බස් රථයක් දුම්රිය මාර්ගයට කඩාවදී – මගීන් මැදිහත්වී දුම්රිය නතර කර ගනී

(13.07.2019 – 15:02 +0530 – hirunews.lk/sinhala)

කොස්ගොඩ දූවමෝදර ප්‍රදේශයේදී බස් රථයක් දුම්රිය මාර්ගයට කඩාවැදීම හේතුවෙන් අද පෙරවරුවේ අනතුරක් සිදුවුනා.

කොළඹ සිට මාතර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් උදෑසන 8.30 ට පමණ වේගය පාලනය කර ගැනීමට නොහැකිව බස් රථය මෙම අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 45 දෙනෙකු පමණ ගමන් කර ඇති අතර ඔවුන්ගෙන් කිහිප දෙනෙකු සුලු තුවාල ලබා තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාව වන විට බෙලිඅත්ත බලා ධාවනය වන දුම්රියක් එම මාර්ගයේ පැමිණීමට නියමිතව තිබු අතර මගීන් සහ ප්‍රදේශවාසීන් දුම්රිය මාර්ගයේ ඉදිරියට ගොස් එය නතර කර ගැනීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේවෙතත් දුම්රිය පැමිණ නතර වී ඇත්තේ බස් රථය අනතුරට ලක්වූ ස්ථානයට මීටර් 10 ක් පමණ දුරින් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

බස් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර කොස්ගොඩ පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

+++++++++++++++++++++

***************************************

රාජ්‍ය ඇමති රන්ජන්ට රාවණා බලයෙන් දෝස් මුරයක්

(13.07.2019 – 13:36 +0530 – hirunews.lk/sinhala)

භික්ෂු ශාසනය අපකීර්තියට පත් කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් පසුගියදා සිදුකළ ප්‍රකාශයක් පිළිබඳ, අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්.

එහිදී උන්වහන්සේ තවදුරටත් කියා සිටියේ පාක්‍යසෝති සරවණමුත්තු අස්ගිරි නාහිමියන්ට දොස් නගමින් සිදුකළ ජවනිකාවේ දෙවන කොටස් රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක විසින් සිදුකරන බවයි.

එහිදී උන්වහන්සේ මෙලෙස ද අදහස් දක්වා සිටියා.

“අපි මේක ලේසියෙන් අත්හරින්නේ නෑ. මේ ගැන ඇමති අකිලගෙන් ඇහුවම එයා කිව්වා ‘පිස්සෙක්’ කියලා. පිස්සෙක්ව ඇයි සිරිකොතේ තියන් ඉන්නේ. මේකට සිරිකොත වග කිව යුතුයි.”

***************************************

මත්ද්‍රව්‍ය සමඟ ගාලු මුහුදේ දී අත්අඩංගුවට ගත් ඉරාන ජාතිකයින් රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

(13.07.2019 – 13:26 +0530 – hirunews.lk/sinhala)

ගාලූ වරායට ආසන්න මුහුදේ දී මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් නෞකාවේ සිටි ඉරාන ජාතිකයින් 9 දෙනා ලබන 19 වන දා දක්වා රදවාගෙන ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබා දුන්නා.

ඒ, සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

ගාලූ වරායට ආසන්න මුහුදේ දී ධජයක් හෝ ලියාපදිංචි සලකුණක් නොමැතිව ගමන් කළ මෙම යාත්‍රාව පෙරේදා අත්අඩංගුවට ගනු ලැබුවේ නාවික හමුදාවේ බුද්ධි අංශයට ලද තොරතුරක් අනුවයි.

යාත්‍රාව තුළ තිබී හෙරොයින් කිලෝ 70 යි ග්‍රෑම් 769 ක් සොයා ගත් අතර ඒවායේ වටිනාකම රුපියල් කෝටි 80කට ආසන්න බවට තක්සේරු කර තිබෙනවා.

එසේම අදාළ නෞකාවේ තිබී අබින් ග්‍රෑම් 812 ක් සහ රිවෝල්වරයක් ද සොයා ගත් බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සදහන් කළේ ෴

+++++++++++++++++++++

මත්ද්‍රව්‍ය ජාවරම් කටයුතු හා සම්බන්ධ බවට සැක කිරීම මත නාවික හමුදා භාරයට ගත් යාත්‍රාව කොළඹ වරාය වෙත රැගෙන එන ලදී

(12.07.2019 – navy.lk)

නාවික හමුදාව විසින් අනන්‍යතාවය හෝ ලියාපදිංචිය තහවුරු නොවන ආකාරයට ගාල්ලට ඔබ්බෙන් වූ දකුණු ගැඹුරු මුහුදේ යාත්‍රා කරමින් සිටියදී නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාව සහ එහි තිබූ මත් කුඩු බවට සැක කෙරෙන කිලෝ ග්‍රෑම් 60 ක් පමණ වන ද්‍රව්‍ය තොගය සමඟ යාත්‍රාවේ සිටි විදේශිය ජාතිකයින් 09 දෙනා අද සවස කොළඹ වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරන ලදී. අනන්‍යතාවය හෝ ලියාපදිංචි තොරතුරු ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ මෙම යාත්‍රාව සහ එහි ගමන් ගත් පුද්ගලයින් ගේ අනන්‍යතාව ඉදිරි විමර්ෂණ මඟින් අනාවරණය කර ගැනීමට බලාපොරොත්තු වේ.

මේ අතර, 2019 ජූලි 10 වන දින ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී පුද්ගලයින් සිව්දෙනෙකු (04) සහ මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන සාම්පල් සමඟ නාවික හමුදා භාරයට ගත් ශ්‍රී ලංකාවට අයත් බහුදින යාත්‍රාව සහ 2019 ජූලි 11 වන දින නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාව අතර, සම්බන්ධයක් තිබිය හැකි බවට නාවික හමුදාව විසින් සැක පළ කෙරේ. කෙසේ නමුත් මේ සම්බන්ධව වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත සැකකරැවන් සහ සැක කටයුතු ද්‍රව්‍යන් භාරදීමට නියමිතය.

***************************************

මුස්ලිම් විවාහ නීතිය වෙනස් කිරීමට, මුස්ලිම් මන්ත්‍රීවරුන්ගෙන්ම යෝජනාවක්

(13.07.2019 – 12:29 +0530 – hirunews.lk/sinhala)

මුස්ලිම් විවාහ නීතියේ අත්‍යවශ්‍ය වගන්ති කිහිපයක් සංශෝධනය කිරීමේ යෝජනාවකට පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන් එකඟතාව පළ කර තිබෙනවා.

ඒ අනුව අදාළ යෝජනා ඉදිරියේදී අධිකරණ ඇමතිනී තලතා අතුකෝරාළ හරහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ.

වයස් සීමාව මෙන්ම විවාහ වන ස්ත්‍රියගේ අභිමතය විමසීම ඇතුළු අත්‍යවශ්‍ය වගන්ති 10කට ආසන්න සංඛ්‍යාවක් සංශෝධනය කිරීමට මෙහිදී මුස්ලිම් මන්ත්‍රීවරුන් එකඟතාව පළ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලි හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළා.

දැනට බලාත්මක මුස්ලිම් විවාහ නීතියට අනුව වැඩිවියට පත්වීමෙන් පසු ඕනෑම ස්ත්‍රියක විවාහ කර දීමට ඔවුන්ගේ දෙමව්පියන්ට බලය පවතින අතර එම නීතිය සංශෝධනය කිරීමෙන් මුස්ලිම් ස්ත්‍රියක් විවාහ වීමේ අවම වයස් සීමාව අවුරුදු 18 ලෙස සඳහන් කිරීමටයි එකඟ වී ඇත්තේ.

එමෙන්ම, ස්ත්‍රියක් විවාහ වීමේදී විවාහ ලේඛනයේ ඇගේ අත්සන යෙදීම අනිවාර්ය කිරීමේ රීතියට ද මුස්ලිම් මන්ත්‍රීවරුන් එකඟතාව පළ කර තිබෙනවා.

මීට අමතරව මුස්ලිම් කාසි අධිකරණ සඳහා කාන්තාවන් පත් කිරීමේ යෝජනාවකට ද පසුගිය දා පැවති සාකච්ඡාවේදී මුස්ලිම් මන්ත්‍රීවරුන් එකඟතාව පළ කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අමිර් අලි ප්‍රකාශ කළේ ෴

***************************************

රතන හිමිගෙන් ආශිර්වාද පුජාවක්

(13.07.2019 – 11:32 +0530 – hirunews.lk/sinhala)

රටට ධාර්මික නායකයෙකු පත්වේවා යැයි ප්‍රාර්ථනා කරමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් රුවන්වැලි මහ සෑය අභියස ආශිර්වාද පූජාවක් පවත්වා තිබෙනවා.

ඊයේ (12) දින පැවති එම අවස්ථාවට එක්වුණු පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මාධ්‍ය වෙත මෙලෙස අදහස් පලකර සිටියා.

***************************************

සහරාන් සමඟ පුහුණුව ලබා මහරගමදී ඇල්ලූ තරුණයා, රහස් පොලීසියට භාර දෙයි

(13.07.2019 – 07:14 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම් සමඟ නුවරඑළිය බ්ලැක්පූල් කඳවුරේ පුහුණුව ලැබූ, මහරගම ඇඟලුම් කම්හලක සිටියදී ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බවයි.

නාවික හමුදා බුද්ධි අංශයේ ද සහය ඇතිව මොහු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් ඊයේ උදෑසන අත්අඩංගුවට ගනු ලැබුවා.

මොහොමඩ් තාජුඩීන් ආසිෆ් අහමඩ් නමැති 20 හැවිරිදි සැකකරු අරණායක – දික්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු මීට දින 3 කට පෙර මෙම ඇඟලුම් කම්හලේ සේවයට පැමිණ ඇති බවටයි අනාවරණ වී ඇත්තේ ෴

***************************************

සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමයේ මව්ලවිවරුන් පිරිසක් අස්ගිරි මහනාහිමියන් හමුවෙයි

(12.07.2019 – 20:36 +0530 – hirunews.lk/sinhala)

සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමයේ මව්ලවිවරුන් ඇතුළු පිරිසක් අද අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් බැහැදැක රට තුළ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත වුණා.

අර්ථ විකෘති කරමින් මුද්‍රණය කෙරෙන කුරානයේ පිටපත් සම්බන්ධයෙන් එහිදී වැඩි අවදානයක් යොමුවුණා.

+++++++++++++++++++++++++++++++++++

කාති උසාවියට පලවූ විරෝධය

(12.07.2019 – 20:07 +0530 – hirunews.lk/sinhala)

මුස්ලිම් ජන සමාජයේ ස්ථාපිත කර ඇති කාති උසාවි මගින් පිරිමි පක්ෂයට පක්ෂපාතීත්වය දක්වමින් ලබාදෙන නඩු තීන්දු හරහා කාන්තාවන් බහුතරයක් දරුවන් සමග මහමගට දමා ඇති බව එම උසාවි හරහා අගතියට පත් වැලිමඩ ප්‍රදේශයේ කාන්තාවක් පවසනවා.

අදාල කාන්තාව අද ඇගේ පියා සමග ඌවපරණගම ප්‍රදේශයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මෙම හෙළිදරව්ව සිදුකළා.

පියාගේ රැකවරණය යටතේ සිටි මැය වයස අවුරුදු 10 දී මුස්ලිම් පුරුෂයෙකු විවාහ කර ගෙන තිබෙනවා.

පසුව ඇය බදුල්ලේ පිහිටි කාති උසාවියක් වෙත යොමු කර ඇත්තේ අනියම් සම්බන්ධතාවක් ඇති ඇගේ සැමියාගේ ගැටළුව ඉදිරිපත් කිරීමටයි.

බදුල්ල කාති උසාවියේ දී ඇය තමා දරුවා නඩත්තු කිරීමට සාධාරණ වන්දියක් ඉල්ලා සිදුකළ ඉල්ලීමක් ද ඔවුන් මාධ්‍ය වෙත ඉදිරිපත් කළා.

***************************************

අතිඋත්තම ජලනි ප්‍රේමදාස ආර්යාව ජාතිය අමතයි !

නැවත ඇසීමට : Reload the page and Click ‘Play’
14.07.2019
15.07.2019
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *