මඩකලපු ෂරියා විශ්වවිද්‍යාලය ගැන තොරතුරු භාරදෙන්න රතන හිමි FCIDයට වැඩමකරයි

(01.07.2019 – 13:37 +0530 – sinhala.adaderana.lk)

මඩකලපුව පෞද්ගලික විශ්විවිද්‍යාල සම්බන්ධයෙන් තමන් රැස්කර ගත් තොරතුරු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත ලබා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද (01) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත වැඩම කළේය.

මෙම විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් විවිධ ආයතනවලින් ලබා ගත් තොරතුරු මෙලෙස අපරාධ කොට්ඨාසය වෙත බාර දී ඇති අතර, හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා සහ ඔහුගේ පවුලේ අයගේ ආයතනයක් බව ද රතන හිමියන් පවසා සිටියේය.

ඒ අනුව මෙම ආයතනය සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලයෙන්, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට අනුයුක්ත පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ලේඛකයින් සහ වෙනත් ආයතනවලින් ලබා ගන්නා ලද සියලු තොරතුරු අද මුල්‍ය අපරාධ කොට්ඨාසයට බාර දුන් බව ද රතන හිමියන් කියා සිටියේය.

+++++++++++++++++++++++++++++++++++

***************************************

29.06.2019

***************************************

හික්කඩුවේ ප්‍රදේශ කිහිපයට හෙට පැය 9 ක ජල කප්පාදුවක්

(01.07.2019 – 14:41 +0530 – hirunews.lk/sinhala)

බද්දේගම ජල පවිත්‍රාගාරයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු 8.30 සිට පැය 9 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව බද්දේගම, නාගොඩ, හල්පෙතොට, සන්දරවල, ගනේගම, මහගොඩ, මීමැඩුම, ගෝනාපීනුවල, කලුපෙ, තෙල්වත්ත සහ හික්කඩුව නගරයට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති ෴

***************************************

පාලනයෙන් ගිලිහුණු වේගය නැවතුණු හැටි

(01.07.2019 – 14:01 +0530 – hirunews.lk/sinhala)

බෙලිඅත්ත – තංගල්ල ප්‍රධාන මාර්ගයේ සිටිනාමළුව ප්‍රදේශයේ දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නිවසක ගේට්ටුවක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

රියදුරුට රථයේ වේගය පාලනයකර ගැනීමට නොහැකිව ඊයේ (30) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන ආකාරය අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුනේ මේ ආකාරයෙන්.

***************************************

කළුතර – ඈතගම අනතුරකින් එකම පවුලේ හතරක් රෝහලේ

(01.07.2019 – 11:19 +0530 – hirunews.lk/sinhala)

කළුතර, ඈතගම ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ මව, පියා ඇතුළු දරුවන් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

මෝටර් රථයක් තාප්පයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අනතුරෙන් තුවාල ලැබූ සිව්දෙනා කළුතර – නාගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

රියදුරුට නින්දයාම අනතුරට සිදුවීමට හේතු වී ඇති අතර මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පයාගල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.

අනතුර සම්බන්ධයෙන් දකුණු කළුතර පොලිසිය විමර්ශන සිදුකරණු ලබනවා.

***************************************

ETI තැන්පත්කරුවන්ගෙන් මහ බැංකුවට චෝදනාවක්

(30.07.2019 – 22:45 +0530 – hirunews.lk/sinhala)

ස්වර්ණමහල් ජුවලර්ස් ආයතනය බලපත්‍රයක් නොමැතිව ජනතාවගෙන් තැන්පතු ලබාගෙන ඇති බවත් එය ශ්‍රී ලංකා මහ බැංකුව දැනුවත්ව සිට ඇති බවත් ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය චෝදනා කරනවා.

තැන්පත්කරුවන් වෙනුවෙන් කොළඹදි අද (30) පැවති රැස්වීමකදී ඔවුන් මෙම අදහස් පලකළා.

***************************************

පාස්කු ප්‍රහාරය පිටුපස සිටින මහ මොළකරුවන් හදුනාගැනීමටවත් මෙතෙක් හැකි වී නැහැ – කොළඹ සහයක රදගුරු හිමියන්

(30.07.2019 – 21:51 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය පිටුපස ඇති මහ මොළකරුවන් හදුනාගැනීමටවත් මෙතෙක් හැකි වී නොමැති බව කොළඹ සහයක රදගුරු අති උතුම් ජේ.ඩී. ඇන්තනී හිමිපාණන් පවසනවා.

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් එක්වූ මුදල් අධාර ලබාදීම සදහා වැඩම කල මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් හමු වූ අවස්ථාවේදී රදගුරු හිමියන් මේ බව සදහන් කළා.

පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත් වූවන් වෙනුවෙන් ජපානයේ වෙසෙන බෞද්ධ දායකයින් විසින් පරිත්‍යාග කල මුදල් ආධාර අද (30) කතෝලික සභාව වෙත ප්‍රධානය කෙරුණේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන්.

***************************************

බදියුදීන් ගැන හමුදාපති බොරු කියයි.. සිළුමිණ ලිඛිත සාක්‍ෂිය මෙන්න..

(01.07.2019 – 22:12 +0530 – lankacnews.com)

පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා :

රිෂාඩ් බදියුඩීන් ඇමතිවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාවේ පළමු කාරණය ලෙස සඳහන් වූයේ ත්‍රස්ථවාදීන් නිදහස් කරන්න යැයි හමුදාපති වරයාට බලපෑම් කිරීම හරහා ත්‍රස්ත විර්මශන කටයුතු වලට බාධා කළා කියන එකයි. ඒ සඳහා අපි සාක්ෂියට ගත්තේ රජයේ පුවත්පතක් වන මැයි 5 දා සිළුමිණ පුවත්පතට හමුදාපති ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක්. එතුමා ඒ සාකච්ඡාවේ දී කිව්වේ මොකද්ද? විශ්වාස භංග යෝජනාව කෙටුම්පත් කළ පුද්ගයා විදිහට මේ පිළිබද ඇතිවී තිබෙන අර්බුදයේදී මම පැහැදිළි කිරීමක් කළ යුතුයි.

ප්‍රශ්නය : මේ අත්අඩංගුවට ගැනීම් වල දී දේශපාලකයින්ගෙන් ඔබට බලපෑම් එල්ල වූයේ නැත්ද?

පිලිතුර : බලපෑම් ආවා. මන්නාරමේ ප්‍රබල ඇමතිවරයෙකු මට අත්අඩංගුවේ සිටින අය නිදහස් කරන්න කිව්වා. මම කිව්වා අවුරුදු එකහාමාරකට පසුව මට කතා කරන්න කියලා. අන්තවාදින් අවුරුදු එකහාමාරක් රිමාන්ඩ් භාරයේ තබන්න පුළුවන්.

ප්‍රබල වෙන්න හරි දුර්වල වෙන්න හරි මන්නාරමට ඉන්නේ එක ඇමතිවරයායි. ඒ නිසා තමයි හමුදාපති ආණ්ඩුවේ පුවත්පතකට කරන ප්‍රකාශය පළමු චෝදනාව විධියට රිෂාඩ් ඇමතිතුමාට එරෙහි විශ්වාස භංග යෝජනාවට ඇතුළු කලේ. දිනය මැයි 05 වුණත් පුවත්පත ප්‍රසිද්ධ කලේ මැයි 04. අපි විශ්වාස භංග යෝජනාව භාර දුන්නේ මැයි 16. තමන් දුන්නු පිලිතුරු සිතා මතා වෙනස් කරලා පත්තරේ පල කරලා තිබෙන්නේ කියා නිවැරදි කිරීමක් කරන්න හමුදාපතිට දින 12 ක් තිබුණා. නමුත් එහෙම කලේ නෑ.

මෙම නිවැරදි කිරීම නොකළාට විශ්වාසභංග යෝජනාව භාර දුන් දිනට පසු වෙනිදා එනම් මැයි මස 17 වැනිදා මාධ්‍ය හමුවකදීයි මාධ්‍යවේදීන් මේ ගැන හමුදාපතිතුමන් ගෙන් ප්‍රශ්න කළා. එතැනදී යුධ හමුදාපතිතුමන් කියනවා ඔව් රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා මට කතා කළා, ඒක ඉල්ලීමක් කියන්නත් පුළුවන් බලපෑමක් කියන්නත් පුළුවන් කියලා. පොඩ්ඩක් සැර බාල වෙලා තියෙනවා. නමුත් එතුමා පිලිගන්නවා ත්‍රස්තවාදී නිදහස් කරන්න කියලා අමාත්‍යවරයා එයාට කතා කළා, එක ඉල්ලීමක් කියන්නත් පුලුවන් නැත්නම් බලපෑමක් කියලා කියන්නත් පුළුවන් කියන එක. කොහොමහරි නිදහස් කරන්න කියන ඉල්ලීම කරලා තියෙනවා’ එය බලපෑමක් තමයි. එවැනි ඉල්ලීමක් අනිවාර්යෙන්ම ත්‍රස්ත විමර්ශන කටයුතුවලට බලපෑමක් තමයි.

නමුත් ජූනි මස 26 හමුදාපති තේරීම් කාරක සභාව ඉදිරියට ආවාම කියන්නේ වෙනත් කතාවක්. එතුමා කියනවා අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් යුද හමුදා භාරයේ සිටිනවද කියන එකයි රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා දුරකතනයෙන් කතා කරලා මගෙන් ඇහුවේ කියලා. ඇත්තටම ඇහුවේ අසවල් පුද්ගලයා යුධ හමුදා අත්අඩංගුවේ සිටිනවා ද යන ප්‍රශ්නය නම් ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න වසර එකහමාරකට පසුව මට කතා කරන්න කියලා යුධ හමුදාපතිතුමන් කියනවා නම් ඔහු කරලා තියෙන්නේ අතිශය වැරදි වැඩක්. යුද හමුදා බාරයට යම් පුද්ගලයෙක් ගත්ත වෙලාවේ ඔවුන්ගේ පවුලේ අයට, භාරකරුවන්ට අත්අඩංගුවට ගැනීම සම්බන්ධය දැනුම්දීමේ යුතුකමක් යුද හමුදාවට තියෙනවා. ඒ නිසා තමයි තමන්ගෙන් ඇහුවේ මේ පුද්ගලයා අත්අඩංගුවේ ඉන්නවද කියන මේ ප්‍රශ්නේ විතරයි කියලා යුධ හමුදාපතිතුමන් තේරීම් කාරක සභාවේදී කියනකොට සරත් ෆොන්සේකා මැතිතුමන් අහන්නේ එහෙනම් මේ අවුරුදු එකහමාරකින් කතා කරන්න කිව්වේ විහිලුවට ද කියලා.

ඉතින් මේකෙන් යුද හමුදාපතිතුමා මෙතැනදී බොරුවක් කියූ බව පැහැදිලියි. එතුමන් සිළුමිණ පුවත්පතට කල ප්‍රකාශය ඇත්තක්. මැයි මස 17 වැනිදා මාධ්‍ය ඉදිරියේ කළ ප්‍රකාශයද ඇත්තක්. නමුත් තේරීම් කාරක සභාවට ගිහිල්ලා තමන් එතෙක් කියූ කතා විකෘති කරලා වෙනත් කතාවක් කියන්න උත්සාහ කලා කියන එකත් ඒ කියන කතාවෙන් පරස්පරයක් ගොඩනැගෙන බවත් පෙනෙනවා. ඒ නිසා යුධ හමුදාපතිතුමන් කාගෙ හරි බලපෑමකට යටවෙලා කවුරුහරි බයකරගෙන එතුමන් කිව්ව කතාව දැන් වෙනස් කරනවා කියන එක දැන් ඉතාම පැහැදිලියි.

දැන් ත්‍රස්ත විර්මශනය පැත්තකින් තියලා රටේ යුද හමුදාපතිව බය කරන්න සමත් වුණු ගෝනි බිල්ලා කවුද කියන එක වහාම සෙවිය යුතුයි. අපි හැමෝගෙම බිය නැති කරන්න ඉන්න යුද හමුදාපතිතුමා දැන් ඉන්නේ බය වෙලා නම් ඒක ජාතික ආරක්ෂාව පිළිබඳව බරපතළ ප්‍රශ්නයක්.

මේකෙන් පේන්නේ යුද හමුදාපතිවරයා යම්කිසි බලපෑමකට යටත් වෙලා තියෙනවා කියන එකයි. ඒ නිසා තමයි අප කියන්නේ රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රිවරයාගේ මන්ත්‍රිවරුන් පස්දෙනා මත මේ ආණ්ඩුවේ පැවැත්ම රැඳී පවතින තාක් මේ ආණ්ඩුවෙන් පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරයට ගොදුරු වූවන්ට යුක්තිය හා සාධාරණය ඉටු වේවි කියලා අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ.

– අරවින්ද අතුකෝරල

***************************************

Ilakkaya – Sirasa TV – 01st July 2019

64 Min.s

***************************************

අකුරැස්සේ කොල්ලය, මුදල් අයකැමිගේ වැඩක්

(02.07.2019 – 08:12 +0530 – hirunews.lk/sinhala)

අකුරැස්ස නගරයේ මූල්‍ය ආයතනයකින් රුපියල් ලක්ෂ 30කට ආසන්න මුදලක් කොල්ල කෑම සැලසුම් කර ඇත්තේ එම ආයතනයේ මුදල් අයකැමි විසින් බවට අනාවරණ වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මුදල් අයකැමි ද ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

බස් රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් ගිනි අවියක් පෙන්වා බැංකුවක තැන්පත් කිරීමට රැගෙන යමින් සිටි මෙම මුදල් අකුරැස්ස නගරයේදී ඊයේ කොල්ල කා තිබුණා.

පසුගිය ඔවුන් එම මුදල් සමග යතුරුපැදියකින් පළා යමින් සිටියදී පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් හක්මන සහ දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

***************************************

විධායක ජනාධිපතිවරයාට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ඇති බලතල අහෝසි කළ යුතුයි

(02.07.2019 – 09:28 +0530 – sinhala.adaderana.lk)

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සඳහා විධායක ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අහෝසි කර දැමිය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ විධායක ජනාධිපතිවරයකුට පැවරී ඇති බලතල අතර ඇති මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ලැබෙන බලතල අතිශය භයානක බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ වැඩබලන විධායක අධ්‍යක්ෂිකා සුරංගී ආරියවංශ මහත්මිය සඳහන් කළේය.

නිවේදනයක් නිකුත් කරමින් සුරංගී ආරියවංශ මහත්මිය මෙ බව සඳහන් කළේය.

මානව හිමිකම් ස්වේච්ඡා ක්‍රියාකාරිකයින් පිරිසක් සමඟ පසුගිය දා රාජගිරියේ පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ දී පැවැති වැඩමුළුවක් අමතමින් ඇය මේ බව කියා සිටියාය.

එහිදී ඇය පෙන්වා දුන්නේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමේ විධායක බලතල සීමා කිරීමේ හැකියාව ව්‍යවස්ථාදායකය සතුවන බවයි.

පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත මත මෙම බලතලය අහෝසි කළ හැකි බව ඇය සඳහන් කළාය.

1976 වසරින් පසුව ශ්‍රී ලංකාව මරණ දඩුවම ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ජාත්‍යන්තර පැසසුමට පාත්‍ර වී ඇති අතර මරණ දඩුවම ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් 2016 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවකට ද පක්ෂව ශ්‍රී ලංකාව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

ලොව ශිෂ්ට සම්පන්න ප්‍රජාතන්ත්‍රික රටවල් සියල්ලම පාහේ මරණ දඩුවම අහෝසි කර දමා ඇති වකවානුවක යළි මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය කිසිසේත්ම අනුමත කළ නොහැකි බව ආරියවංශ මහත්මිය පෙන්වා දුන්නාය.

සෞදි ආරාබිය වැනි රටවල මරණ දඩුවම ක්‍රියාත්මක කරන නමුත් අපරාධ සිදුවීම නතරවී නොමැති බව පෙන්වා දුන් ආරියවංශ මහත්මිය කියා සිටියේ ලොව අනිකුත් රටවල් දිනෙන් දින සමාජයීය වශයෙන් වේගයෙන් ඉදිරියට යමින් සිටින යුගයක ශිෂ්ටත්වයේ සිට අශිෂ්ටත්වය දක්වා සමාජය පසුපසට රැගෙන යාමේ තීන්දුවක් ලෙස මෙම තිරණය සැලකිය හැකි බවයි.

මත් උවදුර සහ ළමා අපචාර බරපතල සමාජයීය ගැටළුවක් බවත් මරණ දඩුවම වැනි ක්ෂණික විසඳුම් මඟින් ඊට පිළියම් සෙවිය නොහැකි බවත් ඇය සඳහන් කරයි.

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා පවතින නීති රීති පද්ධතිය විධිමත් කිරීමේ වගකීම පසෙක තබා වරදකරුවන් එල්ලා මැරීමෙන් විසඳුම් අපේක්ෂා කළ නොහැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරයි.

ලොව කිසිදු රටක එල්ලා මැරීමෙන් හො ඝාතනය කිරීමෙන් මත්ද්‍රව්‍ය වැනි ජාවාරම් මර්ධනය කර ඇති බවට කිසිදු සාක්ෂියක් නෙමැති බව සඳහන් කරන ඇය කියා සිටින්නේ මත් ජාවාරම් පසුපස සිටින දේශපාලඥයින් පිළිබඳ සොයා බලා කටයුතු කිරීම පසෙක තබා වරදකරුවන් එල්ලා මැරීමට තීරණය කිරීම හුදු ජනප්‍රියත්වය සඳහා ගත් දේශපාලනික තීන්දුවක් බවයි.

ශ්‍රී ලංකාව තුළ යුක්තිය පසිදලීමේ ක්‍රමවේදය පිළිබඳව වන විශ්වාසය පළුදු වී ඇති මෙවන් වකවානුවක මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම පසුපස ඇති පක්ෂපාතීත්වය පිළිබඳව බරපතල සැකයක් මතුවිය හැකි බව පෙන්වාදෙන සුරංගී ආරියවංශ මහත්මිය අවධාරණය කරන්නේ ඕනෑම පාලකයෙකුට සිය විරුද්ධවාදියෙකු වරදකරුවෙකු කර මරා දැමීමේ අත්තනෝමතික බලයක් මේ ඔස්සේ ගොඩනැගෙන බවයි ෴

+++++++++++++++++++++++++++++++++++

මරණ දඬුවමට එරෙහි පෙත්සම විභාගයට අභියාචනාධිකරණයෙන් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

(02.07.2019 – 10:40 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය වලක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම සලකා බැලීමට පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා.

ඒ අනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, දීපාලි විජේසුන්දර, ජනක් ද සිල්වා, අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම අද කැදවනු ලබනු ඇති.

මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබුවේ පසුගිය මස 28 වනදායි.

එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, වැලිකඩ බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරිවරයා සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා නම් කර තිබෙනවා.

මීට අමතරව, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව පෙත්සම් 10 ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ද ගොනුකර තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *