මාගල්කන්දේ සුදත්ත හිමියන්ගේ ප්‍රකාශයක් ගැන නීතිපති දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

(11.07.2019 – 20:16 +0530 – hirunews.lk/sinhala)

සහරාන් හෂීම් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය 2017 වසරේදී නීතිපති උපදෙස් සඳහා ඉදිරිපත් කළ ලිපිගොණුව සම්බන්ධයෙන් හිටපු නීතිපති විධිමත් පියවරක් ගෙන නොමැති බවට පූජ්‍ය මගල්කන්දේ සුදත්ත හිමියන් ඊයේ දින (10) කළ ප්‍රකාශය සාවද්‍ය ප්‍රකාශයක් බව නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධි නීතීඥ නිෂාරා ජයරත්න මෙනවිය පවසන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කළ මුල් ගොනුවේ ප්‍රමාණවත් තොරතුරු අන්තර්ගත නොවූ බවයි.

සහරාන් හෂීම් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය 2017 වසරේදී නීතිපති උපදෙස් සඳහා ඉදිරිපත් කළ ලිපි ගොනුවසම්බන්ධයෙන් ගත් පියවර පිළිබඳව සිංහල රාවය සංවිධානය ඊයේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලිඛිත විමසීමක් කළා.

පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ඊයේ දින සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව අද (11) මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා.

නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනවිය විසින් නිකුත් කළ මෙම නිවේදනයේ දැක්වෙන්නේ EER08/2017 දරන ගොනුව නීතිපති දෙපාර්තමේන්තුව වෙත 2017 ජූනි මස 07 වැනි දින ලැබී ඇතත් එහි නීතිපතිවරයාට උපදෙස් දීමට ප්‍රමාණවත් කිසිදු කාරණාවක් හෝ නෛතික ගැටලුවක් අන්තර්ගත නොවූ බවයි.

ඉහත කී හිමිනම සඳහන් කළ පරිදි 2017/06/07 දින ඉදිරිපත් කරනු ලැබූ ලිපි ගොනුව පිටු 300 කින් සමන්විත බව පැවසුවද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් එදින ඉදිරිපත් කළ මුල් ලිපිගොනුව පිටු කිහිපයකින් පමණක් සමන්විත වූ බවද මාධ්‍ය නිවේදනයේ සඳහන්.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ නීතිපතිවරයා විසින් උපදෙස්දීමට තරම් ප්‍රමාණවත් කරුණු සහිතව පිටු 200 ක පමණ වූ විමර්ශන ගොනුවක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත්තේ 2019-05-06 වන දිනල එනම් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදු වී සති දෙකක පමණ කාලයකට පසුව බවයි.

2017 -06-07 දින වන විට ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ අන්තවාදී ක්‍රියාකලාපයන් පිළිබඳ අනාවරණය වී තිබූ තොරතුරු මෙම දෙවන ගොනුවේ සඳහන් වුවද එකී කිසිදු තොරතුරක් පළමු ගොනුවේ අන්තර්ගත නොවූ බවද අදාළ නිවේදනයේ දැක්වෙනවා.

ඉන් අනතුරුව මෙකී අන්තවාදී සංවිධානය හා පිරිස් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර සැකකරුවන්ට විරුද්ධව විවෘත වරෙන්තුවක් ලබා ගැනීමට කටයුතු කර තිබුණද ඒ සම්බන්ධයෙන් හා අදාළ නඩුවේ ප්‍රගතිය සම්බන්ධයෙන් වූ කරුණු පවා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් 2019-05-06 දිනය වන තෙක් තම දෙපාර්තමේන්තුවේ අවධානයට යොමු කර නොමැති බවද නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනිය
සඳහන් කළා.

එබැවින් නීතිපති දෙපාර්තමේන්තුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයෙන් ප්‍රශ්න කර සිටින්නේ 2017 – 2018 වකවානුව තුළ කරනු ලැබූ විමර්ශනයන්ගෙන් සහරාන් හෂීම් සහ ඔහුගේ අන්තවාදී කණ්ඩායමේ ක්‍රියාකලාපයන් පිළිබඳව කරුණු අනාවරණය වී තිබුණේ නම් අදාළ විමර්ශන උදෘතයන් ප්‍රමාණවත් ලෙස නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර උපදෙස් ලබාගැනීමට කටයුතු නොකළේ මන්ද යන්නයි.

මෙම කරුණ පිළිබඳ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල විමර්ශන මණ්ඩලය වෙත නීතිපති දෙපාර්තමේන්තුව කරුණු ඉදිරිපත් කළ බවත් එහි අවසන් වාර්තාවේ අදාළ විමර්ශන නිලධාරීන් විසින් සිදු කර ඇති රාජකාරිමය පැහැර හැරීම් පිළිබඳව පැහැදිලි නිරීක්ෂණයන් සදහන් කර ඇති බවත් මෙම මාධ්‍ය නිවේදනයේ දැක්වෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් 2019-06-18 වැනි දින නිකුත් කරනු ලැබු ලිපියකින් නීතිපති දෙපාර්තමේන්තුව වැඩබලන පොලිස්පතිවරයාවද දැනුවත් කර තිබෙනවා.

+++++++++++++++++++++

***************************************

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 27 කින් පරාජයට

(11.07.2019 – 19:09 +0530 – sinhala.adaderana.lk)

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යොජනාව අද (11) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 27 කින් අද පරාජයට පත්වුණි.

යෝජනාවට පක්ෂව ඡන්ද 92 ක් හිමිවූ අතර ඊට විරුද්ධව ඡන්ද 119 ක් හිමිවුණි.

ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය යෝජනාවට පක්ෂව ඡන්ද ප්‍රකාශ කළ අතර එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානයයෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.

ඡන්දය විමසන අවස්ථාවේදී දුමින්ද දිසානායක, එස් බී නාවින්න, විජේදාස රාජපක්ෂ, දුනේෂ් ගංකන්ද, මහින්ද සමරසිංහ, අශෝක ප්‍රියන්ත, ඩග්ලස් දේවානන්ද ශිවශක්ති ආනන්දන් සහ වී රාධාක්‍රිණ්න් යන මන්ත්‍රීවරුන් සභා ගැබ තුල සිටියේ නැත.

***************************************

‘ටොප් ට්වෙන්ටි’ 12 වන පැමිණිල්ල රිෂාඩ් බදියුදීන්ට

(11.07.2019 – 12:55 +0530 – hirunews.lk/sinhala)

ඒකාබද්ධ විපක්ෂයේ ‘ටොප් ට්වෙන්ටි’ මීලඟ පැමිණිල්ල හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ඉදිරිපත් කරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පවසනවා.

ඒ සතොස ආයතනයේ සිදුවූ අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන්.

***************************************

ජනාධිපති අපේක්‍ෂක පොහොට්ටුවෙන්.. පොහොට්ටු-ශ‍්‍රීලනිප සාකච්චා 10 දා අවසන් කරයි..

(12.07.2019 – 06:28 +0530 – lankacnews.com)

විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මෙම අදහස් පල කලේය :

“හරියටම දින 132 කින් ජනාධිපතිවරණයට ළංවෙලා සිටිනවා. දින 102 කින් නාමයෝජනා ලබාදීමට සමීප වෙලා තිබෙනවා. හරියටම දින 88 කින් ජනාධිපතිවරණය ගැසට් නිවේදනයකින් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ව්‍යවස්ථානුකූලව, සම්ප‍්‍රදායානුකූලව ඒ ආකාරයෙන් සිදුවිය යුතුව තිබෙනවා. නමුත් උපක‍්‍රමශීලීව ජනාධිපතිවරණය මඟහැරවීම සඳහා ආණ්ඩුව විවිධ උපක‍්‍රම අනුගමනය කරමින් සිටින බව පේනවා. 19 වැනි සංශෝධනයට අදාළව ජනාධිපතිවරයාගේ ධූර කාලය පිළිබඳව අධිකරණයට යන බවට මාධ්‍ය වාර්තාවල සඳහන් කර තිබෙනවා. ඒ වගේම පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට සැලසුමක් තිබෙන බවත් වාර්තා කර තිබෙනවා.

යහපාලන ආණ්ඩුවේ පාලන කාලය තුළ ඕනෑ තරම් දේශපාලන අපචාර සිදුකර තිබෙනවා. නමුත් ඒ අකටයුතුකම් අතරේ ජනමතයත් සමඟ සෙල්ලම් කිරීම බරපතල අපරාධයක්. පළාත් පාලන මැතිවරණය වසර දෙකහමාරකින් කල්දැම්මා. ඒ නිසා මැතිවරණ කල්දැමීම කියන්නේ ජනමතය නොසලකා හැරීමයි. ජනමතය නොසලකා හැරපු පාලකයන්ට අත්වූ ඉරණම ඉතිහාසය පුරාම බොහෝම කලු අකුරෙන් සටහන් වෙලා තිබෙනවා. ජනමතය නොසලකා හැරි ආණ්ඩුවේ සියලුම පාර්ශ්ව මේ අනතුර තේරුම් ගත යුතුයි. අප රටේ මෙන්ම ලෝකයේත් ජනමතය සමග සෙල්ලම් කළ කිසිම පාලකයෙක් ඇඳක සුවදායක මරණයකට පත්වෙලා නැහැ. ඒ පාඩම කවුරුත් දැනගත යුතුයි.

ඒ වගේම අගෝස්තු 10 ට පෙර ඒකාබද්ධ විපක්‍ෂය පක්‍ෂ සමග සන්ධානගත විය යුතුයි කියන මතයකට ආවා. ඇත්තටම ශ‍්‍රීලනිපය සමග සාකච්ඡාවටත් ප‍්‍රථමයෙන් තමයි ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ අතර සන්ධානගත විය යුතුයි කියන සාකච්ඡාව ආවේ. සමහර පක්‍ෂ සමග සන්ධානගත වීම යම් ප‍්‍රමාදයක් සිදුවුණා. ශ‍්‍රීලනිපය සමග තිබෙන සාකච්ඡා තවදුරටත් යනවා. අපි සන්ධානය කඩිනමින් පිහිටුවීමට සාකච්ඡා කරමින් සිටිනවා.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා කවුරුන්ද කියා නැවත වතාවක් කියන්න අවශ්‍ය නැහැ. අගෝස්තු 11 දා පොදුජන පෙරමුණේ මහා සමුළුවේදී ඒ බව ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයා පිළිබඳවත්, ඊට පෙර ඒකාබද්ධ විපක්‍ෂය සමග සිටින සියලුම පක්‍ෂ සමග සාකච්ඡා කරන බවත් දැනුම් දුන්නා. ඊට පසුවයි එම නිවේදනය නිකුත් කරන්නේ කියා එතුමා පැහැදිලිව වගකීමකින් දැනුම් දුන්නා. පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයා නම් කිරීමට තීරණය කිරීමත් එක්කම සියලු වර්ණයේ චෞරයන් එකට එකතු වෙන බවක් අපට දැක ගන්නට පුළුවන්.

ආණ්ඩුව මේ වන විට විශේෂයෙන්ම සමාජ මාධ්‍ය මුල්කරගත් දඩයමකට යමින් සිටිනවා. දැන් මේ රටේ ප‍්‍රධාන පෙළේ කලාකරුවන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, බුද්ධිමතුන්, පුරවැසියන් ඇතුළු 1600 කට ආසන්න ෆේස්බුක් ගිණුම් මේ වන විට අත්හිටුවා තිබෙනවා. එක පැත්තකින් සමාජ මාධ්‍ය අනික් පැත්තකින් මාධ්‍ය දඩයම් කරනවා. ‘එන්ටර්ප‍්‍රයිසස් ශ‍්‍රී ලංකා’ වැඩසටහන යටතේ ගම්පෙරළියට සුදුසුකමක් නැතිව ටෙන්ඩර් කැඳවන්නේ නැතිව මංගල සමරවීර ඇමැතිවරයා පෞද්ගලික ආයතනයකට රුපියල් මිලියන 490 ක් ප‍්‍රචාරක කටයුතුවලට දීලා තිබෙනවා.

මෙහෙම වෙන විට ජාතික රූපවාහිනිය සේවකයන්ට වැටුප් ගෙවන්න භාණ්ඩාගාරයෙන් මිලියන 300 ක් ඉල්ලා තිබෙනවා. එක්තරා ඇමැතිවරයෙක්ගේ ප‍්‍රචාරක කටයුතු සඳහා පමණක් ජාතික රූපවාහිනියට මිලියන 177 ක් හම්බ වෙලා නැහැ. ඒක ඉල්ලූවාම මහා භාණ්ඩාගාරයෙන් දෙන්න විදිහක් නැහැ කියනවා. නමුත් වෙළෙඳ දැන්වීම් දෙන්නම් කියනවා. මූණේ මහන්සි පාට තිබෙන, නින්ද යන්නේ නැති, ඇස් ගිලිච්ච ඇමැතිවරයෙක් කියා එතුමා තමාව හඳුන්වාගෙන තිබෙනවා. මහජන මුදල් සමග ආණ්ඩුවේ දේශපාලනඥයන් හැසිරෙන විදිහ අපි තේරුම්ගත යුතුයි. තරුපහේ මාධ්‍ය භාවිතාවක් ගැන කතා කරමින් සිටිනවා. ආණ්ඩුවේ මේ නිර්දය හැසිරීම පිළිකුල් සහගතව ප‍්‍රතික්‍ෂේප කරනවා.”

– චමින්ද කරුණාරත්න

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *