අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දරත් රෝහල් ගත වෙයි

(02.07.2019 – 10:44 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබූ අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ද රෝහල් ගත වී තිබෙනවා.

ඔහු අද උදෑසන නාරාහේන්පිට පොලිස් රෝහලට මෙලෙස ඇතුළත් වී ඇති අතර, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට පරීක්ෂා කරමින් සිටින බවයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවත්ති අංශයට සඳහන් කළේ.

අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දරට අද උදෑසන 10 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර දැනුම් දී තිබුණා.

හිටපු ආරක්ෂක ලේකම්ට CIDය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දීමක්

(02.07.2019 – 09:00 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද (02) දිනයේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇතත්, අසනීප තත්ත්වයක් මත රෝහල් ගතව සිටින බැවින් එළඹෙන 08 වනදා එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කියා සිටියේ තමාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද (02) දින පෙනී සිටින ලෙස ඊයේ (01) දැනුම් දීමක් සිදුකර තිබූ බවයි.

කෙසේ වෙතත්, තමන් මීට දින කිහිපයකට පමණ පෙර අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් වූ බැවින් වෙනත් දිනයක් ඉල්ලා සිටින බව ද ඔහු සදහන් කළා.

මේ අතර, අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ද අද (02) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බවටයි වාර්තා වන්නේ ෴

01.07.2019

+++++++++++++++++++++

අනිවාර්ය නිවාඩු යවා සිටි පොලිස්පතිත් රෝහලේ දී අත්අඩංගුවට

(02.07.2019 – 16:21 +0530 – sinhala.adaderana.lk)

නාරහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අනිවාර්ය නිවාඩු යවා සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මීට ටික වේලාවකට පෙර පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයට අදාළව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණි.

කෙසේවෙතත් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා අද පෙරවරුවේ නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කෙරුණි.

එහි ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

මේ අතර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගත්තේය

+++++++++++++++++++++

පොලිස්පති ධුරය දරමින් රක්ෂිත බන්ධනාගාර ගත වී පුජිත් වාර්තා අතර එක් වෙයි

(03.07.2019 – 06:49 +0530 – sinhala.adaderana.lk)

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ අනිවාර්ය නිවාඩු යාව සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔවුන් දෙදෙනා අද (03) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළ බව පොලිසිය පැවසුවේය.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඊයේ (02) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අත්අඩංගුවට ගනු ලැබුවේය.

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට අදාලව පූජිත් ජයසුන්දර මහතාට සහ හේමසිරි ප්‍රනාන්දු මහතාට ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණි.

කෙසේවෙතත් අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ උදෑසන හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුලත් කල අතර ඇති වු හදිසි හෘදයාබාධ තත්ත්වයක් ‍හේතුවෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ද කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණි.

ඊයේ රාත්‍රියේ නාරාහේන්පිට පොලිස් රෝහල සහ කොළඹ ජාතික රෝහල වෙත පැමිණි මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිට ඉදිරිපත් වූ කරුණු සලකා බලා පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබේ.

මොවුන් දෙදෙනා මේ වන විට බන්ධනාගාර නිළධාරින් භාරයේ තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සදහන්.

පොලිස්පති ධුරය දරමින් සිටියදී චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ප්‍රථම පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා බවට වාර්තාගත වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ෴

***************************************

පෞද්ගලික ආයතනයක අධ්‍යක්ෂවරියකගේ ගිණුමකට පන්කෝටි පනස් ලක්ෂයක් ලැබීම ගැන පරීක්ෂණයක්

(02.07.2019 – 08:11 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික ඉදිකිරීම් ආයතන 3ක අධ්‍යක්ෂවරියක් වූ කිදෙර් මොහොමඩ් සහබ්දීන් අයිෂා නැමති කාන්තාවගේ පෞද්ගලික බැංකු ගිණුමකට බැර වූ රුපියල් පන් කෝටි පනස් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් සැක කටයුතු ගනුදෙනුවක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ කරුණු ඉදිරිපත් කරමින් එම කොට්ඨාශය දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ දැනුම් දීමක් මත මෙලෙස පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

කොළඹ – 7, බෞද්ධාලෝක මාවත ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවට අයත් බැංකු ගිණුමකට මූල්‍ය ආයතනයකින් නිකුත් කරන ලද චෙක්පත් මගින් රුපියල් පන්කෝටි පනස් ලක්ෂයක මුදලක් බැර කරවා එය අවස්ථා කිහිපයකදී සැක කටයුතු ලෙස ලබාගෙන ඇති බව සඳහන් ෴

***************************************

ශ්‍රී ලංකාවේ කදවුරක් පිහිටුවීමේ කිසිදු සැලසුමක් නැහැ – ඇමරිකාව

(02.07.2019 – 07:30 +0530 – hirunews.lk/sinhala)

මෙරට තුළ ඇමරිකානු යුද හමුදා කදවුරක් ස්ථාපිත කිරීමට කිසිදු සැලැස්මක් හෝ අභිලාශයක් නොමැති බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය පවසනවා.

ඇමරිකානු තානාපති අලයිනා ටෙප්ලිට්ස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකාව තුළ ඇමරිකානු යුද හමුදා කදවුරක් ස්ථාපිත කිරීමට යන බවට අසත්‍ය ප්‍රචාර පැතිර යන බවයි.

කෙසේ වෙතත්, එවැනි කිසිදු හමුදා කදවුරක් ස්ථාපති කිරීමේ සැලැසුමක් නොමැති බවටයි ඇය එමගින් සදහන් කර ඇත්තේ.

දැනට දෙරට අතර සාකච්ඡා සිදුකරමින් පවතින්නේ සහයෝගීතා පහසුකම් පිළිබද පමණක් බවත්, ඕනෑම ගිවිසුමක් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට මුළුමනින්ම ගරුත්වය දක්වමින් සිදුවනු ඇති බවත්, ඇමරිකානු තානාපතිනිය අවධාරණය කළා ෴

***************************************

රතන හිමි විෂ බීජයක් – අසාද් සාලි

(01.07.2019 – 23:03 +0530 – hirunews.lk/sinhala)

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විෂබීජයක් බව, බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසනවා.

අද කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් පළකරමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

+++++++++++++++++++++++++++++++++++

රඟපෑම් එපා – ඔප්පු කරන්න – බදියුදීන් රතන හිමිගෙන් ඉල්ලයි

(03.07.2019 – 14:41 +0530 – sinhala.adaderana.lk)

තමාට විරුද්ධව චෝදනා ඇත්නම් මාධ්‍ය හමුවේ රඟපෑම් නොකොට ඒවා ඔප්පු කර පෙන්වන්නැයි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා, පූජ්‍ය අතුරලියේ රතන හිමිගෙන් ඉල්ලීමක් කරයි.

ඊයේ (02) පෙරවරුවේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසට පැමිණි අවස්ථාවේ ඔහු මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.

සතොස ආයතනය සම්බන්ධයෙන් තමාට එල්ල වූ චෝදනා අසත්‍ය බව පවසමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයට පැමිණිල්ලක් කර තිබුණි.

ඔහු ඊයේ එම කොට්ඨාසයට පැමිණියේ පැමිණිලිවලට අදාළ වැඩිදුර තොරතුරු ලබාදීම සඳහායි.

එහිද මාධ්‍ය වේදීන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ පිලිතුරු දුන් හිටපු අමාත්‍යවරයා පැවසුවේ ‘සත්‍යය ජය ගනී’ යනුවෙනි.

තේරීම් කාරක සභාව එතුමාගෙන් ප්‍රශ්න කළ අකාරය සම්බන්ධයෙන් කළ වීමසීමකදි ඔහු පැවසුවේ ඕනෑම චෝදනාවක් එල්ල කරන්නට හැකි බවත් නමුත් තමන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලට නිවැරදිව පිලිතුරු ලබා දුන් බවයි.

ඉඩම් හිමිකම් සම්බන්ධයෙන්ද තමන්ට එල්ල වී ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් තමන්ට හො තම පවුලේ කෙනෙකුට එවැනි හිමිකම් ඇති නම් එවා රජයට බාර ගන්නා බවට තමන් කොමිසම හමුවේ පැහැදිලිව ප්‍රකාශ කළ බවද හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

මුස්ලිම් අමාත්‍යවරුන් අතහැර දැමු අමාත්‍යධූර නැවත බාර ගන්නා බවට අග්‍රාමාත්‍යවරයා මෙන්ම ජනාධිපතිවරයාද පැවසු බවත් නමුත් එලෙස ඇමතිකම් ලබා ගැනීමට කිසිදු හදිස්සීයක් නොමැති බවද හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් මාධ්‍යවේදින් කළ ප්‍රශ්න කිරීම් හමුවේ පිලිතුරු ලබා දුන්නේය ෴

+++++++++++++++++++++++++++++++++++

රතන හිමිගේ ජීවිතයට තර්ජනයක් වුණොත් වගකීම අසාද් සාලි බාර ගත යුතුයි – ජාතික සංඝ සම්මේලනය

(02.07.2019 – 19:26 +0530 – sinhala.adaderana.lk)

පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ජීවිතයට කිසියම් හෝ තර්ජනයක් එල්ල වුවහොත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි එහි වගකීම භාරගත යුතු බවට ජාතික සංඝ සම්මේලනය පවසයි.

රට තුළ ඇති විෂබීජය පූජ්‍ය අතුරලියේ රතන හිමි බවට බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ඊයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් තවත් පාර්ශ්ව රැසක් අද විරෝධය පළ කළේය.

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පූජ්‍ය අතුරලියේ රතන හිමි සම්බන්ධයෙන් ඊයේ මෙවැනි ප්‍රකාශයක් කළේය.

මේ අතර මුස්ලිම් ජනතාවට එරෙහිව ප‍්‍රකාශයක් කළේ යැයි චෝදනා කරමින් අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන්ට එරෙහිව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රෙය් විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා ජිනීවා මානව හිමිකම් කොමසාරිස් සහ පොලිස් මූලස්ථානය වෙත පසුගියදා පැමිණිලි ඉදිරිපත් කර තිබුණි.

එම පැමිණිලි ඉදිරිපත් කළ ආචාර්ය පාක්‍යසෝති සරවණමුත්තුට විරෝධය පළකරමින් ත්‍රෛනිකායික ජාතික භික්ෂු අද පස්වරුවේ පාගමනක් සංවිධාන කර තිබුණි.

ඒ මහනුවර ශ්‍රී වෛශාඛදාන සංගම් ශාලාව අසළ සිට ශ්‍රී දළඳා මාළිගාව වෙතයි.

මේ අතර අසාද් සාලිගේ ප්‍රකාශයට සහ ආචාර්ය පාක්‍යසෝති සරවණමුත්තුගේ ක්‍රියාකලාපයට එරෙහිව අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළවිය.

+++++++++++++++++++++

***************************************

අගමැති රනිල් ගෙන් තවත් විහිළු කථාවක් …

(02.07.2019 – 12:00 +0530 – lankacnews.com)

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය :

අගමැතිතුමා නැවත වතාවක් බුද්ධාගම පිළිබඳ සිය දැනුම ප්‍රර්දශනය කරන්න ගිහින් නොදන්නා කම ප්‍රර්දශනය කර තිබෙනවා. එතුමා කියන විධියට උපවාස කරන්නේ නිගණ්ඪනාථපුත්‍රයින් මිස බුද්ධපුත්‍රයින් නොවේලු. නමුත් විනය පිටකය අනුව භික්ෂුන් වහන්සේලා සියළුම දෙනා හිරු අවරට ගිය මොහොතේ සිට නැවත හිරු පායන තුරු උපවාස කළ යුතුයි. ඒ කියන්නේ පස්වරු 12 සිට පසු දා උදෑසන හය දක්වා දිනපතා පැය 18 ක් උපවාස කළ යුතුයි. අගමැතිතුමන් කියන්නේ සියළුම භික්ෂුන් වහන්සේලා නිගණ්ඪනාථපුත්‍රයින් ද?

ඒ වගේම පෝය දවසට අටසිල් සමාදන් වන අයත් දවල් දොලහේ සිට උපවාස කළ යුතුයි. ඒ කියන්නේ අගමැතිතුමන්ගේ නිර්වචණයට අනුව සියළුම අටසිල් ඇත්තෝ නිගණ්ඪනාථපුත්‍රයින් ද? අවසාන වශයෙන් බුදුන් වහන්සේත් දිනපතා පැය 18 ක උපවාස ශීලය රැක්කා. අගමැතිතුමාට අනුව බුදුන් වහන්සේත් නිගණ්ඪනාථපුත්‍රයෙක් ද?

බෞද්ධයින් පැත්තක තියමු. මුස්ලිම් ජනතාව රාමසාන් මාසයේ දී හිරු පායන මොහොතේ සිට හිරු බැස යන මොහොත දක්වා දිනපතා මාසයක් පුරාවට උපවාස කරනවා. එතකොට සමස්ත ලෝක මුස්ලිම් ජනතාවත් නිගණ්ඪනාථපුත්‍රයින් ද?

මේ සියල්ලටම වඩා උපවාස හරහා දේශපාලන ඉල්ලීම් දිනා ගැනීම ලෝ පුරා ප්‍රචලිත කළ සමස්ථ ලෝකයේම ගෞරවයට පාත්‍රවූ මහත්මා ගාන්ධිතුමාත් නිගණ්ඪනාථපුත්‍රයෙක් ද?

ඒ නිසා පස්දුන් කෝරලය පස් විකුණා ධනවත් වුණා කිව්වා වගේ, තොප්පිගල නිකන්ම නිකන් කැලයක් කිව්වා වගේ, පැරකුම්බාරජතුමන් කුරුඳු විකුණා ධනවත් වුනා කිව්වා වගේ මේකත් අගමැතිතුමන්ගේ විහිළු කතා ලැයිස්තුවට එකතු වන තවත් එක් කතාවක් විතරයි.

– අරවින්ද අතුකෝරල

***************************************

පැනමාව රෑ වැටුණු වලට ලංකාව දවල් ඇද දැමීමට ඉඩ ‌දෙමුද? – නීතීඥ උදය ගම්මන්පිල

‘STOP USA’ සම්මන්ත්‍රණය 2019.06.27

02.07.2019

***************************************

Bodu Bala Sena Media Conference 2019-06-25

මිනිත්තු 54

***************************************

මේ රජය සිටින්නේ වෙව්ලමින් – පූජ්‍ය මාවරලේ භද්දිය හිමි (30.06.2019)

මිනිත්තු 23

***************************************

President Maithreepala Sirisena Criticizes Constitution 18th & 19th Amendment with the meeting of News heads of Media Organization. (30.06.2019)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *