මා අර්ජුන් මහේන්ද්‍රන් මෙන් පල් හොරෙක් නොවේ කියමින් ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති අධිකරණයට බාර වේ.. සම්පූර්ණ පැහැදිලි කිරීම මෙන්න..

(08.07.2019 – 10:40 +0530 – lankacnews.com)

තමන් ඇතුළු 06 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කර ඇති දැනුම් දීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් මුහුදු ආරක්‍ෂක සේවාවේ සභාපති නිශ්ශංඛ සේනාධිපති මහතා කරුණු දැක්වීමක් සිදු කරයි.

සිය ෆේස්බුක් ගිණුමේ ඒ මහතා විසින් තබා ඇති සටහන මෙසේය :

නිශ්ශංක සේනාධිපති වන මා පන්නරය ලැබුවේත්, මාගේ ජීවිතය හැඩ ගස්වා ගනු ලැබුවේත් ශ්‍රී ලංකා යුද හමුදාවේ කොමාන්ඩෝ සෙබළකු ලෙස මා ලැබූ පුහුණුව තුළිනි. මගේ පරමාදර්ශ පාඨය වන්නේ කමන්ඩෝ බළකා පාඨය වන ‘කළ නොහැක්කක් නොමැත’ යන්නයි.

මා හට සිදුකර ඇති ශල්‍යකර්මයක් හේතුකොටගෙන මීට වසර 3 1/2 කාලයක පමණ සිට ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් වලට අනුව ජර්මනියේ සහ සිංගප්පූරුවේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනිමින් සිටී. ඒ අනුව මා හට ලැබුණු වෛද්‍ය උපදෙස් මත වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා මීට දින තුනකට පෙර සිංගප්පූරුව බලා පැමිණියේ ශ්‍රී ලංකා අධිකරණයට දැනුම්දීමෙන්ද අනතුරුවයි. මා කිසිදිනක නීතිය මඟ හැරීමට හෝ නීතියෙන් පැන යාමට හෝ නීතිය නැවීමට කටයුතු නොකළ අතර ඉදිරියට ද එසේ නොකරන බව මා ශ්‍රී ලාංකීය ජනතාවට දැනුම් දෙමි.

මා රජය සමඟ එක්ව බද්ධ ව්‍යාපාර සිදුකර මෙම රටට විශාල විදේශ විනිමයක් උපයා දී ඉන් 40 % ක් (රුපියල් මිලියන 4000 ක්) පමණ කොටසක් රාජ්‍ය භාගය ලෙස පැවති සියලු රජයන් වෙත ගෙවා ඇත. මා කිසිදිනක ශ්‍රී ලාංකීය ජනතාවගේ බදු මුදල් සතයක් හෝ මාගේ ව්‍යාපාර සඳහා යොදාගෙන නොමැත. මගේ ව්‍යාපාර තනිකර රඳා පැවතුනේ විදේශ විනිමය මත පමණි.

ඇවන්ගාඩ් නෞකාවේ තිබූ සියලුම අවි ආයුධ ශ්‍රී ලංකා රජයේ මධ්‍යම අවි ගබඩාවෙන් රක්නා ආරක්ෂක ලංකා සමාගම විසින් මිලදී ගත් අවි ආයුධ බවට රක්නා ආරක්ෂක ලංකා සමාගම ලිඛිතව අධිකරණය වෙත දැනුම්දී තිබියදීත් (අදාල මිලදී ගැනීම් වෙනුවෙන් රජයේ මධ්‍යම අවි ගබඩාවෙන් රක්නා ආරක්ෂක ලංකා සමාගම වෙත නිකුත් කරන ලද කුවිතාන්සි පවා ඉදිරිපත් කර තිබියදීත්), යහපාලන රජයේ දෙවන ආරක්ෂක ලේකම්වරයා වන කරුණාසේන හෙට්ටිආරච්චි මහතා විසින් මෙම සියලු අවි රතු මුහුදේ සිට ගාලු වරාය වෙත නීත්‍යානුකූලව ප්‍රවාහනය කිරීමට අවසර ලබාදී තිබියදීත්, මෙම සියලු සත්‍යය යට ගසමින් වෙනත් හස්තයන් විසින් මෙම ව්‍යාපාරය සහ මෙම ආයුධ නීත්‍යානුකූල නොවන බව ප්‍රකාශ කරමින් මා අත්අඩංගුවට ගැනීමට කටයුතු සංවිධානය කර ඇත.

මම නිශ්ශංක සේනාධිපතිය. මා අද වන තුරු සියලු ක්‍රියාකාරකම් සිදුකර ඇත්තේ මාගේ නමට අගෞරවයක් නොවන ලෙසටය. මින් ඉදිරියටත් මම එසේම කටයුතු කරමි. මා සිංගප්පූරුවේ සිටින විටදී, මා අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කර ඇති බව සමාජ මාධ්‍ය තුළින් සහ ශ්‍රී ලංකාවේ සිටින මාගේ මිතුරන් මාර්ගයෙන් මා හට දැනගන්නට ලැබිණි.

මෙම අත්අඩංගුවට ගැනීමේ නිවේදනය දැනගත් විට, මගේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු අවසන් වූ වහාම ලංකාවට පැමිණ අධිකරණයට ඉදිරිපත් වීමට තීරණය කළෙමි.

ජනතාවගේ බදු මුදල් සොරකම් කර අද වන තුරු අත්අඩංගුවට ගැනීමට නොහැකිව සිටින අර්ජුන මහේන්ද්‍රන් වැනි රාජ්‍ය නිලධාරීන් මෙන් මා තවත් රටකට ගොස් සැඟ වන්නේ නැත. මක්නිසාදයත් සැඟවීමට වරදක් මා සිදු කර නොමැති බැවිනි.

ගරු අධිකරණය කෙරෙහි පමණක් මා තවමත් විශ්වාස කරමි. මෙම නෞකාවේ තිබූ අවි 816 ශ්‍රී ලංකා රජයේ මධ්‍යම අවි ගබඩාවෙන් රක්නා ආරක්ෂක ලංකා සමාගම වෙත මිලදී ගත් ආකාරයත්, රක්නා ආරක්ෂක ලංකා සමාගම විසින් එම අවි සමුද්‍ර ආරක්ෂණ කටයුතු සඳහා යොදා ගැනීම පිණිස නීත්‍යානුකූලව ඇවන්ගාඩ් නෞකාව වෙත ලබාදුන් ආකාරයත්, එම අවි රක්නා ආරක්ෂක ලංකා සමාගම සමග එක්ව සමුද්‍ර ආරක්ෂණ කටයුතු සඳහා යොදා ගත් ආකාරයත්, එමගින් ලැබූ ආදායම ඇවන්ගාඩ් ආයතනය සහ රජය අතර බෙදා ගත් ආකාරයත්, නැවත එම අවි රජය වෙත භාර දීම පිණිස රජයේ අවසරය මත රතු මුහුදේ සිට ගාලු වරාය වෙත ප්‍රවාහනය කළ ආකාරයත් යන සියලු කරුණු ඔප්පු කිරීමට ලිඛිත සාක්ෂි මා සතුව ඇත.

රණවිරුවනි, විශ්‍රාමික රණවිරුවනි, ඔබගේ, ඔබගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මේ සටනට මා සමඟ එක්වන්න. මාගේ ශක්තිය ඔබයි.

– නිශ්ශංඛ සේනාධිපති

***************************************

මහ මඟ තවත් අනතුරක් – CCTV දර්ශන සහිතයි

(08.07.2019 – 14:02 +0530 – sinhala.adaderana.lk)

මීපේ-ඉංගිරිය මාර්ගයේ පාදුක්ක ඉහළ බෝපේ ප්‍රදේශයේ දී ලොරි රථයක් හා වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වු අනතුරෙන් ලොරි රථයේ රියදුරු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

එළවළු පටවාගත් ලොරි රථයක් හා වෑන් රථයක් මෙසේ අනතුරට පත්ව තිබේ.

කෙසේ වෙතත් රෝහල් ගත කළ ලොරි රථ රියදුරුගේ තත්ත්වය බරලතළ නොවන බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

පාදුක්ක පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

https://youtu.be/YhtgPigk3Lc#t=5
08.07.2019

***************************************

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් සමාගමේ විධායක නිලධාරියාගෙන් අගමැතිට ලිපියක්

(08.07.2019 – 16:53 +0530 – sinhala.adaderana.lk)

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් නියෝජිතායතනයේ ප්‍රතිලාභී රටක් ලෙස තෝරාගෙන ඇති ශ්‍රී ලංකාවට අදාළ ඉදිරි කටයුතු පවත්වාගෙන යාමට ක්‍රියා කරන බව පවසා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා වන ශෝන් කේන්ක්‍රෝස් විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් එවා ඇත.

ඒ සඳහා සිය සුභ පැතුම් එක් කරන බවද ශෝන් කේන්ක්‍රෝස් මහතා සිය ලිපියේ දක්වා ඇත.

“මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC) හි ප්‍රධාන විධායක වශයෙන් මාගේ සුභාශිංසන ඔබතුමන් වෙත පිරිනමමි.

පසුගිය ජුනි මස 24 වන දින මා, එම ධූරයේ දිවුරුම් දුන් අතර එවන් විශිෂ්ට නියෝජිතායතනයක් සහ නිපුණ කාර්ය මණ්ඩලයක් මෙහෙයවීමට ලැබීම මා ලද භාග්‍යයක් කොට සළකමි.

ප්‍රවාහනය හා භූමි පරිපාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට බලපාන ගැටළු අවම කිරීම සඳහා එක්සත් ජනපද ආණ්ඩුවත් ශ්‍රී ලංකා ආණ්ඩුවත් එක්ව එළඹෙන ලද, යෝජිත ඩොලර් මිලියන 480 ක ගිවිසුම ක්‍රියාත්මක කිරීමට මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය තවදුරටත් කැපවන බව දැනුම් දෙනු කැමැත්තෙමි.

මෙවන් තීරණාත්මක අවධියක, නිශ්චිත කාලයේ දී මෙම ගිවිසුම ක්‍රියාවට නැංවීමට අපි උනන්දු වන්නෙමු.

ශ්‍රී ලාංකේය ජනතාවගේ අභිවෘද්ධිය තහවුරු කරමින් දිළිඳු බව තුරන් කිරීම වෙනුවෙන් අප දෙරට සතුවන අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා ඔබතුමාගේ නායකත්වය ඉදිරියටත් අපේක්ෂා කරමි.” යනුවෙන් එම ලිපියෙහි සඳහන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි ෴

+++++++++++++++++++++++++++++++++++

ගිවිසුම් ගහන්නත් කලින් අමෙරිකාවෙන් ඇවිත් ඉඩම් බලනවා

(08.07.2019 – 13:29 +0530 – sinhala.adaderana.lk)

පක්ෂ සාමාජිත්වයක් නොගත් අයෙක් රටේ නායකයා කළ යුතු බවට ඇතැම් දේශපාලකයන් ප්‍රකාශ කරනුයේ බටහිර රටවල අවශ්‍යතාවය ඉටු කිරීම සඳහා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අත්තනගල්ල ආසනයේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පිහිටුවීමේ නිල උත්සවයට ඊයේ (07) එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

රටට අහිතකර පරිදි අමෙරිකාව සමඟ ගිවිසුම්වලට එළඹීමටත් ප්‍රථම අමෙරිකානු රජයේ නිලධාරීන් මෙරටට පැමිණ ඉඩම් මැනීමේ කටුයුතු සිදු කරන බවත් එය සාධාරණීකරණය කිරීමට විවිධ හේතු දැක්වීමටත් ආණ්ඩුව පෙළඹී ඇති බවත් ඒ මහතා කියා සිටියි.

ආණ්ඩුවේ මෙම අත්තනෝමතික ක්‍රියා පිළිවෙත තුළින් අනාගත පරපුරට ජීවත් වීම සඳහා රටක් ඉතිරි නෙවෙන අතර රට වෙනුවෙන් අවශ්‍ය වගකීම ඉටු කිරීමට තරුණ නායකත්වය රටට අවශ්‍ය බවත් වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කළේය.

එසේම ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමේදී අපේක්ෂයන් පිළිබඳ බුද්ධිමත්ව සිතා බලා විවේචනය කිරීමට හා ජනතාව වෙනුවෙන් කටයුතු කරන නායකයෙකු පත් කිරීමට තරුණ පරම්පරාව පෙළ ගැසිය යුතු බවත් ඔහු පවසයි.

+++++++++++++++++++++++++++++++++++

SOFA ගිවිසුම අත්සන් කරන්න UNPයේ කිසිදු සුදානමක් නෑ – අකිල

(08.07.2019 – 19:26 +0530 – sinhala.adaderana.lk)

අමෙරිකාව සමඟ සෝෆා ගිවිසුම අත්සන් තැබීමට එක්සත් ජාතික පක්ෂයේ කිසිදු සුදානමක් නැතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (08) ප්‍රකාශ කළේය.

ඔහු මේ බව පැවසුවේ රජයේ ආයතන වල සිදු වී ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දීමට අද පැමිණි අවස්ථාවේදීයි.‍

රජයේ ආයතන වල සිදු වී ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද සාක්ෂි දෙනු ලැබුවේ දෙවන දිනටයි.

ඒ පාසල් පෙළ පොත් සඳහා අමාත්‍යවරයාගේ වර්ණ ඡායාරූපය ඇතුළත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා විසින් ඔහුට එරෙහිව ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලට අදාලවයි.

අමාත්‍යවරයා පැයකට ආසන්න කාලයක් කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි ලබාදුන්නේය.

+++++++++++++++++++++++++++++++++++

08.07.2019

+++++++++++++++++++++++++++++++++++

ආන්දෝලනාත්මක දකුණු අප්‍රිකානු යානය ගැන ගුවන් සේවා අධිකාරියෙන් පැහැදිළි කිරීමක්

(08.07.2019 – 12:47 +0530 – hirunews.lk/sinhala)

දකුණු අප්‍රිකාවට අයත් ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණ ඇත්තේ ඕස්ට්‍රේලියාවේ භූගර්භ පරීක්ෂාවක් සඳහා ගොස් යළි සියරට බලා යන අතරතුර බව සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළා.

පොළොව මට්ටමේ සිට මීටර් 800 ක අභ්‍යන්තර කොටසක් නිරීක්ෂණය කළ හැකි බව කියන ගුවන් යානයක් කටුනායකට පැමිණ ඇති බවට පසුගියදා විවිධ මාධ්‍ය වාර්තා පළ වුණා.

ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සිවිල් ගුවන් සේවා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු සඳහන් කළේ මෙම ගුවන් යානය දකුණු අප්‍රිකාවේ එස්.ඒ.පී. ගුවන් සමාගමට අයත් එච්.සී. 47 වර්ගයේ කුඩා යානයක් බවයි.

හතර දෙනෙකුට ගමන් කළ හැකි මෙම යානය ඕස්ට්‍රේලියාවේ භූ ගර්භ පරීක්ෂාවක් සඳහා ගොස් නැවත දකුණු අප්‍රිකාව බලා යන අතරතුර මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවද එම ප්‍රකාශකයා සඳහන් කළා.

ඔහු කියා සිටියේ මෙම යානය සාමාන්‍ය වර්ගයේ යානයක් වන අතර ඊට පොළොව අභ්‍යන්තරය විනිවිද යාහැකි උපකරණ සවි කිරීමෙන් අනතුරුව භූ ගර්භ පරීක්ෂාවන් සඳහා යොදා ගැනෙන බවයි.

එම උපකරණ යානයෙන් ඉවත් කර නෞකාවක් මගින් දකුණු අප්‍රිකාව බලා පිටත් කර යවා ඇති අතර, ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ උපකරණ නොමැති යානයක් පමණක් බවද සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රකාශකයා සඳහන් කළා.

ගොඩබිම් මාර්ග ඔස්සේ දකුණු අප්‍රිකාව බලා යන අතරතුර දිවයිනට පැමිණි මෙම යානය හෙට දිනයේ ඉන්දියාවේ මුම්බායි ගුවන් තොටුපල වෙත පියාසර කිරීමට නියමිතයි.

කුඩා ප්‍රමාණයේ යානාවක් වන මෙය ඕස්ට්‍රේලියාවේ සිට පැසිෆික් සාගරය හරහා දකුණු අප්‍රිකාවට පියාසර කිරීමට හැකි තත්ත්වයක නොමැති වීම හේතුවෙන් මෙලෙස රටවල් කිහිපයක් හරහා ගොඩබිම් මාර්ග ඔස්සේ ගමන් කරන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය කියා සිටියේ.

ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ සිවිල් ගුවන් සේවා අධිකාරිය ඇතුළු අනෙකුත් අංශ දැනුවත් කර නීත්‍යානුකූල අවසර ලබාගෙන බවද එම අධිකාරිය පවසනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *