රටට නොගැලපෙන කිසිදු විදේශීය ගිවිසුමකට අත්සන් තැබීමට ඉඩ නොදෙන බව ජනපති කියයි

(06.07.2019 – 17:18 +0530 – hirunews.lk/sinhala)

රටේ ස්වාධීනත්වයට හා ස්වෛරීත්වයට අභියෝගයක් වන මෙන්ම රටට නොගැලපෙන කිසිදු ආකාරයේ විදේශීය ගිවිසුමකට කිසිදු බලවතෙකු සමඟ අත්සන් තැබීමට තම නිල කාලය ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

ඒ, බිබිල මහජන ක්‍රීඩාංගනයේ අද පැවති රට වෙනුවෙන් එකට සිටිමු – මොණරාගල දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ ප්‍රගති සමාලෝචන සහ සමාප්ති වැඩසටහනට එක්වෙමින්.

රට පාවා දෙන සෝෆා, මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ඇතුළු ගිවිසුම් කිහිපයක් සහ රටට නොගැලපෙන ඉඩම් පනතක් පිළිබඳව මේ වනවිට සමාජයේ කතාබහක් පවතිනවා.

සාකච්ඡා සහ සංවාද කුමන අන්දමින් පැවතියද රටට හානිවන සහ රටට නොගැලපෙන එබඳු කිසිදු ගිවිසුමකට එළැඹීමට තමා ඉඩ නොතබන බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේ.

එමෙන්ම, මත්ද්‍රව්‍ය ජාවාරම විනාශ කිරීමට නායකත්වය ගෙන ඇති විට ඇතැම් පිරිස් දේශපාලන භේදයකින් තොරව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වී සිටින බව ද, ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.

මේ අතර, වැල්ලවාය මූලික රෝහලේ අලුතින් ඉදිකළ නව වකුගඩු රෝගී සායන මධ්‍යස්ථානය සහ රුධිර කාන්දුකරණ ඒකකය අද දහවල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් විවෘත කරනු ලැබුවා.

***************************************

ඉරාජ්ගේ ලක්‍ෂ 11 ක ෆේස්බුක් ගිණුම අවහිර කිරීමෙන් බුකිය ඇවිලේ.. ජනාධිපතිට – අගමැතිට ගල් ගසා එලවන දවසක් එන බව අශේන් කියයි..

(07.07.2019 – 14:10 +0530 – lankacnews.com)

ජනාධිපතිට ගල් ගහන කාලයක් එනු ඇති බව යු ටියුබයේ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන අශේන් සේනාරත්න මහතා කියයි.

සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතාගේ ෆේස්බුක් ගිණුම අවහිර කිරීම ගැන අදහස් පල කරමින් ඔහු මේ අදහස් පල කලේය.

ජනාධිපති කාර්යාලය, අගමැති මන්දිරය වරට කර පයින් ගසා එලවන දිනයක් එනු ඇතැයිද ඔහු පැවසීය.

මිලියන 1.1 ක සාමාජික ප‍්‍රමාණයක් සිටි තම ෆේස්බුක් ගිණුම අවහිර කර ඇත්තේ ආණ්ඩුවේ මැදිහත් වීමෙන් බවද ඉරාජ් වීරරත්න මහතා කියා සිටී ෴

***************************************

යන ගමන අතරමග නතරකළ යතුරුපැදි අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි

(06.07.2019 – 16:36 +0530 – hirunews.lk/sinhala)

එදිනෙදා මහමග සිදුවන බොහෝ රිය අනතුරුවලට හේතුව නොසැලකිලිමත් රිය ධාවනයයි.

මෙලෙස නොසැලකිල්ල හේතුවෙන් සිදුවන තවත් එවැනි අනතුරක් දැක්වෙන CCTV දර්ශන පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා.

අදාළ අනතුර සිදුව ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේදී.

එහිදී මාර්ගය අසල නවතා තිබෙන ලොරි රථයක් එක්වරම මාර්ගයේ ගමන් ආරම්භ කරන අතර එය පසුකර යාමට පැමිණෙන මෝටර් රථයක් එක්වරම තිරිංග යොදනු ලබනවා.

එම අවස්ථාවේ මෝටර් රථය පසුපස පැමිණි යතුරුපැදියක් වේගය පාලනය කරගැනීමට නොහැකිව මෝටර් රථයේ පසුපස වැදී එම අනතුර සිදුවන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුනේ මෙලෙසින්.

https://www.youtube.com/watch?v=MshxorX6i_A#t=5

***************************************

යකඩ කම්බි කූරු තොගයක් ලංගම බස් රථයේ ඉදිපස වීදුරුව කඩාගෙන ඇවිත් සිදුවූ අනපේක්ෂිත අනතුර

(06.07.2019 – 12:17 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩාරවෙල – වැලිමඩ ප්‍රධාන මාර්ගයේ මාතැටිල්ල ප්‍රදේශයේ දී අනතුරක් සිදුව තිබෙනවා.

ලොරි රථයක වහලය මත තිබූ යකඩ කම්බි කූරු තොගයක් ලංගම බස් රථයක ඉදිපස වීදුරුවේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ලංගම බස් රථය වෙනත් වාහනයක් ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසට ලොරි රථයක් පැමිණ ඇති අතර බස් රථය එහි ගැටීමෙන් වැලැක්වීම සඳහා ලොරි රථයේ රියදුරා තිරිංග යෙදූ අවස්ථාවේ ලොරි රථයේ වහලය මත තිබූ යකඩ කූරු මෙලෙස බස් රථයක ඉදිපස වීදුරුවේ ගැටී තිබෙනවා.

අද (06) උදෑසන මෙම අනතුර සිදුව ඇති අතර රියදුරන්ගේ නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි බණ්ඩාරවෙල පොලිසිය පැවසුවේ.

***************************************

පානදුර උතුර පොලීසියේ ටී 56 ගිනි අවි දෙකක් අතුරුදන්

(07.07.2019 – 14:15 +0530 – lankadeepa.lk)

පානදුර උතුර පොලීසියේ තිබූ ටී 56 ගිනි අවි දෙකක් අස්ථානගත වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් අරඹා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඉකුත් 05 වැනිදා රාත්‍රි කාර්යභාර නිලධාරියා රාජකාරි බාර ගැනීමෙන් අනතුරුව මේ පිළිබද හෙළි වී ඇතැයි පොලීසිය කියයි.

මෙම ගිනි අවි දෙක අවසන් වරට ඉකුත් 11 සහ 19 වැනි දිනක නිලධාරීන් දෙදනකුට මුදා හැර නැවත බාරදී ඇතැයි ආරංචි මාර්ග කියයි ෴

***************************************

මිහිදු හිමි වැඩසිටි පිළිමගෙය අනුරාධපුරයෙන් සොයාගනී

(07.07.2019 – 12:02 +0530 – lankadeepa.lk)

මිහිඳු මහරහතන් වහන්සේ අනුරාධපුරයේ ස්ථිරව වැඩසිටි විහාරයේ පිළිමගෙය සොයාගැනීමට අනුරාධපුර මහවිහාර ව්‍යාපෘතියට හැකිවූ බව එම ව්‍යාපෘතියේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ මහාචාර්ය ටී.ජී.කුලතුංග මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ පළමුවැනි බෞද්ධ ආරාමය වශයෙන් සලකනු ලබන්නේ ක්‍රිස්තු පූර්ව250 දී මිහිදු මහරහතන්වහන්සේ උදෙසා දේවානම් පියතිස්ස රජතුමා විසින් මහ මෙවුනා උයනේ ඉදිකළ මෙම තිස්සාරාමයහෙවත් මහා විහාරයයි.

වස්සාන සමයේ මිහින්තලේ වැඩ සිටි මිහිදු මහ රහතන් වහන්සේ නිත්‍ය වශයෙන් වැඩ සිටියේ මෙම ආරාමයේ බව ඉතිහාසඥයෝ සඳහන්කරති.

මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ක්‍රියාත්මක මහා විහාර ව්‍යාපෘතිය මගින් මෙම ස්ථානයේ කැණීම් ආරම්භ කරනු ලැබුවේ පසුගිය වසරේදී ය. මෙම පිළිම ගෙය පිහිටා ඇත්තේ ලෝවාමහාපායට ගිනිකෝණ දිගින් ඒ ආසන්නයේ ය.

මෙහි දකුණු කොටස ඉංග්‍රීසි පාලන සමයේ ඉදිකර තිබූ ඩික්මන් පාර වැටී තිබූ ස්ථානය වූ අතර වර්තමානයේ ශ්‍රී මහා බෝධි මළුවේ පිටතින් දිවෙන පෙරහැර මාර්ගයේ සිමෙන්ති ගල් අල්ලා ඇති කොටසකට යටවි ඇත.

මේ සම්බන්ධයෙන් කළ විමසීමේ දී සඳහන් කළ මහාචාර්ය ටී.ජී.කුලතුංග මහතා පැවසූයේ මෙම පිළිම ගෙය ගැන මුලින්ම සඳහනක් හමුවන්නේ ක්‍රිස්තු වර්ෂ දහවන සියවසේ දී රචිත පාලි මහා බෝධි වංශයේ බවයි.12 වන සියවසේ දී ඒ සඳහා රචිත මහා බෝධිවංශ ග්‍රන්ථිපද විවරණයේත් මේ පිළිබඳ සඳහන්වේ.

දේවානම් තියතිස්ස රජතුමා සිංහ වික්‍රාන්තියෙන් යුතුව මහා විහාරයේ ආකෘතිය ගොඩනැගූ බව කියන පුවතෙහිද මේ ගැන දැක්වේ.සිංහ වික්‍රාන්තිය යනු ගමන්කරන සිංහයා දකුණින් පිටුපස හැරී බලන හැඩයයි. ඒ හැඩය තුළ දකුණු පාදය තුබූ තැන ලෝවාමහාපාය ද, වම්පස පාදය තබූ තැන සන්නිපාත ශාලාව ද, නාභිය පිහිටි ස්ථානයේධාතු ඝරය ද, පපුවේ වම්පස රංසි මාලකය ද, ඉදිරි දකුණු පය තැබූ තැන රුවන්මැලි සෑය ද, උගුර පිහිටි තැන කණ්ඨක නම් පොකුණ ද, හිස දකුණු දෙසට හරවා බැලූ කල්හි දෘෂ්ඨිය වැටුණු තැන පිළිම ගෙයද වශයෙන් සඳහන්වේ.මෙකී පිළිම ගෙය පිළිබඳව මීට පෙර කිසිම පර්යේෂකයෙකු කරුණු වාර්තාකර
නොතිබිණි.

එහෙත් පැරණි මූලාශ්‍ර අනුව යමින් මේ සොයාගැනීම කළ හැකිවු වත් මෙම ස්මාරක විනාශවන්නට ඇත්තේ මහාවංශයට අනුව ක්‍රිස්තු වර්ෂ 1017 ඇතිවූ සොළී ආක්‍රමණවලින් පසුව බවත් මහාචාර්ය වරයා සඳහන් කරයි.

මේ පිළිමගෙයි විශාල උළුවස්සක් තිබුණු බවට ලක්ෂණ සඳහන්වේ.ඒත් එවැන්නක් දැන් දක්නට නොමැති අතර වර්තමානයේ ඊට ආසන්ව ඇති ශ්‍රී මහා බෝධි උතුරු වාහල්කඩේ විශාල උළුවස්සක් දක්නට තිබේ. 1894 හෙන්රි කේව් විසින් ප්‍රකාශයට පත්කර ඇති ‘ද රුයින්ඩ් සිටි ඔෆ් අනුරාධපුර‘ ග්‍රන්ථයේ පලකර ඇති මෙම වාහල්කඩේ ඡායා රූපයේ සියලු විස්තර ඇතත් මෙම උළුවස්ස ගැන සඳහන් නොවන බැවින් මහමාචාර්ය වරයා අනුමාන කරනුයේ ශ්‍රීමහා බෝධියේ භාරකාරත්වය ඉසිලූ බුලන්කුලම පවුලේ සාමාජිකයින් 1925 දී මෙම දොරටුව පිළිසකර කළ අවස්ථාවේ දී මෙම විශාල උළුවස්ස එම වාහල්කඩට සවිකළ බවයි.‘‘

මනුල වික්‍රම

ශ්‍රී මහා බෝධියේ වර්තමාන උතුරු වාහල්කඩේ එම උළුවස්ස ඇති අයුරු (ඉපැරැණි ඡායාරූපයකි) හෙන්රි කේව්ගේ පොතේ දැක්වෙන ඡායා රූප

***************************************

පුරාවිද්‍යා භූමියේ ලිප් 150 ක් බැඳ ගිනිදල්වති

(06.07.2019 – 14:50 +0530 – lankadeepa.lk)

මුලතිව් නයාරු ගුරුකන්ද විහාරස්ථානයේ පිහිටුවා ඇති කොවිලේ දේව පූජාවක් සඳහා උතුරු පළාතේ දෙමළ දේශපාලන නායකයින් වන මාවෙයි සේණාධිරාජා, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා සහ හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ඇතුලු දෙමළ දේශපාලඥයෝ රැසක් අද (06) සහභාගි වූහ. ඔව්හු එහිදී පුරාවිද්‍යා භූමියක් ලෙස නම් කොට තිබු මෙම ප්‍රදේශයේ ලිප් 150 ක් පමණ බැද ගිනි දල්වමින් පූජාවක් පැවැත්වූහ.

දන්තධාතූන් වහන්සේ මෙරටට වැඩම කිරීමේදී වඩාහිඳුවන ලද ප්‍රථම විහාරස්ථානය මෙය වේ. මෙම ප්‍රදේශවල ඉපැරණි බෞද්ධ නටබුන් රැසක් අදට ද දක්නට ලැබේ.

පුරා විද්‍යා භූමියේ එවන් කටයුත්තක් කළද මෙම අවස්ථාව සදහා මුලතිව් පොලීසියේ විශේෂ පොලිස් ආරක්ෂාවක් විහාරස්ථානයට ලබා දී තිබුණි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු හෙළ ජන බලය පදනමේ කැඳවුම්කරු නුවන් බැල්ලන්තුඩාව මහතා පවසා සිටියේ මෙවන් අදහසකි.

“මෙම ස්ථානයේ භාරකාර ස්වාමීන් වහන්සේගේ අනුමැතියකින් තොරව තමයි මේ ස්ථානයේ මේ වාගේ කටයුතු සිද්ධ වෙන්නේ. මේ පුරාවිද්‍යා ස්ථානයේ වලවල් හාරලා ගිනි පත්තු කරලා සිද්ධ කරන මේ කටයුතු වලින් හඳුනා නොගත් පුරාවස්තු වලට හානි සිද්ධවෙන්න පුලුවන්. අනෙක් කාරණය තමයි පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් වරයා පොල්ලකින් ගහලා වත් නැගිට්ටවන්න බැරි බොරු නින්දක තමයි ඉන්නේ”

“අපි දන්නවා ටජ් මහලේ ජංගම දුරකථනයකින් ඡායාරූපයක් වත් ගන්න දෙන්නේ නෑ. එහි අලෝකයෙන් එයට හානි සිද්ධ වෙන්න පුලුවන් කියලා. නමුත් මේ ස්ථානයේ අද සිද්ධ වෙන කටයුතු පිළිබඳ ඇත්තේ දුකක්. ඒ වාගේම මුලතිව් පොලිසිය ඉතාමත් නිවට විදියට මේ ස්ථානයේ සාමය කඩ වන බව දැන දැන මේ දේවල් වලට ඉඩ හැරලා තිබෙනවා. මේක මේ අන්තවාදීන්ගේ ආක්‍රමණයක් කියලා කියන්න පුලුවන්.” යැයි දනුවන් බැල්ලන්තුඩාව මහතා පැවසීය.

මෙම අවස්ථාවට පැමිණි දෙමළ දේශපාලන නායකයෝ සිංහල මාධ්‍යවේදීන්ට අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළහ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *