අනුරාධපුර සමයට අයත් මඩකලපුවේ තිබූ විශාලම ස්තූපයත් ඩෝසර් කරලා ?

(24.06.2019 – ada.lk)

නැගෙනහිර පළාතට අයත් මඩකලපුව දිස්ත්‍රික්කය තුළ පිහිටි අනුරාධපුර සමයට අයත් බවට සැළකෙන විශාලම ස්තූපය හා එය පාදක කර ගනිමින් ගොඩනැගුණු ආරාම සංකීර්ණය කිසියම් පිරිසක් ඩෝසර් කර ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

විසිරී පවතින නටඹුන් පරීක්‍ෂා කිරීමේදී මෙම ස්ථූපය හා ආරාම සංකීර්ණය ක්‍රි.ව. 02-03 පමණ සියවස්වලට අයත් වෙතැයි අනුමාන කල හැකි බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර් පත්තු චෙන්කලඩි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මාවඩිවෙම්බු ග්‍රාම සේවා වසමේ මෙම ස්තූපය හා ආරාම සංකීර්ණය පිහිටා ඇත.

වාලච්චේන මඩකලපුව මාර්ගයේ ADS හංදියෙන් වමට හැරී කිලෝමීටර් 04 ක් පමණ දුරක් ගමන් කිරීමෙන් මෙකී ස්ථානයට ළඟාවීමේ හැකියාව පවතී. කලපු කොටසකින් වටවූ භූමියේ තරමක් උස් ස්ථානයක ආරාම සංකීර්ණය පිහිටා ඇත.

මෙහි ප්‍රධාන ස්තූපය හා ආරාම සංකීර්ණයේ කොටසක් ඩෝසර් කර මිරිස්, මෑ, බටු හා පොල් වැනි බෝග වගාකර ඇත. ස්තූපයට අමතරව ඉපැරණි ගොඩනැගිලි 07 ක අවශේෂ හඳුනාගත හැක. ස්තූපයට නැගෙනහිරට වන්නට පිහිටි අවශේෂ ගොඩනැගිලි තවමත් විනාශකර නොමැත.

ස්තූපයේ උතුරු දිශාවට වන්නට සිරිපතුල් ගල් දෙකක් හා කැටයම් රහිත සඳකඩ පහණක් දැකිය හැකිය. ස්තූපයට අයත් විශාල ප්‍රමාණයේ ශිලා පුවරු, ස්තම්භ හා ගඩොල් යන්ත්‍රෝපකරණ මාර්ගයෙන් ඉවත්කර ඉඩමේ කෙළවර ගොඩගසා ඇතැයි පුරාවිද්‍යා ආරංචි මාර්ග පවසයි.

තවත් ගඩොල් කොටස් ස්තූපය අසළම ගොඩගසා ඇත බවත් ස්තූපයේ විශ්කම්භය මීටර් 32 ක් පමණ බවත් සඳහන් වෙයි.

ස්තූපයේ පේසා වළලු හා ගර්භයේ බිත්ති කොටස් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර මෙයට අයත් බොරදම් ගඩොල් තැන තැන විසිර පවතී. ස්තූපයට නැගෙනහිර දිශාවට වන්නට පෙරලා දමන ලද යූපස්ථම්භය දැකිය හැකිය. භූමිය පුරා රක්ත වර්ණාලේපිත මැටිබඳුන් කොටස් මෙන්ම උළු හා ගඩොල් විසිර පවතී.

+++++++++++++++++++++

25.06.2019

+++++++++++++++++++++

ඉපැරණි දාගැබක් ඩෝසර් කර එළවළු වැවූ සැකකරු අත්අඩංගුවට

(27.06.2019 – 20:28 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව – චෙන්කලඩි ප්‍රාදේශීය සභාවට අයත් මාවඩිවෙම්බු ප්‍රදේශයේ පිිහිටා තිබූ අනුරාධපුර යුගයට අයත් විශාලතම දාගැබ ඩෝසර් කර එහි මිරිස් ඇතුළු එළවළු වගා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හිරු වාර්තාකරු සදහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරු කලවංචිකුඩි මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බවයි.

දිඹුලාගල – බුද්ධශ්‍රාවක සංඝ සභාව ඊයේ එරාවුර් පොලීසියට මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ද සිදුකළ අතර ඉන් අනතුරුවයි පොලීසිය එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කළේ.

එසේම, සංඝ සභාව විසින් මඩකලපුව දිස්ත්‍රික් ලේකම්වරයාට මෙන්ම, පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරයාට ද මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

2017 වසරේදී අම්පාර පුරාවිද්‍යා කාර්යාලය විසින් ක්‍රිස්තු වර්ෂ 2 ත් 3 ත් අතර කාලය තුළ ඉදිකර ඇතැයි කියන මෙම දාගැබ සොයා ගත් අතර, එය පරිවාර චෛත්‍ය 4 කින් ද සමන්විත වූ බව සදහන් වනවා.

කෙසේ වෙතත්, එහි ගර්භය සකස් කිරීම සදහා උපයෝගි කර ගත් ගඩොල් විනාශ කරමින් අක්කර 4 ක පමණ එළවළු වගා කර ඇති බවටයි පොලීසිය සදහන් කළේ.

ඊයේ දිනයේදී දිඹුලාගල – බුද්ධශ්‍රාවක සංඝ සභාව එම ස්ථානයට ගොස් එය නිරීක්ෂණය කළ අතර එම අවස්ථාවේදී ඉඩමෙහි හිමිකරු සහ පොලීසිය ද එම ස්ථානයට පැමිණියා ෴

***************************************

රාජිතට එරෙහිව මහජන පෙත්සමකට අත්සන් තැබෙයි

(24.06.2019 – 15:26 +0530 – sinhala.adaderana.lk)

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද (24) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව අත්සන් ලබාගැනිමේ ව්‍යාපාරයක් කලුතර දිස්ත්‍රික් මහ රෝහලේදි ආරම්භ කරනු ලැබුවේය.

කෙසේවෙතත් ඒ අතරතුර රාජිත සේනාරත්න අමාත්‍යවරයාට සහාය පල කරන පිරිසක් එම ස්ථානයට පැමිණිමත් සමඟ දෙපිරිස අතර යම් නොසන්සුන්කාරි තත්වයක් හට ගත්තේය.

මේ අතර මෙම තත්ත්වයට විරෝධය දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද දහවල් 12 සිට කළුතර දිස්ත්‍රික්කයේ සියලු රෝහල්වල සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් විශ්වාසය පළුදු වී ඇතැයි චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද මහජන පෙත්සමක් සදහා අත්සන් ලබාගැනිමේ ව්‍යාපාරයක් කලුතර දිස්ත්‍රික් මහ රෝහලේදි උදෑසන 9 ට දියත් කිරිමට කටයුතු සංවිධාන කර තිබුණි.

කෙසේවෙතත් එය ආරම්භ කිරිමට පෙර එම ස්ථානයට පැමිණි රාජිත සේනාරත්න අමාත්‍යවරයාට සහාය පලකරන පිරිසක් එම වැඩසටහනේ බැනර් කඩා දමා තිබුණේ මෙම වැඩසටහනට විරෝධය පලකිරිම සඳහායි.

පසුව එතැනට පැමිණි පොලිස් නිලධාරින් අමාත්‍යවරයාට සහාය දක්වන පිරිස රෝහල් පරිශ්‍රයෙන් ඉවත් කිරිමට පියවර ගත් අතර පසුව ඔවුන් රෝහල් ප්‍රධාන ගේට්ටුව ආසන්නයේදී විරෝධතාවයේ නිරත වුණි.

ඒ අතරවාරයේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නියෝජිතයින් සැලසුම්කර ගත් පරිදි අත්සන් ලබාගැනිමේ ව්‍යාපාරය ආරම්භ කරනු ලැබුවේය.

කෙසේවෙතත් පසුව යළිත් එම ස්ථානයට පැමිණි අමාත්‍යවරයාට සහාය පලකරන පිරිසක් අත්සන් ලබාගැනිමේ ව්‍යාපාරයට බාධා කලේ එම ලිපිලේඛන පුළුස්සා දමමින්ය.

ඒත් සමඟම දෙපාර්ශ්වය අතර යම් නොසන්සුන්කාරි තත්වයක් හටගත්තේය.

තත්ත්වය පාලනය කිරීම සඳහා කලුතර කොට්ඨාසයට අයත් පොලිස් ස්ථානවල නිලධාරින් කැඳවීමටද පියවර ගැනුණි.

පසුව එම ස්ථානයට පැමිණි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ නියෝජිතයෙක් චෝදනා කලේ රෝහල තුළ අත්සන් ලබාගැනිමේ ව්‍යාපාර‍යක් දියත් කිරීම සඳහා රෝහල් අධ්‍යක්ෂවරියගෙන් අවසරයක් ලබා ගෙන නොමැති බවයි.

මෙම තත්ත්වයත් සමඟ කලුතර දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර රෝගි ප්‍රතිකාර සේවාවලට යම් බාධාවක්ද සිදුවූ බව අද දෙරණ වාර්තාකරු සදහන් කළේය.‍

+++++++++++++++++++++

කළුතර දිස්ත්‍රික්කයේ රජයේ වෛද්‍යවරු සංඛේත වැඩ වර්ජනයක

(24.06.2019 – 12:52 +0530 – sinhala.adaderana.lk)

කළුතර දිස්ත්‍රික්කයේ රජයේ වෛද්‍යවරු අද (24) මධ්‍යහන 12 සිට පැය 24 ක් පුරා සංඛේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.

අද දෙරණ කළ විමසීමකදි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසුවේ පානදුර සහ හොරණ යන රෝහල්වල අද මධ්‍යහන 12 න් පසු වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බවයි.

අද පෙරවරුවේ කළුතර රෝහලෙන් ආරම්භ කරන ලද සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව මහජන අත්සන් ලබාගැනීමේ වැඩසටහනට පිරිසක් බාධා කිරීමේ සිද්ධියකට විරෝධය පල කරමින් වර්ජනය ආරම්භ කරන බව එම සංගමය සදහන් කළේය ෴

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=Ik6lnQjUJ9w#t=5
24.06.2019

***************************************

ඥානසාර හිමිගේ ජනාධිපති සමාවට සන්ධ්‍යා එක්නැලිගොඩ එරෙහි වෙයි

(24.06.2019 – 15:01 +0530 – sinhala.adaderana.lk)

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිර දඬුවම් ලබා සිටි බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජනාධිපති සමාව මත නිදහස් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් සිය මූලික අයිතීන් කඩ වී ඇති බවට චෝදනා කරමින් අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.

පෙත්සම්කාර සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය කියා සිටින්නේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කළ ඥානසාර හිමියන්ට අභියාචනාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 19 ක් සිර දඬුවමක් නියම කර එය වසර 06 කින් ගෙවී යා යුතු බව තීන්දු කළ බවයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සිර දඬුවම් ලබා සිටි විත්තිකරුවකු ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව පෙත්සම්කාරිය පෙන්වා දෙයි.

එබැවින් ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට අදාළ සියලු නිල ලේඛන අධිකරණය හමුවට කැඳවා විමර්ශනයක් පවත්වන ලෙස ද එක්නැලිගොඩ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

ඒ අනුව ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ප්‍රදානය කිරීම තුළින් ජනාධිපතිවරයා ආණ්ඩුකම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් උන්වහන්සේට ප්‍රදානය කර තිබෙන ජනාධිපති සමාව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා , අධිකරණ අමාත්‍යවරිය , ජනාධිපති ලේකම්වරයා, පොලිස්පති පූජිත් ජයසුන්දර, වැඩබලන පොලිස්පති වරයා, වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ ෴

***************************************

අස්ගිරි මහානාහිමියන්ට විරුද්දව පොලිස්පතිට පැමිණිලි කෙරේ.. මහනාහිමිට දඬුවම් කරන්නැයි ඉල්ලයි..

(24.06.2019 – 16:40 +0530 – lankacnews.com)

අස්ගිරි පාර්ශවයේ මහා නායක පූජ්‍ය වරකාගොඩ ඤාණරතන නාහිමියන් ට විරුද්ධව පොලිස්පතිවරයා වෙත ‘විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය’ විසින් පැමිණිලක් කර තිබේ.

දොඩම්වල කිත්සිරිමෙවන් රජ මහා විහාරස්ථානයේදී පැවැති උත්සවයකදී මහ නාහිමියන් විසින් පලකල අදහස් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ප්‍රධානී ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා සඳහන් කළේ මහා නායක හිමියන්ගේ වෛරී කතාව සම්බන්ධයෙන් තමන් විසින් පැමිණිලි කරන ලද බවයි.

ඕනෑම පුද්ගලයෙකුගේ සමාජ තත්ත්වය කුමක් වුවද එවන් ආකාරයේ හැසිරීම් වලට දඬුවම් හිමිවිය යුතු බව ද ඔහු සඳහන් කළේය ෴

***************************************

ත්‍රිකුණාමල වරායට හැමෝම කෙල හලනවා – රතන හිමි

(24.06.2019 – 10:39 +0530 – sinhala.adaderana.lk)

අද වනවිට රට විශාල දේශපාලන ව්‍යාකුලත්වයකට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.

උන්වහන්සේ ඒ බව සඳහන් කළේ ත්‍රිකුණාමල නගරයේ පැවති ජන හමුවකට එක් වෙමින්.

මේ මොහොතේ කුමක් කළ යුතු දැයි කල්පනා කල යුතු බවත්, අද වන විට අපේ රට මුහුණ දී ඇති අර්බුදය ඉදිරිපිට ලංකාව විශාල දේශපාලන ව්‍යකූලතාවයකට පත්ව ඇතැයි ද රතන හිමියන් පැවසීය.

එක් අතකින් විදේශීය ගැති භාවයක් ඇතිව තිබෙන බවත් කිසිදු ප්‍රතිපත්තියකින් තොරව රටේ සම්පත් විකුණමින් සිටින බවත් පැවසු උන්වහන්සේ ලෝක බලවතුන් ඉදිරියේ අන්තිම දීන ලෙස කටයුතු කරමින් සිටින රට බව ද කියා සිටියේය.

අද වන විට ත්‍රිකුණාමලට වරායට සියලු දෙනා කෙල හලමින් සිටින බවත් පැවසු රතනහිමියන්, එක් අතකින් ඇමෙරිකාව අක්කර 35,000 ක නාවික කඳවුරක් ඉදිකිරිමට බලාපොරොත්තු වන බව ද පැවසීය.

රට අස්ථාවර වී ඇති මොහොතක ඇමෙරිකාව රටට ඇතුළු වී යුද කඳවුරක් ඇති කිරීමට හා වාණිජ මධ්‍යස්ථානයක් ඇති කිරීමට උත්සහ ගන්නා බවද පැවසු රතන හිමියන් ඉන්දියාවත් අපේ මුහුදට හා ත්‍රිකුණාමලය වරායට හරි කැමති බවත්, චීනයත් මෙයට ඉතා කැමති බවත් පැවසීය ෴

***************************************

20.06.2019

***************************************

18.06.2019

***************************************

24.06.2019

***************************************

සියලු දේශපාලන නායකයින් විශ්‍රාම ගෙන නව නායකත්වයකට ඉඩ දිය යුතුයි – මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්

(24.06.2019 – 17:33 +0530 – sinhala.adaderana.lk)

දැනට දේශපාලන නායකත්වය දරන සියලු දෙනා දේශපාලනයෙන් විශ්‍රාම ගෙන නව නායකත්වයට ඉඩ සැලසිය යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

ඉතාලියේ මිලානෝ නුවර අබාතේ දේවස්ථානයේදී පැවති දේවමෙහෙයක් අතරතුර උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ රට පාලනය කළ බොහෝ දේශපාලන නායකයින් තමන් අසමතුන්යැයි ඔප්පු කර අවසන් බවයි.

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේවමෙහෙයක් ඉතාලියේ මිලානෝ නුවර අබාතේ දේවස්ථානයේදී ඊයේ (23) පැවැත්වුණි.

ඒ සඳහා මිලානෝ කොන්සල් ජෙනරල් ඩෙන්සිල් ෆොන්සේකා මහතා ඇතුළු ශ්‍රී ලාංකිකයින් රැසක් එක්ව සිටියේය.

මේ අතර කාදිනල් හිමිපාණන් සම්බන්ධයෙන් පසුගියදා අමාත්‍ය මංගල සමරවීර මහතා පළ කළ ටුවිටර් පිණිවිඩය පිළිබඳවද දේවමෙහෙයන් අනතුරුව මාධ්‍යෙව්දීන් අගරගුරු හිමිපාණන්ගෙන් විමසා සිටියේය.

***************************************

හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව අපරාධ විමර්ශනයක්

(24.06.2019 – 16:04 +0530 – sinhala.adaderana.lk)

පසුගිය පාස්කු ප්‍රහාරය වලක්වාලීමට හෝ අවම කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව අපරාධ විමර්ශනයක් සිදුකරන්නැයි නීතිපති විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.

අද (24) දින නීතිපති විසින් පොලිස්පතිවරයාට මෙලෙස උපදෙස් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය වන රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

විශේෂ පරික්ෂණ මණ්ඩලයේ නිර්දේශ තවදුරටත් නීතිපතිවරයා විසින් සළකා බැලීමෙන් අනතුරුව හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව අපරාධ විමර්ශනයක් සිදුකරන්නැයි උපදෙස් දී ඇත.

***************************************

https://www.youtube.com/watch?v=yW6aKEFKr0k#t=5
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *