බදියුදීන්ට එරෙහිව පවතින සාක්ෂි කාරක සභාව හමුවේ ඔප්පු කිරීමට සූදානම් බව ආනන්ද සාගර හිමි කියයි

(29.06.2019 – 18:50 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ බවට සහ විල්පත්තු වනාන්තරය විනාශ කළ බවට පවතින සාක්ෂි පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවේ පැහැදිලිව ඔප්පු කිරීමට සූදානම් බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය පවසනවා.

එහි සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, වත්මන් ආණ්ඩුව මෙන්ම පොලීසිය ද අන්තවාදයට යටත්ව සිටින බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මේ බව කියා සිටියේ හොරණ – මිල්ලනිය ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

මේ අතර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදී පාර්ලිමේන්තු විශේෂ තේරීම්කාරක සභාවේදී හිටපු අමාත්‍ය බදුයුදීන්ගෙන් සිදු කල ප්‍රශ්න කිරීම පිළිබද විවේචන එල්ල වුණා.

+++++++++++++++++++++++++++++++++++

අබ්දුල් රාසික්ගේ ප්‍රකාශ අසත්‍ය බවට චෝදනාවක්

(29.06.2019 – 19:29 +0530 – hirunews.lk/sinhala)

ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාම් හෂීම් සමග සබදතාවයක් නොතිබූ බවට සිලෝන් තවුහිත් ජමාත් සංවිධානයේ මහලේකම් අබ්දුල් රාසික් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ කළ ප්‍රකාශය අසත්‍ය බව මහජන සේවා සංවිධානයේ සභාපති රිෂාම් අරූෂ් ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමන් ද පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විමර්ශනය කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදීමට ද සූදානම් බවයි.

+++++++++++++++++++++++++++++++++++

තේරීම්කාරක සභාවට එන්න දයාසිරිගෙන් කොන්දේසියක්

(29.06.2019 – 19:13 +0530 – hirunews.lk/sinhala)

යළි කැදවීමක් සිදුකළ ද තේරිම්කාරක සභාව සම්බන්ධයෙන් නීතිපතිවරයා කළ දැනුම්දීම සභාගත කර කතානායකවරයා ඊට අදාළ පියවර ගන්නාතුරු පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයන පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවේ පෙනී නොසිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ප්‍රහාර සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩු 5 කට තේරීම්කාරක සභාවේ කටයුතුවලින් අගතියක් සිදුවිය හැකි බව ජුනි 4 වනදා නීතිපතිවරයා, ජනාධිපති ලේකම්වරයාට දන්වා ඇති බවයි.

ඒ පිළිබදව කතානායකවරයා දැනුවත් වී ඇති බවට විශ්වාස කරමින් ඒ පිළිබද ඉදිරි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස තමන් ඉල්ලා සිටින බවයි මන්ත්‍රීවරයා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සදහන් කළේ.

ඔහු ඊයේ දිනයේ තේරිම්කාරක සභාව හමුවට කැදවා තිබුණත් ඊට සහභාගි වුණේ නැහැ.

මීළගට තේරීම්කාරක සභාව රැස්වන දිනයේදී ද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා එහි කැදවන එහිදී ප්‍රකාශයට පත්වුණා.

මේ අතර, පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයන පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවේ අමාත්‍ය අබ්දුල් හලීම්ගේ සොහොයුරා වන ෆායිම් එම්. හෂීම් ඊයේ සාක්ෂි ලබා දුන්නා.

මීට පෙර තේරීම්කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් කරුණු විමසීමටයි ඔහුව කාරක සභාව හමුවට කැදවා තිබුණේ.

මේ අතර, පසුගිය 13 වනදා තේරීම්කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාගේ ප්‍රකාශවලට අනුව බැටිකලෝ කැම්පස් ආයතනය සදහා ණය මුදල් ලැබුණු ආකාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අදාළ ආයතනවල නිලධාරින් ද ඊයේ කැදවා තිබුණා.

***************************************

සෝෆා ගිවිසුම ගැන නීතීඥ සංගමය තොරතුරු ඉල්ලයි

(30.06.2019 – 12:49 +0530 – hirunews.lk/sinhala)

සෝෆා ගිවිසුමේ අන්තර්ගතව ඇතැයි කියන රටට අහිතකර කාරණා පිළිබඳව තොරතුරු දැනගැනීමට නීතීඥ සංගමය තොරතුරු දැනගැනීමේ පනත මගින් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ අනුව රටට අහිතකර එවැනි කාරණා එම ගිවිසුමේ අන්තර්ගතව ඇත්නම් සංගමයේ සාමාජිකයින් සමඟ සාකච්ඡා කර ඉදිරි පියවර තීරණය කරන බවයි එම සංගමයේ ලේකම් නීතීඥ කෞශල්‍ය නවරත්න මහතා කියා සිටියේ ෴

***************************************

සහෝදරියගේ සහයට පොලිසියට ගිය තරුණයාට පොලීසියෙන් ගැහුවද? ලිස්සලා වැටුණද?

(30.06.2019 – 20:55 +0530 – sinhala.adaderana.lk)

පැමිණිල්ලක් සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසියට ගිය පුද්ගයෙකුට එහි රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් විසින් පහර දුන්නේ යැයි කියන සිද්ධියක් පිලිබඳව අද දෙරණට වාර්තා විය.

තුවාල ලැබු පුද්ගලයා මේ වන විට ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සදහා නාවලපිටිය මුලික රෝහල වෙත මාරු කර යවා ඇත.

මෙසේ තුවා ලබා ඇත්තේ ගින්ගත්හේන රංජුරාව ප්‍රදේශයේ පදිංචි චින්තක ඩිලාන් නැමති දෙදරු පියෙකි.

අද (30) උදැසන සිය සහෝදරියට එරෙහිව තිබු පැමිණල්ලක් විභාග කිරිම සදහා ගිනිගත්හේන පොලිසිය මගින් පැමිණෙන ලෙස කල දැනුම් දිමක් මත සහෝදරියගේ තනියට මෙම පහර කෑමට ලක් වු තරුණයා පොලිසියට ගොස් ඇත.

එහිදි සහෝදරියට සහයෝගය දක්වා කතා කිරිමේදි තමන්ට රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු තවත් පොලිස් නිලධාරින් තිදෙනෙකු පොලිස් ස්ථානය තුලදි පහර දුන් බව පහර කැමෙන් තුවාල ලබා නාවලපිටිය මුලික රෝහලේ ප්‍රතිකාර ලබන චින්තක ඩිලාන් පවසයි.

පොලිසිය විසින් පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ගිනිගත්හේන රථ වාහන අංශයේ නිලධාරියෙකුගෙන් අද දෙරණ වාර්තාකරු කළ විමසුමකට ඔහු කියා සිටියේ කිසිදු පොලිස් නිලධාරියෙකු අදාල පුද්ගලයාට පහර දිමක් සිදු නොකල බවයි.

සහෝදරියට එරෙහිව තිබෙන පැමිණිල්ලට මැදිහත් නොවන ලෙසට මෙම පහර කෑමට ලක් වු තරුණයාට දන්වා පොලිසියෙන් බැහැරව යන ලෙසට කල ඉල්ලිමක් මත ඔහු එම ස්ථානයෙන් පිටත්ව යන අවස්ථාවේ පිටගැටපෙල මත වැටි තුවාල සිදුවී ඇති බව අද දෙරණ වාර්තාකරුට අදාල පොලිස් නිලධාරියා පවසා තිබේ.

තවද චින්තක ඩිලාන් නැමැත්තාට එරෙහිව ගිනිගත්හේන පොලිසිය මගින් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු කිහිපයක් පවරා ඇති බවද ගිනිගත්හේන පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියා වැඩි දුරටත් පවසා තිබේ.

***************************************

බන්දුල ගෙන් දඹර අමිලයාට ප්‍රසිද්ධ විවාදයකට ඇරයුමක්

(30.06.2019 – 19:15 +0530 – sinhala.adaderana.lk ඇසුරෙන්)

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද දඹර අමිලට ප්‍රසිද්ධ විවාදයක් සඳහා ආරාධනා කළේය.

ඒ මහ නායක හිමිවරුන් බෞද්ධ දර්ශනයේ ඉගැන්වීම් පසෙකලා ක්‍රියා කරන බවට පසුගියදා දඹර අමිලයා කළ ප්‍රකාශය පිළිබඳවයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රිවරයා වැඩි දුරටත් සඳහන් කළේ එම ප්‍රසිද්ධ විවාදයට පෙර තමන් අසන ප්‍රශ්න කිහිපයකට උන්දෑ පිළිතුරු ලබාදිය යුතු බවයි.

“මහනායක මූලස්ථානවලින්, බෞද්ධ දර්ශනයේ මූලික ඉගැන්වීම් පසෙකලා ඒකට පස්ස පැත්ත හරවලා තමන් මේ වෙනකොට වළඳපු දේවල් සහ අනාගතයේ වළඳන්න හිතාගෙන ඉන්න දේවල් ඉලක්ක කරගෙන බුදුබණ කණපිටට හරවලා හෘද සාක්ෂියට එරෙහි යම් යම් දේශනා සමාජ ගත කරන්න උත්සාහ කරගෙන තිබෙනවා.

අසාර්ථක දේශපාලනඥයන්ගේ එකම අවිය වන්නේ ජාතිවාදය සහ ආගම්වාදයට විතැන් වීමයි. අද මහින්ද රාජපක්ෂගෙන් දකින්නේ ඒකයි. රතන හාමුදුරුවන්ගේ දකින්නේ ඒකයි. විමල්ලා උදය ගම්මන්පිලලාගෙන් දකින්නේ ඒකයි. අස්ගිරියෙන් දකින්නේ ඒකයි. කාදිනල් තුමාගෙනුත් සමහර වෙලාවට දකිනවා. ඒකටත් කුඩුවෙන්න ගහන්න ඕන.” යනුවෙන් පසුගිය දා දඹර අමිලයා විසින් ප්‍රකාශයක් සිදු කරනු ලැබීය.

දඹර අමිලයා විසින් වෛරී සහගත ලෙස මෙවන් ප්‍රකාශයක් කිරීමට ඇති සුදුසුකම කුමක්දැයි එහිදී බන්දුල ගුණවර්ධන මහතා ප්‍රශ්න කර සිටියේය.

මේ පිළිබඳ ප්‍රසිද්ධ විවාදයකට මාධ්‍ය ඉදිරියට පැමිණෙන ලෙසත් විවාදය මාධ්‍ය ඉදිරියේ පවත්වන්න පෙර ප්‍රශ්න කිහිපයකට උත්තර දිය යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

  1. නීති විරෝධී ලෙස රටින් පුද්ගලයන් පිටරට යැවීම හා මුදල් වංචා කිරීම සම්බන්ධ චෝදනා මේ වන විට වලින් නිදොස් වෙලාද?
  2. සුනාමි අවස්ථාවේදී විජාතිකයෙකුට ආචාර්ය උපාධිය විකිණීම පිළිබඳ පරීක්ෂණයෙන් නිදහස් වුණාද?
  3. ලිට්රෝ ගෑස් සමාගම හා එක්ව මූල්‍යමය ප්‍රතිපාදන ලබාගෙන ගෑස් ප්‍රවර්ධන සමිබන්ධ චෝදනාවන්ගෙන් නිදහස් වෙලාද? දැන් ලිට්රෝ ගෑස් සමාගමේ මූල්‍ය ප්‍රතිපාදන ලබාගන්නේ නැද්ද?
  4. දිගුකාලීන බදු පදනම යටතේ පොල් අක්කර 100 ක් වත්කම් හා දේපොළ ලබාගෙන තිබෙනවා.
  5. රාජ්‍ය හෝ රාජ්‍ය නොවන සංවිධානයකින් විශාල ධනස්කන්ධයක් ලබාගෙන තිබෙනවාද?

– යන ප්‍රශ්න දඹර අමිලයා ගෙන් විමසීමට අවශ්‍ය බවත් මේ ප්‍රශ්න මුණගැසී අහන්න බලාපොරොත්තු වන බවත් ඔහු කියා සිටියේය.

තමන්ගේ විශ්වාසය පරිදි උන්දෑට විහාරස්ථානයක් නැති බවත් එම මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *