අක්මීමනදී දෙදරු පියාට වෙඩි තැබූ හමුදා සෙබලා පොලිස් භාරයට

(04.07.2019 – 14:00 +0530 – hirunews.lk/sinhala)

අක්මීමන – මානවිල උපනන්ද කණිෂ්ඨ විද්‍යාලයට බලහත්කාරයෙන් ඇතුලුවීමට උත්සහ කළ දෙදරු පියෙකුට වෙඩි තැබූ එහි ආරක්ෂාවට යොදවා සිටි හමුදා සෙබළා පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අද දහවල් තම පුත්‍රයා රැගෙන යාමට බව පවසා මොහු පාසලට බලහත්කාරයෙන් ඇතුලුවූ අවස්ථාවේදී අදාළ පුද්ගලයා සහ හමුදා සෙබළා අතර බහින්බස්වීමක් සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පසුව මොහු ‘හමුදා සෙබළාගේ ගිනි අවිය පැහැරගැනීමට උත්සහ කිරීමේදී’ වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර සඳහන් කළා.

සිද්ධියෙන් තුවාල ලැබූ 39 හැවිරිදි දෙදරු පියා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් සිටි බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියේ.

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=Lr0BdUow3dE#t=5

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=a25pqHa1S68#t=5

+++++++++++++++++++++

අසනීපයෙන් සිටි දරුවා බැලීමට පාසලට ගිය පියා හමුදා වෙඩි කා නසී; හමුදා සෙබළාගේ විරෝධය නොතකා පියා බලෙන් පාසලට ඇතුළු වෙලා! දෙමාපියන්ගෙන් දැඩි විරෝධය !

(05.07.2019 – divaina.com)

ගාල්ල අක්මීමන මානවිල උපනන්ද ජාතික පාසලේ ප‍්‍රාථමික අංශයට ඇතුළුවීමට උත්සාහ කළ එම පාසලේ අධ්‍යාපනය ලබන දරු දෙදෙනකුගේ පියකු පාසලේ ආරක්‍ෂාවට සිටි හමුදා සෙබළකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් ඊයේ (04 වැනිදා) පෙරවරුවේ මියගොස් ඇත.

අසනීප වී සිටි තම දරුවා බැලීමට පාසල වෙත පැමිණි මෙම පියා එහි ආරක්‍ෂාවට සිටි හමුදා සෙබළාගේ විරෝධය නොතකා පාසලට ඇතුළු වීමට උත්සාහ කරද්දී මෙසේ වෙඩි ප‍්‍රහාරයට ලක්ව ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

මෙහිදී ඝාතනයට ලක්වූ පියා නාවික හමුදාවෙන් විශ‍්‍රාම ගිය සෙබළෙකි.

ඊයේ පෙරවරුවේ මෙම පියා තම දරුවා රැගෙන යෑමට පාසලට පැමිණි අවස්ථාවේ හමුදා සෙබළා ඔහුට ඇතුළු වීමට ඉඩ දී නැත. පසුව මෙම පියා පෙරවරු 11.30 ට පමණ නැවත වරක් පාසලට පැමිණ ඇත්තේ තම දරුවාට අසනීප බවට පාසලෙන් කළ දැනුම් දීමකට අනුවය.

ඒ අවස්ථාවේදී ද මෙම හමුදා සෙබළා පියාට පාසලට ඇතුළු වීමට අවසර ලබාදී නැත. එහිදී හමුදා සෙබළා සහ මෙම පියා අතර බහින්බස් වීමක් ඇතිවී තිබිණි. හමුදා සෙබළාගේ විරෝධය නොතකා පියා පාසලට ඇතුළු වී දරුවා සිටි පංති කාමරය දෙසට ගොස් තිබේ.

ඒ අවස්ථාවේ යුද හමුදා සෙබළා පියාගේ පපු ප‍්‍රදේශයට වෙඩි ප‍්‍රහාර එල්ල කර ඇත.

වෙඩි ප‍්‍රහාරවලින් බරපතළ තුවාල ලැබූ පියා ති‍්‍රරෝද රථයකින් රැගෙන ගොස් පසුව ගිලන් රථයකින් ගාල්ල කරාපිටිය රෝහලට රැගෙන යද්දී මියගොස් ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අක්මීමන පොලිසිය පියාට වෙඩි තබා ඝාතනය කළ හමුදා සෙබළා සහ ඔහු සතු ගිනි අවියද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී ඝාතනයට ලක්ව ඇත්තේ අක්මීමන මානවිල පදිංචි සිටි 31 හැවිරිදි කළුතන්ති‍්‍රගේ ප‍්‍රදීප් උදයකුමාර නමැති දෙදරු පියෙකි. ඔහු නාවික හමුදා තූර්යවාදක කණ්ඩායමේ සේවය කර ඉන් ඉවත් වූ අයකු බව විමර්ශනවලින් හෙළිවී ඇත.

ඝාතනයට ලක්වූ ප‍්‍රදීප් උදයකුමාරගේ දරුවන් දෙදෙනා මානවිල ප‍්‍රාථමික විදුහලේ එක සහ දෙක ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන බව පොලිසිය පවසයි. මෙම සිද්ධියෙන් පසු අක්මීමන මානවිල ප‍්‍රාථමිකයේ කුඩා දරුවෝ දැඩි භීතියට පත්ව සිටියහ.

සිද්ධියෙන් පසු කෝපයට පත්වූ දෙමවුපියන් වෙඩි තැබීම සිදුකළ හමුදා සෙබළාට විරෝධය දැක්වීම නිසා පාසලේ උණුසුම් තත්ත්වයක් උද්ගත විය.

යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදිසිංහ මහතාගේ උපදෙස් මත අක්මීමන පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි ෴

+++++++++++++++++++++

උදර කුහරයට වෙඩි වැදී තිදරු පියා මියගිය බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවෙයි

(05.07.2019 – 00:02 +0530 – lankadeepa.lk)

මානවිල උපනන්ද විදුහලේ ආරක්ෂක රාජකාරිවල නිරතව සිටි යුද හමුදා සෙබළෙකු විසින් කළ වෙඩිතැබීමේදී මියගිය තිදරු පියාගේ උදරය පසාරුකරගෙන වෙඩි උණ්ඩය පිටුපස ප්‍රදේශයෙන් පිටවී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත.

මිය ගිය පුද්ගලයා පාසලට අනවසරයෙන් ඇතුළු යාමේදී එහි රාජකාරියේ යෙදී සිටි යුද හමුදා සෙබළෙකු විසින් වෙඩි තබා ඇත.

තිදරු පියගේ උදර කුහරයට වෙඩි වැදීමෙන් රුධිරවාහිනිවලට වූ බරපතල තුවාල හේතුවෙන් අධික ලෙස රුධිරය වහනයවීමේන් මොහු මියගොස් ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ජානකි වරුෂා හැන්නදි මහත්මිය සඳහන් කළාය.

පපුවට පහලින් උදර කුහරයට වෙඩි වැදී ඇති බවත් වෙඩි වැදීමෙන් උදරයේ රුධිරවාහිනි කඩාගෙන ‍ගොස් තිබූ බවත් විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය සඳහන් කළය.

මියගිය තිදරුපියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (04) පස්වරුවේ කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවැත්විණි‍ ෴

+++++++++++++++++++++

අක්මීමන පාසලක් ඉදිරිපිට දී පියෙකු මිය යෑමේ සිද්ධියේ වගකීම රජය භාර ගත යුතුයි

(05.07.2019 – 15:42 +0530 – sinhala.adaderana.lk)

ගාල්ල අක්මීමන ප්‍රදේශයේ පාසලකට ඇතුළු වු තිදරු පියෙකුට ආරක්ෂක නිලධාරියා විසින් එල්ල කළ වෙඩි පහරින් මිය යෑමේ සිදුවීමේ වගකීම රජය විසින් භාරගත යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

අද (05) පැවති මාධ්‍ය හමුවකදී සිය අදහස් පල කරමින් ඒ මහතා මෙම අදහස් පල කළේය.

“ගාල්ලේ සිද්ධියේ පියාගේ අභාවය සම්බන්ධයෙන් වගකීම රජය භාරගත යුතුයි.

රටේ ජාතික ආරක්ෂාව කඩාවැටීම නිසයි පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වුණේ.

ඒ ප්‍රහාරය සම්බන්ධයෙන් සහ එවැනි ප්‍රහාරයක් නැවත ඇති නොවීම සම්බන්ධයෙන් රජයපියවර නොගැනීම නිසා වසර දහයකට පසුව නැවත දෙමව්පියන්ට පාසල් වල මුර සේවයට යන්න සිද්ධ වුණා.

මේ මරණයත් රජයේ වගකීමක්.

රජයේ නොහැකියාව, ජාතික ආරක්ෂාව නොසලකා හැරීම පුරවැසියා ගේ ජීවිත වලට වටිනාකමක් ලබා නොදීම නිසා සිදු වූ මරණයක් විදියටයි අපි මේ මරණය දකින්නේ.

අපේ රජය සමයේ යම් යම් සිදුවීම් ඇති වුණා. එවකට විපක්ෂයේ සිටි මේ ආණ්ඩුව ඒ සියලු සිදුවීම් වල වගකීම පැවරුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ නමටයි.

අපි මේ සිදුවීමේදී වගකිවයුතු විපක්ෂයක් විදිහට එවැනි තත්ත්වයට වැටෙන්න සූදානම් නැහැ.

නමුත් ආරක්ෂාව සම්බන්ධයෙන් උදාසීන පියවරක් ගෙනයාම නිසා ඒ මරණයේ වගකීම ආණ්ඩුව බාරගත යුතුයි.” යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළ සිටියේය.

+++++++++++++++++++++++++++++++++++

අක්මීමන පාසලක් ඉදිරිපිට දී වෙඩි වැදී මියගිය ප්‍රදීප් ගෙදරින් ගිය අවසන් ගමන – CCTV දර්ශන සහිතයි

(09.07.2019 – 19:36 +0530 – sinhala.adaderana.lk)

ඉකුත් ජූලි 4 වෙනිදා ගාල්ල අක්මීමන උපනන්ද විද්‍යාලයේදී එහි ආරක්ෂාවට සිටි හමුදා සෙබළකු සිදු කළ වෙඩිතැබීමකින් මියගිය තිදරු පියා පාසලට පිටත්ව යාමට පෙර සිය ගෙමිදුලෙහි රැඳී සිටි ආකාරය ඔහුගේ නිවසේ සීසීටීවී කැමරාවක මෙලෙස සටහන්ව තිබේ.

මියයාමට පෙර ඔහු සිය යතුරුපැදියෙන් පිටව ගොස් සිය දියණියද සමඟ නැවත පැමිණෙන ආකාරයත් නැවතත් දියණියද සමඟ යතුරුපැදියෙන් පිටව යන ආකාරයත් එහි සටහන්ව තිබුණි.

පසුගිය 4 වන දා දහවල් 12.05 ට පමණ අක්මීමන පොලිස් වසමේ මානවිල් ප්‍රදේශයේ පාසලකට බලහත්කාරයෙන් ඇතුළු වීමට ගිය පුද්ගලයෙකුට ආරක්ෂක නිලධාරීන් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබිණි.

උපනන්ද කණ්ෂ්ඨ විද්‍යාලයේ යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකු ආරක්ෂක රාජකාරී යොදවා තිබී ඇත.

විදුහලේ එක් දොරටුවක් ආසන්නයේ රාජකාරී යොදවා සිටි නිලධාරියෙකු විසින් බලහත්කාරයෙන් විදුහලය ඇතුළු වීමට ගිය මෙම පුද්ගලයා නතර කර පරීක්ෂා කිරීමට උත්සහ කර ඇති අතර, එහිදී යුද හමුදා නිලධාරීයාට බාධා කරමින් ගිනි අවිය උඳුරා ගැනීමට උත්සහ දරා ඇත.

එම අවස්ථාවේ දී එය මැඩ පැවැත් විමට යෑමේ දී මෙම පුද්ගලයාට වෙඩි වැදී ඇත.

සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළු කිරීමේ දී මිය ගොස් තිබිණි.

https://www.youtube.com/watch?v=8P7T48zV9PQ#t=5

***************************************

අටලුගම ෆාතිමාගේ හෙළිදරව්වෙන් පසු එවැනි පැමිණිලි සිය ගණනක් බොදු බල සේනාවට ලැබෙයි

(05.07.2019 – nethgossip.lk)

සිංහල ස්වාමිපුරුෂයකු විවාහ කරගැනීම හේතුවෙන් සිය සමාජයේ තාඩන පීඩන හා කරදරයන්ට මුහුණ දුන් අබ්දුල් හසන් ෆාතිමා හයිෆා නැමති බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතික කාන්තාවගේ හෙළිදරව් කිරීමත් සමග එවැනි ආකාරයේ පැමිණිලි සිය ගණනක් තම සංවිධානයට පසුගිය දින දෙක තුළ ලැබී ඇතැයි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.

දුරකථන මාර්ගයෙන් සහ තවත් නොයෙකුත් ක‍්‍රම මගින් එවැනි ආකාරයේ සිදුවීම් රටේ හතර දෙසින් දිගටම සිය සංවිධානයට ලැබෙමින් ඇති බවත් උන්වහන්සේ පවසයි.

අටලූගම මුස්ලිම් කාන්තාව මාධ්‍ය ඉදිරියේ නොබියව පෙනී සිටීම එවන් පීඩනයන්ට මුහුණ දුන් අනෙකුත් කාන්තාවන්ට විශාල උත්තේජනයක් වී ඇති බව පැවසූ ඥානසාර හිමියෝ මෙවැනි ආකාරයේ හෙළි කිරීම් රැසක් ඉදිරියේදී සිදු කරන බවද සඳහන් කරති.

ඉහත කාන්තාව සිදුකළ හෙළි කිරීමෙන් නිරුවත් වූ බොහෝ පාර්ශ්වයන් කලබලයට පත්ව ඇති බවත්, එහෙයින් අදාළ කාන්තාවට නොයෙක් ආකාරයේ චෝදනා එල්ල කිරීමට පෙළඹී ඇති බවත් ඥානසාර හිමියෝ වැඩිදුරටත් පවසති ෴

+++++++++++++++++++++

හසම් ෆාතිමාට සාධාරණයක් ඉටු කරමු

(05.07.2019 – divaina.com)

සෑම තැනැත්තකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහසද, ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ ද නිදහස ද ඇතුළුව සිතීමේ නිදහසට හෘද සාක්‍ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇතැයි ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වේ.

මෙම පොදු නීතිමය තත්ත්වයට ශ‍්‍රී ලාංකික සැවොම යටත් වේ. බොදුනුවන්, කිතුනුවන්, හින්දුන් මෙන්ම ඉස්ලාම් ඇතුළු සියලු ආගම් අදහන සෑම දෙනා ද මෙම නීතියට යටත් ය. ආගම නිසා කිසිදු තැනැත්තකු වධ හිංසාවලට හෝ කෲර අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමට යටපත් නොකළ යුතු බව ද ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වේ.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ එසේ සඳහන් වුවද ආගමික ප‍්‍රශ්නයක් නිසාම බණ්ඩාරගම අටුළුගම මුස්ලිම් ජාතික කාන්තාවක් වූ අබ්දුල් හසම් ෆාතිමා මහත්මියට මුහුණදීමට සිදු වූ ඛේදවාචකය අතිශය අමානුෂිකය. 2008 වර්ෂයේදී ඇය විවාහ වනුයේ සිංහල බෞද්ධයකු සමගිනි. ඇය විවාහ වී අටුළුගම ප‍්‍රදේශයට ගිය විට ආගමික අන්තවාදයෙන් උන්මත්තක වූ පිරිසක් ඔවුන්ට ගමෙන් යන ලෙස තර්ජනය කරති. ඇය ස්වාමියාත් සමඟ මාලඹේ පදිංචියට පැමිණෙන්නේ ඉන් පසුවය. ඇය නැවත අටුළුගම ඇයගේ අම්මාගේ නිවසට පැමිණි අවස්ථාවේදීත් නොයෙකුත් තර්ජන එල්ල වන්නේය. මේ උන්මත්තකයෝ ඇයගේ ස්වාමියා ගමෙන් එළවන්නේය. ඇය දරුවා මෙළොවට බිහිකිරීමෙන් පසු ඇගේ ස්වාමිපුරුෂයා නිවසට ආ විට ඔහුගේ බෙල්ලට උල් පිහියක් තබා ඔහුට ආගම වෙනස් කරන ලෙස උන්මත්තකයෝ තර්ජන කරන්නාහ. නමුත් ඔහු ඊට විරුද්ධ විය. දින කීපයකට පසු එළඹි රාති‍්‍රය ඔවුන්ගේ ජීවිතයේ අවාසනාවන්ත දිනයක් බවට පත්වන්නේය. මෙම ආගමික උන්මත්තකයෝ ඇය සිටි නිවසේ දොරවල් කඩා ඇතුළුවෙති. පල්ලියෙන් කියා පැමිණෙන මෙම උන්මත්තකයෝ ඇයට සහ දරුවන්ට පහර දී පාර දිගේ ඇදගෙන යති. ඔවුන් අඬන දර්ශන ද වීඩියෝ කරති. ඇය පවසන අයුරින් මෙම සියල්ල සිදුවනුයේ පොලිසියේ කීපදෙනකු ද බලා සිටියදීය. අවසානයේදී ඇයගේ දරුවෝ අඬ අඬා අම්මාව කූඩුවට දාන්න එපා යැයි කකුල් අල්ලා වඳිද්දීත් පොලිසියේ උන්නැහෙලා ඇයව කූඩුවට දමති.

අතිශය ම්ලේච්ඡ මෙම ප‍්‍රහාරය සාමය රැකීමට සිටින පොලිස් නිලධාරීන් ඉදිරියේ සිදුවීම අතිශය කනගාටුදායකය. පොලිසිය පිළිබඳවත් පොලිසියේ බොහෝ නිලධාරීන් පිළිබඳවත් අද මහජනතාව තුළ ඇත්තේ එතරම් හොඳ චිත‍්‍රයක් නොවේ. මෙම සිද්ධිය ද ඊට හොඳම නිදසුනකි. යහපාලන ආණ්ඩුවත් සමඟ ඇති කළ පොලිස් කොමිසම හෝ මෙම සිද්ධිය පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් කර වැරදිකරුවන්ට අනිවාර්යයෙන්ම දැඩි දඬුවම් දිය යුතුය.

මෙම සිදුවීම ආගමික අන්තවාදීන්ගෙන් සිදු වූ දැඩි මානව හිමිකම් කඩකිරීමකි. කාන්තා දිනයේදී කාන්තාවන්ගේ අයිතිවාසිකම් ගැන කෑමොර දෙන නෝනලා ඇය වෙනුවෙන් කුමන හඬක් නඟනු ඇත්දැයි අපි බලා සිටිමු. එපමණක් නොව ආගමික සංහිඳියාව සහජීවනය ගැන කතා කරන එන්ජීඕ නඩ මේ සිද්ධිය පිළිබඳ කුමන ප‍්‍රතිචාරයක් දක්වනු ඇත්දැයි අපි අසමු. එහෙත් අපි එක් කාරණයක් දැඩිව අවධාරණය කරනු කැමැත්තෙමු.

මේ රටේ ඕනෑම පුරවැසියෙකුට තමන් කැමති ආගමක් ඇදහීමටත්, තමන් කැමති අයකු විවාහ කර ගැනීමටත් ඇති අයිතියට කාටවත් බලපෑම් කළ නොහැක. විශේෂයෙන් ඉස්ලාම් දහම අදහන සැබෑ මුස්ලිම් බැතිමතුන්ගෙන් අප ඉල්ලා සිටිනුයේ ඔබටත්, ඔබේ ආගමටත් නිඟා දෙන මෙම තුච්ඡ උන්මත්තකයන්ට තවදුරටත් වැඩෙන්නට ඉඩකඩ නොදෙන ලෙසයි. මුස්ලිම්වරුන්ට මෙන්ම අප රටේ සියලු ජාතීන්ට නිදහස් නිවහල් සාමයෙන් ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීමට නම් අන්තවාදය පරාජය කළ යුතුමය ෴

***************************************

දළදා මැඳුරට, කලවංචිකුඩි දෙව් මැඳුරට පහර දීමේ තව්හිද් ජමාත් සැලසුමක්

(05.07.2019 – divaina.com)

ජාතික තව්හිද් ජමාත් සංවිධානය මහනුවර ශ‍්‍රී දළදා මාලිගාවට සහ කලවංචිකුඩි දෙව්මැඳුරට ප‍්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර තිබූ බව විමර්ශනවලින් හෙළිවී ඇත.

අත්අඩංගුවට ගත් සහරාන් හෂීම්ගේ සගයන් කීප දෙනකුගෙන් මේ බව හෙළිවී තිබේ.

දළදා මාලිගාව සහ පල්ලිවලට ප‍්‍රහාර එල්ල කිරීම සඳහා බෝම්බකරුවන් 11 ක් සූදානම් කර තිබූ බවද විමර්ශනවලින් හෙළිවී ඇත.

මේ අතර රජයේ බුද්ධි සේවා විසින් ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ආරක්‍ෂිත නිවසක් මීගමුවේ තිබී සොයාගෙන ඇත ෴

***************************************

‘පුරවැසි අත්වැල’ මද්‍රසා පාසලේ නිරීක්ෂණ චාරිකාවක

(05.07.2019 – divaina.com)

නාත්තන්ඩිය මැතිවරණ කොට්ඨාසයට අයත් කොට්ටරාමුල්ල මද්‍රසා මුස්ලිම් පුහුණු පාසලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ දංකොටුව පුරවැසි අත්වැලේ කැඳවුම්කරු හා වෙන්නප්පුව ප‍්‍රාදේශීය සභාවේ මහජන නියෝජිත (ශ‍්‍රීලනිප) ගෝඨාභය වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ නිලධාරී පිරිසක් සංහිඳියාව ගොඩනැංවීම සඳහා මුස්ලිම් ප‍්‍රජාව අනුගමනය කළ යුතු කරුණු ඇතුළත් උපදෙස් මාලාවක් ඔවුනට ලබාදුනි.

මවුලවිවරයකු වීම සඳහා වසර 06 කට ආසන්න කාලයක් මෙම මද්‍රසා මුස්ලිම් පාසලේ ඉගෙනුම ලබන දරුවන්ට සිංහල භාෂාවෙන්ද අදාළ පොතපත කියාදීම වැඩදායක බව පෙන්වා දුන් වික‍්‍රමසිංහ මහතා, සිංහල භාෂාව කතා කරන එකම රට ශ‍්‍රී ලංකාව නම් එහි සෑම ජන කොටසක්ම සාමයෙන් සමගියෙන් විසීමට බාලවියේ සිටම ඔවුනට සිංහල පොතපත කියා දිය යුතු බව පැවසීය. මෙම පුහුණු පාසලේ සියලූම පොතපත අරාබි භාෂාවෙන් ඇතිනම් එම දරුවන් සිංහල භාෂාව ඉගෙනීමක් නොමැතිව සිංහල රටක සිංහල ජනතාව හමුවට යන්නේ කෙසේ දැයි ප‍්‍රශ්න කළ වික‍්‍රමසිංහ මහතා ජාති ආගම් භාෂා ගැටුම් අවම කිරීමට නම් සියල්ලටම පෙර මද්‍රසා මුස්ලිම් පුහුණු පාසල් දරුවන්ට සිංහල භාෂාව ගැන දැනුමක් ලබාදී සිංහල ජනතාව සමග සාමයෙන් හා සමගියෙන් ජීවත්වීමට හා රටේ සංහිඳියාව ගොඩනැංවීමට රජය හා මුස්ලිම් බලධාරීන් වහා පියවර ගත යුතුව ඇති බවද පෙන්වා දුනි.

ගෝඨාභය වික‍්‍රමසිංහ මහතා මුස්ලිම් ආගමික නායකයන්ට කරුණු කියාදෙන අයුරු ඡායාරූපයේ දැක්වේ ෴

***************************************

වව්නතිව් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට ගහලා ගිනි අවිය පැහැරගෙන

(05.07.2019 – divaina.com)

මඩකලපුව, වව්නතිව් පුදූර් ප‍්‍රදේශයේදී ඊයේ (04 වැනිදා) රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුට පහර දුන් පිරිසක් එක් නිලධාරියකු සතුව තිබූ රාජකාරි රිවෝල්වරය පැහැරගෙන පලාගොස් තිබේ.

පහර දීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා ප‍්‍රතිකාර සදහා මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සහ ගිනි අවිය සොයා ගැනීම සදහා ඊයේ දහවල් පොලිසිය හා ආරක්‍ෂක අංශ පුදූර් ප‍්‍රදේශය වටලා විශේෂ මෙහෙයුමක් ද ක‍්‍රියාත්මක කර තිබිණි.

රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා ඊයේ පෙරවරුවේ රියැදුරු බලපත‍්‍රයක් නොමැතිව යතුරුපැදියක පැමිණි දෙදෙනකු නවතා යතුරුපැදිය ධාවනය කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට සූදානම් වී ඇත.

මේ අවස්ථාවේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සැකකරු මුදා ගැනීම සදහා වෙනත් යතුරුපැදියකින් එම ස්ථානයට පැමිණෙමින් සිටි පුද්ගලයන් දෙදෙනකු යතුරුපැදිය ලිස්සා ගොස් බිම ඇද වැටී තිබේ.

ඒ සමගම එම ස්ථානයට පැමිණි ප‍්‍රදේශවාසී දෙමළ ජාතිකයන් පිරිසක් පොලිස් නිලධාරීන් දෙදෙනාට පහරදී එක් නිලධාරියකු සතුව තිබූ ගිනි අවිය පැහැරගෙන ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසයි ෴

+++++++++++++++++++++

මඩකලපුවේ පැහැර ගත් පොලීසියේ රිවෝල්වරය හමුවෙයි

(05.07.2019 – 16:48 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව පුදුර් ප්‍රදේශයේදී රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ රාජකාරියට බාධා කර පැහැර ගැනීමට ලක්වූ ඔවුන් සතුව තිබුණු රිවෝල්වරය ප්‍රදේශයේ අතුරු මාර්ගයක දමා ගොස් තිබියදී අද (05) සොයා ගනු ලැබුවා.

ප්‍රදේශය භාර උසස් නිලධාරියෙකු සඳහන් කළේ අද (05) පස්වරු 4 ට පමණ මෙම රිවෝල්වරය සොයා ගත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 05 දෙනෙකු ද ඊයේ (04) අත්අඩංගුවට ගත්තා.

බලපත්‍රයක් නොමැතිව යතුරුපැදියක් ධාවනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන මඩකලපුව පොලීසිය වෙත රැගෙන එමින් සිටියදී මෙම සිද්ධිය සිදුව ඇති බවයි වාර්තා වුණේ ෴

***************************************

උතුරු නැගෙනහිර විහාරස්ථන ගැන සැලකිල්ලක් නොදැක්වීමට පුරාවිද්‍යාව අගමැති රනිල්ට ලිඛිතව පොරොන්දු වෙලා

(05.07.2019 – 06:22 +0530 – lankacnews.com)

උතුරු නැගෙනහිර පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති වෙහෙර විහාරස්ථාන සදහා කිසිදු සැලකිල්ලක් නොදක්වන බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිඛිතව පොරොන්දු වී තිබෙන බව හෙළ ජන බලය සංවිධානයේ කැදවුම්කරු නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා සදහන් කළේය.

නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ වස් ආරාධනා පිංකම නොකරන ලෙසට පොලිසිය මගින් බලපෑම් එල්ල කිරීම පිළිබදව අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් බැල්ලන්තුඩාව මහතා මෙම අදහස් පළකළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා :

“කොළඹ ඉඳල රටේ ඒකීය භාවය ගැන බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදිය යුතුබවට කෑගසන කිසිදු පුද්ගලයෙක් නයාරු විහාරස්ථනය පිළිබදව පැත්තවත් හැරිලා බලලා නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය බුද්ධ ශාසනය කියන කාරණයට සංඝරත්නය /බෞද්ධ වෙහෙර විහාර /වත් පිලිවෙත් සියල්ල අයිතියි. වස් ආරාධනාව කියන්නේ බෞද්ධ සම්ප්‍රදායේ වැදගත් අංගයක්. ඒ සම්ප්‍රධායන් වගේම බෞද්ධ උරුමයන්ට හානිවන ලෙසට නීති පනවන්න සීමා පනවන්න පොලිසියට බැහැ.

මාධ්‍ය මගින් වාර්තා වනවා මුලතිව් පොලිස් අධිකාරීවරයා මේ වස් පිංකම් මාලාව කරන්න දෙන්නෙ නැහැ කියල . ඔහු කියා තිබෙනවා එහෙම උනොත් මහාධිකරණයේ තීන්දුව දරුණු වෙයි කියල. අධිකරණයේ තීන්දුව ගැන අනාවැකි කියන්න උන්නැහෙට තියෙන බලය මොකක්ද . ඒවාගේම ඔහු මේ සිද්ධිය වාර්තා කරල තියෙන මාධ්‍යවේදියාට උසාවි ගෙනියනව කියල තර්ජනය කරල තියෙනවා.

උතුරු නැගෙනහිර බෞද්ධ උරුමය රකින්න බුද්ධ ශාසන අමාතයාංශය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පොලිසිය කටයුතු කරන්නේ නැත්නම් අපි ඒ වෙනුවෙන් සිංහල බෞද්ධයන් පෙලගස්වන බව සදහන් කලේය.

එමෙන්ම බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදියු යුතු බවට ලියවිලා තිබුණ පමණට බෞද්ධ උරුමය රැකෙන්නේ නැහැ. ඒ සදහා මහ පොළවේ අපේ උරුමට ආරක්ෂා කරගත යුතුයි.

බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වියයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බුද්ධශාසන අමාත්‍යාංශය අද නිහඩයි. පුරාවිද්‍යා කොමසාරිස්තුමා උතුරු නැගෙනහිර පුරාවිද්‍යා නඩුවක් සදහා උසාවිට ඉදිරිපත් කරන්න වෙලා තියෙන්නෙ මරන්න ගෙනියන හරකෙක් වගේ.

අපි ජනාධිපතිතුමාට කියනවා මේ එතුමාගේ අවසාන කාලය; යන තැනකට වැඩක් කරගන්න හරි මෙම ගැටලුවට මැදිහත් වෙලා අපේ උරුමය රැකගන්න ඉදිරිපත් වෙන්න කියල. ඒ වගේම විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයටත් කියනවා හැංගිහොරා ගේම් ගහන්නේ නැතිව මේ අපේ උරුමය රැකගැනීමට වැඩපිළිවෙලක් ප්‍රකාශ කරන ලෙසට.” යනුවෙන්ද බැල්ලන්තුඩාව මහතා තවදුරටත් අදහස් දක්වන ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරධිපති කොළඹ සද්ධර්මකිත්ති ස්වාමීන්වහන්සේ ගුරුකන්ද රජමහා විහාරයේ දායක සභාවේ ලේකම් බන්දුල ලියනගේ / නීතීඥ රෝහණ තල්පාවිල හෙළ ජන බලය සංවිධානයේ මධ්‍යමණ්ඩල සභික මතුගම සෙනෙවිරුවන් යන මහත්වරු අදහස් දැක්වූහ.

– HJB MEDIA

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *