් නැවුම්ව හිතන දැක්මක් සහිත නායකයකුගේ අවශ්‍යතාව බරපතල විදියට මතු වෙලා තිබෙන බවද අමාත්‍යවරයා එහිදි සදහන් කළේය.

– ජයකාන්ත ලියනගේ

+++++++++++++++++++++

මාතර නිල්වලා ගඟේ ජලය පානයට නුසුදුසු බව සොයා ගැනේ

(24.06.2019 – ada.lk)

මිනිස් කි‍්‍රයාකාරකම් හේතුවෙන් නිල්වලා ගගේ ජලය ශ්‍රීඝ‍්‍රයෙන් දුෂණය විමට පටන්ගෙන ඇති බව රුහුණු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එච්. බි. අශාන්ති මහත්මිය පවසයි.

රුහුණු විශ්ව විද්‍යාලය සහ ජාතික ජල සම්පාදන මණ්ඩලය එක්ව වසර ගණනාවක් සිදුකරන ලද පරික්ෂණ වලින් මෙය අනාවරණය කරගෙන තිබේ.

මේ සම්බන්ධව රුහුණු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එච්. බි. අශාන්ති මහත්මිය මෙසේ පැවසුවාය :

“නිල්වලා ගගේ ඉහළ කොටසේ සිට විවිධ ප‍්‍රදේශ වලින් සහ විවිධ ස්ථාන වලින් ගගේ ජලයට අපද්‍රව්‍ය එකතුවෙන එක වැඩිවෙලා තියෙනවා . විශේෂයෙන් 2012 වසරේ මාතර , තොටුමුණ ප‍්‍රදේශයේ ජල සාම්පල් වල මල අපද්‍රව්‍ය සමග කෝලි ආකාර බැක්ටිරියාව වැඩිවිමක් දක්නට ලැබුනා.

ඒ තත්ත්වය තවත් වැඩිවෙනවා . ඒ වගේම පිරිපහදුව සඳහා ජලය ලබා ගන්නා බලකාවල ප‍්‍රදේශයේ ජල සාම්පල් පරික්ෂා කිරිමේදි කොපර් කියන බැරලෝහය වැඩි සංයුතියක් සහිත බව අනාවරණය වුනා . දැනට තිබෙන පරිපහදු කි‍්‍රයාවලියට අනුව බැරලෝහ ඉවත් කිරිමේ විශේෂ ක්‍රමවේදයක් නැහැ” යැයි පැවසිය .

ජාතික ජල සම්පාදන මණ්ඩලයේ මාතර දිස්ති‍්‍රක් කළමනාකරු එස් කේ සමන්ත කුමාර මහතාගෙන් කළ විමසිමකදි මෙසේ පැවසිය.

“මාතර නගරයේ හාරලක්ෂයකට ආසන්න ජනතාව සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ග‍්‍රාමසේවා වසම් 25 ක ජනතාවට නිල්වලා ගගෙන් පානිය ජලය සපයනු ලබනවා . නාදුගල , කද්දුව, බලකාවල යන ස්ථානවලින් ලබාගන්නා ජලය නාදුගල හා මාලිම්බඩ යන පිරිපහදු අංගණවලින් පිරිපහදු කර මාතර හා ඒ අවට ජනතාවගේ පානිය ජල අවශ්‍යතා සම්පුර්ණ කරනවා .

අකුරැස්ස නගරයේ සමිපයෙන් නිල්වලා ගඟ පිහිටිම නිසා එම ප‍්‍රදේ ශයෙන් අපද්‍රව්‍ය ගඟට එකතු වෙනවා . මේ නිසා පිරිපහදුවට අධික පිරිවැයක් දැරිමට සිදුවෙනවා . ඒ වගේම මාතර මහා රෝහලේ පල්දෝරු පද්ධතිය , මාතර බන්ධනගාරයේ වැසිකිළි පද්ධතිය ඇතුළු මාතර , දෙණියාය , අකුරැස්ස , කඹුරුපිටිය යන ප‍්‍රදේශවල නාගරික අපද්‍රව්‍ය වැසිකිළි අපද්‍රව්‍ය නිල්වලා ගඟට මුදාහරින බව මිට පෙර අවස්ථා ගණනාවකින් වාර්තා වුනා” යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසිය.

***************************************

මුස්ලිම් ජාතිකයන් භික්‍ෂූන් සේ සිවුරු දරා සිටිනවා.. හදිසි නීතිය ඉවත් කල සැනින් සියළු ත‍්‍රස්ත සැකකරුවන් නිදහස්.. බුර්කා තහනමත් අවසන්..

(24.06.2019 – 15:50 +0530 – lankacnews.com)

පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ඓතිහාසික මහනුවර දී ශ්‍රී දළදා වහන්සේ වැඳපුදා ගනිමින් මහනායක ස්වාමීන් වහන්සේලා ද බැහැ දැකීමට ද කටයුතු කළේය.

පාස්කු ප්‍රහාරය සිදුවී දෙමසකට අධික කාලයක් ගත වුවද මෙවැනි ප්‍රහාර වැළැක්වීම සඳහා කිසිදු නීතියක් පැන වීමට රජය අපොහොසත් වීම පිළිබඳව මහනායක හිමිවරුන් වෙත කරුණු පැහැදිලි කළ උදය ගම්මන්පිල මහතා රටට අවශ්‍ය නීති සකස් කිරීම සඳහා පක්ෂ විපක්ෂ සියලුම දේශපාලකයන් වෙත අවශ්‍ය පීඩනය එල්ල කරන්නැයි මහනායක ස්වාමීන් වහන්සේලාගෙන් ගෞරවණීය ඉල්ලීමක් සිදු කළේය.

එමෙන්ම දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මැතිතුමන් සමග ද උදය ගම්මන්පිල මහතා මෙහිදි පිළිසඳරකට එක් විය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක් වූ උදය ගම්මන්පිල මහතා :

“සාමාන්‍යයෙන් අපේ ජාතියට මතක තියෙන්නෙ සති දෙකක් යැයි මතයක් තියෙනවා. නමුත් දෙමසකට අධික කාලයක් ගත වෙලා තවමත් අපේ රටේ ජනතාවට පාස්කු ප්‍රහාරය මැනවින් මතක තියෙනවා. නමුත් දෙමසකට අධික කාලයක් ගත වී තිබියදී මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයක් ඇතිවීම වැළැක්වීම සඳහා කිසිදු නීති රෙකුලාසියක් ගෙන ඒමට ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා. දැනට ත්‍රස්තවාදී සංවිධාන තහනම් කර ඇත්තේ, මුහුණු ආවරණය කරගෙන ගමන් කිරීම තහනම් කර ඇත්තේ හදිසි නීති රෙගුලාසි යටතේ යි.

යම් හෙයකින් හදිසි නීතිය ඉවත් කිරීමට කටයුතු කළොත් සියලු ත්‍රස්තවාදී සංවිධාන සාමාන්‍ය සංවිධාන බවට පත්වෙනවා. අත්අඩංගුවට ගත් සියලු දෙනා නිදහස් කිරීමට සිදුවෙනවා. මුහුණ ආවරණය කරගෙන පාරේ නිදහසේ ගමන් කිරීමට අවස්ථාව හිමිවෙනවා. ඊළඟ බෝම්බය පිපිරෙන තුරු අප ජාතියක් ලෙස නිදාගැනීමක් තමයි සිදු වෙන්නේ. ජාති භේද පසෙක තබා, පක්ෂ භේද පසෙක තබා, රට ගැන හිතලා අවශ්‍ය නීතිරීති සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය කරන පීඩනය දෙපාර්ශවයේම දේශපාලකයන්ට එල්ල කරන්නට කියලා අපි මහා නායක ස්වාමීන් වහන්සේලා ගෙන් ඉල්ලීමක් කළා.

උදාහරණයක් විදිහට ගතහොත් අද මුස්ලිම් ජාතිකයන් ස්වාමීන් වහන්සේලා මෙන් සිවුරු දරාගෙන සිටිනවා. මෙවැනි තත්වයන් වළක්වා ගැනීම සඳහා කිසියම් පුද්ගලයෙකු සිය මුල් නම මාරු කල විට ජාතික හැඳුනුම්පතෙහි වෙනත් නම් යටතේ ඔහුගේ කලින් නම සඳහන් කළ යුතුයි. විදේශ රටවලින් පැමිණි මුස්ලිම් ජාතිකයන් විශේෂයෙන් විල්පත්තුවේ මීගමුවේ වැනි ප්‍රදේශවල ජීවත් වෙනවා. දරුවෙක් ඉපදුන දවසෙම ඔහුට හැඳුනුම්පතක් නිකුත් කළ යුතුයි. එවැනි හැඳුනුම්පතක් නිකුත් කළ විට මෙලෙස රටට ඇතුල් වුනු පුද්ගලයන් දූෂිත රාජ්‍ය නිලධාරීන් අල්ලාගෙන ඔවුන් හරහා ජාතික හැදුනුම්පතක් හදා ගෙන හොර පුරවැසිකම් හදා ගැනීම වළක්වන්නට පුළුවන්. එමෙන්ම මද්‍රාසා පාසල් නියාමනයක් සිදු කළ යුතුයි. මද්‍රසා පාසල් විතරක් නොවෙයි රජයේ පාසල් වල පවා විෂය නිර්දේශය අධීක්ෂණය කිරීමට සිදුවී තියෙනවා. මොකද ඉස්ලාම් ආගම අතහැරියොත් දඬුවම මරණයයි කියලා ඉස්ලාමීය පෙළ පොත්වල සඳහන් වන බවට මුස්ලිම් ජාතිකයන්ම ප්‍රකාශ කර තිබෙනවා.

ඉතින් රට තවමත් අනාරක්ෂිතයි.මේ ආණ්ඩුව දෙමසක් ගතවෙලත් අවශ්‍ය නීතිරීති හැදුවේ නෑ කියන්නේ එවැනි නීති රීති ගේන්නට ඔවුන්ට අවශ්‍යතාවයක් නැහැ. අන්තවාදීන්ගේ සල්ලි සහ අන්තවාදීන්ගේ පුංචි ඡන්ද කුට්ටියට යටත්වෙලා මෙම ආණ්ඩුව තියෙන්නේ. එම නිසා කවුරුන් බලයට පැමිණියත් නීති රීති ඉක්මනින් ගෙන එන ලෙස දෙපාර්ශවයටම බලපෑම් කරන ලෙසයි අප මහා නායක ස්වාමීන් වහන්සේලාගෙන් ඉල්ලා සිටියේ.

මෙම අවස්ථාව සඳහා පිවිතුරු හෙළ උරුමයේ මධ්‍යම කාරක සභික නිකවැරටියේ ධම්මරතන හිමි, නියෝජ්‍ය නායක මදු මාදව අරවින්ද, ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර, ප්‍රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක, නියෝජ්‍ය ජාතික සංවිධායක යසපාල කෝරළගේ, මහජන නියෝජිත කටයුතු ලේකම් උපුල් කෝනාර යන මහත්වරුන් සහ මහනුවර දිසාවේ පිවිතුරු හෙළ උරුමය නිලධාරීන් පිරිසක් ද එක්විය.

– අරවින්ද අතුකෝරල

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *